න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරො ච දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්‍ථ.
තද මසුරු සත්ත්‍වයෝ ඒකාන්තයෙන් දෙව්ලොවට නො යන්නාහ. (දෙලෝ වැඩ නොදන්නා) අනුවණයෝ ඒකාන්තයෙන්(අනුන් දුන්) දනට (කළ සේ යහපතැයි) ප්‍රශංසාවක් නො කරන්නාහ. (අනුන් දුන්) දානය අනුමෝදන් කරන්නා වූ ප්‍රාඥ වූ ඒ පුරුෂ තෙම වනාහි ඒ දානානුමෝදනාමය වූ කුශලකර්‍මයෙන් පරලොව්හි (කායික චෛතසික සුඛයෙන්) සුවපත් වන්නේ ය.
තිලෝගුරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ පන්සියයක් දෙනා වහන්සේ කැටු ව දනවු සැරිසරා පෙරළා දෙව්රමට වැඩි සේක. එදවස කොසොල් රජ තෙමේ විහාරයට ගොස් දානය පිණිස බුදුරජුන්ට ආරාධනා කෙළේ ය. පසුදා ඔහු දන් පිළියෙල කොට “මා පිළියෙල කළ දානය බලවු” යි නුවර වැස්සන් කැඳවී ය. ඔවුහු රජමැදුරට ගොස් දානවස්තුන් බලා පුදුමයට පැමිණ තුමූත් පසුදා දානයට බුදුරජුන් පවරා දන් පිළියෙල කොට “මහරජානන් වහන්සේ අප පිළියෙල කළ දානය බලන සේක්වා” යි රජුට දන්වා යැවූහ. රජ තෙමේ එහි ගොස් දන් බලා “මුන්ගේ දානය මාගේ දානයට වඩා හැම ලෙසකින් සරුසාර ය” යි සිතා ඊට පසුදාත් තෙමේ දන් පිළියෙල කොට “එවු! මා දන් බලවු” යි එවරත් නුවරුන්ට දන්වා යැවී ය. නුවර වැස්සෝ එවරත් එහි ගොස් දන් බලා ඊට පසුදා එයට වැඩි තරම් ලෙසින් දන් පිළියෙල කළහ. මෙසේ රජු හා නුවර වැස්සෝ දවසින් දවස වඩ වඩා දන් පිළියෙල කළෝ උනුන් පැරදවීමෙහි අසමර්‍ත්‍ථ වූහ. රජ තෙමේ නුවරුන්ටත් නුවරවැස්සෝ රජුටත් නො ද පැරදුනාහ.
හවනවර නුවරවැස්සෝ සිය ගුණයෙන් දහස් ගුණයෙන් දන් වඩා මේ දානයෙහි “මේ දෙය නැතැ” යි කියන්නට නො හැකිවන සේ හැම දෙයක් ම ගෙන්වා තබා දන් පිළියෙල කළහ. රජ තෙමේ එදන් බලා පුදුමයටත් සංවේගයටත් පැමිණ “අයියෝ මේ ලෙසින් දන් පිළියෙල කිරීමට මට පිළිවන් කමක් නෑ නො වේ ද, මාගේ ජීවිතයෙන් කම් කිමැ” යි ලතැවෙමින් එයට උපාය සිතමින් ඇඳ වැතිර මුණින් තලා බැස හොත්තේ ය. ඒ වේලෙහි මල්ලිකා එහි පැමිණ “කිම, මහරජ! නිදහු? ඔය නින්දෙක්? මොන කරුමයෙක්? හැබෑ වැඩෙක්, නැගිටින්න, මූණත් ඇකිළී ගොස් කියන්න කාරණය යි කියා සිටියා ය. “සොඳුර! නො දනිහි” යි ඇසූවිට “මම කෙසේ දනිම්? නො දනිමි” යි කිවු ය. එවිට රජ තෙමේ දානය ගැණ තොරතුරු ඇයට කී ය.
ඕතොමෝ “දේවයන් වහන්ස ඕකත් වැඩෙක් හිත හිතා ලතැවෙන්නට යමෙක් එහි තිබේ ද? ඒ ගැණ සිත කණස්සලු කර ගතයුතු නො වේ, ඔබ දැක තිබේ ද හිමියෙනි! මෙයට කලින් රජතුමෙක් මොන රටක වත් යටත් රටවැසියන් විසින් පරදවන ලද? ආ! දැකීම තිබේවා, අහලා තිබේ ද හිමියනි! එහෙම එකක්? කණගාටු නො වනු මැනැවි, මම දන් පිළියෙල කරන්නම්, ඔබ වහන්සේ පන්සියයක් දෙනා වහන්සේට වැඩ හිඳීමට සෑහෙන පමණට සල්කලණ ලෑල්ලෙන් මණ්ඩපයක් ඇතුල් වලියෙහි කරවනු මැනැවි, වටිනා සුදු කුඩ පන්සියයක් සාදවා ඇතුන් පන්සියයක් ගෙන්වා ඒ එක එක කූඩය උන්ගේ සොඬට දී පන්සිය දෙනා වහන්සේගේ හිස මතුයෙහි කොට දරා සිටින ලෙසට වැඩ පිළියෙල කරවනු මැනැවි, රනින් ඔරු අටක් හෝ දහයක් කරවා ඒ ඔරු මණ්ඩපය මැද තැබ්බවිය යුතු ය, භික්‍ෂූන් වහන්සේලා දෙනමක් දෙනමක් අතර හිඳ එකෙකී රාජකන්‍යාවට කොකුම් යොන් පුප් තුවරලා තුරුක් තෙල් කස්තුරි කළු අගිල් ආදි සුගන්‍ධ ද්‍රව්‍යයන් ඇඹරීමට නියම කළ යුතු ය, දෙනමට දෙනමට පවන් සැලීම පිණිස තල්වැට දී රාජකන්‍යාවන් ඒ ඒ තැන සිටවිය යුතු ය. ඇඹරූ සුගන්‍ධද්‍රව්‍යයන් මණ්ඩපය මැද වූ රන් ඔරුවල බහන්නට තවත් රාජකන්‍යාවන් කොටසකට නියම කළයුතු ය, රන්ඔරුවල වූ සුවඳෙහි නිලුපුල් මිටි බැඳ බහා සුවඳ දිය කලඹ කලඹා එහි ඉසීමට තරුණියන් කොටසක් නියම කළ යුතු ය, නුවර වැස්සන්ට රාජකන්‍යාවෝ නැත, සුදු කුඩ හා ඇත්තු නැත, මේ මා කියූ ලෙසට දන්හල පිළියෙල කළවිට එයින් ම ඔවුහු පැර දී යති, කනස්සලු නො වී මේ මා කියූ කටයුතු වහා කරවනු මැනවැ” යි කීවා ය.
රජතෙමේ “යහපතැ” යි මල්ලිකාව කී ලෙසට ඒ හැම එකක් කරවී ය. එහෙත් එක් නමකට කුඩය දරා සිටීමට ඇතෙක් නො වී ය. එබව රජ තෙමේ මල්ලිකාවට දැන්වී ය. මල්ලිකාව “මොනවා කියහු, දේවයන් වහන්ස! ඔබ වහන්සේගේ ඇත්හල්හි ඇත්තු පන්සියයෙක් නැත්තේ දැ” යි ඇසූ කල්හි “සොඳුර! දහස් ගණනක් ඇත්තු ඇත්තාහ, එහෙත් නැත්තේ මෙතැනට සුදුසු ඇතෙකි, ඇත්හල්හි සිටිනා ඇත්තු නපුරු සැඬ ය, ඒ ඇත්තු භික්‍ෂූන් වහන්සේලා දුටු කල්හි වේරම්බවාතය සේ ඇඹරති, වඩාත් චණ්ඩ වෙති, එබඳු, ඇතුන් මෙහි ගෙන්වීම නො සුදුසු ය” යි රජ තෙමේ කියා සිටියේ ය. “ආ, වේවා මහරජ! එක් ඇත් පැටවකු මෙහි ගෙන්වන සේක් වා. ඌ සිටුවන තැන මම කියන්නෙමි” යි කී කල්හි රජ තෙමේ ඇත්පැටවකු ගෙන්වා මල්ලිකාවට භාර කෙළේ ය.
රජ තෙමේ මල්ලිකාවගේ නියමය ලෙසට දන්හලෙහි සියලු කටයුතු නිම කරවා දානයට වඩින්නට බුදුරජානන් වහන්සේට කල් දැන්වී ය. උන්වහන්සේ පන්සියයක් පමණ වූ මහණ පිරිසත් ගෙණ එහි වැඩ පිළිවෙළින් අසුන් අරා වැඩ හුන්හ. අනතුරුව ඇත්පෙළ ද උන්වහන්සේලා පසුපස උන්වහන්සේලාගේ හිස මතුයෙහි කුඩ දරමින් සිට ගත්හ. මලලිකා තොමෝ සැඬ ඇතුගේ සොඬයට කුඩයක් දී අඞ්ගුලිමාල තෙරුන් පසුපස සිටුවාලූ ය. ඌ වාලධි ය දෙකලවා අතර රුවා දෙකන් යට හෙලා දෙ ඇස් වසා කුඩය සොඬින් ගෙණ නිසලව සිටියේ ය. ඇතුගේ ඒ විලාශය දුටු මහාජන තෙමේ විස්මයට පැමිණ “අයියෝ! මහාපුදුමයෙක්, මේ සැඩ ඇතුන්ගේ සැටි” යි ඇතුදෙස ම ඇස් පිය නො ගසා නිසල ව සිටියේ ය. රජ තෙමේ බුදුරජුන් හා ඒ පන්සිය දෙනා වහන්සේත් මැනැවින් වළදවා අවසන්හි වැඳ සිට “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ දන්හලෙහි ඇති කැප නො කැප හැම දෙයක් බුදුරජානන් වහන්සේට පුදමි” යි කියා සිටියේ ය.
මෙසේ මේ මහාදානයෙහි එක දවස ම පිදු දානොපකරණයන්හි වටිනාකම තුදුස් කෙළක් විය. බුදුරජුන් උදෙසා තැන වූ සේසත හිඳිනා පලඟ පාඅඩිය පාපුටුව යන මේ සතරෙහි වටිනාකම මුදල් ගණනින් මෙ පමණැයි ගණන් නැත්තේ ය. නො ගිණිය හැකි ය. වටිනාකම නො දැක්විය හැකි ය. මෙයට පසු කිසිත් දවසෙක බුදුරජානන් වහන්සේට මෙබදු දනක් දිය හැකි එක ද පොහොසතෙක් නො වී ය. එහෙයින් මෙ දන අසදිසදානැ යි පතළේ ය. හැම බුදුරජුනට ම මෙබඳු මහත් දනෙක් එක් වරක් ම වන්නේ ය. හැම බුදුරජුන් කල්හි ම මේ දන පිළියෙල කරන්නී ද ගැණියක් ම ය.
කොසොල් රජුට කාල - ජුණ්හ යි ඇමැතියෝ දෙදෙනෙක් වූහ. උන් දෙන්නා අතුරෙන් කාල තෙමේ ඒ වේලෙහි “අයියෝ! මහාගොන් කමෙක්, රජගෙට වන්නේ මහාවිනාශයෙක්, නො පිරිමැසිය හැකි විපතෙක්, මේ එක් දවසේ ම තුදුස් කෙළක් ධනය විනාශ වී යයි, මේ මොන කරුමයෙක්? මේ ගොල්ලෝ මේවා කා බී ගොස් සමහරු ඇද වැටී නිදත්, සමහරු ගම් නියම් ගම් දනවු වැද ඇවිදිත්, සමහරු වල් වැදී විඩාවන් සන්සිදු වත්, සමහරු මතුර මතුරා රුක් මුල්හි හිඳිත්, අනේ! රජගෙදර, ඉවරයි රජගෙදර, කම්මුතු යි රජගෙදරැ” යි සිතමින් හුන්නේ ය. ජුණ්හ තෙමේ “රජුගේ දානය මහපුදුම ය, රජකමක් නැත්තකුට මෙබඳු දනක් දෙන්නට නො හැකි ය, මෙබදු පුදුම දනක් දිය හැක්කේ රජෙක් ම ය, අන් අයට මෙහි පින් පමුණු වන්නෙක් ද නැත, මම් ම මෙහි පින් අනුමෝදන් වෙමි, රජුට පින් සිදු වේවා, මල්ලිකා දෙවියටත් පින් සිදු වේවා, මේ දෙපල නිසා මෙබඳු මහදනක් දැක සතුටු වන්නට, කළ පින් ඇත්තන්ගේ හැටි දැන ගන්නට ලැබින, රජ, බොහෝ කල් ජීවත් වේවා, බිසොවත් බොහෝ කල් ජීවත් වේවා, අනේ! යහපති, අනේ, යහපති” යි පින් අනුමෝදන් වී ය.
තිලෝගුරු බුදුරජානන් වහන්සේ වළඳා අවසන් කළ කල්හි රජ තෙමේ අනුමෙවෙනි බණ අසන්නට බුදුරජුන්ගේ පාත්‍ර ධාතුව ගත්තේ ය. එකල්හි උන්වහන්සේ “මේ රජු විසින් මහගඟක් ගලන්නා සේ දන් දුන් සැටි ඉතා බලගතු ය, මහදනෝ මේ මහාදානයෙහි සිත් පහදා ගන්නට පොහොසත් වූවෝ ද නො වූවෝ දැ” යි බලා වදාරණ සේක්, ඒ ඇමැත්තන් දෙදෙනාගේ සිත් හසර දැක “මම රජුගේ මේ දානයට සරිලන සේ බණ කියම් නම් කාලගේ හිස සත්කඩට පුපුරන්නේ ය, ජුණ්හ සෝවන් වන්නේ ය” යි දැන කාල කෙරෙහි මහත් දයාවෙන් මෙබඳු මහ දනක් දි සිටි රජුට සිවුපදගයක් ම වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. භික්‍ෂූහු අඟුල්මල් තෙරුන් වෙත ගොස් “ස්ථවිර තුමනි! කොහොම ද කුඩය දරා සිටි ඒ නපුරු ඇතු දැක බියපත් වූවාහු දැ?” යි ඇසූහ. උන්වහන්සේ “මම බියපත් නො වීමි, ඌ මට බියට කරුණක් නො වේ” යී කීවිට ඔවුහු බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! අඟුල්මල් තෙරණුවෝ තමන් රහත් යි හඟවති” යි දැන් වූහ. “මහණෙනි! ඒ තැනට බියෙක් නැත, තැති ගැන්මෙක් නැත, ඒ තැන කීයේ සැබෑ ය, ක්‍ෂීණාශ්‍රව වූ වෘෂභාජානෙයයන් අතුරෙහි ප්‍රධාන වෘෂභාජානෙය වූ මාගේ පුත්‍රභික්‍ෂූහු කිසිවකටත් බිය නො වෙති” යි වදාරා බ්‍රාහ්මණ වර්‍ගයෙහි එන:
“උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං,
අනෙජං නහාතකං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං”
යන මේ ගය වදාළ සේක.
රජ තෙමේ ද “මෙබඳු මහත් පිරිසකට නන්ලෙසින් සරසා දන් දුන් මට සෑහෙන පමණින් අනුමෝදනාවක් නො කොට එක් ම ගයක් වදාරා නැගිට වැඩි සේක, කිම, මා පිළියෙල කළ දානය බුදුරජුන්ට නො සුදුසු ද, කැප දැය නො පුදා අකැප දැය පුදන ලද ද, බුදුරජාණන් වහන්සේ මා හා අමනාප වූ සේක් ද, කාට වුවත් දුන් දනට ගැළපෙන ලෙසට දහම් දෙසිය යුතු නො වේ දැ” යි සිතා විහාරයට ගොස් බුදුරජුන් වැඳ “ස්වාමිනි! කිම, මා දියයුතු දැය නො දුන් දැ?” යි ඇසී ය. “මහරජ! කිම එසේ අසහු? ඔබට නො සෑහෙන බණක් මා දෙසූ ද? මා දෙසූයේ එතැනට ගැළපෙන බණක්, ඔබගේ දන යම්තම් දනෙක් නො වේ, දුන්නේ සුදුසු දනෙක් ම ය, අනෙකකුට නො දිය හැකි ය එබඳු දනෙක්, මෙය අසදිසදානැයි කියයුතු ය, මෙබඳු මහත් දෙනෙක් එක් බුදුකෙනකුට ලැබෙන්නේ එක් වරක් ම ය, මේ බඳු දනක් දිය හැක්කේ ද එක් වරක් ම ය, කිහිපවරක් මෙබඳු දන් නො දිය හැකි ය, නො ද ලැබිය හැකි ය” යි බුදුරජුන් වදාළ කල්හි “එහෙනම්, ස්වාමීනි! දනට සෑහෙන පරිදි මාගේ පූජාවට පමණ වන සේ මට බණක් නො වදාළ සේක් කිමැ” යි ඇසී ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහරජ! ඒ වේලෙහි එහි වූ පිරිස අපිරිසිදු නිසා ඒ පිරිසෙහි ඔළමොට්ටලයන් කිහිප දෙනකුන් සිටි බැවින් ඔවුන්ගේ සිත්හසර අපිරිසිදු නිසා එක් ගයක් ම කීමි” යි වදාළ සේක. “ස්වාමීනි! දන් පුදන වේලෙහි එහි සිටි පිරිසෙහි ඇති වරද කිමැ” යි විචාළ කල්හි කාල-ජුණ්හ දෙදෙනාගේ ඒ වේලෙහි පැවැති සිත් හැසුරුම් වදාරා කාල කෙරෙහි දයාවෙන් දිගට අනුමෙවෙනි බණ නො වදාළ බව බුදුරජානන් වහන්සේ වදාළ සේක.
රජ තෙමේ පෙරළා ගොස් කාල ගෙන්වා “තා මෙබඳු නපුරු අදහසෙක් උපදවන ලද්දේ සැබෑ දැ” යි ඇසී ය. “සැබෑ ය, දේවයන් වහන්සැ!” යි කීවිට “තාගෙන් අබැටක් පමණකුත් නො ගෙණ මා මාගේ අඹුදරු වනුත් එක්ව මා සතු දැය දෙන කල්හි තට ඇති අපහසුව කුමක් ද, වේදනාව කුමක් ද, තට දියයුතු දැය සුදුසු වේලෙහි නො දුන්නෙම් ද, මාගේ දීම් ගැණ තට ඇති කතා කිම, මාගේ දීම් මට සැප පිණිස හෝ වේවා, දුක් පිණිස හෝ වේවා, එයින් තට ඇති කාරිය කිම, මේ රටෙහි නො සිට රටිනුත් බැහැර යව” යි කාල රටින් පිටුවහල් කොට ජුණ්හ ගෙන්වා “මා දන් දෙද්දී තෝ අනේ, යහපතැ” යි සිතූයෙහි සැබෑ දැ?” යි ඇසී ය. “දෙවයන් වහන්ස! එසේ ය” යි කීවිට “ආ! තා සිතූ සැටි කදිමයි, ඒ සිතුවිලි මටත් මාමාටත් හිත පිණිස වනු ඇත, මම මාමාට වඩාලාත් පහන් වීමි, මාමා මාගේ පිරිවර දෙනාත් එක්ව මාදුන් ලෙසට සත් දවසක් ම දන් දෙව” යි සත් දවසකට රජය භාර දී ගොස් බුදුරජුන් වැඳ “ස්වාමීනි! බලන සේක්වා මේ මෝඩයාගේ සැටි, මූ මා දුන් දනට අමනාපව සිටීය” යි සැලකළේ ය. “ඔවු! මහරජ! තමන් දෙනු තබා අන්හු දෙන දනට ද මෝඩයෝ සතුටු නො වෙත්, ඔවුහු එයට ඊර්ෂ්‍යා කරත්, අනුන් ලබන සැපත නො ඉවසත්, අනුන්ගේ දියුණුවට සුසුම් හෙලත්, අනුන් කනු දැක අනුන් අඳිනු දැක අනුන් හිඳිනු දැක අනුන් යනු දැක අනුන් උගත්කම් දැක අනුන් තනතුරු දැක ගැටෙත්, හැපෙත්, අනුන් රූසිරි බලා අනුන් ඇඟමස් බලා අනුන් උසමහත බලා අනුන් තෙද බලා අනුන් පිරිවර බලා අනුන් මිල මුදල් බලා අනුන් වතුපිටි බලා රවත් ගොරවත්, මොවුහු මහරජ! මෙලොව ම දීනයෝ වෙත්, පරගැත්තෝ වෙත්, කෙළවර යන එන තැන් නැත්තෝ වෙත්, පුලන්නෝ වෙත්, හිඟන්නෝ වෙත්, මොවුහු මහරජ! පරලොව නිරයෙහි උපදිත්, නිරය ගිනිපෙණෙලි වෙත්, යගුල් ගිලිත්, ලොහොදිය බොත්, කැපෙත්, සිඳත්, දෙපලු වෙත්, මැරෙත්, උපදිත්, මහරජ! නුවණැත්තෝ තමනුත් දෙමින් අනුන්ගේ දීමෙහි සතුටු වෙත්, පිනායත්, එහි පින් අනුමෝදන් වෙත්, මොවුහු මහරජ! මෙලොව ම සතුටු වෙත්, අනුනට ප්‍රිය වෙත්, සුදනන් හා එක් වෙත්, මොවුහු මහරජ! පරලොව දෙව්ලොව උපදිත්, දෙවියන් හා සතුටු වෙත්, සැපතින් පිනා යෙත්” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං,
ධීරොව දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්‍ථා ති .
තද මසුරෝ ඒකාන්තයෙන් දෙව්ලොවට නො යත්. මෝඩයෝ දන්දීමට නො පසසත්. නුවණැත්තෝ දන් පින් අනුමෝදන් වන්නේ ඒ හේතුවෙන් ම හෙතෙමේ පරලොව සැප ඇත්තේ වේ.
න වෙ කදරියා දෙවලොකං වජන්ති = තද මසුරෝ ඒ කාන්තයෙන් දෙව්ලොවට නො යත්.
“කිසි සැපතෙක් අන්හට නො වේවා, හැම සැපත් මට ම වේවා” යන කැත අදහසින් සැපත් සඟවා තබා ධනය රැස් කරණ පරා ඉණඉහ කඩා බිඳ ධනය උපදවන කරුණාමාත්‍රයක් සිත නො ලැගුනු නින්දිත ධනපති තෙමේ, එලොව මෙලොව නො දත් මෙරමා විපතෙහි තුටුවන පොහොසතා කදරිය නම් වේ. “කුච්ජිතො අරියො අත්‍ථපති කදරියො” යනු බැලිය යුතු ය. නො දෙන බැවින් නොකන බැවින් සඟවන බැවින් මෙරමා විපතෙහි තුටුවන බැවින් එයින් ධන උපයන බැවින් නිරය තිරිසන්යෝනිය ප්‍රේතයෝනිය යන පහත් තැනට දුක් ඇති තැනට යන්නේ ද කදරිය යි කියනු ලැබේ. “අදායකත්තා කුච්ජිතං ඨානං අරතීති වා කදරියො” යනු දන්නේ ය.
“කදරියො වුච්චති අනරියො” අනාර්‍ය්‍ය තෙමේ කදරිය යි. හඳුන්වන ලද්දේ තද මසුරුකම නිසාය. මෙහි කදරිය යි කීයේ තද මසුරුකම ය. “කදරියන්ති ථද්ධමච්ඡරියස්සෙතං නාමං” යනු අටුවා ය. මේ මසුරුකමින් යුත් තැනැත්තේ තම ගෙට පිඩු සිඟා ආ මහණබමුණකු දුටුවේ ද, හුන් තැනින් නො නැගිටියි. ගල්කණු ලී කණු සේ නො සැලී තද ව සිටියි. යම්තම් සැලකිල්ලකුත් නො ද දක්වයි.
මසුරුතැනැත්තේ යමක් කමක් අනුනට දෙනකු දුටු කල්හි ඒ දෙන්නහු එයින් වළකා ලන්නේ ය. ඒ මෙසේ දෙසන ලද ය.
“කදරියො පාපසඞ්කප්පො - මිච්ඡදිට්ඨො අනාදරො,
දදමානං නිවාරෙති - යාචමානානභොජනං” යි.
නො තද වූ මසුරුකම, මොළොක් වූ මසුරුකම, නො දැඩි වූ මසුරු කම වෙවිච්ඡ නමින් හඳුන්වනු ලැබේ. මෙයින් මැඩුනේ මෙයින් පෙළුනේ තම ගෙට පැමිණි මහණක්හට වත් දෙඅත් එකතු කොට වැඳුමක් පමණකුත් නො කරයි. එහෙත් පන්සල් ගියේ යටත් පහත් ව වැඳ හිඳ “ස්වාමීන්වහන්සේ අපේ ගෙවලට නො වඩින සේක, අපට කෑම්බීම්වලින් අපහසුවෙක් නැත, අප හිඳිනා පළාත් කෑම්බීම් බහුල පළාත් ය, ඒ හෙයින් කෑම්බීම් වලින් සවාමීන් වහන්සේලාට උපස්ථාන කිරීම අපහසු නො වේ” යන ඈලෙසින් මිහිරි බසින් කතා කරයි. ඒ ඇසූ මහණහු “මේ උපාසක සැදැහැත්තේ ය, දන්දීමට කැමැත්තේ ය, දීමෙහි පොහොසත්” යි ගෙණ පසුදා එගම පිඩු සිඟා යත්, එසේ පිඩු සිඟා යන මහණුන් දුටු ඒ උපාසක නො පෙණී යන්නේ ය. සැඟවී ගන්නේ ය. ගෙය හැර අන් තැනක හෝ යන්නේ ය. නැත, ගෙට වැද දොර වසා ගන්නේ ය. වැටකඩුලු බඳින්නේ ය මහණහු ගෙයි පිළට නැග “මහත්මයා ගෙයි ඉන්නේ දැ” යි ඇසූවිට ගෙයි වැද හිඳ ම නැත කියන්නැයි කියන්නේ ය. යම් ලෙසකින් මහණහුට හමු වූයේ ද එකල යම්තමකට වැද “ස්වාමීනි! අද කලබල දවසක්, කටයුතු රාශියක් තිබේ, කතා කරන්නටත් ඉඩ පහසු නැත, හාමුදුරුවන්ට දන් ටිකක් පිළිගන්වන්න, මම යමි” යි වහා ගෙන් පිටත්ව යයි. නො දෙන්නකු දෙන්නකු සේ හඟවන්නේ මේ නො දැඩි වූ මොළොක් කම නිසා ය.
තද මසුරුකම ඇක්තහුගේ සිත, යමක් කමක් ඉල්ලා සිටි කල්හි ඉල්ලන්නකු දුටු කල්හි නපුරුවිලසින් හැකිළෙන්නේ ය. සිතෙහි වන ඒ නපුරු හැකිළීම කටුකඤ්චුකතා යි කියනු ලැබේ. කටුකඤ්චුකතා නම් මසුරුකමින් මැඩුනු තැනැත්තේ කට ලඟට පිරුණු බත්සැළියෙන් බත් ගන්නේ බතෙහි යටට හැන්ද නො බහා යමකින් සැඳිතුඩ බතෙහි හපා ගන්නේ ය. අන් යමක් ගන්නේ ද හැන්ද පුරවා නම් නො ගන්නේ ය. තමා කන්නේ කටුක දෙයක් ම කන්නේ ය. ඇඟිලිතුඩින් ගෙණ කන්නේ ය. දිවතුඩින් ගෙණ කන්නේ ය. කිසි දවසෙක කට බඩ පුරා නම් නො කන්නේ ය. රසක් මසක් කැවිලියක් පැණියක් නො කන්නේ ය. කදරිය කීයේ මේ තෙමේ ය. මේ මොවුන්ගේ ස්වභාවය යම්තමකින් වදාළ ගාථාවක්:
“යොධ මච්ඡරිනො ලොකෙ - කදරියා පරිභාසකා,
අඤ්ඤෙසං දදමානානං - අන්තරායකරා නරා”
යනු. මසුරුකම් ඇති තදමසුරු වූ මහණබමුණන්ට නිගාකරන්නා වූ මිනිස්සු, දන් දෙන්නා වූ අනුන්ට අන්තරාය කරන්නෝ වෙත්, යනු එහි සිංහල ය. ලෝකයෙහි මෙබන්දෝ දුර්‍ලභ නො වෙත්. අද ද වත්පොහොසත් කම් ඇති සමහර මිනිස්සු වත් පොහොසත්කමේ තරමට තබා එදා වේල සපයා ගෙණ කන බොන මිනිසුන් තරමටත් නො කන්නෝ ය. කාඩි හොදි හා සුන් සාලේ බත් බුදිත්. මොවුහු ඉණට වතක් නො අඳිති. මොවුන් අනුනට බතක් බුලතක් පැණක් වතක් දෙනු නම් කවදාත් නැත්තේ ය. මේ මොවුන් මරණින් මතු ලබන පරලොව:
“නිරයං තිරච්ඡනයොනිං - යමලොකං උපපජ්ජරෙ,
සචෙ එන්ති මනුස්සත්තං - දළිද්දෙ ජායරෙ කුලෙ.
වොළං පිණ්ඩො රතිඛිඩ්ඪා - යත්‍ථ කිච්ඡෙන ලබ්භති,
පරතො ආසිංසරෙ බාලා - තම්පි තෙසං න ලබ්භති,
දිට්ඨ ධම්ම සවිපාකො – සම්පරායෙ ච දුග්ගති”
යනු. නිරයෙහි තිරිසන්යෝනියෙහි යමලෙව්හි උපදිත්. මිනිස් ලොවට එන්නේ දිළිඳු කුලයෙක උපදිත්. එහි කෑම් බීම් ඇඳුම් පැළඳුම් පස්කම් ඇලුම් සෙල්ලම් ආදී කිසිවක් නො ලබත්. අනුන් ගෙන් කිසිවක් බලාපොරොත්තු වූවෝ ද ඒ ද නො ලබත්, යනු එහි සිංහල ය.
බාලා හවෙ නප්පසංසන්ති දානං = බාලයෝ (මෝඩයෝ) ඒකාන්තයෙන් දන් දීම නො පසසත්. [1]
දන් දීමට මෝඩයෝ සතුටු නො වෙත්. දන් දීමෙහි සතුටු නො වන්නෝ මෝඩයෝ ය.
දාන යනු සිද්ධක්‍රියාවකි. කර්‍ම - කර්‍තෘ - කරණ - සම්ප්‍රදාන යන අරුත් සතරෙහි සිද්ධ කටහැකි ය. එහෙත් දෙන්නකු කෙරෙහි හා දීම පිළිගන්නකු කෙරෙහි යෙදුනු දාන ශබ්දයෙක් අපට දක්නට නො ලැබුනේ ය. දෙන්නහු කෙරෙහි හා දීම පිළිගන්නහු කෙරෙහි ප්‍රසිද්ධව නැඟී සිටියෝ දායක දාතු පටිග්ගාහකාදි ශබ්දයෝ ය. ශබ්දලක්‍ෂණ විසින් දෙන්නහු කෙරෙහි හා පිළිගන්නහු කෙරෙහි දානශබ්දයක් නිපදවිය හැකි සේ පෙණුන ද ශබ්දසිද්ධිය ප්‍රයෝගානුකූල වියයුතු බැවින් ව්‍යවහාරය අනුව යායුතු බැවින් එසේ නිපදවීම යෙදෙන්නේ නො වේ. දේශනාර්‍ත්‍ථකථාවන්හි දැක්වෙන්නක් ම ප්‍රවචනානුකුලව එසේ නිපදවිය යුතු ය.
“දීය්‍යාතීති = දානං, දාතබ්බං = දානං” දෙනු ලබන වස්තුව දියයුතු වස්තුව දාන නම් යන අරුත්. “දානං දෙති අන්තං පානං වත්‍ථං යානං” යනාදි තන්හි යෙදී සිටියේ කර්‍මාර්‍ත්‍ථයෙහි සිද්ධ දානශබ්දය යි. එහෙත් ආහාරපානාදී දානවස්තු දානසඞ්ඛ්‍යාවට යනුයේ ප්‍රධාන විසින් නො වේ. අප්‍රධාන විසින් ය.
මෙහිලා ගැණෙන දානවස්තු සූත්‍ර පිටකයෙහි දසපරිදි කොටත් අභිධර්‍මපිටකයෙහි සපරිදි කොටත් විනයපිටකයෙහි සිවුපරිදි කොටත් දක්වන ලද්දේ ය. එහි අන්න - පාන - වත්‍ථ - යාන - මාලා - ගන්‍ධ - විලේපන - සෙය්‍යා - ආවසථ - පදීපෙය්‍ය යන මේ දසය සුත්‍ර පිටකයෙහි ආයේ ය. එහි සඞ්ග්‍රහය මේ.
“අන්න පානං වත්‍ථං යානං - මාලාගන්‍ධවිලෙපනං
සෙය්‍යවසථදීපෙය්‍යං - දානවත්‍ථු ඉමෙ දස”
යනු.
අන්න නම්:- බත්, මාළු, කැවුම්, අග්ගලා, තලප, දියමස්, ගොඩමස්, අල, බතල ඈ කඩා විකා කරන හැම දේ ය.
පාන නම්:- අඹ, දඹ, කෙහෙල්, ඇටකෙහෙල්, මීවද, මිදි පල, ඕලු, උගුරැස්ස, කොසඹ, ඩෙබර, මහඩෙබරපල ඈ මැඩ පෙරා ගත් පැන් හා ගිතෙල්, තලතෙල්, කිරි, කැඳ, රස ඈ මත්පැන් ගණයට අසු නො වන හැම දේ ය.
වත්‍ථ නම්:- කොමුපිලී, කපුපිළී, දුහුල්පිළී, තිහිරිපිළී, පත්තුණ්ණපිලී, රෝමයෙන් උපදිනා පිළී, හණපිළී ඈ දේ ය.
යාන නම්:- කරත්ත, අත්කරත්ත, දෝලා, පල්ලැක්කි, වහන් ඈ ය.
මාලා නම්:- ගණ්ඨිම, ගොප්ඵිම, වෙධිම, වෙඨිම, විධුතික, මඤ්ජරිකා ආදී වූ ගෙතු නො ගෙතු මල් ය.
ගන්‍ධ නම්:- ඇඹරූ නො ඇඹරූ සුවඳ ගන්වන උපකරණ ය.
විලෙපන නම්:- රත්සඳුන්, සුදුහඳුන්, කස්තුරි, කර්පූර, සබන්, බාම් ඈ ය.
සෙය්‍යා නම්:- ඇඳ, පුටු, සෝපා, කවිච්චි ආදියෙහි හා පාවාරකෝජවාදියෙහි ඇතිරිය යුතු කොට්ට, මෙට්ට, ගුදිරි, බිසි, කුසිම් දෑ ය. අසුන් ද මෙහි ම ඇතුළත් ය.
