අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතො.
පළමු කොට තමා ම සුදුසු ගුණයෙක්හි පිහිටුවන්නේ ය. (යමෙක් අපිස්බව් ආදි ගුණයෙකින් අනුනට ඔවා දෙනු කැමැත්තේ නම්, ඔහු විසින් පළමු කොට ඒ ගුණයෙහි පිහිටිය යුතු යි.) ඉක්බිත්තෙන් පරා හට (තමා පිහිටි ගුණයෙන්) අනුශාසන කරන්නේ ය. මෙසේ කරණ තැනැත්තේ නො කෙලෙසෙන්නේ ය (නො තැවෙන්නේ ය).
උපනන්‍ද ස්ථවිරයන් වහන්සේ දහම් දෙසීමෙහි සමර්‍ත්‍ථයෙකි. දහම් දෙසීමෙහි සමත් භික්‍ෂූන් අතර උන්වහන්සේට ද තැනක් ලැබී තිබුනේ ය. මහිච්ඡතාවෙන් බර ව සිටි උන්වහන්සේ අප්පිච්ඡතාවය ගැණ නිතර බණ කියති. ඒ බණ ඇසූ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා තම තමන් වෙන තුබූ තුන් සිවුරු ඈ පිරිකර පුදා ධුතාඞ්ග සමාදන් වූහ. භික්‍ෂූන් හැර දැමූ සියලු පිරිකර ඔහු ම ගත්තේ ය.
එක් වස් කාලයෙක උපනන්‍ද තරණුවෝ දනවු බලා ගියහ. එහි එක් විහාරයෙක විසූ තරුණ වියෙහි සිටි හෙරණෝ ඔහු කියන විසිතුරු කතා ඇසීමෙහි ආශා ඇති ව “ස්වාමීනි! මේ වර මෙහි වස් එළඹ වැඩ හිඳුනු මැනැවැ” යි ආරාධනා කළහ. එවිට උපනන්‍ද ස්ථවිර තෙමේ “වස් එළඹෙනු හැකි ය, හොඳයි, මෙහි වස් වැසි පිරිකර කෙතරම් ලැබේ දැ?” යි ඇසී ය. “එක එක සළුව ලැබේ ය” යි හෙරණුන් කී කල්හි එහි වහන් සඟල තබා අන් වෙහෙරකට ගොස් එහි මහණුන් අතින් “මෙහි වස් කෙළවර වස් එළඹි මහණුන්ට කුමක් ලැබේ දැ?” යි අසා “එක නමට සළු දෙකක් ලැබේ ය” යි කී විට එහි හැරමිටිය තබා අන් වෙහෙරකට ගියේ ය. ඒ වෙහෙර වැස්සන් “සළු තුණක් ලැබේ ය” යි කී කල්හි එහි දිය පෙරා ගන්නා කුඩා මුට්ටියක් තබා තවත් වෙහෙරකට ගියේ ය. “එහි ලැබෙන්නේ කුමක් ද?” යි අසා “රෙදි කැබලි සතරක් ලැබේ ය” යි කී විට “හා හොඳයි, මම මෙහි වස් එළඹෙන්නෙමි” යි කියා වස් එළඹෙන දිනයෙහි එහි වස් එළඹ ගිහි පැවිද්දන්ට බණ කියමින් කල් ගෙවී ය. බණකතාවෙහි පැහැදුනු ගිහි පැවිදෝ ඔහුට රෙදි කැබලි හා සිවුරු බොහෝ පිදූහ.
