බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො’ව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති.
යමෙක් ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ කොට කියන්නේ නමුදු, තෙමේ පමා වූයේ, ඉදින් එය නො කරන්නේ (තමා කියන පරිදි නො පිළිපදනේ) නම්, හේ (කුලියට) අනුන් ගේ ගෙරින් රක්නා ගොපල්ලා මෙන් ශ්‍රාමණ්‍යයට (සතරඵලයනට) හිමි නො වෙයි.
අප්පම්පි චෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්තචිත්තො
අනුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති.
යමෙක් ත්‍රිපිටක බුද්ධවචනය ස්වල්ප කොට කියන්නේ නමුදු, තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය කරන්නේ නම්, (නවලෝකෝත්තර ධර්‍මයට අනුරූපව වූ පුර්‍වභාග ප්‍රතිපත්තිය කරන්නේ නම්), රාගයත් ද්වේෂයත් මෝහයත් නසා පිරිසිඳිය යුතු දහම් පිරිසිඳ දන්නේ, මෙලොවෙහි හෝ පරලොවෙහි හෝ (ආධ්‍යාත්මික හෝ බාහිර හෝ) කිසිදු ස්කන්‍ධ ධාතු ආයතනයක් තෘෂ්ණා දි වශයෙන් නො ගන්නේ ශ්‍රාමණ්‍යයට (සතර ඵලයටත් ආර්‍ය්‍යශිලාදී අකෛෂශ ධර්‍මස්කන්‍ධ පසටත්) හිමි වෙයි.
සැවැත්නුවරැ වැසි කුල පුත්‍රයෝ දෙදෙනෙක් බොහෝ කලක සිට ඉතා යහළු ව විසූහ. දිනක් ඔවුහු විහාරයට ගොස් බුදුරජානන්ගෙන් බණ අසා, කාමයෙහි කලකිරී ගේ දොර සියල්ල හැර දමා, ගොස් පැවිදි වූහ. පැවිදි වූ තැන් සිට, අවුරුදු පසක් ගුරුන් වෙත ගෙවා, දිනෙකැ පැවිදිවූවහු විසින් පිරියැයුතු ධුර කෙතෙක් දැ’ යි ගුරුන්ගෙන් ඇසූහ. ඔවුහු, ධුර දෙකකැ යි කියා, එහි තොරතුරු ද කීහ. ඉක්බිති විස්තර විසින් විදර්‍ශනාධුරයෙහි හා එසේම ග්‍රන්ථධුරයෙහි තොරතුරු දත් ඒ භික්‍ෂු දෙන ම අතුරෙහි එක් නමක් ‘මට නම්, මේ කියන ග්‍රන්ථධුරය පුරන්නට නො හැකි ය, මම මහල්ලෙක්මි, ග්‍රන්ථධුරය පිරිය යුතු තරුණයන් විසිනි, මට විදර්‍ශනාධුරය නම් පිරිය හැකි ය, මම එය පුරා බලමි’ යි රහත්බව දක්වා එහි සියලු විස්තර අසා ගෙණ, විදර්‍ශනා වඩන්නට පටන් ගත්තේ ය. රෑදාවල් දෙක්හි ම එහි යෙදුනේ, කල් නො යවා ම සිවුපිළිසිඹියාවන් සමග ම රහත් බව ලැබී ය. අනික් භික්‍ෂුන් වහන්සේ ‘මම ග්‍රන්ථධුරය පුරමි’ යි පටන් ගෙණ, පිළිවෙළින් ත්‍රිපිටක බුද්ධවචනය මැනැවින් උගෙණ, තැන තැනැ ධර්‍මදේශනා කරති. උදාත්තස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේ පන්සියයක් භික්‍ෂූන් වහන්සේට බණ ද උගන්වති. එහෙයින් සුත්තන්තිකගණ - වෙනයිකගණ - ආභිධම්මිකගණ ආදී වූ අටළොස් මහාගණයට මහඇදුරුද වූහ උන්වහන්සේ.
මෙ දවසැ බුදුරජානන් වහන්සේ වෙතින් කමටහන් ගත් බොහෝ ගණනක් භික්‍ෂූන් වහන්සේලා, මහලුවියෙහි සිටි ඒ විදර්‍ශක ස්ථවිරයන් වහන්සේ වසන තැනට ගොස්, උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා, රහත් වී තෙරුන් වැඳැ ‘ස්වාමීනි! බුදුරජුන් දකින්නට කැමැත්තම්හ, එයට අපට අවසර දුන මැනැවැ’ යි ඉල්ලා සිටියාහ. එවිට උන්වහන්සේ ‘හොඳයි! යන්න, ගොස්, බුදුරජුන් වැඳැ, අසූ මහාසව්වන් වඳින්න, ඉන් පසු, මාගේ යහළු තෙරුන් වසන තැනට ගොස්, මා වඳිනබව කියා, ඒ තෙරුන්ටත් වඳින්නැ, යි අවසර දුන්හ. ඔවුහු විහාරයට ගොස්, බුදුරජුන් හා අසූ මහාසව්වන් වැඳැ, අනතුරු ව ගුරුවරයාගේ යහළු තෙරුන් වෙත ගොස්, ‘ස්වාමීනි! අපගේ ගුරුවරයා ඔබවහන්සේ වඳී ය’ යි කියා වැන්දාහ. ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ ‘තමුන්නාන්සේලාගේ ගුරුවරයා කවු දැ’ යි ඇසූහ. ‘ඇයි, නො දන්නහු ද?, ඔබවහන්සේගේ යහළුවා, ඒ අපගේ ගුරුවරයා’ යි ඔවුහු කිහිප විටක් ම කීහ. පසු දවසෙකැ ද මේ භික්‍ෂූන් වහන්සේලා ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ කරා ගොස් ‘ අපගේ ගුරුදේවයෝ, ඔබවහන්සේ වඳිත් ය’ යි වැඳැ, නැගී සිටි විට, පළමු සේ ‘ඔබවහන්සේලාගේ ගුරුවර යා කවු දැ’ යි ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ ඇසූහ. එවර ද ‘ඔබ වහන්සේගේ යහළුවා අපගේ ගුරුදේව යා’ යි කීවිට, ‘තමුන්නාන්සේලා ඒ මාගේ යහළුවාගෙන් කුමක් ඉගෙණ ගන්නා ලද ද? තුන් පිටකය? එක් පිටකයක්? නැත, එක් සඟියක්? එක් වගක් වත්’ යි අසා, ‘මොහු එක් ගාථාවක් පමණකුත් නො දනී, පාංශුකූලය ගෙණ, පැවිදි වූ දා සිට කැලයට වැදී සිටියේ ය, අතැවැස්සන් බොහෝ ගණනකුත් ලැබුයේ ය, මෙහි ආවා වේ, ආ විට ප්‍රශ්නයක් දෙකක් අසා බලන්නෙමි’ යි ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ සිතා ගත්හ.
විදර්‍ශක ස්ථවිරයන් වහන්සේ, ටික දවසකට පසු, බුදුරජුන් දකින්නට දෙව්රම් මහවෙහෙරට ගියහ. එහි දී සිය සිවුරු පිරිකර තම යහළු තෙරුන් වසන කාමරයෙහි තබා, බුදුරජුන් වෙත ගොස්, උන්වහන්සේ වැඳැ, අසූ මහසව්වන් වෙත ගොස්, උන් වහන්සේලාත් වැඳැ, පෙරළා යහළු තෙරුන් වසන තැනට ආහ. එවිට ධර්‍මකථික ස්ථවිරයන් වහන්සේ උන් පිළිගෙණ වත් පිළිවෙත් කරවා, අසුනක් පණවා දී සම අසුනක් ගෙණ එහි හිඳැ, “ප්‍රශ්න විචාරන්නෙමි” යි සිතූහ. ඒ අතර බුදුරජානන් වහන්සේ ධර්‍මකථික තෙරුන්ගේ මේ සිතුවිල්ල දැන, ‘මේ ධර්‍මකථිකයා මාගේ පුතු වෙහෙසට පමුණුවා, අපායයෙහි උපදින්නේ ය’ යි ඔහු කෙරෙහි අනුකම්පායෙන් ගඳකිළියෙන් නික්ම විහාරචාරිකාවෙහි හැසිරෙන්නා සේ, ඔවුන් හුන් තැනට ගොස්, පැණ වූ අසුනෙහි වැඩ හුන්හ. භික්‍ෂූන් වහන්සේ නමක් කො තැනැ හුන්න ද, එහි බුදුරජුන් උදෙසා අසුනක් පණවා තැබීම එදා සිරිත වූයේ ය. පණවා තිබූ අසුනෙහි වැඩහුන් බුදුරජානන් වහන්සේ, ධර්‍මකථික භික්‍ෂුනමගෙන් ප්‍රථමද්ධ්‍යානය පිළිබඳ ප්‍රශ්නයක් අසා වදාළ සේක. ඔහු එයට පිළිතුරු දින. නැවැත, ද්විතීයධ්‍යානය මුල් කොට අෂ්ටසමාපත්තීන් රූපාරූපසමාපත්තීන් පිළිබඳ ප්‍රශ්න විචාළ සේක. ඔහු ඒ හැමට පිළිතුරු දුන්නේ ය. නැවැත උන්වහන්සේ, ඔහුගෙන්, සෝවන් මග පිළිබඳ කරුණු ඇසූහ. එහි දී ඔහු නිරුත්තර විය. එයට පිළිතුරු දී ගත නො හැකි විය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ විදර්‍ශකභික්‍ෂූන් අතින් ඒ ඇසූහ. ඔහු එයට නො පැකිළැ පිළිතුරු දින. එවිට උන්වහන්සේ ‘මා පුත් මහා හපනෙක, දුන් පිළිතුරු ඉතා කදිම ය’ යි ස්තුති කොට, සෙසු මග පිළිබඳව ද, ප්‍රශ්න ඇසූහ. ග්‍රන්‍ථිකභික්‍ෂූන් වහන්සේ ඒ එකකට වත් පිළිතුරු නො දුන්හ. විදර්‍ශකභික්‍ෂූන් වහන්සේ ඒ හැම එකක් ම විසඳූහ. එ හෙයින් බුදුරජානන් වහන්සේ ඔහුට සතර තැනක දී සාධුකාර දුන්හ. භූමිගත වූ දෙවියන් පටන් කොට, ලොවැ පුරා සිටි හැම දිව්‍යබ්‍රහ්මාදි සත්වයෝ මහත් සේ සාධුනාද කළහ. එවිට ත්‍රිපිටකධාරී භික්‍ෂූන් වහන්සේගේ අතැවැස්සෝ, ‘බුදුරජානන් වහන්සේ, කිසි හසරක් නො දත් ජරමහල්ලකුට සතර වරක් සාධුකාර දුන්හ, ස්තුති කළහ, පිස්සු වැඩෙක්, බුදුරජුන් විසින් මේ කරණලද්දේ කුමක් ද, සකලපර්‍ය්‍යාප්තිධර වූ, පන්සියයක් භික්‍ෂුන්ට ප්‍රධාන වූ අපගේ ආචාර්‍ය්‍යදේවයන්ට පැසසුම් පමණකුත් නො කළහ’ යි බුදුරජුන්ට දොස් නගන්නට වූහ. එ බව දත් උන් වහන්සේ ‘ඕය්! තමුසේලාගේ ගුරුවරයා, මාගේ මේ සාසනයෙහිලා සැලකිය යුත්තේ, කුලියට ගවයන් රකින්නකු සේ ය, මේ, මා පුත් එසේ නො වේ, තමුන්නාන්සේලාගේ ගුරුවරයා වැන්නෙක් නො වේ, ඔහු තමන් රිසිසේ, කිරි ගිතෙල් ඈ පස්ගෝරසය, කන බොන ගව හිමියකු වැනි ය, තමුසේලාගේ ගුරුවරයා කුලීකාරයෙක්, මා පුත් ගොස්වාමියෙක් ය’ යි වදාරා එම තහවුරු කරන්නට මේ ධර්‍ම දේශනාව. කළ සේක:-
බහුම්පි චෙ සහිතං භාසමානො,
න තක්කරො හොති නරො පමත්තො,
ගොපො ව ගාවො ගණයං පරෙසං,
න භාගවා සාමඤ්ඤස්ස හොති,
අප්පම්පි චෙ සහිතං භාසමානො,
ධම්මස්ස හොති අනුධම්මචාරී,
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං,
සම්මප්පජානො සුවිමුත්තචිත්තො,
අණුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොතී ති.
පමා වූ මිනිස් තෙමේ ත්‍රිපිටකබුද්ධවචනය බොහෝ කොට කියන්නේ නමුත්, නොහොත්, බොහොමයක් වූවත් ත්‍රිපිටකබුද්ධවචනය කියන්නේ නමුත්, ඒ ධර්‍මය අනුව කරන්නෙක් නො වේ නම්, අනුන් අයත් ගෙරින් රක්නා වූ ගොපල්ලකු මෙන් ශ්‍රමණගුණයට හිමි නො වේ.
ස්වලපයක් නමුත් ත්‍රිපිටක බුද්ධවචනය කියන්නා වූ මිනිස් තෙමේ ධර්‍මයට අනුරූප වූ ධර්‍මයෙහි හැසිරෙන සුලු වේ නම්, රාගයද ද්වේෂය ද මෝහය ද පහකොට සිටියා වූ මනා කොට දන්නා වූ මනාව මිදුනු සිත් ඇත්තා වූ මෙලොවැ හෝ පරලොවැ හෝ කිසිවක් නො ගන්නා වූ ඔහු ශ්‍රමණ ගුණයට හිමි වේ.
බහුං අපි චෙ සහිතං භාසමානො = ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ සේ කියන්නේ ද, (නොහොත්) බොහෝ වූ ද ත්‍රිපිටක බුද්ධවචනය කියන්නේ ද නමුත්,
සහිත නම්, බුද්ධවචනය යි. යම් වචනයෙක් ලෞකික ලො කොත්තරාර්‍ත්‍ථයෙන් පුෂ්ටිමත් ව, දෙවියන් සහිත ලෝකයෙහි එකකුත් නො හැර හැම කෙනෙක්හට දෙලොවැ ම එක සේ හැම කල්හි ම හිත පිණිස වේ නම්, ඒය සහිත. බුද්ධවචනය ය එසේ වන්නේ. ලොවැ විසු නොයෙක් ශාස්තෘවරයන් විසින් තම තමන්ගේ නුවණ පමණින්, නොයෙක් බණදහම් දෙසන ලද ය. අප බුදුරජුන් හැර, අන් සියලු ශාස්තෘවරයෝ ම, රාග-දෝස-මෝහාදි වූ කෙලෙසුන්ගෙන් අවුරුණු වැසුනු නුවණැස් ඇත්තෝ ය. එසේ කෙලෙසුන්ගෙන් වැසී ගිය නුවණැස් ඇත්තා වූ ශාස්තෘන් විසින් දෙසූ ධර්‍මය, කිසිකලෙක කිසිලෙසකින් සාර්‍ත්‍ථක නො වේ. එහෙයින් බුදුදහම හැර, අන් දහමක් ‘සහිත’ යන්නෙන් නො ගැණේ.
