1-13 සුමනා දෙවිය

ඉධ නන්‍දති පෙච්ච නන්‍දති කතපුඤ්ඤො උභයත්‍ථ නන්‍දති

පුඤ්ඤං මෙ කතන්ති නන්‍දති භිය්‍යො නන්‍දති සුග්ගතිං ගතො.

පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්‍මනන්‍දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්‍දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්‍දනයෙන් බෙහෙවින් තුටු වෙයි.

අනාථ පිණ්ඩික තෙමේ, සැවැත්නුවරැ විසූ මහාධනපතියා ය. ඔහුගේ ගෙදරැ දිනපතා දෙ දහසක් භික්‍ෂූන් වහන්සේලා දන් වලඳති. විශාඛාමහාඋපාසිකාවගේ ගෙදරැ ද, එසේ ම දෙ දහසක් භික්‍ෂූන් වහන්සේලා දන් වලඳන්නෝ ය. සැවැත්නුවරැ වැස්සෝ සිය ගෙවල දන් දෙනවිට, මොවුන් දෙදෙනා, එහි පමුණුවා ගණිති. දන් දෙන තැනකැ මේ දෙදෙන පෙණී සිටියෝ නම්, ඒ දානය ඉතා උසස් දනකැයි නුවරවැස්සෝ සැලකූහ. දන් දෙන තැනකට මොවුන් නො පැමිණිවිට දානය සිය දහසක් වියදම් කොට පිළියෙල කළ ද එය උසස් දනක් සේ ඔවුහු නො පිළිගනිති. භික්‍ෂුන් වහන්සේලාගේ කැමැත්තත්, ඒ ඒ භික්‍ෂූන් වහන්සේට වුවමනා දේ ගැණත්, භික්‍ෂූන් පිළිබඳ වතාවතත් මේ දෙ දෙන හොඳින් දන්නෝ ය. දානශාලාවේ කටයුතු, මොවුන් සොයා බලන කල්හි, භික්‍ෂූන් වහන්සේලා ද, කැමැති සේ වලඳති. මේ නිසා දන්ගෙවලැ කළයුතු කටයුතු පිණිස නිතර නිතර තැනැ තැනැ යන මොවුන්ට, සියගෙවල වලඳන භික්‍ෂූන් වහන්සේලාගේ වතාවත කරන්නට ඉඩ පහසු නො ලැබෙන්නේ ය. එක් දිනක්, විශාඛාමහාඋපාසිකාව ‘මා කරණ මේ කටයුතු කරන්නට කවරෙක් සමර්‍ත්‍ථ වේ දැ’ යි සිතන්නී, මිණිබිරිය දැක, ඈට ඒ කටයුතු භාර කළා ය. ඕ තොමෝ එතැන් සිට ඒ කටයුතු නො පිරිහෙලා මැනැවින් ඉටුකළා ය. අනාථපිණ්ඩික තෙමේත්, තමන් විසින් කළ ඒ කටයුතු, සිය වැඩි මහල් දියනිය වූ මහාසුභද්‍රාවට පැවරී ය. ඕ තොමෝ ද, එ තැන් සිට සඞ්ඝයා වහන්සේ පිළිබඳ ඒ කටයුතු හොඳින් සිදු කළා ය. සඞ්ඝයා වහන්සේගේ ආශ්‍රයෙන් බණදහම් උගත් මහාසුභද්‍රා තොමෝ කල් නො යවා ම සෝවන් වූවා, විවාහ ජීවිතයට ද පත් වූ ය. ඉන් පසු අනාථපිණ්ඩික තෙමේ සඞ්ඝයා වහන්සේ පිළිබඳ කටයුතු, බාලදියනිය වූ සුමනාවට භාර කෙළේය. ඕ ද, කල් නො යවා, සකදාගාමිඵලයට පැමිණියා ය. දීග නො ගොස්, ගෙයි වැඩුනු ඕ තොමෝ, බලගතු ලෙඩකින් ඔත්පල වූවා, කෑම් බීම් ද බැහැර කළා ය.