ආවසථ නම්:- මන්‍දිරප්‍රාසාදාදී වූ කුඩා මහත් ගේ ය. අතුපැල, පිදුරුපැල, තණපැල හා ගේයයි කිසිවකින් පිරිසිඳ ගත් තැන් ද මෙහිම ඇතුළත් ය.
පදීපෙය්‍ය නම්:- පහන් දැල්වීමට හිත වු පහන්, පහන්වැටි, පහන්තෙල්, ඉටිපන්දම්, විලක්කු ඈ ය.
අභිධර්‍මපිටකයෙහි කියූ දානවස්තු නම්:- රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය, ධර්‍ම යන මේ ය.
එහි නීලපීතාදිවර්‍ණවත් වස්තූන්හි වූ සිත් ඇලවිය යුතු වූ නීලපීතාදිවර්‍ණායතනය රූප නම්.
මිහිඟු බෙර, පණාබෙර, ගැටබෙර, යක් බෙර, දවුල්, පටහ, උඩැක්කි, රබන්, තම්මැට්ටම්, වස්කුලල්, කුළුතාලම්, නාගසින්නම් ආදියෙන් නගිනා, සිත් ඇලවිය යුතු වූ ශබ්දායතනය ශබ්ද නම්.
මල්, කොළ, පතුරු, හර, මුල්, ආදී වූ ඒ ඒ වස්තුන් පිළිබඳ සිත් ඇලවිය යුතු වූ ගන්‍ධායතනය ගන්‍ධ නම්.
මල්, මුල්, කොළ, ගෙඩි, පතුරු බත්මාලු ආදියෙහි වූ සිත් ඇලවිය යුතු වූ රසායතනය රස නම්.
ඇඳ, පුටු, කොට්ට, මෙට්ට, ගුදිරි, බිසි ආදියෙහි වූ සිත් ඇලවිය යුතු වූ ස්පර්‍ශායතනය ස්ප්‍රෂටව්‍ය නම්.
ඒ ඒ වස්තුන් පිළිබඳ ඔජාශක්තිය, සත්ත්‍වත්ශරීරය තර කරණ ඕජා නම් වූ ධර්‍මායතනය ධර්‍ම නම්.
නීල පීත ලොහිත ඔදාතාදී වූ වර්‍ණවත් පුෂ්පවස්ත්‍රාදී වූ වස්තුවක් ලැබ ඒ වස්තුව ඇති පරිදි නීලපීතාදීවර්‍ණ වශයෙන් සලකා තුණුරුවනට පිදීම, මිහිඟු බෙර ආදියෙහි වූ සිත් ඇලවිය යුතු ශබ්දය, ශබ්ද වශයෙන් සලකා තුණුරුවනට පිදීම, අගිල් තුරුවලා ආදී වූ සිත් ඇලවිය යුතු සුගන්‍ධද්‍රව්‍යයක් හෝ ඉන් පෙරා ගත් දියක් හෝ සුගන්‍ධ වශයෙන් සලකා තුණුරුවනට පිදීම, මූලරසාදී වූ ප්‍රණීත රසවිශේෂයක්, රස වශයෙන් සලකා තුණු රුවනට පිදීම, ඇඳ පුටු ආදීන් කෙරෙහි වූ සිත් ඇද ගන්නා පහසක්, පහස වශයෙන් සලකා තුණුරුවනට පිදීම, ඕජස්කවස්තු, ඕජක වශයෙන් සලකා තුණුරුවනට පිදීම යන සවැදෑරුම් පිදීම පිළිවෙළින් රූපදාන සද්දදාන ගන්‍ධදාන රසදාන ඵොට්ඨබ්බදාන ධම්මදාන යි ගණු ලැබේ.
මෙහි ශබ්දදානය අල මුල් ආදියක් උදුරා දෙන්නා සේ නිලුපුල්මිටි අත තබා දෙන්නා සේ දෙනු බැරි ය. ශබ්දදානය කළ යුත්තේ සවස්තුක කොට ය. තව ද තෙරුවනටැයි සලකා තෙරුවන් ඉදිරියෙහි ම තූර්‍ය්‍යවාදනය කිරීම, බෙර දවුල් නාග සින්නම් ආදිය තැබීම ධර්‍මකථික භික්‍ෂූන්ට මිහිරිහඩ ඇති කරණු, පිණිස ගිතෙල් උක්සකුරු ඈ පිදීම, ධර්‍මශ්‍රවණයෙහි ලා කාල ඝෝෂාකිරීම, හඩ නගා පෙළපොත් කියවීම, මිහිරි හඬින් බණ කීම යන ඈ ද ශබ්දදානයෙහි ඇතුළත් ය.
ධර්‍මදානැ යි ගැණෙන ඔජාදානය ද සවස්තුක කොට කළ යුතු ය. ජීවිතදානැ යි සලකා ගිතෙල් තලතෙල් මීපැණි උක් හකුරු ඈ පිදීම, ලහබත් පැකිබත් සඟබත් ඈ පිදීම, පානදානැ යි සලකා අඹපැන් ඈ පිදීම, රෝගීභික්‍ෂුහට බෙහෙත් සපයාදීම, වෙදුන් කැඳවීම, දැල් කුමින් මළපුඩු කුරුළු කූඩු ඈ නසාලීම, බන්‍ධනගත සත්ත්‍වයන් මුදාහැරීම, සතුන් නො මරත්වා යි අණබෙර හැසිරවීම, සතුන්ගේ දිවි රැකුම යන මේ ඈ ධර්‍මදානයෙහි ඇතුළත් ය.
අභිධර්‍මපිටකයෙහි කියූ මේ ෂඩිවිධ දානවස්තූහු සූත්‍ර - විනය පිටක දෙක්හි කියු දානවස්තුන්හි ගැබ්ව පවත්නා බැවින් එක ම ආහාරදානය කරන්නහුට ආහාරය රූපාදී වශයෙන් සලකා දෙන කල්හි මේ ෂඩ්විධ දානය ම සිදු වන්නේ ය. විනය පිටකයෙහි දැක් වූ දානවස්තු, චීවර - පිණ්ඩපාත - සෙනාසන - ගිලානප්‍රත්‍යය විසින් සිවුවැදෑරුම් ය. අරුත් පැහැදිලි ය. දීමට කරුණු බැවින් දානවස්තු නම් වේ.
මෙසේ සුත්‍ර - අභිධර්‍ම - විනය පිටක විසින් බෙදුනු දානවස්තු අතුරෙහි සූත්‍ර පිටකයෙහි දැක් වූ දානවස්තුපරිත්‍යාගයට වඩා විනය පිටකයෙහි දැක් වු දානවස්තුපරිත්‍යාගය මහත්ඵලැයි ද එයට වඩා අභිධර්‍ම පිටකයෙහි දැක් වූ දානවස්තුපරිත්‍යාගය මහත්ඵලැයි ද සමහර ආචාර්‍ය්‍යයෝ කියත්. එහෙත් කිනම් දානවස්තුවක් වුවත් ක්‍ෂේත්‍රාදි ත්‍රිවිධ සම්පත්තිය ඇති කල්හි මහත්ඵල නො වීමෙහි හේතු නැත්තේ ය. වස්තුපරිත්‍යාගය මහත්ඵල වනුයේ ත්‍රිවිධ සම්පත්තිය ඇති කල්හි ම ය.
විසිවැදෑරුම් කොට දැක් වූ මේ වස්තුන්ගේ පරිත්‍යාගය ආමිස දානැ යි කියනු ලැබේ. “ තණ්හාදීහි ආමසිතබ්බතො ආමිසන්ති වුච්චති” යනු ආගමකථා ය. තෘෂ්ණාමානදෘෂ්ටීන් කරණ කොට ආමර්‍ශනය කළයුතු බැවින් අතපත ගෑයුතු බැවින් ආමිසැයි කියනු ලැබේ, යන අරුත්. “ එවමෙතං සබ්බම්පි ආමිසදානං නාම තණ්හාදීහි ආමසිතබ්බතො” යි කී බැවින් මේ කියූ දානවස්තුන්ගේ පරිත්‍යාගය ආමිසදාන නම් වේ.
නිෂ්පර්‍ය්‍යාය - පර්‍ය්‍යාය විසින් මෙය දෙපරිදයි. චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානප්‍රත්‍යය යන සිවුපසය නිෂ්පර්‍ය්‍යායාමිෂයෙහි හෙන්නේ ය. “චීචරාදයො චත්තාරො පච්චයා නිප්පරියායාමිසමෙව න අඤ්ඤෙන පරියායෙන වා කාරණෙන වා ලෙසෙන වා ආමිසං” යනු අර්‍ත්‍ථකථා ය. සිවුපසය තෘෂ්ණාදීන් විසින් ආමර්‍ශනය කළයුතු බැවින් ම ආමිෂ වනු මුත් අන් ලෙසකින් ආමිෂ වූයේ නො වේ. එහෙයින් නිෂ්පර්‍ය්‍යාමිෂැයි කියනු ලැබේ.
පර්‍ය්‍යායාමිෂය යි ගණිනුයේ භවසම්පත් සිද්ධ කොට දෙන කුශලකර්‍මයි. මේ ඒ අර්‍ත්‍ථවිවරණය යි “ ඉධෙකච්චො වට්ටං පත්‍ථෙන්තො සම්පත්තිභවං ඉච්ඡමානො දානං දෙති -පෙ- සම්පත්තියො නිබ්බත්තෙති එවං කරොන්තො අනුපුබ්බෙන දෙවමනුස්සසම්පත්තියො පටිලභති ඉදං පරියායාමිසං නාම” යනු. භව සම්පත් කැමැති ව දන් දෙනුයේ ධ්‍යානසම්පත් උපදවනුයේ පිළිවෙළින් දිව්‍යමනුෂ්‍යසම්පත් ලබන්නේ ය. ඒ ලැබීමට කරුණු වූ වට්ටගාමීකුසලය පර්‍ය්‍යාමිෂය යි දතයුතු ය.
මෙසේ දෙවැදෑරුම් වූ මේ ආමිෂය බුදුරජානන් වහන්සේ අයත් වේ. “ අනුජානාමි භික්ඛවෙ ගහපතිචීවරං” යි අනුදත් බැවින් ම භික්‍ෂූන් වහන්සේ සිවුපසය ලබත්. එහෙයින් සිවුපසය බුදුරජානන් වහන්සේ අයත් ය. සම්පත්තිභවය පතා දන් දී සිල් රැක සමාපත්ති උපදවන්නෝ පිළිවෙළින් පර්‍ය්‍යාමිෂය වූ දිව්‍යමනුෂ්‍යසම්පත් ලබන්නෝ ය.
‘දීය්‍යති එතායාති = දානං’ = යම් ශක්තියක් කරණ කොට දෙනු ලැබේ ද දීමට සාධන වූ ඒ ශක්තිය දාන නම් වේ. ඒ නම් දානචේතනා ය. දීමෙහිලා ප්‍රධාන වූවා මෝ ය. ප්‍රධාන විසින් දානය වන්නී ද දානචේතනා ය. අරුත් විසින් දානයත් මෝ ය. ‘ සා එව අත්‍ථතො දානං’ යනු කීයේ එහෙයිනි.
“අනුපච්ඡින්නභවමූලස්ස අනුග්ගහවසෙන වා පූජාවසෙන වා අත්තනො දෙය්‍යධම්මස්ස පරෙසං පරිච්චාගචෙතනා දානං” නො සුන් සසරගමන් ඇත්තහුගේ තමන් අයත් ආහාරපානාදිය අනුග්‍රහ විසින් හෝ පූජා විසින් හෝ අනුනට දීමෙහි පිදීමෙහි පැවැති සිතිවිල්ල දානය යි.
“ යාය චේතනාය අන්නාදිදෙය්‍යධම්මං සංහරිත්‍වා අනුකම්පාපූජාසු අඤ්ඤතරවසෙන පරෙසං දීය්‍යති තං දානං” යම් සිතිවිල්ලක බලයෙන් ආහාරපානාදී වූ දියයුතු දැයක් එක්තැන් කොට අනුකම්පාපූජාඅතුරෙහි එකෙකින් යුක්ත ව අනුනට දෙනු ලැබේ ද ඒ සිතිවිල්ල දානය යි.
“පරං උද්දිස්ස සුබුද්ධිපුබ්බිකා අන්නාදිදසවත්‍ථුකා දානපරිච්චාගචෙතනා දානං” දෙන ලද්ද විපාක ඇත්තේ ය, පූජා කරණලද්ද විපාක ඇත්තේ ය, යන ඈ ලෙසින් ආ සමක්දිෂ්ටිය පෙරටු කොට ඇති ආහාරපානාදිය පරිත්‍යාග කිරීමේ චේතනාව දානය යි.
“සානුසයසන්තානවතො පරෙසං පූජානුග්ගහකාමතාය අත්තනො විජ්ජමානවත්‍ථු පරිච්චජනවසප්පවත්තා චෙතනා දානං නාම” අනුසය සහිත සිත් ඇත්තහුගේ තමන් සතු දැය පිදීමෙහි කැමැත්තෙන් හෝ අනුග්‍රහ කිරීමෙහි කැමැත්තෙන් හෝ අන්හට දීම් පිදීම් විසින් පැවැති සිතිවිල්ල දානය යි.
“අන්නාදිදානවත්‍ථුනං චාගො යො බුද්ධිපුබ්බකො,
යෙ තං දානන්ති දීපෙන්ති බුද්ධා දානග්ගදායිනො”
බුදුවරයෝ ආහාරපානාදිවස්තුන් පිළිබද බුද්ධ පූර්‍වකපරිත්‍යාගය දානය යි වදාරත්.
මෙතෙක් මෙහිලා ඇද දැක් වූ දේශනාර්‍ත්‍ථකථාවන්ගෙන් දාන නම් දානචේතනා යි පැහැදිලි වේ.
දානය නම් මෙපමණක් ම නො වේ. මෙහි වූ අලෝභය ද දාන ය යි කියනු ලැබේ. තද්ගතික තත්සම්ප්‍රයුක්ත බැවිනි. “චෙතනාති ච පධානවසෙන වුත්තං තං ගතිකත්තා, තංසම්පයුත්තො අලොභොපි දානං නාම” යනු අටුවා ය. “ සද්ධා හිරියං කුසලං දානං” යනාදි තන්හි ආයේ මේ චේතනාදානය යි.
අර්‍ත්‍ථ විසින් දානැයි ගැණෙන මේ චේතනා තොමෝ පූර්‍ව චේතනා - මද්ධ්‍යචේතනා - අපර චේතනා යි තෙ වැදෑරුම් ය. මේ ත්‍රිවිධචේතනා ම දාන නම්. එහෙත් එහිදු කර්‍මපථයට නැගි මද්ධ්‍යචේතනාව ම ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාක දිම් වශයෙන් අර්‍ත්‍ථසාධක වන්නී ය. ප්‍රධාන විසින් දානය වන්නී මේ මද්ධ්‍ය චේතනා ය. මුඤ්චනචේතනා යන අන් නම කිනුදු මෝ හඳුන්වනු ලබන්නී ය.
දන් දෙන්නට සිතා දැහැමින් සෙමින් දියයුතු දැය සැපයීම දියයුත්තන් සෙවීම සපයා ගත් දැය ප්‍රතිග්‍රාහකයන් අතට පිරිනැමීම යනාදී වූ ක්‍රියාවන් සිදු කිරීමෙහි දී සිදු කරන්නහුට එක එක ක්‍රියාව පිළිබඳව පහළවන ජවන් සිත් සතකින් යුත් චිත්තවීථින්ගේ ගණන නො කියැකි ය. මේ හැම ක්‍රියාවක ම පමණ නො දත හැකි, පමණ නො කියැකි චිත්තවීථීහු පහළ වෙත්. ඒ හැම චිත්තවීථියක ජවන් සිත් සතෙක් සතෙක් වන්නේ ය. ඒ හැම ජවනයක ම චේතනාවක් ද වේ.
සපයා ගත් දියයුතු දැය ප්‍රතිග්‍රාහකයන් අත තැබීමෙහි දී කායවිඥප්තිය ඉපදවීමට කරුණු වූ අර්‍ත්‍ථසාධකජවනවීථියක් පහළ වන්නී ය. ඒ ජවනවීථියෙහි හෙවත් ජවන් සිත් සතෙහි යෙදුනු චේතනාචෛතසිකය ප්‍රධාන වශයෙන් දානමයකුශල කර්‍මැයි ගණිත්.
දීමෙන් පසු “මා විසින් දනක් දෙන ලදැ” යි සිහි කරන්නේ ද සිහි කරන්නහුට ඒ ඒ වේලාවන්හි උපදනා චිත්තවීථින්ගේ පමණ නො කියැකි ය. ඒ උපදනා චිත්තවීථින්හි ඇති ජවන් සිත් ද චේතනා සහිත ම වේ.
දීමට පෙර දීමට පසු යන පූර්‍වාපර අවස්ථා දෙක්හි පූර්‍වචේතනා අපරචේතනා වශයෙන් ඉමක් කොණක් නැති ව උපදනා කාමාවචරකුසලචිත්තවීථීහු අර්‍ත්‍ථසාධකජවනවීථියට දෑලයෙහි සිට රුකුල් දෙන්නේ ය. පෙර අපර දෙපසින් රුකුල් ලත් ඒ අර්‍ත්‍ථසාධකජවනවීථියගේ ප්‍රථමජවනචිත්තයෙහි වූ චේතනාව ක්‍ෂේත්‍රසම්පත්ත්‍යාදී වූ හැම සම්පත්තියකින් යුක්ත වූ නම් ඔද වැඩි වූ නම් ධනඤ්ජය - මෙණ්ඩක සිටු ආදීන්ට සේ මෙලොව දී ම සිටුසම්පත් ආදී වූ ප්‍රවෘත්තිවිපාක දෙන්නී ය. දිට්ඨධම්මවේදනීයකම්ම යි කියන්නී ද මෝ ය. මේ කර්‍මය කාකවළිය - මල්ලිකා ආදීන්ට සේ සත් දවසක් ඇතුළත පරිපක්කවේදනීය වශයෙන් හෝ ප්‍රථමවයසෙහි කරණ ලද්දේ ප්‍රථමවයසෙහි ද මධ්‍යම වයසෙහි කරන ලද්දේ මද්ධ්‍යමවයසෙහි ද පශ්චිමවයසෙහි කරණ ලද්දේ පශ්චිමවයසෙහි ද අපරිපක්කවේදනීය වශයෙන් මෙලොවදී ම විපාක දෙන්නේ ය.
සුමනමාලාකාර, බිම්සර රජුට ගෙණ ගිය මල් අටනැළිය මගදී හමු වූ බුදුරජුන්ට පුදා, එකසාටකබ්‍රාහ්මණ, අඹුව හා තමන්ට ඇඳ පෙරව කලඑලි බැසීමට තුබූ එක ම රෙදිකඩ බණ අසා බුදුරජුන්ට පුදා, පූර්‍ණක බතට කුලී වැඩ කරමින් ලත් බත්බුලත් සැරියුත් මහතෙරුන්ට පුදා, මල්ලිකා, පැසෙහි ලාගත් කොමුපිඩු තුණ මඟ වඩිමින් සිටි බුදුරජුන්ට පුදා, ගෝපාල මාතා, රන්මසු දහසකට මිල නියම කොට ඉල්ලු තම කෙස් වැටිය එසේ නො විකොට පසුදාක හිස් පයක් අතින් ගෙන ගෙදොරට පිඬු සිඟා පැමිණි. මහාකාත්‍යායන තෙරුන් ප්‍රධාන කොට අට නමක් වූ සඟනට පිදිය යුතු දැයක් නො වූයෙන් ඒ වටිනා කෙස්වැටිය කපා විකුණා රන්මසු අටක් ගෙන එයින් දන් සපයා පුදා, සුප්පියා, කලවේ මස් කපා පිස රෝගී මහණක් හට පුදා, පුණ්ණා, කුඩු කැවුමක් හිණ තබා දියට යන්නී එය අතර මග හමු වූ බුදුරජුන්ට පුදා දෘෂ්ටධර්‍මවේදනීයකර්‍මයාගේ ඉෂ්ට විපාකය මොවුහු මහත්සේ ලැබූහ. දෙවිමිනිසුන් අතර මොවුන්ගේ කීර්තිය උස්ව නැංගා ය. ලද සම්පත් ඉමහත් ය.
ඒ ජවනවීථියෙහි ම සත්වන ජවනචේතනාව දෙවන අත් බවේ දී අඞ්කුරා දී වූ දෙව්පුතුන්ට සේ කාමසුගති භූමියෙහි ප්‍රතිසන්‍ධිවිපාක හා ප්‍රවෘත්තිවිපාක දෙන්නී ය. උපපජ්ජවේදනීය කර්‍ම යි කියන්නී ද මෝ ය.
මද්ධ්‍යයෙහි වූ අනෙක් ජවනචේතනා පස අපරාපරියවේදනීයකර්‍ම වසයෙන් ඉඩකඩ ලත් පරිද්දෙන් ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්ති විපාක දෙන්නී ය.
ජවන්සින්හි යෙදෙන මෙ කියූ චේතනාව හා එක්ව යෙදෙන ස්පර්‍ශාදී වූ අන් සිතිවිලි ද තද්ගතික තත්සම්ප්‍රයුක්ත බැවින් දානමය කුසලයෙහිලා ම ගණිත්.
මේ කියූ චේතනාදානය :-
යි කාමාවචර කුසලචිත්තයන්ගේ වශයෙන් අටවැදෑරුම් ය. ප්‍රතිරූපදේශවාසය සදාශ්‍රය ධර්‍මශ්‍රවණය පූර්‍වොකෘතපුණ්‍යත්‍වය යෝනිසෝමනසිකාරය යන මේ හේතුන් නිසා ටික දෙනකුහට “දන් දිය යුතු ය” යන අදහස උපදී.
එහි යමෙක් සැදැහ බහුල බැවින් අනුසස් දැනීමෙන් පිළි ගන්නවුන් හමුවීමෙන් තුටු පහටුව දෙනලද්ද විපාක ඇත්තේ ය, යන ඈ ලෙසින් පැවැති සම්‍යක්දෘෂ්ටිය පෙරදැරි කොට නො ගිලන් බැවින් දන් පින් කිරීමෙහි පුරුද්දෙන් පසු නො බැස අනුන් විසින් නො මෙහෙයනලදු ව දන් දේ ද, එවේලෙහි ඔහුට පහළ වන්නේ මෙහි දැක් වූ පළමු කුසල් සිත ය. මහාදානයත් ඒ ය.
පළමුවැන්නෙහිලා කියූ පරිදි තුටු පහටු ව සම්‍යක්දෘෂ්ටිය පෙරටු කොට අමුක්තත්‍යාගී ව දෙම් දෝ නො දෙම් දෝ යි පසු බැස බැස හෝ මෙරමා විසින් මෙහෙයනලදුව දන් දේ ද එකල්හි උපදන්නේ දෙවන කුසල්සිත ය.
භික්‍ෂූන් වහන්සේ කෙරෙහි නෑයන් කරණ වත්පිළිවෙත් දැකීමෙන් හටගත් පළපුරුද්ද ඇති කුඩාදරුවෝ භික්‍ෂු නමක් දුටු කල්හි සතුටු ව කිසි ද වගක් නො සලකා තමන් අත තුබූ දැයක් දෙන්නෝ ය. එකල්හි ඔවුනට උපදනේ තෙවන කුසල් සිත ය.
යම් කලෙක ඒ කුඩාදරුවෝ මවුපියාදිගේ නියමයෙන් ඇවටිල්ලෙන් මෙහෙයුනෝ දෙත් ද එකල්හි සිවුවන කුසල් සිත උපදි.
සොම්නස් වීමට සෑහෙන කරුණු නො ලැබීමෙන් යම් යම් අවස්ථායෙක දන්දීම් ඈ පින්කම් කෙරෙත් ද ඒ ඒ අවස්ථායෙහි ඒ ඒ ක්‍රියාවනට සුදුසු පරිදි පස්වන සවන සත්වන අටවන සිත් සතර උපේක්‍ෂාසහගත ව උපදනේ ය. චිත්තවර්‍ගයෙහි කියූ විස්තරය බැලිය යුතු ය.
මේ චේතනාදානය දානමය පුණ්‍යක්‍රියා - ශීලමය පුණ්‍යක්‍රියා යි වස්තු විසින් දෙපරිදි ය. යම් කලෙක අහරපැන් ඈ දියයුතු දැයක් ලැබ “මා විසින් දන් දිය යුතු ය” යි සලකා දේ ද එකල්හි එය දානමය පුණ්‍යක්‍රියා ය. දියයුත්තක් ලැබ “දන්දීම මාගේ වංශය යි, දන්දීම අප පරපුරෙහි පැරණියන්ගේ සිරිතයි, ව්‍රතයැ” යි, ඈ ලෙසින් සලකා දේ ද එකල්හි එය ශීලමය පුණ්‍ය ක්‍රියා ය.
කායකර්‍ම - වාක්කර්‍ම - මනඃකර්‍ම විසින් දානය තෙපරිදි ය. දාන වස්තු සියතින් දීම පිදීම කායකර්‍ම ය. අන්හට කියා අන්හු ලවා දෙවීම පිදවීම වාක්කර්‍ම ය. විද්‍යාමාන වූ දානවස්තුන් ඇරැබ දන් දෙමි යි සිතීම මනඃකර්‍ම ය.
චිත්තෝත්පාද විසින් අටවැදෑරුම් වූ දානමයචේතනාව ප්‍රතිසන්‍ධි දීම් වශයෙන් නවවැදෑරුම් ය. ප්‍රවෘත්තිවිපාක දීම් වශයෙන් සොළොස්වැදෑරුම් ය.
අටවැදෑරුම් කාමාවචර කුසල් සිත්හි එන චතුර්විධඥාන සම්යුක්ත කුශලය, උත්කෘෂට-ලාමක විසින් දෙපරිදි ය. එහි උත්කෘෂ්ට පක්‍ෂයෙහි ගැණෙන කුසල් සිත් සතරෙහි යෙදුනු චේතනා සතර ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලචේතනා නම් වේ. “යං අත්තනො පවත්තිකාලෙ පුරිමපච්ඡිමභාගපවත්තෙහි කුසලෙහි පරිවාරිතං පච්ඡා වා ආසෙවනලාභෙන සමුදාචිණ්ණං හොති තං උක්කට්ඨං නාම” යම් කුසල් සිතෙක් එයට පෙර පසු වූ කුසල් සිත් වලින් පිරිවරා ගන්නා ලද නම්, ආසේවනය ලැබීමෙන් පුරුදු පුහුණු කරණලද නම් ඒ උත්කෘෂ්ට නම. චේතනාව පිළිබඳ මේ උත්කෘෂ්ටභාවය වනුයේ දන් පින් කමක් කිරීමට අදහස් කොට දියයුතු දැය සෙවීම සකස් කිරීම යන හැම ක්‍රියාවක ම පහළ වන්නා වූ සිත් හා දන් පින් කමින් පසු එය සිහි කරන හැම අවස්ථායෙක ම පහළ වන්නා වූ සිත් හා ඥානසම්ප්‍රයුක්ත වූ කල්හි ම ය.
යම් දානචේතනාවක් පෙරපසින් හා පසු පසින් කුශල කර්‍මයන්ගෙන් පිරිවරණු ලැබ දන් දෙන කාලයෙහි ද “මේ දානය මෙබඳු අනුසස් ඇත්තේ ය” යන කම්මස්සකතාඤාණයෙන් යුක්ත වූවා නම්, ආදි - මද්ධ්‍ය - අවසාන යන තුන් තන්හි ඤාණයෙන් ඔදවැඩි වුවා නම් ඕ තොමෝ ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලකර්‍මැ යි කියන ලද්දී ය. තවද යම් ඥානසම්ප්‍රයුක්ත කුශලයෙක් නීවරණයන්ගෙන් හෝ තමන් උසස් කොට දැක්විමැයි කියන අත්තුක්කංසනයෙන් හෝ නො ද කිලිටි ව පැවැත්තේ නම්, කුසල් කිරීමෙහිලා තෘෂ්ණාමානාදීන්ට යටත් නො ව කරණ ලද නම් එ ද උත්කෘෂ්ට ය. “තිහෙතුකං උක්කට්ඨං කුසලං තිහෙතුකං පටිසන්‍ධිං දත්‍වා පවත්තියං සොළසවිපාකානි විපච්චති” ත්‍රිහේතුක වූත් උත්කෘෂ්ට වූත් කුශලකර්‍මය චතුර්විධ වූ ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධීන් අතුරෙහි ත්‍රිහේතුක වූ එක් ම ප්‍රතිසන්‍ධියක් දී පසු ව සහේතුක අටෙක, අහේතුක අටෙකැයි ප්‍රවෘත්තිවිපාක සොළොසක් දෙන්නේ ය.
ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශලචේතනා තොමෝ සප්තකාම ස්වර්‍ගයෙහි මහේශාක්‍ය වූ මහානුභාව ඇති දෙවි මිනිසුන් කොට උපදවයි. දෙවිමිනිසුන් පිළිබඳ මහේශාක්‍යභාවයට විශාරදභාවයට මහත් කමට කරුණු වන්නී මෙසේ සකස්වන ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශල චේතනාවයි. මෙයින් පිළිසඳ ලැබූ කිසිම දෙවියෙක් මිනිසෙක් කිසි විටෙකත් කිසි තැනකදී කිසිවකුනුත් පසුබට නො වන්නේ ය. නො ද පැකිලෙන්නේ ය. නො ද හැපෙන්නේ ය. හැම තැන ඉදිරියට යන්නේ ය. සියල්ලන් සියල්ලකින් යටපත් කොට සිටින්නේ ය. මැඩගෙණ සිටින්නේය. හැම යස ඉසුරකින්ම අන්හු අබිබවා බබලන්නේ ය. අවශේෂ ලෝකය තෙමේ මොහු ඉදිරියෙහි නැමී සිටින්නේ ය. විධෙය වන්නේ ය.
ත්‍රිහේතුක ලාමක කුශලචේතනා නම්, ඥානසම්ප්‍රයුක්ත වූ කුසල් සිත් සතරෙහි යෙදෙන චතුර්විධචේතනා ය. “ යං පන අකුසලෙහි පරිවාරිතං පච්ඡා වා දුකක්ටමෙතං මයාති විප්පටිසාරුප්පාදනෙන පරිභාවිතං ඔමකං නාම” යම් දාන චේතනාවක් පෙර පසු දෙපස මුලින් හා අගින් අකුශල චේතනාවන් විසින් පිරිවරණ ලද ද, අධර්‍මයෙන් ලත් ධනයෙන් පිළියෙල කළ දානවස්තුන් දුශ්ශීලාදීන් කෙරෙහි පිරිනැමීම් ආදී වූ අකුශල ක්‍රියාවන්ගෙන් ගහණ වූවා ද ලාමකවේ. තවද ත්‍රිහේතුක කුශලකර්‍මයක් කොට පසු ව “මම වැඩකට නැති වැඩක් කෙළෙමි” යි විපිළිසරට පැමිණියේ නම් එයිනුදු දානචේතනාව ලාමක වේ. නීවරණධර්‍මයන්ගෙන් හෝ අත්තුක්කංසනාදී වූ පාපකල්පනාවන්ගෙන් අපවිත්‍ර වූ කිලිටි වූ චේතනාව ද ලාමක ය.
“ තිහේතුක ඔමකං ද්විහෙතුකං පටිසන්‍ධිං දත්‍වා පවත්තියං තිහෙතුකරහිතානි විපාකානි විපච්චති” ත්‍රිහේතුක වුව ද යට කී හේතුයෙන් ලාමකභාවයට ගිය කුශලචේතනාව චතුර්විධ ද්විහේතුකප්‍රතිසන්‍ධීන් අතුරෙහි යම්කිසි ද්විහේතුක ප්‍රතිසන්‍ධියක් දී පසු ව ප්‍රවෘත්තිකාලයෙහි ඥානසම්ප්‍රයුක්ත වූ විපාක සතර හැර අන් දොළොස් විපාකයන් දෙන්නී ය.
ද්විහේතුකප්‍රතිසන්‍ධි යි කීයේ ඥානවිප්‍රයුක්ත වූ විපාක සිත් සතර ය. මෙය ත්‍රිහේතුක වුව ද ලාමක බැවින් ශක්තියෙන් අඩු ය. එහෙයින් ත්‍රිහේතුකප්‍රතිසන්‍ධි දීමෙහි අපොහොසත් ය. එහෙත් ඥානසම්ප්‍රයුක්ත බැවින් අහේතුක ප්‍රතිසන්‍ධි නො දෙයි. ඥානවිප්‍රයුක්ත වූ විපාක සතරත් අහේතුක වූ විපාක අටත් යන දොළොස් විපාකයෝ ප්‍රවෘත්තිකාලයෙහි ලැබෙන්නාහ. මෙයින් පිළිසඳ ගත්තේ ද සාමාන්‍යයෙන් නො වන්නේ ය. දෙවියන් අතර වුව ද මිනිසුන් අතර වුව ද උසස් දෙවියෙක් උසස් මිනිසෙක් වන්නේ ය.
ඥානවිප්‍රයුක්ත වූ කුශලය ද උත්කෘෂ්ට - ලාමක විසින් දෙවැදෑරුම් ය. යම් චේතනාවක් උත්කෘෂ්ට - ඥානවිප්‍රයුක්ත ද්වීහේතුක වූ කුසල් සිත් සතරෙහි යෙදුනී ද ඕ ද්විහේතුක උත්කෘෂ්ට කුශල චේතනා තොමෝ ය. දැහැමින් උපයා ගත් දානවස්තුව දීමෙහි අනුසස් සලකා සිල්වතුන් කෙරෙහි දීමෙහි දී පහළවන දන් සිතිවිල්ල ය. ප්‍රතිසන්‍ධි - ප්‍රවෘත්තිවිපාක දානය ත්‍රිහේතුක ලාමක කුශලයෙහි කී සේ ය. “ද්විහෙතුකං උක්කට්ඨං කුසලං ද්විහෙතුකං පටිසන්‍ධිං දත්‍වා පවත්තියං තිහෙතුක රහිතානි ද්වාදසවිපාකානි විපච්චති” යනු එහිලා දන්නේය.
මේ කුශල චේතනාව ත්‍රිහේතුක ලාමක කුශලචේතනාව හා විපාක දීම් වශයෙන් සමාන බල ඇත්තී ය. මේ දෙක ම සප්ත කාම ස්වර්‍ගයෙහි ද්විහේතුක ප්‍රතිසන්‍ධිය උපදවයි. ප්‍රවෘත්තිකාලයෙහි ඥානවිප්‍රයුක්ත වූ මහා විපාක සතර ය, අහේතුක කුශල විපාක අටය, යන දොළොස් විපාකයන් උපදවයි.