උපනන්‍ද ස්ථවිර තෙමේ වස් පවරා “මාගේ වහන්සඟල ඔය විහාර යේ ය. හැරමිටිය ඔය විහාරයේ ය. වතුර පෙරා ගන්නා මුට්ටි පොඩිය ඔය විහාරයේ ය. ඒ නිසා ඔය විහාරයෙන් වස් වැසි පිරිකර මටත් ලැබිය යුතු ය. ඔය විහාරයෙන් වස්සාවාසික, පරික්ඛාර මටත් ලැබිය යුතුය” යි හැම තැනට ලියා යැවී ය. ලියුම් යවා පිරිකර ගෙන්වා ගෙණ බරකරත්තයක පටවා ඒ සමග එ තැනින් නික්මුනේ ය. මග අසල පිහිටි වෙහෙරක තරුණ මහණහු දෙදෙනෙක් එහි ලැබුනු රෙදි කැබලි දෙකක් හා පලසක් බෙදා ගන්නට නො හැකි ව මග අසලට පැමිණ කෝලාහල කරන්නෝ පිරිකර කරත්තය පස්සෙහි එන තෙරුන් දැක “හාමුදුරුවන් වහන්ස! මහ කලබලයෙක්, කරුණා කොට අපට මෙය බෙදා දෙනු මැනවැ” යි උපනන්‍ද තෙරුන්ට කීහ. “හා හොඳයි, එසේ වේවා, තමුන්නාන්සේලා මා කියන එක අසන්නහු නම්, ඔය කියන කාරණය බේරා දිය හැකිය” යි ස්ථවිර තෙමේ කී ය. “එහෙයි, ස්වාමීනි! අපි හාමුදුරුවන් වහන්සේ කියන්නක් කරමු” යි ඒ දෙනම කීහ.
එකල්හි උපනන්‍ද ස්ථවිර තෙමේ සළු දෙකත් පලසත් අතට ගෙණ සළු දෙක ඒ මහණුන් දෙ පලට දී “මේ පලස දැරීමට ඔය දෙනම ම සුදුසු නො වෙති. මෙය බණ කියන කෙනකුට සුදුසු පලසෙකි. හැම තැන බණ කියන්නෙම් මම ය. මෙය සුදුසු මටැ” යි බර ගණනක් වටිනාකම් ඇති ඒ පලසත් ගෙණ එතැනින් වසා නික්ම ගියේ ය.
ඉක්බිති ඒ භික්‍ෂූහු විපිළිසර ව බුදුරජුන් වෙත ගොස් “උපනන්‍ද ස්ථවිරයන් වහන්සේ අපට ලැබී තිබූ පලසක් අපගේ කැමැත්තක් නැති ව ගෙණ ගියහ” යි පැමිණිලි කළහ. බුදුරජානන් වහන්සේ “මහණෙනි ඔය කෙරුම අරුමයක් නො වේ. උපනන්‍ද පෙරත් ඔය නමලාට අයත් පිරිකර පැහැර ගෙණ තිබේ. ඔය නමලා විපිළිසරට පත්කළේ දැන් පමණක් නො වේ. පෙරත් ඔය නමලාට ඔබඳු දේ කරණ ලද්දේ ය” යි වදාරා ඒ පුවත ගෙණ හැර දැක්වූ සේක.