මේ අතර දිනකැ, පියා දකිනු කැමැති සුමනා තොමෝ, පියා ලඟට කැඳෙව්වා ය. අනාථපිණ්ඩික තෙමේ ද වහා එහි ගොස්, ‘දුව! සුමනා! ඇයි මා කැඳෙව්වෙහි?’ යි ඇසූයේ ය. ‘බාල සහෝදරය! කුමක් කියන්නෙහි දැ’ යි ඈ ඇසූ ය. ‘දුව! සුමනා! මොක ද මේ?, නන් දොඩ වන්නෙහි’ යි කීවිට, ‘බාල සහෝදරය! නෑ මම නන්දොඩවන්නී’ යි ඕ තොමෝ කිවු ය. ‘එහෙ නම්, දුව! සුමනා බිය පත් වූවා දැ’ යි ඇසූ විට, ‘බාල සහෝදරය! බියපත් වන්නෙම් කුමකට දැ’ යි අසා, එ කෙණෙහි ම කලුරිය කළා ය.

අනාථපිණ්ඩික සිටු තෙමේ සෝවන් ව සිටියේ ද දුවගේ මරණයෙන් හටගත් ශෝකය දරා ගත නො හැක්කේ, ආදහනය කොට නිමවා අඬ අඬා බුදුරජුන් වෙත ගොස් පසෙකට වී හුන්නේ ය. එවිට බුදුරජානන් වහන්සේ, ‘ගැහැවිය! මොක ද, දුකින් අඬ අඬා කඳුලු වගුරුවන්නෙහි? කියව’ යි කීහ. ‘ස්වාමීනි! මාගේ දුව සුමනා, මාගේ දුව, කලුරිය කළා, දරන්නට බෑ ස්වාමීනි! දුක කොයිලෙසකිනුත්’ යි කීවිට බුදුරජානන් වහන්සේ ‘තමුසේ ඇයි, ඔයට ශෝක කරන්නහු?, මරණය කාටත් නියම යි, මරණයෙන් මිදුනෙක් තුන් ලොවැ කො තැනක වත් සිටී ද?, නිසරු ඇඬුමෙක්, උපන්නාහට මරණය නියම වූයේ, උපන්දාම ය, ඇයි තමුසේ, මේවා නො දන්නහු දැ’ යි ඇසූවිට ‘ස්වාමීනි! මම ඒවා දනිමි, හඩන්නේ මරණය ගැණ ශෝකයෙන් නො වෙමි, ලජ්ජා භය ඇති ව දවස් යැවූ මාගේ දුව, මැරෙද්දී සිහි එළවා ගත නො හැකි ව, නන් දොඩව දොඩවා මළ බැවිනැ’ යි කීයේ ය. එවිට බුදුරජානන් වහන්සේ ‘ඈ මැරෙද්දී කුමක් කීවා දැ’ යි ඇසූහ. සිටු තෙමේ ‘ස්වාමීනි! ඈට මම දුව! සුමනා! යි කතා කළා, එවිට ඈ මට ‘බාල සහෝදරය!’ යි කීවා, නැවැත මම ‘දුව! නන් දොඩ වන්නෙහි දැ’ යි ඇසුවා, ඒවර මට ‘බාල සහෝදරය! මම නන් නො දොඩවමි’ යි කීවා, ආයිත් මම ‘දුව බියපත් වූවා දැ’ යි ඇසුවා. එයට ඇය ‘බිය පත් නො වෙමි’ යි කියා ඒ ඇසිල්ලෙහි ම කලුරිය කළා ය’ යි කීයේ ය. එවිට බුදුරජානන් වහන්සේ, ‘මහසිට! ඔබගේ දුව නන් නො දෙඩුවා ය, ඇය කීවා ඇත්ත යි, සිටුතුමන් බාල බැවින් ම ය ඇය එසේ කීවා, ඔබගේ දුව මගපල ලැබීමෙන් ඔබට වඩා මහලු ය, ඔබ සෝවන්, ඔබගේ දුව සෙදගැමි, ඒ නිසා ය ඇය මෙසේ කීවා’ යි වදාළ විට ඔහු එසේ දැ’ යි අසා නැවැත ‘ස්වාමීනි! මා දුව කොහි උපන්නී දැ’ යි ඇසී ය. ‘තුසිත භවනයෙහි’ යි උන්වහන්සේ කීහ.