සියලු බුද්ධවචනය රසවශයෙන් එක් වැදැරුම් ය. ධර්‍ම විනය වශයෙන් දෙ වැදෑරුම් ය. ප්‍රථම-මධ්‍යම-පශ්චිම වශයෙන් හා පිටක වශයෙන් තෙ වැදෑරුම් ය. නිකාය වශයෙන් පස් වැදෑරුම් ය. ධර්‍ම සකන්ධවශයෙන් සූවාසූ දහසක් ය. මේ මෙසේ බෙදූවෝ ප්‍රථම සඞ්ගීතිකාරකමහාක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ය.
එහි, මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ සම්‍යක් සම්බොධියට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවන් පානාතුරු මෙදෑතුර පන්සාළිස් අවුරුද්දක් මුළුල්ලෙහි දෙව් බඹ මිනිස් ඈ හැම සතුනට හිත සැප සාදා දෙනු පිණිස දෙසූ ඒ මේ ධර්‍මය තෙමේ රසවශයෙන් විමුක්ති රසය ම ගැබ් කොට සිටියේ ය.
වෙනසක් නො තබා සියලු ම බුද්ධවචනය, කෙලෙස් හික්මවන බැවින් විනය නම් වූයේ, අවවාදය, අනුසාසනය පරිදි පිළිපදින්නවුන් අපායයෙන් ගලවා ලන බැවින්, අපායයෙන් වළක්වා දරණ බැවින් ධර්‍ම නම් වූයේ ය. “ යන්නුන මයං ආවුසො ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්‍යාම, අහං උපාලිං විනයං පුච්ඡෙය්‍යං ආනන්‍දං ධම්මං පුච්ඡෙය්‍යං” යි ප්‍රථම සංගීතිකාරක මහාක්‍ෂීණාශ්‍රව මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ වදාළෝ එහෙයිනි. මේ, ධර්‍ම විනය වශයෙන් දෙ පරිදි වූ සැටියි.
“අනෙකජාතිසංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවෙසන්තො දුක්ඛාජාති පුනප්පුනං.
ගහකාරක! දිට්ඨොසි පුන ගෙහං න කාහසි,
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං,
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා”
යන මෙය ධම්මපදභාණකයෝ ප්‍රථමබුද්ධවචනය යි කියත්. එහෙත් ඛන්ධකභාණකයෝ කියන්නෝ, ඛන්ධකයෙහි ආ
“යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස,
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො පජානාති සහෙතු ධමමං,
.
යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස,
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො ඛයං පච්චයානං අවෙදී.
.
යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස.
විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො ව ඔභාසයමන්තලික්ඛං”,
යන මේ උදාන ගාථාවෙන් ප්‍රථමබුද්ධවචනය බවය.
පිරිනිවන්පාන කාලයෙහි පරිනිර්‍වාණමඤ්චකයෙහි වැඩ හිඳැ “හන්‍දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යි වදාළ මේ වචනය පශ්චිමබුද්ධ වචන ය ය. මේ පූර්‍ව-පශ්චිමබුද්ධවචනයන්ගේ අතර පන් සාළිස් වසක් මුළුල්ලෙහි වදාළ ධර්‍මය මධ්‍යමබුද්ධවචන නම් මේ. මේ ප්‍රථම, මධ්‍යම, පශ්චිමබුද්ධවචනවශයෙන් තෙ පරිදි වූ සැටි යි.
මෙසේ පූර්‍ව, මධ්‍යම, පශ්චිමවශයෙන් බෙදුනු මේ සියලු ධර්‍මය විනයපිටක-සුත්තන්තපිටක-අභිධම්මපිටක යි තෙ වැදෑරුම් වේ. එහි ප්‍රථමසඞ්ගායනා කාලයෙහි සංගායනා කරන ලද්දා වූ ද සංගායනා නො කරණ ලද්දා වූ ද සියල්ල ම එක් කොට ගත් උභයප්‍රාතිමෝක්‍ෂය, උභයවිභඞ්ගය, හා දෙ විසි ඛන්ධකය, සොළොස් පරිවාරය යන මේ ය විනයපිටක.
පස්වැදෑරුම් වූ පාතිමොකඛුද්දෙස, සත් වැදෑරුම් වූ පාරාජිකාදි ආපත්තික්ඛන්ධ, මාතිකාවිභඞ්ගාදිපභේදනය යන මෙයින් ද, දැඩි කිරීම හා ලිහිල්කිරීම ප්‍රයෝජන කොට ඇති අනුප්‍රඥප්තිනය ඇති බැවින් ද, කායික, වාචසික අධ්‍යාචාර වළකාලීමෙන් කාය වාග් ද්වාරයන් හික්මවන හෙයින් දැ යි මෙසේ නොයෙක් නය ඇති, බැවින් මේ විනය නම් වී ය. මේ ඒ කී සැටි:-
“විවිධවිසෙසනයත්තා - විනයනතො චෙව කායවාචානං,
විනයත්‍ථවිදූහි අයං - විනයො විනයො ති අක්ඛාතො” යි.
විනයපිටකය-ආණාදේසනා, යථාපරාධසාසන, සංවරාසංවරකථා යන නම්වලිනුදු හඳුන්වනු ලැබේ. එහි ‘මේ මෙසේ නො කට යුතු ය’ යන ඈ ලෙසින් ආඥාබාහුල්‍යයෙන් දෙසූ බැවින් ආණාදෙසනා’ යි ද, අපරාධකාරී සත්වයන් අපරාධ පරිදි හික්ම වූ බැවින් යථාපරාධසාසන’ යි ද, අද්ධ්‍යාචාරයනට පටහැනි ව සිටි කුඩා මහත් සංවරය මෙහි ඇතුළත් බැවින් සංවරාසංවරකථා’ යි දැ යි කියත්.
විනය පිටකය ග්‍රන්ථවශයෙන් පාරාජිකපාළි - පාචිත්තියපාළි - මහාවග්ගපාළි - චුල්ලවග්ගපාළි - පරිවාරපාළි යි පසකට බෙදන ලද්දේ ය.
එහි පාරාජික, සංඝදිසෙස, අනියත, නිස්සග්ගියපාචිත්තිය යන කාණ්ඩ සතරෙහි එන එකුන්පණස් ශික්‍ෂාපදයන්ගේ සංග්‍රහය ‘ පාරාජිකපාළි’ නම්. ඉතිරි මහාවිභඞ්ගයෙහි හෙන සුද්ධපාචිත්තිය, පාටිදෙසනීය, සෙඛිය, අධිකරණසමථ යන එක් සිය අට සැත්තෑවක් ශික්‍ෂාපදයන්ගේ සංග්‍රහය ‘ පාචිත්තියපාළි’ නම්. භික්ඛුනීවිභඞ්ගය ද මෙහි ම හෙන්නේ ය. මහාක්ඛන්ධක, උපොසථක්ඛන්ධක, වස්සූපනායිකක්ඛන්ධක, පවාරණක්ඛන්ධක, චම්මක්ඛන්ධක, භෙසජ්ජක්ඛන්ධක, කඨිනක්ඛන්ධක, චීවරක්ඛන්ධක, චම්පෙය්‍යක්ඛන්ධක, කොසම්බකක්ඛන්ධක යන දස වැදෑරුම් වූ මහා ක්ඛන්ධකයන්ගේ සංග්‍රහය ‘ මහාවග්ගපාළි’ නම්. කම්ම, පරිවාසික, සමුච්චය, සමථ, ඛුද්දක, සෙනාසන, සංඝභේද, වත්ත, පාතිමොක්ඛඨපන, හික්ඛුනී, පංචසතික, සත්තසතික යන ඛන්ධයන්ගේ සමූහය ‘ චුල්ලවග්ගපාළි’ නම්. පඤ්ඤත්ති, ආපත්ති, විපත්ති, සඞ්ගහ, සමුට්ඨාන, අධිකරණ, සමථ, සමුච්චය යන අට වැදෑරුම් වූ වාරයන්ගේ හා ප්‍රත්‍යය විශේෂයෙන් නැවත කියූ අට වාරයන්ගේ දැ යි යන සොළොස් පරිවාරයන්ගේ ද භික්‍ෂු විභඞ්ගයෙහි ආ සොළොස් පරිවාරයන්ගේ ද සමූහය ‘ පරිවාරපාළි නම්.
මෙයින් පාරාජිකපාළි-පාචිත්තියපාළිසඞ්ග්‍රහ, උභයවිභඞ්ගයෙන් සංග්‍රහ කරණ ලද ය. එහි උභයවිභඞ්ග නම්, මහාවිභඞ්ග-භික්ඛුනීවිභඞ්ග දෙක ය. එ දෙක අතුරෙහි මහාවිභඞ්ගයෙහි දෙසිය විස්සක් ශික්‍ෂාපදයෝ වෙති. භික්ඛුනීවිභඞ්ගයෙහි තුන්සිය සතරක් ශික්‍ෂාපදයෝ ය. මේ උභයවිභඞ්ගය සූ සැටක් බණවරින් යුක්ත ය. මහාවග්ගපාළි-චුල්ලවග්ගපාළි, ඛන්ධකයන්ගෙන් සංග්‍රහ කරණ ලද ය. ඒ ඛන්ධකයන්ගේ නම් යට කියන ලදී. එය අසූ බණවරක් පමණ වූයේ ය. පස්විසි බණ වරක් පමණ වූයේ ය පරිවාරය.
විනයපිටකයෙහි ලා අධිශීලශික්‍ෂාය, ක්ලේශව්‍යතික්‍රමප්‍රහාණය, දුශ්චරිතසංක්ලේශප්‍රහාණය යන මෙ තුනෙහි ගැබ් වූ කරුණු වදාළෝය බුදුරජානන් වහන්සේ .
දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අඞ්ගුත්තර නිකාය, ඛුද්දක නිකාය යි කොටස් පසකට බෙදුනේ ය සුත්ත පිටකය. මෙසේ කොටස් පසකට බෙදුනු මේ සූත්‍රසමුහය තෙමේ, ආත්මාර්‍ත්‍ථ පරාර්‍ත්‍ථ ලෞකික ලෝකෝත්තරාදිභේදගත වූ හැම අර්‍ත්‍ථයක් පවසන බැවින්, හික්මවියැ හැකි හික්මවියැ යුතු හැම දෙනකුන්ගේ අදහසට අනු ව මොනවට වදාළ බැවින්, පලදෙන ගොයම් ඈ සස්‍යයක් සේ අර්‍ත්‍ථ ප්‍රසවය කරණ බැවින්, කිරි වගුරණ දෙනක සේ අරුත් වගුරණ බැවින්, එසේ පිළිපන්නවුන් මොනවට රකින බැවින්, වඩුවන්ගේ නූල්ගැසීම ( හැරිය යුත්ත හැර, ගතයුත්ත ගෙණ ලීය සැසීමට) පමණ වන සේ නුවණැතියන්ට පමණ වන බැවින්, හූයෙහි ඇවැණු මල් නො විසිරෙන්නා සේ අරුත් නො විසිරෙන බැවින් සූත්‍ර නම් වූයේ ය. මේ ඒ කී සැටි:-
“අත්ථානං සූචනතො - සුවුත්තතො සවනතොථ සුදනතො,
සුත්තාණාසුත්තසභාගතො ච - සුත්තං සුත්තන්ති අක්ඛාතං” යි.
සුත්‍රයපිටකය, වොහාරදෙසනා-යථානුලොමසාසන-දිට්ඨිවිනිවෙඨනකථා යන මෙ නම්වලිනුදු හඳුන්වනු ලැබේ. එහි ව්‍යවහාරබාහුල්‍යයෙන් වොහාරදේසනා යි ද, මෙහි ලා නොයෙක් ආශය, අනුශය, චරිත, අධිමුක්ති ඇති සත්වයෝ අනුශාසනා කරණ ලදහ යි යථානුලෝමසාසන යි ද, දෙසැට මිසදිටුවට පටහැනිව ඒ මිසදිටුවෙන් මිදීම මෙහි පවසන ලදනු යි දිට්ඨිවිනිවෙඨනකථා යි දැ යි කියත්. සූත්‍ර පිටකය ග්‍රන්ථවශයෙන් යට කියූ සේ පසකට බෙදුනේ ය. එහි ප්‍රථමය දීඝනිකාය ය. දීර්‍ඝප්‍රමාණ සූත්‍රයන්ගේ සමූහය හෝ නිවාසය දීඝනිකාය’ නම් වේ. සූත්‍රසූතිසකින් ඝටිත වුයේ වර්‍ගත්‍රයයකින් සෑදුනේ ය.
“චතුත්තිංසෙව සුත්තන්තා තිවග්ගො යස්ස සඞ්ගහො,
එස දීඝනිකායොති පඨමො අනුලොමිකො”
යන මෙයින් ඒ කීහ. සූ සැටක් පමණ බණවරින් පමණ කරණ ලද්දේය, මෙ ය.
පසළොස් වගකින් සංග්‍රහ කරණ ලද එක් සිය දෙ පණස් සූත්‍රයන්ගේ සමූහය මජ්ඣිමනිකාය නම් වේ.
“දියඩ්ඪසතසුත්තන්තා ද්වෙ ච සුත්තානි යත්‍ථ සො,
නිකායො මජ්ඣිමො පඤ්චදසවග්ගපරිග්ගහො”
යි ඒ කීහ. මෙය අසූවක් පමණ බණවරින් පමණ කරණ ලද ය.
දෙවතා සංයුත්තාදිවශයෙන් පැවැති සූත්‍රයන්ගේ සමූහය, සංයුත්තනිකාය’ නම් වේ. එහි සූත්‍ර සත් දහස් පන්සිය දෙ සැටෙක් ඇත්තේ ය. සියයක් පමණ බණවරින් පමණ කරණ ලද ය.
“සත්තසුත්තසහස්සානි සත්තසුත්තසතානි ච,
ද්වාසඨි චෙ ව සුත්තන්තා, එසො සංයුත්තසඞ්ගහො”
යි ඒ කීහ.
එක්සිය විසි බණවරින් පමණ ඇති නව දහස් පන්සිය සත් පණසක් සූත්‍රයන්ගේ සමූහය, අඞ්ගුත්තරනිකාය’ නම් වේ.
“නවසුත්තසහස්සානි පංචසුත්තසතානි ච,
සත්තපඤ්ඤාසසුත්තන්තා සංඛ්‍යා අංගුත්තරෙ අයං”
යි ඒ කීහ.
