අත්තා හි අත්තනො නාථො කො හි නාථො පරො සියා
අත්තනා’ව සුදන්තෙන නාථං ලභති දුල්ලභං.
තමාහට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමහට පිහිට වන්නේ ද? ඉන්‍ද්‍රියදමනයෙන් මනා කොට දැමුනාවූ තමා කරණ කොට ගෙණ ම පරමදුර්‍ලභ වූ (රහත්පල යැ යි කියන ලද) ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය.
බුදුසසුනෙහි නම් පතළ මහතෙරුන් අතර කුමාරකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ද කෙනෙක් වූහ. උන්වහන්සේගේ මෑණියෝ රජගහනුවර එක්තරා සිටුවරයකුගේ දුවක් වූහ. ඕ තොමෝ සිය නුවණ මෝරා ගිය තැන් පටන් මහණ වීමෙහි කැමැත්ත දක්වා ඒ පිණිස මවුපියන්ගෙන් අවසර ඉල්ලා සිටියා ය. එහෙත් ඇයට මවුපියන්ගෙන් ඒ පිණිස අවසර නො ලැබුනේ ය. නිතර නිතර පැවිද්දට අවසර ඉල්ලමින් කල් ගෙවූ ඇයගේ වයස මෝරා ගියේ ය. දීග යෑමට සුදුසු වයසට පත් ඕ තොමෝ මවුපියන්ගේ ඇවිටිල්ලෙන් දීග ගියා, පතිදේවතාදුවක් ව පතිකුලයෙහි වාසය කළා ය. ටික කලකට පසු ඇය කුස දරු ගැබක් පිහිටියේ ය. ඒ බව නො දත් ඕ තොමෝ හිමියා සතුටු කොට පැවිදි වන්නට අවසර ඉල්ලූ ය. එවිට ඔහු ඇයට හැම සත්කාරයක් ම හැම සම්මානයක් ම කොට මෙහෙණවරකට කැඳවා ගෙන ගොස් නො දැනීමෙන් දේවදත්ත ස්ථවිරයන්ගේ පක්‍ෂයෙහි වූ මෙහෙණින් වෙත පැවිදි කරවී ය.
එයින් ටික දවසක් ගිය තැන එහි මෙහෙණෝ ඇය ගැබිනියක බව දැන “මේ කිමැ?” යි ඇසූහ. “ආර්‍ය්‍යාවෙනි! මොන ලෙසකින් මේ සිදු වී දැ යි කියන්නට මම නො දනිමි. පැවිදි වුවාට පසු මෙබදන්දකට හේතු වූ ක්‍රියාවක මම නො යෙදුනෙමි. එහෙයින් මාගේ ශීලයට විපතක් නොවූ ය. මාගේ සිල් නම් පිරිසිදු ය. ඒ ඒකාන්තය” යි ඕ තොමෝ කිවු ය. එකල්හි මෙහෙණෝ ඇය දේවදත්ත තෙරුන් වෙතට ගෙන ගියහ. “ස්වාමීනි! මේ මෙහෙණ සැදැහැයෙන් පැවිදි වූ තැනැත්තියක, එහෙත් මැයගේ කුස දරුවකු පිළිසිඳ ගත් අයුරෙක් පෙණේ, මේ කොයි කලෙක සිදු වූවෙක් දැ යි අපට දැනුම් නැත. එහෙයින් දැන් මේ ගැණ කුමක් කරමුද?” යි මෙහෙණෝ කීහ. දේවදත්ත ස්ථවිර තෙමේ “මැය නිසා මාගේ මෙහෙණන්ට නින්දාවක් ලැබෙන්නට ඉඩ දිය නො හැකි ය, යි සිතා “මැයගේ සිවුරු ගලවා පිටත්කර හරිවු” යි නියම කෙළේ ය.