ඉක්බිති සිටු තෙමේ, ස්වාමීනි! මාගේ දුව ජීවත් වන්නී, නෑයන් මැද, ඉතාසතුටින් ජීවත් වූවා ය, එය මට ද මහත් සතුටෙක් විය, මැරී ගොස් උපන්නී ද, සතුටු වන්නට හැකි තැනක ය, එ ද මට සතුටෙකැ’ යි කීයේ ය. බුදුරජානන් වහන්සේ ‘ගැහැවිය! ඔව්! ගිහියෙක් හෝ, පැවිද්දෙක් හෝ වේවා, යම් කෙනෙක් අප්‍රමත්ත නම්, ඔවුහු එලොවැ මෙලොවැ දෙක්හි ම සතුටු වෙති’ යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක:-

ඉධ නන්‍දති පෙච්ච නන්‍දති

කතපුඤ්ඤො උභයත්‍ථ නන්‍දති,

පුඤ්ඤං මෙ කතන්‍ති නන්‍දති

භීය්‍යො නන්‍දති සුග්ගතිං ගතො ති.

කළ පිණැත්තේ මෙලොවැ සතුටු වේ. පරලොවැ සතුටු වේ. (මෙසේ) දෙලොවැ (ම) සතුටු වේ. මා විසින් පින්කම් කරණලදැ යි. (මෙලොවැ) සතුටු වේ. සුගතියට ගියේ, වැඩියක් සතුටු වේ.

ඉධ නන්‍දති = මෙලොවැ සතුටු වේ.

දානශීලාදීන්ගේ වශයෙන් කරන ලද පිණැත්තේ, තමන් කළ කුශලකර්‍ම සිහි කිරීමෙන් මේ අත්බවේදී ම සතුටු වේ.

පෙච්ච නන්‍දති = පරලොවැ, සතුටු වේ.

ජීවත් ව ඉන්ද දී, කරණ ලද කුශලකර්‍මයන්ගේ විපාක වශයෙන්, මැරී ගොස් සුගතියකැ ඉපද, එහි විඳිනු ලබන ඉසුරු බලා සතුටු වේ.

කතපුඤ්ඤො = කළපින්කම් ඇත්තේ. පින්කම් කෙළේ,

ශ්‍රද්ධාදිගුණසම්පත්තියෙහි පිහිටා, කළ දන් සිල් ඈ පින්කම් ඇත්තේ, පින්කම් කිරීමේ දී ඇතිවිය යුතු චේතනාවිසුද්ධියෙහි පිහිටා පින්කළේ, කතපුඤ්ඤ’ නම්.

උභයත්‍ථ නන්‍දති = එලොව මෙලොවැ යන දෙලොවැ සතුටු වේ.

පින්කම් කිරීමේ දී සම්පූර්‍ණ වියයුතු කරුණු සම්පූර්‍ණ කොට, පින්කම් කරන්නේ ‘මෙලොවැ දී මා විසින් කරණ ලද්දේ පින් කම් ය, පව්කම් නො කරණ ලද්දේ ය’ යි සතුටු වේ. පරලොවැ ගියේ, එහි විපාක විඳිමින් සතුටු වේ.

පුඤ්ඤං මෙ කතං ඉති නන්‍දති = මා විසින් පින්කම් කරණ ලදැ යි සතුටු වේ.

පින්කෙළේ රෑ දාවල් දෙක්හි ‘මා විසින් පින්කම් කරණ ලද්දේ ය, ඒ පින්කම් මට දැනුත් හිත පිණිස වේ, පරලොවැත් හිත පිණිස වන්නේ ය’ යනාදීන් තමන් කරණලද කුශලකර්‍ම සිහි කොට, කර්‍මනන්‍දනයෙන් සතුටු වේ.