මේ කියූ නිකාය සතර හැර, අනික් සියලු බුද්ධවචන, බුද්දක නිකාය’ යි ගණිත්. විනයපිටකය හා අභිධර්‍මපිටකයත් ඛුද්දකපාඨ ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධ වංස, චරියාපිටක, යන ග්‍රන්ථ පසළොසත් බුද්දකනිකායයෙහිලා ගණිත්. ඒ කීහ මෙසේ:-
“ඨපෙත්‍වා චතුරොපෙතෙ නිකායෙ දීඝ ආදිකෙ,
තදඤ්ඤං බුද්ධවචනං නිකායො බුද්දකො මතො”
යි සූත්‍ර පිටකයෙහිලා අධිචිත්තශික්‍ෂාය, කෙලශයන්ගේ පර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය, ක්ලේශයන්ගේ විෂ්කම්භණප්‍රහාණය යන මේ ධර්‍ම වදාළෝය බුදුරජානන් වහන්සේ.
ධම්මසඞ්ගණිප්පකරණය, විහඞ්ගප්පකරණය, ධාතුකථාප්පකරණය, පුග්ගලපඤ්ඤත්තිප්පකරණය, කථාවත්‍ථුප්පකරණය, යමකප්පකරණය, පට්ඨානප්පකරණය යි කොටස් සතකට බෙදුනේ ය අභිධර්‍මපිටක ය. මෙසේ ප්‍රකරණ විසින් කොටස් සතකට බෙදුනු මේ ධර්‍මූහය තෙමේ වැඩීමට ගිය ධර්‍ම, ලක්‍ෂණ සහිත වූ ධර්‍ම, පුදන ලද ධර්‍ම, පිරිසිඳින ලද ධර්‍ම, අධිකධර්‍ම පවසන බැවින් අභිධර්‍ම, නම් වූයේ ය. මේ ඒ කී සැටි:-
“යං එත්‍ථවුද්ධිමන්තො - ස ලක්ඛණා පූජිතා පරිච්ඡින්නා,
වුත්තාධිකා ච ධම්මා - අභිධම්මො තෙන අක්ඛාතො”
අභිධර්‍ම පිටකය, පරමත්ථදේසනා, යථාධම්මසාසන, නාමරූප පරිච්ඡේදකථා යන නම්වලිනුදු හඳුන්වනු ලැබේ. එහි පරමාර්‍ත්‍ථධර්‍ම බාහුල්‍යයෙන් දෙසූ බැවින් ‘ පරමත්‍ථදෙසනා’ යි ද, ශුද්ධසංස්කාරයන් කෙරෙහි අහඞ්කාර මමංකාර ඇති සත්වයන්, ඇති තතු කියා පෑමෙන් හික්ම වූ බැවින් ‘ යථාධම්මසාසන’ යි ද, රාගාදි සංක්ලේශ ධර්‍මයන්ට පටහැනි වූ නාමරූපපරිච්ඡෙදය දෙසූ බැවින් ‘ නාමරූප පරිච්ඡේදකථා’ යි දැ යි කියත්.
අභිධර්‍මපිටකයෙහි ප්‍රථම ප්‍රකරණය වූ ධම්මසංගණිප්පකරණය තෙමේ චිත්ත-රූප-නික්ඛෙප-අත්ථුද්ධාරවිභත්ති යි විභක්ති සතරකින් බෙදන ලද ය.
අනතුරු ව වදාළ විභඞ්ගප්පකරණය, ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - ඉන්ද්‍රිය - පටිච්චසමුප්පාද - සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - බොජ්ඣංග - ඣාන - මග්ග - අප්පමඤ්ඤා - සික්ඛාපද - පටිසම්භිදා - ඤාණ - ඛුද්දකවත්‍ථු - ධම්මහදයවිභඞ්ග යි විභඞ්ග අටළොසකින් ප්‍රමාණ කරණ ලද ය.
ධාතුකථාප්පකරණය, සඞ්ගහො - අසඞ්ගහො- සඞ්ගහිතෙන අසඞ්ගහිතං - අසඞ්ගහිතෙන සංගහිතං - සඞ්ගහිතෙන සඞ්ගහිතං - අසඞ්ගහිතෙන අසඞ්ගහිතං - සම්පයොගො - විප්පයොගො - සම්පයුත්තෙන විප්පයුත්තං - විප්පයුත්තෙන සම්පයුත්තං - සම්පයුත්තෙන සම්පයුත්තං - විප්පයුත්තෙන විප්පයුත්තං - සඞ්ගහිතෙන සම්පයුත්තං විප්පයුත්තං - විප්පයුත්තෙන සඞ්ගහිතං අසංගහිතං යන තුදුස්නය ලෙසින් බෙදන ලද්දේ ය.
පුග්ගලපඤ්ඤත්තිප්පකරණය, ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - ඉන්ද්‍රිය - පුග්ගලපඤ්ඤත්ති යි ෂඩ්විධ ප්‍රඥප්තීන් විසින් බෙදන ලද්දේ ය.
කථාවත්ථුප්පකරණය, සකවාදයෙහි ලා සූත්‍ර පන් සියයෙක, පරවාදයෙහි ලා සූත්‍ර පන්සියයෙකැ යි සූත්‍ර දහසක් එක් තැන් කොට ගෙණ බෙදන ලද්දේ ය.
යමකප්පකරණය, මූල - ඛන්ධ - ආයතන - ධාතු - සච්ච - සඞ්කාර - අනුසය - චිත්ත - ධම්ම - ඉන්ද්‍රියයමකයි දසකොටසකින් බෙදුනේය.
පට්ඨානප්පකරණය, හේතු - ආලම්බන - අධිපති - අනන්තර - සමනන්තර - සහජාත - අඤ්ඤමඤ්ඤ - නිස්සය - උපනිස්සය - පුරේජාත - පච්ඡාජාත - ආසේවන - කර්‍ම - විපාක - ආහාර - ඉන්ද්‍රිය - ඣාන - මග්ග - සම්පයුත්ත - විප්පයුක්ත - අත්ථි - නත්ථි - විගත - අවිගතප්පච්චය යි සූවිසි ප්‍රත්‍යයයකින් බෙදුනේ ය.
අභිධර්‍මපිටකයෙහිලා බුදුරජානන් වහන්සේ අධිප්‍රඥාශික්‍ෂාය, ක්ලේශයන්ගේ අනුශයප්‍රහාණය, සමුච්ඡෙදප්‍රහාණය, දෘෂ්ටිසංක්ලේශප්‍රහාණය යන මේ වදාළ සේක.
විනයාදිශබ්දත්‍රය හා එක් වූ පිටකශබ්දය පර්‍ය්‍යාපති-භාජන යන දෙයරුත කියන්නේ ය. එහිලා ඒ අරුත් කියන්නේ ම විනය-සුත්ත-අභිධම්මශබ්දයන් හා වෙන් වෙන් ව යෙදී සිටියේ ය. “ විනයො ච සො පිටකං ච = විනයපිටකං, සුත්තංච තං පිටකං ච = සුත්තපිටකං, අභිධම්මො ච සො පිටකං ච = අභිධම්මපිටකං” යනු ඒ එක්වන සැටි ය. පහත දැක්වෙන ගයින් කීවෝ පිටක ශබ්දය, විනයාදිශබ්ද තුන හා එක්කරන්නට ය.
“පිටකං පිටත්‍ථකවිදූ - පරියත්තිභාජනත්‍ථතො ආහු,
තෙන සමොධානෙත්‍වා - තයො පි විනයාදයො ඤෙය්‍යා”
ත්‍රිපිටකයෙහි ලා දතයුතු පර්‍ය්‍යාප්ති තුනෙක් අලගද්දපරියත්ති - නිස්සරණපරියත්ති - භණ්ඩාගාරිකපරියත්ති යන නමින් ආයේය.
“සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො අලගද්දත්‍ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො, සො පස්සෙය්‍ය මහන්තං අලගද්දං, තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණේහය්ය, තස්ස සො අලගදේදා පරිවත්තිත්‍වා හත්‍ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞේග ඩසෙය්‍ය, සො තතො නිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං, තං කිස්ස හෙතු?, දුග්ගහිතත්තා භික්ඛවෙ! අලගද්දස්ස, එවමෙව ඛො භික්ඛවෙ! ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති සුත්තං -පෙ- වෙදල්ලං තෙ තං ධම්මං පරියාපුණිත්‍වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්‍ථං න උපපරික්ඛන්ති, තෙසං ධම්මා පඤ්ඤාය අත්‍ථං අනුපපරික්ඛතං න නිරඣානං ඛමන්ති, තෙ උපාරම්භානිසංසා චෙ ව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච, යස්ස ච ත්‍ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්‍ථං නානුභොන්ති, තෙසං තෙ ධම්මා දුග්ගහීතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති, තං කිස්ස හෙතු? දුග්ගහීතත්තා භික්ඛවෙ! ධම්මානං” යි වදාළ බැවින් අර්‍ත්‍ථ වරදවා ගන්නා ලද අනුනට ගැරහීමේ අනුන් ඔබා ගැණීමේ හේතුවෙන් පුරුදු පුහුණු කළ පර්‍ය්‍යාප්තිය, තමහට එලොවැ මෙලොවැ දෙකෙහි අහිත පිණිස අවැඩපිණිස දුක්පිණිස පවත්නා බැවින් අලගද්දපරියත්ති යි ගත යුතු ය.
සර්‍පයකු අල්ලා ගන්නේ, සර්‍පයාගේ සිරුරෙන් හෝ නගුටෙන් අල්ලා ගත්තේ නම්, සර්‍ප තෙමේ ආපසු හැරී ඔහුගේ අත් පා ආදි යම්කිසි අවයවයක් දෂ්ට කරන්නේ ය. එයින් ඔහු මරණයට හෝ මරණය තරම් දුකට පැමිණෙන්නේ ය. එසේ වන්නේ සර්‍පයා අල්ලා ගතයුතු ලෙසට නො අල්ලා ගෙණ වැරදි ලෙසට අල්ලාගත් බැවිනි. එ මෙන් මේ සස්නෙහි යම්කිසි පැවිද්දෙක් බුදු දහම් පුහුණු කරන්නේ උගන්නේ ලාභසත්කාරාදිය උපදවා ගෙන ප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන්නෙමි යි සිතා හෝ අනුන් මැඩ ඔබා ගෙන සිටින්නෙමි යි සිතා හෝ අනුන් හා වාද කොට ජය ගෙණ වසන්නෙමි යි සිතා හෝ පුහුණු කෙරේ ද, උගන්නේ ද, ඔහු එසේ සිතා පුහුණු කළ උගත් ඒ ධර්‍මය ඔහුට අහිතපිණිස අවැඩපිණිස දුක් පිණිස වන්නේ ය. ශීලපුරණාදි වශයෙන් ධර්‍මයෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ඔහුට නො ලැබේ. මෙසේ වන්නේ වැරදි අදහස් ඉදිරිපත් කොට බුදුදහම් පුහුණු කළ බැවිනි. වැරදි අදහස් ලාමක අදහස් ඉදිරිපත් කොට උගත් ධර්‍මය උගත්තහුට කිසිසේත් හිත පිණිස නො පවත්නේ ය. මේ ය, ‘අලගද්ද පරියත්ති’.
යමෙක් සිවුපසය ලබන්නෙමි යි හෝ සිවු පිරිස් මැද උසස් තැනක් ගන්නෙමි යි හෝ, ලාභසත්කාර උපදවන්නෙමි යි හෝ, බුදුදහම් පුහුණු කෙරේ ද, මේ අදහස් ඇති ව බුදුදහම් ඉගෙණීම, පුහුණු කිරීම සර්‍පයකු වරදවා අල්ලා ගැණීම සේ, අහිතකර බැවින්, බිහිසුණු බැවින් ‘අලගද්දපරියත්ති’ යි මැදුම්සඟි අටුවාවේ කියන ලද්දේ ය.
යම් පර්‍ය්‍යාප්තියක් තොමෝ ශීලාදිගුණධර්‍මයන්ගේ වැඩීම පිරීම ම කැමැති වන්නහු විසින් අරුත් නො වරදවා මොනවට උගන්නා ලද ද, අනුනට ගැරහීම් ආදිය පෙරටු කොට නො උගන්නා ලද ද සසරින් මිදීම ම ප්‍රයෝජන කොට ඇති මේ පර්‍ය්‍යාප්තිය ‘නිස්සරණපරියත්ති’ නම්.
දන්නා ලද ස්කන්ධ ඇති ප්‍රහීණ කළ කෙලෙස් ඇති වැඩූ මාර්‍ග ඇති ප්‍රතිවේධ කළ අර්‍හද්ඵල ඇති ප්‍රත්‍යක්‍ෂ කළ නිරෝධය ඇති ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හුදෙක් ප්‍රවෙණිපාලනය පිණිස වංශරක්‍ෂණය පිණිස යම් ධර්‍මයක් පුහුණු කෙරේ ද, ඒය ‘භාණ්ඩාගාරිකපරියත්ති’.
විනයෙහි සුපිළිපන් මහණ තෙමේ ශීලසම්පත්තිය නිසා පුබ්බෙනිවාසානුස්සති-දිබ්බචක්ඛු - ආසවක්ඛයකරඤාණ යන ත්‍රිවිද්‍යාවන්ට පැමිණේ. සූත්‍රයෙහි සුපිළිපන් මහණ තෙමේ සමාධි සම්පත්තිය නිසා ඉද්ධිවිධ - දිබ්බසෝත - පරචිත්තවිජානන - පුබ්බෙනිවාස - දිබ්බචක්ඛු - ආසවක්ඛයකරඤාණ යන ෂට් අභිඥාවන්ට පැමිණේ. අභිධර්‍මයෙහි සුපිළිපන් මහණ තෙමේ ප්‍රඥාසම්පත්තිය නිසා අර්‍ත්‍ථ-ධර්‍ම- නිරුක්ති-ප්‍රතිභාණ යන සිවු පිළිසිඹියාවන්ට පැමිණේ.
විනයයෙහි දුපිළිපන් මහණ තෙමේ බුදුරජුන් විසින් අනුදන්නා ලද සැප එළවන පහසින් යුත් ආස්තරණපාපුරණාදීන් ගේ සැප පහසුකම සාධාරණත්වයෙන් ගෙණ උන්වහන්සේ විසින් වළකන ලද, මගින් මගසෙවීම් ආදියෙන් හට ගන්නා (උපාදින්න වස්තුගෙන් හට ගන්නා) පහසවියයයෙහි ද නිවරද ඇදහීම් ඇත්තේ ශීලවිපත්තියට ද පැමිණේ.
