ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්‍ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති භිය්‍යො තප්පති දුග්ගතිං ගතො.
පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්‍මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.
බුදු රජානන් වහන්සේගේ අසූ දහසක් තරම් නෑ කුලයෝ, උන්වහන්සේගේ ලකුණු පිළිගන්නා දවසෙහි ‘අපගේ ඥාති ශ්‍රේෂ්ඨ තෙමේ රජ හෝ වේවා, බුදු හෝ වේවා, කොයි කෙනකු වූවත්, රජදරුවන් ම පිරිවර කොට වෙසේවා’ යි රජදරුවන් අසූ දහසක් පැවිදි කරවන්නට ප්‍රතිඥා දුන්හ. කල් නො යාදී ම ඒ ප්‍රතිඥාව ලෙසින් බොහෝ දෙනෙක් පැවිදි වූහ. එහෙත්, එතෙක් පැවිදි නො වූ - භද්දිය - අනුරුද්ධ - ආනන්ද - භගු - කිමබිල - දේවදත්ත යන ක්‍ෂත්‍රිය කුමරුන් දුටු නෑ කුලයෝ ‘අපි අපගේ පුතුන් පැවිදි කරවීමු, මේ සදෙන නො නෑයන් වියැ යුතු ය, පැවිදි නො වන්නෝ එහෙයිනැ’ යි කතාවක් ඇති කළහ. ඒ කතාව කණැ වැටුනු කෙණෙහි මහානාමශාක්‍ය තෙමේ, අනුරුද්ධ කුමරුන්ට ලඟට අඩගා, ‘මල්ලි! අපගේ කුලයෙන් පැවිදි වූවෙක් තව ම නැත, ඒ නිසා මල්ලී! පැවිදි වන්න, නුඹට නො හැකි නම්, මම පැවිදි වෙමි’ යි කී ය.
අනුරුද්ධ තෙමේ ඉතා සියුමැලි ය. වතුපිටි ගේදොරින් පොහොසත් කමින් කිසිත් අඩුවක් ඇත්තේ නො වේ. ඔහු ‘නැත’ යන වචනය පවා කිසි දවසෙකැ අසා නැත. දවසෙකැ මේ සදෙන කැවුම් ඔට්ටුවට තබා සෙල්ලම් කළහ. එදා අනුරුද්ධ තෙමේ පැරදුනේ ය. එ හෙයින් කැවුම් ගෙනෙන්නට කොළුවකු ගෙට යැවී ය. මවු තොමෝ කැවුම් තම්බා පිළියෙල කොට, ඒ ආ කොළු අතැ ම යැවූ ය. හැම දෙන ඒ කැවුම් කා, නැවැතත් සෙල්ලම් කළෝ ය. එවර ද අනුරුද්ධ තෙමේ පැරදුනේ ය. එවරත් කැවුම් ගෙන්වා කාලා සෙල්ලම් කළහ. මේ ලෙසින් සෙල්ලම් කළ හැම වර ම අනුරුද්ධ තෙමේ පැරදී ගියේ ය. ඒ හැම වර ම ගෙදරින් කැවුම් ද ගෙන්වා ගත්තේ ය. මවු තොමෝ තෙ වරක් ම කැවුම් යවා, සතර වන වර ‘කැවුම් නැතැ’ යි කියා යැවූ ය. අනුරුද්ධ තෙමේ මෙයට කලින් කිසි දවසෙකැ ‘නැත’ යන වචනය නො අසා සිටි බැවින්, මේත් එක්තරා කැවුම් වගයෙකැ’ යි සිතා ‘නැති කැවුම් එවන්නැ’ යි මෑනියන්ට කියා යැවී ය. එවර පණිවිඩකරු එහි ගොස් නැති කැවුම් ඉල්ලී ය. එවිට මවු තොමෝ ‘ මපුත් මෙයට කලින් කිසි දවසෙකැ නැත’ යනු අසා නැත, එ හෙයින් ඔහුට නැත, යන්නෙහි තේරුම දැන්වීමට මේ වේලාවැ’ යි සිතා හිස් රන්තැටියක්, එබඳු අන් රතැටියකින් වසා, ‘මපුත්හට මේ දව’ යි පණිවිඩකරු අත ඒ යැවූ ය.
එ නුවරැ අරක් ගත් දෙවියෝ, ‘මේ කුමරු පෙර අන්නභාර ච උපන් කාලයෙහි තමන්ගේ බත්කොටස උපරිට්ඨ පසේ බුදුරජුන්ට පුදා මට කවදාත් නැත’ යන අසන්නට නො ලැබේවා’ යි ද බත් උපදනා තැන් දැන ගැන්මෙක් නො වේවා’ යි ද ප්‍රාර්‍ත්‍ථනා කොට සිටියේ ය, එ හෙයින් මොහුට මේ හිස් වූ තැටි දැකීමට ඉඩ තැබීම අපේ හිස් හත් කඩට පැළෙන්නට තරම් වන්නේ ය, මේ නිසා දෙවියන් අතරට ගොස් පෙණී සිටීමට ද අපට ඉඩ නො ලැබෙන්නේ ය’ යි සිතා දෙවියන් කන කැවුමෙන් ඒ රන්තැටි පුරවා ලූහ. පණිවිඩකරු ගෙණ ගිය ඒ රන්තැටිය සෙල්ලම්පිටියෙහි තබා, පසු ව වසා තුබූ රන්තැටිය ඉවත් කළ ඇසිල්ලෙහි ම කැවුම් සුවඳ මුළු නුවර තුළ පැතිර සිටියේ ය. කුමාර තෙමේ කැවුම් කැබැල්ලක් අතට ගෙණ කට ගෑයේ ය. එ කෙණෙහි එහි රසය, සිරුරෙහි පැතිර සත් දහසක් රසනහර මතු කොට ගෙණ සිටියේ ය. අනුරුද්ධ තෙමේ මාගේ මවුට. මම ප්‍රිය නො වෙමි, මට මෙතෙක් කල්, මේ කැවුම් තම්බා නො දුන්නී එහෙයින, වේවා, මම අද සිට අන් කැවුමක් නම් නො කමි’ යි සිතා ගෙදර ගාස්, ‘අම්මේ! අම්මාට මම ප්‍රිය ද? අප්‍රිය ද? මට එය නො සඟවා, කියන්නැ’ යි කීයේ ය. ‘පුතා! කුමක් කියහි; එක් ඇසක් ඇත්තහුට, ඒ එක් ඇස යම්සේ ද, පුතාත් මට එසේ ය, රන් කඳ! හදවත! මාගේ, මේ කුමක් නිසා අසහි; පුතා මාගේ පණ සේ ය’ යි ඕ තොමෝ කිවූ ය. ‘අම්මේ! ඇයි? එසේ නම් මෙතෙක් දවස්, මේ කැවුම් තම්බා නො දුන්නී, කියන්නැ” යි කුමරුන් කී කල්හි, රන් තැටිය ගෙණ ගිය කොළු, ලඟට ගෙන්වා, ‘ලමයා! උඹ ගෙණ ගිය රන්තැටියෙහි මොකවත් කැවුමෙක් තුබුනේ දැ’ යි ඇසු ය. කොළු ද ‘ආර්‍ය්‍යාවෙනි! රන්තැටිය මුළුමනින් කැවුම්වලින් පිරී තුබුනා ය, එහෙ ම කැවුම් මෙයට කලින් මාත් දැක නැත, ඒ කැවුම් එ තරම් සුවඳ ය, එ තරම් රස ය’ යි කීයේය. ‘මපුත් මහ පිණැත්තේ ය, කළ පැතුම් ඇත්තේ ය, නුවරැ අරක් ගත් දෙවියන් විසින් මේ කරණලද්දේ වනැ’ යි ඕ තොමෝ සිතූ ය. නැවැත අනුරුද්ධ තෙමේ ‘අම්මේ! මින් පසු මම අන් කැවුමක් නො කමි, මට වුවමනා මේ කැවුම් ය’ යි කීයේ ය. ඕ තොමෝ එතැන් සිට කුමරුන් ‘කැවුම් තම්බන්නැ’ යි කීවිට, රන්තැටියක් තවත් රන් තැටියකින් වසා, මෙසේ හිස් තැටි දෙකක් කුමරුන් වෙත යවයි. දෙවියෝ ඒ හිස් රන්තැටි කැවුමෙන් පුරවති. කුමාර තෙමේ ඒ කැවුම් කා සතුටු වෙයි. ඔහු යම්තාක් කල් ගිහිගෙයි සිටියේ ද, ඒ තාක් කෑයේ දෙවියන් දුන් කැවුම් ම ය.