භීය්‍යො නන්‍දති සුග්ගතිං ගතො = සුගතියට ගියේ වැඩියක් සතුටු වේ.

පින් කෙළේ, මරණින් පසු සුගතියෙහි ඉපද පින්කම් පල විසින් ලැබූ යස ඉසුරු සිත් සේ විඳිමින් විපාකනන්‍දනයෙන් වැඩියක් සතුටු වේ.

කළපිණැත්තහුගේ උත්පත්තිස්ථානය සුගති’ නම්. එසේ කියනු, නන්වැදෑරුම් වූ සම්පත්තීන්ට ආධාරස්ථාන බැවින් හා ශොහන වූ කාමාවචරකුශලකර්‍මශක්තියෙන් පිළිසිඳ ගතයුතු තැන් බැවිනුත් ය. “අනෙකවිධසම්පත්තිඅධිට්ඨානතාය, සොභනා ගන්තබ්බතො උපගන්තබ්බතො ගතීති = සුගති” යි ඒ කීහ.

කාමාවචර-රූපාවචර-අරූපාවචර යි ඒ තෙ වැදෑරුම් ය. එහි කාමාවචරසුගති ය, මනුස්ස-චාතුම්මහාරාජික-තාවතිංස-යාම-තුසිත-නිම්මාණරති-පරනිම්මිතවසවත්ති යි සත් වැදෑරුම් ය.

ස්මෘති-ශූරභාව-බ්‍රහ්මචර්‍ය්‍ය යනාදී වූ ගුණයන් විසින් වැඩූ එයින් තෙද ගැණුනු සිතැත්තෝ, උසස් ගුණයන්ගෙන් විසිතුරු වූවෝ මනුෂ්‍යයෝ ය. දඹදිව්වැස්සන් ම මෙයින් ගණිති. මෙ කියූ ගුණයන්ගෙන් මොවුහු උතුරුකුරුදිවයින් වැස්සන්, තව්තිසා වැසි දෙවියන් යටපත් කෙරෙති. බුදුරජානන් වහන්සේ, “තීහි භික්ඛවෙ! ඨානෙහි ජම්බුදීපිකා මනුස්සා උත්තරකුරුකෙ මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ” යනු වදාළෝ එහෙයිනි.

මිනිසුන් අතැ ඇති පස්කම් සැපතට වඩා, විසිතුරු වූ පස්කම් සැපතක් දෙවියන් අතැ ඇත්තේ ය. එහෙත් භික්‍ෂූශ්‍රාමණේරශීලාදි උසස් ගුණ ඔවුනට නැත. ඒ සැපත් ඇත්තේ දඹදිව්වැස්සනට ය. එයින් හා ඉතා උතුම් බුදු-පසේබුදු-අගසවු-මහසවු-සක්විත්තන් හා ඉන් අන් මහානුභාවසම්පන්නපුරුෂයන් මොවුන් අතර ම පහළ වන බැවින් දඹදිව් වැස්සෝ ම ප්‍රධාන විසින් මනුෂ්‍යයෝ ය. කුඩාදිවයින් සහිත අන් මහදිවයින්වැස්සෝ දඹදිව්වැස්සන් හා සමාන වර්‍ණ සංස්ථානාදිය ඇති බැවින් මනුෂ්‍ය’ යි කියනු ලැබෙත්. සියල්ල පිඩු කොට පොතපතෙහි මේ කී සැටි:- “සතිසූරභාව බ්‍රහ්මචරියයොග්ගතාදිගුණවසෙන උපචිතමානසා උක්කට්ඨ ගුණචිත්තා, කෙ පන තෙ? ජම්බුදීපවාසිනො සත්තවිසෙසා’තථාහි බුද්ධා භගවන්තො පච්චෙකබුද්ධා අග්ගසාවකා මහා සාවකා චක්කවත්තිනො අඤ්ඤෙ ච මහානුභාවා සත්තා තත්‍ථෙව උප්පජ්ජන්ති, සමානරූපාදිතාය පන සද්ධිං පරිත්ත දීපවාසීහි ඉතරමහාදීපවාසිනොපි මනුස්සාත්‍වෙව පඤ්ඤායිංසු” යි.