එකල්හි ඕ තොමෝ “ආර්‍ය්‍යාවෙනි! මා නො නසවු, මම පැවිදි වූවා, මේ දේවදත්ත තෙරුන් බලා නො වෙමි. මාගේ පැවිද්ද දේවදත්ත තෙරුන් පිළිබඳ නො වේ. එහෙයින් කරුණා පෙරදැරිව මා බුදුරජුන් වෙත ගෙණ යනු මැනවැ” යි කියා සිටියා ය. මෙහෙණෝ ඇය දෙව්රමට ගෙණ ගොස් බුදුරජුන්ට දැන්වූහ. බුදුරජානන් වහන්සේ ඇයගේ දරුගැබ ගිහිකල පිහිටි බව දන්නා සේක් ද, රටවැසි මහා ජනයා අතර හටගන්නා වූ වැරදි කතාවන්ට ඉඩ නො තබනු පිණිස, පසේනදි කොසොල් රජතුමාත් අනේපිඬු මහසිටුතුමාත් සුලු අනේපිඬු සිටුතුමාත් විසාඛා මහඋවැසියත් තවත් රටේ පතළ නම් ඇති කිහිපදෙනෙකුත් ගෙන්වා උපාලි මහතෙරුන් කැඳවා “තමුසේ ගොස් මේ දැරිය සිවු පිරිස මැදට පමුණුවා මේ දරු ගැබ කවදා පිහිටි එකෙක් දැ යි සොයා බලා දන්වන්නැ” යි අණකළ සේක. උන්වහන්සේ විසාඛා උවැසිය රජුන් ඉදිරිපිටට පමුණුවා මේ විනිශ්චය ඇයට භාර කළහ. විශාඛාවෝ තිරයක් අද්දවා ඇය තිරය තුළට ගෙණ ඇයගේ අත් පා පෙකණි උදර ඈ හැම තැනක් බලා මාස දින ගැණ දරුගැබ පිහිටිසේ ගිහිකල්හි ය, යි උපාලි තෙරුන්ට දැන්වූහ. එවිට උන්වහන්සේ ඇය පිරිසිදු තැනැත්තියක බව සිවු පිරිස මැද ප්‍රකාශ කළහ. ඒ මෙහෙණ එයින් දවසකට පසු පියුමතුරා බුදුරජුන් වෙත පැතූ පැතුම් ඇති මහ පිණැති පුතකු වැදූ ය.
දවසක් රජ තෙමේ මෙහෙණවර ලඟින් යනුයේ කුඩා දරුවකු හඬනු අසා “කිමැ” යි රාජසේවකයන් අතින් විචාළේ ය. ඔවුන් “දේවයන් වහන්ස! මෙහෙණකට පුතෙක් ලැබී ඇත්තේ ය. මේ ඒ දරුගේ හැඩිමැ” යි කී කල්හි ඒ දරු රජගෙට ගෙන්වා කිරිමවුන්ට භාර කොට ඇති දැඩි කරවී ය. නම් තබන දා ‘ කාශ්‍යප’ යි නම් කෙළේ ය. රජකුමරකු වඩනා පරිද්දෙන් වැඩුනු බැවින් පසු කාලයෙහි කුමාර කාශ්‍යප යි හේ ප්‍රසිද්ධ විය.
මේ කුමරු සෙල්ලම් පිටියෙහි සෙල්ලම් කරන්නේ එහි රැස් වන අනික් දරුවන්ට සෙල්ලම් පිණිස අතින් පයින් පහර දෙයි. එවිට. අන් දරුවෝ “මේ අම්මා නැති පියා නැති එකෙක් අපට පහර දේ ය” යි කෑමොර ගසති. කුමරකසුප්, රජුවෙත ගොස් “දේවයන් වහන්ස! කොල්ලෝ මට අම්මා නැති එකෙක, පියා නැති එකෙකැ යි නිගා කරති. මාගේ අම්මා කවු ද? පියා කවු ද? කියන්නැ” යි කී ය. රජ තෙමේ කිරිමවුන් පෙන්නා “මේ ඔබගේ මෑනිවරු” යි කී ය. “එකකුට මෑනිවරු හුඟක් නො විය හැකිය, එකකුට එක මෑනියක විය යුතු ය. කෝ මාගේ අම්මා” යි කුමාර තෙමේ නැවතත් ඇසී ය. එවිට රජ තෙමේ, මේ දරු රවටනු නො හැකිය, යි සිතා, “පුත! ඔබගේ අම්මා මෙහෙණක් ය. මම ඔබ මෙහි ගෙණ අවුත් වැඩීමි” යි දැක් වී ය. එ පමණින් උපන් සංවේග ඇති ඒ දරු “පියානන් වහන්ස! මා පැවිදි කරවන්න” යි කී කල්හි “යහපතැ” යි කියා මහත් සත්කාරයෙන් යුක්ත ඔහු බුදුරජුන් වෙත ගෙණ ගොස් පැවිදි කර වී ය. ඔහු ලැබූ උපසම්පදා ව ඇත්තේ , කුමාර කාශ්‍යප යි හැම තැන පතළේ ය. නැවත උන්වහන්සේ බුදුරජුන් වෙතින් කමටහන් කියවා ගෙණ වන වැද උත්සාහ කරණුවෝ, විශේෂගුණයක් ඉපදවීමෙහි අපොහොසත් ව නැවතත් කමටහන් පැහැදිලි ලෙසින් කියවා ගණිමි යි බුදුරජුන් වෙත ගොස් කමටහන් කියවා ගෙණ අන්‍ධවනයෙහි නවාතැන් ගත්හ.