යම් චේතනාවක් තොමෝ ලාමක ඥානවිප්‍රයුක්ත වූ කුසල්සිත් සතරෙහි යෙදුනී ද ද්විහේතුකලාමකකුශල චේතනා නම් ඕ ය. ඕ ලාමක වන්නී දීමෙහි අනුසස් නො සැලකීම, අධාර්‍මක වස්තු පරිත්‍යාගය, නො සකස් ව දීම, එසේත් දී “මම වැඩකට නැත්තක් කෙළෙමි” යි විපිළිසරවීම යන මේ ඈ නිසා ය. තවද මේ නීවරණයන්ගෙන් හෝ අතුක්කංසනාදියෙන් කිලිටි වීමෙන්ද ලාමක වේ. ද්වීහේතුකලාමකකුශල චේතනාව අහේතුක ප්‍රතිසන්‍ධිය දී ප්‍රවෘත්තියෙහි අහේතුක විපාක ම උපදවයි.
“ද්විහෙතුකා ඔමකං පන කුසලං අහෙතුකං එව පටිසන්‍ධිං දෙති. පවත්තියං අහෙතුක විපාකනෙව විපච්චති” යනු එහිලා දන්නේ ය.
මේ කුශල චේතනාව මිනිසුන් ජාත්‍යන්‍ධයන් කොට ජාති බධිරයන් කොට ජාත්‍යඝ්‍රාණිකයන් කොට ජාතිමූගයන් කොට ජාත්‍යුන්මත්තකයන් කොට පණ්ඩකයන් කොට උභතෝබ්‍යඤ්ජනකයන් කොට නපුංසකයන් කොට උපදවයි. “ යං ඔමකං අහෙතුකං තං මනුස්සෙසු ජච්චන්‍ධබධිරනපුංසකඋභතොබ්‍යඤ්ජන කාදීනං අහෙතුක පටිසන්‍ධිං දත්‍වා පච්ඡා අහෙතුක විපාකෙ දෙති” යනු එහිලා දන්නේ ය.
එහි ජාත්‍යන්‍ධයෝ නම් චක්ෂුඃප්‍රශාද ය ඉපදවීමෙහි අපොහොසත් කර්‍මයකින් පිළිසඳ ගත්තෝ ය. උත්පත්තියෙන් ම දෑස් නැත්තෝ ය. උත්පත්තියෙන් ම කන් නැත්තෝ නැහැය නැත්තෝ ගොළුවෝ දිශාව්‍යවහාරය නො දතුවෝ පිස්සෝ ජාතිබධිර ජාත්‍යඝ්‍රාණ ජාතිමූග ජාතිඵළ ජාත්‍යුන්මත්තකයෝ ය. කාමදාහයෙන් දැවී වියරු කරන්නෝ පණ්ඩකයෝ ය. ගැණු පිරිමි ලකුණු දෙකින් ම යුක්තයෝ උභතෝඛ්‍යඤ්ජනකයෝ ය. එදෙකින් ම තොර වූ වෝ නපුංසකයෝ ය.
චාතුර්‍මහාරාජික භූමියෙහි විනිපාතික අසුරයන්ගේ ද අහේතුක සුගති ප්‍රතිසන්‍ධිය කරන්නී මේ කුශලචේතනා තොමෝ ය. ඥාති ප්‍රේත නම් වූ විනිපාතික අසුරයෝ මනුෂ්‍යභූමියෙහි ම උපදනාහු නමුත් චාතුර්‍මහාරාජිකයෝ ම ය යි ගැණෙති ඔවුහු. චාතුර්‍මහාරාජිකයෙහි අහේතුක ප්‍රතිසන්‍ධිකයන් ඇතැයි කියන්නේ ද එහෙයිනි. මොවුහු වෘක්‍ෂපර්‍වතාශ්‍රිත විමානයන්හි වසන බලසම්පන්න වූ යක්‍ෂයන්ගේ මෙහෙකරුවෝ ය. ගස් කොළ වැල් ලෙන් ගුහා සොහොන් ආදියෙහි වසමින් මිනිසුන් හැරලන පිදේනි තටු ඈ කමින් ලදරුවන් ලෙඩුන් පෙළමින් දුබලයන් බිය ගන්වමින් ඉතා දුකසේ දිවි යවන අමනුෂ්‍යයෝ ය.
“එකාහි චෙතනා එකං එව පටිසන්‍ධිං දෙති” පූර්‍ව මධ්‍ය අපර චේතනා අතුරෙහි එක් ජවන් වීථියෙක පහළ වන ජවන් සිත් සතෙහි චේතනා සතක් යෙදුනේ ද එක් චේතනාවක් එක් ම ප්‍රතිසන්‍ධියක් දෙන්නී ය. එක් චේතනාවකට දිය හැක්කේ එක් ම ප්‍රතිසන්‍ධියෙකි. එක් කර්‍මයකින් ලැබෙන්නේ එක් ම ප්‍රතිසන්‍ධියක් බව මෙයින් කිය වේ. එක් චේතනාවකට එක් ම ප්‍රතිසන්‍ධියක් මුත් ප්‍රතිසන්‍ධි කිහිපයක් නො ලැබෙත්. ප්‍රවෘත්තිවිපාක නම් අත් බව් සිය දහස්හි ද ලැබේ. යම්කිසි කුසලයක් හෝ අකුසලයක් කිරීමෙහි දී එහි ආදිභාගයෙහි හා අපරභාගයෙහි පහළ වන නා නා ජවනවීථින්ගේ වශයෙන් ලැබෙන්නා වූ චේතනාවන්ගේ ගණනට එක එක බැගින් ප්‍රතිසන්‍ධි ද සිය දහස් අත්බැව්හි ප්‍රවෘත්ති විපාක ද ලැබෙත්. අපුත්තක සිටුගේ දාන චේතනාවෝ මේ කතාව ස්ථිර කරත්.
දවසෙක අපුත්තක සිටු තෙමේ උදෑසනින් නින්දෙන් නැගිට මුණකට සෝදා අහර ගෙණ රාජකාර්‍ය්‍යය පිණිස ගෙන් නික්ම යන්නේ අතරමග දී පිඬු සිඟා වඩනා තගරසිඛී පසේ බුදුරජුන් දැක උන්වහන්සේට පිණ්ඩපාතය දෙන්නැයි අඹුට කියා ගියේ ය. ඕ ද මහත් ප්‍රීතියෙන් බුදුරජුන් ගෙට වැඩමවා ගෙණ පසඟ පිහිටුවා වැඳ රසමසින් යුත් පිණ්ඩපාතය පිළිගැන්නූ ය. රජකිස කොට පෙරළා ගෙට එන සිටුහට පිණ්ඩපාතය ගෙණ වඩනා පසේබුදුරජ තෙමේ මුණ ගැසුනේ ය. එවිට ඔහු “ස්වාමීනි! අපේ ගෙයින් මොකවත් ලැබුනේ දැ” යි ඔලුව උස්සා පාත්‍රය දෙස බැලී ය. බුදු රජ තෙමේ ද “සිට! එසේ ය ලැබුනේ ය” යි පිළිතුරු දුන්නේ ය. ඔහු පාත්‍රය දෙස බලත් ම එහි වූ ආහාරයන්ගේ සුගන්‍ධය ඔහුගේ නැහැයෙහි වැදී ගියේ ය. එයින් සිටුගේ සිත ලෝභයෙන් පෙළින. “අයියෝ! මා කළ මෝඩ වැඩෙක්, මේ වටිනා බත්මාලු ටික වැඩ කරුවකුට දුන්නෙම් නම්, ඔහුගෙන් කොතරම් වැඩගන්නට තිබුනේ දැ” යි ඔහුට සිත් වි ය. මෙසේ සිටු අඹුලවා දෙවූ මේ පිණ්ඩපාතදානයාගේ විපාක වශයෙන් ස්වර්‍ගලෝකයෙහි සත්වරක් මනුෂ්‍ය ලෝකයෙහි සත්වරක් යි දසසතර වරක් සප්තකාමස්වර්‍ගයෙහි උත්පත්තිය ලැබී ය. ඒ වදාළෝ ය මෙසේ “යං ඛො මහාරාජ! සෙට්ඨීගහපති තගරසිඛිං පච්චෙකසම්බුද්ධං පිණඩපාතෙන පටිපාදෙසි, තස්ස කම්මස්ස විපාකෙන සත්තක්ක්ඛන්තුං සුගතිං සග්ගං උපපජ්ජි, තස්ස කම්මස්ස විපාකාවසෙසෙන ඉමිස්සායෙව සාවත්‍ථියා සත්තක්ඛත්තුං සෙට්ඨිත්තං කාරයි” යනු.
“සත්වරක් දෙව්ලොව උපන්නේ ය, සත්වරක් මිනිස්ලොව සිටුකම් කෙළේ ය” යනු වදාළෝ පූර්‍ව - පශ්චිම චේතනාවන්ගේ වශයෙනි. මේ එක් ම පිණ්ඩපාතදානයෙහි වූ එක් ම චේතනාව ප්‍රතිසන්‍ධි දෙකක් නො දුන්නී ය. මෙතෙමේ කාම සර්‍ගයෙහි උපන් තුදුස්වර ම එහි උපන්නේ පූර්‍ව - පශ්චිම වශයෙන් පහළ වූ චිත්ත වීථින්හි යෙදුනු පූර්‍ව - පශ්චිම චේතනාශක්තියෙනි.
“මේ ශ්‍රමණයාහට පිණ්ඩපාතය දෙව” යි කී මොහුට එක් ම ජවනවීථියෙහි පැවැති චේතනාවගේ වශයෙන් අර්‍ත්‍ථසිද්ධිය වූවා ද, එහි ආදි භාගයෙහි පැවැති ජවනවාරයත් අපරභාගයෙහි පැවැති ජනවාරයත් යන ජවනවාර දෙක පූර්‍ව - පශ්චිම චේතනාවන්ගේ ශක්තියෙන් මොහු මෙසේ උපනැයි වදාළ සේක. එහෙයින් දන් දීමෙහි දී පූර්‍ව - මධ්‍ය - අපරචේතනා හැම එකෙක් ම මැනැවින් ලැබිය යුතු ය. එම චේතනා සොමනසින් යුක්ත විය යුතු ය. නුවණින් ඔද වැඩිය යුතු ය. නො පසු බැස ස්ථිර ව සිටිය යුතු ය. දීමෙහි නියම ඵල ලබනු කැමැත්තන් මෙකී ත්‍රිවිධ චේතනාවෝ ම ක්‍රමානුකූලව ම පිළියෙල කළ යුතු ය. හැඩ ගැස්සි ය යුතු ය. දීම මහත්ඵල වනුයේ එවිට ය. දානචේතනා ක්‍රමානුකූල ව පිළියෙල නො වූ නම් ඉන් ලැබෙන ප්‍රතිසන්‍ධිප්‍රවෘත්තිවිපාක කාන්තිමත් නො වේ. අපුත්තක සිටු එහි නිදර්‍ශක වේ.
අපුත්තක තෙමේ සම්පත් ඇති ව උපන්නේ ද “අයියෝ! මේ බත්මාලු ටික වැඩකරුවකුට දෙන ලද්දේ නම් කොතරම් වැඩෙක් දැ” යි සිත්හි නැගි මේ විපිළිසරය හේතු කොට උපන් අත්බවේ දී රසට කෑමට, හැඩට ඇදීමට, පහසුවට යෑමට සිය සිත නමා ගැණීමෙහි අපොහොසත් වූයේ ය. පස්කම් සැප උසස් ලෙසට වැළදීමට මොහුගේ සිත නැමී නො සිටියේ ය. කෑයේ කාඩිහොදී හා හනා ගත් නිබුඩු සාලේ බත් ය. ඇදේ හනවැහැරියෙන් කළ තුට්ටුවක් පමණකුත් නො වටිනා දළ රෙදිකඩ ය. ඉණ බැද්දේ ලනු පටක් ය. තැන තැන ගියේ දිරූ කරත්තයකින් ය. හිස දැරුයේ තල් අත්තක් ය. පය ලූයේ ගෙවී ගිය දිරූ වන් කබල් ය. නිදි ගත්තේ ඉරී ගිය දිරූ පැදුරු කඩක ය. ඒ වදාළෝය මෙසේ:-
“යං ඛො සො මහාරාජ සෙට්ඨි ගහපති දත්‍වා පච්ඡා විප්පටිසාරී අහොසි වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්‍යුන්ති, තස්ස කම්මස්ස විපාකෙන නාස්සු උළාරාය භත්තභොගාය චිත්තං නමති, නාස්සු උළාරාය වත්‍ථභොගාය චිත්තං නමති, නාස්සු උළාරාය යානභොගාය චිත්තං නමති, නාස්සු උළාරානං පඤ්චන්නං කාමගුණානං භොගාය චිත්තං නමති” යනු.
හීන වූ ඡන්‍ද - චිත්ත - වීර්‍ය්‍ය - වීමංසා යන මොවුන් හා යෝගයෙන් මොවුන් හා හැනීමෙන් දානචේතනාව හීන වේ. ලාමක වේ. මද්ධ්‍යම වූ ඡන්දාදීන් හා යෝගයෙන් ගැනීමෙන් මධ්‍යම වේ. ප්‍රණිත වූ ඡන්දාදීන්ගේ යෝගයෙන් ප්‍රණීත වේ. මෙසේ දාන චේතනාව හීන - මධ්‍යම - ප්‍රණීත වශයෙන් තෙපරිදි වේ.
දානය, සඞ්ඝික - පුද්ගලික වශයෙන් දෙපරිදි ය. සංඝයා වහන්සේට දෙනු ලබන දානය සඞ්ගික යි ද පුද්ගලයක් හට දෙනු ලබන දානය පුද්ගලික යි ද කියනු ලැබේ.
මෙම සඞ්ඝ නම් ආර්‍ය්‍යශීලයෙන් ආර්‍ය්‍යසමාධියෙන් සමාන භාවයට ගියෝ ය. “සීලදිට්ඨසාමඤ්ඤතාය සඞ්ඝාතභාවං ආපන්නොති = සඞ්ඝො” යනු දන්නේ ය. මොවුහු කොතැනෙක සිටියෝ ද සංහත ම වෙති. එකට හැනී සිටියෝ වෙති. බුද්ධශ්‍රාවක ගණයාකෙරෙහි නැගී මේ සඞ්ඝ ශබ්දය උන්වහන්සේ කෙරෙහි කෙවලව නැගී සිටියේ ශීලසමාධ්‍යාදීන්ගේ සමානත්තත්‍වයෙන් හැනී සිටීම නිසා ය.
අරියසඞ්ඝො යනාදී තන්හි ආයේ සමූහාර්‍ත්‍ථය ගෙණ ය. ආර්‍ය්‍යයන්ගේ සමූහය යන අරුත් ය. තවද ඒ ඒ මගපලින් කෙලෙස් දැවිලි සමුඡෙද - ප්‍රතිප්‍රශ්‍රබ්ධි ප්‍රහාණයන්ගේ වශයෙන් මොනවට නසා සිටි බැවින් ආර්‍ය්‍ය ගණය තෙමේ සඞ්ඝ යි කියනු ලැබේ. “ තෙහි තෙහි මග්ගඵලෙහි කිලෙසදරථානං සමුච්ඡෙද පටිපස්සද්ධිවසෙන සම්මදෙවඝාතිතත්තා = සඞ්ඝො” යනු දන්නේ ය.
සඞ්ඝ තෙමේ දක්ඛිණෙය්‍යසඞ්ඝ - සම්මුතිසඞ්ඝ යි දෙපරිදි ය. එහි සැදැහවතුන් විසින් පරලොව අදහා දෙන දානවස්තුව මහත්ඵල කිරීමෙන් එයට සුදුසු ව සිටියේ දක්ඛිණෙය්‍ය සඞ්ඝ තෙමේ ය. ආර්‍ය්‍යශ්‍රාවකගණය යි. “ පරලොකං සද්දහිත්‍වා දාතබ්බං දෙය්‍යධම්මං දක්ඛිණංනාම, මහප්ඵලභාවකරණතො තං දක්ඛිණං අරහතිති = දක්ඛිණෙය්‍යො” යනු දන්නේ ය. ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ ය, සැදැහවත් ලෝකයා විසින් කම්පල අදහා දෙන දානවස්තුව පිරිසිදු කිරීමෙන් මහත්ඵල කරණුයේ. එහෙයිනි දක්ඛිණෙය්‍ය නම්. මේ ඒ දැක් වූ සැටි, “දක්ඛිණාය වා හිතො මහප්ඵලඵලභාවකරණෙ විසොධනනතොති = දක්ඛිණෙය්‍යො” යනු.
මේ දක්ඛිණෙය්‍යශ්‍රාවකගණය තෙමේ සොතාපත්තිමග්ගට්ඨ = ඵලට්ඨ, සකදාගාමිමග්ගට්ඨ = ඵලට්ඨ, අනාගාමිමග්ගට්ඨ = ඵලට්ඨ, අරහත්තමග්ගට්ඨ = ඵලට්ඨ යි අටදෙනකුන්ගෙන් පිරී සිටියේ ය. මේ අට දෙන මේ බුදුසසුනෙහි ම විනා අන් කිසිත් සසුනෙක නො ලැබෙත්. ඒ අන් සසුන් මොවුන්ට ක්‍ෂේත්‍ර නො වේ. ආර්‍ය්‍යභාවය ලැබීමෙහි මාර්‍ගය ඇත්තේ මේ සසුන්හි ම ය. බුදුරජානන් වහන්සේගේ මේ ශ්‍රේෂඨ නාදයෙන් ඒ බව පැහැදිලි වේ. “ ඉධෙව සමණො ඉධ දුතියො සමණො ඉධ තතියො සමණො ඉධ චතුත්‍ථො සමණො සුඤ්ඤා පරප්පවාදො සමණෙහි අඤ්ඤො” යනු ය ඒ නාද ය. යම් සසුනෙක ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය නො ලැබේ නම්, එහි පළමුවන සෝවන් මහණත් දෙවන සෙදගැමි මහණත් තෙවන අනගැමි මහණත් සිවුවන රහත්මහණත් නැත. අන්‍ය වූ පරප්‍රවාදයෝ (සාසනයෝ) මෙකී ශ්‍රමණයන්ගෙන් සිස් ය යනු එහි අදහස යි. පරප්‍රවාද නම් දෙසැට මිසදිටු ය. එහෙයින් බුදුසසුන්හි වූ ආර්‍ය්‍යයමාර්‍ගයෙහි ගොස් ආර්‍ය්‍යයත්‍වයට පැමිණියෝ ම තමන් පිළිගත් දානවස්තුව මහඵල කිරීමෙහි පොහොසත් වෙත්.
“ඉධ භික්ඛවෙ! භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො අයං භික්ඛවෙ පඨමො සමණො” සක්කායදිට්ඨි - විචිකිච්ඡා -සීලබ්බතපරාමාස යන තුන් බැඳුම් නැසීමෙන් මාර්‍ගස්‍රෝතයට පැමිණියේ අපායයෙහි නො හෙන්නේ ධර්‍මනියාමයෙන් නියත වූයේ ඉතිරි තුන් මග පිහිට කොට සිටියේ ප්‍රථම ශ්‍රමණ තෙමේ ය. ඒ නම් සෝතාපත්තිමග්ගට්ඨ - ඵලට්ඨයෝ ය.
“ඉධ භික්ඛවෙ! භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්‍වා දුක්ඛස්සන්තං කරොති අයං භික්ඛවෙ දුතියො සමණො” තුන් බැඳුම් නැසීයෑමෙන් රාග දෝස මෝහයන් තුනී වූ බැවින් සකදාගාමී වූයේ එක්වරක් ම මෙලොව ඉපද සසර දුක් කෙළවර කරණුයේ ද්වීතීය ශ්‍රමණ තෙමේ ය. ඒ නම් සකදාගාමීමග්ගට්ඨ - ඵලට්ඨයෝ ය.
“ඉධ භික්ඛවෙ! භික්ඛු පඤ්චන්තං ඔරම්හාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා හොති තත්‍ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා අයං තතියො සමණො” කාමලෝකයෙහි උපතට හේතු වූ කාම ලෝකයෙහි උපත දෙන සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස - කාමරාග - ව්‍යාපාද යන පස් බැදුම් නැසීයෑමෙන් ඔපපාතික වනුයේ එහි ම පිරිනිවන් පානුයේ ඒ උපන් බඹ ලොවින් උපත පිණිස අන් කොතැනෙකත් නො යනුයේ තෘතීය ශ්‍රමණ තෙමේ ය. ඒ නම් අනාගාමි මග්ගට්ඨ - ඵලට්ඨයෝ ය.
“ඉධ භික්ඛවෙ! භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුතතිං පඤ්ඤාවිමුතතිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා උපසම්පජ්ජ විහරති අයං භික්ඛවෙ චතුත්‍ථො සමණො” කාම භව දිට්ඨි අවිජ්ජා යන ආශ්‍රව ධර්‍මයන් නැසීමෙන් ආශ්‍රව රහිත වූ සියලු කෙලෙස් බැඳුමෙන් මිදුනු රහත්පල සිත රහත් පල නුවණ මෙලොවදී ම දැන පසක් කොට එයට පැමිණ වසනුයේ චතුර්‍ත්‍ථශ්‍රමණ තෙමේ ය. ඒ නම් අරහත්තමග්ගට්ඨ - ඵලට්ඨයෝ ය.
මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ මේ යුගසතර ඵලස්ථයන් ප්‍රධාන කොට ම ආයේ ය. මේ දේශනාව ප්‍රධාන විසින් මගපල අතුරෙහි ඵලස්ථපුද්ගලයන්ගේ වශයෙන් ආවා ය. මහාපරිනිබබාණසූත්‍රයෙහි “ එකුනතිංසො වයසා සුභද්ද” යනාදී වූ ගාථාවෙහි ආ ‘සමණො’ යනු මාර්‍ගඵලස්ථපූද්ගලයන් දෙදෙනා හා ඒ ඒ මග පිණිස පටන් ගත් විදර්‍ශනා ඇත්තහු සඳහා ය. මේ යුග සතර වෙන වෙන ම බෙදා ගත් විට පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් “ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො” යනු දන්නේ ය.
තිලෝගුරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ මේ පුද්ගලයන් අටදෙනා ඒ ඒ මාර්‍ගඵලප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි දී ඒ පිණිස මාර්‍ගය කොට ගත් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ විශේෂත්‍වය ගෙණ සත් දෙනකු කොට දැක් වූ සේක. “ සත්තිමෙ භික්ඛවෙ! පුග්ගලා ආහුණෙය්‍යා පාහුණෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤංඛෙත්තං ලොකස්ස, කතමෙ සත්ත ? උභතොභාගවිමුත්තො පඤ්ඤාවිමුත්තො කායසක්ඛි දිට්ඨප්පත්තො සදධාවිමුත්තො ධම්මානුසාරී සද්ධානුසාරී, ඉමෙ ඛො භික්ඛවෙ, සත්තපුග්ගලා ආහුණෙය්‍යා පාහුණෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ඤජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” යනු ඒ සත් දෙනකු කළ සැටියි.
එහි අරූපසමාපත්ති බලයෙන් රූපකායයෙන් හා මාර්‍ගඥාන බලයෙන් නාමකායයෙන් යන දෙකොටසින් සසරින් මිදී සිටියේ උභතොභාගවිමුත්ත නම්. “ ද්වීහි භාගෙහි විමුත්තා අරූපසමා පත්තියා රූපකායතො විමුත්තො මග්ගෙන නාම කායතො” යනු දතයුතු ය. චතුර්විධඅරූපසමාපත්තීන් අතුරෙහි එක එකින් නැගිට සංස්කාරයන් සම්මර්‍ශනය කොට අර්‍හත්ත්‍වයට පැමිණි සිවු දෙනාගේ හා නිරෝධසමාපත්තියෙන් නැගිට අර්‍හත්ත්‍වයට පැමිණි අනාගාමී පුද්ගලයාගේ වශයෙන් උභතෝභාගවිමුත්ත තෙමේ පස් වැදෑරුම් වේ. මේ ඒ වදාළ දේශනාව:- “කතමො ච භික්ඛවෙ පුග්ගලො උභතොභාගවිමුත්තා? ඉධෙකච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵසීසිත්‍වා විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති අයං වුච්චති පුග්ගලො උභතොභාගවිමුත්තා” යනු මේ දේශනාව ආවා අෂ්ටවිමෝක්‍ෂලාභීන්ගේ වශයෙනි.
ප්‍රඥෙන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතායෙන් සසරින් මිදී සිටියේ ප්‍රඥාවිමුක්ත නම්. “පඤ්ඤාය විමුත්තො පඤාවිමුත්තො” යනු දතයුතු ය. මෙතෙමේ ද ශුද්ධවිදර්‍ශකක්‍ෂීණාශ්‍රවයාගේ හා චතුර්විධ ධ්‍යානයන්ගෙන් නැගිට අර්‍හත්ත්‍වයට පැමිණි ක්‍ෂීණාශ්‍රවයන් සිවුදෙනාගේ වශයෙන් පස්වැදෑරුම් වේ. මේ ඒ දේශනාව:- “ න හෙව ඛො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵසිසිත්‍වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති අයං වුච්චති පුග්ගලෝ පඤ්ඤවිමුත්තො” යනු. මේ දේශනාව ආවා අෂ්ට විමෝක්‍ෂය ප්‍රතික්‍ෂේප කිරීම් විසිනි. තවද යමෙක් සංස්කාරධර්‍මයන් අනාත්ම වශයෙන් මෙනෙහි කරණුයේ ප්‍රඥාව බහුල කොට ඇත්තේ ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රතිලාභය කෙරේ ද රහත්මග තෙක් ඇති අනෙක් මගපල සයෙහි දිට්ඨප්පත්ත වේ ද, හෙතෙමේ අෂ්ටඵලයෙහි ප්‍රඥාවිමුක්ත වේ. කයින් ධ්‍යානස්පර්‍ශය කොට අනතුරුව නිවන් පසක් කොට සිටියේ කායසාක්‍ෂි නම්, “කායෙන ඣානඵස්සං ඵස්සිත්‍වා පච්ඡා නිරොධං නිබ්බාණං සච්ජිකත්‍වා ඨිතො කාය සක්ඛි නාම” යනු දතයුතු ය. මෙතෙමේ පළමු කොට සියකයින් ධ්‍යානස්පර්‍ශය කෙරෙයි. අනතුරුව නිවන් පසක් කෙරෙයි. සෝතාපත්තිඵලය පටන් රහත්මග තෙක් ඇති මගපල සදෙනාගේ වශයෙන් මේතෙමේ සවැදෑරුම් ය. මේ ඒ දේශනාව:- “ ඉධෙ කච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵස්සිත්‍වා පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති අයං වුච්චති පුග්ගලා කායසක්ඛි” යනු. “සංස්කාරයෝ දුක් වෙත්, නිරෝධය සැපයැ” යි නුවණින් දක්නා ලද්දේ පසක් කරණ ලද්දේ දෘෂ්ට ප්‍රාප්ත නම්. “ දුක්ඛා සඞ්ඛාරා සුඛො නිරොධොති ඤාතං හොති දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤායාති දිට්ඨප්පත්තො” යනු දතයුතු ය. මෙතෙමේ ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි යෙදුනු නුවණින් පළමු කොට නිවන දුටු බැවින් ඉන්පසු සෝතාපත්ති ඵලාදීන්ගේ වශයෙන් නිවනට පැමිණි බැවින් දිට්ඨප්පත්ත යි කියනු ලැබේ. මෙතෙමේ ද කායසාක්‍ෂීහු මෙන් සවැදෑරුම් ය. මේ ඒ දේශනාව:- “ ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතො චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා පඤ්ඤාය -පෙ- අයං වුච්චති පුග්ගලො දිට්ඨප්පත්තො?” යනු.
ශ්‍රද්ධේන්‍ද්‍රියයාගේ අධිමාත්‍රතායෙන් සසරින් මිදී සිටියේ ශ්‍රද්ධා විමුත්ත නම් “ සද්ධාය විමුත්තො සද්ධාවිමුත්තො” යනු දතයුතු ය. මෙතෙමේ ද පෙර කියූ සේ සවැදෑරුම් වේ. මේ ඒ දේශනාව:- “ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා පඤ්ඤාය -පෙ- නො ච ඛො යථා දිට්ඨප්පත්තස්ස. අයං වුච්චති පුග්ගලො සද්ධාවිමුත්තො” යනු. මොහුගේ ක්ලේශක්‍ෂය වනුයේ මාර්‍ගක්‍ෂණයේදී ය. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අදහනුයේ චතුර්විධඵලක්‍ෂණයෙහි මිදී සිටින්නේ ය. එහෙයින් ශ්‍රද්ධාවිමුක්ත යි කියනු ලැබේ. අන්‍යමාර්‍ගක්‍ෂණයන්හි සමාධීන්‍ද්‍රියාදීහු බලවත් වූවාහු ද, ස්‍රෝතාපත්ති මාර්‍ගක්‍ෂණයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රියයාගේ බලවත්බව නිසා ම මේ නම් විය. දිට්ඨප්පත්තයාහට පුර්‍වභාගමාර්‍ගක්‍ෂණයෙහි කෙලෙස් සිඳලන නුවණ නො ලැසි ව තියුණු ව වහා එළඹ සිටින්නේ ය. වඩා මුවහත් නො වූ කඩුවකින් කෙසෙල් කඳක් සිඳින කල්හි එහි කඩුපහර වැදුන තැන මට වනුයේ නො වේ. එහි කඩුපහර වහා වදින්නේ ද නො වේ. හඬ ද නැගෙයි. සිඳිනු පිණිස බලවත් උත්සාහයෙක් ද කළ යුතු ය. ශ්‍රද්ධා විමුක්තයාගේ පූර්‍වභාගභාවනාව ද එබඳු ය. ඉතා මුවහත් වූ කඩුවකින් කෙසෙල් කඳක් සිදින කල්හි එහි කඩුපහර වැදුන තැන මට වේ. කඩුව එය වහා සිඳ ගෙණ ඇතුළට වදිනේ ය. හඩ ද නො නැගෙයි. බලවත් උත්සාහයෙක් ද නො වුවමනා ය. ප්‍රඥාවිමුක්තයාගේ පුර්‍වභාගභාවනා ද එබඳු ය.
ප්‍රඥාව පෙරදැරි කොට ඇති මාර්‍ගය වඩනුයේ ධර්‍මානුසාරී නම්. “ධම්මං අනුස්සරතීති = ධම්මානුසාරී” යනු අර්‍ත්‍ථව්‍යවක්තිය යි. මෙහි ධම් නම් ප්‍රඥාය. සෝතාපත්තිඵලය පසක් කිරීමෙහි දී යම් කිසිවකුගේ ප්‍රඥේන්‍ද්‍රියය අධිමාත්‍ර වී නම්, ප්‍රඥාපූර්‍වඞ්ගම වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩා නම්, හේ ය ධර්‍මානුසාරී. මේ ඒ දේශනාව:- “යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤඤින්‍ද්‍රියං අධිමත්තං හොති පඤ්ඤාවාහි පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී” යනු.
ශ්‍රද්ධේන්‍ද්‍රියය අනුසරණය කරණුයේ නැතහොත් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙන් නිර්‍වාණය අනුකරණය කරණුයේ ශුද්ධානුසාරී නම් සෝතාපත්තිඑලය පසක් කිරීමට පිළිපන්නහුට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධික ව නැගී සිටියේ නම්, ශ්‍රද්ධාපූර්‍වඞ්ගම වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩා නම්, හේය ශ්‍රද්ධානුසාරි මේ ඒ දේශනාව:- “ යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසචඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී” යනු.
මොවුන් පිළිබඳ විස්තර කථාමාර්‍ගය පටිසම්භිදා - විසුද්ධිමග්ග - අංගුත්තරනිකායට්ඨ කථාදියෙහි එයි. මෙහි ද “අරියානංගොචරෙතා” යනට කළ පරිකථා ද බැලිය යුතු ය.
ආර්‍ය්‍යය ශීලයෙන් ආර්‍ය්‍ය සමාධියෙන් ආර්‍ය්‍ය ප්‍රඥායෙන් අගතැන් පත් වුවෝ මොනවට පිළිපන්නෝ නො ඇද ව පිළිපනෝ නිවනට පිළිපන්නෝ සැලකිල්ලට සුදුසු වූවෝ දුර සිට ගෙනැවිත් පිදීමට පරලොව සදහා වැඳීමට දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු වුවෝ මුන්වහන්සේ ය. පහ වූ රාග -දෝස - මෝහ ඇත්තෝ පරමසල්ලේඛ වූවෝ පරමසන්තුෂ්ට වූවෝ පරමපුණ්‍යක්‍ෂේත්‍ර වූවෝ මුන් වහන්සේය. කෙනෙක් ත්‍රිවිද්‍යාධරයහ. කෙනෙක් ෂඩභිඥාධරයහ. කෙනෙක් ප්‍රතිසංවිනමාර්ගිකයහ.
මේ මහාආර්‍ය්‍යගණයෙහි අග්‍රදක්‍ෂණාර්‍හවූවෝ මාගේ තිලෝ ගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ ය. විස්තර බණපොතින් දතයුතු ය.
එහිභික්ඛු උපසම්පදා - සරණගමන උපසම්පදා - ඔවාදපටිග්ගහන උපසම්පදා - පඤ්හබ්‍යාකරණ උපසම්පදා - ගරුධම්මපටිග්ගහන උපසම්පදා - දුතෙන උපසම්පදා - අට්ඨවාචික උපසම්පදා - ඤත්ති තුත්‍ථ කම්මඋපසම්පදා යි මේ ශාසනයෙහි උපසම්පදා අටෙක් වේ.
එහි පශ්චිමභවික පුද්ගලයාහට “එහි භික්ඛු! චරබ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය” යි දෙනු ලබන උපසම්පදා, එහිභික්ඛු උපසම්පදා නම්.
“බුද්ධං සරණං ගච්ඡාමි” යන ලෙසින් තෙවරක් වාග්භේද කරවා දෙනු ලබන්නී සරණගමන උපසම්පදා නම්.
“තස්මාතිහ කස්සප! එවං සික්ඛිතබ්බං” යන ඈලෙසින් ස්ථවිර - මද්ධ්‍යම - නවකයන් කෙරෙහි විළිබිය ද දම් දෙසුම් අර්‍ත්‍ථවත් කොට සිත්හි කොට ඇසීම ද කායගතාසතිමනසිකාරය ද යන තුන් අවවාදයන් පිළිගැන්වීමෙන් දනු ලබන්නී ඔවාදපටිගහන උපසම්පදා නම්.
