අත්තානඤ්චෙ තථා කයිරා යථඤ්ඤමනුසාසති
සුදන්තො වත දම්මෙථ අත්තා හි කිර දුද්දමො.
අනෙකකුට යම්සේ අනුශාසන කෙරේ ද, එසේ ම තමා ප්‍රතිපත්තිසාරයකු කරන්නේ වී නම්, හේ තෙමේ මනා වැ දැමුනේ අනුන් දාන්ත කරන්නේ ය. යම් හෙයකින් තමා දමනය කිරීම දුෂ්කර ද (හෙවත් ආත්ම දමනය උගහට ද,) එ හෙයිනි. (යම් ලෙසෙකින් තමා දාන්ත කරණ ලද්දේ මොනවට දැමුනේ නම් වේ ද එ ලෙස දැමිය යුතු).
පධානික ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ තවත් මහණුන් පන් සියයක් කැටු ව වනයට ගියහ. වනයට ගොස් එහි වස් එළඹියහ. වස් එළැඹි දිනයෙහි සෙසු වහන්දෑට “තමුන්නාන්සේලා මෙහි ආවහු, ජීවමාන බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ ය. එහෙයින් නො පමා ව මහණදම් කරවු” යි කියා තෙමේ ගොස් නිදන්නේ ය. සෙසු මහණේ මුල් යම සක්මන් කොට මැදුම් යම වෙහෙරට වැද ගණිත්, පධානික ස්ථවීර තෙමේ නිදා නැගිට ඒ මහණුන් වෙත ගොස් “කිම, මේ උන්නාන්සේලා කැලයට ආවෝ, නිදා ගැණුමට ද, වහා නැගිට ගොස් මහණදම් කරවු” යි තෙමේ ගොස් එසේ ම නැවැතත් නිදයි. අන් මහණෝ මැදුම් යමෙහි ද එලි බැස සක්මන් කොට පාන් වන්නට ලං වත් ම වෙහෙරට වැද හිඳිත්. පධානික තෙමේ නැවතත් නින්දෙන් නැගිට මහණුන් වෙත ගොස් ඒ මහණුන් වෙහෙරින් එලියට ඇද දමා අවුත් නැවතත් නිදයි. පධානික ස්ථවියන් නිතර මෙසේ කරණ බැවින් ඒ සෙසු මහණෝ හැදෑරීමක් කමටහන් වැඩීමක් කර ගන්නට නො හැකි ව කලකිරීමට පත් වූහ. සිත් අන් අතට පෙරළින.
එකල්හි ඒ භික්‍ෂූන් වහන්සේලා “අපේ ස්වාමීන් වහන්සේ ඉතා ඕනෑකමින් මහණකම ගැණ උත්සාහයක් දක්වති, උන්වහන්සේ එය කෙසේ කරත් දැ යි අපත් පරීක්‍ෂා කොට බැලිය යුතු ය” යි පරීක්‍ෂා කරන්නෝ, ඔහු මහණකම කරණ හැටි දැක “ඕ, වැඩේ වැරදුනි, අපේ ස්වාමීන් වහන්සේ බොරුවට හඩ නගන්නෙකැ” යි කීයන්නට වූහ. ඒ භික්‍ෂූන් වහන්සේලා නිදි වැරීමෙන් තදින් වෙහෙසට පත් ව කිසි විශේෂගුණයෙක් උපද වන්නට නො හැකි වී වස් අවසන් කොට පවරා බුදුරජුන් වෙත ගොස් පිළිසඳර කතාවට වැටුනාහ. බුදුරජානන් වහන්සේ “කොහොම ද, තමුසේලා මහණදම් පිරූවහු දැ?” යි ඇසූහ. ඒ වේලෙහි ඒ භික්‍ෂූහු එහි දී සිදු වූ හැටි දන්වා සිටියහ. “මහණෙනි! ඔය උන්නාන්සේ තමුසේලාට පෙරත් ඔය හැටියට ම අන්තරාය කළහ” යි වදාළ කල්හි “ස්වාමිනි! ඒ වදාරණු මැනවැ” ඔවුහු ආරාධනා කළහ. එකල්හි බුදුරජානන් වහන්සේ;
“දැහැමි මවුපිය වෙත - නො වැඩි ගුරුකුලයෙහි නිසි,
නො වැසි මේ කුකුළු - කල් නො කල් නොම දන්නේ”