එ දවස කසුප් බුදුරජුන්ගේ සසුන්හි එක් ව මහණදම් කොට අනාගාමි ඵලයට පැමිණ බ්‍රහ්ම ලෝකයෙහි ඉපද සිටි එක් මහණෙක් බඹලොවින් බැස ඔහු වෙත ගොස් ප්‍රශ්න පසළොසක් පිළියෙල කොට දී “මේ ප්‍රශ්නයන්ට පිළිතුරු දිය හැක්කේ බුදුරජානන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේ වෙත ගොස් මේ ප්‍රශ්නයන්ගේ පිළිතුරු අසා දැන උගණුව” යි කුමරකසුප් තෙරුන් බුදුරජුන් වෙතට පිටත් කෙළේ ය. ස්ථවිර තෙමේ තමන් ඇසු ප්‍රශ්න බුදුරජුන් විසදා අවසන් වත් ම රහත් පලයට පැමිණියේ ය. තෙරුන් මෑනියන්ගෙන් වෙන් වූ දා සිට දොළොස් අවුරුද්දක් ම ඇයගේ නෙත්වලින් කඳුළු කඩා වැටුනේ ය. දවසක ඕ තොමෝ කඳුලෙන් තෙත් වූ මුණු ඇති ව පිඬු සිඟා යන්නී, එක් වීථියක දී තෙරුන් දැක “පුතේ! පුතේ! මඳක් නවතින්නැ” යි කිය කියා තෙරුන් අල්ලා ගන්නට දුවන්නී, බිම ඇද වැටුනා ය. තන පුඩුවලින් කිරි වැගිරෙත් එතැනින් නැගිට තෙමුණු සිරුරු ඇත්තී දුව ගොස් තෙරුන් අල්ලා ගත්තා ය.
ඉක්බිති ස්ථවිරයන් වහන්සේ “යම් ලෙසකින් දැන් මාගෙන් මිහිරි බසක් ලැබුනේ නම්, ස්නේහය ඉවසා ගත නො හී මෝ තොමෝ මෙ තැන ම මැරන්නී ය. දැන් මැයට මිහිරි බසින් කතා කිරීම සුදුසු ම නො වේ. තද ගතියම පෙන්විය යුතු ය, යි සිතා “මෙහි හැසිරෙහි කුමක් නිසා ද? තව ම ස්නේහය අත් හරින්නට නො හැකි වූ ද? කුමක් නිසා ද ඔතරම් ඇඩුම් දෙඩුම්? පැවිදි ව සිටත් උනුන් කෙරෙහි ආලය කිරීම සුදුසු ද?” යි හඩ නගා කීහ. “අයියෝ! අපේ ස්වාමින් වහන්සේගේ කථාව රළු ය, තද ය” යි සිතා “පුත! කුමක් කියහු දැ?” යි ඇසූ ය. ස්ථවිරයන් වහන්සේ ඒ වරත් එසේ ම කීහ. එවිට ස්ථවිරා තොමෝ “මා මොහු නිසා දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි වැගිර වූ කඳුළු අපමණ ය. ඇස් දෙකින් නැග එන කඳුලු දරා ගන්නට අදත් නො හැකිය. මොහු මට තද ගති පෙන්වයි. පපුවේ මොළොක් බවෙක් නැත. මට දන් මොහුගෙන් ඇති කාරිය කුමක් ද” යි පුතා කෙරෙහි තිබූ ආලය හැර දැම්මා, ඒ දවස ම රහත් වූ ය.