මෙ ද පමණකුත් නො දත්, අනුරුද්ධ තෙමේ පැවිද්ද නම් කිමැ යි දනී ද, එහෙයින් ඔහු, පැවිදි වන්නැ යි කී විට ‘පැවිද්ද නම් කුමක් දැ?’ යි සොහොයුරු අතින් විචාළේ ය. එවිටි මහානාම තෙමේ ‘මල්ලී! පැවිදි වන්නහු සිඳ හළ හිස රැවුල් ඇත්තකු, කහ වත් හැඳැ පෙරවැ දඬුඇඳකැ හෝ, වේපත්ඇඳකැ හෝ නිදන්නකු, පයක් ගෙණ පිඬු සිඟා ගොස් එයින් ලැබෙන්නකින් යැපෙන්නකු වියැ යුතු ය, මේ පැවිදි වන්නාගේ පැවතුමැ’ යි කීයේ ය. ‘අයියේ! එසේ නම් පැවිදිකම් කරන්නට මට නො හැකි ය, මම සියුමැලි වෙමි’ යි අනුරුද්ධයන් කියා සිටි විට, ‘හොඳයි! මල්ලී! මම පැවිදි වන්නෙමි, උඹ කර්‍මාන්ත ඉගෙණ, ගේ දොර ඉඩකඩම් වතුපිටි බලාගෙණ, ගිහිගෙයි වසන්න, අප දෙදෙනාගෙන් කෙනකු පැවිදිවියැ යුතුම ය’ යි මහානාම තෙමේ කියා සිටියේ ය. එවිට අනුරුද්ධ තෙමේ ‘කර්‍මාන්ත නම් කිමැ’ යි ඇසී ය. මෙය පුදුමයෙක් නො වේ. බත් උපදින තැන් නො දන්නේ කිම කර්‍මාන්ත දනී ද;
දිනෙක, භද්දිය-කිම්බිල-අනුරුද්ධ යන මේ තිදෙනා අතර, බත් උපදින තැන ගැණ කතාවක් උපන. කිම්බිලයන් ‘බත් උපදින්නේ කොටුවෙහි ය’ යි කී කල්හි, භද්දිය තෙමේ බත් උපදින තැන නුඹ නො දන්නෙහි, බත් උපදින්නේ සැළියෙහි ය’ යි කීයේ ය. අනුරුද්ධ තෙමේ ‘තෙපි ඒ නො දනිහු, බත් උපදින්නේ රන්තැටියෙහි ය’ යි කී ය. කොටුවෙහි බත් උපදී’ යි කිම්බිලයන් කීයේ, දවසෙකැ කොටුවෙන් වී බිමට බාන්නවුන් දැක, වී කොටුවෙහි හටගතැ යි සලකා ය. භද්දිය සැළියෙහි බත් උපදී’ යි කීයේ, සැළියෙන් බත් නගා ගණු දැක ය. අනුරුද්ධ තෙමේ කොටුවෙන් වී බානු කිසි දිනෙකැ නො දැක්කේ ය. සැළියෙන් බත් නගා ගණු නො දැක්කේ ය උන් දක්නා ලද්දී, බත් බෙදා ඉදිරිපිට තැබූ රන්තැටිය ය. එහෙයින් ඔහු රන් තැටියෙහි බත් උපදී’ යි කීයේ ය. මෙසේ ඒ තිදෙන ම බත් උපදින තැන පවා නො දනිති. එ හෙයින් සහෝදරයා අතින් අනුරුද්ධයන් කර්‍මාන්ත නම් කිමැ යි ඇසීම පුදුමයෙක් නො වේ.
ඉක්බිති මහානාමශාක්‍ය තෙමේ ‘පළමු ව කුඹුර සෑ යුතු ය’ යනාදීන් අවුරුද්දක් පාසා කුඹුරෙහි කළයුතු කටයුතු කීයේ ය. අනුරුද්ධ තෙමේ ‘එසේ නම් කර්‍මාන්තවල කෙළවරෙක් කවදා පෙණේ ද, නිදුක් ව සම්පත් අනුභව කරන්නමෝ කවදා දැ’ යි සිතනුයේ, මහානාමයන්, මෙසේ කර්‍මාන්තයන්ගේ කෙළවරක් නො ලැබිය හැකි බව කී කල්හි, ‘අය්යා! නුඹ ම ඒ වැඩ කරගෙණ ගෙදර ඉන්න! කර්‍මාන්ත කරන්නට මට නො හැකි ය’ යි මෑනියන් වෙත ගොස්, ‘අම්මේ! මට පැවිදි වන්නට අවසර දෙන් නැ’ යි පැවිදිවන්නට අවසර ඉල්ලා සිටියේ ය. ඕ තොමෝ ඒ ඉල්ලීම තෙ වරක් ම පිළිකෙව් කළා, වළකාලන්නට නො හැකි තැනැ, ‘පුතේ! නුඹේ යහළුවා, භද්දියත් පැවිදි වන්නේ නම්, පැවිදි වන්නැ’ යි කි වූ ය. එවිට අනුරුද්ධ තෙමේ භද්දිය කරා ගොස්, ‘සුහෘදය! ඉතින් ඔන්න; මාගේ පැවිද්ද නුඹ අතේ, නුඹත් පැවිදි වෙතොත් මටත් පැවිදි වන්නැ’ යි අම්මා අවසර දුන්නා, යමු පැවිදි වන්නට, කල් යවන්නට නො හැකි ය’ යි භද්දියට නොයෙක් ලෙසින් කරුණු කියා, සත්වන දිනයෙහි තමන් සමග පැවිදි වන්නට, භද්දියත් සතුටු කරවා ගත්තේ ය.
අනතුරු ව භද්දිය-අනුරුද්ධ-ආනන්ද-භගු-කිම්බිල-දේවදත්ත යන ශාක්‍යයෝ සදෙන උපාලි කපුවාත් සමග සත් දිනක් මුළුල්ලෙහි මහත් රජසිරි විඳැ සිවුරඟ සෙනග ගෙණ, උයන්කෙළියට යන්නවුන් සේ රජගෙවලින් නික්ම දිග්මග ගෙවා ගොස් තමන් හා එක්ව ගිය මුළු සෙනග පෙරළා සියරට යවා, තුමූ පර රජුන් අයත් වූ රටකට ගියහ. එහි දී ඔවුහු තම තමන් ඇඳ පැලඳ තුබූ සියලු වටිනා මාහැඟි ඇඳුම් ආයිත්තම් ගලවා පොදි කොට බැඳ උපාලි කපුවාට දී ‘තම ජීවිකාවට මේ ඇත, එ හෙයින් මේ ගෙණ සිය රට ගොස්, තමන්ට කැමැති සේ ජීවිකාව කරව’ යි කීහ. එකල උපාලි තෙමේ ඔවුන්ගේ පාමුල වැටී හඩා රජ අණ ඉක්මවා ලන්නට නො හැක්කේ නැවතුනේ ය. මද වේලාවක් එහි නැවතී සිට වට පිට බැලු උපාලි තෙමේ ‘ශාක්‍යයෝ නම් චණ්ඩයහ, මු අපගේ කුමරුන් මරා දමා රෙදි පිළි අබරණ පැහැර ගන්නා ලද යි මා මරන්නෝය, මොවුහු මෙබඳු මහත් රජසිරි හැර මේ වටිනා රෙදිපිළි අබරණත් කෙලපිඩක් සේ අත්හැර පැවිදි වන්නෝ නම්, මට මෙයින් ඇති ඵලය කිමැ’ යි රෙදි පොදි ලිහා රෙදි හා අබරණ ගසෙක එල්ලා තබා ‘වැඩ ඇත්තෝ ගණිත්වා’ යි සිතා එතැනින් නික්ම ගොස් ශාක්‍ය කුමරුන් වෙත ගියේ ය. ඔහු දුටු කුමරුන් ‘තෝ නැවැත ආයෙහි කිමැ’ යි විචාළ විට, උපාලි තෙමේ තම අදහස ඔවුනට දැන්වී ය. ඔවුහු කපුවාත් ගෙණ බුදුරජානන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! අපි මානයෙන් තදබද ව ගිය ශාක්‍යයෝ වම්හ, මේ අප හා සිටින උපාලි කපුවා, කලක සිට අපගේ කුදු මහත් හැම මෙහෙවර ම නොපිරිහෙළා කරන්නෙකි, එහෙයින් මු පළමු කොට පැවිදි කරණු මැනැවි, පැවිද්දෙන් පසු, අපි මොහුට වැඳුම් පිදුම් කරන්නෙමු, එවිට, අපගේ තදබද ව ගොස් ඇති මානය ද, පහ ව යනු ඇතැ’ යි දන්වා, කපුවා පැවිදි කරවා, හැම දෙන ඔහුට වැඳුම් පිදුම් කොට පසු ව පැවිදි වූහ. මෙසේ පැවිදි වූ ඔවුනතුරෙන් භද්දිය සථවිරයන් වහන්සේ ත්‍රි විද්‍යා ලැබූහ. අනුරුද්ධ සථවිරයන් වහන්සේ දිවැස් ලැබූහ. එයින් පසු, ‘ මහාපුරිසවිතක්ක සූත්‍රය’ අසා රහත් වුහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ සෝවන් වූහ. භගු-කිම්බිල දෙදෙනා වහන්සේ විදර්‍ශනා වඩා, මදක් කල් ගෙවා රහත් වූහ. දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ලෞකිකඍද්ධිමාත්‍රයක් ලැබුහ.
මොවුන්ගේ පැවිද්දෙන් පසු, බුදුරජානන් වහන්සේ ශ්‍රාවක සංඝයාත් ගෙණ, කොසඹෑනුවරට වැඩම කළහ. එහිදී උන්වහන්සේට බොහෝ ලාභසත්කාර උපන. රෑ දෙවේලේ සැදැහැති මිනිස්සු, රෙදි පිළි ගිතෙල් මී උක්සකුරු සුවඳ මල් ආදී වූ නොයෙක් පූජාද්‍රව්‍යයන් ගෙණ, විහාරයට ගොස් ‘බුදුරජානන් වහන්සේ කොතැනැ? සැරියුත් හාමුදුරුවෝ? මුගලන් හාමුදුරුවෝ? මහසුප් හාමුදුරුවෝ? භද්දිය-අනද හාමුදුරුවරු? භගු-කිම්බිල හාමුදුරුවරු දෙනම කොහි දැ’ යි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම් ගම් කිය කියා සොයමින් බලමින් අසමින් ආවාසගෙයක් ගානේ ඇවිදිති. එහෙත් ‘දේවදත්ත හාමුදුරුවෝ කොහි දැ?’ යි සොයන බලන අසන එකෙකුත් නැත්තේ ය. එ කල්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ ‘මොක ද මේ, මමත් පැවිදි වූයෙම්, මොවුන් සමග ය, මූලාත් ක්‍ෂත්‍රියයෝ, මමත් ක්‍ෂත්‍රිය ය, එහෙත් සිවුරු පිරිකර තෙල් බෙහෙත් ගෙණෙන්නෝ මූලා ම සොයති, මූලාට ම දෙති, මා සොයන, මාගේ නම කියන එකෙකුත් මෙහි නැත, මටත් සිවුරු පිරිකර තෙල් බෙහෙත් දෙන්නෙක් සොයා ගත යුතු ය, එ හෙයින් ඒ පිණිස කවරකු පහදවා ගණිම් දැ’ යි සිතූහ. ‘බිම්සර රජු බුදුරජුන් දුටුදා ම, එකොළොස් නහුතයක් දෙනා සමග සෝවන් විය, එ හෙයින් මට ඔහු නම් පහදවනු නො හැකි ය, කොසොල් රජුත් නතු කරණු බැරි ය, අජාසත් කුමරු මෙතෙක් කිසිවකුගේ හොඳ නො හොඳ කිසිවකුත් නො දනී, බලන්නට, ඌ සමග විත් එකතු විය හැකි දැ’ යි සිතා, දේවදත්ත ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවරින් රජගහානුවරට ගොස්, කුමරවෙසක් මවා ගෙණ, නයින් සතරදෙනකු අත් පා සතරෙහි ද, එකකු බෙල්ල වටා ද ඕතා ගෙණ එකකු දරන්නක් කොට හිස තබා, එකකු එකස් කොට උරැ දවටා, මෙසේ සැරසී අහසින් ගොස් බැස, අජාසත්කුමරුගේ ඔඩොක්කුවෙහි හිඳ ගත්හ.