“පෙර එක් අත්බවෙක තමුසෙලා දෙන ම දියකාවෝ දෙදෙනක් වූවහු ය. එකෙක් ඉවුරු අසබඩ ම හැසිරෙයි, එකෙක් ගැඹුරු දියෙහි හැසිරෙයි. දවසක් ඔවුනට රේමස්සෙක් ලැබුනේ ය. ඒ වේලෙහි “ඔලුව තට ය. නගුට මට ය” යි කියා ගන්නා ඔවුන් දෙදෙනා අතර තරමක කලහයෙක් හට ගත්තේ ය. උපනන්‍ද එ දවස හිවලෙක් ව ඉපිද සිටියේ ය. මේ හිවලා ඒ වේලෙහි මෙතැනින් ගියේ ය. දියකාවෝ මේ හිවලා දැක. “මාමේ! මේ මාලුවා අපට බෙදා දෙන්නැ” යි හිවලාට කීහ. හිවලා, කුම් කියහු තෙපි? රජුගේ නියමය පරිදි මෙතෙක් වේලා මම නඩු ගණනක් ඇසීමි. එක තැන හිදීම නිසා පා රිදෙන්නට වූයෙන් මදක් ඇවිද විඩා සංසිඳුවා ගැණීමට මම මෙහි ආයෙමි. තොපගේ ඔය නඩු අසන්නට මට දැන් පිළිවන්කමෙක් නැතැ” යි කීය. එ කල්හි දියකාවෝ “මාමේ! එසේ නො වදාරණු මැනවි. කොතරම් අපහසුකමක් තුබුන ද, මේ මාලුවා බෙදා දී යා යුතු ම” යි ඇවිටිලි කළහ. “හා හොඳයි, වේවා, මේ ගැණ මාගේ කීම උඹලා පිළිගන්නට ඕනෑ. එසේ පිළිගණිහු නම්, මට මෙය බෙදා දිය හැකි ය” යි හිවලා කී විට, “මාමේ! මෙහි දී මාම කරණ තීරණයකට අපි එකඟ වන්නෙමු මාමා කියන හැටියක් පිළිගන්නෙමු” යි කීහ. හිවලා “හා හොඳා” යි කියා රේමසු ගෙණ ඔලුව කඩා එකා පසෙකත්, නගුට කඩා එක පසෙකත්, තබා “බෑණෝ! ඔලුව ඉවුර අසබඩ වැඩ කරණ බෑණාට, නගුට ගැඹුරු දියෙහි වැඩ කරණ බෑනාට මැද හරිය නඩුව ඇසූ මට” යි මැද හරිය ගෙණ එතැනින් නික්ම ගියේ ය. රැවටුනු දීයකාවෝ දෙදෙන හිවලා යන මග බලා සුසුම් හෙලමින් එහි සිටියහ” යි,
බුදුරජානන් වහන්සේ මේ ඉකුත් වත දක්වා “පෙරත් උපනන්‍ද තමුසේලා රැවටී ය” යි වදාරා උපනන්‍ද තෙරුන්ට ගරහන සේක් “මහණ! අනුනට අවවාද කරන්නහු පළමු කොට අවවාදයෙහි පිහිටිය යුතු ය. තමා එයට සුදුසු තැන සිටිය යුතු ය. අනුනට අවවාද කරන්නහු අවවාද කරන්නට කලින් අවවාදයෙහි පිහිටිය යුතු ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ,
අථඤ්ඤමනුසාසෙය්‍යං න කිලිස්සෙය්‍ය පණ්ඩිතොති.
පළමු කොට තමා ම සුදුසු ගුණයෙක්හි පිහිටු වන්නේ ය. ඉන් පසු අනුනට අවවාද කරන්නේ ය. මෙසේ කරන්නා වූ නුවණැත්තේ නො කෙලෙසෙන්නේ ය.
අත්තානං එව පඨමං පතිරූපෙ නිවෙසයෙ = පළමු කොට තමා ම සුදුසු ගුණයෙක්හි පිහිටු වන්නේ ය.
‘අත්තානං’ යනු තමන් දක්වනු සඳහා යෙදුනේ ය. ‘එව’ යනු යෙදුනේ එහි නියමය පිණිස ය. ඒකාන්තයෙන් විය යුතු බව දක්වනු පිණිස ය. පඨමං යනු යෙදුනේ අවස්ථාව දක්වනු පිණිස ය. ‘පතිරූපෙ’ යනු යෙදුනේ පිහිටු වීය යුතු තැන කො තැන දැ යි දක්වනු පිණිස ය. ‘නිවෙසයෙ’ යනු යෙදුනේ පිහිටු වීම දක්වනු පිණිස ය. දැන් ‘අත්තානං, එව පඨමං, නිවෙසයෙ’ යනු පැහැදිලි ය.