අරිට්ඨභික්‍ෂු තෙමේ ‘ගිහියෝ වනාහි පස්කම්සැප හිත කට පුරා විඳින්නෝ ම සෝවන් සෙදගැමි අනගැමි වෙති, මහණෝ ද මනවඩන රූප, සිත් ගත් ශබ්ද, සිරුර පොපියන සුවඳ, නහර පිණවන රස, මොළොක් පහස විඳින්නෝ ය, ඒ එසේ නම්, මහණහුට ඒ සුදුසු නම්, ස්ත්‍රීන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්‍ශ නො වටනේ කුමක් නිසා ද, එ ද මහණහුට වටනේ ය යි නිරවද්‍ය ප්‍රත්‍යයපරිභෝගය හා සාවද්‍ය කාමගුණපරිභෝගරසය සංසන්දනය කොට සමාන කොට සලකා සච්ඡන්දරාගපරිහොගය හා නිච්ඡන්ද පරිභෝගය හා එකක් කොට ගෙන දළවැහැරි හා ඉතා සියුම් හුයක් ගටන්නා සේ, ගළපන්නා සේ අබැටක් හා මහමෙර සම කරන්නා සේ, ලාමක දෘෂ්ටියක් ගෙණ බුදුරජුන් විසින් මහමුහුද බඳින්නා සේ මහත් වෑයමකින්, ප්‍රථමපාරාජිකාව පණවන ලද්දී ය, එහෙත් එහි දොසෙක් නැතැ යි සර්‍වඥතාඥානයට පටහැනි ව ආර්‍ය්‍යමාර්‍ගයෙහි කණුකටු හෙලමින් මෙවුන්දම් සෙවුමෙහි වරද නැතැ’ යි ජිනවක්‍රයට පහර දුන්නේ ය. “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙ මෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායාය” යනු පොතෙහි ආ සැටියි.
මේ අරිට්ඨභික්‍ෂු තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ ය. ධර්‍මකථික ය. එහෙත් විනයයෙහි අදක්‍ෂය. එහෙයින් කමී-කෙලශ විපාක-උපවාද-ආඥාව්‍යතික්‍රම යන පස් වැදෑරුම් අන්තරායිකයන් අතුරෙන් ඔහු ද න් කර්‍ම-ක්ලේශ-විපාක-උපවාද යන සතර පමණ ය. විනයයෙහි අදක්‍ෂ බැවින් ව්‍යතික්‍රමාන්තරාය ඔහු නො දනියි. එහෙයින් ම ය ඔහු මෙසේ සිතුයේ.
සුත්‍රයෙහි දුපිළිපන් මහණ තෙමේ “චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? අත්තහිතාය පටිපන්නො හොති නො පරහිතාය, පරහිතාය පටිපන්නො හොති නො අත්තහිතා ය” යනාදි තැන්හි බුදුරජානන් වහන්සේගේ අදහස් නො දන්නේ, මිථ්‍යාදෘෂ්ටියට බැස ගත්තේ ය.
බුදුරජුන්ගේ දේශනාව සම්මුති-පරමත්ථ විසින් දෙපරිදි ය. පුග්ගලො, සත්තො, ඉත්‍ථි, පුරිසො, යනාදිය සම්මුතිදේසනා ය. ඛන්‍ධා, ධාතුයො, ආයතනා, සතිපට්ඨානා යනාදිය පරමත්ථ දේසනා ය. සම්මුතිවසයෙන් කළ දේසනාව අසා නිර්‍වාණාධිගමය කරණුවන් සඳහා ය සම්මුතිදේසනාව. පරමත්ථවසයෙන් කළ දේසනාව අසා නිර්‍වාණාධිගමය කරණුවන් සඳහා ය, පරමත්‍ථදේසනාව.
මෙසේ උන්වහන්සේගේ අදහස් නො දන්නේ තමන් ගත් මිථ්‍යාදෘෂ්ටිය නිසා උන්වහන්සේට ගර්‍හා කරන්නේ ය. තමාගේ කුසලමූලය ද සාරා දමයි. බොහෝ අකුසල් රැස් කරයි. එයින් ඔහු අපායයෙහි හෙන්නේ ය.
අභිධර්‍මයෙහි දුපිළිපන් මහණ තෙමේ දහම් තතු සිතීමෙහි පමණ ඉක්මවා යෑමෙන් නො සිතිය යුතුදේ සිතයි. එයින් හෙතෙමේ චිත්තවික්‍ෂේපයට පැමිණෙයි. “චත්තාරි’මානි භික්ඛවෙ! අචින්තෙය්‍යානි න චින්තෙතබ්බානි, යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’ යනු එහි සාධක වචන යි.
මෙසේ මේ පිටකයන්හි දුපිළිපන් මහණ තෙමේ පිළිවෙළින් දුසිල් බව, මිසදිටුව, සිත්විකෙව්බව යන විපතට පැමිණෙන්නේ ය. මේ පිටකවශයෙන් ද තෙපදිරි වූ සැටියි. නිකායවශයෙන් බෙදුනු සැටි යටැ කියූ සේ දන්න.
මේ කියනු ලබනුයේ අඞ්ගවශයෙන් බෙදුනු සැටි යි. එහි සකල බුදධවචනය තෙමේ සුත්ත-ගෙය්‍ය-වෙය්‍යාකරණ-ගාථා-උදාන-ඉතිවුත්තක-ජාතක-අබභූතධම්ම-වෙදල්ල යි නවයකට බෙදුනේ ය.
සුත්ත නම්, උභතොවිභංග, චූලනිද්දෙස, මහානිද්දෙස, ඛන්ධක, පරිවාර, මඞ්ගල, රතන, නාලක, තුවටකසූත්‍ර හා මින් අන්‍ය වූ සූත්‍ර නාමයෙන් ආ බුද්ධවචන යි.
ගෙය්‍ය නම්, සියලු ගාථා සහිත සූත්‍ර සමූහය ය. විශේෂ විසින් සංයුක්ත නිකායයෙහි එන සගාථකවර්‍ගය ගෙය්‍ය නම්.
වෙය්‍යාකරණ නම්, අභිධර්‍ම පිටකය හා නිර්‍ගාථක සූත්‍ර සමූහය යි. මේ කියූ නවඟින් සංග්‍රහ නො කළ අන්‍ය වූ යම් බුද්ධවචනයෙක් වේ නම්, ඒ ද වෙය්‍යාකරණ යි.
ගාථා නම්, ධම්මපද, ථෙරගාථා, ථෙරීගාථා, හා සුත්‍ර නිපාතයෙහි සූත්‍ර නාම විරහිත වූ සුද්ධිකගාථා ය.
උදාන නම්, සොම්නස් හා පැවැති ඤාණයෙන් උපන් ගාථාවන් ගෙන් යුත් දෙයසූවක් සූත්‍ර ධර්‍ම යි.
ඉතිවුත්තක නම්, ‘වුතතං හෙතං භගවතා’ යන ඈ නයින් පැවැති එක්සිය දොළොසකින් ප්‍රමාණ කරණලද සූත්‍ර ධර්‍ම යි.
ජාතක නම්, අපණ්ණකජාතකය මුල් කොට ඇති පන්සිය පණස් ජාතකකථා ය.
අබ්භූතධම්ම නම්, “චත්තාරො’මෙ භික්ඛවෙ! අච්ඡරියා අබ්භූතාඨම්මා ආනන්‍දෙ’ යන ඈ නයින් පැවැති සියලු ම ආශ්චර්‍ය්‍යාද්භූතධර්‍මප්‍රතිසංයුක්තසුත්‍ර ධර්‍ම යි.
වෙදල්ල නම්, චූල්ලවෙදල්ල, මහාවෙදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සඞ්ඛාරභාජනීය, පුණ්ණමසුත්‍රාදී වූ නුවණත් සතුටත් ලබ ලබා විචාරණ ලදු ව වදාළ සියලු ම සූත්‍රධර්‍ම යි. මේ අඞ්ගවශයෙන් බෙදූ සැටි යි.
ධර්‍මසකන්ධවශයෙන් සකලබුද්ධවචනය සුවාසූ දහසකට බෙදුනේ ය. ගොපකමෞද්ගල්‍යායනයන් විසින් ‘ආනන්ද! තමුන්නාන්සේගේ බහුශ්‍රැතභාවය බුදුසසුනෙහි ඉතා ප්‍රකට ය, බුදුරජුන් විසින් දේශනා කරණ ලද කෙතෙක් ධර්‍මයෝ නුඹ වහන්සේ විසින් දරණ ලද්දෝ දැ?” යි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ,
“ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භිකඛුතො,
චතුරාසීතිසහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො”
යන මෙහි දැක්වෙන ලෙසින් ධර්‍මස්කන්ධයන්ගේ වශයෙන් සුවාසූ දහසෙක් වේ. එහි එක් අනුසන්ධියක් ඇති සතිපට්ඨාන සූත්‍රාදිය එක් ධර්‍මස්කන්ධයෙක් වේ. සතිපට්ඨාන සූත්‍රය “එකායනො අයං භික්ඛවෙ! මග්ගො සත්තානං විසුද්ධියා” යනාදීන් මුල සිට අවසානය තෙක් සතර සතිපට්ඨානයන්ගේ විභාගය දැක්වීම් වශයෙන් පැවැති බැවින් එකානුසකන්‍ධික යි කියනු ලැබේ. නොයෙක් අනුසන්ධි ඇති මහාපරිනිර්‍වාණ සූත්‍රාදී වූ යම් සූත්‍ර ධර්‍මයෙක් වේ නම්, එහි අනුසන්ධිවශයෙන් ධර්‍මස්කන්ධයන්ගේ ගිණීම වේ. පරිනිර්‍වාණ සූත්‍රය නොයෙක් ධර්‍ම දේශනාවන්ගේ වශයෙන් අනෙකානුසන්ධික වේ. ගාථාබන්ධයන්හි එන ‘කති ඡින්‍දෙ” යනාදී වූ ලෙසින් ආ එක් ප්‍රශ්න විචාරීමෙක් එක් ධර්‍මස්කන්ධයෙක් වේ. එසේ ම එක් ප්‍රශ්න විසඳුමෙක් එක් ධර්‍මස්කන්ධයෙක් වේ.
අභිධර්‍මයෙහි එක් එක් තික දුක භාජනයෙක් ද, එක් එක් චිත්තවාරභාජනයෙක් ද එක් එක් ධර්‍මස්කන්ධයෙක් වේ.
විනයයෙහි සුදින්නකාණ්ඩාදිවත්ථු ඇත. “යො පන භික්ඛු භික්ඛූනං සික්ඛා සාජීවසමාපන්නො” යනාදීන් ඒ ඒ අද්ධ්‍යාචාර නිමිති කොට පැණ වූ ශික්‍ෂාපදමාතෘකා ඇත. “ යො පනාති යො යාදිසො” යනාදි ලෙසින් ආ ශික්‍ෂාපද බෙදුම් ඇත . “පටිලාතං උක්ඛිපති ආපත්ති දුක්කටස්ස” යනාදීන් පැණ වූ අන්තරාපත්ති ඇත. “අනාපත්ති අජානන්තස්ස” යනාදී ලෙසින් ආ අනාපත්ති වාර ඇත. ‘දසාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං වෙමතිකො නිස්සග්ගියං පාචිත්තියං, අනතික්කන්ත සඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං” යනාදී ලෙසින් ආ තිකපරිච්ඡේද ඇතැ’ යි වදාළ එක් එක් කොටස එක් එක් ධර්‍මස්කන්ධයෙක් වේ. ධර්‍මස්කන්ධයන්ගේ වශයෙන් මේ කියූ සැටියි.
‘දෙයාසූ දහසක් ධර්‍මස්කන්ධ බුදුරජුන් වෙතින් ගතිමි, දෙදහසක් ධර්‍මස්කන්ධ ශාරීපුත්‍රාදීභික්‍ෂුන් වෙතින් ගතිමි, යම් ධර්‍මකෙනෙක් මා ලෙහි පවත්නෝ ද, ඒ ධර්‍මයෝ අසූසාර දහසෙකැ’ යි යනු “ද්වාසීතිං බුද්ධෙතා ගණ්හිං” යනාදි ගාථාවේ කෙටි තේරුම ය.
බුදුරජානන් වහන්සේ ධරමාණකාලයෙහි උගත් ධර්‍මස්කන්ධයගේ වශයෙනි මේ කියනලද්දේ. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු, ආනන්දස්ථවිරයන් වහන්සේ විසින් දෙසූ සුභසූත්‍රය, ගොපක මොග්ගල්ලායනසූත්‍රය, මොග්ගලීපුත්ත ස්ථවිරයන් වහන්සේ දෙසූ කථාවස්තුප්‍රකරණය යන මොවුන්ගේ වශයෙන් ගිණූ කල්හි ධර්‍ම ස්කන්ධසඞ්ඛ්‍යාව සුවාසූදහසට වැඩි වේ.
සහිත නම් වූ බුද්ධවචනය, දක්‍ෂ වූ ගුරුන් ඇසුරු කොට, ක්‍රම නො වරදවා මැනැවින් උගෙණ උද්දෙස-පරිපුච්ඡාදීන්ගේ වශයෙන්, උපනිසින්නකකථා වශයෙන්, භුක්තානුමෝදනා වශයෙන්, ධර්‍මදේශනාවශයෙන් යන ඈ ලෙසින් කියන කියවන තැනැත්තේ භාසමාන, නම්.
අපි, චෙ’ යනු, නිපාත යි. එහි අපි’ යන්න සම්භාවනා - ගරහා - අපෙක්ඛා - සමුච්චය- පඤ්හ -සංවරණ යනාදි වූ අර්‍ත්‍ථයන්හි හෙන්නේ ය. “අපි සබ්බෙසු කාමෙසු රතුං සො නාධිගච්ඡති?” යනාදි තැන්හි සම්භාවනායෙහි ද, “අම්හාකම්පි පණ්ඩිතකා” යනාදි තැන්හි ගර්‍හායෙහි ද, “ අයම්පි ධම්මො අනියතො” යනාදි තැන්හි අපේක්‍ෂායෙහි ද, “ඉති පි අරහං” යනාදි තැන්හි සමුච්චයෙහි ද, “අපි භන්තෙ භික්ඛං අලභිත්‍ථ” යනාදි තැන්හි ප්‍රශ්නයෙහි ද, “අපිධානං” යනාදි තැන්හි සංවරණයෙහි ද වැටේ. මෙහි ආයේ අපේක්‍ෂායෙහි ය. සමුච්චයෙහිලා ගත ද වරද නැත. චෙ’ යනු කියන ලදී.
න තක්කරො හොති නරො පමත්තො = පමා වූ මිනිස් තෙමේ ඒ දහම් අනු ව නො කරන්නේ වේ. (නම්).