දශ අශුභයෙහිලා බුදුරජුන් විසින් අසා වදාළ ප්‍රශ්නයන් විසදුම් කළ සෝපාක සාමණේරයනට අනුදන්නා ලදී පඤ්හඛ්‍යාකරණ උපසම්පදා නම්.
“වස්සස්තූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කත්තබ්බං අයම්පි ධම්මො සක්කත්‍වා ගරුකත්‍වා මානෙත්‍වා පුජෙත්‍වා යාවජීවං අනතික්කමනීයො” යන ඈලෙසින් වදාළ අට ගරුදහම් පිළිගැන්වීමෙන් මහාපජාපති ගෝතමියට අනු දන්නා ලද්දී අට්ඨගරුධම්මපටිග්ගහන උපසම්පදා නම්.
අඩ්ඪකාසි නම් ගණිකාව පිණිස මෙහෙණක දූතකර්‍මයෙහි යොදා භික්‍ෂුසඞ්ඝයා වෙත එළැඹ උපසම්පදාවට ආරාධනා කළ කල්හි අනභිමුඛයෙහි ම ඥප්තිකර්‍මවාක්‍යයන් කියවා උපසපන් කරණ ලෙසින් අනුදන්නා ලදී දුතෙන උපසම්පදා නම්.
මෙහෙණ සඟවෙතින් ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් හා මහණසඟ වෙතින් ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් හා මෙහෙණන්හට අනුදන්නා ලද්දී අට්ඨවාචික උපසම්පදා නම්.
ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් මහණුන්හට අනුදන්නා ලදී ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම උපසම්පදා නම්.
මෙහි කියූ මේ උපසම්පදා අතුරෙහි එහිභික්ඛු උපසම්පදා - සරණගමන උපසම්පදා - ඕවාදපටිග්ගහන උපසම්පදා - පඤ්හබ්‍යාකරණඋපසම්පදා - ගරුධම්මපටිග්ගහනඋපසම්පදා යන මේ පස බුදු රජුන් දවස ම පැවැතේ උන්වහන්සේ දවස ම අභාවයට ද ගියේ ය. දුතෙන උපසම්පදා-අට්ඨවාචිකඋපසම්පදා යන මේ දෙක මෙහෙණ සස්න පැවැති තාක් ම පැවැත්තේ අභාවයට ගියේය. අද පවත්නී ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මඋපසම්පදා ය.
ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන්බවට පැමිණි පෘථග්ජන භික්ෂූන්වහන්සේ ශීල - සමාධි - ප්‍රඥායෙන් සංහත වුවෝ එකට හැනී සිටියෝ සම්මුතිසඞ්ඝ යි ගැණෙත්. මේ පුහුදුන් මහණුන් කෙරෙහි නැගී සිටි සඞ්ඝ යනු ඔවුන්කෙරෙහි නැගුනේ ප්‍රධානාර්‍ත්‍ථ විසින් නො වේ. පුහුදුන් මහණෝ ද පූර්‍වභාගප්‍රතිපදාවෙහි සිටි බැවින් දානයෙහිලා පූර්‍ව චේතනාව සේ මේ සංඝ ශබ්දයෙහි ම ඇතුළත් ව සිටිත් අප්‍රධාන විසින්. මේ කියූ සැටි “ පොථුජ්ජනිකසංඝස්සාපි පුබ්බභාගපටිපදාය ඨිතත්තා පුරිමචෙතනා විය දානෙ, එත්‍ථෙව සඞ්ගහො දට්ඨබ්බො” යි.
සම්මුතිසංඝ තෙමේ දෘෂ්ටිශීලාදියෙන් ආර්‍ය්‍යයන් වහන්සේ හා සමානභාවයට නො ගියේ ද ඝටනාවට නො ගියේ ද නිවනට නතු වූ පෘථග්ජනදෘෂ්ටිශීලාදියෙන් උන් උන් සමාන බැවින් ඝටනාවට ගිය බැවින් දක්‍ෂිණාර්‍භයන් කෙරෙහි කළ යුතු වූ වැඳුම් පිදුම්වලට සුදුසු වූයේ නුයි සඞ්ඝ නම් වේය යි දතයුතු ය. “ සොපිහි කිඤ්චාපි අරියෙන දිට්ඨිසීලසාමඤ්ඤෙන අසංහතො අඝටිතො නීය්‍යානිකපක්ඛියෙන පන පොථුජ්ජනිකෙන සංහතත්තා ඝටිතත්තා දක්ඛිණෙය්‍යපණ පාතාරහො සඞ්ඝොයෙවාති වෙදිතබබො” යනු පාලියි.
සඞ්ඝ යන මෙයින් ප්‍රධාන විසින් ආර්‍ය්‍යයයන් වහන්සේ ම ගැණෙත්. සෝවන් ඈ මගපල පසක් කරණු පිණිස ආර්‍ය්‍යයන් ගිය මග යන බැවින් සාමාන්‍ය වූ උපසම්පන්නභික්‍ෂූන් වහන්සේත් අප්‍රධාන විසින් සංඝ නම් ය. මුන්වහන්සේ බුදුරජුන් පිරිනිවී සියක් අවුරුද්දක් ගිය තැන නානාවිධ හේතූන් නිසා ව්‍යග්‍ර වූහ. මෙහි මුල් වූවෝ විශාලා මහනුවර මහාවන විහාරයෙහි වුසූ වජ්ජි භික්‍ෂූන් වහන්සේ ය.
උන්වහන්සේ “ කප්පති සිඞ්ගිලොණකප්පො” අඟක ලුණු බහාතබා ලුණු නැති යාවකාලික ආහාර හා මුසු කොට වැළඳීම කැප ය.
“ කප්පති ගාමන්තරකප්පො” අන් ගමකට යෙමි යි සිතා භෝජනපවාරණය කළ පසු ඉතිරි වූ කැප නො කළ බොජුන් වැළඳීම කැප ය.
“කප්පති ද්වඞ්ගුලකප්පො” ඉර අවරට ගොස් සෙවණැලි දැඟුලක් පමණ වූ කල්හි විකාලයෙහි ද යාවකාලික ආහාර වැළ දීම කැප ය.
“කප්පති ආවාසකප්පො” එක් සීමායෙහි නන් අවස්හි පොහෝ පවුරුණු ආදී වූ සංඝකර්‍ම කිරීම කැප ය.
“කප්පති අනුමතිකප්පො” ඇතුළු සීමායෙහි සඞ්ඝයාගේ ඡන්‍දය නො ගෙණ ඡන්‍දය පසුව ගන්නා අදහසින් වෙන් වෙන් ව සංඝකර්‍ම කිරීම කැප ය.
“කප්පති ආචිණ්ණකප්පො” ආචාර්ය උපාධ්‍යායන්විසින් පුරුදු කළ කැප හෝ නො කැප දැය සුදුසු නො සුදුසු දැය ඔවුන් කළ බැවින් තමනුත් කිරීම කැප ය.
“කප්පති අමථිතකප්පො” භෝජන පවාරණය කළ පසු මිදීගෙණ එන බැවින් කිරි ද නො වූ, මුළුමනින් නො මිදුනු බැවින් දී ද නො වූ අයිරිත් කැප නො කළ කිරි වැළදීම කැප ය.
“කප්පති ජලොගි පාතුං” මද්‍යභාවයට නො ගිය තරුණ, සුරාබීම කැප ය.
“ කප්පති අදසකං නිසීදනං” අනුදත් ලෙසින් සුගත්වියත් පමණ වූ දාවලු නො තබා කළ හිඳිනා ඇතිරිය පරිහරණය කිරීම කැප ය.
“කප්පති ජාතරූපරජතං” රන් රිදී මසු කහවණු පිළිගැණීම කැප ය, යන මේ දශවස්තුන් උපදවා විනය පැණවීම් වෙනස් කොට සඞ්ඝයා වහන්සේ භේද කළහ.
එතැන් සිට කලින් කල නොයෙක් හේතූන් නිසා සඞ්ඝයා වහන්සේ තව තවත් භින්න වූ හ. මේ භින්නත්‍වය දඹදිව මෙන් ම ලක්දිව ද පැතිර ගියේ ය. එහෙත් පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ නිවනට නතුව දෘෂ්ටිශීලාදියෙන් සමාන ව සිටිනාතුරු සම්මුතිසඞ්ඝ නම් වෙත්. සඞ්ඝ යි ගැණීමෙහි දී මොවුන් අත පවත්නා අන් කිසිදු භේදයෙක් නො සැලකෙන්නේ ය. විස්තර විනය ග්‍රන්‍ථයගෙන් දතයුතු ය.
සඞ්ඝයා වහන්සේ දක්ඛිණෙය්‍ය - සම්මුති යි දෙපරිද්දෙකින් ව්‍යවස්ථිත වූවාහු ද ඒ නො ගෙණ සඞ්ඝයා වහන්සේ පිළිබඳ කිසිත් භේදයක් නො සලකා උන්වහන්සේ කෙරෙහි වූ සුප්‍රතිපන්නතාදී වූ ගුණයන් සදහා දෙනු ලබන දානය, සඞ්ඝික දානැ යි සම්මත ය. මෙසේ සම්මත වූ සඞ්ඝික දාන සතෙක් ආගමයෙහි ආයේ ය.
“බුද්ධපමුඛෙ උභතො සඞ්ගෙ දානං දෙති, අයං පඨමා සඞ්ඝගත දක්ඛිණා” ප්‍රථමසඞ්ඝිකදානය, පසෙක මහණසඟුන් පසෙක මෙහෙණ සඟුන් ඒ දෙපස මැද බුදුරජුන් වඩා හිඳුවා දෙනු ලබන්නේ ය.
“තථාගතෙ පරිනිබ්බුතෙ උභතො සඞ්ඝෙ දානං දෙති, අයං දුතියා සඞ්ඝගතා දක්ඛිණා” බුදුරජුන් පිරිනිවි කල්හි මහණ - මෙහෙණ සඟුන් දෙපස වඩා හිඳුවා ඒ මැද බුද්ධාසනයක් පණවා එහි සධාතුකබුද්ධප්‍රතිමාවක් වඩා තබා බුද්ධපූජාදිය කොට දෙනු ලබන්නේ දෙවැන්න ය.
“හික්ඛුසඞ්ඝෙ දානං දෙති, අයං තතියා සඞ්ඝගතා දක්ඛිණා” එකලා මහණ සඟනට දෙනු ලබන්නේ තෙවැන්න ය.
“හික්ඛුනීසඞ්ඝෙ දානං දෙති, අයං චතුත්‍ථි සඞ්ඝගතාදක්ඛිණා” මෙහෙණ සඟන උදෙසා දෙනු ලබන්නේ සිවු වැන්න ය.
“එත්තාකා මෙ භික්ඛු ච භික්ඛූනියො ච සඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං පඤ්චමි සඞ්ඝගතා දක්ඛිණා” සංඝයා වහන්සේ වෙනුවෙන් මට මෙතෙක් මහණ - මෙහෙණන් දෙනු මැනැවැ යි මහණ මෙහෙණ සඟුන් වෙත දෙනු ලබන්නේ පස්වැන්න ය.
“එත්තකා මෙ භික්ඛුසඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං ඡට්ඨි සඞ්ඝගතා දක්ඛිණා” උපසපන් මහණුන් සිවු නමකට නො අඩුව වසන වෙහෙරකට ගොස් “වහන්ස! මට සංඝයා වහන්සේ වෙනුවෙන් මෙතෙක් භික්‍ෂූන් දෙනු මැනැවැ” යි පමුණු වා ගත් එක් නමකට් හෝ දෙනු ලබන්නේ සවැන්න ය.
“එත්තකා මෙ භික්ඛුනියො සඞ්ඝතො උද්දිසථාති දානං දෙති, අයං සත්තමී සඞ්ඝගතා දක්ඛිණා” “වහන්ස! මට සංඝයා වහන්සේ වෙනුවෙන් මෙතෙක් මෙහෙණ සඟුන් දෙනු මැන වැ” යි පමුණුවා ගත් එක් මෙහෙණකට හෝ දෙනු ලබන්නේ සත්වැන්න ය.
මේ සියලු සඞ්ඝිකදානයෝ මහාපොළොව පස් සේ මහා මුහුද දිය සේ අහස තරු සේ ප්‍රමාණ රහිත වූ ඉෂ්ට විපාක ඇත්තෝ ය.
“භවිස්සන්ති ඛො පනානන්ද! අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්ති, තදාපහං ආනන්ද! සඞ්ඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යන්තී වදාමි” ආනන්ද මතු එන කාලයෙහි කහකඩක් අත කර බැඳ ගොවිකම් ඈ කරමින් අඹු දරුවන් රක්නා වූ පවිටු ගති ඇති “අපි මහණුම්හ” යි පිළින කරන්නා වූ ගෝත්‍රභූ නම් දුශ්ශීල කෙනෙක් වන්නාහ, එකල්හිදු දන් පින්කම් කරන්නා වූ මිනිස්සු දන් පිළියෙල කොට සඞ්ඝයාහට දෙම්හ, යි ඒ දුස්සීලයන්ට මාගේ සඞ්ඝයා උදෙසා දෙන්නාහ, ආනන්ද! ඒ දානය ද සඞ්ඝයා උදෙසා දුන් බැවින් සඞ්ඝගත දාන ම වේ. ඒ ද ගිණිය නො හැකි ප්‍රමාණවත් කට නො හැකි ඉෂ්ටවිපාක ඇත්තේ ම වේ ය, යි වදාළ බැවින් සඞ්ඝයා උදෙසා දෙනු ලබන දානයෙහි මහත්කම කොතරම් දැ යි පැහැදිලි ය. පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි සදෙවක ලෝකයාහට සඞ්ඝයා වහන්සේ ම පරමපුණ්‍ය ක්ෂේත්‍රය වන්නාහ යනු වදාළෝ සඞ්ඝයා වහන්සේ කෙරෙහි දුස්සීලභාවයක් කිසි කලෙක කිසිලෙසකින් නො වන බැවිනි. දුස්සීල වන්නෝ නම්, දුස්සීල වන්නෝ උපාසක යෝ ය. ඒ ඒ පුද්ගලයෝ ය. පුද්ගලයන් පිළිබඳ දුස්සීලභාවය සඞ්ඝගත දක්‍ෂිණාවනට විපත්තිකර නො වේ. දුස්සීලයන් කෙරෙහි වුව ද සංඝයා උදෙසාය, යි යම් දැයක් දෙන ලද්දේ නම්, ඒ සඞ්ඝගත ම වේ. අනුසස් අපමණ ය. “සඞ්ඝොහි හි දුස්සීලො නාම නත්‍ථි, දුස්සීලා පන උපාසකා, තෙසු දුස්සීලෙසු භික්ඛු සඞ්ඝං උද්දිස්ස සඞ්ඝස්ස දෙමාති දානං දස්සන්ති, සඞ්ඝගතා දක්ඛිණා නාම” යනු සාධක ය.
සඞ්ඝගතදක්‍ෂිණා පිරිනැමීම් පහසු නො වේ. ඒ පහසු ඝඞ්ඝයා කෙරෙහි ආදර සත්කාර කිරීමෙහි පොහොසත් නුවණැතියනට ය. යමෙක් සඞ්ඝගතදක්‍ෂිණාවක් දෙමි, යි සඟුන් වසනා තැනකට ගොස් “වහන්ස! මාගේ දානයට සඞ්ඝයා වහන්සේ වෙනුවෙන් භික්‍ෂුනමක් හෝ දෙනමක් දෙනු මැනැවැ” යි ඇයැද සිටියේ හෙරණකු ලැබ “මට ලැබුණේ හෙරෙකැ” යි දොම්නසටත්, ස්ථවිර නමක් ලැබ “මට ලැබුනේ ස්ථවිර නමෙකැ” යි සොම්නසටත් පැමිණේ ද, ඔහුට සඞ්ඝගත දක්‍ෂිණා නො දිය හැකි ය. ඔහුගේ ඒ දානය සඞ්ඝගතදානයෙක් නො වේ. යමෙක් හෙරණක ලත් කල්හි දොම්නසට නො පැමිණ ස්ථවිර නමක් ලත් කල්හි සොම්නසට නො පැමිණ සඞ්ඝයා වහන්සේ පිළිබඳ සුප්‍රතිපන්නතාදී වූ ගුණයෙහි ම පැහැද ගුණ හදහා “මම දෙන්නෙම් සඞ්ඝයා වහන්සේටැ” යි ඒ අවස්ථායෙහි සඞ්ඝයා වහන්සේ කෙරෙහි නො වෙනස්ව සත්කාර කිරීමෙහි පොහොසත් වේ ද, හේ ම සඞ්ඝගත දක්‍ෂිණා පිරිනැමීමෙහි දක්‍ෂ වේ. ඒ දානය ම සඞ්ඝික දානය වේ.
සඞ්ඝිකදානයෙහි ලා “මෙතෙමේ සිල්වත්, මෙතෙමේ සිල් නැත්, මෙතෙමේ හෙරණ, මෙතෙමේ මහලු, ඈ ලෙසින් දානය පිණිස පැමිණි භික්‍ෂූන් වහන්සේගේ උස්පහත්කම් සලකා සොම්නස් දොම්නස්වීම නො යෙදෙන්නේ ය. දානය පිණිස පැමිණි භික්‍ෂූන්ගේ ගුණනුවන අඩුවැඩිකම් සලකා දෙන දානය සඞ්ඝික නො වේ. පුද්ගලවිශේෂය සැලකීම සඞ්ඝිකදානයට හිතකර නො වේ. සඞ්ඝික දානයක් දෙනු කැමැත්තේ පුද්ගල විශේෂයක් නො සලකා පැමිණි හැමදෙනා වහන්සේට සැරියුත් - මුගලන් දෙනමට සේ සත්කාර කොට දන් දෙන්නේ ය. සඞ්ඝයා වෙනුවෙන් ලත් දුසිල් මහණකුහට ද නො ද විපිළිසර ව නො ද දොම්නස් ව සඟගුණ සලකා දෙන්නේ නම්, එක් රහත් නමක්හට දුන් දානයට වඩා එය වැඩිතරම් වන්නේ ය.
මේ බලනු මැනවි. දඹදිව එක්තරා නුවරෙක වෙහෙරක් කර වූ ධනවතෙක් “සඞ්ඝිකදානයක් දෙමි” යි වෙහෙරට ගොස් සඟමැද සිට “වහන්ස, දානය පිණිස සඞ්ඝයා වෙනුවෙන් භික්‍ෂු නමක් දුන මැනැවැ” යි ඇයැද සිටියේ ය, සඞ්ඝයා වහන්සේ ඔහුට භික්‍ෂු නමක් දුන්හ, ඒ භික්‍ෂු නම දුසිල් ය, දායකයා ද එය දැන සිටියේ ය, එහෙත් හෙතෙමේ එයින් විපිළිසර නො වී ය, දොම්නසට නො ද පැමිණියේ ය, භික්‍ෂු නම ගෙට කැඳවා ගෙන ගොස් ගේ හැමද පිරිබඩ කොට උඩුවියන් බැඳ පණවා තුබූ අසුනෙහි පා සෝදා තෙල් ගල්වා වඩා හිඳුවා ගඳින් දුමින් මලින් පුදා බුදුරජුන් ඉදිරියෙහි යටත් ව සිට සැලකිලි කරන්නා සේ සඞ්ඝගුණයෙහි පැහැද සඟගුණ සිහි කරමින් ඒ භික්‍ෂු නමට දන් දුන්නේ ය, දන් වළඳා වෙහෙරට ගිය ඒ මහණ එදින ම සවස පන්සල පිළිදැගුම් කරන්නට කියා උදැල්ලක් සොයා දවල දන් වැළඳූ ගෙය බලා ගියේ ය. ඒ වේලෙහි දන් දුන් දායක පුටුවෙක හුන්නේ ඉන් නැගී නො සිට ලඟ තුබු උදලු කෙටිය “මෙන්න, ගණිවු” යි පයින් ඔහු වෙතට වීසි කෙළේ ය, එහි හුන් අනෙක් දෙනා ඒ දැක. “තමුසේ හැබෑ මිනිහෙක්, අද උදය කාලයෙහි ඔය මහණහුට කළ සත්කාරයනට කළ වැඩේ වටී ද, උදය කළ සත්කාරයන්ගේ තරම නො කියැකි ය, ඒ ඉමහත් ය, මේ කිමැ” යි කීහ. “මා උදය කළ සත්කාර මොහු සඳහා නො වේ, මොහුට කරණ ලදුයේ නො වේ, මා ඒ හැම කරණ ලද්දේ අෂ්ටාර්‍ය්‍යය පුද්ගල මහා සඞ්ඝයා වහන්සේට ය” යි උපාසක කීයේ ය.
සඞ්ඝික දානයෙහිලා දෙන්නහු විසින් දන් පිළිගන්නවුන්ගේ සිල්වත් බව ගුණවත්බව උස්පහත්බව පුද්ගල විසින් නො සැලකිය යුතු ය. සඞ්ඝගුණයෙහි ම සිත බැඳිය යුතු ය. එම සිහිකළ යුතු ය. සඞ්ඝයා උදෙසා කහ කඩ අත කර බැඳ අඹුදරුවන් රක්නා සීසෑම් ගෙරිරැකීම් වෙණඳාම් කරණ සැහැසියනට දෙන දැය මහත් ඵල කරණුවෝ සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේ යි සිත්හි දැරිය යුතු ය. “ කසාවකණ්ඨසඞ්ඝස්ස දින්නදක්ඛිණම්පන කො මහප්ඵලකරණෙන සොධෙති?” යන ප්‍රශ්නයෙහිලා පිළිතුර වූයේ “සාරිපුත්ත - මොග්ගල්ලානාදයො මහාසාවකා” යනු ය.
අද හෙලදිව වැස්සෙන් අත සඞ්ඝගත දක්‍ෂිණා පිරිනැමීමෙක් ඇතැයි කියන්නට කරුණු නැත්තේ ය. මෙහිලා දායක ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂය ම කරුණු නො සලකා හැරියා සේ දක්නට ඇත. සඞ්ඝගතදක්‍ෂිණා පිරිනැමීමෙහිලා දායකයා විසින් ගණන් නියම කොට සඞ්ඝයා වහන්සේට කෙරෙණ ආරාධනය, කෙතෙක් දෙනා වහන්සේ දානය පිණිස වැඩම වියයුතු දැයි දායකයා විචාරීම, දානය පිණිස පැමිණි භික්‍ෂූන්ගේ ගණන බලා දන්පත් බෙදා තැබීම, පැමිණි භික්‍ෂූන්ගේ ගණන තමන් නියම කළ ගණනට වඩා අඩු ව ගිය කල්හි තැබූ දන්පත් බැහැර කිරීම, වැඩි ව ගිය කල්හි අඩු දන්පත් නැවැත ගෙණවුත් තැබීම, පැමිණි භික්‍ෂූන් අතර දාකයාගේ සිත් නො ගත් භික්‍ෂුහු වූවාහු නම්, ඔවුන් දැක දොම්නසට පැමිණීම, සිත් ගත් භික්‍ෂූන් දැක සොම්නසට පැමිණීම, තමන් ඇයද සිටි භික්‍ෂූන්ගේ ගණන අඩුව ගිය කල්හි දානවස්තුව විනාශ වී ය යි දොම්නසට පැමිණීම, වැඩි ව ගිය කල්හි ඉඩ පහසුකම් නො දැක දොම්නසට පැමිණීම, තමනට හිතවත් වූ භික්‍ෂූන්ගේ නම්ගම් ලියු කුසපත් ඇල වූ පිරිකර සඞ්ඝයා ඉදිරියෙහි තබා ඝඞ්ඝිවාක්‍යයෙන් පැවරීම, නැවැත දායකයා විසින් එපිරිකර තමන් කැමති සේ නම් ලෙසින් වෙන් කොට දීම, මෙලොව ප්‍රසිද්ධිය පිණිස කීර්තිය පිණිස දීම, දානය පිණිස එතැනට පැමිණි ප්‍රතිග්‍රාහකයන්ට පමණක් පැවරෙන සේ පිළියල කර ගත් පාලිවාක්‍යයකින් දානවස්තුව පවරා ගැණිම යන මේ හැම, සඞ්ඝගත දක්‍ෂිණාවට විරුද්ධ ව සිටියෝ ය.
දායක - ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂය විසින් මෙසේ දැන හෝ නො දැන මෙහිලා යොදන බොහෝ පිළිවෙත් සඞ්ඝික දානයට පටහැනි ය. සඞ්ඝිකපරිෂ්කාර විෂයයෙහි සඞ්ඝසම්මුති නො ලැබ සඞ්ඝිකපරිෂ්කාර තමන් අයත් කර ගැණිම, සඞ්ඝයා වහන්සේට යන්තමක් පෙන්වා දි වැඩියක් තමන් සතු කරගැණිම යනාදිය ද මෙකල විනය නො දත් ඇතැම් භික්‍ෂූන් අත පවත්නා වූ අපාමග දක්වන්නා වූ පව් කම් ය. මේ ද සඞ්ගිකයෙහි නො ද යෙදෙන්නේ ය.
මෙසේ වැරදි ලෙසින් පිළියෙල වූ දානය සඞ්ඝික දානයක් නො වන අතර මේ දානයෙන් දායක - ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂයට ම වැඩෙක් නො වන්නේ ය. දායකයාහට මෙයින් තරමක අස්වැසිල්ලක් වූයේ ද, ප්‍රතිග්‍රාහකයාහට උදර පූරණය මුත් අන් ඵලයක් නැත්තේ ය. එහෙත් මේ උදරපූරණය පරලොවට හිත නො වේ. අපාය පිණිස වේ.
දානය මෙසේ සඞ්ඝික විසින් සතකට බෙදෙන්නා සේ පුද්ගලික විසින් තුදුසකට බෙදෙන්නේ ය. ඒ මෙසේ ය.
“තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙ දානං දෙති, අයං පඨමා පාටිපුග්ගලිකා දක්ඛිණා” එකලා වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට දේ නම්, එය පළමු වැන්න ය.
“පච්‍චෙකසම්මා සම්බුද්ධෙ දානං දෙති, අයං දුතියා” පසේ බුදුරජක්හට දේ නම්, එය දෙවැන්න ය.
“තථාගතසාවකො අරහන්තෙ දානං දෙති, අයං තතියා” තථාගත ශ්‍රාවක වූ රහතුන් වහන්සේ නමකට දේ නම්, එය තෙවැන්න ය.
“අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්තෙ දානං දෙති, අයං චතුත්‍ථි” රහත්පලය පසක් කරණු පිණිස පිළිපන්නහුට දේ නම්, එය සිවුවැන්න ය.
“අනාගාමිස්ස දානං දෙති, අයං පඤ්චමී” අනාගාමී පුද්ගලයක්හට දේ නම්, එය පස්වැන්න ය.
“අනාගාමීඵලසචඡිකිරියාය පටිපන්තෙ දානං දෙති, අයං ජට්ඨී” අනාගාමීඵලය පසක් කරණු පිණිස පිළිපන්නහුට දේ නම්, එය සවැන්න ය.
“සකදාගාමිස්ස දානං දෙති, අයං සත්තමී” සකෘදාගාමී පුද්ගලයක්හට දේ න ම්, එය සත්වැන්න ය.
“ සකදාගාමීඵලසචඡිකිරියාය පටිපන්තෙ දානං දෙති, අයං අට්ඨමි” සකෘදාගාමිඵලය පසක් කරණු පිණිස පිළිපන්නහුට දේ නම්, එය අටවැන්න ය.
“සොතාපන්නෙ දානං දෙති, අයං නවමී” සෝවන් වූවක්හට දේ නම්, එය නවවැන්න ය.
“සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්තෙ දාන දෙති, අයං දසමී” සෝවන්පලය පසක් කරණු පිණිස පිළිපන්නහුට දේ නම්, එය දසවැන්න ය.
තෙරුවන් සරණ ගියේ ය, පංචසීලයෙහි පිහිටියේ ය, දස සීලයෙහි පිහිටියේ ය, ඒ දවස පැවිදි වූ හෙරණ තෙමේ ය, උපසපන් මහණ තෙමේ ය, වතින් පිරී සිටි මහණ තෙමේ ය, ආරබ්ධවිදර්‍ශක තෙමේ ය, සෝවන් මග පිහිටියේ ය, යන මේ අට දෙන සෝවන්පලය පසක් කරණු සඳහා පිළිපන්නෝ ය. කීහ එය මෙසේ: “ තිසරණගතො උපාසකො තදහු පබ්බජිතො සාමණෙරො උපසම්පන්නො භික්ඛු වත්තසම්පන්නො භික්ඛු ආරද්ධවිපස්සකො භික්ඛු මග්ගට්ඨොති ඉමෙ අට්ඨ සොතාපත්තිඵලසචඡිකිරියාය පටිපන්නා නාම” යි.
“බාහිරකෙ කාමෙසු විතරාගෙ දානං දෙති, අයං එකා දසමි” සසුනෙන් බැහැර වූ පහ වූ කාමරාග ඇති ධ්‍යාන ලාභී වූ තවුසක්හට දේ නම්, එය එකොළොස්වැන්න ය.
“පුථුජ්ජනසීලවන්තෙ දානං දෙති, අයං ද්වාදසමී” පුහුදුන් සිල්වත් මිනිසක්හට දේ නම්, එය දොළොස්වැන්නේ ය.
“පුථුජ්ජනදුස්සීල දානං දෙති, අයං තෙරසමී” පුහුදුන් දුසිල් මිනිසකු හට දේ නම්, එය තෙළෙස්වැන්න ය.
“තිරච්ඡානගතෙ දානං දෙති, අයං චුද්දසමී” බලු කපුටු ඈ තිරිසන් ගිය සතක්හට දේ නම්, එය තුදුස් වැන්න ය.
තිරිසනුනට දෙනු ලබන දැය ගුණ විසින් උපකාර විසින් පෝෂණය කිරීම් විසින් දෙවුනේ මෙහිලා නො ගැනේ. පරලොව හදහා කුස පිරෙණ පමණින් දෙන ලද්දේ ම ගැණේ.
කමක්බිමෙක ඇති පසට වඩා යොදුනක් පමණ තැන ඇති පස, යොදුනක් පමණ තැන ඇති පසට වඩා සියක් යොදුනක් පමණ තැන ඇති පස, දහසක් යොදුන් පමණ ඇති තැන පසට වඩා සුවහස් යොදුන් පමණ තැන ඇති පස අනන්තාපරිමාණ විසින් පිළිවෙළින් මහත් මහත් ව ගියා සේ, තිසරණ පිහිටියහු පටන් ගෙණ බුදුරජුන් දක්වා සිල්වත් ගුණවත්හට දෙන දන්හි විපාකය ඉෂ්ටඵලය පිළිවෙළින් මහත් වන්නේ ය. එකින් එක වැඩී සිටුනේ ය. සම්මා සම්බුදු රජුට දෙන දන් ම පුද්ගලික දාන අතුරෙහි විපාක විසින් හැමට වඩා මහත්තම වන්නේ ය. සඞ්ඛ්‍යා නො කොට හැක්කේ ය. බුදුරජුන්ට වඩා ශ්‍රේෂ්ඨ දක්‍ෂිණාර්‍හයෙක් ලොව නැත්තේ ද එහෙයිනි. එහෙත් මේ හැම දනට වඩා මහත් ඵලවනුයේ බුදුපාමොක් මහ සඟනට දෙන දන් ය. “ නත්‍වොවාහං ආනන්ද! කෙනචි පරියායෙන සඞ්ඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලන්ති වදාමි” යනු එහිලා දතයුතු යි. “ආනන්ද! කොයිලෙසකිනුදු සඞ්ඝගත දානයට වඩා පුද්ගලිකදානය මහත්පල ඇතැයි මම නො කියමි” යනු එහි අරුත්. අන් කවරක්හටත් දෙනු ලබන්නට වඩා සඞ්ඝයාහට දෙනු ලබන ම මහත්පලැ යි මෙයින් වදාළ සේක. එහෙයින් දන් දෙන්නන් විසින් ගුණනුවණින් යෙදී නිවන් සඳහා ම දන් දිය යුතු ය. නිවන් පතා දෙන දානය ම නිර්‍වාණ පාක්‍ෂික වේ. කාන්තිමත් ද වේ. කාම සම්පත් පතා දෙන දානය සාංසාරික වේ. කාන්තිමත් ද නො වේ.
දානය පිළිබඳ සමපදා සතරෙකි. වත්‍ථුසම්පදා - පච්චයසම්පදා - චේතනාසම්පදා - ගුණාතිරෙකසම්පදා යි.
“නිරොධසමාපත්තිතො වුට්ඨිතො අරහා වා අනාගාමී වා දක්ඛිණෙය්‍යො වත්‍ථුසම්පදා නාම” දානයෙහි ලා නිරොධ සමාපත්තියෙන් නැගී සිටි රහතුන් වහන්සේගේ හෝ අනාගාමී ආර්‍ය්‍යයක්හුගේ සම්මුඛීභාවය වස්තුසම්පදා නම්. දුන් මොහොතෙහි ම ඉෂ්ටඵල දීමෙහි පොහොසත් වූයේ එකෙණෙහි නැගි සිටි නිරෝධසමාපත්තිය ඇති රහතුන් වහන්සේට හා අනාගාමී ආර්‍ය්‍යයන් වහන්සේට දෙනු ලබන දානය යි. එහෙයින් මේ ආර්‍ය්‍යයෝ දෙදෙන උත්කෘෂ්ට විසින් වත්‍ථුසම්ප්‍රදායෙහි ගැණෙත් ස්‍රෝතාපන්නාදිආර්‍ය්‍යයන්ගේ සම්මුඛභාවය ද වත්‍ථුසම්පදා යි ගැණෙතුදු එය රහතුන්ගේ හා අනාගාමීන්ගේ සම්මුඛභාවය තරම් ඉෂ්ට ඵලදානයෙහි වේගවත් නො වේ. ‘ඛෙත්තසම්පදා’ යි හඳුන්වනු ලබන්නී ද මෝ ය.
“පච්චයානං ධම්මෙන සමෙන උප්පත්ති පච්චයසම්පදානාම” හදහා දෙන දානවස්තුන්ගේ දැහැමි බව පච්චයසම්පදා නම්.