ලොවැ පළමු උපන් මනුරජුගේ දරුමුණුබුරු පරපුර මනුෂ්‍ය’ යි ද කියත්. ‘මනුනො ආදිඛත්තියස්ස අපච්චං පුත්තාති’ යනු කීයේ, ඒ ව්‍යක්ත කරණු සඳහා ය.

කුඩාදිවයින් පන්සිය ය පන්සිය පිරිවර කොට ඇති ජම්බුදීප-අපරගොයාන- උත්තරකුරු-පුබ්බවිදෙහ යන මේ මහාදවීප සතර මනුෂ්‍යභූමීහු ය. දඹදිව, ගැලක සටහන් ඇති ව, තුනැස් ව පිහිටියේ ය. දිග පළලින් දස දහස් දස දසස් යොදුන් පමණ ය. අපරගොයානය කැටපතක සටහන් ඇති ව, වට ව පිහිටියේ ය. දිග පළලින් සත්දහස් සත්දහස් යොදුන් පමණ ය. පුටුවක සටහන් ඇති ව, සතරැස් ව පිහිටියේ ය. උත්තර කුරු, දිග පළලින් අට දහස් අට දහස් යොදුන් පමණ ය. පුර්‍වවිදෙහය පිහිටියේ, අඩ සඳක සටහන් හා දෙකොන් ඇතුව ය. දිග පළලින් සත් දහස් සත් දහස් යොදුන් පමණ ය. මේ දිවයින් වැසි මිනිසුන්ගේ මුහුණු ද, බොහෝසෙයින් ඒ ඒ සටහන් ඇතැ යි කියත්.

මේ මිනිස්බිමැ ගෘහපතිමහාසාරසම‍පත්තිය, බ්‍රාහ්මණ මහාසාරසම‍පත්තිය, ක්‍ෂත්‍රිය මහාසාරසම‍පත්තිය, ප්‍රදේශ රාජ්‍ය සම‍පත්තිය, චක්‍රවර්තිරාජ්‍යසම‍පත්තිය යනාදී වූ නන් වැදෑරුම් මහත් සම්පත්තීහු දක්නා ලැබෙත්.

එහි, සතළිස් කෝටියක් ධනය නිදන් කොට තබා, දවසක වියදම පිණිස කහවණු දස අමුණක් යොදන, එසේ ම දවසක් ගානේ කහවණු දස අමුණක් අය විසින් ලබන සිටුකුලසැපත ‘ගෘහපතිමහාසාරසම්පත්තිය’ යි දතයුතු ය.

අසූ කෝටියක් ධනය නිදන් කොට තබා, දවසක වියදම පිණිස කහවණු දස අමුණක් වැය කරණ, දවසක් ගානේ කහවණු විසි අමුණක් ගෙට ගන්නා බමුණුකුලසැපත ‘බ්‍රාහ්මණමහාසාරසම්පත්තිය’ යි කියනු ලැබේ.

සියක් කෝටියක් ධනය නිදන් කොට තබා, දවසක වියදම පිණිස විසි අමුණක් කහවණු වැය කරණ, දවස ගානේ සතළිස් අමුණක් ගෙට ඇද ගන්නා වූ රජකුලසැපත ‘ක්‍ෂත්‍රියමහාසාරසම්පත්තිය’ නම්.

විසි යොදුන්, තිස් යොදුන්, සතළිස් යොදුන්, පණස් යොදුන්, එක්සිය විසි යොදුන් පමණ වූ ඒ ඒ රටැ, ඒ ඒ රජුන් විසින් විඳින සැපත ‘ප්‍රදෙශරාජ්‍යසම්පත්තිය’ නම් වේ.