බියට පැමිණි අජාසත් තෙමේ ‘ඔබ කවරහි’ යි ඇසී ය. ‘මම දේවදත්ත වෙමි’ යි කියා ඔහුගේ බිය දුරු කරන්නට ඒ වෙශය හැර, මහණවෙස් ගෙණ කුමරුන්ගේ ඉදිරියෙහි පෙණී සිට උන් පහදවා ගෙණ, ලාභසත්කාර ලැබෙන්නට කටයුතු සලසා ගත්හ. එ කල්හි දේවදත්ත ස්ථවිරයන්ට භික්‍ෂුසඞ්ඝයා පරිහරණය කරන්නට සිතෙක් උපන. ඒ ඇසිල්ලෙහි ම දේවදත්ත තෙමේ ඍද්ධියෙන් පිරිහී ගියේ ය. ඒ වේලෙහි වෙළුවනාරාමයෙහි රජුන් පිරිවරා හිඳ දහම් දෙසන බුදුරජුන් ඉදිරියට ගොස් වැඳ ඇඳිලි බැඳ ගෙණ ‘ස්වාමීනි! භාග්‍යවත් තෙමේ දැන් මහලු ය, අන්තිම වයසෙහි සිටියේ ය, කටයුතු කිරීමෙහි උත්සාහයෙක් ද දැන් නැත, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දිට්ඨධම්මසුඛවිහරණයෙහි යෙදී වාසය කරණ සේක්වා, මම මේ භික්‍ෂු සංඝයා පරිහරණය කරමි, මට ඒ කරණු හැකි ය, මට භික්‍ෂු සංඝයා පාවා දුන මැනැවැ’ යි ඉල්ලි ය. එවිට බුදුරජානන් වහන්සේ කෙලතොලුවාදයෙන් ගරහා එය පිළිකෙව් කළ සේක. එයින් නො සතුටු වූ දේවදත්ත තෙමේ බුදු රජුන් කෙරෙහි වෙර බැඳැ නික්ම ගියේ ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ රජගහනුවර දී ඔහුට පකාසනීයකර්‍මය කර වූහ. දෙව්දත් තෙමේ ‘මහණ ගොයුම් තෙමේ මා දුරු කෙළේ ය, එ හෙයින් ඔහු විපතක හෙලියැ යුතු ය’ යි සිතා, අජාසත් කුමරුන් වෙත ගොස්, ‘කුමාරය! පෙර දවසැ විසූ මිනිස්සු බොහෝ කල් ජීවත් වූහ, දැන් එසේ වූ එකෙක් පෙණෙන්නට නැත, එ හෙයින් බලා සිටියොත් ඔබවහන්සේට මෙහි රජකම් කරන්නට නම් නො ලැබෙනු ඇත, ඔය ලෙසින් ම මැරෙන්නට සිදු වේ, මේ කීයේ ඇත්ත ය, එ හෙයින් අද හෙට ම වැඩිකල් නො යවා රජකම ගන්න! මම බුදුන් මරා බුදු වෙමි’ යි කීයේ ය.
ඔහුගේ වචනයෙන් නැගී සිටි තෙද ගැණුනු අජාසත් තෙමේ ඒ ලෙසට කල් නො යවා ම පියා මරා රජ වූයේ ය. දේවදත්ත තෙමේ බුදුරජුන් මරන්නට මිනිසුන් යෙදුයේ ය. බුදු රජුන් මරන්නට බුදුරජුන් වෙත පැමිණි ඒ මිනිස්සු හැමදෙන සෝවන් වූහ. ඉක්බිති ඔහු, ‘හොඳා, එසේ වේවා, මම ම ශ්‍රමණ ගෞතමයා මරමි’ යි ගිජුකුළුපව්වට නැග කඳුපාමුලැ වැඩහුන් බුදුරජානගේ හිසට මහගලක් පෙරළා හැරියේ ය. එයින් ඔහුට ලොහිතුප්පාදකකර්‍මය සිදු විය. මෙලෙසිනුත් මරන්නට නො හැකි ව, නැවැත ඒ පිණිස බුදුරජුන් ඉදිරියට නාලාගිරි මහඇතා යැවී ය. ඌ බුදුරජුන්ගේ ඉදිරියට එනු දුටු ආනන්ද ස්ථවිරයන් වහන්සේ තම දිවි පුදා, බුදුරජුන් ඉදිරියෙහි සිට ගත්හ. ස්වාමි දරු වූ බුදුරජානන් වහන්සේ ඇතු හික්මවා නුවරින් විහාරයට වැඩම කොට, නොයෙක් දහස් ගණන් උපාසකයන් විසින් පිළිගැන්නූ දන් වලදා, එහි රැස් වූ අටළොස් කෙළක් තරම් රජගහානුවරැ වැස්සන්ට දාන කථාදී වූ පිළිවෙළ කතාව වදාළ සේක. ඉන් අසූසාර දහසක් දෙනාට ධර්‍මාවබෝධය විය.
‘ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි මහාගුණ ඇත්තාහ, අරතරම් බිහිසුණු ඇතු, ඉදිරියට දුව එන කල්හි තම දිවි නො බලා, බුදුරජුන්ගේ ඉදිරියේ සිට ගත්හ’ යි රැස් ව හුන් භික්‍ෂූන් වහන්සේලා කියන්නට වූහ. මේ දත් බුදුරජානන් වහන්සේ “මහණෙනි! ආනන්ද තැන, මා පිණිස දිවි පුද කළේ, දැන් පමණක් නො වෙති, පෙරත් දිවි පිදූහ” යි වදාළ කල්හි, භික්‍ෂූන් වහන්සේලා ‘ඒ වදාරණු මැනැවැ’ යි ඇයද සිටියාහ. එකල්හි බුදුරජානන් වහන්සේ ඒ එලි කරන්නට චූලහංස-මහාහංස-කක්කට ජාතක වදාළ සේක.
රටවැසි මිනිස්සු ‘බිම්සර රජු මරා දමන ලද්දේ දේවදත්තයා විසිනි, ඌ විසින්ම ය වධකයෝත් යොදන ලද්දෝ, ගල පෙරළන ලද්දේත් ඌය, එසේ කොට දැන් ඔහු නාලාගිරි ඇතාත් එවී ය, එහෙත් අජාසත් රජු, මෙබඳු පවිටකු ගෙණ හැසිරේ ය’ යි අරගල කරන්නට පටන් ගත්හ. රජ තෙමේ මිනිසුන් අතර හටගෙන ඇති අරගලය දැන, දැස්සන් මෙහෙකරුවන් අතැ දේවදත්තයාහට බත් සැලි යවා, තෙමේ රජගෙයි ම සිටියේ ය. රටවැස්සෝ එ තැන් සිට තමතමන්ගේ ගෙට පැමිණි දෙව්දත්හට, බත්සැන්දක් පමණකුත් නො දුන්හ. එ තැන් සිට දෙව්දත් තෙමේ ලාභසත්කාර ලැබීමෙන් හොඳට ම පිරිහී ගියේ ය. එවිට කුහකකම් ගෙණ හැර දක්වා බඩ රකින්නට සිතූ ඔහු දවසෙක බුදුරජුන් වෙත ගොස්, ‘ස්වාමීනි! මහණහු දිවි තිබෙන තාක් වනයෙහි වසන්නකු වියැ යුතු ය. පිඬු සිඟා යෑමෙන් ජීවත් වන්නකු වියැ යුතු ය. පවුල් සිවුරු දරන්නකු වියැ යුතු ය, රුක්මුලැ වසන්නකු වියැ යුතු ය, මත්ස්‍ය මාංස කිසිවක් නො බුදින්නකු වියැ යුතු ය, යන මා විසින් කියනු ලබන මේ කරුණු පස භික්‍ෂූන්ට කළයුතු හැටියට නියම කරණු මැනැවැ’ යි කියා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ‘දේවදත්ත! එයින් කමෙක් නැත, යමෙක් කැමැති නම්, ඔහු එසේ කරණු ඇත දේවදත්ත වත් මා වත් එයට ඔවුනට බල කරණු යුතු නැතැ’ යි දේවදත්තයාගේ ඉල්ලීමට ඉඩ නො දුන්හ. එ කල්හි දේවදත්ත තෙමේ මහණ ගණයා මැදට ගොස් ‘හොඳ ද බුදුන්ගේ හැටි; මාගේ ඉල්ලීම ඔහු ප්‍රතික්‍ෂේප කළේ ය, මාගේ ඉල්ලීම මහණුනට කො තරම් හිත ද; බලන්න, මම බුදුන් ලඟට ගොස් ‘ස්වාමීනි! භික්‍ෂූහු දිවි තිබෙනතුරු වනයෙහි වසන්නෝ වෙත්වා, පිඬු සිඟීමෙන් යැපෙන්නෝ වෙත්වා, පවුල් සිවුරු දරන්නෝ වෙත්වා, රුක් මුලැ වසන්නෝ වෙත්වා, මත්ස්‍යමාංස නො කන්නෝ වෙත්වා’ යි නීති පණවන්නට ඉල්ලා සිටියෙමි, ඒ ඉල්ලීම දුර දිග නො බලා ම ඔහු ප්‍රතික්ෂේප කෙළේ ය, අප දෙදෙනාගෙන් භික්‍ෂුගණයාට හිත කවරෙක් ද; එ හෙයින් ඔබ වහන්සේලාගෙන් යමෙක් දුකින් මිදෙනු කැමැති නම්, ඔහු මා සමග ඒවා, එසේ නො කැමැත්තෙක් වේ නම් ඔහු මෙහි නතර වේවා’ යි කියා සිටියේ ය. මේ ඇසූ නුවණ නැති ඇතැම් අලුත් පැවිද්දෝ ‘දේවදත්ත කියන්නේ යහපතකැ’ යි අදහා, ඔහුට එකතු වූහ. මෙසේ දෙව්දත්, භික්‍ෂූන් පන්සියයක් තමතට ගෙණ, රළු පිළිවෙතට පහන් වූ මිනිසුන්, කරුණු කියා පහදවා ගෙණ, ගෙයක් ගානේ ගොස් අහර ගණිමින් සංඝභේදයට උත්සාහය කෙළේ ය. ඒ දත් බුදුරජානන් වහන්සේ ‘දේවදත්ත! සංඝභේදයට උත්සාහ කරන්නෙහි සැබෑ දැ?’ යි අසා වදාළාහු ය. ‘සැබැවැ’ යි කියූ කල්හි ‘සංඝභේදය වනාහි ඇතිතරම් මහත් පාපයෙකැ’ යි ද දැන් වූහ. අවවාද කළහ. එහෙත් ඒ බුදුවදන් නො ද පිළිගත් දේවදත්ත තෙමේ රජගහානුවර පිඬු සිඟා හැසිරෙන ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක. ‘ආනන්ද! දැන ගන්න! මා අද සිට බුදුන්ගෙන් වෙන් ව සංඝයාගෙන් වෙන් ව පොහොය කරණ බවත්, සංඝකර්‍ම කරණ බවත්’ යි දැන්වී ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙව්දතුන් කියූ මේ කතාව බුදුරජානන් වහන්සේට දැන් වූහ. ඒ කතාව ඇසීමෙන් හටගත් මහත් ධර්‍මසංවේග ඇති බුදුරජානන් වහන්සේ ‘දේවදත්ත මොක ද මේ කරන්නේ; මෙය අවීචිමහානිරයෙහි උපදවන බරපතල අකුසලයක් බව දේවදත්ත නො දනී ද; දෙවියන් සහිත ලෝකයට ම මෙය අනර්‍ත්‍ථකර ය, ඇයි ද, මේ නම මෙසේ කරන්නේ’ යි සලකා වදාරා,
“සුකරානි අසාධුනි අත්තනො අහිතානි ච,
යා වෙ හිතං ච සාධුං ච තං වෙ පරමදුක්කරං” [1]
යනුත් වදාළ සේක. අනතුරු ව උන්වහන්සේ,
“සුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක්කරං,
පාපං පාපෙන සුකරං පාපමරියෙහි දුක්කරං” [2]
යන මේ ප්‍රීතිවාක්‍යය ද ප්‍රකාශ කළ සේක.
දෙව්දත් තෙරුන් පොහොය දවසෙහි සිය පිරිස සමග පසෙකැ හිඳ, ‘ඇවැත්නි! යමක්හට මේ පංචවස්තු රිසි වී නම්, ඔහු මෙයින් කුසපතක් ගත යුතු ය’ යි කීවිට, කිසි හසරක් නො දත් පන්සියයක් වජ්ජිපුත්‍රකභික්‍ෂූහු ඒ ගත්හ. එයින් සඞ්ඝ තෙමේ භේද වී ගියේ ය. දෙව්දත් තෙමේ ඒ පන්සියදෙනාත් ගෙණ ගයාශීර්‍ෂයට ගියේ ය. බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් ගෙන එන්නට දෑගසව්වන් එහි යැවූහ. උන්වහන්සේලා එහි ගොස් ‘එවං තෙ මනො’ යන ඈලෙසින් ආදේසනාපාටිහාරියානුසාසනාවෙන් හා ඉද්ධිපාටිහාරියානුසාසනාවෙන් ද අනුසාසනා කොට, නිවන් අවබෝධ කරවා, ඔවුනුත් රැගෙණ අහසින් ආහ.
දෙව්දත් තෙරුන්ගේ අතවැසි කොකාලික තෙමේ, නිදා හුන් දෙව්දතුන් වෙත ගොස්, ‘වහා නැගිටින, ශාරීපුත්‍ර - මෞද්ගල්‍යායනයෝ මෙහි අවුත් ඔබ වහන්සේගේ ශිෂ්‍යභික්‍ෂූන් ගෙණ ගියහ, ඔවුන් කෙරෙහි විශ්වාසයෙක් නො තැබිය යුතු ය යි මා මුලින් කියා ඇත, ඔවුහු පහත් අදහස් ඇති ලාමකයෝ ය, ලාමකයන්ගේ වශයට ගියෝ ය’ යි කිය කියා දෙව්දතුගේ පපුවට තට්ටු කෙළේ ය. මෙයැසූ දෙව්දත් තෙරුන්ගේ කටින් ලේ ගලන්නට වන. භික්‍ෂූන් වහන්සේලාත් ගෙණ අහසින් එන සැරියුත් මහ තෙරුන් දුටු එහි සිටියා වූ භික්‍ෂූන් වහන්සේලා, බුදුරජුන් වෙත ගොස්, ‘ස්වාමීනි! ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ ගයාශීර්‍ෂයට යද්දී ගියෝ තනියම ය, දැන්, අර, අහස, එන්නෝ මහත් පිරිසක් ගෙණ එති, එය ඉතා හොබනේ ය’ යි කීහ. ‘මහණෙනි! ශාරීපුත්‍ර මෙසේ එන්නේ දැන් පමණක් ම නො වේ, පෙර දවසැ එක්තරා තිරිසන්යෝනියක ඉපද සිටි අවදියේ දී ද, මෙසේ මා ඉදිරියට එන්නේ, සොභමානව ම ආයේ ය’ යි වදාරා ඒ අවදිය දක්වන්නට ලක්ඛණමිගජාතකය වදාළ සේක. අනතුරු ව භික්‍ෂූන් වහන්සේලා ‘ස්වාමීනි! දේවදත්ත තෙමේ දෑගසව්වන් තමන් දෙපසැ හිඳුවා, බුදුරජුන්ගේ ලීලාවෙන් බණ කියමි’ යි බුදුරජුන්ට සමාන ව ක්‍රියා කෙළේ ය’ යි දන්වා සිටි විට, ‘දේවදත්ත එබඳු වැඩ කරන්නේ දැන් පමණක් ම නො වේ, පෙරැත් මා සමාන ව ක්‍රියා කරන්නට තැත් කෙළේ නො හැකි වී ය’ යි දක්වන්නට වීරක ජාතකය වදාළ බුදුරජානන් වහන්සේ එය ම පැහැදිලි කරන්නට අන් දවස්හි එබඳු කතා නිසා ම කන්‍දගලක - විරොචනජාතකාදී ජාතක කීපයක් ගෙන හැර පෑහ. නැවැත, ‘දේවදත්ත කළගුණ නො දන්නෙක් ය’ යන කතාවක් නිසා ජවනසකුණ ජාතකය ද මරන්නට කළ උත්සාහය නිසා, කුරඞ්ගමිගජාතකාදී වූ ජාතක ද ‘දේවදත්ත ලාභසත්කාරයෙන් හා ශ්‍රමණ ගුණයෙන් පිරිහුනේ ය’ යන කතාවක් අසා උභතොභට්ඨජාතකා දී වූ ජාතක ද වදාළ සේක. මෙසේ බුදුරජානන් වහන්සේ රජගහානුවරැ වැඩ වාසය කරණ සේක්, දෙව්දත් තෙරුන් නිසා, ජාතක බොහෝ ගණනක් වදාරා, රජගහානුවරින් සැවැත්නුවරට වැඩම කොට දෙව්රම් මහ වෙහෙරෙහි වැඩ විසූහ.
කටින් උණු ලේ නික්මුණු දා සිට නව මසක් ගිලන් ව සිටි දේවදත්ත තෙමේ පසු දවසෙකැ බුදුරජුන් දකිනු කැමති ව සිය සව්වන්ට, ‘මා බුදුරජුන්ගේ ඉදිරියට ගෙණ යවු’ යි කී ය. එවිට අතැවැස්සෝ ‘ඔබ වහන්සේ බලගතු ව සිටි කාලයෙහි බුදුරජුන් හා විරුද්ධව ක්‍රියා කළහු ය, උන්වහන්සේ හා සටනෙහි යෙදී සිටියහු ය, මරන්නට තැත් කළහු ය, එබඳු වූ විරුද්ධකාරයකු ඔවුන් ගේ ඉදිරියට අපි කෙසේ ගෙණ යමු ද, එය අපට කරන්නට නො හැකි ය’ යි කීහ. ඉක්බිති දේවදත්ත ‘අනේ! තෙපි මා නො නසවු, මා බුදුරජුන්ට අපරාධ කළ බව සැබෑ ය, එහෙත් උන්වහන්සේ මට කෙසගක් පමණ වූ ද කිසිත් වරදක් නො කළහ, උන්වහන්සේ නසන්නට ගිය මට, අංගුලිමාලයාහට, ධනපාල ඇතාට, සිය පුත් රාහුලයාහට යන සියල්ලන්ට වෙනස් බවක් නො දක්වති, ඒ හැම දෙනා කෙරෙහි සමසිත් ඇත්තාහ, ඒ නිසා අමුත්තක් නො සිතා මා බුදුරජුන් ඉදිරියට ගෙණ යවු’ යි කිහිපවිටක් ම කීයේ ය. එවිට ඔවුහු දෙව්දත් තෙරුන් ඇඳක තබා කරට ගෙණ දෙවිරම්මහවෙහෙරට යන්නට පිටත් වූහ. භික්‍ෂූන් වහන්සේලා ඒ දැන, බුදුරජුන් වෙතට ගොස්, ‘ස්වාමිනි! දේවදත්ත තෙමේ බුදුරජුන් දකින්නට ඒ ය’ යි දැන් වූ කල්හි ‘මහණෙනි! ඒ වන්නෙක් නො වේ, මේ ආත්මයේදි නම්, ඔහුට මා දකින්නට නො ලැබේ ය යි දැන්වූහ. “යම් මහණක් යට කියූ පඤ්චවස්තුන් ඉල්ලා සිටියේ නම් ඔහුට එ තැන් සිට බුදුරජුන් දකින්නට නො ලැබේ” මේ ධර්‍මනියමය යි.