පමත්තො නරො තක්කරො න හොති, යන පද පිළිවෙළින් අරුත් ගන්නේ ය. යමෙක් සිල්වත් ව සිට, බණදහම් මොනවට ඉගෙණ, අනුනට කියතත්, කියවතත්, තෙමේ ඒ වූ ලෙස පිළිවෙත් නො පුරන්නේ, කුකුළකු පියා පහරණ පමණ කලකුත්, සංස්කාර ධර්‍මයන් පිළිබඳ අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන ඇති තතු නුවණින් මෙනෙහි නො කරන්නේ පමත්ත, නම්. [1] ඔහු, ත්‍රිපිටක බුද්ධවචනය බොහෝ කොට ඉගෙණ අනුනට කියමින්, උගන්වමින් සිටියේ ද, බණදහම් දැන උගත්තහු විසින් කළයුතු භාවනානුයෝගාදී වූ කිසිවකුත් නො කරන්නේ නම්, බණදහම් අනු ව නො පිළිපදනේ නම්, අනිත්‍යාදිවශයෙන් යෝනිසෝමනසිකාරය නො පවත්වන්නේ නම්, යන අරුත් ‘න තක්කරො හොති’ යන පදත්‍රයයෙන් කියවෙන්නේ ය.
ගොපා ඉව ගාවො ගණයං පරෙසං = අනුන්ගේ ගෙරින් රක්නා ගොපල්ලකු මෙන්,
“පරෙසං ගාවො ගණයං ගොපො ඉව” යනු පද පිළිවෙළය. පමා වූ මිනිසා, අනුන්ගේ ගෙරි රක්නා ගොපල්ලකු වැනි බව ය, මෙයින් වදාළෝ. කුලියට අනුන්ගේ ගෙරින් රක්නා ගොපලු තෙමේ, උදය සිට කවමින්, පොවමින්, නාවමින් ගෙරින් රැක, සවස ගෙණවුත් ගෙරින් අයිතිකරුට උන් පාවා දී දවස් කුලිය ගෙණ යන්නේ නමුදු ගෙරින් පිළිබඳ පස්ගොරසයට හිමි නො වේ. දවස්කුලිය පමණක් ම ය ලබන්නේ. එ මෙන් මේ පමා වූ මිනිසා, ඉගැණුම් පමණට අතවැස්සන්ගෙන් වත් පිළිවෙත් පමණක් ම ලබන්නේ ය. යන්තම් සැලකුමක් ලබන්නේ ය. ගොපොල්ලා ලබන කුලිය වැනිය මේ උගතා ලබන සැලකුම්.
න භාගවා සාමඤ්ඤස්ස හොති = ශ්‍රමණ ගුණයට හිමි නො වේ.
යමෙක්, කො තරම් සිල්වත් වුව ද, කො තරම් උගතකු වුව ද, කො තරම් බණ කියුව ද, කො තරම් බණ ඉගැන්නුව ද, බණ ලෙසින් නො ද පිළිපදනේ නම්, භාවනායෙහි නො ද යෙදුනේ නම්, අනිත්‍යාදිවශයෙන් යෝනිසෝමනසිකාරය නො ද පවත්වා නම්, කුකුළකු පියා පහරණ පමණ කලකුත්, සංස්කාරධර්‍මයන් පිළිබඳ අනිත්‍යාදී වූ ලකුණු නො බලා නම් ඔහු ශ්‍රමණගුණයට, මොන ලෙසකිනුත් හිමි නො වේ ය යනු වදාළෝ ය මෙයින්. එහෙත්, ගොහිමියන් පස්ගෝරස වලඳා සුඛිත මුදිත වන්නා සේ, මොහු කියූ බණ අසා, ඒ අනුව පිළිවෙත් පුරන්නෝ , ධ්‍යානාභිඥා මාර්‍ගඵල ලබා සුඛිත මුදිත වෙති.
සාමඤ්ඤස්ස, යන්නෙන් කියූයේ සෝවන් ආදී වූ මගපල අට ය. [2] අවිශේෂයෙන් එසේ කියූව ද, එහි පරමාර්‍ත්‍ථ විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය සාමඤ්ඤ, නම් වේ. සෝතාපත්තිඵල-සකදාගාමීඵල-අනාගාමීඵල-අරහත්තඵල යන ආර්‍ය්‍යඵල සාමඤ්ඤඵල’ නම් වේ. මේ ය සූත්‍ර ය:- “කතමං ච භික්ඛවෙ! සාමඤ්ඤං?, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථීදං?, සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි, ඉදං වුච්චති භික්ඛවෙ! සාමඤ්ඤං, කතමං ච භික්ඛවෙ! සාමඤ්ඤ ඵලං?, සෝතාපත්තිඵලං -පෙ- අරහත්තඵලන්ති.”
මෙහි මේ ප්‍රථම ගාථාව දෙසන ලද්දී, අනිත්‍යාදි වශයෙන් යෝනිසෝමනසිකාරයෙහි ප්‍රමත්ත වූ බොහෝ බණ දහම් දැනුම් ඇති සිල්වත් භික්‍ෂුනම ඉදිරිපත් කොට ය.
අප්පං අපි චෙ සහිතං භාසමානො = බුද්ධවචනය සවල්පයක් නමුත් (උගෙණ) කියන මිනිස් තෙමේ.
ධම්මස්ස = ධර්‍මයට
මාර්‍ග-ඵල සතර හා නිවණ යන නවලොවුතුරා දහම හා, ඒ ලැබුමට මග පෙන්වන ත්‍රිපිටක බුද්ධවචනයත් ය ධර්‍ම. එහෙත් මෙහිලා ගැණෙන්නෙ, නවලොවුතුරා දහම ය.
කෙලෙස් මුළුමනින් ඉතිරි නො කොට සිඳ දැමීමට මග-පල සිත්වලට අරමුණු වන ශාන්තධර්‍මය නිර්‍වාණ ‘ නම්. තෘෂ්ණාව වාන, යි කියනු ලැබේ. එසේ කියනු, ත්‍රෛභූමිකධර්‍ම, උඩු-යටි කොට, යටි-උඩු කොට වෙළන, අවුණන බැවිනි. ස්කන්ධායතනාදි ත්‍රෛභූමිකධර්‍ම, එසේ අවුල් කොට වෙළන, අවුණන තෘෂ්ණාවෙන් නික්මුණු බැවින්, ඒ මේ ශාන්තධර්‍මය නිර්‍වාණ යි හඳුන්වනු ලැබේ. මේ මෙය කියූ සැටි:- “ඛන්ධායතනාදිභෙදෙ තෙභූමක ධම්මෙ හෙට්ඨුපරියවසෙන විනනතො සංසිබ්බනතො වානං වුච්චති තණ්හා, තාය නික්ඛන්තත්තා විසයාතික්කමනවසෙන අතීතත්තා නිබ්බානං” යි.
නිවන නම් කිමැ, යි වඩා ලාත් පැහැදිලි කරන්නට “ යො සො සබ්බසඞ්ඛාරසමථො, සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” යනු වදාළ සේක. මෙහි ආ මේ හැම පදයකින් පැහැදිලි කරණුවෝ නිවන්තතු ය. යම් ශාන්තසුඛයක් නිසා, සියලු සංස්කාරයෝ සංසිඳෙත් ද, කාමූපධි ආදී වූ සියලු උපධීහු මුළුමනින් බැහැර කරණ ලද්දෝ වෙද් ද, සියලු තෘෂ්ණාවෝ වැනසෙත් ද, කිලේසරාගයෝ නො ඇලෙත් ද, සියලු දුක් නිරුද්ධ වේ ද, සංස්කාරයන්ගේ, උපධීන්ගේ, තෘෂ්ණාවන්ගේ, කිලේසරාගයන්ගේ, දුඃඛයන්ගේ සංසිදීමට, දුරුවීමට, වැනසීමට, නො ඇලීමට, නිරුද්ධවීමට කරුණු වූ ඒ ශාන්තසුඛය ය නිවන. එය සංසිඳීම ලකුණු කොට සිටියේ ය. ඒ සංසිඳීම කිසි විටෙකත් අත් නො හැර පැවැත්ම එහි කෘත්‍යය වේ. හිත සැප කෘත්‍යය කොට සිටියේ ය යි ද කියැ යුතු ය. සියලු සංස්කාරයන්ගෙන් නික්මීම එයට ආසන්න කාරණය වේ. චතුර්විධමාර්‍ගඥානයෙන් ඒ දතයුතු ය. එ හෙයින් සතරමාර්‍ගඥානය ලැබූ ආර්‍ය්‍ය පුද්ගලයන්ට, මෙය ප්‍රත්‍යක්‍ෂසිද්ධ ය. කල්‍යාණ පෘථග්ජනයනට අනුමාන සිද්ධ ය. ඒ අනුමාන සිද්ධිය වනාහි දෙසුම්මග නිසා ම වන්නේ ය. අන්ධබාල පෘථග්ජනයනට කොයිලෙසිනුත් අසිද්ධ ය. ඔවුනට කොයිලෙසකිනුත් නො දත හැකි ය. මාර්‍ග-ඵලයට ම අරමුණු වේ. මේ “නිබ්බානං පන ලොකුත්තරසංඛාත චතුමග්ග ඤාණෙන සච්ඡිකාතබ්බං මග්ගඵලානමාලම්බනභූතං” යනු කීයේ එහෙයිනි.
විඳියැ යුතු සැපයෙක් නො වේ මෙ ය. විඳියැ යුතු සැපය මුළු මනින් දුකෙකි. එ හෙයින් එය දුඃඛසත්‍යයෙහි ඇතුළත් වේ. වෙදයිත-සාන්ති යි සුවය දෙපරිදි ය. එහි රූපශබ්දාදීන්ගේ රස විඳුම වෙදයිතසුඛය යි. විඳියැ යුතු සැපය යි කියූයේ මේ ය. රූපාදීන් ගේ රසවිඳුම්සැපය, අරූප වූ නිවනෙහි නො ලැබෙන්නේ ය. හැම දුකක් ම ඉතිරි නො කොට සංසිඳවීම සාන්තිසුඛය යි. ඒ ය නිවණෙහි ඇත්තේ .
ඒ මේ නිවන, සංසිඳීම්සැප විසින් එකෙක් වූයේ ද, සොපාදිසෙස අනුපාදිසෙසනිබ්බානැ, යි කාරණව්‍යවහාරයෙන් දෙ පරිදි ය. පංචස්කන්ධය උපාදි නම් වේ. එසේ කියනු ලබන්නේ, එය උපාදානයන් විසින් දැඩිව තරයේ ගණු ලබන බැවිනි. කාම - දිට්ඨි - සීලබ්බත - අත්තවාද යි උපාදාන සතරකි. නාගයා, මැඩියා දැඩි ව අල්ලා ගන්නා සේ අරමුණ තදින් දැඩි ව අල්ලා ගත්තෝ ය මොවුහු. එහෙයින් මොවුහු උපාදානයෝ ය. මොවුන් විසින් පංචස්කන්ධය දැඩි ව අල්ලා ගනු ලැබේ. “චතූහි උපාදානෙ හි උපාදීයතීති = උපාදි, පඤ්චක්ඛන්ධො” යනු කීයේ එහෙයිනි. කොටසක් හෝ මුළුමනින් හෝ කම්කෙලෙස් ගෙවා දැමූ කල්හි කෙලෙස් නැසී ගිය කල්හි, ඉතිරිවන්නේ කෙලෙස් රහිත වූ, උපාදානස්කන්ධයන්ගෙන් වෙන් වූ උන් හා නො හැනුනු ස්කන්ධ පමණෙකි. එවිට මෙහි කිසිත් කිලිටෙක් නැත්තේ ය. ඇත්තේ ද කෙලෙස් සහිත අවස්ථායෙහි තුබූ උපාදි යන නම පමණකි. ඒ මුල් නමත්, කෙලෙස් රහිත ස්කන්ධත් ඉතිරි වූවහු පිළිබඳ සංසිඳීම සොපාදිසෙසනිබ්බානැ’ යි කියනු ලැබේ. මග- පල ලබා ජීවත්වන්නහු පිළිබඳ නිවන ය සොපාදිසෙස, ඉතිරි වූ ඒ කෙලෙස් රහිත ස්කන්ධත් බහා තබා ලබන සංසිඳීම අනුපාදිසෙසනිබ්බානැ’ යි කියනු ලැබේ. රහත්පල ලබා පිරිනිවන්පෑවහු පිළිබඳ නිවනය අනුපාදිසෙස. මේ මෙය කියූ සැටි:- “උපාදි එව සෙසො කිලෙසෙහිති උපාදිසෙසො, සහ උපාදිසෙසෙන වත්තතීති = සොපාදිසෙසො, නත්‍ථි උපාදිසෙසො එතස්සාති = අනුපාදිසෙසො” යි. කිලේසපරිනිබ්බාන - ඛන්ධපරිනිබ්බාන - දිට්ඨධම්මනිබ්බාන - සම්පරායිකනිබ්බාන යන නම්වලිනුදු මේ දෙක හඳුන්වනු ලැබේ.
මෙය ආකාරභේදයෙන් සුඤ්ඤත - අනිමිත්ත - අප්පණිහිත යි තෙ පරිදි ය. අරමුණු විසින්, සම්ප්‍රයෝග විසින් රාග-දෝස-මෝහයන්ගෙන් ශූන්‍ය බැවින් සුඤ්ඤත, නම් වේ නිවන. “ආරම්මණතො සම්පයොගතො ච රාගදොසමොහෙහි සුඤ්ඤතත්තා = සුඤ්ඤං සුඤ්ඤමෙව සුඤ්ඤතං” යනු එහි අරුත් කී සැටි යි. අරමුණු විසින්, සම්ප්‍රයෝග විසින් රාගාදී වූ සසරදුක්හේතූන්ගෙන් වෙන් වූ බැවින් අනිමිත්ත, නම් වේ, නිවන. “රාගාදීනිමිත්ත රහිතත්තා = අනිමිත්තං” යනු එයරුත් කීම ය. අරමුණු විසින්, සම්ප්‍රයෝග විසින් රාගාදිප්‍රණිධි රහිත බැවින් අප්පණිහිත, නම් වේ නිවන. මේ කියූ සැටි.- “රාගාදිපණිධිරහිතත්තා = අප්පණිහිතං” යි. මැරී ඉපැදීමක් නැති, කෙළවර රහිත, ප්‍රත්‍යයයන් විසින් නො සකස් කළ නිරුත්තරපදය නිවනැ යි තෘෂ්ණාවෙන් මිදී සිටි මහර්ෂීහු කියති. “පදමච්චුතමච්චන්තමසඞ්ඛතමනුත්තරං, නිබ්බානමිති භාසන්ති වානමුත්තාමහෙසයො” යනු එහි පාළිය යි. විස්තර ඉදිරියෙහි එන්නේ ය.
අනුධම්මචාරී හොති = අනුගතධර්‍මයෙහි හැසිරෙන සුලු වේ (ද),
නවලොවුතුරා දහමට, චතුස්පාරිශුද්ධිශීලය - ත්‍රයොදශ ධුතාඞ්ගය - දශඅශුභකර්‍මස්ථානය යනාදීහු අනුගතධර්‍මයෝ වෙති. ප්‍රධාන විසින් එහි චතුස්පාරිශුද්ධිශීලය නම්, පාතිමොක්ඛසංවරසීලය - ඉන්ද්‍රියසංවරසීලය - ආජීවපාරිසුද්ධිසීලය - පච්චයසන්නිස්සිත සීලය යන මේ ය.
“ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු” යි වදාළෝ පාතිමොක්ඛසංවරසීලය යි.
‘මේ සසුන්හි යම් මහණෙක් තෙමේ පාතිමොක්ඛසංවර සීලයෙන් සංවෘත ව ප්‍රාතිමෝක්‍ෂසංවරශීලය සමාදන් ව ගෙණ එහි පිහිටා ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත ව ස්වල්ප වූ ද වරදෙහි බිය දක්නා සුලු ව ජීවිතාශා හැර දමා ශික්‍ෂාපදයන්හි හික්මේ’ ය යනු එහි සිංහල ය.
පාතිමොක්ඛ නම්, ශික්‍ෂාපදශීලය යි. “පාතිමොක්ඛන්ති සික්ඛාපදං සීලං” යි ඒ ආයේ ය. යමෙක් ඒ ශික්‍ෂාපදශීලය රකී ද ඒ ශීලය, ඒ රකින්නහු අපායාදී වූ හැම අතකින් හැම නපුරකින් මුදාලන්නේ ය. ගොඩ ලන්නේ ය. එහෙයිනි පාතිමොක්ඛ’ යි කීයේ. මේ විතර වැකිය බලන්න:- “තං හි යො නං පාති රක්ඛති තං මොක්ඛෙති මොචෙති ආපායිකාදීහි දුක්ඛෙහි තස්මා පාතිමොක්ඛන්ති වුච්චති” යනු. ඉදිරියෙහි මෙහි විස්තර කථා ඇත.
මේ ශීලය රකින්නා ආචාරයෙන් හා ගොචරයෙන් හා යුක්ත වියැ යුතු ය. ආචාර-ගොචර දෙකින් වියුක්තවූවහුට මේ සීලය නියම ලෙසින් රකිනු නො හැකි ය. ආචාර නම්, කායසුචරිතය, වාක් සුචරිතය, කායවාක් සුචරිතය යන මේ ය. මේ ඒ කී සැටි:- “කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායික වාචසිකො අවීතික්කමො, අයං වුච්චති. ආචාරො” යි. මේ ඉතාම කෙටියෙනි.”
හුණදඬු දීම් ආදී වූ ලාමක ක්‍රියාවන්ගෙන් හා බුදුරජුන් විසින් ගරහන ලද තවත් නොයෙක් වැරදි සහිත වූ පහත් ලාමක ක්‍රියාවන්ගෙන් දිවි නො පැවැත් වීම එක් ආචාරයෙකි.
සංඝයා ඉදිරියට, වැඩිමහල්ලන් ඉදිරියට, ගුරුන් ඉදිරියට පැමිණ සිවුරෙන් සිරුරෙන් අතින් පයින් උන් ගටමින් නො සිටීම නො ඉඳීම, උසසුන්හි නො ඉඳීම, දැක නැගීසිටීම, ලඟසිට නා බෙණීම, වහන් නො දැරීම, හිස වසා නො පෙරවීම, කුඩ හිසැ නො දැරීම එක් ආචාරයෙකි.
ශ්‍රද්ධාදිගුණ නිසා ගෞරවයෙන් යුක්තවීම යහපත් පැවතුම් ඇඳීම් පෙරවීම් යෑම් ඊම් බැලීම් අත්පාහැකිළීම් අත්පාදිගුකිරීම් සිවුපසය සෙවීම් පිළිගැණීම් වැළඳීම් ආදියෙහි පමණ දැනීම, භාවනායෙහි යෙදීම, යථාලාභසන්තොෂාදියෙන් තුටුවීම, ආශාවෙන් නො මැඩීම, කෙලෙස්තැවුමෙහි වැරදැරීම එක් ආචාරයෙකි.
වැඩිමහලු භික්‍ෂූන් විචාරා දහම්දෙසීම, පාමොක් උදෙසීම, ගෞරව පෙරදැරි ව කතාකිරීම, ගෑණුන් ඉදිරියෙහි ‘කන්නට මොනවා තිබේද, බොන්නට මොනවා තිබේ ද, කැඳ තිබේ ද, බත් තිබේ ද’ යන ඈ ලෙසින් නො දෙඩීම එක් ආචාරයෙකි.
මහණකමට අන්තරායකර බැවින්, මහණකම නැසීයෑමට හේතුවන බැවින්, ගර්‍හාවට හේතු වන බැවින් නො යා යුතු නො එළැඹිය යුතු තැන්වලට නො යෑම, තෙරුවන් කෙරෙහි ඇදහිලි නැති කම්පල ඇදහීමෙන් තොර, භික්‍ෂූන්ට බණින දොඩන බිය ගන්වන අවැඩ කැමැති මිනිසුන්ගේ ආශ්‍රයෙන් වෙන්වීම එක් ගොචරයෙකි.
බණදහම් දැන උගෙණ කර්‍ම - කර්‍මඵලයන්හි හා තුනුරුවන්හි තමාගේ නො ඇද ඇදහීම් වඩ වඩාත් ශක්තිමත් කොට රූපාරූප ධර්‍ම තතු සේ දැන, සත්ව - ජීවසංඥාවන් උගුළා දමා එහි සැක දුරු කොට, උදය-ව්‍යයඥානාදීන්ගේ වශයෙන් විදසුන් වඩා, ආර්‍ය්‍ය භූමිය ලබා ගෙණ මොන ලෙසකිනුත් නො සෙවියැ හැකි නො සැලෙන සැදැයෙන් තුනුරුවන් කෙරෙහි සිත පිහිටුවා ගත් කළණ මිතුරන් සෙවුම එක් ගොචරයෙකි.
පිඬුසිඟීමට ගමට වැද, යට හෙලූ ඇස් ඇති ව, වියදඬු පමණින් දුර බලා හැසිරීම, ඇස්-කන්-නාස් ආදී වූ ඉඳුරන් රැකගෙණ ඇත්-අස්-රිය-පාබල-ගෑණු-පිරිමි යන මොවුන් දෙස නො බලා සංවරවීම එක් ගොචරයෙකි.
භාවනා සිත, වැඩූ සිත, අතැනැ මෙතැනැ නො යාදී සතර සතිපට්ඨානයෙන් බැඳ තැබීම එක් ගොචරයෙකි. මේ කියූ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවීම ‘ ආචාරගොචරසම්පන්න’ නම්.
නො දැන සෙඛියශික්‍ෂාපදයන් ඉක්මවීම, අකුශලචිත්තයන්ගේ ඉපදීම යනාදී වූ ඉතා සුලු වරද ය අණුමාත්‍ර වරද. එබඳු සුලු වරද පවා මහමෙර මෙන් ලොකු කොට සිතා බිය පත්වීම ‘ අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි’ නම්.
මේ පාතිමොක්ඛසංවරසීලයෙන් මුළුමනින් සංවෘත වූ භික්‍ෂු තෙමේ චක්‍ෂුද්වාරාදියෙන් රූපාදී වූ අරමුණු ගෙණ ඒ රූපාදී වූ අරමුණු ශුභවශයෙන් ගැණීම, අවයව සටහන් ශුභවශයෙන් ගැණීම නො කරන්නේ චක්‍ෂුර්ද්වාරාදියෙහි සංවරයට පැමිණෙන්නේ ය යි වදාළ ශීලය ඉන්‍ද්‍රියසංවරසීල” නම්. මෙහි විස්තර යටැ කියන ලද්දේ ය.
“යා පන ආජීවහෙතු පඤ්ඤත්තානං ඡන්නං සික්ඛාපදානං වීතික්කමස්ස කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතාති එවමාදීනං වසෙන පවත්තා මිච්ඡාජිවා විරති, ඉදං ආජීවපාරිසුද්ධිසීලං” යනු වදාලෝ ආජීවපාරිසුද්ධිසීලය යි.
‘ආජීවහේතුයෙන් පැණ වූ ශික්‍ෂාපදයන් සදෙනාගේ ඉක්මවීම් වශයෙන් පැවැත්තා වූ ද, විස්මයකරවීම ප්‍රත්‍යයදායකයා උසස් තැනැ තබා කතා කිරීම, ප්‍රත්‍යය ඉපදවීමට නිමිති දැක්වීම, ලාභ උපදවන්නට අනුන් පෙළීම, ලාභයෙන් ලාභසෙවීම යන මේ ආදී වූ පාපධර්‍මයන්ගේ වශයෙන් පැවැත්තා වූ ද යම් වැරදි සහිත ලාමක ජීවිකාවෙන් වෙන්වීමෙක් වේ ද, ඒ ය ආජීවපාරිසුද්ධිසීලය, යනු. එහි සිංහල ය.
“ආජීවහෙතු ආජීවකාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ආපත්ති පාරාජිකස්ස,
ආජිවහෙතු ආජීවකාරණා ස චරිත්තං සමාපජ්ජති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස,
ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති, සො භික්ඛු අරහාති භණති පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස,
ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අගිලානො අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස,
ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අගිලානා අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති පාටිදෙසනීයස්ස,
ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානා අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති ආපත්ති දුක්කටස්ස” යන මේ සිකපද සය ය ආජීව හේතුයෙන් පැණවුනේ.
“පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති යාවදෙව සීතස්ස පටිඝාතායාති ආදිනා නයෙන වුත්තො පටිසංඛානපරිසුද්ධො චතුපච්චයපරිභොගො පච්චයසන්නිස්සිතසීලං නාම” යි කී බැවින් ප්‍රත්‍යවේක්‍ෂායෙන් නුවණින් සලකා බැලීමෙන් පිරිසිදු වූ සිවුපසය වැලදීම පච්චයසන්නිස්සිතසීල, නම්. සිවුපසය ප්‍රයෝජන ගැණීමේ නිරවද්‍යචේතනාය ඒ.
තතු අරුත් විසින් උපසම්පදා භික්‍ෂුව ඇවැතට නො පැමිණීම නිසා ඔහුගේ සිතෙහි ඒ පිළිබඳ ව පහළ වන කාමාවචර කුසලචිත්තවීථියෙහි වූ චේතනාචෛතසිකය පාතිමොක්ඛසංවරසීලය යි. ඇස් කන් නාස් ආදියෙන් අරමුණු නො ගෙණ ඇස් කන් නාස් ආදී වූ ඉඳුරන් රකින්නාහට ඒ අරමුණු අනිත්‍ය-දුඃඛ- අනාත්ම වශයෙන් පහළ වන කුසලචිත්තවීථි හා යෙදුනු චේතනාචෛතසික, ඉන්ද්‍රිය සංවර සීලය යි. වැරදි දිවි පැවැත්මෙන් වළකින්නහුට ඒ ඒ වැළැක්මෙහි දී පහළ වන කුසලචිත්තවීථි හා යෙදුනු විරතිය, ආජීව පාරිසුද්ධිසීලය යි. ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් සලකා බලා සිවු පසය ප්‍රයෝජනය ගන්නහුට ඒ ඒ ප්‍රත්‍යය පිළිබඳව උපදින කුසල චිත්තවීථි හා යෙදුනු චේතනාචෛතසික, පච්චයසන්නිස්සිත සීලය යි. මෙහි විස්තර කථා ඉදිරියෙහි එනු ඇත.
මෙහි මෙසේ ඉතා ම සැකෙවින් කියූ සිවු පිරිසිදු සිල් පිළිබඳ වඩාලාත් පිරිසිදුබව සපයනුවෝ ආලෝකය දෙනුවෝ ඵලදායක කරණුවෝ ධුතංගයෝ ය. මේ ධුතංග සපයන්නහු පළමු කොට සිල්වත් වියැ යුතු ය. එහි වැර ඇත්තකු වියැ යුතු ය. සැදැහැතියකු වියැ යුතු ය. නුවණැතියකු වියැ යුතු ය. ලද දෙයින් සතුටු වන්නකු වියැ යුතු ය. මෙසේ ඇති කල්හි ම ය, ධුතඞ්ග පුරන්නහුගේ සිත එහිලා එඩිතර වන්නේ. පසු නො බසින්නේ.
දුරුකරණලද ලාභසත්කාර ඇති කාය-ජීවිත දෙක්හි අපේක්‍ෂා රහිත වූ බලාපොරොත්තු නැති නිවන් ලැබීමට අනුලොම්ව සිටි පිළිවෙත සිදුකරණු කැමැති කුල පුත්‍රයන් නිසා ය බුදුරජානන් වහන්සේ ධුතඞ්ග තෙළෙසක් අනුදැන වදාළෝ.
පංසුකූලිකඞ්ග - තෙචීවරිකඞ්ග - පිණ්ඩපාතිකඞ්ග - සපදානචාරිකඞ්ග - එකාසනිකඞ්ග - පත්තපිණ්ඩිකඞ්ග - ඛලුපච්ඡාභත්තිකඞ්ග - ආරඤ්ඤිකඞ්ග - රුක්ඛමූලිකඞ්ග - අබේභාකාසිකඞ්ග - සොසානිකඞ්ග - යථාසන්තතිකඞ්ග - නෙසජ්ජිකඞ්ග යන මේ ය ධුතඞ්ග.
අරුත් විසින් මේ සියලු ධුතංග, ඒ ඒ පංසුකූලිකඞ්ගාදීන්ගේ සමාදානයෙන් තදඞ්ගවශයෙන් නැසු කෙලෙස් ඇති බැවින් නැසූ කෙලෙස් ඇති මහණහුගේ අඞ්ගනු යි ධූතඞ්ග නම්. යමක් කරමි යි හෝ නො කරමි යි ඉටා ඒ ඒ අංග සමාදන් වන මහණ හට උපදින චිත්තවීථිය හා යෙදුනු චේතනාචෛතසික ම, කෙලෙස් නැසීමට කරුණු වන බැවින් ධූතඞ්ග නම් වේ.
ඒ ඒ අංග සමාදන් ව ගන්නා මහණහුගේ ඒ ඒ අංග පිළිබඳ ව පහළ වන චිත්තවීථිය හා යෙදුනු ප්‍රඥාචෛතසිකය, ධුතඞ්ග නමි. කෙලෙස් නැසීමට කරුණු වනුයේ ඒ ය. රාගාදි ප්‍රතිපක්‍ෂයධර්‍ම කපන නහන බැවින් ශීලාදිප්‍රතිපත්තියට කරුණු වන බැවින් ඒ පංසුකූලචීවරධාරණාදිය ධුතඞ්ග නමැ යි කීයේ එහෙයිනි.