පෙර කියූ සිවු මහාදිවයිනෙන් හා, දෙ දහසක් කොදෙවු වලින් යුත් මුළු සක්වළ තුළැ රජකම් කරන්නන් විසින් විඳිය යුතු සැපත ‘චක්‍රවර්තිරාජ්‍යසම්පත්තිය’ යි.

මිනිස්ලොවැ උපන් කළ පින් ඇත්තහුට තමන් කළ කුශල කර්‍මයන්ගේ විපාක විසින් මේ ඈ නොයෙක් සම්පත් විඳියැ හැක්කේ ය. විස්තර පොතපතින් දතයුතු ය.

සිවු මහවරම් රජුන් කෙරෙහි භක්ති ඇත්තෝ, ඔවුන් වසන තැනැ වුවෝ, එ නම් දෙව්ලොවැ උපන් ‘චාතුම්මහාරාජික’ නම්. මෙන්න එය කියූ සැටි: - “චාතුම්මහාරාජෙසු භත්ති යෙසං, චතුන්නං මහාරාජානං නිවාසට්ඨානභූතෙ, චතුමහා රාජෙ භවාති = චාතුම්මහාරාජිකා” යි. ඒ මේ චාතුම්මහා රාජිකය පිහිටියේ, මහාමෙරු පර්‍වතයෙහි පස්වන ආලින්දයේ ය. එ තැනට මිනිස් බිම සිට, යොදුන් දස දහසෙක් ඇත්තේ ය. පර්‍වත - ගඞ්ගා - සමුද්‍ර - වෘක්‍ෂාදිය ඇසුරු කොට වසන දෙවියෝ, දුහේතුක ලාමක කාමාවචර කුශලකර්‍ම බලයෙන්, අහේතුක කුසලවිපාකඋපෙක්ඛා සන්තීරණචිත්තයෙන් පිළිසිඳ ගන්නා භූමිගතවිනිපාතිකාසුරයෝ, පොළෝතල පටන්, යුගන්ධරපර්‍වතය දක්වා සිටි භූමිනිශ්ශ්‍රිත දෙවියෝ, ආකාශගතදෙවියෝ චාතුම්මහාරාජිකයෙහි ම ඇතුළත් වෙති. මෙහි අභ්‍යන්තර මාර්‍ගය හැර, සෙසු සියලු තැන් රනින් ආලෙප කරණ ලද්දේ ය. මැණික්වලින් කළ විමානයන්ගෙන් අතරෙක් නැත්තේ ය. සප්තවිධරත්නයෙන් නිමැවුනු සිවුමහරජුන්ගේ නගරය, යුගන්ධපර්‍වතමස්තකයෙහි පිහිටියේ ය. මිනිසුන්ගේ වයසින් අවුරුදු පනසෙක් චාතුම්මහාරාජිකයට එක් දවසෙකි. ඒ දවස් තිසෙක් මාසයෙකි. ඒ මාස දොළොසෙක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් පන්සිය අවුරුද්දෙක් ඒ දෙවියන්ගේ ආයු කාලය වේ.

මඝමාණවකයා හා එක් ව, පින් කළ තෙ තිස් දෙන, යම් තැනෙකැ උපන්නෝ ද, ඒ තෙ තිස් දෙනා උපන් තැන තෙත්තිංස’ නම්. එ තැන ම ‘තාවතිංස’ නම් ද වේ. ඔවුනට වාසස්ථාන වූ බැවිනුත්, තාවතිංස’ යි කියනු ලැබේ. මෙන්න. පාළිපොතෙහි කියූ සැටි:- “මඝමාණවෙන සද්ධිං තෙත්තිංස සහපුඤ්ඤකාරිනො එත්‍ථ නිබ්බත්තාති = තං ඨානං තෙත්තිංසං, තෙත්තිංසං එව තාවතිංසං, තං නිවාසො එතෙසන්ති = තාවතිංසා” යි.