දේවදත්තයන් දෙව්රමට ලං ලං වත් ම භික්‍ෂූන් වහන්සේලා “දේවදත්ත අසුවල් තැනට ආයේ ය, මෙයින් යොදුනක් පමණ තැනට ආයේ ය, අඩයොදුනක් පමණ තැනට ආයේ ය, ගව්වක් පමණ තැනට ආයේ ය, දෙව්රම්පොකුණ ලඟට ආයේ ය’ යි කිහිප විටක් ගොස් දැන් වූ විට, ‘ දෙව්දත් විහාරය තුළට, මේ මා ලඟට ආයේ ද, මා දකින්නට නො ලබා’ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. දෙව්දත් කර තබා ගෙන ආවෝ, දෙව්රම්පොකුණ ඉවුරෙහි ඇඳ බහා තබා නාන්නට පොකුණට බැස්සාහ. දෙව්දත් ද ඒ අතර ඇඳෙන් නැගිට, දෙපා බිමැ තැබී ය. එ කෙණෙහි ම පොළොව පැළී ගියා ය. දෙව්දතුන්ගේ දෙ පය ඒ විවරයෙහි ගැලින. නැවැත දෙව්දත් තෙමේ පිළිවෙළින් ගොප් ඇටය, දන මඬල, උකුලුඇටය, බෙල්ල දක්වා පොළොව ගැලී හනු ඇටින් බිමැ පිහිටා ගත්තේ ය. දෙව්දත් තෙමේ, “
“පිහිටා හනුඇටින්, - නැත, කරුණු අටකින් දැන්,
දෙවියනට අදිදෙවි වූ - නරදම්සැරී සමතැසී,
සියපින් ලකුණු ඇති - ඒ අගපුගුල් බුදුරජ,
දිවිහිම් කොටින් ගියෙමී - සරණ කොට බෝ බැතිලෙන්”
යි බුදුරජුන් සරණ ගියේ ය.
බුදුරජානන් වහන්සේ මෙසේ දෙව්දතුන් මෙ තැනැදී සමාදන් වන මේ සරණාගමනය දැක, ඔහු පැවිදි කළ සේක. දෙව්දතුන් නො පැවිදි ව සිට ලෝහිතුප්පාදාදිකර්‍ම කරණ ලද නම්, ඒ කර්‍ම මෙයට වඩා ඉතාබලගතු වන්නේ ය. අනාගතයෙහි ද ලැබෙන පසේබුදුබව ද නො ලැබෙන්නේ ය. පැවිදිවූවාහට ද ආනන්තරීය කර්‍මය, සංඝභේද විසින් බැරෑරුම් වන්නේ ය. එහෙත් අනාගත භවයට උපනිඃශ්‍රයසම්පත්තීන් සිදු කිරීමෙහි ලා ඔහු නො පොහොසත් නො වේ. බුදුරජානන් වහන්සේ දෙව්දතුන් පැවිදි කළෝ එහෙයිනි. මොහු මෙයින් සිය දහස් කපකින් මතුයෙහි අට්ඨිස්සර නම් පසේ බුදු වන්නේ ය.
දේවදත්ත තෙමේ මෙසේ පොළොව ගිලුනේ අවීචිමහානිරයෙහි උපන. හැමතින් නිසල වූ බුදුරජුන් කෙරෙහි කරණ ලද අපරාධ හේතුවෙන් නිසල ව ම පැසියැ යුතුය යි සියක් යොදුන් ඇති අවීචිමහානිරයතුළ සියක් යොදුන් උස් වූ සිරුරු ඇති ව උපන්නේ ය. හිස, කන්පෙති දක්වා, නිරය වසා මත්තෙහි සිටියා වූ පියන්පත තුළට කා වැදී ගියේ ය. දෙපය ගොප් ඇටය දක්වා, යපොළොවට ඇතුල් විය. මහතල්කඳක් පමණැති යකඩහුලක්, පැසුලු බිත්තියෙන් නික්ම අවුත්, පිට මැද පසා කොට නික්මී පෙරදිග බිත්තියට ඇතුල් ව සිටියේ ය. අන් යහුලක් දකුණුදිග බිත්තියෙන් නික්ම, උතුරු දිග බිත්තියට ඇතුල් විය. තවත් යහුලක් හිස්කබල බිඳ ඇතුල් ව මලමගින් නික්ම යපොළොව ඇණී සිටියේ ය. මෙසේ දෙව්දත්, හැමතින් යහුලින් සිර කරණ ලදු ව තදබද වී නිශ්චල ව එහි පැසෙයි.
භික්‍ෂූන් වහන්සේලා ‘අයියෝ! දෙව්දතුන්ට වුවා මහාවිපතක, මෙ පමණ තැන් ආයේ ද බුදුරජුන් නො දැක්කේ ය, පොළොව ගැලී ගියේ ය’ යි කතාබස් කරණු අසා, බුදුරජානන් වහන්සේ ‘මහණෙනි! දේවදත්ත මට විරුද්ධ ව හැසිරැ පෙරත් පොළොව ගැලී ගියේ ය” යි වදාරා ඒ පිණිස සීලවනාගරාජජාතකය වදාළ සේක. නැවැතත් එගැන කතාබස් උපන් කල්හි කලාබුරාජකාලයෙහි පොළොව ගිලනු සැටි දක්වන්නට, ඛන්තිවාදී ජාතකය ද, ප්‍රතාප රාජකාලයෙහි පොළොව ගිලිනු සැටි දක්වන්නට, චුල්ලධම්මපාල ජාතකය ද වදාළ සේක.
රටවැසි ගෑණු පිරිමි හැම දෙන, තුටුපහටු ව මංමාවත් හා ගේදොර සරසා, ‘දෙවිබඹුන් සහිත අපට වුයේ මහත් ලාභයෙක, අපගේ හතුරා නිරයට ගියේ ය’ යි කියමින් සැණකෙළි කෙළින්නට වූහ. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා, ඒ බව බුදුරජුන්ට දැන් වූ කල්හි, උන්වහන්සේ ‘පෙරත් දෙව්දතුන් මළකල්හි රටවැසි මිනිසුන් තුටුපහටු වූහ’ යි දක්වන්නට,
“පිඟුවන් ඇස් ඇතී - බැවිනෙනම් ලත් රජහූ,
පෙළූ හැමදෙන නෙකතින් - ඌ මළකල්හි එ දෙනා,
සිතැ සතුට විඳිතී - දොරටුපලු! කිම තෝ මෙහි?,
හඬනෙහි ද? ඒ පිඟුවන් - ඇසැති රජ තට පිය වෙ ද?,
නො කලු ඇස් ඇති ඔහු - මට පිය නො වූයේ වේ,
පෙරළා ඌ ඒ ද යන - සිතින් බමි මම දැන් මෙහි,
මියගිය ඔහු මරූ - පෙළූ නම් මෙහි නැවැතත්,
පෙරළා ඌ එවන්නේ - යන සිත් දුකිනි හඬමී”
යි පිඞ්ලජාතකය වදාළ සේක.
අනතුරු ව භික්‍ෂුන් වහන්සේලා ‘දෙව්දත් කොහි උපනේ දැ’ යි ඇසූහ. ‘මහණෙනි! ඔහු අවීචිමහානිරයෙහි උපනැ’ යි වදාළ විට, ‘ස්වාමීනි! බලා වදාරන සේක්වා, මෙලොවැ නොයෙක් කම්කටොලු විඳ තැවෙමින් සිට, පරලොවැ ගියේත්, තැවෙන්නේ නො වේ දැ’ යි කීහ. ‘ඔව්, පැවිද්දෙක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, පව්කම් කෙළේ නම්, ඔහු දෙලොවැ ම තැවෙනේ ය, එය කාටත් වළකනු නො හැකි ය’ යි වදාරා බුදුරජානන් වහන්සේ මේ ධර්‍මදේශනාව කළ සේක:-
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්‍ථ තප්පති,
පාපං මෙ කතන්ති තප්පති
භීය්‍යො තප්පති දුග්ගතිං ගතොති.
පව්කරණ සුලු තැනැත්තේ මෙලොවැ තැවෙයි. පරලොවැ තැවෙයි. (එලොවැ මෙලොවැ) දෙලොවැ තැවෙයි. මා විසින් පව්කම් කරණ ලදැ යි මෙලොවැ තැවෙයි. පරලොවැ දුගතියට ගියේ, තදින් තැවෙයි.
ඉධ තප්පති = මෙ ලොවැ තැවෙයි.
සතුන් මැරීම්, හොරකම් කිරීම්, පරඹුවන් පරපුරුෂයන් සෙවුම් ආදී වූ පව්කම් කරණ තැනැත්තේ, ඒ තමන් කළ පව්කම් සිහිකොට, මේ ජීවිතයේදී ම තැවෙයි. වැලපෙයි.
පෙච්ච තප්පති = පරලොවැ තැවෙයි.
මෙ ලොවැ ජීවත් ව සිටියදී කරණ ලද පාපකර්‍මයන්ගේ බලවේගය නිසා, මරණින් පසු පරලොවැ දුගතියකැ ඉපද ගන්නා සත්‍ව තෙමේ, ඒ දුගතියෙහි ඇති තැළුම් පෙළුම් වදබැඳුම් ආදී බිහිසුණු දුක් විදින්නේ තැවෙයි.