මේ අතර භික් ක්‍ෂුන් වහන්සේලා ධර්‍මශාලාවට රැස් වූහ. “අයියෝ, දෙව්දත්, කුමාර කාශ්‍යප ස්ථවිරයන් හා ඒ ස්ථවිරයන්ගේ මෑනියන් නසා දැමීම කො තරම් සැහැසි ද, නපුරු ද, බුදුරජානන් වහන්සේ පිහිට නො වූ සේක් නම්, ඒ දෙ දෙනාගේ ජීවිත අවසන් වී යනු ඒකාන්ත ය. ආ ගිය අතක් සිදුවූ දෙයක් කවුරු දනිත් ද, බුදුරජානන් වහන්සේගේ අනුකම්පාව කොතරම් මහත් ද, කොතරම් පුදුම ද, බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝ ය” යි කතා කරන්නට වූහ. මේ වේලෙහි බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. එහි දී භික්‍ෂූන් කළ කතාව අසා “මහණෙනි! ඔය දෙපලට මම පෙරත් පිහිට වීමි, දැන් පමණක් පිහිට වූයේ නො වෙමි” යි;
“නුගමුව සෙවුම යුතු - සාමුව සෙවුම යුතු නැත,
නුගමුව වෙත මැරුමතුම් - නො තුම් සාමුව වෙත දිවි”
යි නිග්‍රෝධමිගජාතකය වදාළ සේක. නැවත උන්වහන්සේ “මහණෙනි! මේ දේවදත්ත තෙමේ එදා සාඛමෘගයා ය. දේවදත්තගේ මේ දැන් ඉන්නා පිරිස එදා සාඛමෘගයාගේ මුවරැල ය. මරණයට බිලි ව සිටි මුවදෙන මේ මෙහෙණ ය. මුව පැටවා කුමාර කාශ්‍යප ය. ගැබිනි වූ මුවදෙනට දිවි දුන් නිග්‍රෝධ මුවා මමැ” යි ජාතකය ගළපා, පුත් කෙරෙහි වූ ආලය හැර මෙහෙණ තමාට පිහිටක් කරගත් බව වදාරණ සේක් “මහණෙනි! මේ ලෝකයෙහි කිසිවකුටත් තමන් කරණ සග පවග දෙන පින්කමකින් අනෙකකුට පිහිටක් කරණු නො හැකි ය. තෙමේ තමාට පිහිට ය. අනෙකෙක් අනෙකකුට ස්වර්‍ගාපවර්‍ග සම්පත් දීමෙන් පිහිට වීමට පොහොසත් නොවේ. තමා ම තමාට පිහිට විය යුතු ය. තමා ම ස්වර්‍ගමාර්‍ගයත් මෝක්‍ෂමාර්‍ගයත් සිදු කර ගත යුතු ය. අනෙකෙක් අනෙකකුට මේ අතින් කුමක් කරන්නේ දැ” යි මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්තාහි අත්තනො නාථො කො හි නාථො පරො සියා,
අත්තනාහි සුදන්තෙන නාථං ලභති දුල්ලභන්ති.
තෙමේ ම තමාට පිහිට ය. අන් කවරෙක් නම්, පිහිට වේ ද. මනා කොට දැමුනු තමන් විසින් ම, ලබන්නට දුෂ්කර වූ පිහිට ලබයි.
අත්තාහි අත්තනො නාථො = තෙමේ ම තමාට පිහිට ය. තමාට පිහිට වන්නේ තෙමේ ය.
“තමාගේ හිසට තමාගේ අත ය” යන පිරුළට පදනම් වූවා ද මේ දේශනා ය. තමාට පිහිට වන්නහු තමා ම බව ‘හි’ යන්නෙන් තහවුරු කළ හ. එහෙයින් නියම පිහිට මිනිසුන් දෙවියන් බඹුන් යකුන් රකුස් මරුන් ඈ මොවුන්ගෙන් පැතීමෙන් යැදීමෙන් කිසි ලෙසකින් කිසි කලෙකත් සිදු නො වන්නේ ය. සඵල නො වන්නේ ය. ඒ පැතීම යැදී ම මිථ්‍යාවක් වේ. ලෞකික ජීවිතය හැඩගසා ගැණිමෙහි ලා මද වහළෙක් දෙවියන්ගෙන් නො ලැබෙන්නේ නො වේ. “තමහට තෙමේ පිහිටැ” යි වදාළ වචනයෙන් එය බැහැර කරණ ලද්දේ ද නො වේ. ලෞකික ජිවිතයට දෙවියන්ගේ අනුකම්පාව ලැබිය යුත්තී ය, යි බුදුරජානන් වහන්සේ ද වදාළ සේක. ලෞකික ජීවිතය සඳහා දෙවියනට පින්බිලි දීම වරද නො වේ. එයට දෙවියන්ගේ පිහිට ලැබේ.
නාථ නම්, හිත වැඩ පතන්නේ ය. තමාට හිත වැඩ පතන්නා තමා ම බැවින් “අත්තා හි අත්තනො නාථො” යනු වදාළාහු ය.