ලකුණු විසින් මේ හැම ධුතඞ්ග කෙනෙක් ම සමාදන් ව ගන්නා චේතනාව හෝ ධුතඞ්ග රක්නාතුරු ඒ අරමුණෙහි උපදින චිත්තවීථීන් පිළිබඳ චේතනාවන් ලකුණු කොට ගෙන සිටියෝ ය. ධුතඞ්ග රක්නේ පුද්ගල නම. ධුතංග සමාදන් වන කාලයෙහි සමාදන් වන ඔහුගේ සිත්හි උපදින චිත්තවීථිය පිළිබඳ චේතනාව හැර අනික් චිත්තචෛතසිකධර්‍ම ධූතඞ්ගයට හේතු ය. ඒ චිත්ත වීථිය හා යෙදුනු චේතනාචෛතසිකය ධුතඞ්ග. ධුතංගධරයා විසින් පිළිකෙව් කළ දුරු කළ ගෘහපතිදානාදිය ය වත්ථු.
කෘත්‍යය විසින් සියලු ධූතඞ්ගයෝ තෘෂ්ණා නැමැති සොරු නැසීම කෘත්‍යය කොට සිටියෝ ය. ධුතංගයෝ ඒ ඒ වස්තූන් හි පවත්නා ලොල්බව නසන්නෝ ය. වැටහීම් විසින් හෙවත් පල විසින් තෘෂ්ණා නැමැති සොරු නසනබව වැටහීම් කොට සිටියෝ ය. ආසන්න කරුණු විසින් මඳදෙයකින් සතුටුවීම් ආදී වූ ආර්‍ය්‍යගුණධර්‍ම ආසන්නකාරණ කොට සිටියෝ ය.
සමාදානවිධාන විසින් හැම ධූතඞ්ගයෝ ම බුදුරජුන් ධරමාණ කල්හි උන්වහන්සේ වෙත ම සමාදන් වියැ යුතු ය. උන්වහන්සේ පිරිනිවි කල්හි, මහා ශ්‍රාවකයකු ඉදිරියෙහි, මහා ශ්‍රාවකයකු නැති කල්හි ක්‍ෂීණාශ්‍රවයකු ඉදිරියෙහි, ක්‍ෂීණාශ්‍රවයකු නැති කල්හි අනාගාමීශ්‍රාවකයකු ඉදිරියෙහි, අනාගාමීශ්‍රාවකයකු නැති කල්හි සකෘදාගාමීශ්‍රාවකයකු ඉදිරියෙහි, සකෘදාගාමීශ්‍රාවකයකු නැති කල්හි සෝතාපන්නයකු ඉදිරියෙහි, සෝතාපන්නයකු නැති කල්හි ත්‍රිපිටකධරයකු ඉදිරියෙහි, ත්‍රිපිටකධරයකු නැති කල්හි ද්විපිටක ධරයකු ඉදිරියෙහි, ද්විපිටකධරයකු නැති කල්හි එකපිටකධරයකු ඉදිරියෙහි, එකපිටකධරයකු නැති කල්හි එක්සඟියක් දරන්නකු ඉදිරියෙහි, එක් සඟියක් දරන්නකු නැති කල්හි, අටුවා ඇදුරකු ඉදිරියෙහි, අටුවා ඇදුරකු නැති කල්හි ධුතංගධරයකු ඉදිරියෙහි, ධුතංගධරයකු නැති කල්හි දාගැබ්මලු හැමදැ උක්කුටිකයෙන් හිඳැ බුදුරජුන් ඉදිරියෙහි සමාදන්වන්නකු මෙන් සමාදන් විය යුතු ය. ඇදුරකු නැති කල්හි තෙමේ සමාදන් වූයේ ද වරද නැත.
සියලු ම ධුතඞ්ග, ශෛක්‍ෂ්‍ය - පෘථග්ජන - ක්‍ෂීණාශ්‍රව යන මොවුන්ගේ වශයෙන් කුසල් ද අව්‍යාකත ද වේ. ස්‍රෝතාපත්ති මාර්‍ගස්ථයා පටන් අර්‍හත්මාර්‍ගස්ථයා තෙක් සිටි ආර්‍ය්‍යයෝත්, පෘථග්ජනයෝත්, ඉදිරියෙහි ලබන මග පල බලා ධුතඞ්ග රකිති. මෙසේ මොවුන් ධුතංග රක්නා කල්හි ඒ ධුතංග කුසල් ය. සැප විහරණ පිණිස රහතුන් රක්නා කල්හි අව්‍යාකත ය. අකුසලධුතඞ්ගයෙක් කැල ම නැත්තේ ය.
ධුතඞ්ගසේවනය රාගචරිතයාහට හා මෝහචරිතයාහට සත්ප්‍රාය වේ. එහෙත් ආරඤ්ඤිකඞ්ග -රුක්ඛමූලිකඞ්‍ග සේවනය, දෝස චරිතයාහට ද සත්ප්‍රාය වේ. එසේ කියනු අරණ්‍ය-වෘක්‍ෂමූලයන්හි නො ගැටී වසන්නහුට ද්වේෂය සංසිඳෙන බැවිනි (මත්තෙහි මෙය වඩාත් විස්තර වන්නේ ය.)
අසුභය, භාවනා කර්‍මයට ස්ථාන බැවින් අශූභකර්‍මස්ථානැයි කියනු ලැබේ. අසුභ දසයෙකි. ඒ කියන ලද්දේ ය.
උද්ධුමාතක සරීරයෙහි උද්ධුමාතකනිමිත්ත උපදවා උද්ධුමාතකඞ්ගය වඩනු කැමැත්තහු විසින් පළමුකොට පොතෙහි දැක් වූ ගුණ නුවණැති ගුරුවරයකු වෙත ගොස් කමටහන් උගත යුතු ය. මේ හැම තැනක සීලය මුල් වියැ යුතු ය. කය-වචන දෙකේ මනා පැවැත්ම සීලයෙන් වන්නේ ය. කය වචන දෙක නො හික්මුනක්හට සිතෙහි හික්මීමෙක් නො ලැබෙන්නේ ය. එහෙයිනි හැම තැනැ සීලය මුල් වියැ යුතු ය යි කීයේ. අශුභකර්‍මස්ථානයෙන් වන්නේ සිතේ හික්මීමෙකි.
අශුභකර්‍මස්ථානය වඩන්නහු ගුරුවරයාගෙන් අශුභයෙහි උග්ගහනිමිත්ත ගන්නා සැටි, සොහොනට යන සැටි, මළසිරුර අවට සිටි නිමිති ගන්නා සැටි, යනෙන මගසැලකීම යනාදී වූ අප්පණාවිධිය අවසන් කොට ඇති එහි පිළිපදින හැම විධියක් උගත යුතු ය. ඉන් පසු සොහොනෙහි ඉදිමී ගිය මළ සිරුරක් බහන ලදැ යි දැන පොතෙහි කී විධි නො වරදවා එහි ගොස් නියමිත ලෙසින් ඇස් දල්වා බලා නිමිති ගතයුතුය . “උද්ධුමාතකපටික්කූලං, උද්ධුමාතකපටික්කූලං, විනීලකපටික්කූලං විනීලකපටික්කූලං” යනාදි ලෙසින් උද්ධුමාතකාදි පද සමග පටික්කූලශබ්දය ද යොදා භාවනා වැඩියැ යුතු ය.
එහි උද්ධුමාතකයෙහි ලැබෙන උද්ග්‍රහනිමිත්ත, විරූප ය. පිළිකුල් ය. බිහිසුණු ය. විනීලකයෙහි උපදනා උද්ග්‍රහනිමිත්ත රතු සුදු නිල් පැහැ මුසු බැවින් බොහෝ සෙයින් කබරවර්‍ණ ඇත්තේ ය. විපුබ්බකයෙහි සැරව වෑහෙන්නා සේ වඤ්චල වූ උද්ග්‍රහ නිමිත්තෙක් උපදනේ ය. විච්ඡිද්දක අසුභයෙහි ලැබෙනුයේ මැදින් කැපුවා සේ වැටහෙන උද්ග්‍රහ නිමිත්තෙකි. ඒ ඒ තැනැ බලු කවුඩු ආදීන් විසින් කන ලද්දක් සේ වැටහෙන උද්ග්‍රහ නිමිත්තෙක් වික්ඛායිතකයෙහි ලැබෙන්නේ ය. වික්ඛිත්තකයෙහි උපදින නිමිත්ත, ප්‍රකට ව පෙණෙන අතරතුර ඇති ව වැටහෙන්නේ ය. හතවික්ඛිත්තයෙහි උද්ග්‍රහ නිමිත්ත, ප්‍රකට ව පෙණෙන කඩු සැත් පහර මුවවලින් යුක්තවූවක් සේ සිතට නැගේ. ලොහිතකයෙහි පෙනෙනුයේ සුලඟින් පහර ලත් රක්තවර්‍ණධ්වජයක් සේ චඤ්චල වූ නිමිත්තෙකි. පුළවකයෙහි නිමිත්ත, සැලෙන්නා වූ පණුකැලක් සේ ය සිතට නැගෙනුයේ. එක් ඇටයක් භාවනාවට අරමුණු වූයේ නම් එහි පෙණෙන උද්ග්‍රහ-ප්‍රතිභාග නිමිති දෙක ම එක සේ ය. ඇටසැකිල්ලක ලැබෙන උද්ග්‍රහ නිමිත්ත, වැටහෙනුයේ විවර ඇත්තක් සේ ය. එක් ඇටයකැ උපදින නිමිත්ත වුව ද මිනිස්ඇට බැවින් විරූප බිහිසුණු බිය එළවන එකක් වියැ යුතු ය යි කියන ලද්දේ ය. උද්ග්‍රහනිමිති වැටහීම මෙසේ වුව ද මෙහි ලැබෙන ප්‍රතිභාග නිමිති මෙයට වඩා හැම අතකින් ශාන්ත ව නිසල ව පරිපූර්‍ණ ව වැටහෙන්නේ ය.
උද්ධුමාතකය සිරුරු සටහන්හි ඇලුම් ඇත්තහුට, විනීලකය සිරුරු පැහැයෙහි ඇලුම් ඇත්තහුට, විපුබ්බකය පිටතින් දුන් සිරුරුසුවඳෙහි ඇලුම් ඇත්තහුට, විච්ඡිද්දකය සිරුරෙහි අඟපසඟවල හා ශක්තියෙහි ඇලුම් කරන්නහුට, වික්ඛායිතකය පියවුරු කලවා ආදියෙහි ඇලුම් කරන්නහුට, වික්ඛිතකය අත් පා සැලීම් ආදියෙහි ඇලෙන්නහුට, හතවික්ඛිත්තකය අඟපසඟ ගැළපීම්හි ඇලුම් කරන්නහුට, ලොහිතකය වස්ත්‍රාභරණයෙන් ඉපද වූ ශොභායෙහි ඇලුම් කරන්නහුට, පුළවකය මම ය, මාගේ ය යි ඇලුම් කරන්නහුට, අට්ඨිකය දත්සැපතෙහි ඇලුම් කරන්නහුට සත්ප්‍රාය වේ. මෙසේ සටහන්වශයෙන්, වර්‍ණවශයෙන් සුගන්ධවශයෙන්, ස්ථිරතාවශයෙන්, මස්වැඩීම්වශයෙන්, ලීලාවශයෙන්, මනාගැළපීම්වශයෙන්, ශෝභාවශයෙන්, මම ය, මාගේ ය යන හැඟීම් වශයෙන් දන්තසම්පත්තීන්ගේවශයෙන් ඇලීම දස වැදෑරුම් වේ. අසුභය, රාගචරිතයාන්ගේ වශයෙන් මෙසේ දස වැදෑරුම් වූයේ ද, ලක්‍ෂණ විසින් එකෙක් ම ය. ලක්‍ෂණ නම් අපිරිසිදු දුගඳ වහන නින්දා කරණ ලද පිළිකුල් බව ම ය. හුදෙක් මළ සිරුර ම අසුහ නො වේ. ජීවමානකශරීරය ද අසුභ වේ. එහි ද මුහු කළ නුවණැත්තන්හට අසුභනිමිත්ත වැටහෙන්නේ ය. මෙහි අශුභ ලක්‍ෂණ ආගන්තුක අලඞ්කාරයෙන් වැසී සිටියේ ය.
ගසා යන දියපහර ඇති ගඞ්ගායෙහි නැව නවතනුයේ රිටේ බලයෙනි. රිට නැති ව නැව නවතනු බැරි ය. එ පරිද්දෙන් අසුභය පිළිකුල් බැවින් විතර්‍ක රහිත වූ සිත අසුභාරම්මණයෙහි පිහිටුවන්නට නො හැකි ය. මෙසේ අරමුණු දුර්‍වල බැවින් සිත අරමුණට නගාලන විපර්‍කබලයෙන් ම සිත එහි පිහිටන්නේ ය. දස අසුභයෙහි විතර්‍කයෙන් තොර ව සිත එකඟ ව තබන්නට නො පිළිවන. එහෙයින් ප්‍රථමද්ධ්‍යානය පමණක් ම එහි උපදනේ ය. ද්විතීය-තෘතීය-චතුර්‍ත්‍ථද්ධ්‍යානයන්ගේ ලැබීමෙක් මෙහි නැත්තේ ය. මේ කීයේ ඉතා ම කෙටියෙනි. මොවුහු ම නවලොවුතුරා දහම් ලැබුමට මුලින්, පිළිවෙළින් පිරිය යුතු බැවින් පුබ්බභාගපටිපදා” යි ද කියනු ලැබෙත්. [3] මේ ධර්‍මයන්හි හැසිරෙන්නේ නව ලොවුතුරා දහමට අනු ව හැසිරෙන්නේ වේ. ඔහු අද අද ම ප්‍රතිවේධය ලැබේ ය යි බලාපොරොත්තු වන්නේ ය. (විස්තර ඉදිරියෙහි ඇත.)
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං = රාගය ද දෝසය ද මෝහයද පහ කොට.
කාම - රූප - අරූප වශයෙන් පැවැති රාගය, සත්වයන් හෝ, වෙන යම්කිසි අරමුණක් හෝ විෂය කොට ‘නැසේවා’ යනාදීන් උපදින දෝසය, චතුරාර්‍ය්‍යසත්‍යයෙහි විපරීතචිත්තයාගේ වශයෙන් පැවැති මෝහය යන මොවුන් මග නැණින් පහ කොට, නසා, යන තේරුම මින් දෙන්නේ ය. [4]
සම්මප්පජානො = මනාකොට දන්නා වූ.
පිරිසිඳැ දතයුතු ධර්‍මයන් මොනවට පිරිසිඳැ දන්නේ ය, සම්මප්පජාන. පිරිසිඳැ දතයුතු ධර්‍ම නම් පඤ්චස්කන්ධ-චතුරාර්‍ය්‍යසත්‍ය යන මේ ය. [5] පඤ්චස්කන්ධය නාම-රූපාදි භේදයෙන් හා අනිත්‍ය-දුඃඛ-අනාත්මලක්‍ෂණ විසින් දැනීමත්, දුඃඛසත්‍යය දතයුතු ය, සමුදයසත්‍යය දුරු කටයුතු ය, නිරෝධසත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ය, මාර්‍ගසත්‍යය වැඩිය යුතු ය යි දැනීමත් පිරිසිඳැ දැනීම නම් වේ.