පාපකාරී = පව් කරණසුලු තැනැත්තේ . පව්කරණ මිනිසා.
උභයත්ථ තප්පති = දෙලොවැ තැවෙයි.
දෙලොව නම්, වර්‍තමානභවය හා අනාගතභවය යි. මේ ජීවිතය හා මරණින් මතු ලබන ජීවිතයත් ය, දෙලොව නම්. මේ ජීවිතයේ දී කරණ ලද පව්කම් දක්නේ, ‘අහෝ! මා දරුණු වැඩ කරන ලද්දේ නො වේ දැ’? යි තැවෙයි. මරණින් මතු ලබන ජීවිතයේ දී, මේ ජීවිතයේ දී කළ පව්කම්වල විපාක විඳින්නේ තැවෙයි.
පාපං මෙ කතං ඉති තප්පති = මා විසින් පව්කම් කරණලදැ යි. තැවෙයි.
පාපකාරී පුද්ගල තෙමේ රෑදෙවේලේ ‘ මා විසින් අකුශලකම් කරණ ලද්දේ ය, එයට ලැබෙන විපාක බිහිසුණු ය, දරුණු ය, මට එය මෙලොවැ තැවීමටත් පරලොවැ තැවීමටත් හේතු ය’ යි යනාදි ලෙසින් කර්‍මදාහයෙන් තැවෙයි.
භීය්‍යො තප්පති දුග්ගතිං ගතො = දුගතියට ගියේ වැඩියක් තැවේ.
මෙ ලොවැදී කළ පව්කම් සිහි කිරීමෙන් තැවී සිටි පාපකාරී පුද්ගල තෙමේ, මරණින් මතු එයට වඩා සිය දහස් ගුණයකින් වැඩි වූ බලවත් දුක් විඳිමින් තැවෙන්නේ ය. පව්කම් කළ තැනැත්තේ, බොහෝ සෙයින් ඉපැදෙනුයේ, සිවු අපායයෙන් එකෙකැ ය.
නරක - තිරච්ඡාන - පෙත - අසුර යන මේ ය ඒ සිවු අපාය. පිණැයි පිළිගත් සම්පත්තීන්ගෙන් පහ වූ තැන් ය ඒ. “පුඤ්ඤ සම්මතා අයා යෙභුය්‍යෙන අපගතාති = අපායා’ යනු අර්‍ත්‍ථ සමර්‍ත්‍ථනය යි. මේ තැන් දුගති’ යි හඳුන්වන ලද්දේ නින්දිතගති ඇති බැවිනි. “දුට්ඨු කුච්ඡිතා ගති = දුග්ගති” යි එය කීහ.
එහි, නරකය, මහානරක විසින්, සඤ්ජීව - කාලසූත්‍ර - සඞ්ඝාත - රොරුව - මහාරොරුව - තාප - පතාප - අවීචි යි අටෙකි. මේ එක් මහානරකයකට දොරටු සතරෙක් ඇත්තේ යඒ එක් දොරටුවකැ උස්සදනරක සතර සතර බැගින්, එක් මහානරකයකට උස්සද නරක සොළොසෙක් වේ. අට මහා නරක හා ගත් කල, මුළුල්ල එක්සිය සතිසෙකි. මෙයින් අන්‍ය වූ ද, උස්සදනරක ඒ ඒ තැනැ ගම් කෙත් මෙන් ඇතැ යි කීහ.
යමපලුන් විසින් කඩකඩ කොට සිඳින ලද්දේත් යම් තැනෙක, නැවැත නැවැත උපදී ද, එ තැනය ‘ සඤ්ජීව’ නම්. කලු හූ ගසා, සතරැස් අටැස් ඈ ලෙසින්, නිරිසතුන් මහත්කුළු පමණ කොට, ගිනි ගත් වෑයෙන් සිඳින සසින තැන ‘ කාලසූත්‍ර’ නම්. ගිනි ගත් අයෝමය පර්‍වතයෙන් නිරිසතුන් සුන්බුන් කොට මිරිකන තැන ‘ සඞ්ඝාත’ නම්. නව දොරින් සිරුර තුළට වදනා ගිනිදැලින් හටගත් දුකින් නිරිසතුන් හඬ දෙන තැන ‘ රොරුව’ නම්. රතු ලේ වන් ගිනිදැලින් පිරුණු ඉතා බලගතු දුකින් ගුගුරා පැසෙන නිරිසතුන් ඇති තැන ‘ මහාරොරුව’ නම්. ගිනි ගත් යපොළොවෙහි සිටැ, ගිනි ගත් යහුල්හි ඇවිණැ, නිරිසතුන් නිසල ව පැසෙන ගින්නෙන් අතරක් නැති තැන ‘ තාප’ නම්, නිරිසතුන්, ගිනිදැලින් තද දුකින් අතරක් නැති ව පැසෙන තැන ‘ අවීචි’ නම්.
මේ අට මහා නරකයෝ, පිහිටීම් විසින් සතරැස් වෙති. දිගින්, පළලින්, උසින් සියක් සියක් යොදුන් පමණ වෙති. එහි එක් බිත්තියක් නව යොදුන් පමණ ඝන ය. යපොළොව හා යපියන් පත ද එ පමණ ඝන ය, කල්පය පටන් ගත් තැන සිටැ මේ නරකයෝ ගිනිදැලින් අතරක් නැති ව පිරී පවතිත්. නිරිසත්තු ම දර කිස කරති. සඤ්ජීවනරකයෙහි ආයුකාලය, පන්සිය අවුරුද්දෙකි. සිවුමහරජයෙහි දෙවියන්ගේ මුළු ආයුකාලය අවුරුදු අනූලක්‍ෂයෙකි. මේ අවුරුදු අනූලක්‍ෂය, සඤ්ජිවයට එක් ම රෑදාවලෙකි. ඒ රෑදාවල් තිසෙක්, මාසයෙකි. ඒ මාසයෙන් මාස දොළොසෙක්, අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන්, අවුරුදු පන්සියයෙකි සඤ්ජීවයෙහි ආයුකාල ය.
සිවුමහරජයෙහි වැසි දෙවියන්ගේ පන්සිය අවුරුද්දක් තරම් වූ ආයුකාලය, සතරින් ගුණ කරණ ලද්දේ, තව්තිසාවැසි දෙවියන්ගේ ආයුකාලය වේ. මේ කාලය, කාලසූත්‍ර නරකයට එක් රෑදාවලෙකි. ඒ දවස් තිසෙක්, මාසයෙකි. මාස දොළසෙක්, අවුරුද්දෙකි. ඒ අවුරුදු දහසෙක්, කාලසූත්‍රනරකයෙහි ආයුකාලය යි.
තව්තිසාවැසි දෙවියන්ගේ ආයුකාලය, සතරින් ගුණ කරණ ලද්දේ යාම දෙවියන්ගේ, ආයුකාලය වේ. මේ කාලය, සඞ්ඝාතයට එක් දවසෙකි. ඒ දවස් තිසෙක් මාසයෙකි. මාස දොළොසෙක් අවුරුද්දෙකි. මේ අවුරුදු දෙදහසෙක්, සඞ්ඝාතයෙහි ආයුකාලය යි.
යාමයන්ගේ ආයුකාලය, සතරින් ගුණ කරන ලද්දේ, තුසිත දෙවියන්ගේ ආයුකාලය වේ. මේ කාලය, රොරුවයට එක් දවසෙකි. ඒ දවස් තිසෙක් මාසයෙකි. මාස දොළොසෙක් අවුරුද්දෙකි. මේ අවුරුදු සාරදහසෙක් රොරුවයෙහි ආයුකාලය යි.
තුසිතයන්ගේ ආයුකාලය, සතරින් ගුණ කරණ ලද්දේ, නිම්මාණරතිදෙවියන්ගේ ආයුකාලය වේ. ඒ මේ ආයු කාලය, මහා රොරුවයට එක් දවසෙකි. ඒ දවස් තිසෙක් මාසයෙකි. මාස දොළොසෙක් අවුරුද්දෙකි. මේ ලෙසින් අවුරුදු අටදහසෙක් මහා. රොරුවයෙහි ආයුකාලය යි.
නිම්මාණරතිකයන්ගේ ආයුකාලය සතරින් ගුණ කරණ ලද්දේ, පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ ආයුකාලය වේ. මේ ආයුකාලය, තාපයට එක් දවසෙකි. ඒ දවස් තිසෙක් මාසයෙකි. මාස දොළොසෙක් අවුරුද්දෙකි. මේ ලෙසින් අවුරුදු සොළොස් දහසෙක් තාපයෙහි ආයුකාලය යි.
අන්තඃකල්පයෙකින් අඩෙක්, ප්‍රතාපනරකයෙහි ආයුකාලය යි. අන්තඃකල්පයෙක් අවීචිමහානරකයෙහි ආයුකාලය යි. මිනිසුන් ගේ ආයුකාලය, දසවසින් පටන් ගෙණ පිළිවෙළින් නැගී ගොස්, අසඞ්ඛ්‍යයට පැමිණ, නැවැත, අසඞ්ඛ්‍යයෙහි සිට, පිළිවෙළින් පිරිහී ගොස් පහත බැස, දසවසට වැටේ. මෙදෑතුර කාලය අන්තඃකල්ප නම්. රොගාන්තඃකල්ප-ශස්ත්‍රාන්තඃකල්ප-දුර්භික්‍ෂාන්තඃකල්පය යි අන්ඃකල්පය තෙ වැදෑරුම් ය.