චාතුම්මහාරාජිකයෙහි සිට, යොදුන් දෙසාළිස් දහසක් ගිය තැනැ, මහාමේරුපර්‍වතමස්තකයට සම ව සිටි අහස් පෙදෙසැ ය මේ දෙව්ලොව පිහිටියේ. ‘ශක්‍රපුරය පිහිටියේ එහි මැද ය. එහි පෙරදොර සිට, පැසුළු දොරට යොදුන් දස දහසෙක් වේ. දහසක් රුවන් දොරටුවෙන් හා සත් රුවන් පවුරුවලල්ලෙන් ඒ වට කරණ ලද්දේ ය. රන්, රිදී, මිණි, මුතුයෙන් කළ නන් වැදෑරුම් විමානවලින් හොබනේ ය. පුෂ්පාරාම, ඵලාරාම, පුෂ්කරණීශතයෙන් දැකුම්කලු ය. චාතුම්මහාරාජිකයන්ගේ ආයුකාලය, සතරින් ගුණ කරණ ලද්දේ, තව්තිසා වැසි දෙවියන්ගේ ආයු කාලය වේ.

එක්තරා කලක්, යම් දෙවිකෙනෙක් දුකින් පහව සිටිත් ද, ඔවුහු යාමයෝ ය. ඔවුන් වසන තැනත් ‘ යාම’ නම්, “දුක්ඛතො යාතා අපයාතා ති = යාමා” යනු, යාම, යන්න තේරූ සැටි ය. තව්තිසාදෙව්ලොව සිට, යොදුන් දෙසාළිස් දහසක් ගිය තැනැ, මෙය පිහිටියේ ය. නානාවිධ වර්‍ණවත් විචිත්‍ර කර්‍මාන්තයන්ගෙන් ශොභමාන වූ පුෂ්පාරාම, ඵලාරාම, පුෂ්කරණීශතයෙන් ප්‍රතිමණ්ඩිත වූ මහානගරයගෙන් පිරී ගත්තේ ය. සත්රුවන්මය පවුරු වලල්ලෙන් හා, නන්වැදෑරුම් දෙව්විමනින් සැදුම් ලද්දේ ය. තව්තිසා වැසි දෙවියන්ගේ ආයුකාලය, සතරින් ගුණ කරණ ලද්දේ යාම දෙවියන්ගේ ආයු කාලය වේ.

යම් දෙවි කෙනෙක්, තම ඓශ්චර්‍ය්‍යයෙන් ඔද වැඩුනෝ, ප්‍රීතියට පැමිණියෝ ද, ඔවුහු ය තුසිත. ඔවුන් වසන තැනත් තුසිත’ නමි. මෙන්න ඒ කියූ සැටි:- “අත්තනො සිරිසම්පත්තියා තුසං පීතිං ඉතා ගතාති = තුසිතා” යි. තුසිත දෙව් ලොව, යාම දෙව් ලොවින්, යො දුන් සතළොස්ලක්‍ෂ, අසූ අට දහස්, අට සියයක් ගිය තැනැ පිහිටියේ ය. මේ දෙව්ලොව වනාහි බෝසතුන්ගේ වාසස්ථානය වේ. පස්කම් සැපතින් පිරී ඉතිරී ගිය මහත් ආනුභාව ඇති දිව්‍යගණයාගෙන් පිරී සිටියේ ය. චක්‍රවර්තිරාජ්‍යසම්පත්තිය තුසිත දෙවියන්ගේ සම්පත්තිය හා, සම කරණ ලද්දි, මිනිස් ලොවැ දුගියකු ලත් සැපතකට සරි ය. යාම දෙවියන්ගේ ආයු කාලය සතරින් ගුණ කරණ ලද්දේ, තුසිත දෙවියන්ගේ ආයු කාලය වේ.