රූප-වේදනාදිස්කන්ධයන්ගේ සකන්ධාර්‍ත්‍ථය, චක්ඛු-සෝතායතනාදීන්ගේ ආයතනාර්‍ත්‍ථය, චක්ඛු-සෝතාදිධාතුන්ගේ ශුන්‍යාර්‍ත්‍ථය, දුක්ඛයාගේ පීළනාර්‍ත්‍ථය, සමුදයාගේ ප්‍රභවාර්‍ත්‍ථය, නිරෝධයාගේ ශාන්තාර්‍ත්‍ථය, මාර්‍ගයාගේ දර්‍ශනාර්‍ත්‍ථය යනාදී වූ භේද තීරණය කොට කිරා බලා ප්‍රකට විසින් මනාකොට දක්නේ ම ‘සම්මප්පජාන’ යන මෙයින් ගන්නේ ය.
සුවිමුත්තචිත්තො = මනාකොට මිදුනු සිත් ඇත්තා වූ.
සුවිමුක්තයකු වන්නට නම්, පස් ලෙසකින් විමුක්ත විය යුතුය තදඞ්ග - වික්ඛම්භණ - සමුච්ඡේද - පටිප්පස්සද්ධි - නිස්සරණ යනු ඒ පස් ලෙස ය. මේ පස්ලෙසින් ම ක්‍රමයෙන් හැම කෙලෙසුන් කෙරෙන් ම මොනවට මිදුනු සිතැත්තේ ය සුවිමුත්තචිත්ත.
එහි විදර්‍ශනාඥානයෙහි අවයව වූ ඒ ඒ ඥානයන් කරණ කොට එයට පටහැනි වූ ධර්‍මයන් කෙරෙන් සිතේ මිදිම, අලෝභාදි කුසලාඞ්ගයන්ගෙන් ලෝභාදි අකුසලාඞ්ගයන් මැඩැ, යටපත් කොට ඒ යටපත් වූ කෙලෙසුන්ගෙන් වන සිතේ මිදීම ‘ තදඞ්ගවිමුත්ති’ නම්. මේ අටුවා:- “දෙය්‍යධම්මපරිච්චාගාදීහි තෙහි තෙහි ගුණෙඞේගහි නාමරූප පරිච්ඡෙදාදිවිපස්සනඞේගහි ච යං චිත්තස්ස අපරිහානිවසෙන ච පවත්තිතං විහිතං පටිපක්ඛභාවතො තදනත්‍ථෙහි විමුච්චනං පහාණං තදඞ්ගවිමුත්ති නාම” යනු. පහන් එලියෙන් අඳුරු දුරු කරන්නා සේ ය මෙය.
තව ද දානයෙන් මච්ඡරියලෝභාදියෙන්, ශීලයෙන් ප්‍රාණඝාතාදියෙන්, නාමරූප පිරිසිඳැ බැලීමෙන් සක්කාය දෘෂ්ටියෙන්, නාම රූපයන්ගේ ඇතිවීමෙහි හේතු සොයා බැලීමෙන් අහේතු විසම හේතු දෘෂ්ටිගෙන්, නයවිදර්‍ශනායෙන් මම ය, මාගේ යයි ගැණීමෙන්, මඟ නො මඟ දැනීමෙන් නො මගෙහි මඟය යන වැරදි හැඟීමෙන්, නාම රූපයන්ගේ හටගැන්ම දැකීමෙන් උච්ඡේදදෘෂ්ටියෙන්, නාමරූපයන්ගේ නැසීයෑම දැකීමෙන් ශාස්වත දෘෂ්ටියෙන්, සංස්කාරයන් භය වශයෙන් දැකීමෙන් අභය දර්‍ශනයෙන්, සංස්කාරයන්ගේ ඇති ජාති ජරාමරණාදී දොස් දැකීමෙන් සංස්කාර රසවත් යි ගැණීමෙන්, සංස්කාරයන් කෙරෙහි කලකිරීමෙන් සංස්කාරයන්හි නො ඇලීමෙන්, සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්ත නිසා නො මිදෙනු කැමැත්තෙන්, සංස්කාරයන් මැදහත් ව බැලීමෙන් සංස්කාරයන් මැදහත් ව නො බැලීමෙන්, අනුලෝමඥානයෙන් සංස්කාරයන් නිත්‍යාදීවශයෙන් ගැණීමෙන්, ගෝත්‍රභූඥානයෙන්, සංකාරාලම්බනයෙන් යන නාමරූප පරිච්ඡේදඥානය පටන් ගෝත්‍රභූඥානය කෙළවර කොට විදර්‍ශනාඥානාඞ්ග හේතුයෙන් ප්‍රතිපක්‍ෂධර්‍මකෙරෙන් සිතේ මිදීම තදඞ්ගවිමුක්ති නමි.
ප්‍රථමද්ධ්‍යානයෙන් නීවරණයන්ගේ පහළවීම යටපත් කිරීමෙන් ද, ද්විතීයද්ධ්‍යානාදියෙන් විතර්‍කාදීන් දුරු කිරීමෙන් ද ලබන සිතේ මිදීම වික්ඛම්භණවිමුත්ති’ නම්. මේ අටුවා:- “යං පන උපචාරප්පණාභෙදෙන සමාධිනා යා චිත්තස්ස අපරිහානි වසෙන පවත්ති, තාය ච කාමච්ඡන්දාදීනං නීවරණානං චෙව විතක්කාදීනඤ්ච පච්චනීකධම්මානං අනුප්පත්තියසඤ්ඤිතං විමුච්චනං, අයං වික්ඛම්භණවිමුත්ති නාම’ යනු. මෝ වනාහි දිය මතුයෙහි බැඳුනු දියසෙවෙල්, දිය ගන්නා තුරු කළයෙන් පහරා ඉවත් කිරීම වැනි ය. ලෞකිකසමාධීන්ගේ බලයෙන්, නීවරණාදී විරුද්ධ ධර්‍මයන් ඔබාතැබීමෙන් ලබන සිතේ මිදීම ය මේ.
සෝතාපත්තිමග්ගඤාණාදියෙන් නැවැත කවදාවත් නො උපදින සේ කෙලෙසුන් නැසීමෙන් ලැබෙන සිතේ මිදීම ‘ සමුච්ඡේදවිමුත්ති’ නම්. මේ අටුවා:- “යං චතුන්නං අරියමග්ගානං භාවිතත්තා තන්තම්මග්ගවතො අරියස්ස සන්තානෙ යථාරහං දිට්ඨිගතානං පහාණායාති ආදිනා නයෙන වුත්තස්ස සමුදයපක්ඛියස්ස කිලෙසගණස්ස පන අච්චන්තං අප්පවත්තිභාවෙන සමුච්ඡෙදප්පහාණවසෙන විමුච්චනං, අයං සමුච්ඡෙදවිමුත්ති නාම” යනු. හෙණ පහරින් ගසක ඇදවැටීම සේ ය මෙය.
මාර්‍ගඥානයෙන් සිඳැ දැමූ කෙලෙස් ඇති සිතෙහි තවත් ඉතිරිවන කෙලෙස් පුරුද්දත් නසාලීමෙන් ලැබෙන සිතේ මිදීම පටිප්පස්සද්ධිවිමුත්ති නම්. මේ අටුවා:- “යං පන ඵලක්ඛණෙ පටිප්පස්සද්ධත්තං කිලෙසානං, අයං පටිප්පස්සද්ධිවිමුත්ති නාම” යනු. මෙය වන්නේ පලසිත් පහළවීමෙනි. මෙය ගිනි තුබු තැනැ පැවැති උණුසුමට දිය ගැසීමක් සේ ය.
නිවන්ලැබීම ‘ නිස්සරණවිමුත්ති’ නම්. මේ අටුවා:- “සබ්බ සඞ්ඛතනිස්සටත්තා පන සබ්බසඞ්ඛාරා විමුත්තං නිබ්බානං, අයං නිස්සරණවිමුත්ති නාම” යනු. නිස්සරණ නම් නිවන ය. කාම භවාදීභවයන්ගෙන් නික්මුනු බැවින් එසේ කියැ වේ. මෙකී භවයන්ගෙන් නික්ම යෑමට කරුණු වන්නේ නිවන ය. ඵලඥානයනට ගොදුරුවන සන්සිඳීම ය.
මෙහි කාමාවචරකුසලචිත්තය, තදඞ්ගවිමුත්ති යි ද, රූපාවචර අරූපාවචරචිත්තය, වික්ඛම්භණවිමුත්ති යි ද, මාර්‍ගචිත්තය, සමුච්ඡෙදවිමුත්ති යි ද, ඵලචිත්තය පටිප්පස්සද්ධිවිමුත්ති යි ද, නිර්‍වාණය නිස්සරණ විමුත්ති යි ද කියනු ලැබේ.
තදඞ්ගවිමුත්ති, වික්ඛම්භණවිමුත්ති, සමුච්ඡෙදවිමුත්ති, පටිප්පස්සද්ධිවිමුත්ති යි ගැනෙන කාමාවචර, රූපාවචර, අරූපාවචර, මාර්‍ග, ඵලචිත්තයෝ චිත්තවිමුත්තියෙහිලා ද, නිර්‍වාණය නිස්සරණවිමුත්තියෙහි ලා ද ගැණෙති. එහෙයින් පස්වැදෑරුම් වූ විමුත්තිය, චිත්තවිමුත්තිනිබ්බාන යි දෙපරිදි විසින් ද කියනු ලැබේ. (පොත දිග් ගැසෙන බැවින් විස්තර නො ආයේ ය.)
අනුපාදියානො ඉධ වා හුරං වා = මෙලොවැ හෝ පරලොව හෝ කිසිවක් නො ගන්නා වූ.
‘ඉධ වා හුරං වා අනුපාදියානො’ යනු අරුත් ගන්නා පද පිළිවෙළ ය. මෙලොව පරලොව දෙකට අයත් වූ හෝ ආද්ධ්‍යාත්මික බාහිර වූ හෝ ස්කන්ධධාතුආයතනයන් සිවු වැදෑරුම් උපාදානයන් කරණ කොට, නිත්‍ය - ශුභ -සුඛ - ආත්ම වශයෙන් නො ගන්නේ ය, අනුපාදියාන.
උපාදාන යටැ කියන ලදී. එහි කාම නම්, රූපශබ්දාදිය අරමුණු කොට සිතෙහි හට ගන්නා ක්ලේශකාමය ය. දිට්ඨි නම්, ලෝකය හා ආත්මය සදාකාලික ය යි ගන්නා මිත්‍ථ්‍යාදෘෂ්ටිය ය. සිලබ්බත නම්, ආත්ම ශුද්ධිය සඳහා අජශීල - ගොශිල - අජව්‍රත - වග්ගුලීව්‍රතාදිය සමාදන් ව ගැන්ම ය. අත්තවාද නම්, භවයක් පාසා නො නැසී යන නිත්‍ය වූ ආත්මයෙක් සත්වයන් පිළිබඳව ඇතැ යි ගැන්ම ය. මේ කීයේ. යම්තමකිනි.
පරමාර්‍ත්‍ථ විසින් සත්වයකු පිළිබඳ ව ඇත්තෝ, ස්කන්ධධාතු ආයතනයෝ ය. ඔවුහු භවයෙහි උපන් සත්වයාගේ අවසානය දක්වා නො සිඳ පවතිත්. එහෙයින් සත්වයන් පිළිබද ව මොවුහු භවයක් පාසා පහළ වෙති. මෙසේ අවශ ව, හේතු-ඵලවශයෙන් දිග් ගැසී යන ස්කන්ධ ධාතු-ආයතන සමූහය, මම ය, මාගේ ය යනාදීන් දැඩි ව ගන්නේ , මේ උපාදානයන් නිසා ය. එසේ නො ගන්නේ, උපාදානයන් සිවු මගින් නැසී ගිය පසු ය.
චක්ඛුධාතු - රූපධාතු - චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු - සද්දධාතු - සෝතවිඤ්ඤාණ ධාතු, ඝානධාතු - ගන්ධධාතු - ඝානවිඤ්ඤාණ ධාතු, ජිහ්වාධාතු - රසධාතු - ජීහ්වාවිඤ්ඤාණධාතු, කායධාතු - ඵොට්ඨබ්බධාතු - කායවිඤ්ඤාණ ධාතු, මනෝධාතු - ධම්මධාතු - මනෝවිඤ්ඤාණධාතු යි ධාතු අටළොසෙකි. එයින් සයෙක් ද්වාරධාතු ය. සයෙක් ආලම්බනධාතු ය. සයෙක් ද්වාරාලම්බන ගැටීමෙන් හට ගන්නා විඤ්ඤාණධාතු ය.
චක්ඛායතන - රූපායතන, සෝතායතන - සද්දායතන, ඝානායතන - ගන්ධායතන, ජිහ්වායතන -රසායතන, කායායතන - පොට්ඨබ්බායතන, මනායතන - ධම්මායතනය යි ආයතන දොළොසෙකි. එයින් සයෙක් ද්වාරායතන ය. සයෙක් ආලම්බනායතන ය. මේ දොළොස් ආයතනයන්හි චිත්ත - චෛතසික - රූප - නිර්‍වාණ යන සකල පරමාර්‍ත්‍ථධර්‍මයෝ ඇතුළත් වෙති.
යටැ කියූ සම්මප්පජානො - සුවිමුත්තචිත්තො - අනුපාදියානො යන මේ පද තුන ඉදිරියෙහි සිටි සො’ යන්න බලා එයට විශේෂණ ව සිටියේ ය.
ස භාගවා සාමඤ්ඤස්ස හොති = ඔහු ශ්‍රමණ ගුණයට හිමි වේ.
‘සො භාගවා’ යනු පද සිඳීම ය. මහාක්‍ෂීණාශ්‍රව වූ චතුර්‍ත්‍ථාර්‍ය්‍ය පුද්ගල තෙමේ ‘ සො’ යන්නෙන් ගණු ලැබේ. අසහායපුණ්යකේෂත්රය වන්නෝ ද උන්වහන්සේ ය. උන්වහන්සේ රාග-දෝස- මෝහයන් දුරුකොට, දතයුතු සියලු ධර්‍ම මොනවට දැන, මොනවට මිදුනු සිත් ඇත්තෝ ස්කන්ධ-ධාතු-ආයතන කිසිවක් මම ය, මාගේ ය, නිත්‍ය ය, ශුභ ය, සුඛ ය, ආත්ම යි නො ගන්නෝ ය. එ හෙයින් ම ය උන්වහන්සේ ශ්‍රමණගුණයට හිමිවූවෝ.
මේ ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
දේවසහායක වස්තුව නිමි.