“ දානතො පුබ්බෙ දානකාලෙ පච්ඡාභාගෙති තීසු කාලෙසු චෙතනාය සොමනස්සසහගත ඤාණසම්පයුත්තභාවො චෙතනා සම්පදා නාම” දානවස්තුන් හා ප්‍රතිග්‍රාහකයන් සපයන සොයන කාලයෙහි, දානවස්තුන් ප්‍රතිග්‍රාහකයන් අත තබන කාලයෙහි, එයින් පසු කාලයෙහි යන තුන් කල්හි දාන චේතනාව සොම්නසින් හා නුවණින් බැදී පැවැත්ම චේතනාසම්පදා නම්.
“ දක්ඛිණෙය්‍යස්ස සමාපත්තිතො වුට්ඨිතභාවො ගුණාතිරෙක සමපදා නාම” දන් පිළිගැණීමට පැමිණි රහතුන් හා අනාගාමී ආර්‍ය්‍යයන් නිරෝධසමාපත්තියෙන් එකෙණෙහි නැගී සිටිබව ගුණාතිරේකසම්පදා නාම. මේ කියූ සම්පදා සතරින් නො අඩු ව පිරී ගත් දානමය කුසලචේතනාව මේ අත්බව්හි ම විපාක දෙන්නී ය. ඒ ඒකාන්ත ය.
රජගහනුවර කාකවලිය නම් එක් දිළිඳු මිනිසෙක් විසී ය. එක් දවසක් ඔහුගේ අඹු, දෙන්නාට බීමට සෑහෙන පමණින් පිළියෙල කරගත් කොළකැඳක් එදින ම නිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහසුප් මහරහතුන් වහන්සේට පිදූ ය. උන්වහන්සේ එය ගෙණ ගොස් බුදුරජුන් වෙත එළවූහ. බුදුරජානන් වහන්සේ එයින් තමන්ට සෑහෙන පමණක් ම පිළිගත්හ. ඉතිරි කොටස පන්සිය දෙනකුහට සෑහෙන්නේ විය. කාකවලිය ද එහි පැමිණියේ ය. ඔහුට ද එයින් කැඳ ටිකක් ලැබුනේ ය. මහාස්ථවිරයන් වහන්සේ කාකවලියහට මෙයින් ලැබෙන ඉෂ්ටඵලය කිමැ යි බුදු රජුන් විචාළ කල්හි කාකවලිය මෙයින් සත්වන දා සිටුතනතුරු ලබන්නේය යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. ඒ වදාළ ලෙසට එරට රජ තෙමේ කාකවලියහට එරටෙහි සිටුතනතුර දුන්නේ ය. සියඹුව ලත් නිදන් සැළි සතෙහි වූ මහත් ධනය නිසා මෙ තෙමේ එරට මහා ධනවතා ද වූයේ ය.
කාකවලියගේ සිටු තනතුරු ලැබීමත් ඔහු අඹුගේ නිදන් සැළි ලැබීමත් පූර්‍වොක්තසම්පදා සතරින් පිරී ගත් දානමය කුසල චේතනාව මෙලොව ම කල් නො යා දී මහත් විපාක දෙන බවට නිදසුන් විසින් දතයුතු ය.
දානයෙහි ලා ලැබියයුතු මේ ගුණාතිරේක සම්පදාව අද මේ කල නො ලැබිය හැකි ය. එහෙයින් මෙ කල දන් දෙන්නට දාන වස්තුන් ප්‍රතිග්‍රාහකයන් අත තබත් ම ඇස් ඉදිරියෙහි ලැබෙන ඉෂ්ටඵලයෙක් නො ද පෙණෙන්නේ ය. ඉතිරි සම්පදා තුණ අද ද දානයෙහිලා ලැබිය හැකි ය. එහි හේතු මෙ දවස බුද්ධෝත්පාද කාලයක් වීම ය. බුද්ධෝත්පාදයෙහි වුව ද එ ද ලැබීමෙහි සමර්‍ත්‍ථයෝ නුවණැත්තෝ ය. උසස් වූ ප්‍රතිග්‍රාහකයන් වශයෙන් ගැනෙන දක්‍ෂිණාර්‍හසඞ්ඛ්‍යාත වූ ආර්‍ය්‍යයන් බුද්ධෝත්පාදකාලයෙහි ම මුත් ඉන් අන් කලෙක නො ලැබෙන බැවින් ආර්‍ය්‍යසංඝ නම් වූ සර්‍වසම්පූර්‍ණ වස්තුසම්පදාව අන් කල්හි නො ලැබේ. පච්චයසම්පදා - චේතනාසම්පදාවන් නුවණැත්තන්හට අබුද්ධෝත්පාද කාලයෙහි වුව ද ලැබිය හැකි ය. පච්චය-චේතනාසම්පදා කොතරම් පවිත්‍ර වූව ද පවිත්‍ර වූ වස්තු සම්ප්‍රදායෙන් තොර වූ දානය ආලෝකවත් විපාකයක් දායකයා නො පසුබස්වන විපාකයක් නො දෙන්නේය.
දඹදිව අසිතඤ්ජන නුවර මහාකංස නම් රජෙක් වූයේ ය. ඔහුට පුත්තු දස දෙනෙක් වූහ. එකෙක් අඞ්කුර නම් ය. හෙතෙමේ රජයෙන් තමාට හිමි කොටස අනෙක් සොහොයුරන්ට පවරා දී තෙමේ සාමාන්‍යයකු සේ වෙළඳාමට බැස්සේ ය. දවසෙක හෙතෙමේ දෙවියකු වෙතින් දානඵල අසා සොම්නස් ව රට ඒ ඒ තැන දන්හල් කරවා හැම දෙනාහට සැපසේ ජීවත් වන්නට මග යොදා මහවතුරක් සේ දන් දෙන්නට පටන් ගතු. රට තැන තැන තුබූ මොහුගේ දන්හල්වලට දින පතා දරපලා එකතු කරණ මිනිස්සු සැට දහසක් වූහ. දුරුමිරිස් ඈ කුළු බඩු අඹරා කැටි කොට දෙන ලමිස්සියෝ සොළොස් දහසක් වූහ. එළවලු කපා සෝදා යොදා දෙන තලතුනා ගෑණු එපමණ ම වූහ. තිස්දහසක් අරක්කැමියෝ කෑම පිළියෙල කළහ. අසූ සත්දහස් දෙසිය දෙසැත්තෑ යාලක් ද තුදුස් අමුණක් ද දෙපෑල් දෙලොස්සක් ද සුවඳ ඇල්හාල්, බත් පිණිස තැම්බූහ. දානය පිණිස පැමිණි හැම දෙනෙකුට ම තම තමන් රිසි හැම දැයක් ම ලැබින. මේ දැය නැතැයි කියනට එහි කිසි දැයක අඩුවෙක් නො වී ය. දින පතා උදය සවස එනුවර “බඩගිනි ඇත්තෝ කවුරු ද, පිපාසා ඇත්තෝ කවුරු ද, රෙදිපිළි නැත්තේ කවරක්හට ද, කරත්ත බැඳීමට ගොනුගෙන් අසුන්ගෙන් ප්‍රයෝජන ඇත්තෝ කවුරු ද, කුඩ වහන් සබන් පියොර සුවඳදිය වුවමනා නම් කියන්නැ” යි කියමින් නුවර පුරා ඇවිදීමට බොහෝ දෙනෙක් යොදන ලදහ. මෙසේ පච්චය - චේතනාසම්පදාවගෙන් කිසිත් අඩුවක් නැති ව බොහෝ අවුරුදු ගණනක් අතර නො තබා දන් දුන් අඞ්කුර තෙමේ මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය.
අප බුදුරජුන් දවස මැටිකබලක් ගෙණ කඩපලක් ගානේ හිඟමින් දිවි ගැල වූ ඉන්‍දක නම් යාචක තෙමේ දවසක් කඩ පිළක හිඟා යන්නේ තමාට දෙන්නට ගෙණ ආ බත්සැන්ද එහි සිඟා වැඩිය අනුරුද්ධ මහාතෙරුන්ට දෙවී ය. මිය ගොස් ඒ පිණන් තව්තිසා දෙව්ලොව උපන් ඉන්දක රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් ස්ප්‍රෂටව්‍යයෙන් ආයුෂයෙන් වර්‍ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥායෙන් ආධිපත්‍යයෙන් අඞ්කුරයා යටකොට සිටියේ ය.
මෙ දවස මාගේ තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ අභිධර්‍මදේශනාව පිණිස තව්තිසා දෙව්ලොව පරසතු රුක්මුලහි පැණවුනු පඬුඇඹුල් සලස්න අරා වැඩ හුන් සේක. දසදහසක් සක්වළ වැසි නොයෙක් තරාතිරමේ දෙවි බඹහු බණ අසන්නට එහි රැස්වූහ. අඞ්කුර ද එහි ආයේ ය. ඉන්‍දක ද පැමිණියේ ය. ඉන්‍දක බුදුරජුන් ඉදිරියෙහි ම වාඩි ගත්තේ ය. අඞ්කුර බුදුරජුන්ට අටසාළිස් ගව්වෙකින් ඈත්හි සිට ගතු. එකල්හි බුදුරජානන් වහන්සේ අඞ්කුර අමතා;
“මහාදානං තයා දින්නං අඞ්කුර! දීඝමන්තරෙ!
සුවිදූරෙ නිසින්නොසි ආගච්ඡා මම සන්තිකෙ”
යි ඇමතු සේක. “අඞ්කුර! තෝ බොහෝ දිගු කලක් දන් දුන්නෙහි, ඉතා ඈත්හි හිඳිහි, මෙහි මා වෙත එව” යන අරුත්.
බුදුරජුන් විසින් මෙසේ අඬ ගා වදාළ කල්හි අඞ්කුර “ස්වාමීනී! බොහෝ කලක් දන්හල් කරවා මා විසින් දන් දෙන ලද ද ඒ දන් දක්‍ෂිණාර්‍හයන්ගෙන් සිස් වූ බැවින් මට ලොකු ඵලලාභයෙක් නො වී ය, මේ ඉන්දක බත්සැන්දක් දී තරු මැඩ බබලන පුන් සඳ සේ අප යටපත් කොට බබලයි, කරමැටි බිමෙහි වපුළ බීජයන් ගොවියන්ගේ සිත් පුරා ඵල නො දෙන්නා සේ දුශ්ශීලයන් කෙරෙහි දුන් මහදන් ද ඉෂ්ටඵල දීමෙන් දෙන්නහු සතුටු නො කරන්නේ ය, සාර වූ කුඹුරෙක්හි වපුළ ඉතා ටික වූ ද බීජයන් නිසි කල්හි වැසිදහර ලබා යෑමෙන් ගොවියා සතුටු කරන්නා සේ ගුණවත් තාදී වූ සිල්වතුන් කෙරෙහි දුන් නො මහත් වූ ද දානය මහත්ඵල දානයෙන් දෙන්නහු සතුටු කරන්නේ ය, ස්වාමීනි! මා කොතරම් උසස් ලෙසින් දන් දෙන ලද නමුත් දානයෙහිලා මහත් ධනයක් යොදන ලද නමුත් මාගේ ඒ දානය දක්‍ෂිණාර්‍හයන්ගෙන් සිස් වූ බැවින් මම මෙසේ ඉතා ඈත්හි හැම සැපතින් ඉන්‍දහට අඩුව ඔහුට යටත් ව ඉඳිමි” යි කියා සිටියේ ය.
අඞ්කුර හවුරුදු බොහෝ ගණනක් දන් දුන්නේ ය. ඒ ද යන්තමකට නොවී ය. චේතනාසම්පදායෙන් පවිත්‍ර ව වස්තු සම්පදායෙන් මහත් කොට ප්‍රතිග්‍රාහකයන්ගේ මනදොළ වඩාලා ම දුන්නේ ය. ඉන්‍දක සිඟා යද්දී තමන්ට ලැබුණු බත්සැන්ද පමණක් ම දුන්නේ ය. අඞ්කුරගේ දානයෙහි දන් පිණිස එක් දවසෙක තැම්බූ සුවඳ ඇල් සහල්, විසිපස්කෝටි අනූතුන්ලක්‍ෂ සතළිස් අදහස් සසිය කොටසක් කළ කල්හි ලැබෙන ඉතා කුඩා කොටස පමණටත් ඒ බත්සැන්ද නො අගනේ විය. අඞ්කුරගේ දානය හැම රසමසින් පිරී තුබුනේ ය. සියතින් ම දෙවුනේ ය. ප්‍රතිග්‍රාහකයන්ට රිසි වූ හැම දෙයක් ම දුන්නේ ය. වෙළඳාම පටන් ගත් දා සිට දානෝපකරණ රැස් කිරීමෙහි දන් දීමෙහි නො පසුබට උත්සාහයෙක් එහි පැවැතේ ය. එහෙයින් එහි යෙදුනු පුර්‍වචේතනා බොහෝ ය.
ඉන්‍දකගේ දානයෙහි වටිනාකමක් උසස්බවෙක් මිහිරිබවක් නො වී ය. සියතින් නො දෙවුනේ ය. රසින් මසින් අවුලුයෙන් කැවිලියෙන් නො පිරුණේ ය. අමුතු උත්සාහයක් ද නො වී ය. එහෙයින් එහි නැගුනු පූර්‍වචේතනා ද ටික ය. එහෙත් ඉන්දක තෙමේ හැම යසිසුරෙන් අඞ්කුර යට කොට සිටියේ ය. ඉන්දකගේ දානය, වස්තු - චේතනා - ප්‍රත්‍යයසම්ප්‍රදායෙන් පිරී සිටි බැවින් ඉන්‍දක නැගී සිටියේ ය. අඞ්කුරගේ දානය, වස්තුසම්පදායෙන් පිරිහින. දන් පිළිගන්නෝ සිල්වත් නො වූහ. එහෙයින් අඞ්කුරගේ දානය ඉෂ්ටඵලදානයෙහි ශක්තිමත් නො වී ය.
දන්පින්කම් සඳහා යොදනු දානවස්තූහු ධාර්මිකවූවෝ දානය මහත්පල කරත්. ආයුධ වෙළඳාමෙන් සත්ත්‍ව වෙළඳාමෙන් මද්‍ය වෙළඳාමෙන් විෂවෙළඳාමෙන් සත්තුමැරීමෙන් හොරකම් කිරීමෙන් පරඹුවන් සෙවුමෙන් පරපිරිමි සෙවුමෙන් බොරු කීමෙන් පරාපෙළීමෙන් මං පැහැරීමෙන් ගණිකාවන් තැබීමෙන් උපයන ධනයෙන් සපයන දානවස්තු ධාර්මික නො වේ. දානය එබඳු දානවස්තු යොදා සිවුරෙන් පිළීයෙන් සළුවෙන් බතින් රසින් මසින් කිරියෙන් පැණියෙන් කැවිලියෙන් ලෙවියෙන් බලතින් කපුරෙන් සුවඳින් ඇඳන් පුටුවෙන් පැදුරෙන් කොට්ටයෙන් මෙට්ටයෙන් බිස්සෙන් ඇතිරියෙන් ගිතෙලින් දියෙන් වෙඬුරෙන් හකුරෙන් මීයෙන් සකස් කොට දෙන ලද ද දුන්නහු ඵලදානයෙන් ආයු ඇත්තකු පැහැ ඇත්තකු සැප ඇත්තකු බල ඇත්තකු නුවණැත්තකු නො කරන්නේ ය.
“ධම්මං චරෙ යොපි සමුඤ්ඡකං චරෙ
දාරං ච පොසං දදමප්පකස්මිං,
සතං සහස්සානං සහස්සයාගිනං
කලම්පි නාගඝන්ති තථාවිධස්ස තෙ”
දහසක් භික්‍ෂූන්ට දුන් දන් ඇති නොහොත් කහවණු දහසක් වියදම් කොට පිළියෙල කළ දන් ඇති ලක්‍ෂයක් දෙනකුගේ මහාදානයෝ, භික්‍ෂූන් දසකෙළකට කහවණු දසකෙළකින් දුන්නා වූ ඒ මහාදානයෝ, අතැන මෙතැන හැසිරෙමින් යමක් කමක් දුකසේ සපයා ගෙණ ඉඳුල් කමින් දුකසේ කරණ දිවිවැටුම් ඇති අඹුදරුවන් ද රක්නා පලා පමණ වූත් දියයුතු දෙයක් ඇති කල්හි නො පසුබට ව දෙන දිළින්දාගේ දානයෙහි සියයෙන් කොටසටත් ලං නො වෙත්. නො අගිත්.
“කෙනෙසයඤ්ඤෙ විපුලො මහග්ගතො
සමෙන දින්නස්ස න අග්ඝමෙති,
සතං සහස්සානං සහස්සයාගිනං
කලම්පි නාගඝන්ති තථාවිධස්ස”
මහත් වූ ප්‍රත්‍යයයන්ගේ වශයෙන් උදාරබවට ගිය මේ මහා දානය දැහැමින් සෙමින් ලැබ දුන් දානයාගේ වටිනාකමට කුමක් හෙයින් නො ඒ ද, සහස්‍රයාගී වූ ලක්‍ෂයක් දෙනාගේ දසකෙළකගේ ඒ දානයෝ එබඳු දිළින්දාගේ නො මහත් වූ දානයෙහි සියයෙන් කොටසකට වත් කවරහෙයින් නො අගිත් ද නො වටිත් ද, එයට කරුණු මෙසේ වදාරණ සේක.
“දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා
ඡත්‍වා වධිත්‍වා අථ සොචයිත්‍වා,
සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා
සමෙන දින්නස්ස න අගඝමෙති,
එවම්පි සහස්සානං සහස්සයාගිනං
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ”
ඇතැම් කෙනෙක් දන් දෙන්නෝ විසම වූ කායවාඞ්මන කර්‍මයෙහි පිහිටියෝ කය වචන සිත වැරදි මග යොදා පව්මගින් දන සපයා අනුන් තළා පෙළා මරා ශෝකීන් කොට දන්දෙත්. ඒ දානයෝ කඳුලු වැකුණු මූණු ඇත්තන් කොට මෙරමා හඬව හඬවා දුන් බැවින් අස්සුමුඛදානය නම් වෙත්. අස්සුමුඛදානය දානවස්තුවෙන් කොතරම් මහත්බවට ගියේ ද, දැහැමින් සෙමෙන් යමක් ලැබ දුන් දානයාගේ වටිනාකමට කොයි ලෙසකිනුදු නො පැමිණෙන්නේ ය. ඒ මහාදානය මේ දියයුතු දැයින් නො පිරිපුන් දානයට කිසිසේත් සම නො වන්නේ ය. ඒ මහාදානය මෙහි සියයෙන් කොටසක් හා ද නො වන්නේ ය. යම් දානය මහත් ය. උදාර ය.
දානය දානවස්තූන්ගේ දැහැමිබවෙන් දැහැමි වේ. නො දැහැමි බවෙන් නො දැහැමි වේ. දැහැමි වූයේ මහත්පල ඇත්තේ ය. නො දැහැමි වූයේ පල නැත්තේ ය. දැහැමි වුයේ දෙන්නහු හැමතින් නගා සිටු වන්නේ ය. නො දැහැමි වූයේ දෙන්නහු හැමතින් පහත ලන්නේ ය.
දානය, පූර්‍ව-මද්ධ්‍ය-අපරචේතනා වශයෙන් ලැබෙන චේතනා සම්පදායෙන් පිරිහුනේ ඵලදායක නො වේ. මෙහි යට කියූ චුලේකසාටක බමුණු පුවත පුර්‍වචේතනා ව කිලිටිව ගිය දානයෙහි විපාකය මෙබඳු යි කියාලන්නේ ය. ඒ බැලිය යුතු ය.
මද්ධ්‍යචේතනාව කිලිටි ව ගිය කල්හි ලැබෙන විපාකයෙහි තරම පහත දැක්වෙන පුවතින් පැහැදිලි වන්නේ ය. “උක්දඬු මිටියක් කරට ගෙන උක්දඬුකඩක් සපමින් මග යන මිනිසක දුටු, දරුවකු ද කර තබා ගෙණ උන් පසු පස ගිය අනෙකෙක් දරු උදෙසා ඔහුගෙන් උක්දඬුකඩක් ඉලී ය, එහෙත් හෙතෙමේ දරුගේ හැඩීමත් උක්දඬු ඉල්ලීමත් නො ඇසුනකු සේ පසු නො බලා ම ගියේ ය, නැවැත නැවැතත් උක්දඬු ඉල්ලා කළ ඇවැටිල්ලෙන් මහත් සේ කිපුනු ඒ මිනිසා බැණ වදිමින් පසු නො බලා ම උක්දණ්ඩක් ඇද පස්සට වීසි කෙළේ ය. කලක් සිට මිය ගිය මෙතෙමේ ඇතුළත මෝරා තුබූ දළ ලෝභය හේතු කොට ප්‍රේත ලෝකයෙහි උපන. කිලිටි වූ චේතනායෙන් වුව ද උක්දඬු කඩ දුන් පින් බෙලෙන් ඌ සඳහා අට කිරියක් පමණ බිමැ අඳුන් පැහැති මොහොල් පමණ උස් මහත් වූ උක්ගසින් පිරී ගත් උක්වනයෙක් පහළ වූයේ ය. සාපිපාසායෙන් මිරිකී ගිය විටෙක “උක්දඬු කඩක් කපා ගණිමි” යි උක්වනයට ගිය කල්හි උක්දඬු, තෙමේ ම පැසී නැමී ඇඹරී අවුත් ඌට පහර දෙන්නේ ය.
උක් දඬුකඩ දුන්නේ ද උක්දඬුකඩ දීමෙහි පැවැති චේතනා මාත්‍රය ලෝභාදී අකුශලයන්ගෙන් කිලිටි වූ බැවින් හේ ප්‍රේත ලෝකයෙහි උපන. උක් දඬු දී මෙහි විපාක විසින් උක්වනයෙක් පහළ වි ය. එහෙත් එයින් උට වැඩක් නො වූයේ ය.
අපරචේතනාව කිලිටිව ගිය කල්හි ලැබෙන දානඵලය කෙබඳු ද යනු යට කියූ අපුත්තක සිටුපුවතින් දත හැක්කේ ය. ඒ බැලිය යුතු ය.
“දෙමි” යි සිතක් උපන් කෙළෙහි යමක් අන්හට දීම නො පහසු නො වේ. පහසු ය. නො පහසු වනුයේ යමක් අන්හට දී ඉන් පසු උපන් ලෝභාදී වූ යම්කිසි කිලිටෙකින් හෝ අන්හු කී බසෙකින් හෝ මේ දීම මෝඩ කමෙක, මේ දීමෙන් වැඩෙක් නැතැ, යි පසුතැවිලි නො වී සිටීම ය. එය කඩු ගිලීමටත් වඩා අපහසු ය. දීමෙන් පසු සිත පිරිසිදු ව තබා ගැණිම අපහසු ය.
වස්තු - ප්‍රත්‍යය - චේතනා සම්පත්තීන් නො අඩුව යෙදුනු දානය ම දෙන්නහු උපනුපන් තන්හි සනසන්නේ ය. ඔදවැඩි කරන්නේ ය. දායකයා නුවණැත්තකු කරන්නේ ද දනැත්තකු කරන්නේ කුලැත්තකු කරන්නේ විශාරදයකු කරන්නේ නො පසුබස්නකු කරන්නේ වීරයකු කරන්නේ කන්නකු කරන්නේ අදින්නකු කරන්නේ පළඳින්නකු කරන්නේ දෙන්නකු කරන්නේ දුටුවන් පහදවන්නකු කරන්නේ උසට නිසි මහත ඇත්තකු කරන්නේ මහතට නිසි උස ඇත්තකු කරන්නේ මස්ලේ ඇත්තකු කරන්නේ දිගා ඇත්තකු කරන්නේ බලැත්තකු කරන්නේ දූ පුතුන් ඇත්තකු කරන්නේ පිරිවර ඇත්තකු කරන්නේ අධිපතියකු කරන්නේ නො පැරදවිය හැක්කකු කරන්නේ මේ කියූ වස්තු සම්පත්ත්‍යායෙන් පිරී ගත් දානමයකුශලචේතනා මාත්‍ර ය යි.
පියුමතුරා බුදුරජුන් දවස සුජාත නම් තෙරකෙනකුන් වහන්සේ පංශුකුලචීවරයට සුදුසු රෙදිකඩක් සොයා යනු දුටු හංසවතී නුවරවැසි සැදැහැති මිනිසෙක් ඇඳ තුබූ රෙදිකඩින් කැබැල්ලක් කඩා උන්වහන්සේට පුදා ගියේ ය. හේ ඒ පිණෙන් තෙතිස් වරක් දෙව්ලොව ඉපිද දෙව්රජය කෙළේ ය. සත්සිය වරක් මිනිස්ලොව සක්විතිකම් කෙළේ ය. කාශි - කෝශල - මගධ - කුරු - පඤ්චාල-අඞ්ග - වඞ්ගකාලිඞ්ගාදි දේශයන්හි ඉපිද පෙදෙසි රජකම් කළ වාර මෙතෙකැ යි නො කියැ කි ය. කසුප් බුදුරජුන් දවස පැවිදි ව මහණදම් පුරා එතැන් පටන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් ඇවිදුනා හෙතෙමේ අප බුදුරජුන් දවස කොසඹෑ නුවර බමුණු ගෙයක ඉපිද ඉගෙණ බුදුගුණ අසා මහණ ව උපසපන් වී භාවනා කරන්නේ රහත් වි ය.
මෙහි වූ දානවස්තු හැම එකෙක් නො අගනේ විය. නො වටනේ විය. එහෙත් ධාර්මික ය. ප්‍රත්‍යය සම්පත්තියෙහි මහත්‍වයත් ධාර්මිකත්‍වයත් වසතු සම්පත්තියෙහි ගුණ මහත්‍වයත් චේතනා සම්පත්තියෙහි පවිත්‍රත්‍වයත් නිසා මේ දුප්පත් මිනිස් තෙමේ ලොවී ලොවුතුරා හැම සැපතින් පිරී ඉතිරී පැතිරී ගියේ ය. සසර දුක නිමා කෙළේ ය.
සඟනමක්ට රෙදිකඩක් දුන් මල්වඩමක් දුන් සුවඳ පිඩක් දුන් උක්පැණිත්තක් දුන් පිඩු සිඟා ගිය මහණහට කිරිබතක් දුන් උක්ගස් කඩක් දුන් මිහිරිපලයක් දුන් වැල්තිඹිරියක් දුන් කැකිරිපලයක් දුන් තියඹරාවක් දුන් කොමඩුපලයක් දුන් පලා මිටක් දුන් මූලපලාවක් දුන් කොසඹකොළ මිටක් දුන් තලමුරුවටක් දුන් මල්මිටක් දුන් කාබානක් දුන් අස්වටක් දුන් කළුලෝපයක් දුන් දුම්කබලක් දුන් තල් වැටක් දුන් මොනර පිල්මිටියක් දුන් කුඩයක් දුන් වහනක් දුන් ඉඳුල්කඩක් දුන් කැවුමක් දුන් අග්ගලාවක් දුන් මාලුවක් දුන් වළඳනා මහණහට පැනිත්තක් දුන් ඇඹුල් කැඳක් දුන් දාගැබකට සුවදපසඟුලක් දුන් පිදුරු වඩමක් දුන් නොයෙක් තරාතිරමේ උවැසියෝ වෙන වෙන දහස් ගණන් දෙවඟනන් පිරිවර කොට ඇතියාහු සක්දෙව්රජුගේ පරිචාරිකාවන් ලෙසින් දෙව්ලොව උපන්හ. වස්තු සම්පත්‍යාදීන්ගේ පරිපූර්‍ණතායෙන් මොවුහු මේ සම්පත් ලැබුහ.
කරුණු මෙසේ බැවින් ඉෂ්ටඵලකාමතායෙන් දන් දෙන්නන් විසින් දන් දීමෙහි දී කුදු මහත් හැම දීමනාවක්, මේ කියූ සම්පත්තීන්ගෙන් සම්පූර්‍ණ කළ යුතු ය. ස්වල්ප වූ දානවස්තු ඇති දානය මහත් වනුයේ එවිට ය. මහත් දානය, මහත්තම වනුයේ එවිට ය.
වත්‍ථුසම්පදා - චේතනාසම්පදා දෙකින් පරිපූර්‍ණ වූ දක්‍ෂිණා තොමෝ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණා යි කියනු ලැබේ. “කථඤ්ච භික්ඛවෙ! ජළඞ්සමන්නාගතා දක්ඛිණා හොති? ඉධ භික්ඛවෙ දායකස්ස තීනඞ්ගානි හොන්ති පටිගග්ගාහකානං තීනඞ්ගානි, කතමානි දායක තීනඞ්ගානි? ඉධ භික්ඛවෙ! දායකො පුබ්බෙ දානා සුමනො හොති, දදං චිත්තං පසාදෙති, දත්‍වා අත්තමනො හොති, ඉමානි දායකස්ස තීනඞ්ගානි. කතමානි පටිග්ගාහකානං තීනඞ්ගානි? ඉධ භික්ඛවෙ! පටිග්ගාහකා වීතරාගා වා හොන්ති රාගවිනයාය පටිපන්නා වා, වීතදොසො වා හොන්ති දොසවිනයාය පටිපන්නා වා, වීතමොහා වා හොන්ති මොහවිනයාය පටිපන්නා වා, ඉමානි පටිග්ගාහකානං තිනඞ්ගානි”
මහණෙනි! දක්‍ෂිණාව ෂඩඞ්ගසමන්‍වාගත වන්නී කෙසේ ද? මහණෙනි! දානයෙහි ලා දෙන්නහු පිළිබඳ අඞ්ගතුණෙක් වේ. දායක තෙමේ දීමට පෙර සතුටු සිත් ඇත්තේ වේ. දෙන්නේ සිත පහදා ගණියි. දීම අවසානයෙහි සතුටු සිත් ඇත්තේ වේ. මේ දායකයා පිළිබඳ අඞ්ග තුණ ය. මහණෙනි! දානයෙහි පිළිගන්නෝ පහ වූ රාගය ඇත්තෝ හෝ රාගය දුරුකිරීමට පිළිපන්නෝ වෙත්. පහ වූ ද්වේෂය ඇත්තෝ හෝ ද්වේෂය දුරුකිරීමට පිළිපන්නෝ වෙත්. පහ වූ මෝහය ඇත්තෝ හෝ මෝහය දුරුකිරීමට පිළිපන්නෝ වෙත්. මේ පිළිගන්නන් පිළිබඳ අඞ්ග තුණ ය. මේ ෂඩඞ්ගය ඡළඞ්ගසූතයෙහිලා වදාළ සේක.
මහා මුහුදු දිය නැළිගණනින් ලාස්ගණනින් මැන මෙතෙකැයි දක්වන්නට නො හැකි මහාදියකඳක් වන්නා සේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණාවෙහිලා ලැබෙන කුශලරාශිය මෙතෙකැයි දක්වනු නො හැකි ය. එහිලා පමණ නො කොට හැකි, ගණන් නො කියැකි මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ලැබෙන්නේ ය.
“පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයෙ,
දත්‍වා වත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා”
දීමට පෙර සතුටු වීම දෙන කල්හි සතුටුවීම දීලා අවසන්හි සතුටු වීම යන මේ ගුණ දායකයා පිළිබඳ දානසම්පත් ය.
“වීතරාගා වීතදොසා වීතමොහා අනාසවා,
ඛෙත්තං යඤ්ඤස්ස සම්පන්නං සඤ්ඤතා බ්‍රහ්මචාරිනො”
පහ වූ රාග ඇති පහ වූ ද්වේෂ ඇති පහ වූ මෝහ ඇති ආශ්‍රවරහිත වූ සීලසංයමයෙන් සංයත වූ බ්‍රහ්මචාරීහු දානයෙහිලා සුදුසු වූ පිළිගත්තා වූ ක්‍ෂේත්‍රය වෙත්.
“සයං ආචමයිත්‍වාන දත්‍වා සකෙහි පාණිහි,
අත්තතො පරතො චෙසො යඤ්ඤෙ හොති මහප්ඵලො”
මේ දානය තමන් කෙරෙන් හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙන් මහත් පල ඇත්තේ වේ. එහෙයින් තමන් විසින් ම දක්‍ෂිණාර්‍හයන්ගේ අත් පා සෝදා සියතින් ම දන් දිය යුත්තේ ය.
“එවං වජිත්‍වා මෙධාවී සද්ධා මුත්තෙන චෙතසා,
අබ්‍යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජති”
නුවණැති සැදැහැති පණ්ඩිත තෙමේ ලාභමාත්සර්‍ය්‍යාදියෙන් මිදුනු සිතින් යුක්ත ව මෙසේ දන් දී නිදුක් වූ සුව ඇති දෙව්ලොව උපදින්නේ ය.
පුර්‍වචෙතනා = “දෙන්නෙමි” යි සිත උපන් තැන් පටන් “මේ කුඹුරෙන් උපන් සහලින් දන් දෙන්නෙමි” යි කුඹුර ලකුණු කිරීම පටන් ඒ ඒ කටයුතු ගැන සිතන්නහුට උපදනා චේතනා ය.
මුඤ්චනචෙතනා = දන් දෙන වේලෙහි දන්පත් අතට ගෙන ඒ දන්පත් ප්‍රතිග්‍රාහකයන් අත තබත් ම උපදනා චේතනා ය.
අපරචේතනා = දෙනලද දන් ගැණ සිහිකරණ හැම වේලෙහි උපදනා චේතනා ය.
මෙහි වීතරාග, යනාදිය වදාළෝ ප්‍රතිග්‍රාහකයන් උත්කෘෂ්ට වශයෙන් දක්වනු සඳහා ය. හුදෙක් රහතුන්ට, අනගැමින්ට, සෙදගැමින්ට සෝවනුන්ට දුන් දන ම ෂඩඞ්ගසමන්‍වාගත නො වේ. එ දවස පැවිදි වූ භණ්ඩගාහකසාමණේරයාහට දුන්නේ ද ෂඩඞ්ග සමන්වාගත ය. ඔහුගේ පැවිද සෝවන්මග පිණිස ම බැවිනි.
“මහරජ! සිල්වත් හට දෙනලද්ද මහත්පල වේ, දුසිල්හට දෙන ලද මහත්පල නො වේ” යි දක්වනු පිණිස “ සීලවතො ඛො මහාරාජ! දින්නං මහප්ඵලං නො දුස්සීලස්ස” යි වදාළා වූ ක්‍රමය මෙහිලා නො යෙදේ. එහෙයින් එය නො ගෙණ දායකයාගේ වශයෙන් ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් දායක ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් වන්නා වූ දානයාගේ මහත්ඵලභාවය දතයුතු ය. මෙය වදාළෝ සඞ්ඝගත දක්‍ෂිණාවන් ගෙණ නො වේ. පුද්ගලිකදාන මෙහිලා ගත්හ. පුද්ගලිකදානවිෂයයෙහිලා සිල්වත්හට දෙන ලද්ද ම දෙනු ලබන්න ම මහත්පල වේ.
“යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුපසන්න චිත්තො,
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”
සිල්වත් යමෙක් පහන් සිත් ඇතිව දැහැමින් ලත් දැයක් මහත් වූ කම්පල හදහා දුශ්ශීලයන් කෙරෙහි දුන්නේ ද ඒ දක්‍ෂිණාව දෙන්නහු සිල්වත් බැවින් ඔහුගේ වශයෙන් පිරිසිදු වේ. කාන්තිමත් වේ.
විශ්වන්තර මහාරජුන්ගේ දූපුතුන් දීමෙහිලා රජුගේ දානාධ්‍යාසයෙහි හා සිල්වත්බැව්හි මහත්ත්‍ව හේතුවෙන් පොළොව සැලී ගියා ය. එය ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් වූ අරුමයෙක් නො වේ. එහි ප්‍රතිග්‍රාහක තෙමේ ජූජක නම් බමුණු ය. ඔහු සිල්වතෙක් නො වී ය. මේ දක්‍ෂිණාව පිරිසිදු වූවා මහත්පල වූවා දායකයා අතින් ම ය.
“යො දුස්සීලො සීලවන්තෙසු දදාති දානං
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො,
අනභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා පටිග්ගාහකතො විසුද්ධති”
දුස්සීල වූ යමෙක් නො පහන් සිත් ඇති ව නො දැහැමින් ලත් දැයක් මහත් වූ කම්පල නො අදහමින් සිල්වතුන් කෙරෙහි දේ ද ඒ දක්‍ෂිණාව පිළිගන්නන් සිල්වත් බැවින් පිළිගන්නන්ගේ වශයෙන් පිරිසිදු වේ. කාන්තිමත් වේ.
කැළණිගංමුවදොර විසූ කෙවුළෙක් දීඝසෝම මහතෙරුන්ට තුන් දවසක් පිණ්ඩපාතය දුන්නේ ය. ඒ දුන් පිණ්ඩපාතය මර ඇඳෙහි හොත් ඔහුට අපායයෙන් නිදහස් වීමට හේතු විය. මේ අපායයෙන් වූ නිදහස ඔහුගේ සිල්වත්බවෙකින් හෝ දානාධ්‍යාසයෙහි මහත් බවෙකින් හෝ සිදුවූවෙක් නො වේ. පිළිගත්තහුගේ සිල්වත්බවෙන් ම වූයේ ය. මෙහි පිළිගත්තෝ දීඝසොම තෙරණුවෝ ය. එහෙයින් මෝ දක්‍ෂිණාව ප්‍රතිග්‍රාහකයා අතින් ම පිරිසිදුවූ ය.
“යො සීලවා සීලවන්තෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුප්පසන්නචිත්තො,
අභිසද්දහං කම්මඵලං උළාර
තං වෙ දානං විපුලඵලන්ති බ්‍රෑමි”
සිල්වත් යමෙක් ඉතා පහන් සිත් ඇති ව දැහැමින් ලත් දැයක් මහත් වූ කම්පල හදහමින් සතුන් කෙරෙහි දේ ද ඒ දක්‍ෂිණාව දෙන්නහුගේ හා පිළිගන්නහුගේ වශයෙන් ම පිරිසිදු වේ. කාන්තිමත් වේ.
අසදිසමහාදානය මේ දේශනාව සාර්‍ත්‍ථක කරයි. එය මහත් පල වූයේ දායක - ප්‍රතිග්‍රාහකදෙපක්‍ෂය ම දානයක් මහත් පල වීමෙහි ලැබිය යුතු වූ හැම අඞ්ගයකින් ම යුක්ත වූ බැවිනි.
“යො වීතරාගො වීතරාගෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුප්පසන්නචිත්තො,
අභිසද්දහං කම්මඵලං උළාරං
තං වෙ දානං ආමිසදානනමග්ගං”
පහ වූ රාග ඇති යමෙක් ඉතා පහන් වූ සිත් ඇති ව දැහැමින් ලත් දැයක් මහත් වූ කම්පල හදහමින් පහ වූ රාග ඇත්තවුන් කෙරෙහි දේ ද ඒ දානය ආමිෂදාන අතුරෙහි අග්‍ර වූ දානය වේ.
මෙහි වීතරාග නම්, අනාගාමී ආර්‍ය්‍යයන් වහන්සේ ය. රහතුන් වහන්සේ ඒකාන්ත වීතරාගයෝ ය. එහෙයින් රහතුන් වහන්සේ කෙරෙහි දෙන ලද්ද ම අග්‍ර වේ. භවාලය භවප්‍රාර්‍ත්‍ථනා නැති බැවිනි. රහතුන් වහන්සේ දානඵල අදහන්නෝ ය. උන්වහන්සේ තරම් දානඵල අදහන අන් කෙනෙක් නො වෙත්. රහතුන් වහන්සේ විසින් කළ කර්‍මය ඡන්‍දරාගයෙන් තොර බැවින් කුසලයෙක් හෝ අකුසලයෙක් හෝ නො වන්නේ ය. හුදෙක් ක්‍රියාමාත්‍රයෙක් ම වේ. එහෙයින් උන්වහන්සේට දෙන ලද්ද අග්‍රය යි කියත්.
බුදුරජානන් වහන්සේ විසින් ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට දෙන ලද්ද මහත්පල ද, නැත, ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ විසින් බුදුරජුන්ට දෙන ලද මහත්පල ද? යනු මෙහි නැගෙන ප්‍රශ්නයෙකි. බුදුරජුන් හැර දීමෙහි විපාක දන්නෙක් තුන් ලොව ම නැත්තේ ය. එහෙයින් බුදුරජුන් විසින් සැරියුත් තෙරුන්ට දෙන ලද්ද ම මහත්පල වේ යනු එයට පිළිතුර ය.
පෞද්ගලිකදාන මහත්පල වන සැටි දක්වන මෙහි, එම මහත්පල නො වන සැටි ද මෙසේ දත යුතු ය.
“යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං
අධම්මෙන ලද්ධං අප්පසන්තචිත්තො,
අනභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා නෙවුභතො විසුජ්ඣති”
දුසිල් වූ යමෙක් නො පහන් සිතින් නො දැහැමින් ලත් දැයක් මහත් වූ කම්පල නො අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දේ ද ඒ දක්‍ෂිණාව දායක ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂාය ම දුශ්ශීල බැවින් ඒ දෙපසින් ම පිරිසිදු නො වේ. කාන්තිමත් නො වේ.
දක්‍ෂිණාවිචින්න - දක්‍ෂිණාර්‍හවිචින්න යැ යි දානයෙහිලා ලැබිය යුතු පරීක්‍ෂාවෝ දෙදෙනෙකි.
පරීක්‍ෂා කොට ගැනීම තෝරා ගැණිම විචින්න නමි. දිය යුතු දානවස්තුන් තෝරා ලං කොට ගෙණ එයින් දන්දීම දක්‍ෂිණා විචින්න නමි.
මේ බුදුසසුනෙන් බැහැර වූ පංචනවුතිප්‍රභේදවත් පාෂාණ්ඩදුශ්ශීලයන් දක්‍ෂිණාවට නො සුදුසු යි තෝරා බැහැර කොට ශීලාදි ගුණසම්පන්න ශාසනික භික්‍ෂූන් වහන්සේ ම දානයට සුදුසු වෙති යි තෝරා ගැණීම දක්‍ෂිණාර්‍හවිචින්න නමි. මේ දක්‍ෂිණා - දක්‍ෂිණාර්‍හවිචින්නයෝ දානයෙහිලා බුදුරජානන් වහන්සේ විසින් පසස්නා ලදහ. “ විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං” යනු එහිලා දතයුතු ය.
කාලවශයෙන් දානය පසකට බෙදේ. “ පංචිමානි භික්ඛවෙ! කාලදානානි. කතමානි පංච? ආගන්තුකස්ස දානං දෙති. ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි තානි නවසස්සානි නවඵලානි තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ! පංච කාල දානානි” යනු සූත්‍ර යි.
අවුත් යනුයේ ආගන්තුක නම්. එබන්දකුට දීම ආගන්තුක දාන යි. ආගන්තුක තෙමේ, එහි අමුත්තකු බැවින් පිඬු සිඟා යෑමට ගොදුරුගම් හා මග නො මග නො දනි යි. ගමනින් වූ විඩා ද ඇත්තේ වේ. එහෙයින් ඒ දීම කාලදාන යි. හුන් තැන හැර අන් තැනකට යනුයේ ගමික නම්. එබන්දකුට දීම ගමිකදාන යි. හේ අන් තැනකට යනු සඳහා ගමට පිඬු සිඟා ගියේ නම් තමන් බලාපොරොත්තු වන අර්‍ත්‍ථයෙන් පිරිහෙන්නේ හෝ බලාපොරොත්තුවන තැනට බලාපොරොත්තුවන වේලෙහි නො පැමිණෙන්නේ හෝ වේ. ගමට පිඬු සිඟා නො ගොස් උදෑසන ම දෙන ලද්දක් වළඳා ගියේ නම්, තමන් කැමැති වූ හැම එකක් නිසි කාලයෙහි කොට ගත හැක්කේ වේ. එහෙයින් ඒ දීම කාලදාන යි.
ලෙඩින් පෙළෙන්නේ ගිලාන නම්. ඔහුට දීම ගිලාන දාන යි. පිඬු සිඟා යෑමෙහි අපොහොසත් වූ ගිලන් තෙමේ කෑම් බීම් නො ලැබීමෙන් වඩාත් ගිලන් වන්නේ ය. පිඬු සිඟා යෑමෙන් රෝගය උත්සන්න වන්නේය. පිඬු සිඟීමෙන් ලැබෙන මිශ්‍රකාහාරය හිත ද නො වන්නේ ය. එහෙයින් ඒදිම කාලදාන යි.
කෑම් බීම් විරල ලැබීම අපහසු කාලය දුබ්හීබක්ඛ නම්. එබදු කාලයෙහි දීම දුර්භික්‍ෂයෙහි දාන යි. මිනිස්සු මෙබදු කාලයන්හි කෑම් බීම් හිග වේ ය යන බියෙන් ඇති දැය අන්හට දීමෙහි කැමැති නො වෙත්. එහෙයින් භික්ෂූහු ද ආහාරපානයෙන් වෙහෙසට පත් වෙත්. යමෙක් දෙනු කැමැත්තේ ද මහත් වූ ශ්‍රද්ධාවෙන් මසුරුමල මැඩ ම දෙයි. එහෙයින් දුර්භික්‍ෂකාලයෙහි දීම කාලදාන යි.
ගසකින් වැලකින් කුඹුරකින් හේනකින් වැවිල්ලෙකින් හාපුරා කියා ලත් ධාන්‍යවර්‍ග හෝ ඵලවර්‍ග පළමු කොට සිල්වතුන්ට දීම කාලදාන යි. මෙසේ බැවින් මේ පස කාලදාන නම් වේ.
“කාලෙ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤූ වීතමච්ඡරා”
ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ පහ වූ මසුරුමල ඇති කර්‍ඹස්වකතාඥානයෙන් ඥානවත් වූ ජනයෝ සුදුසු කාලයෙහි දන් දෙත්.
“කාලෙන දින්නං අරියෙසු උජුභූතෙසු තාදිසු,
විප්පසන්නමනා තස්ස විපුලා හොති දක්ඛිණා”
කායවඞ්කාදියෙන් තොර වූ බැවින් ඍජු වූ තාදීගුණයුක්ත ආර්‍ය්‍යයන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් සුදුසු කල්හි දෙන ලද්දේ ද ඒ දුන්නහුගේ දානචේතනාව මහත්ඵල දායක වන්නී ය.
“යෙ තත්‍ථ අනුමොදන්ති වෙය්‍යාවච්චං කරොති වා,
න තෙන දක්ඛිණා ඌනා තෙපි පුඤ්ඤස්ස භාගිනො”
ඒ දානයෙහි යම් කෙනෙක් පහන් සිතින් පින් අනුමෝදන් වෙත් ද වත් පිළිවෙත් හෝ කෙරෙත් ද එයින් දක්‍ෂිණාව අඩු නො වන්නී ය. ඔවුහු ද පිණෙහි කොටස් කාරයෝ වෙත්.
“තස්මා දදෙ අප්පතිවාචිත්තො යත්‍ථ දින්නං මහප්ඵලං,
පුඤ්ඤානි ලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං”
යම් සිල්වතකු කෙරෙහි දෙනලද මහත්පල වේ ද එහෙයින් ලෝබකම් මසුරුකම් මැඩ ඔබා දීමෙහි ඇලුනු සිතැත්තේ දන් දෙන්නේ ය. සත්ත්‍වයනට පරලොව පිහිට වන්නේ පින් ය.
සත්පුරුෂදාන වශයෙන් දානය පසකට බෙදේ. “ පංචමානි භික්ඛවෙ! සප්පුරිසදානානි. කතමානි පංච? සක්කච්චං දෙති. චිත්තීකත්‍වා දෙති. සහත්‍ථා දෙති. අනපවිද්ධං දෙති. ආගමන දිට්ඨිකො දෙති. ඉමානි ඛො භික්ඛවෙ! පංච සප්පුරිසදානානි” යනු සූත්‍ර යි.
සකස් කොට දීම, ගෞරව පෙරදැරි ව දීම, සියතින් දීම, නිරතුරු දීම, අනාගතභවයට ප්‍රත්‍යය ය වන්නේ ය යි කම්පල හදහා දීම යන මේ ඒ පස.
සුන් සහල් ඈ පහත් සහල් හැර සුවඳ සහල් ඈ වටිනා සහලින් පිළියෙල කළ බත ප්‍රණීත වූ ඔජස්ක වූ සූපඛ්‍යඤ්ජනයගෙන් යුක්ත කොට ගේ හැමද උඩුවියන් බැඳ වටිනා අසුන් පණවා සුවඳදුම් දී දක්‍ෂිණාවට සුදුස්සන් පමුණුවා ගෙණ පා දොවා වඩා හිඳුවා ගෞරව පෙරදැරි ව අනුන් ලවා නො දෙවා අක්මුල් නැති සසර ඇවිදුනා මා අත්පා නැති ව උපන් ජාතීන් පමණ නැත. එහෙයින් සසරින් මිදෙන්නෙමි යි සියතින් කල් නො හැර නිරතුරු ව කම්පල හදහා දීම සප්පුරිසදානැ යි වදාළ සේක.
“පංචිමානි භික්ඛවෙ! සප්පුරිසදානානි. කතමානි පංච? සද්ධාය දානං දෙති. සක්කච්චං දානං දෙති. කාලෙන දානං දෙති. අනග්ගහිතචිත්තො දානං දෙති. අත්තානං ච පරං ච අනුපහච්චදානං දෙති. ඉමානි භික්ඛවෙ! පංච සප්පුරිසදානානි” යනු සූත්‍ර යි. මෙ ද එහිලා දන්නේ ය.
ශ්‍රද්ධායෙන් දීම, සකස් කොට දීම, සුදුසු කාලයෙහි දීම, ආශායෙන් නො මැඩුනු සිත් ඇතිව දීම, අනුන් හා තමන් නො පෙළා දීම යන මේ ඒ පස.
කර්‍මය හා කර්‍මඵලය හදහා දුන් දන් හේතු කොට උපනුපන් තන්හි දායක තෙමේ ධනයෙන් සමෘද්ධ වේ. නිධාන ගත වූ මහත්ධන ඇත්තේ වේ. උපභෝග පරිභෝග සම්පත් ඇත්තේ, මනා රූ ඇත්තේ වේ. දැකුම් කලු වේ. උතුම් වූ රූප ලක්‍ෂණයෙන් යුක්ත වේ. “ සද්ධාය භික්ඛවෙ! දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති. අඩ්ඪො ච හොති මහද්දනො මහාභොගො. අභිරූපො ච හොති. දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො” යනු එහිලා දතයුතු ය.
සකස් කොට දුන් දන් හේතුවෙන් උපනුපන් තන්හි ධනයෙන් සමෘද්ධ වේ. නිධානගත වූ මහත්ධන ඇත්තේ වේ. භෝග සම්පත් ඇත්තේ වේ. අඹු දරු දැසි දස් පණිවිඩකරු කම්කරු ඈ හැම කෙනෙක් කීකරු වෙති. වචනයට කන් දෙති. නැමී සිටිත්. “ සක්කච්වං ඛො පන භික්ඛවෙ! දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස්ස දානස්ස විපාකො නිබ්බන්තති අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දුරාති වා දාසති වා පෙස්සාති වා කම්මකරාති වා තෙ පි සුස්සුසන්ති. සොතං ඔදහන්ති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති” යනු එහිලා දත යුතු ය.
සුදුසු කල්හි දුන් දන් හේතුයෙන් යම් යම් තැනෙක දී ඒ දානයාගේ විපාකය නිපැදේ නම් ඒ හැම තැන දායක තෙමේ ධනයෙන් සමෘද්ධ වේ. නිධානගත වූ මහත්ධන ඇත්තේ වේ. භෝගසම්පත් ඇත්තේ වේ. ඔහුට ලැබෙන්නා වූ හැම ධනයෙක් ම තරුණ කල්හි ලැබෙන්නේ ය. ඒ ද මහත් වේ. “ කාලෙන ඛො පන භික්ඛවෙ දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති. අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. කාලගතා චස්ස අත්‍ථා පචුරා හොන්ති” යනු එහිලා දත යුතු ය. ආශායෙන් නො මැඩුනු සිතැති ව දුන් දන් හේතුයෙන් යම් යම් තැනක දී ඒ දානයෙහි පලය නිපැද්දේ ද දායක තෙමේ ඒ හැම තැන ධනයෙන් ආඪ්‍ය වේ. මහද්ධන ඇත්තේ මහත් භෝග සම්පත් ඇත්තේ වේ. ඔහුගේ සිත පස්කම් සැප විඳුමට නැමී සිටියි. “ අනග්ගහිතචිත්තො ඛො පන භික්ඛවෙ! දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති. අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො, උළාරෙසු ච පංචසු කාමගුණෙසු භොගාය චිත්තං නමතී” යනු එහිලා දතයුතු ය.
තමන් හා අනුන් හා නො පෙළා දුන් දන් හේතුයෙන් යම් යම් තැනක ඒ දානයාගේ පලය නිපැදේ නම්, ඒ හැම තැන දායක තෙමේ ධනයෙන් ආඪ්‍ය වේ. මහත්ධන ඇත්තේ මහත් භෝගසම්පත් ඇත්තේ වේ. ලත් ධනය ගින්නෙන් දියෙන් රජුන් ගෙන් සොරුන්ගෙන් අප්‍රියදායාදයන්ගෙන් විනාශයට නො යේ. “ අත්තානං ච පරං ච අනුපහච්ච ඛො පන දානං දත්‍වා යත්‍ථ යත්‍ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති. අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. න චස්ස කුතො චි භොගානං උපඝාතො ආගච්ඡති අග්ගිතො වා උදකතො වා රාජතො වා, චොරතො වා අප්පියදායාදතො වා” යනු එහිලා දතයුතු ය.
දැන් මෙහි කියූ ලෙසට නො දෙන හැම දානයෙක් ම අසත්පුරුෂදානැ යි නම් කරණ ලද්දේ ය. මේ එහිලා සාධක සූත්‍රය. “පඤ්චිමානි භික්ඛවෙ! අසප්පුරිස දානානි. කතමානි පංච? අසක්කච්චං දෙති. අචිත්තී කත්‍වා දෙති. අසහත්‍ථා දෙති. අප විද්ධං දෙති. අනාගමනදිට්ඨිකො දෙති. ඉමානි ඛො භික්ඛවෙ! පංච අසප්පුරිස දානානි” යනු අසත්පුරුෂ දාන ද පසෙකැ යි මෙහි දක්වන ලද ය.
කුමාරකාශ්‍යප මහාස්ථරයන් වහන්සේ සෙතව්‍ය නුවර සමීපයෙහි ඇට්ටේරිය වනයෙහි වැඩ වසන එක් අවදියෙක, එහි පායාසි නම් රදලයෙක් මහත් යස ඉසුරෙන් යුක්ත ව වාසය කෙළේය. “පරලොව නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යනාදීන් මිසදිටු ගෙණ සිටි ඔහු කුමරකසුප් තෙරුන් හා කළ වාදයෙන් පැරද සම්දිටු ගෙණ බුදුරජුන් සරණ ගොස් දුගී මගී යාචකාදීන් හා මහණ බමුණන් උදෙසා දන්වැට තැබී ය. එහෙත් ඔහුගේ දානය නිවුඩු හාලේ බතින් කාඩි හොද්දෙන් පිළියෙල වූයේ ය. කෑ හැකි බතෙක් හොද්දක් එහි නො වී ය. දුගීමගියනට දුන් රෙදිපිළී සැම තැන නූල් කැටි කැටි ව ඇඹරී සිටි දාවලු සහිත දළ රෙදිකඩ ය. එහි සංවිධායක වූයේ උත්තරමාණවක තෙමේ ය. එහෙත් එහිලා ඔහු පායාසිගේ නියමයන් අකුරට ම පිළිපැද්දේ ය. උත්තරගේ කැමැත්ත ලෙසින් කිසිවක් එහි පිළියෙල නො වී ය. දන් පිණිස වූ හැම කෑමක් බීමක් වතක් පිළියෙල කරණ ලද්දේ පායාසිගේ නියමය ලෙසට ය. මෙයින් කළකිරී සිටි උත්තර දවසෙක “මම දැන් මේ දන්වැට නිසා මොහු හා එක්වීමි” මොහු හා එක් ව කටයුතු කරන්නට සිදු වූයේ මේ දන් වැට ය, මෙ ලොව මෙසේ සිදු වුව ද පරලොව දී නම්, මොහු හා එක් නො වන්නෙමි” යි සිතා එසේ පතයි. මේ ප්‍රාර්‍ත්‍ථනාව ගැණ දත් පායාසි උත්තර ගෙන්වී ය.
පායාසි |
:- |
හැබෑ ද උත්තර! පරලොවදී මා හා එක් නො වන්නට පැතුම් පතන්නෙහි තෝ? |
උත්තර |
:- |
ඔවු! එසේ පතමි. |
පායාසි |
:- |
ඇයි, ඒ එසේ පතහි? අපි පින් කැමැත්තෝ නො වෙමු ද? පරලොව සැප බලාපොරොත්තු වන්නේ නො වෙමු ද? |
උත්තර |
:- |
ඔවු ඇත්ත ය. පින්වතුන්ගේ කතාව. ඔබ දෙන දානවස්තූන් දකිනා විට එබඳු පැතුමක් කිරීම අයුතු ය යි කියනු නො හැකිය. පිරිසිදු නො කළ හාලේ බත්, කාඩිහොදි, කොටා අඹරා ගත් ලුනුමිරිස්, ඔබතුමන් කනු තබා අතිනුත් නො අල්ලන කෑම බීම. මිනිසකුට තබා තිරිසනකුටත් නො හොබනා කෑම. ඔබගේ නියමය නිසා අපි මහණබමුණන්ටත් මේ පිළිකුල් කෑම දෙන්නෙමු. ඔබගේ නියමය ඉක්මවනු බැරි නිසා දෙනු මිසක් ඉක්මවනු හැකි නම් නො දෙන්නෙමු. ඔබගේ දන්වැටෙහි තිබෙන්නේ තිරිසන් කෑම, එහි දෙන රෙදිපිළී එයට දෙවෙනි නො වේ. හැම තැන නූල් කැටි ගැසුනු ගෝනි පඩන්ගු වැනි දළරෙදි. ඒ රෙදි මිනිසකුට නම් ඇන්ද නො හැකි ය. ඔබතුමා මට ප්‍රිය ය. එහෙයින් අපි ප්‍රියයකු අප්‍රියයක් හා මනවඩන්නකු අමනාපයක් හා කෙසේ එක් කරමු ද, කෙසේ යොදන්නෙමු ද. මේ කරුණු සැලකූ මම මෙලොව දී කෙසේ වුවත් පරලොව දී ඔබ හා එකතු වන්නට නො කැමැත්තෙන් මෙසේ පැතීමි. |
පායාසි |
:- |
එසේ නම්, මා දෙන සැටි නො හොබනේ නම් තා කැමැති ලෙසකින් දෙනු විනා මා හා පරලොවදී එක් නො වන්නට පැතීම යුතු නැත. තෝ කැමත්තෙහි නම්, මා කන බොන හැටියට මා අඳින රෙදිපිළිවල හැටියට, කන බොන දෑත් රෙදිපිළිත් පිළියෙල කොට දෙව. |
උත්තර තෙමේ පායාසිගේ මේ කීමෙන් පිණා ගියේ දානවස්තූන් හැම එකක් මැනවින් පිළියෙල කෙළේ ය. එතැන් සිට ඒ දන්වැට ඉතා අගනා කැවිල්ලෙන් පෙවිල්ලෙන් ලෙවිල්ලෙන් වතින් පිළීයෙන් පිරී ගියේ ය.
පායාසි තෙමේ නො සකස් කොට දන් දී සැලකිලි නැති ව දන් දී කලින් කල අතර තබා දන් දී අනුන් ලවා දන් දෙවා මැරී ගොස් චාතුර්‍මහාරාජික දෙවියන් අතර සෙරිස්සක නම් හිස් විමනෙක උපන්නේ ය. උත්තර මාණවක තෙමේ සකස් කොට දන් දී සැලකිලි ඇති ව දන් දී අතර නො තබා නිතර දන් දී සියතින් දන් දී මැරී ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය.
මේ කාලයෙහි ගවම්පති මහාස්ථවිරයන් වහන්සේ දාවල විවේකයෙන් හිඳින්නට සේරිස්සක විමනට නිතර යත්, පායාසි දෙව්පුත් තෙමේ එහිදී උන්වහන්සේට හමු විය. එකල්හි උන්වහන්සේ “තෝ කවරෙක් වෙහි?” යි ඇසූහ. ඔහු තමන් පිළිබඳ සියලු තොරතුරු උන්වහන්සේට කී ය. “තාගේ දන්හලෙහි සංවිධායක ව සිටි උත්තර කොහි දැ” යි ඇසූවිට “ස්වාමීනි! ඔහු සකස් ව සියතින් සැලකිලි ඇති ව නිතර දන් දුන් හේතුයෙන් මෙයට උඩින් පිහිටා සිටි මහත් සම්පත් ඇති තව්තිසා දෙව්ලොව ඉපිද මා විඳුනා සැපතට වඩා හැම අතකින් ම සිය දහස් ගුණය කින් උසස් වූ යසිසුරු විදියි, මම නො සකස් ව සැලකිලි නැති ව අනුන්ලවා දන් දෙවා මේ හිස් විමනෙහි උපන්මි, බලන්න, ස්වාමීනි! වෙනසක හැටි, එහෙයින් ස්වාමීන් වහන්සේ මිනිස්ලොවට වැඩියාම සකස් ව සැලකිලි සහිත ව සියතින් ම දන් දෙන්නැ යි මිනිසුනට කියනු මැනවැ” යි දෙව්පුත් තෙමේ කීයේ ය. උන්වහන්සේ මේ කතාව අසා පෙරළා මිනිස්ලොවට වැඩි සේක් මෙසේ ධර්‍මදේශනා කළ සේක.
මේ ඒ ධර්‍මදේශනාව:-
සක්කච්චං දානං දෙථ = සකස් කොට දන් දෙවු.
සහත්‍ථා දානං දෙථ = සියතින් දන් දෙවු.
චිත්තීකතං දානං දෙථ = ගරු සැලකිලි දක්වා දන් දෙවු.
අනපවිද්ධං දානං දෙථ = නො කඩ කොට නිතර දන් දෙවු.
පායාසි රාජඤ්ඤො අසක්කච්චං දානං දත්‍වා අසහත්‍ථා දානං දත්‍වා අචිත්තීකතං දානං දත්‍වා අපවිද්ධං දානං දත්‍වා කායස්සභෙදා පරම්මරණා චාතුර්‍මහාරාජිකානං දෙවානං සහව්‍යතං උප්පන්නො සුඤ්ඤං සෙරිස්සකං විමානං = පායාසි රදල තෙමේ සකස් නො කොට දන් දී සියතින් දන් නො දී සැලකිලි නො දක්වා දන් දී කඩ කඩ කොට ඉඳහිට දන් දී මැරී ගොස් චාතුර්‍මහාරාජික දෙවියන්ගේ හිස් වූ සෙරිස්සක විමනෙහි ඉපිද සිටි යි.
යො පන තස්ස දානෙ බ්‍යාවටො අහොසි උත්තරො නාම මාණවො, සො සක්කච්චං දානං දත්‍වා සහත්‍ථා දානං දත්‍වා චිත්තීකතං දානං දත්‍වා අනපවිද්ධං දානං දත්‍වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං සහව්‍යතන්ති = යමෙක් ඔහුගේ දන්හල්හි සංවිධායක වී ද, ඒ උත්තර මානවක තෙමේ සකස් කොට දන් දී සියතින් දන් දී සැලකිල්ලෙන් දන් දී නො කඩ කොට දන් දී මරණින් මතු දෙව්ලොව ඉපිද සිටි, යනු.
රේවතී කතා පුවත ද අසත්පුරුෂ දානයෙහි අනිෂ්ටවිපාක කියාලන බැවින් ඒ ද බැලිය යුතුය.
කොසොල් රජුගේ දුවනියක් වූ සුමනා දවසක් බුදුරජුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට මෙසේ බුදුරජුන් හා කතාවට වැටුනා ය.
සුමනා |
:- |
ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! බුදුරජුන්ගේ සසුනෙහි එක් තරම් සැදෑ ඇති එක්තරම් සිල් ඇති එක්තරම් නුවණැති ශ්‍රාවකයෝ දෙදෙනෙක් වෙත්. එකෙක් දෙන්නේ ය. එකක් නො දෙන්නේ ය. දෙදෙන ම මැරී ගොස් දෙව්ලොව උපදින්නාහ. එහි උපන් ඒ දෙදෙනාගේ වෙනස් බවෙක් වේ ද? |
බුදුරජ |
:- |
ඔවු! සුමනා! මහත් වෙනස් බවෙක් ඔවුන් අතර වන්නේ ය. දන් දුන් මහණ, දෙව්ලොව උපන්නේ දන් නො දී දෙව්ලොව උපන් මහණහු ආයුෂයෙන් පැහැයෙන් සැපයෙන් බලයෙන් යසසින් අධිපති කමින් යටපත් කොට සිටි යි. |
සුමනා |
:- |
ස්වාමීනි! ඒ දෙදෙන දෙව්ලොවින් ගිලිහී මිනිස්ලොව උපන් කලත් ඔවුන් දෙදෙනා අතර වෙනසෙක් වන්න්නේ ද? |
බුදුරජ |
:- |
ඔවු! සුමනා! එයත් ඇසිය යුත්තෙක් ද? දන් දුන්නේ මිනිස්ලොවේදීත් දන් නො දුන්නහු මිනිසුන් පිළිබඳ ආයුෂයෙන් පැහැයෙන් සැපයෙන් බලයෙන් යසසින් අධිපතිකමින් යටපත් කොට ගණියි. |
සුමනා |
:- |
හොඳයි! ස්වාමීනි! මහණ වූ විටත් ඒ වෙනස තිබේ ද ඔවුන්ගේ? |
බුදුරජ |
:- |
සුමනා! එය අමුතුවෙන් කිය යුත්තෙක් ද? වෙනස තිබේ. දන් දුන් තැනැත්තා පැවිදි වූ කල්හි ඔහුට දායකයන්ගෙන් සිවුරු පිරිකර කෑම් බීම් සෙනසුන් ගිලන්පස බොහෝ කොට ලැබේ. මේ සිවුපසය දායකයන්ගේ බලවත් ඇවිටිල්ල නිසා ම ඔහු පිළිගණියි. ඔහුට දානයක් පිණිස ආරාධනාවක් නො ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ආරාධනාවක් නැති දවසක් නැති තරම් ය. දිනපතා ම වාගේ ඒ නමට දායකයන්ගේ ආරාධනා ය. මොනවා හෝ වැළඳීම ආරාධනාවක් ලබාලා ය. ඒ නම යම්කිසි සබ්රම්සරුන් හා එක්ව වසා ද ඒ හැම කෙනෙක් ම මන වඩන්නා වූ කායවාඞ්මනඃකර්‍මයන්ගෙන් යුක්ත ව ම ඔහු ඉදිරියෙහි හැසිරෙත්. කතා කෙරෙත්. නිතර ම ඔහුට ප්‍රිය මනාප ලෙසින් වැඩ කරත්. ඔහු ගැන සිතත්, මන නො වඩන්නා වූ සිත් නො ගන්නා වූ ක්‍රියාවෙක් වේ නම්, ඒ ඉතා කලාතුරෙකින් ය. හැම දෙනෙක් කවදාත් ඒ නමට හොඳහිත ම දක්වත්. |
සුමනා |
:- |
රහත් වූ කල්හි? |
බුදුරජ |
:- |
නැත, සුමනා! රහත්බවෙහි වෙනසෙක්. රහත් බවෙහි වෙනසෙක් ඇතැයි මම නම් නො කියමි. |
සුමනා |
:- |
ස්වාමීනි! මෙසේ බලන කල්හි දෙවියන්ට මිනිසුන්ට පැවිද්දන්ට වහල් පිණ ම බැවින් ඒ කා විසිනුත් පින් කළයුතු නො වේ ද? දන් දිය යුතු නො වේ ද? |
බුදුරජ |
:- |
ඔවු! කා විසිනුත් පින් කළයුතු යි, සුමනා! දන් දියයුතු යි. අහස ගමන් ගත් සඳ, අහසෙහි ඇති සියලු තරු තමාගේ ආලෝකයෙන් යට කොට බබලන්නාසේ සිල්වත් සැදැහැවත් පුද්ගල තෙමේ තමා ත්‍යාග ගුණය කරණ කොට ලෝකයෙහි සියලු මසුරන් ඔබා බබල යි. |
විදුලිය ගසන සිය ගණන් වලාපටල ඇති මේඝය ගොරව ගොරවා වසින්නේ පොළොවෙහි ගොඩතැන් වළතැන් දියෙන් පුරවා හරින්නා සේ සෝවන් වූ බුද්ධ ශ්‍රාවක තෙමේ ආයුවර්‍ණාදියෙන් මසුරහු යටපත් කොට ගණි යි. උපභෝගපරිභොසම්පතත්‍යාදියෙන් වැඩුනු හෙතෙමේ මරණින් මතු දෙව්ලොව ඉපිද සතුටු වෙයි.