‘නාථතීති-නාථො’ යනු නිරුක්ති යි ‘නාථ’ ශබ්දයාගේ සිද්ධියට මුල් වූ ‘ නාථ’ ධාතුව යාවන - උපතාපන - ඉස්සරිය - ආසිංසන යන අර්‍ත්‍ථ සතරෙක ඒ, යි ශබ්දලක්‍ෂණකාරයෝ කියත්. ඒ අනුව නාථ ශබ්දය “නාථති සත්තානං හිතං යාචති, කිලෙසෙ වා උපතාපෙති, සග්ගෙසු වා ඉස්සරියං, කරොති, තෙසං වා හිතං ආසිංසතීති = නාථො” යි විවරණය කරත්. මෙහි යාචනාර්‍ත්‍ථයෙන් නාථ යි ගන්නේ නම්, හිඟන්නා නාථ යි ගත යුතු වේ. එ කල්හි ස්වයම්ප්‍රභූත්වයෙන් දිවි යවන්නේ, අනාථ නම් වේ. ඒ එසේ නො ගත යුතු ය. නාථ ශබ්දය යාචනාදී අර්‍ත්‍ථයන්හි පවත්නේ ලෝක සඞ්කෙත විසින් උත්තම පුරුෂයන් කෙරෙහි නැගී සිටියේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ උත්තම පුරුෂයන් අතරෙහි අත්‍යුත්තම වෙත්. උන්වහන්සේ හැම සතුන් කෙරෙහි උස් මිටි කම් නො බලා සමානුකම්පික ව හිත වැඩ පතන සේක. එහෙයින් නාථ ශබ්දයෙහි එන යාචනාර්‍ත්‍ථය දැන් සාර්‍ත්‍ථක වී සිටියේ ය. හිඟන්නකු කෙරෙහි නාථ යනු නො නගින්නේ ය. “දස ඉමෙ භික්ඛවෙ! නාථ කරණධම්මා” යි අඞ්ගුත්තරනිකායයෙහි දසමනිපාතයෙහි එන නාථකරණධර්‍ම දශය ද මෙහි ලා දත යුතු ය. සිල්වත් බව - බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව - කලණමිතුරු බව - කීකරු බව - සබ්‍රහ්මචාරීන්ගේ කුදු මහත් කටයුතුවල දක්‍ෂභාවය - ධර්‍මකාමී භාවය - පටන් ගත් වීර්‍ය්‍ය ඇති බව-යථාලාභසන්තොසය - සිහි ඇති බව - නුවණැති බව යන මේ දසය නාථකරණධර්‍ම නම්. විස්තර එයින් දන්නේ ය. මොවුහු තම තමන් විසින් නිපද විය යුතු වූ විශේෂාධිගමයෙහි ප්‍රධාන ව සිටුනා අර්‍ත්‍ථයෙන් නාථකරණ නම් වෙත්.
කොහි නාථො පරො සියා = අන් කවරෙක් නම් පිහිට වේ ද.
තම තමන්ගෙන් අන්‍ය වූ කිසිවකුට ලෞකික - ලෝකෝත්තර වශයෙන් පවත්නා භව - විභවසම්පත්තීන් සදා දීමට පොහොසත් වූ කිසිවෙක් මේ ලෝකයහි නැත්තේ ය. කිසිවකු විසින් කිසිවකුට ඒ සාදා දිය නො හැකි ය. ඒ පිණිස ධර්‍මෝපදේශ නම් දිය හැකි ය.
අත්තනා එව සුදන්තෙන = හොඳට දැමුනු තමා විසින් ම.
කය - වවන - සිත යන මෙතැන්හි වූ හැම සැඩ පරොස් ගතියක් ම ඒ ඒ ධර්‍මයන්ගෙන් නසා සිටියහු විසින් ම, චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් දමනය කිරීම් වශයෙන් ආත්මදමනය කොට සිටියහු විසින් ම.
නාථං ලභති දුල්ලභං = ලබන්නට දුෂ්කර වූ පිහිට ලබයි.
යමෙක් පිළිවෙත් සරු ව කුසල් දහම් කළේ නම්, ඔහු ලබන්නට නො හැකි වූ ලබන්නට දුෂ්කර වූ පිහිට ලබන්නේ ය යන අරුත් ය. මෙහි ලබන්නට අපහසු ලබන්නට නො හැකි වූ පිහිට නම්, රහත්බව ය. ඒ මේ රහත්බව නමැති පිහිටෙන් යමෙක් පිහිට සහිත වූයේ, සනාථ වූයේ නම්, නැවත කිසි කලෙකත් අනාථ නො වන්නේ ය. පිළිවෙතින් තමා දමා සිටියේ ම මෙයින් සනාථ වන්නේ ය.
ධර්‍මදේශනාව අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහු ය.
කුමාරකාශ්‍යපස්ථවිර වස්තුව නිමි.