තමන් උදෙසා පහළ වූ ශ්‍රී සම්පත්තියෙහි ඇලුම් ඇත්තෝ ය. නිම්මාණරතීහු. ඔවුන් වසන තැනත්, ‘ නිම්මාණරති’ නම්. “නිම්මාණෙ රති එතෙසන්ති = නිම්මාණරතිනො” යනු එහි අරුත් පැවසීම ය. තුසිත දෙව්ලොවින්, යොදුන් එකොළොස් ලක්‍ෂ, තිස් පන් දහස් දෙසියයක් ගිය තැනැ, මේ පිහිටියේ ය. රෑ දාවල පස්කම්සැපතින් මත් ව, ඒ ඒ තැනැ ඇලී වසන දිව්‍ය ගණයාගෙන් අතුරු සිදුරු නැත්තේ ය. තුසිත දෙවියන්ගේ ආයු කාලය සතරින් ගුණ කරණ ලද්දේ, නිම්මාණරතී දෙවියන්ගේ ආයුකාලය වේ.

යම් දෙවිකෙනෙක් අනුන් ලත් සැපත, තම අතැ යටට ගණිත් ද, ඔවුහු ය පරනිම්මිතවසවත්ති හු. ඔවුන් වස තැනත් එ නම් ය. නිම්මාණරතීදෙව්ලොවින්, යොදුන් දස සතර ලක්‍ෂ, අසූපන්දහස් හසියයක් ගිය තැනැ මේ පිහිටියේ ය. කරුණු දසයකින් අගතැන් ගත් වශවර්‍තතිමරුන්ගෙන් හා, නානාවිධ දිව්‍යගණයාගෙන් ආකීර්‍ණ වූයේ ය. ඉමහත් පස්කම්සැපතින් පිරී සිටියේ ය. සතරින් ගුණ කළ නිම්මාණරතීදෙවියන්ගේ ආයු කාලය පරනිම්මිතවසවත්ති දෙවියන්ගේ ආයුකාලය වේ.

මේ සත්වැදෑරුම් වූ කාමසුගතිභූමීන් අතරෙහි වූ මනුෂ්‍යසුගති භූමියෙහි සත්වයන්ගේ ආයුකාලය පිළිබඳ පරිච්ඡෙදයක් නො දැක්වියැ හැක්කේ ය.

වස්තුකාම-ක්ලේශකාම විසින් දෙවැදෑරුම් කාමයන් හැසිරෙන පවතින තැන, කාමාවචර’ නම්. මිනිස්ලොව පටන්, පරනිම්මිතවසවත්තීදෙව්ලොව අවසන් කොට සිටි, ඒ දෙකත් ඇතුළුව සත් වැදෑරුම් වූ ස්වර්‍ගය කාමාවචරැ යි කියනු ලැබේ.

ඉතා සැකෙවිනි මෙහි, දෙව්ලොවැ තොරතුරු කීයේ. එහෙයින් මෙය, දෙව්ලොවැ තොරතුරු කීමෙකැ යි කිසිලෙසකින් නො ගත යුතු ය. ඒ පිණිස අන් පොතපත බැලිය යුතු ය. එහෙත් පුහුදුනට, මොනලෙසකිනුත් එහි තොරතුරු නො දත හැකි ය. දත හැක්කේ ඒ පිළිබඳ පොතපතෙහි ආ තොරතුරු පමණෙක් ය.

පොතේ වහළින්, එහෙත් ඉතා ම කොටින් මෙහි කියූ කාමස්වර්‍ගයෙහි උපන්නේ, එහි වූ යස ඉසුරු විඳිමින් බොහෝ සේ සතුටු වේ.

මෙහි යෙදුනු ‘සුග්ගතිං’ යන්නෙන්, ප්‍රධාන විසින් අදහස් කරණ ලද්දෝ කාමස්වර්‍ගයෝ ය. රූපාවචර-අරූපාවචර භූමීන් ‘සුග්ගතිං’ යන්නෙහි වැදී සිටිය ද, එහි තොරතුරු නො කියැවුනේ එහෙයිනි. එහි තොරතුරු මතුයෙහි එන්නේ ය.

මේ ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.

සුමනාදේවී වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.