“යථාපි චන්‍දො විමලො ගච්ඡං ආකාසධාතුයා,
සබ්බ තාරගණෙ ලොකෙ ආභාය අතිරොචති.
.
තථෙව සීලසම්පන්නො සද්ධො පුරිසපුග්ගලො,
සබ්බෙ මච්ඡරිනො ලොකෙ චාගෙන අතිරොචති.
.
යථාපි මෙඝො ථනයං විජ්ජුමාලී සතක්කකූ,
මච්ඡරි අධිගණ්හාති පඤ්චට්ඨානෙහි පණ්ඩිතො.
.
ආයුනා යසසා චෙව වණ්ණේන ච සුඛෙන ච,
සචෙ භොගපරිබ්බුළ්හො පෙච්ච සග්ගෙ පමොදති”
යනු දේශනා ය.
සීවලී මහරහතුන් වහන්සේ මේ සසුන්හි ලාභීන් අතුරෙහි ශ්‍රෙෂ්ඨ වූවෝ සසර කරණලද දානමය කුශලධර්‍මයන්ගේ අනුභාවයෙනි. රහතුන් වහන්සේලා කොතෙක් වූවෝ ද, සීවලී රහතුන් වහන්සේ ම සිවුපසය ලබන්නවුන් අතුරෙහි ප්‍රධාන වූහ. උන්වහන්සේ එහිලා දෙවෙනි වූවෝ බුදුරජානන් වහන්සේ පමණෙකි. එක් දවසට සියදහස්ගණන් ආරාධනාවෝ උන්වහන්සේ වෙත ගලා ආහ. මග වඩනා කල්හි කෑම් බීම් බෙහෙත් පිරිකර ගත් දිව්‍යමනුෂ්‍යයෝ මග දෙපස රැස් කකා සිටියාහ. එසේ ම මග දෙපස කැම් බීම් සිවුරු පිරිකර ආදියෙන් පිරිණු අවන්හල් ඉබ ඉබේ ම විවෘත වේ. සිවලීස්ථවිරාවදානය බැලිය යුතු ය.
ලොසක මහාරහතුන් වහන්සේ රහත් නමක් වූවෝ ද වළඳන්නට අඳින්නට පොරවන්නට කිසිත් කෑමක් බීමක් සිවුරක් පිරිකරක් නො ලැබීමෙන් වෙහෙසට පත් වූහ. මුන්වහන්සේ යම් ගෙයක යම් ගමෙක යම් රටෙක යම් පිරිසෙක හුන්නෝ ද ඒ ගෙය ඒ ගම ඒ රට ඒ පිරිස හැම යසිසුරෙන් පිරිහීමට වැටුනෝ ය. කන්නට බොන්නට අඳින්නට පලඳින්නට නැති ව යෑමෙන් ඒ ගෙවල් ඒ ගම් ඒ රටවල් ඒ පිරිස් මහත් දුකට පත් වූහ. මුන් වහන්සේගේ මවුපියෝ ද හිඟමනට ගියහ.
ලෝසක ස්ථවිරයන් වහන්සේ කොසොල් රටට අයත් කෙවුල් ගෙවල් දහසක් පමණ ඇති කෙවුල් ගමෙක කෙවුලියක කුස උපන්හ. ඔහු පිළිසිඳ ගත්දා ම එගම් වැස්සෝ සියකැමින් පිරිහී ගියහ. එදා ඔවුනට එක මසකුත් හසුකර ගත නො හැකි විය. මුළු ගම ම දුප්පත් විය. ඔහු මවුකුස ඉන්දදී ම එගම සත් වරක් ගින්නෙන් හලු වී ගියේ ය. රාජදණ්ඩනයන්ට අසු විය. මෙසේ නොයෙක් අතින් විපතට වැටුනු ඔවුහු දවසක් එක් තැන් ව “මේ මොන විපතෙක් ද අපට, ටික දවසක සිට ගමට ම හෙණ වැදී තිබේ, කන්නට බොන්නට දෙයක් සපයා ගත නො හැකි ය, දරු සිඟිත්තෝ බඩගින්නෙන් වැලපෙති, මේක මහාකාලකණ්ණි කමෙක්, වෙන දා නො වූ විපතක්, හදිසියේ අප හිස පිට කඩා වැටෙන්නට මොකක් හෝ විය යුතු ය, කාලකණ්ණියකු අප අතර සිටිය යුතු ය, එසේ නො වේ නම් සතුරකු කළ කොඩිවිනයක් විය යුතු ය, අප මෙය අද අදම සොයා බැලිය යුතු ය, මෙහි දී ඇස් කන් පියා ගෙණ හුන්නොත් හැම එකාම කන්නට නො ලැබ මැරී යනු ඒකාන්තය” යි එහි වූ ගෙවල් දහස පළමු කොට පන්සියය පන්සියය බැගින් දෙකොටසට බෙදූහ. බෙදා ඔවුහු එක් කොටසක් අනෙක් කොටස හා සම්බන්‍ධකම් හැර ගණුදෙනු නවතා ගම් දෙකක වැස්සන් සේ ජීවත් වන්නට වූහ.
මෙසේ දෙකොටසක් වූ පසු ලෝසක මෑනියන් හුන් කොටස පිරිහෙන්නටත් අන් කොටස වැඩෙන්නටත් වූහ. පිරිහෙනු දුටු කොටසට අයත් වැඩිහිටියෝ තම කොටස නැවැතත් බෙදා පළමු සේ වෙන් වෙන් ව ජීවත් වන්නට සැලසූහ. මෙසේ ඔවුහු ඒ ගෙවල් කිහිපවරක් බෙද බෙදා ගොස් ලෝසක පිළිසිඳ ගත් ගෙය අල්ලා ලෝසක මෑනියන් ඒ ගමින් නෙරපා යැවූහ. ඕ තොමෝ ඉන්නට තැනක් කන්නට බතක් බොන්නට දියක් අඳින්නට වතක් යන්නට මගක් නො වූයෙන් දුක සේ දිවි ගලවන්නී කුස පිළිසිද ගෙණ සිටි පුතු වැදු ය. ඔහු පශ්චිමභවිකයෙක් විය. පශ්චිමභවිකයකු මොන ලෙසිනුත් මරන්නට පිළිවන් කමෙක් කාටත් නැත්තේ ය. ඔහුගේ සිතෙහි රහත්වීමෙහි වාසනාබලය දැල්වුනේ ය. මවු තොමෝ කුඩා දරු මාස කිහිපයක් ඉතා දුක සේ හදා වඩා පයින් හැසිරෙන්නට තරම් වූ කල්හි කොළපතක් දී හිඟමනට යැවූ ය. යවා තොමෝ ඌ පෙරළා එන්නට පෙරාතු ව එතැනින් බැහැර ගියා ය. එතැන් පටන් ඒ කුඩා කොලු, හිඟමනෙන් ලැබෙන්නක් ඇත, එය කාලා ගේ පිළිකන්නක හෝ අතුමැස්සක් යට හෝ ගස්සෙවණක හෝ දවස ගෙවා පසු දාත් හිඟමනේ ගොස් මොකවත් සපයා ගෙන කන්නේ ය. මෙසේ මේ තෙමේ පංසුපිසාචකයකු සේ දිවි ගලවන්නේ සත් හැවිරිදි කල්හි ඒ ඒ ගෙවල හැළිවළන් පිඟන් කෝපප හට්ටි මුට්ටි සෝදා දිය දැමු තන්හි ඇති බත් උළු ඇහිඳ කමින් ගෙවලින් බැහැර ලන කුණු ගොඩවල් අවුස්සා වරහැලි කැබලි සොයා ගෙණ විළි වසා ගන්නේ ජීවත් වන්නේ ය.
දවසෙක සැවැත් නුවර පිඬු සිඟා වඩනා සැරියුත් මහාතෙරණුවෝ ඉඳුල් ඇහිඳ කන මේ කොලු දැක මහත් කරුණාවෙන් “දරු! මෙහි එන්නැ” යි අඬ ගා වදාළ සේක. කොලු ද වහා ගොස් මහා තෙරුන් වැඳ වැටුනේ ය. “තාගේ ගම කොහි ද? මවු පියෝ කොහි ද? ආයෙහි කොහි සිට දැ” යි ඇසූ කල්හි “ස්වාමීනි! මම හිඟන්නෙක්, මට පිහිටෙක් නැත, උදවු කරන්නෙක් නැත, මවු පියෝ මා නිසා දුකට පැමිණ මා හැර ගියහ, මම හිඟමනෙන් ජීවත් වෙමි” යි කී ය. එකල්හි උන්වහන්සේ මහණ වනු නරක දැ” යි ඇසූහ, “අනේ! සවාමීන් වහන්ස! කොතරම් හොඳ ද, මට කොතරම් වැඩෙක් ද, මා වැනි හිඟන්නෙකු පැවිදි කරන්නෝ කවුරු දැ” යි කීයේ ය. “නෑ ලමයා! මම තා මහණ කරමි” යි පාත්‍රයෙහි අත බහා කෑම ටිකක් ගෙණ ඔහුට දී කනතුරු බලා සිට විහාරයට කැඳවා ගෙන ගොස් සියතින් ම වතුර ඇද ඇඟ උළා නාවා පැවිදි කළහ. පැවිදි කොට කල් වයස් පිරී සිටි තැන උප සපන් ද කළහ.
මෙසේ පැවිදි උපසපන් වූ උන්වහන්සේ වැඩි වයසට පැමිණි කල්හි ලෝසක ස්ථවිරැ යි ප්‍රසිද්ධ වූහ. පින් නැත්තෝ ය. අසදිසමහාදානයෙහිදු බඩ පුරා කෑමක් නො ලැබූහ. එහිදී ද ලැබුනේ යම්තම් කට ගෑමට තරම් බත් ටිකෙකි. උන්වහන්සේගේ පාත්‍රයෙහි එක් ම කැඳ හැන්දක් වත් කළ විට පාත්‍රය කැඳෙන් කට ලඟට පිරී ගියා සේ අපට පෙණෙන්නේ ය. මිනිස්සු දෙන්නට ගෙණ ආ කැඳ ද “හාමුදුරුවන්ගේ පාත්‍රය කට ලඟට පිරී තිබේය” යි අනෙකකු හට දී යන්නාහ. අනෙක් බතක් රසක් මසක් කැවිල්ලක් ලෙවිල්ලක් පාත්‍රයට බෙදූ කල්හි ද පෙනෙනුයේ ඒ බදු බත් ටික පාත්‍රය පිරී ගියා සේ ය.
ටික දවසක් ගිය තැන ලෝසක ස්ථවිරයන් වහන්සේ විදසුන් වඩා රහත් වූහ. එහෙත් සිවුපසය ලැබීමෙහි වාසනාවක් එයිනුදු මතු නො වූ ය. මෙසේ දුක් සේ දිවි යවන උන්වහන්සේගේ ආයුෂය පිරිහී ගියේ ය. පිරිනිවන් පානා දවස ලං විය. ලෝසක තෙරුන් ගැණබලා වදාළ සැරියුත් මහ තෙරුන්ට ලෝසක තෙරුන් පිරිනිවන් පානා බව පෙණින. උන්වහන්සේ “ලෝසක අද පිරිනි වෙන්නේ ය, මා අද ඔහුට බඩ පුරා කෑම ටිකක් දිය යුතුය” යි ලෝසක තෙරුන් කැටු ව සැවැත් නුවර පිඬු සිඟා ගියහ. මහා ජනයාගෙන් අතුරු සිදුරු නැති ව පිරී ගත් සැවැත් නුවර එදා අත දිගු කොට වඳිනෙක් පුදන්නෙක් දක්නට නො ලැබින. සැරියුත් යන නාමය කණැ වැටුනු සැටියේ දොහොත් මුදුනේ තබා දුව එන මිනිස්සු එදා එහි නො වූ හ” යි කිය යුතු තරමට මිනිස්සු එහි නො පෙනී ගියහ.
සැරියුත් තෙරණුවෝ ලෝසක තෙරුන් අසුන්හලට යවා තමන් වහන්සේ එකලා ව නැවැතත් සිඟා ගියාහු සිඟා ගත් අහර ලෝසකට දෙව යි අනෙකෙකු අත යැවුහ. ඒ ගෙණ ගිය බත මග දී ගෙණ ගිය එකා ම ගිල දැමීය. ලෝසක සථවිර තෙමේ අසුන්හල සිටියේ වඩනා තෙරුන් දැක ඉදිරියට ගොස් වැඳ සිටියේ ය. එකල්හි උන්වහන්සේ “ලෝසක! මා එවූ බත් ටික වැළඳු දැ?” යි ඇසූ විට “නැත ස්වාමීනි! යි” කී ය. සංවේගයට පැමිණි මහාතෙරණුවෝ කල් බලා වදාළ කල් ගිය බව දැන ලෝසක තෙරුන් එහිම රඳවා තුමූ රජගෙට වැඩියහ. රජ තෙමේ උන්වහන්සේට පාත්‍රය පුරා චතුමධුර පිළිගැන්වීය. එවර උන්වහන්සේ ඒ චතුමධුර ගෙණ ගොස් “ලෝසක! බඩ පුරා මේ වළඳව” යි පාත්‍රය ඔහු ඉදිරියට කොට අල්ලා ගෙන සිටියහ. ලෝසක ස්ථවිර තෙමේ තෙරුන් කෙරෙහි ගෞරවයෙන් ලජ්ජා ඇති ව නො වළඳා සිටියේ ය. “ලොසක! ලජ්ජිත නො වන්න, හොඳට සෑහෙන පමණට වළඳන්න, මම පාත්‍රය ගෙණ සිටින්නෙමි, ඔතැන ම හිඳ වළඳන්න, මා මෙය අත් හැරියොත් මෙහි මොකුත් ඉතිරි වන්නේ නැත, මම මෙය අත් නො හැර ගෙණ සිටින්නෙම් ඒ නිසා ය” යි මහතෙරුන් පාත්‍රය ගෙණ සිටිය දී ම ලෝසක ස්ථවිර තෙමේ ඇතිතාක් බඩ පුරා වළඳා එ දවස ම පිරිනිවියේ ය. බුදුරජානන් වහන්සේ ලෝසක තෙරුන්ගේ සිරුර ආදහන කරවා ධාතු ගෙවා සෑයක් කර වූහ.
ලෝසක සථවිර තෙමේ කසුප් බුදුරජුන් දවස පැවිදි ව සිල්වත් ව විදසුන් වඩමින් එක්තරා වෙහෙරක නේවාසික ව සිටියේ ලාභමච්ඡරියාදියෙන් මසුරු ව රහත් නමකගේ සිවුපසය වළකා ලූයේ ය. තම දායකයකුගේ ගෙයකින් රහත් නමට දෙන්නැ යි දුන් ගිතෙල් මී හකුරු යොදා පිළියෙල කළ කිරිබතක් ගිනි අඟුරෙහිලා පුළුස්සා දැමී ය. පසු දවස තමන් කළ ඒ සාහසිකකර්‍මයෙන් හටගත් දොම්නසින් දැවී මනුෂ්‍යප්‍රේතයෙක් ව සිට මැරී ගොස් අපායයෙහි උපන. හවුරුදු ලක්‍ෂ ගණනක් අපායයෙහි පැසී එයින් මිදී ජාති පන්සියයක් පිළිවෙළින් යකෙක් ව ඉපිද ගත්තේ ය. මේ ජාති පන්සියයෙහි ම බඩ පුරා කෑයේ. එක් ම දවසෙක ය. කෑයේ ද ගැබ්මල ගොඩෙකි. එයින් පසු තවත් ජාති පන්සියයක් බලු ව උපන්නේ ය. ඒ කාලය තුළ ද බඩ පුරා කෑයේ එක් ම දවසෙක ය. එදා ද කෑයේ වමනය කළ බත් අසුචි රැසෙකි. මේ සා මහත් දීර්‍ඝකාලය තුළ අන් කිසි දවසෙක කිසි ලෙසක කෑමෙක් බඩ පුරා කන්නට නො ලැබුනේ ය. එයින් ච්‍යුත ව ගොස් කසී රට ඉතා දුප්පත් ගෙයක උපන්නේ ය. නමින් මිත්තවින්දක වී ය. මොහුගේ උපතින් ඒ ගෙයි අය වඩවඩාත් දුප්පත් වූහ. එහිදී ද කිසි දවසෙක පෙකනියෙන් උඩට දිය ටිකකුත් නො ලැබුනේ ය. මවු පියෝ බඩගිනි දුක ඉවසනු නො හැකි ව ඔහු ගෙයින් පන්නා දැමූහ. එතැන් සිට මෙතෙමේ තවත් නොයෙක් වධබන්‍ධන ලබමින් ආයේ අප බුදු රජුන් දවස කොසොල් රට ඉපිද නොයෙක් දුක් ගැහැට විඳිමින් සිට පැවිදි ව විදසුන් වඩා රහත් වූයේ ය.
මෙ තෙමේ පෙර කසුප් බුදුරජුන් දවස පැවිදි ව සිට ද කළ ලාභාන්තරාය හේතුවෙන් සතර අපායයෙහි හා මිනිස් ලොව ඉපිද නන්වැදෑරුම් කටුක දුක් වින්දේ ය. එ දවස ම කළ ත්‍රිලක්‍ෂණභාවනා හේතුවෙන් මෙ දවස පැවිදිකම් ලබා රහත් වූයේ ය. රහත් වූයේ ද පෙර දන් පින් කම් නො කළ බැවින් පිරිනිවන් පානා දවස දක්වා ම එක් දවසකුත් බඩ පුරා කෑමෙක් නො ලැබුනේ ය. සැරියුත් මහාතෙරුන්ගේ ඍද්ධිබලයෙන් පිරි නිවන් පානා දිනයෙහි ලත් චතුමධුරයෙන් කට බඩ පිරී ගියේ ය.
රහත්ගුණය හැර රහතුන් වහන්සේ පිළිබඳ අන් හැම ගුණයෙක ම වෙනස් කම් ඇත්තේ ය. රූපයෙන් ආයුෂයෙන් වර්‍ණයෙන් සැපයෙන් බලයෙන් නුවණින් උසින් මහතින් ලාභයෙන් පිරිවරින් යසසින් ප්‍රියමනාපභාවයෙන් නීරෝගභාවයෙන් රහතුන් වහන්සේ ද වෙනස් වෙත්. එක් කෙනකුන් වහන්සේ අන් කෙනකුන් වහන්සේ අසමාන වෙත්. රහතුන් වහන්සේ කෙරෙහි පෙණෙන මේ නොයෙක් අසමානකම්වලට හේතු වනුයේ ද උන්වහන්සේ සසර එන දවස කළ දානමය කුශලකර්‍මයාගේ හීන - මද්ධ්‍යම - උත්කෘෂ්ටභාව ම ය. උස්පහත්කම ය.
දවසක් සීහ සේනාපති තෙමේ බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! දන් දීමෙන් මෙ ලොවෙහිත් විපාක ලැබෙනබව දැක්විය හැකි දැ?” යි ඇසී ය. “ඔවු! සීහ! දීමෙහි විපාක මෙලොව දීත් ලැබෙන බව පෙන්විය හැකි ය. දීමෙන් මෙ ලොවදීත් මහා විපාක ලැබේ, සීහ! දෙන්නහු බොහෝ දෙනාට ප්‍රියයකු වන වඩන්නකු වීම සත්පුරුෂයන් ඔහුගේ ඇසුරට පැමිණිම සත් කීර්තිය දසත පැතිරීම දෙන්නහු ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණා දී වූ පිරිසක් මැදට පැමිණිය ද විශාරද ව නිර්‍භය ව නො මකුව පැමිණීම යන මෙය මෙ ලොව ලැබෙන විපාකයන්ගෙන් ටිකෙකැ” යි වදාළ බුදුරජානන් වහන්සේ නැවැත “සීහ! මෙ ලොව මෙසේ උසස් තැනට ගිය දායක තෙමේ දානමය කුශලකර්‍ම ශක්තියෙන් මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය” යි වදාළ සේක. එවිට සීහ තෙමේ “ස්වාමීනි! බුදුරජුන් වදාළ මේ ඓහික දානඵලය මම ද දනිමි, දීමෙන් මේ කියූ විපාක මෙහිදී ලැබෙන බව මගෙන් ම මම දැන සිටිමි, මේ දානඵල ඇදහීමට බුද්ධවචනයෙක් වුවමනා නො වේ, ඇස් ඉදිරියෙහි එය පෙනෙන බැවිනි, මම ද දානපති ව දන් දෙමි, එහෙයින් මම බොහෝ දෙනාට ප්‍රියයෙක් මන වඩන්නෙක් වෙමි, සත්පුරුෂයෝ මා සේවනය කරත්, සීහ තෙමේ සඞ්ඝෝපස්ථායකයෙකැ, යි මා පිළිබඳ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් මහාජනයා අතර පැතිර ඇත, කැත් - බමුණු - ගැහැවි - මහණ පිරිසක් කරා යන්නෙම් විශාරද ව ම නො මකු ව ම යමි, එහෙත් දන් දෙන්නේ මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය යනු මට නො පෙණේ. මම එය බුදුරජානන් වහන්සේගේ වචනයෙන් හදහම්” යි කීයේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “ඔවු! සීහ! ඒ එසේ ය, එහි වෙනසෙක් නැත, දන් දෙන්නේ මරණින් මතු දෙව්ලොව උපදින්නේ ය” යි වදාළ සේක. මෙහිලා මේ ද දත යුත්තේ ය.
“දදං පියො හොති භජන්ති නං බහුං
කිත්තිං ච පප්පොති යසො ච වඩ්ඪති,
අමඞ්කුභූතො පරිසං විගාහති
විසාරදො හොති නරො අමච්ඡරී”
දන් දෙන්නේ බොහෝ දෙනාට ප්‍රිය වේ. බොහෝ දෙන ඔහු සේවනය කරත්. කීර්තියට ද පැමිණේ. යශස ද වැඩේ. නො ද හැකුළුනේ පිරිස් මැදට යෙයි. නො මසුරු වූ මිනිස් තෙමේ විශාරද වේ.
“තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා
විනෙය්‍ය මච්ඡෙරමලං සුඛෙසිනො,
තෙ දිඝරත්තං තිදිවෙ පතිට්ඨිතා
දෙවානං සහව්‍යතං ගතා රමන්ති”
එහෙයින් සැප සොයන නුවණැති මනුෂ්‍යයෝ මසුරුමල දුරු කොට දන් දෙත්. ඔවුහු දෙව්ලොව උපන්නේ දෙවියන් ගේ සහභාවයට ගියෝ බොහෝ කලක් එහි ඇලී වසත්.
“කතාවකාසා කුසලා තතො චුතා
සයංපභා අනුවිචරන්ති නන්‍දනං,
තෙ තත්‍ථ නන්‍දති රමන්ති මොදරෙ
සමප්පිතා කාමගුණෙහි පංචහි,
කත්‍වාන වාක්‍යං අසිතස්ස තාදිනො
රමන්ති සග්ගෙ සුගතස්ස සාවකා”
කළ දෙව් විමන් ඇති එහෙයින් ම කළ පින් ඇති සත්ත්‍වයෝ මෙයින් ච්‍යුත වූවෝ ස්වකීය ආලෝකයෙන් ආලෝකවත් ව නන්දන වනයෙහි හැසිරෙත්. පස්කම් සැපතින් සෑහීමට පැමිණි ඔවුහු එහි සතුටු වෙත්. ඇලෙත්. මුදිත වෙත්. තාදී වූ බුදුරජුන්ගේ වදන් පිළිගෙණ පිළිපැදීමෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ දෙව් ලොව ඇලෙත්.
දවසෙක බුදුරජානන් වහන්සේ කෝලිය දනව්වෙහි සජ්ජනෙල නම් නියම්ගම්හි පිඬු සිඟා වැඩි සේක. එහි වුසු සුප්පවාසා තොමෝ තම ගෙට පිඬු සිඟා වැඩිය බුදුරජුන් දැක ගෙයි වඩා හිඳුවා වළඳවා දොහොත් මුදුන් දී පසෙක හුන්නී ය. එ කල්හි බුදුරජානන් වහන්සේ “භොජනං සුප්පවාසෙ දෙන්තී පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. කතමානි චත්තාරි? ආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති. ආයුං දත්‍වා ආයුස්ස වණ්ණං දත්‍වා වණ්ණස්ස සුඛං දත්‍වා සුඛස්ස බලං දත්‍වා බලස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වා” = සුප්පවාසා! ආහාර දෙන ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ ප්‍රතිග්‍රාහකයනට ආයුෂ - වර්‍ණ - සුඛ - බල යන අනුසස් දී තොමෝත් දෙවියන් මිනිසුන් පිළිබඳ වූ ආයුෂ - වර්‍ණ - සුඛ - බල යන මොවුනට හිමි වන්නී යයි වදාරා නැවැත:-
“සුසඞ්ඛතං භොජනං යා දදාති
සුචිං පණීතං රස්සා උපෙතං,
සා දක්ඛිණා උජ්ජුගතෙසු දින්නා
චරණොපපන්නෙසු මහග්ගතෙසු,
පුඤ්ඤෙන පුඤ්ඤං සංසන්‍දමානා
මහප්ඵලා ලොකවිදූනවණ්ණිතා,
එතාදිසං යඤ්ඤමනුස්සරන්තා
යෙ වෙදජාතා විරති ලොකෙ,
විනෙය්‍ය මච්ඡෙරමලං සමූලං
අනින්‍දිතා සග්ගමුපෙන්ති ඨානං”
යම් සත්‍රියක් තොමෝ රසවත් සුපබ්‍යඤ්ජනයන්ගෙන් යුත් පිරිසුදු වූ මැනැවින් පිළියෙල කළ භෝජනයන් නො ඇද වූ විද්‍යාචරණධර්‍මයන්ගෙන් යුක්ත වූ රහතුන් වහන්සේ කෙරෙහි දේ ද, එසේ දුන් ඒ දක්‍ෂිණාව පිණෙන් පිණ ගටන්නී මහත්පල ඇත්තී බුදුරජුන් විසින් පසස්නා ලද්දී ය. මෙ බඳු දන් සිහි කරන්නෝ සතුටු සිත් ඇති ව ලොව හැසිරෙත්. මසුරුමල දුරු කොට අනින්දිත ව දෙව්ලොවට පැමිණෙත් යි කොටින් වදාළ සේක.
දවසෙක බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් අමතා “භොජනං භික්ඛවෙ! දදමානො පටිග්ගහකානං පඤ්ච ඨානානි දෙති. ආයුං දෙති. වණණං දෙති. සුඛං දෙති. බලං දෙති. පටිභාණං දෙති” = මහණෙනි! දන් දෙනුයේ ප්‍රතිග්‍රාහකයනට ආයුෂය දෙයි. වර්‍ණය දෙයි. සුඛය දෙයි. බලය දෙයි. ප්‍රඥාව දේය යි වදාළ සේක.
එහි ලා මේ ද දත යුතු ය.
“ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො
සුඛස්ස දාතා මෙධාවී සුඛං සො අධිගච්ඡති.
ආයුං දත්‍වා බලං වණ්ණං සුඛං ච පටිභාණකං,
දිඝායු යසවා හොති යත්‍ථ යත්‍ථූපපජ්ජති” යනු.
ආයුෂ - බල - වර්‍ණ - ප්‍රඥා - සුඛ දෙන්නා වූ නුවණැති පුරුෂ තෙමේ සැපයට පැමිණෙන්නේ ය. ආයුෂ - බල - වර්‍ණ - සුඛ - ප්‍රඥාවන් දී යම් යම් තැනක උපදින්නේ ද ඒ උපන් හැම තැන දීඝායුෂය හා යශස් ඇත්තේ වේ.
“ ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු පරිත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සසොභග්ගං උපපජ්ජති” මහණෙනි! තමා දන් දෙන්නෙකැ, යි මහා ජනයා මැද පෙණී සිටීමේ අදහසින් කළ දානමයකුශලකර්‍මය තෙමේ කළහු මරණින් මතු මිනිස්ලොව හැම යස ඉසුරෙන් පිරිහී ගිය පහත් කුලයක උපදවන්නේ ය.
“ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු මත්තසො කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා මනුස්සසොභග්ගං උපපජ්ජති” මහණෙනි ! තමාගේ පමණට. සරිලන සේ සැදැහැ සිතින් කළ දානමය කුශලකර්‍මය තෙමේ කළහු මරණින් මතු මිනිස්ලොව හැම යස ඉසුරෙන් පිරී ගත් උසස් කුලයෙක උපදවන්නේ ය.
“ ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අධිමත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්‍යතං උපපජ්ජති” මහණෙනි! ඉතිරී පැතිරී යන සේ වඩාලා කළ දානමය කුශලකර්‍මය තෙමේ කළහු මරණින් මතු සිවු මහරජයෙහි උපදවනේ ය.
“තත්‍ර භික්ඛවෙ! චත්තාරො මහාරාජානො දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අතිරෙකං කරිත්‍වා චාතුම්මහාරාජිකෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා - වණ්ණෙන - සුඛෙන - යසෙන - ආධිපතෙය්‍යෙන. දිබ්බෙහි රූපෙහි - සද්දෙහි - ගන්‍ධෙහි - රසෙහි - ඵොට්ඨබ්බෙහි” මහණෙනි! සිවු මහාරජදරුවෝ දානමය කුශලකර්‍මය අධිකතර ව කොට එහි අනෙක් දෙවියන් දිව්‍යමය වූ ආයුෂයෙන් - වර්‍ණයෙන් - සුඛයෙත් - යශසින් - අධිපතිභාවයෙන් දිව්‍යමය වූ රූපයෙන් - ශබ්දයෙන් - ගන්‍ධයෙන් - රසයෙන් - ස්ප්‍රෂටව්‍යයෙන් යන දසකරුණෙන් යටපත් කොට සිටිත්.
(පොතෙහි මෙතැන කොටසක් අඩුය)
“ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අධිමත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා යාමානං දෙවානං සහව්‍යතං උපපජ්ජති” මහණෙනි! දානමය කුසලකර්‍මය ඉතා අධික ව නිතර නිතර කෙළේ මරණින් මතු යාමදෙව්ලොව උපදින්නේ ය.
“තත්‍ර භික්ඛවෙ! සුයාමො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අතිරෙකං කරිත්‍වා යාම දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති. දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි” මහණෙනි! සුයාම දේවපුත්‍ර තෙමේ එහි දානමය කුශලකර්‍මය වඩ වඩා කොට යාමදෙවියන් දිව්‍යමය වූ ආයුෂයෙන් - දිව්‍යමය වූ ස්ප්‍රෂටව්‍යයෙන් යටපත් කොට සිටියි.
“ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අධිමත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණ තුසිතානං දෙවානං සහව්‍යතං උපපජ්ජති” මහණෙනි! මෙහි දානමය කුශල කර්‍මය අධික කොට කෙළේ මරණින් මතු තුසිත දෙව්ලොව උපදින්නේ ය.
“තත්‍ර භික්ඛවෙ! සන්තුසිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අතිරෙකං කරිත්‍වා තුසිතෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි” මහණෙනි! එහි සන්තුෂිත දේවපුත්‍ර තෙමේ දානමය කුශලකර්‍මය වඩ වඩා කොට තුසී දෙවියන් දිව්‍යමය වූ ආයුෂයෙන් - දිව්‍යමය වූ ස්පෂ්ටව්‍යයෙන් යන දස කරුණෙන් යටපත් කොට සිටියි.
“ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරිය වත්‍ථු අධිමත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා නිම්මාණරතීනං දෙවානං සහව්‍යතං උපපජ්ජති” මහණෙනි! මෙහි දානමයකුශලකර්‍මය යමකු විසින් අධික ව කරණලද්දේ වේ ද ඒ කළ තැනැත්තේ මරණින් මතු නිම්මාණරතී දෙව්ලොව උපදින්නේ ය.
“තත්‍ර භික්ඛවෙ! සුනිම්මිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අතිරෙකං කරිත්‍වා නිම්මාණරතී දෙවෙ දසහිඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි” මහණෙනි! එහි සුනිර්මිත දේවපුත්‍ර තෙමේ දානමයකුශලකර්‍මය වඩ වඩා කොට නිම්මාණරතී දෙවියන් දිව්‍යමය වූ ආයුෂයෙන් - දිව්‍යමය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් යන දස කරුණෙන් යටපත් කොට සිටියි.
“ඉධ පන භික්ඛවෙ! එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අධිමත්තං කතං හොති. සො කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්‍යතං උපපජ්ජති” මහණෙනි! මෙහි යමකු විසින් දානමය කුශලකර්‍මය අධික කොට කරණ ලද්දේ වේ ද ඒ කළ තැනැත්තේ මරණින් මතු පරනිර්මිතවශවර්ති දෙව්ලොව උපදින්නේ ය.
“ තත්‍ර භික්ඛවෙ! වසවත්තී දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්‍ථු අතිරෙකං කරිත්‍වා පරනිම්මිතවසවත්තී දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි” මහණෙනි! එහි වශවර්ති දේවපුත්‍ර තෙමේ දානමය කුශල කර්‍මය වඩ වඩා කොට පරනිර්මිත දෙවියන් දිව්‍යමය වූ ආයුෂයෙන් - දිව්‍යමය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් යන දස කරුණෙන් යටපත් කොට සිටියි.
“දානං ලොකෙ සක්කසම්පත්තිං දෙති. මාරසම්පත්තිං දෙති. බ්‍රහ්මසම්පත්තිං දෙති. චක්කවත්තිසම්පත්තිං දෙති. සාවකපාරමීඤාණං දෙති. පච්චෙකබොධිඤාණං දෙති. අභිසම්බොධිඤාණං දෙති” දානමය කුශලකර්‍මය ලෝකයෙහි ශක්‍රසම්පත්තිය මාරසම්පත්තිය - බ්‍රහ්මසම්පත්තිය - චක්‍රවර්තිසම්පත්තිය - ශ්‍රාවක පාරමීඥානය - ප්‍රත්‍යෙකබෝධිඥානය - අභිසම්බෝධිඥානය දෙන්නේ ය.