යි අකාලරාවී කුක්කුටජාතකය වදාළ සේක. නැවත උන්වහන්සේ “මහණෙනි! මේ පධානිකයා එදා ඒ කුකුළා ය. මේ පන් සියයක් දෙන එදා ඒ තරුණයෝ ය. දිසාපාමොක් ඇදුරු මමැ” යි ජාතකය විස්තර කොට වදාරා “මහණෙනි! අනුනට බණ කියන්නහු, හොඳට හැදුනකු විය යුතු ය. දැමුනකු හික්මුනකු විය යුතු ය. බණදහම් දන්නකු විය යුතු ය. මෙසේ අවවාද කරන්නේ හොඳට දැමුනෙක් ව පරහු දමන්නෙක් හදන්නෙක් වන්නේ ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්තානං චෙ තථා කයිරා යථඤ්ඤමනුස්සාති,
සුදන්තො වත දමෙථ අත්තා හි කිර දුද්දමොති.
පරහට යම් ලෙසකින් අනුශාසනා කරේ නම්, තමාත් ඒ අනුශාසනා ලෙසින් කරන්නේ නම්, එකාන්තයෙන් තෙමේ මනා ව දැමුනේ පරහු දමන්නේ ය. ආත්මය දමන්නට දුෂ්කරය.
අත්තානං චෙ තථා කයිරා යථා අඤ්ඤං අනුසාසති = යම් ලෙසකින් පරහට අනුශාසනා කෙරේ නම්, තමාත් එසේ ම කරන්නේ ය.
“සත්තු නො මැරිය යුතු ය. හොරකම් නො කළ යුතු ය. පරඹුවෝ නො සෙවිය යුතු ය. පරපුරුෂයෝ නො ගත යුතු ය. බොරු නො කිය යුතු ය. මත් පැන් නො පිය යුතු ය. මහණදම් කළ යුතු ය. සිල් පිරිසිදු කර ගත යුතු ය. පොහොය කළ යුතු ය. ඇවැත් නො වැදිය යුතු ය. ඇවැත් දෙසිය යුතු ය. පිරිස් වෙස් පිරිය යුතු ය. මානත හැසිරිය යුතු ය. අබ්භාන කළ යුතු ය. වත් පිළිවෙත් පිරිය යුතු ය. ගම් නො වැදිය යුතු ය. වැඩි මහල්ලෝ පිදිය යුතු ය. තෙරුවන් වැඳිය යුතු ය. කෑම් පීම් හිඳිනා ගෙවල තබා නො ගත යුතු ය. නො සුදුසු වේලෙහි කෑම් පීම් නො ඇල්ලිය යුතු ය. නො නිදිය යුතු ය. නිදි වැරිය යුතු ය. භාවනා කළ යුතු ය. නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගත යුතු ය. කෝලාහල නො කළ යුතු ය. අකැප දෙය හළ යුතු ය” යන ඈ ලෙසින් පරහට යම් ලෙසකින් අනුශාසනා කරන්නේ නම්, බණ කියන්නේ නම්, තමාත් මේ කියු ලෙසින් වරදින්, නො කළ යුත්තෙන්, පවින්, අකුශලයෙන් අස්විය යුතු ය. යමෙක් පවකම් කෙරේ නම්, වරදෙහි බැඳේ නම්, අකැපයෙහි යෙදේ නම්, ඔහු සෘද්ධිවිහාරික - අන්තේවාසික - දායකාදී කිසිවකු වරදින්, නො කළ යුත්තේ පවින් අකුශලයෙන් මුදා ලන්නට අපොහොසත් වේ. ඔවුනට හිතවැඩ සැලසීමෙහි අසමර්‍ත්‍ථ වේ. බොහෝ දෙන පරහට අනුශාසනා කරන්නෝ ය. බණ කියන්නෝ ය. එහෙත් ඒ අනුශාසකයෝ බණ කියන්නෝ වැඩි දෙන පව් කම් කරන්නෝය වරදෙහි යෙදී සිටින්නෝ ය. අවැඩ කරන්නෝ ය. මෙසේ පව්කම් කරමින් වරද කරමින්, අවැඩ කරමින් පරහු වරදින් මුදා ලන්නට අනුශාසනා කරන්නෝ, බණ කියන්නෝ ගිහි පැවිදි දෙ පසෙහි ම බහුල ව දක්නා ලැබෙත්.