ලෝභ-දෝස-මෝහයෙන් මැඩී, සතුන්මැරීම් හොරකම් කිරීම් ආදී වූ පව්කම් කරන්නෝ, නො දහමින් වැරදි ලෙසින් ලෝ වැස්සනට දුක් දෙන්නේ, අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් සැඬ බැවින් යුද- කොලාහල කරන්නෝ, යන මේ ඈ ලොවැ අපරාධ කරන්නෝ සඤ්ජීවයෙහි ද,
මවුපියන්ට, ගුරුවරුන්ට, කුලදෙටුවන්ට, දුගී මගී-යාචකයනට අපරාධ කරන්නෝ, බොරු කියනෝ කාලසූත්‍රයෙහි ද,
අත්පාදඬුමුගුරින් අනුනට පහර දෙන්නෝ ඇත්-අස්-ගොන්-මීගොන් ඈ සතුනට දුක් දෙන්නෝ සඞ්ඝාතයෙහි ද,
බොරු සාක්ෂ්‍ය කියන්නෝ, හොර වෙළඳාම් කරන්නෝ, ඉන්ද්‍රජාලමායාකාරයෝ රොරුවයෙහි ද,
බුදුන්-දහම්-සඟුන් සතු ඉඩකඩම්, වතුපිටි, ඇඳ, පුටු, කොට්ට, මෙට්ට ඇඳ ඇතිරිලි, පාන්, පඩික්කම් ඈ සොරකම් කරන්නෝ, කොස්, දෙල්, පොල්, පුවක්, කෙසෙල් ඈ කා දමන්නෝ, තෙරුවන් උදෙසා එක් රැස් කළ මිල මුදල් ගසා කන්නෝ, දුප්පතුන් අයත් ඉඩකඩම් ගේදොර මිලමුදල් පැහැර ගන්නෝ මහාරොරුවයෙහි ද,
පරුෂ වචන කියා, අනුන් වෙහෙසන්නෝ සතර අගතියෙන් බැඳී සිටින්නෝ ‘පින් පව් නැතැ’ යි මිසදිටු ගත්තෝ තාපයෙහි ද,
බුද්ධ-ධම්ම-සංඝ යි තෙරුවනෙක් නැතැ යි ආදි ලෙසින් මිසදිටු ගත්තෝ පතාපයෙහි ද,
මවු-පියන්-රහතුන් මරන්නෝ, ලෝහිතුප්පාදය කරන්නෝ, සඞ්ඝභේද කරන්නෝ, තෙරුවන් සතු අරම්, දාගැබ්, මහබෝ, පෙති පිළිම ඈ නසන්නෝ අවීචියෙහි ද උපදිති.
මෙසේ මේ මහානරකයකැ වැටී දරුණු දුක් විඳින සත්වයකු, “නරකයෙන් නික්මෙමි’ යි සිතා, පැසුළු දිග සිට, පෙර දිග බැලූ කල්හි පෙර දිග දොර, ඇරී සිටියා සේ ඔහුට පෙණේ. එකල ඔහු, ගිනිගත් යපොළොවෙහි පා තබ තබා, නැසි නැසී, පෙර දිග දොරට පැමිණේ. එහෙත් දොර ඇරුණේ නො වේ. මෙසේ, ඔහු පාප කර්‍මය විසින් ගින්නෙහි ලා දව දවා, හැම දොරකට පමුණුවනු ලබන්නේ ය. එහි වසන යමපල්ලෝ ද, ගිනිගත් යහුලින් ඇණ කොටමින් ඔහු තව තවත් දුකට පත් කරත්. පව්කම් කළ සත්ව තෙමේ, ඒ ඒ නරකයන්හි ආයු පමණින් පැසුනේ ද, තමන් කළ අකුශලකර්‍මය, අවසන් ව නො ගියේ නම්, පුන පුනා නරකයෙහි ම හෙන්නේ ය.
මහානරකයෙහි අවුරුදු ගණනින් දුක් වින්දවන, සඞ්ඛ්‍යා නාමයන් විසින් හඳුන්වන ස්ථාන දශයෙක් ඇත්තේ ය. අබ්බුද - නිරබ්බුද - අහහ - අබබ - අටට- සොගන්ධික - උප්පල - කුමුද - පුණ්ඩරීක - පදුම යන මේය ඒ.
තල ඇට, අට ලක්‍ෂයෙක්, එක් නැළියෙකි. ඒ නැළියෙන් නැළි සතරෙක් එක් ලාස්සෙකි. සතර ලාස්සෙක් එක් ද්‍රොණයෙකි. ද්‍රොණ සතරෙක් එක් මාණිකාවකි. මාණිකා සතරෙක් එක් ඛාරියෙකි. ඛාරී විස්සෙක් තලින් පිරූ බරකරත්තයෙකි. මිනිසුන්ගේ ආයුකාලයෙන්, සියක් අවුරුද්දක් ගිය තැන, මේ තල කරත්තයෙන් එක් තල ඇටය බැගින් බැහැර ලෑමෙන්, ඒ තලකරත්තයෙහි තල ඇට සියල්ල අවසන් ව ගියේ ද, අබ්බුදයෙහි අවුරුදු ගණන තව ම නො පිරුණේ ය. ඒ මේ අබ්බුදයෙහි අවුරුදු ගණනින්, මහානිරයෙහි පැසිය යුතු තැන, අබ්බුදනරකය යි හඳුන්වනු ලැබේ.
අබ්බුද විස්සෙක් එක් නිරබ්බුදයෙකි. නිරබ්බුද විස්සෙක් එක් අහහයෙකි. අහහ විස්සෙක් එක් අබබයෙකි. අබබ විස්සෙක් එක් අටටයෙකි. අටටවිස්සෙක් එක් සොගන්‍ධිකයෙකි. සොගන්ධික විස්සෙක් එක් උප්පලයෙකි. උප්පල විස්සෙක් එක් කුමුදයෙකි. කුමුද විස්සෙක් එක් පුණ්ඩරීකයෙකි. “පුණ්ඩරීක විස්සෙක් එක් පදුමයෙකි. (මේ සඞ්ඛ්‍යා නියමය සමහර අටුවාවන්හි මෙයට වෙනස් ව දක්නා ලැබේ.)
ඒ ඒ අපායයන්හි උපන් නිරිසතුන් විසින් විඳිනු ලබන, පමණ නො කොට හැකි දුකෙහි තතු කියා පෑමෙහි බුදුරජානන් වහන්සේ හැර කවරෙක් සමර්‍ත්‍ථ වේ ද, මේ දැක්වුනේ, අබැටක් පමණකුත් නො වේ.
කිසිලෙසකින් මගපල ලබන්නට නො හැකි වූ එහෙයින් ම පහතට හෙන, කාමයෙන් හා බියෙන් නිතර තැවෙන සත්වයෝය තිරච්ඡාන. “තිරො අඤ්ඡිතාති = තිරච්ඡානා” යනු අරුත් පැවසීම ය. යම් සත්ව කෙනෙක් මෝහයෙන් මූඪ ව, අකුශලකර්‍ම කළෝ ද, ඔවුහු බොහෝසෙයින් තිරිසන්යෝනියෙහි උපදිති.
තිරිසනුන්ගේ භේද වෙනස්කම් බොහෝ ය සමහරු ඇසට පෙණෙති. සමහරු ඇසට නො පෙණෙති. ඇතැම් තිරිසන්නු දිග ය. ඇතැම්හු කොට ය. ඇතැම්හු මැදියම් ය. ඇතැම්හු මහත් ය. ඇතැම්හු සියුම්හ. අණ්ඩජ-ජලාබුජ-සංසේදජ-ඔපපාතික-අපාද-ද්විපාද-චතුෂ්පාද-බහුප්පාද යන මේ භේද ද, තිරිසන් ගණයෙහි දක්නා ලැබේ. තිරිසන් අපායයෙහි ඉපදීම හා එහි දුක්විඳුම, පෙර කරන ලද අකුශලකර්‍මයන්ගේ වශයෙන් සිදු වේ. තිරිසනුන් විඳින දුකත් ඔවුන් පිළිබඳ ජාතිත්, උපදින ස්ථානත් මෙතෙකැයි නො කියැකි ය. එක් මිනිසකුගේ සිරුර ඇසුරු කොට උපදින තිරිසනුන්, කුල විසින් අසූ දහසකැ යි කියති. ඇසට නො පෙණන තිරිසනා පටන්, පන්සියයක් යොදුන් දිගැති තිමිරපිඞ්ගලමත්ස්‍යයා දක්වා, නොයෙක් ලෙසින් බෙදී ගිය තිරිසන්නු, උනුන්ට ගොදුරු ව වැනසෙති. කාම-ගොචර-මරණ යන සංඥා තුන, තිරිසනුන් කෙරෙහි නො තොර ව දන්නා ලැබේ. ධර්‍මසංඥාවක් ඔවුනට නැත. කාමසේවනය නිතර බලාපොරොත්තු වෙති තිරිසන්නු. කි නම් වේලක ගොදුරෙක් ලැබේදැ යි සොය සොයා ඇවිදිති. මරණ බියෙන් නො තොර ව ම, කාමසේවනය කරන්නෝත්, ගොදුරු සොයන්නෝත් වෙති. තිරිසනුන් විඳින දුක, පමණ කොට නො දැක්වියැ හැකි ය. ඒ දැක්වීමෙහි බුදුරජානන් වහන්සේ ය සමර්‍ත්‍ථ වන්නෝ. අන් කවරෙකුත් එහි සමර්‍ත්‍ථ නො වේ.
මුළුමනින් සැපයෙන් පහව ගියෝය ප්‍රේතයෝ. ‘ පකට්ඨෙන සුඛතො ඉතා ගතාති-පෙතා’ යන්නය ඒ කීයේ. ඔවුන් අතර නිජඣාමතණ්හික-බුප්පිපාසික-පංසුපිසාචක-පරදත්තූපජීවික-කාලකඤ්ජ-අට්ඨිසංඛලික-මංසපිණ්ඩික යනාදී වූ නම්වලින් හඳුන්වන ප්‍රේතයෝ ඇත්තාහ.