“මහණෙනි! පිට නො බවු, මහණෙනි! පිණැයි සුඛයට නමෙකි, මහණෙනි! මා විසින් බොහෝ කලක් කළ දානාදි කුශලකර්‍මයන්ගේ බලයෙන් මා විසින් වළඳනා ලද ඉෂ්ටවිපාකය කාන්තවිපාකය ප්‍රියවිපාකය මනවඩනවිපාකය මම ප්‍රත්‍යක්‍ෂ විසින් දනිමි, මම සත් අවුරුද්දක් මෙත් සිත් වඩා මෙත්තාබ්‍රහ්මවිහාරය උපදවා සංවර්‍තවිවර්‍තකල්ප සතක් කාමලෝකයට උත්පත්ති වශයෙන් පෙරළා නො ආමි, කප නැසී යෑමෙහිදී ආභස්සරබ්‍රහ්ම ලෝකයෙහි පිළිසිඳ ගතිමි, කප නැගීමෙහි දී ශුන්‍ය වූ බ්‍රහ්මවිමානයෙහි ඉපිද එහි අනෙකකු විසින් නො මැඩිය හැකි වූ මහාබ්‍රහ්ම වීමි, මම සතිස්වරක් සක්දෙව් රජ වීමි, සක්විති රජ වීමි, ඒ ඒ ප්‍රදේශයන්හි රජකම් කළ අවස්ථාවන්ගේ ගණනෙක් නැත, සක්දෙව් රජ ව උපන් අන්තිම අත්බවෙහිදී මේ මහත් ඉෂ්ටවිපාකය කිනම් කුශලකර්‍මයක්හුගේ විපාක විසින් මට ලැබිනි ද, මම දැන් මෙසේ ඍද්ධි ඇත්තෙම් ආනුභාව ඇත්තෙම් උපන්නෙම් කිනම් කර්‍මයක්හුගේ විපාක විසින් දැයි මට සිත් උපන, එහිදී පෙර මා විසින් කළ දාන - ශීල -භාවනා යන කුශලකර්‍මයන්ගේ විපාක වශයෙන් මේ ලදැයි ද, මම දැන් ඒ කුශලකර්‍මයන්ගේ විපාක බලයෙන් මහත් ඍද්ධි ඇත්තෙම් අනුභාව ඇත්තෙම් වීමි යි ද ඒ වේලෙහි මට පෙණිනැ” යි ද බුදුරජානන් වහන්සේ සුනෙත්ත කාලයෙහි කළ කුශලකර්‍මයෙන් තමන් වහන්සේ විසින් වැළඳු භවයෙන් වැසී ගිය උදාරපුණ්‍යවිපාකය මෙසේ ප්‍රකට කොට මහාජනයා පින්කිරීමෙහිලා උත්සාහවත් කළ සේක. තෙද ගැන් වූ සේක.
දවසෙක දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ බුදුරජුන් ඉදිරියෙහි,
“ආදිත්තස්මිං අගාරස්මිං යන්තීහරති භාජනං,
තං තස්ස හොති අත්‍ථාය නො ච යං තත්‍ථ ඩය්හති.
.
එවමාදිපිතො ලොකො ජරාය මරණෙන ච,
නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහතං.
.
දින්නං සුඛඵලං හොති නාදින්නං හොති තං තථා,
චොරා හරන්ති රාජානො අග්ගි දහති නස්සති.
.
අථ අන්තෙන ජහති සරීරං සපරිග්ගහං,
එතදඤ්ඤාය මෙධාවී භුඤ්ජෙථ ච දදෙථ ච.
.
දත්‍වා ච භූත්‍වා ච යථානුභාවං,
අනින්දිතො සග්ගමුපෙන්ති ඨානං”
යනු කියා සිටියේ ය.
ගෙයක් ගින්නෙන් ඇවිළ ගත් කල්හි එහි වූ යම්කිසි දැයක් ගින්නට අසුවන්නට පෙරාතු ව බැහැරට ගණී ද ඒ ගත් හැම දැයෙක් පසුකාලයෙහි ඔහුට ප්‍රයෝජනය පිණිස වන්නේ ය. බැහැරට නො ගත් ඇය එහි ම දැවී යයි.
එපරිද්දෙන් මේ සත්ත්‍වලෝකය තෙමේ රාග - ද්වේෂ - මෝහ - ජරා - මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාශ යන මෙයින් නිති දෙවේලෙහි දැවෙන්නේ ය. ඇවිළ ගත්තේ ය. එහෙයින් දන් දීමෙන් නිතර ඇවිළ දැවෙන්නා වූ මේ පඤ්චස්කන්‍ධසඞ්ඛ්‍යාත ගෘහයෙන් පුණ්‍ය චේතනා නැමැති බඩු බැහැරට ගන්නේය. ගතයුතුය. බැහැරට ගන්නා ලද්දේ වන්නේ දෙන ලද්දය.
සුවපල ඇත්තේ දෙන ලද්ද ය. නො දුන් දැය එසේ නො වේ. නො දුන් දැය, ගෙයි සඟවා තුබූ දැය හොරු පැහැර ගණිත්. රජුනට අයත් වේ. ගින්න දවාලයි. දියෙන් නැසෙයි.
සිරුර හා නො වැනසී තුබූ ධනරාශිය ද අඹුදරු ආදින් ද මරණයෙන් හැර දමා පරලොව යන්නේ ය. නුවණැත්තේ මෙබව දැන කන්නේ ය. බොන්නේ ය. අඳින්නේ ය. පළඳින්නේ ය. දෙන්නේ ය. පිනෙහි යොදන්නේ ය. තම වත්පොහොසත් කම් ලෙසින් දීලා කාලා පිණෙහි යොදාලා මරණින් මතු දෙව්ලොව යන්නේ ය, යන අරුත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි මෙසේ කී ය:
“මච්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති,
පුඤ්ඤමාකඞ්ඛමානෙන දෙය්‍යං හොති විජානතා” යි.
සපයා ගත් ධනය මුළු ගන්වන සඟවා තබන මසුරන් විසින් මසුරුමල හේතු කොට, සිහියෙන් තොර ව වසන සිහිනැති ප්‍රමාදයෙන් දවස් යවන්නහු ප්‍රමාදය හේතු කොට දන් නො දෙනු ලැබේ. පින්පල කැමැත්තා වූ කම්පල දන්නහු විසින් දන් දිය යුතු ම ය යනු අරුත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි සිට මෙසේ කී ය:
“යස්සෙව භීතො න දදාති මච්චරී තදෙවාදදතො භයං,
ජිඝච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ඡරී.
තමෙව බාලංඵූසිති අස්මිං ලොකෙ පරම්හි ච,
තස්මා විනෙය්‍ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ,
පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණනං” යි.
මසුරුමලින් මැඩුනේ වස්තුපරිහානියෙන් කෑම් පීම් ඇඳුම් පැළඳුම් සපයාගත නො හැකි වේ යි බියට පත් ව අනුනට කිසි දෙයක් නො දේ ද, ඒ නො දීම ම ඔහුට බියට කරුණු වේ. දන් දෙන කල්හි කෑම් පීම් ඇඳුම් පැළඳුම් නො ලැබ යා යි බියෙන් දන් නො දෙන මසුරා ඒ නිසා ම සාපිපාසායෙන් පෙළෙන්නේ ය. හෙතෙමේ යම් සාපිපාසා දුකකට බිය වේ ද ඒ සාපිපාසා දුක මෙලොව පරලොව දෙක්හි ම ඔහු ලුහුබැඳ යයි.
මෙසේ සාපිසා දුක, සසර දිගින් දිගට ලුහුබඳනා බැවින්, මසුරුමල දුරු කොට මසුරුමල මැඩලූවෙක් ව දන් දෙන්නේ ය. සත්ත්‍වයනට පරලොව පිහිට වනුයේ පිණ ය. සත්ත්‍වයන්ගේ ජීවිත සුඛිත මුදිත වනුයේ හොඳට හැඩ ගැසෙනුයේ පින් බලයෙනි, යනු අරුත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කී ය:
“තෙ මතෙසු න මීයන්ති පන්‍ථානංව සහබ්බජං,
අප්පස්මිං යෙ පවෙච්ඡන්ති එසධම්මො සනත්තනො.
අප්පසම්කෙ පවෙච්ඡන්ති බහුනෙකෙ නදිච්ඡරෙ,
අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතා” යි.
කතරමගට බැස යන්නන් තමන් හා එක් ව යන අනෙක් දෙනාහටත් තමන් වෙත තුබූ ටික දැය නමුත් බෙදා දෙන්නා සේ යම් කෙනෙක් දියයුතු දැය ඉතා මද ව ඇති කල්හිත් බෙදා දෙන්නෝ ද ඔවුහු නො දෙන්නන් නො දෙන සුලු බැවින් මැරෙණ කල්හි නො ද මැරෙන්නෝ ය. ඉතා ටික දැය නමුත් දීම බුද්ධාදිසත්පුරුෂයන්ගේ ස්වභාවය යි. මළහුගේත් නො දෙන්නහුගේත් වස්තුවෙහි වෙනසෙක් නැත්තේ ය. මේ දෙදෙනාගේ ම වස්තුව එකසමාන ය.
කෙනෙක් තමන් වෙත ඇති ටික දැයිනුත් දන් දෙන්නෝ ය. කෙනෙක් උපභෝග වස්තු බොහෝ ඇත ද දන් නො දෙත්. ටික දැයක් ඇති කල්හිත් ඒ ටික දැයින් කම්පල හදහා දුන් දානයෙහි වටිනාකම ඉමහත් ය යන අරුත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කීය:
“දුද්දදං දදමානානං දුක්කරං කම්මකුබ්බතං,
අසන්තො නානු කුබ්බන්ති සතං ධම්මො දුරන්නයො.
තස්මා සතං ච අසතං ච නානා හොන්ති ඉතො ගති,
අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණා” යි.
ටික දැයක් ඇති කල්හි එය දීම අසත්පුරුෂයනට නො කටහැකිය. දීම දුෂ්කරය. සත්පුරුෂයෝ අසත්පුරුෂයනට නො කට හැකි වූ අසත්පුරුෂයනට දුෂ්කර වූ ඒ දානය දෙන්නෝ ය. සත්පුරුෂයෝ දුෂ්කර වූ දානාදිසුචරිතක්‍රියා කෙරෙත්. අසත්පුරුෂයෝ සත්පුරුෂයන්ගේ ඒ ක්‍රියාවන්ට අනුව නොයෙත්. ඒ එසේම ය. සත්පුරුෂයන් කරණ දානාදි සුචරිතක්‍රියා අසත්පුරුෂයන්ට කළ නො හැකි ය.
එහෙයින් සත්පුරුෂයන්ගේත් අසත්පුරුෂයන්ගේත් සසරෙහි ඉපැත්ම වෙනස් ය. අසත්පුරුෂයෝ නිරයෙහි උපදිත්. සත්පුරුෂයෝ ස්වර්‍ගයෙහි උපදිත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කී ය:
“දානං ච යුද්ධං ච සමානමාහු
අප්පාපි සත්තා බහුකෙ ජිනත්ති,
අප්පම්පි චෙ සද්දහානො දදාති
තෙනෙව සො හොති සුඛී පරත්‍ථ” යි.
දීම හා යුද්ධය සමානය යි කියත්. වීර්‍ය්‍යවත් පුරුෂයෝ ටික දෙනෙක් වූවාහු ද ඔවුහු බොහෝ වූත් බියසුලු වූත් සතුරන් පරදවා ජය ගණිත්. කම්පල හදහා ටික දැයක් නමුත් දෙන්නේ ඒ කරණ කොට පරලෙව්හි ඉෂ්ටවිපාක ලබා සුව ඇත්තේ වන්නේ ය, යනු අරුත්.
ජිවිතයට බිය වන්නහුට යුද කට නො හැකි ය. ධනහානියට බිය වන්නහුට දන් දෙනු නො හැකි ය. “දිවිය ද රැක ගණිමි, යුද ද කරමි” යි කියනුයේ යුද නො කරන්නේ ය. “දිවි ගැලවී යේවා, අත්පා කැඩී බිඳී වා, සතුරන් මැඩලන්නෙමි” යි උත්සාහ ඇත්තේ යුද කරන්නේ ය. “භෝගයන් ද රැක ගණිමි, දන් ද දෙමි” යි කියනුයේ දන් නො දෙන්නේ ය. මෙබැවින් දානයත් යුද්ධයත් සමානය යි කීහ.
තවද යුදබිම වීරපුරුෂයෝ ටික දෙනෙක් වූවාහු ද ඔවුහු බොහෝ වූ භීරුකපුරුෂයන් සිය දහස් ගණනින් යම් සේ මැඩ ඔබා ගණිත් ද එසේ ශ්‍රද්ධාදිගුණවත් පුරුෂ තෙමේ ඉතා කුඩා දනක් දෙනුයේ ද බොහෝ මසුරන්, බොහෝ කෙලෙසුන් පරදවා යටපත් කොට ජය ගන්නේ ය. මසුරුමල මැඬ යටපත් කොට දන් දී බොහෝ උසස් සැප ලබයි. මෙසේ ද දානය හා යුද්ධය සමාන වේ.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කීය:
“යො ධම්මලදස්ස දදාති දානං
උට්ඨානවිරියාධිගතස්ස ජන්තු,
අතිකම්ම සො වෙතරණිං යමස්ස
දිබ්බානි ඨානානි උපෙති මච්චො” යි.
යමෙක් නැගී සිටුනා වැරින් දැහැමෙන් සෙමෙන් ඉපැයූ වස්තුවෙන් ආර්‍ය්‍යගුණ යුක්ත පුද්ගලයන්හට දන් දේ ද, හෙතෙමේ යමයාගේ වේතරණිය හා අන් එක් තිස් නිරය හැම අතින් ඉක්මවා දෙව්ලොවට පැමිණෙයි, යනු අරුත්.
දවසෙක අන් දෙවියෙක් බුදුරජුන් වෙත පැමිණ මෙසේ කී ය:
“විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං
යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ,
එතෙසු දින්නානි මහප්පඵලානි
බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ” යි.
දිය යුතු දැය හා දීමට සුදුස්සන් තෝරා බේරා දීම හා දෙක බුදුරජුන් විසින් පසස්නාලද ය. මේ ලෝකයෙහි යම් කෙනෙක් කම්පල හදහා දීමට සුදුසු වෙත් ද ඔවුන් කෙරෙහි දීම මහත් පල ඇත්තේ වේ. මනා සරුකුඹුරක වපුළ බිජුවට ශස්‍යඵලය මහත් කොට දෙන්නා සේ මහත්පල දෙන්නේ ය, යනු අරුත්.
දවසක් බුදුරජානන් වහන්සේ තමන් වෙත පැමිණි අනේපිඬු සිටු අමතා “ගැහැවිය! යම්කිසි ආර්‍ය්‍යකෙනෙක් චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චය යන මෙයින්, මොනවට පිළිපන් සිල්වත් සඞ්ඝයා පුදත් ද ඔවුහු හැම යසඉසුරු දෙන්නා වූ ස්වර්‍ගය පිණිස පවත්නා වූ ගිහියනට සුදුසු වූ පිළිවෙතෙහි පිළිපදින්නෝ වෙත්, එමතු ද ගැහැවිය! ඔවුනට දවරෑදෙක්හි සියලු වේලෙහි පින් රැස් වේ, ඔවුහු මරණින් මතු දෙව්ලොව උපදිත්” යි වදාළ සේක මේ ඒ දේශනාව.
“ගිහීසාමීචිපටිපදං පටිපජ්ජන්තී පණ්ඩිතා,
සම්මග්ගතෙ සීලවන්තෙ චීවරෙන උපට්ඨිතා.
තෙසං දිවා ච රත්තො ච සදා පුඤඤං පවඩ්ඪතිති,
සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්‍වාන භද්දකං” යනු.
බුදුරජානන් වහන්සේ “මහණෙනි! මම යම් හැටියෙකින් ආහාර පානාදිවස්තුන් දීමෙහි හා තමන් බෙදා ගත් කොටස නැවැත බෙදාදීමෙහි ඵලය දනිම් ද, ඒ හැටියට මා දන්නා හැටියට සෙසු අයත් දනිත් නම්, ඔවුහු පරහට නො දී තුමූ කිසිවක් නො ද කන්නෝ ය, යි මට ස්ථිර ව කිය හැකි ය, ඔවුන්ගේ සිත කිසි දවසෙක මසුරුමලින් නම් යටපත් නො වන්නේ ය, ඔවුන් දෙන දැය පිළිගැණීමට ප්‍රතිග්‍රාහකයෝ වූහු නම්, අන්තිම බත්කට වුව ද, ආ ආවුන්ට දී, යන්තමින් ඉතිරි වූ අන්තිම බත්කට වුව ද ඔවුනට නො දී නම් නො කන්නෝ ය, යම් කෙනෙක් එසේ නො දී කන්නෝ නම්, මහණෙනි! ඒ අය මා මෙන් දාන සංවිභාගඵලය නො දන්නෝ ය, එසේ නො දී කනු එහි ඵලය නො දන්නා බැවිනි, ඔවුන්ගේ සිත් මසුරුකමින් මැඩීගත් බැවිනි එසේ නො දී කන්නෝ” යි වදාළ සේක.
මේ ඒ වදාළ සැටි: “එවං චෙ සත්තා ජානෙය්‍යුං දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්‍වා භුඤ්ජෙය්‍යුං, න ච තෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබලං, තතොපි න අසංවිභජිත්‍වා භුඤාජෙය්‍යුං සචෙ තෙසං පටිග්ගාහකා අස්සු, යස්මා ච ඛො භික්ඛවෙ! සත්තා න එවං ජානන්ති දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, තස්මා අදත්‍වා භුඤ්ජන්ති, මච්ඡෙරමලං ච තෙසං චිත්තං පරියාදාය තිට්ඨතී” යි.
“එවං චෙ සත්තා ජානෙය්‍යුං යථා වුත්තං මහෙසිනා,
විපාකං සංවිභාගස්ස යථා හොති මහප්ඵලං.
විනෙය්‍ය මච්ඡෙරමලං විප්පසන්නෙන චෙතසා,
දජ්ජා කාලෙන අරියෙසු යත්‍ථ දිනං මහප්ඵලං.
අන්නං ච දත්‍වා බහුනො දක්ඛිණෙය්‍යෙසු දක්ඛිණං,
ඉතො චුතා මනුස්සත්තා සග්ගං ගච්ඡන්ති දායකා.
තෙ ච සග්ගගතා තත්‍ථ මොදන්ති කාමකාමිනො,
විපාකං සංවිභාගස්ස අනුභොන්ති අමච්ඡරා”
මහර්ෂී වූ බුදුරජුන් විසින් වදාළ පරිදි දානසංවිභාගයාගේ මහත් වූ විපාක ඵලය අන්‍ය සත්ත්‍වයෝත් දන්නාහු නම්,
ඉතා ටික වූත් දියයුතු දැයෙක් යම් ආර්‍ය්‍යක්‍ෂේත්‍රයෙක දෙන ලද්දේ මහත්පල ඇත්තේ වේ ද, එහෙයින් ඒ ආර්‍ය්‍යයනට මසුරුමල පහ කොට වෙසෙසින් පහන් වූ සිතින් සුදුසු කාලයෙහි දන් දෙන්නෝ ය.
කම්පල හදහා දීමට සුදුස්සන් කෙරෙහි දක්‍ෂිණාව නොහොත් බොහෝ වූ ආහාරපානාදිය දුන් දායකයෝ මේ මිනිස්ලොවින් ච්‍යුත ව ගියෝ දෙලොව උපදිත්.
නො මසුරු වූ ඔවුහු දෙව්ලොව උපන්නාහු එහි මන වඩන කම්සැපතින් යුක්ත ව සතුටු වන්නෝ ය. දානසංවිභාගයාගේ ඉෂ්ටඵලය වළඳන්නෝ ය.
මෙසේ බුදුරජානන් වහන්සේ නොයෙක් ලෙසින් දාන ඵල වදාළ සේක. නොයෙක් තරාතිරම් ඇති දෙව් මිනිස්සු ද දානඵල කියා පෑහ. එහිලා බුදුරජානන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වෙත්. උන්වහන්සේ තරමට දානඵල දන්නෝ දානඵල කියූවෝ දෙවියන් සහිත ලෝකයෙහි නො වූහ. අද ද නො වෙත්. මත්තෙහි ද නො වන්නෝ ය. දානඵල දක්වනු සඳහා උන්වහන්සේ වදාළ ධර්‍මදේශනාවෝ පිටකත්‍රයයෙහි නොයෙක් තැන බොහෝසෙයින් පැතිර සිටියහ. මෙහි දැක්වෙන්නේ එහිලා බින්‍දුමාත්‍රයෙකි. හැම ගෙණ පෑමෙහි අපි නො පොහොසතුම්හ.
දානය, වනාහි හැම සැපයට නිදාන වේ. හැම සැපතට මූල කාරණ වේ. හැම භෝගයනට පිහිට වේ. හැම විෂමගතයනට ස්ථාන වේ. හැම විපතට පිළිසරණ වේ.
දානය තරම් ඇසුරු කළ යුත්තෙක් සෙවිය යුත්තෙක් බැවිය යුත්තෙක් එල්බ ගැණුමෙක් රැකවලෙක් යායුතු තැනෙක් උතුම් මගෙක් කොතැනත් නැත්තේ ය.
දානය වනාහි නිඃශ්‍රයාර්‍ත්‍ථ විසින් රනින් කළ සිහසුනක් වැන්න. ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථ විසින් මහාපොළොව වැන්න. ආලම්බනාර්‍ත්‍ථ විසින් රැහණක වැන්න. දුඃඛනිස්තරණාර්‍ත්‍ථ විසින් නැවක වැන්න. ලෝභමාත්සර්‍ය්‍යාදීන් නසා අස්වසන බැවින් සඞ්ග්‍රාමශුරයකු වැන්න. බියෙන් රක්නා බැවින් මොනවට පිරිකෙවු කළ නුවරක් වැන්න. මසුරුමල නො තැවරුණු බැවින් පියුමක් වැන්න මසුරුමල ඇ දවන බැවින් ගින්නක් වැන්න. මසුරුමලයනට ලංවිය නො හැකි බැවින් සර්‍පයකු වැන්න. නො තැති ගන්නා බැවින් සිංහයකු වැන්න. මෙලොව පරලොව දෙක්හි කායබලාදිය දනවන බැවින් හස්තියකු වැන්න. අභිමඞ්ගලැයි සම්මත බැවින් ශ්වේතසෘෂභයකු වැන්න. විපතින් මුදා සැපතටත් සසරින් මුදා නිවනටත් පමුණුවන බැවින් ක්ෂේමභූමීන්ට පමුණුවන වලාහක අස්රජහු වැන්න. මේ වනාහි නුවණැති පැරැන්නන් දානය ගැන සිතූසේ ය.
“නාහං භික්ඛවෙ! ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි අපි ච ඛො අනුපුබ්බසික්ඛා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති” මහණෙනි! මම පටන්ගත් තැන ම මුල ම කිසිවකු හටත් නිවන් ලැබේය යි නො කියමි. පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් ක්‍රියා කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් ඒ ලැබිය හැකිය යි මම කියමි යි බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ බැවින් දානකථාව ආනුපූර්‍වකථාවෙහි ප්‍රථම කථාව වේ. එහෙයින් ම දානමය කුශලකර්‍මය ත්‍රිවිධපුණ්‍යක්‍රියාවස්තූන් අතර ත්‍රිවිධ - චතුර්විධ සඞ්ග්‍රහවස්තුන් අතර දශවිධ පාරමිතාවන් අතර ආදියෙහි සිටියේ ය.
නිවන් ලැබීම ටික කලකින් ටික පින්කමකින් කළ නො හැකි ය. එයට කප් සියදහසක් මුළුල්ලෙහි පින් දහමින් හොඳට මෝරා ගිය නුවණක් වුවමනා ය. කප් සියදහසෙකැ යි කීයේ අඩු ම ගණනින් ය. මේ කියූ කාලය තුළ සත්ත්‍වයාගේ එක් ම තැනක ඉපැත්මක් නො වේ. අත්බවෙන් අත්බවට චුතිපටිසන්‍ධි වශයෙන් යා යුතු ය. එසේ යන්නෝ ඇතැම් කලෙක දුගතියෙහි ද, ඇතැම් කලෙක සුගතියෙහි ද උපදනාහ. දුගතියෙහි උපන්නහුගේ කප් සියදහස තව තවත් දිග් ගැසෙන්නේ ය. දුගතිය පිණට ස්ථාන නො වේ. එහෙයිනි එසේ දිග් ගැසෙනු. සුගතියෙහි උපන්නන් විසිනුදු කප් සියදහස ගෙවී ගිය තැනේ දී නිවන් ලැබීමට නම් ඒ කාලය මුළුල්ලෙහි අතර නො තබා දාන ශීලාදී වූ හැම ගුණයෙක් ම හැම පින්කමෙක් ම එයට සරිලන සේ සම්පූර්‍ණ කළ යුතු ය. සුගතියෙහි ද සමහර තැන් පිණට හිත නො වේ. හිත මනුෂ්‍යත්‍වය ම ය. මනුෂ්‍යත්‍වය ද අඞ්ගවිකලත්‍වයට නො පැමිණියේ ම භෝගසම්පත්ත්‍යාදියෙන් නො පිරිහුනේ ම ප්‍රතිරූපදේශයෙහි වූ යේ ම සදාශ්‍රය ඇතියේ ම නො ගිලන් වූයේ ම හිත වේ. මනුෂ්‍යත්‍වය මේ සියල්ලෙන් පුරා ලනුයේ ප්‍රධාන විසින් දානමය කුශලකර්‍මය යි. එහෙයින් හැමට පළමු නිවන් පිණිස කළයුතුත් කරන්නට පහසුත් දානමය කුශලකර්‍මය බැවින් බුදුරජවරු දානකථාව ම පළමු කොට වදාරණ සේක. දානමය කුශල කර්‍මය නිවන් පිණිස පවත්නා බැවින් බ්‍රහ්මචරිය යි හඳුන්වන සේක.
සිවුසස්දහම් වසා සිටිනා ක්ලේශාන්‍ධකාරය දුර ගසා යනුයේ මාර්‍ගඥානාලෝකයෙනි. ඒ මේ මාර්‍ගඥානාලෝකය පහළ වනුයේ ලෝභදවේෂමෝහාදි ක්ලේශධර්‍ම ඒ ඒ තත්‍වයෙන් ඔබාලීමෙන් ය. දානචේතනාව මේ පිණිස මහත් උපකාරයෙක් වේ. පළමු කොට ලෝභාදී වූ ක්ලේශධර්‍ම තදඞ්ගප්‍රහාණයෙන් යටපත් කරන්නී දානචේතනා ය. එහෙයින් කෙලෙස්මල බිඳින්නහුට පහසුවෙන් කෙලෙස් බිඳිය හැක්කේ දානචේතනාවගේ බලයෙනි. අන් පිළිවෙත් සකස් කොට පිරීම මෙතරම් පහසු නො වේ. ආදියෙහිලා මෙය ම පහසු බැවින් දානය ආදි කොට වදාරණ සේක.
යම් කුල කෙනෙක් සරණ සිල් - පන්සිල් නිතිරැකුම, ලහබත් - පැකිබත් - මැසිබත් - වැසිබත් පිදීම, පොකුණක් - ලිඳක් - ආවාසයක් කොට පිදීම යන මෙබඳු පින්කම් කෙරෙත් ද, ඒ කුලයන්ගේ ගතිය ඒකාන්ත ය. ස්ථිර ය. ඒ කුලයෝ සෝතාපන්නකුලයන් වැනි වෙත්. යම් කිසි කුලයෙක ශ්‍රද්ධා - ශිීල - ශ්‍රැත - ත්‍යාග - ප්‍රඥා යන ගුණයෝ ඔද වැඩි ව තර ව පවතිත් ද, එහෙත් ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ ද, ඒ කුලයෙහි ගතිය ඒකාන්ත නො වේ. යම් කිසි කුලයක ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ ද ශ්‍රද්ධාශීලාදි ගුණයෝ ඔද වැඩි ව තර ව නො පවතිත් ද, ඒ කුලයෙහි ගතිය ද ඒකාන්ත නො වේ. ශ්‍රද්ධා ශීලාදි ගුණ හා ප්‍රාර්‍ත්‍ථනා යම් කිසි කුලයෙක වෙත් නම්, ඒ කුලයෙහි ගතිය එකාන්තය. නියමිත ය.
අහසෙහි ලූ දඬුකඩ, අගින් මැදින් මුලින් යන තුන් තැනින් කොතැනෙකින් බිම හෙන්නේ දැයි නො කියැකි ය. එහි නියමයක් නො කට හැකි ය. එ පරිද්දෙන් සත්ත්‍වයන්ගේ ඒ ඒ භවයන්හි පිළිසිඳ ගැනීම ද නියත නො වේ. පිළිසිඳ ගැනීමෙහි නියමයෙක් නැත්තේ ය. අසුවල් භවයෙහි ම මෙතෙමේ පිළිසිඳ ගණීය යි නො කියැකි ය. එහෙයින් පින්කම් කොට එක් තැනක් නියම කොට ප්‍රාර්‍ත්‍ථනා තැබිය යුතු ය. “මාගේ මේ දානය නිවන් පිණිස වේවා” යි පතන්නහු විසින් නිවනට නතු කොට තැබූ දාන චේතනාව බුදුබව පවා ලබාදීමෙහි පොහොසත් ය. භව සම්පත් පතා භවයට නතු කොට තැබූ දානචේතනාව භව සම්පත් ම දෙන්නී ය. එයින් නිවන් ලබනු අපහසු ය.
“දින්නං ඵලත්‍ථිනා දානං වණිජ්ජංච ජිගුච්ඡියං,
සබ්බථා අපරාමට්ඨං විසිට්ඨන්ති විජානියං”
ඵලයට ගිජුවී දුන් දන් වෙළඳාමක් සේ පිළිකුල් කටයුතු ය. තෘෂ්ණාදෘෂ්ටීන් හා මොන ලෙසකිනුදු මුසු නො වූ දානය හැමතින් ඉතා උසස් ය යි දත යුතු ය.
ශීලාදිගුණයුක්තයක්හට සැන්දක් පමණ බතක් පිදූ පස් රියන් පමණ බිමෙක කළ පන්සලක් පිදූ තැනැත්තේ කප් සිය දහස් ගණනක් දුගතියෙන් රැකෙන්නේ ය. දුගතියෙහි නො හෙන්නේ ය. කෙළවර ඒ කුශලය ඔහුට නිවන් පිණිස ප්‍රත්‍යයය වන්නේ ය. එහෙයින් දන් පින් කොට නිවන ම පැතිය යුතුයි.
ධීරො ච දානං අනුමොදමානො = නුවණැත්තේ දානය අනුමොදන් වන්නේ ය. කළ හැටි ඉතා මැනැවැයි සතුටු වන්නේ ය. [2]
අනුමොදනා නම්, යමකු කළ කුශලකර්‍මය දැක හෝ අසා හෝ කළ හැටි යහපතැයි කුශලකර්‍මය අනුව සතුටුවීම ය. සිතෙහි නැති ද සතුට වචනයෙන් පැවසීම හෝ අනුමෝදනා නමි. යම් කිසි කර්‍මයෙකින් ලැබෙන අර්‍ත්‍ථසම්පත්තිය දැකීමෙන් සිතෙහි හට ගන්නා ප්‍රීතිවේගය හෝ අනුමෝදනා ය. දුන්නහුට සොම්නස් දනවමින් දීමෙහි අනුසස් පැවසීම හෝ අනුමෝදනා ය. එය, සඞ්ඝභත්තානුමෝදනා - මඞ්ගලභත්තානුමෝදනා - අවමඞ්ගලභත්තානුමෝදනා යි තෙපරිදි වේ එහි සඞ්ඝගතදක්‍ෂිණාවක් පිරිනැමූ තැනේ දී ඒ පිරිනැමුවන් සතුටට පත් කෙරෙමින් කෙරෙන ධර්‍ම දේශනා සඞ්ඝභත්තානුමෝදනා නම්, එසේ ම ආවාහ විවාහ ගෙවැදුම් බත්කැවීම් ආදී වූ ලෝකයා විසින් මඞ්ගල යි සම්මත කොට ගත් ක්‍රියාවන්හි දී දුන් දන් නිසා කෙරෙණ දේශනා මඞ්ගලභත්තානුමොදනා නම්. මළවුන් සඳහා දුන් දන් නිසා කෙරෙන දේශනා අවමඞ්ගලභත්තානුමෝදනා නම්.
තෙනෙව සො හොති සුඛී පරත්‍ථ = ඒ හේතුවෙන් ම හෙතෙමේ පරලොව සැප ඇත්තේ වේ.
“තෙනෙව සෙ දානානුමොදනාපුඤ්ඤෙන පරලොකෙ දිබ්බසමාපතතිං අනුභවමානො සුඛී හොති” අනුන් කළ දානමය කුශලකර්‍මය ගැන සතුටු වනුයේ ඒ සතුටු වීමෙන් ලත් කුසලයෙන් ම පරලොව දෙසැප විඳිමින් කායික - චෛතසික සුඛයෙන් සුවපත් වන්නේ ය.
යමෙක් අනුන් කළ කුසලයෙහි පින් අනුමෝදන් වූයේ සිත්හි නගිනා ඊර්‍ෂ්‍යා - ද්වේෂ - මාත්සර්‍ය්‍ය - විහිංසාවන් නසා ශ්‍රද්ධාප්‍රඥාදී ගුණයන්ගෙන් ආරාධිත වූ සිත් ඇතියේ උපනුපන් තන්හි සතුටු සිත් ඇති ව හැම කල්හි වසන්නේ ය.
එදා එක් තරුණයෙක් දෙව්රම් වෙහෙර සඟසතු කොට පූජා කරන්නට පැන් පිරූ පැන් කෙණ්ඩිය අතට ගෙණ සිටි අනාථපිණ්ඩික සිටානන්ගේ ශ්‍රී ශෝභාව දැක “මේ දානය මහාදානයක්, ආශ්චර්‍ය්‍යවත් දානයක්, දිය යුතු දානයක්, අනෙකකුට නො දිය හැකි දානයක්” යි ප්‍රියවවන කියමින් පින් අනුමෝදන් වූයේ අබැටක් පමණ මිලයකුත් වියදම් නො කොට ම අනුමෝදන් වූ පින් බෙලෙන් දෙව්ලොව ඉපිද අධික වූ දිව්‍ය එෛශ්වර්‍ය්‍යය ලාභයෙන් පිණා ගියේ ය. එහෙයිනි වදාළෝ “පුණ්‍යානුමෝදනා මාත්‍රයෙන් පරලොව සුව ඇත්තේ වන්නේ” යි
“සුඛං අස්ස අත්‍ථිති = සුඛී” සුව ඇත්තේ සුඛී නම්. පරස්මිං = පරත්‍ථ, පරලෙව්හි යන අරුත්හි පරත්‍ථ යනු වේ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ජුණ්හ තෙමේ සෝවන් වූයේ ය. ධර්‍මදේශනාව පැමිණ සිටි මහාජනයාට වැඩ සහිත වූ ය. ජුණ්හ තෙමේ සෝවන් වූයේ රජු දන් දුන් ලෙසට සත් දවසක් දන් දුන්නේ ය.
අසදෘශමහාදාන වස්තුව නිමි.