සුදන්තො වත දමෙථ = තෙමේ මොනවට දැමුනේ පරහු දමන්නේ ය.
යමෙක් යම් ධර්‍මයකින් ශාස්ත්‍රයකින් ගුණයකින් මොනවට දැමුනේ ද, වැඩුනේ ද, ඔහු ඒ තමන් දැමුනු වැඩුණු ධර්‍මයෙන් ශාස්ත්‍රයෙන් ගුණයෙන් පරහු ද දමන්නේ ය. වඩන්නේ ය. තෙමේ නා දැමුනේ නො වැඩුනේ, පරහු දමන්නේ ය, වඩන්නේ ය, යනු නො ඇදහිය හැකි ය. අදහන්නන්ට කරුණු නැත්තේ ය. නො දැමුනෙක් අන්හු දමන්නේ ය, නො උගතෙක් අන්හු උගත් කරන්නේ ය. අශික්‍ෂිතයෙක් අනුන් ශික්‍ෂිත කරන්නේ ය, යනු නො පිළිගැනෙන්නේ ය.
“ජාතිමාත්‍රයෙන් මහාපුරුෂභාවයට පත් වූවෝ ද, ගුණනුවණින් නො දැමුනෝ නො වැඩුනෝ අන්හු දමන්නට වඩන්නට අපොහොසත් වෙති” යනු ඒකාන්තය. “එතෙර වුනෙම් අන්හු එතෙර කරන්නෙමි, මිදුනෙම් අන්හු මුදන්නෙමි, දැමුනෙම් අන්හු දමන්නෙමි” යන මහා පුරුෂ වචනයෝ සාධක වෙති.
අත්තාහි කිර දුද්දමො = ආත්මදමනය දුෂ්කර ය. ආත්මය දමනය කිරීම පහසු නො වේ.
මෙහි අත්තා යනු සිත ය. චිත්තදමනයට, ආදියෙහි ශීලයෙන් මද්ධ්‍යයෙහි සමාධියෙන් අවසානයෙහි ප්‍රඥාවෙන් හික්මිය යුතු ය. මුළුමනින් චිත්තදමනය වනුයේ, සිවු වැදෑරුම් මගපල නුවණින් අක් මුල් නො කියැකි කලක පටන් සිතෙහි තැන්පත් ව එන රාග ද්වේෂ මෝහාදී වූ බලතර කෙලෙසුන් ඉතිරි නො කොට සිඳ හැරීමෙන් ය. සිත දැමුනේ නම්, එවිට ය. ඉන් මෙ පිට චිත්තදමනය ධර්‍ම ශාස්ත්‍ර ඉගෙණීමෙන් ආචාර්‍ය්‍යොපාධ්‍යාය මාතෘ පිතෘ ආදීන්ගේ අවවාදයෙන් කල්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඔවුන්ගේ සේවනයෙන් දැහැමි වට පිටාව හා ගැටීමෙන් වන්නේ ය. නැත, බතින් බුලතින් ඇඳුමෙන් කැඩුමෙන් කුලයෙන් ධනයෙන් නො වන්නේය. කරුණු මෙසේ බැවින් ලෝකයෙහි වූ දුෂ්කර ක්‍රියාව නම්, සිත දමනය කිරීමැ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පන් සියයක් දෙනා වහන්සේ රහත් බවට පැමිණියාහු ය.
ප්‍රධානිකතිෂ්‍යස්ථවිර වස්තුව නිමි.