සිරුර තුළ දැල් වුනු ගිනිදැලින් දැවෙන සිරුර ඇති ප්‍රේතයෝ ය ‘ නිජ්ඣාමතණ්හික’. ගස් සිදුරෙහි හටගත් ගින්නෙන් ගස දැවෙන්නා සේ ය ඔවුහු දැවෙන්නෝ. මල-මූ-සෙම්සොටු පමණකුත් නො ලබා, බුද්ධාන්තර දහස් ගණන් සා පිපාසා දෙකින් පෙළෙන් නෝ ය ‘ ඛුප්පිපාසික’. පස්ගොඩ-කුණුගොඩ-අසුචිවළ-කඳු බෑවුම ඈ අපිරිසිදු තන්හි උපන්නෝ ය ‘පංසුපිසාචක’. අන්හු දෙන දෙයින් ජීවත් වන්නෝ ය ‘ පරදත්තූපජීවික’. සඳඑලියක්, හිරු එලියක් යන්තමකිනුත් නො ලබා, තදගනඳුරෙන් වැසුනු, තද සීතලෙන් අතර නැති, උපන්නහුගේ සිරුර සිඳැ බිඳැ දමන, ක්‍ෂරොදකයෙන් පිරුණු චක්‍රවාට තුනක් මැද උපන්නෝ ය ‘ කාලකඤ්ජ’. තුන් ගවු පමණ උස් වූ සිවියෙන් සමින් නහරින් පමණක් වැසුනු ලේ මස් නැති ඇටසැකිලි දරන්නෝය ‘ අට්ඨිසංඛලික’. ඇට නහර වැසූ සම පමණකුත් නැති ව, කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇත්තෝ ය ‘ මංසපිණ්ඩික’.
දන් නො දෙන්නෝ, උනුනට ඊර්‍ෂ්‍යා කරන්නෝ, ලෝභයෙන් තද බද වන්නෝ, සම්පත් සඟවන්නෝ, දස අකුසල් කරන්නෝ, අනුන්ට ලැබෙන ලාභ වළකන්නෝ, මවු පියන් කෙරෙහි විලි බිය නො දක්වන්නෝ, අනුන්ගේ පින්කම්වලට අනතුරු කරන්නෝ ‘මල මූ කව’ කියා අනුනට පරිභව කරන්නෝ, නො දහමින් ගම්වැස්සන් පෙළන්නෝ අගතියෙන් නො මග යන්නෝ අල්ලස් ගන්නෝ යන ඈ පව් කම් කරන්නෝ ප්‍රේතභූමියෙහි, උපදිත්.
හැම ප්‍රේතයෝ ම, සා පිපාසා දෙකින් මැඩුනෝ, වැහැරී ගිය සිරුරු ඇත්තෝ ය. මහත් ඔලු ඇත්තෝ ය. ඇටසැකිලි දරන්නෝය. කෙල, සොටු, කැහි, මල, මූ, වැදෑමස්, මළකුණු කන්නෝය. රළුහිසකෙස්, ලොම්, නිය, දත් ඇත්තෝ ය. නග්නව වසන්නෝ ය. බිහිසුණු දැකුම් ඇත්තෝ ය. ඉදිකටුමල සේ, ඉතා කුඩා මුව ඇත්තෝ ය. කකුළු ඇස් සේ, පිටතට නෙරුණු ඇස් ඇත්තෝ ය. නාස්පුට දෙකින් නික්මුණු, පා පිටු දක්වා දික්ව එල්ලෙන මස් වැදිලි දරන්නෝ ය. යමක් කන බොන විට හිසැ තබා කති. බොති. ගිනිගත් යකඩමුගුරෙන්, උනුන් ඇණ කොටා ලේ සැරව උරා බොති. මෙසේ ප්‍රේතයන් විඳින දුක පමණ කොට දැක්වියැ නො හැකි ය. එහි සමර්‍ත්‍ථ වන්නෝ බුදුරජානන් වහන්සේ ම ය. අන් කවරෙකුත් එහි සමර්‍ත්‍ථ නො වේ.
මෙසේ පමණ කොට නො දැක්වියැ හැකි ඉතා සැහැසි වූ ඇසූ පමණින් සිතූ පමණින් ලය කකියවන බිහිසුණු දුක් විඳීමට තැන් වූ පව්කම්හි අනිටුපල විඳීමට තැන් වූ ප්‍රේත ලෝකයෙහි දුක් ගැණ සිතා බලා දැන ප්‍රේතලෝකයෙන් මිදී ගණු පිණිස දාන-ශීල-භාවනාදී වූ දශ පුණ්‍යක්‍රියා වස්තූන්හි යෙදී රෑ දාවල දෙක්හි අප්‍රමත්ත වියැ යුතුය. සග සැප හා නිවන් සැප ලැබීමට උත්සාහවත් වියැ යුතුය. කීහ එය මෙසේ:-
“ඉති ච සකලපෙත තිබ්බදුක්ඛානුභොන්තෙ
අකුසලඵලභූතෙ භූතතො සංවිදිත්වා,
තිවිධ කුසලකම්මං සඤ්චයන්තා අනන්තං
ත්‍රිවිධසුඛමනන්තං වායමෙ සෙට්ඨමග්ගං යි.”
අසිලෝම - සුචිරෝම ප්‍රේතයෝ ද මොවුන් කෙරෙහි ම වැටෙති. කඩු වැනි ලොම්, උඩ බලා නැගි, මුළු සිරුර දැකවුළුවක් සේ සිදුරු කරණ ලොමින් ගැවසී ගත් සිරුරු ඇත්තෝය අසලෝමයෝ. ඉදිවැනි ලොමින්, මුළු සිරුර විදින ලද්දෝ’ ය සූචිරෝමයෝ. ලොව පුරා වසන ප්‍රේතයන්ගේ ආයුකාලය, කියන්නට නො හැකි ය. කළ පව්කම් නො ගෙවී පවත්නාතුරු ම, ඔවුහු නොයෙක් දුක් විඳිති.
ඉසුරු මදයෙන් මත් ව, ක්‍රීඩා නො කරන්නෝය අසුර. මෙයින් ප්‍රේතාසුරයෝ ම ගැණෙති. වේපචිත්තිඅසුරයෝ නො ගැණෙති. ඔවුහු, දුහේතුකකාමාවචරවිපාකසිතින් පිළිසිඳ ගෙණ, විපාක කාලයෙහි ත්‍රිහේතුකමහාවිපාකයන්ගේ වශයෙන්, දෙවියන්ට බඳු පස්කම්සැප අනුභව කෙරෙති. එහෙයින් තව්තිසා වැසි දෙවියන් ගේ ගණයට වැටෙති. එහෙත් මොවුනට ත්‍රිහේතුක දෙවියන්ට මෙන් ධ්‍යන-මාර්‍ග-ඵල නො ලැබේ. අපායගණයෙහි ලා ගිණූ අසුර භූමිය පෙතදුඃඛවිභාගයෙහි දැක් වූ කාලකඤ්ජ ය යි දත යුතුය.
කාලකඤ්ජ අසුර භූමිය තුන් තුන් සක්වළ එක් වූ තැනැ පිහිටියාය. අසූසාරදහසක් අසුසාරදහසක් යොදුන් පමණ දිග පළල ඇත්තී ය. සක්වළ ගල් තුනට මැදිව සිටියා ය. මහාමේරු පර්‍වතය වුව ද එහි බලාලන ලද්දේ නම් එහි වූ අධික සීතය නිසා ලුනු පිඩක් සේ විරී වැගිරී යන්නේය. මේ කාලකඤ්ජ අසුර යෝනියෙහි උපන්නවුන්ගේ සිරුරු තුන් ගවූ පමණ වෙත්, කට ඉදිකටු මල සිදුර සේ ය. ඇස් කකුළු ඇස් වැනි ය. පිටතට නෙරා ගියහ. මොවුහු යමක් කන බොන කල්හි හිස නවාගෙණ කන්නෝ ය. බොන්නෝ ය. මේ ප්‍රේතලෝකයක් සේ ද දැක් වේ.
“තිරච්ඡානපෙත්තිවිසයඅසුරකායානං පන විසුං භූමි නත්ථි, තෙසං ඛන්ධප්පවත්තිවිසයොයෙව භූමි නාම” තිරච්ඡාන ප්‍රේතඅසුරභූමිගතසත්‍වයනට අයත්, ඔවුනට ම වෙන් කළ හැකි වෙන ම භූමියක් නැත. ඔවුන්ගේ ස්කන්‍ධයෝ ම ඔවුනට භූමි වෙති.
සිවු අපායැ වැස්සන්ගේ ප්‍රතිසන්‍ධිය, උද්ධච්චසහගතඅකුසලය හැර, අනික් සෙසු එකොළොස් අකුශලකර්‍මයන්ගේ ශක්තියෙන් අකුසලවිපාකඋපෙක්ඛාසන්තීරණචිත්තයෙන් වන්නේ ය. එහෙයිනි සිවු අපායවැස්සෝ, එකත්තසඤ්ඤී-නානත්තකායී කියනු ලබන්නෝ. එහි ‘එකත්තසඤ්ඤී’ යනු එක් ම උපෙක්ඛාසහගත සන්තීරණය ඇත්තෝ ය යන අර්‍ත්‍ථ යි. නන් වැදෑරුම් වු සිරුරු සටහන් ඇත්තෝ ය ‘නානත්තකායී’.
මෙසේ ඉතා සැකෙවින් කියූ අපාය අතුරෙහි එක්තරා අපායකැ වැටුනු සත්‍ව තෙමේ එහි තදින් තැවේ ය යි වදාළ සේක.
දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
දේවදත්තස්ථවිර වස්තුව නිමි.
යම් කර්‍මයක් අයහපත් ද, තමාට අහිත ද, එබඳු කර්‍ම පහසුවෙන් කළ හැකි ය. ඉදින් යම් කර්‍මයක් තමාට හිත ද, යහපත් ද එබඳු කර්‍ම කරණු ඉතා ම අපහසු ය. ↑
සත්පුරුෂ මිනිසුන්ට නිවැරැදි කර්‍මය සුවසේ කට හැකි ය. පාපයාට එබඳු නිවැරැදි කර්‍මය සුවසේ නො කොට හැකිය. පාපකර්‍මය පාපයාට සුවසේ කළ හැකි ය. හොඳින් වැඩුනු යහපත් මිනිසුන්ට පාපකර්‍ම නො කළ හැකිය. ↑