අප්පිච්ඡතාදී ගුණ හා අරියවංස පටිපදා හා මෙහි යෙදෙන්නට සුදුසු වූ ගුණයෝ ය. එහෙයින් අනුනට අවවාද කරනු කැමැත්තේ පළමු කොට අප්පිච්ඡතාදි ගුණයන්හි හෝ අරියවංස පටිපදාවන්හි පිහිටා ගන්නේ ය. තමා එහි පිහිටු විය යුතු ය.
“යො අප්පිච්ඡතාදිගුණෙහි වා අරියවංස පටිපදාදීහි වා පරං අනුසාසිතු කාමො සො අත්තානං එව පඨමතරං තස්මි ගුණෙ පතිට්ඨාපෙය්‍ය” යනු අටුවා ය. එහෙයින් ‘ පතිරූපෙ’ යනු මෙකී ගුණ කියනු ව යෙදුනේ යි දත යුතු ය.
අපිච්ඡතාදීහු යට කියූ සේ දන යුත්තාහ. අරියවංස පටිපදා නම්, චීවරසන්තොස - පිණ්ඩපාතසන්තොස - සේනාසනසන්තොස - භාවනාරාමතා යි ඒ මේසේ සිවු වැදෑරුම් ය. ‘චත්තාරො මෙ භික්ඛවෙ! අරිය වංසා’ යි වදාළෝ එහෙයිනි.
එහි දළ සියුම් රළු මොළොක් තර දිරූ සිවුරුවලින් යම් සිවුරක් ලද කල්හි එයින් සතුටු වීම, සෑහීමට පත්වීම, එහි ගුණකියාපෑම නො සුදුසු අන්වේෂණයකින් සිවුරු නො සෙවීම, සිවුරු නො ලැබීමෙන් නො තැවීම, ලැබුන ද තෘෂ්ණාවෙන් එහි නො බැඳීම, අන්වේෂණාදියෙහි වරද දැකීම, ශීතෝෂ්ණාදිය නැසීම පිණිස යි දනිමින් පරිභෝග කිරීම, ලද සිවුරෙහි සතුටු වීමෙන් තමා උසස් කොට නො දැක්වීම, අනුනට නො ගැරහීම, චීවරසතෝසාදියෙහි ගුණ කීමට දක්‍ෂවීම, අලස නොවීම, සිහි නුවණින් යෙදීම යන මේ ප්‍රථමආර්‍ය්‍යවංශප්‍රතිපදාය.
රෙදිකැබලිවලින් මහමැඬලි ඈ කොට කරණු ලබන්නේ චීවර ය යි. එය කරණ පිළිවශයෙන් ඛෝම - කප්පාසික - කෝසෙය්‍ය - කම්බල - සාණ - භඞ්ග යි සවැදෑරුම් ය. දුකූල - පත්තුන්නපට්ට -සොමාරපට්ට - චීනපට්ට - සෘද්ධිමය - දේවදත්තිය යන මේ සවැදෑරුම් සිවුරු ද යට කී සවැදෑරුම් සිවුරෙහි අනුලොම් වන බැවින් මහණුන් ගේ පරිභෝගයට සුදුසු ය. කුසවීර- වාකවීර - ඵලකවීර - කෙසකම්බල - පොත්ථක - චම්ම - උලූකපක්ඛ - රුක්ඛදුස්ස - ලතාදුස්ස - එරකදුස්ස - කදලිදුස්ස - වේළුදුස්ස යන මේ ආදීන්ගේ වශයෙන් එන රෙදි පට්ටා වැහරි ලොම් නූලින් කළ සිවුරු මහණුන්ට නො කැප ය. නො සුදුසු ය.
ලද පිණ්ඩපාතයෙන් සතුටුවීම, එහි ගුණකීම, පිඬුසෙවිමට නො සුදුසු අන්වේෂණයනට නො පැමිණීම, පිඬු නො ලැබීමෙන් නො තැවීම, ලද ද තෘෂ්ණා වශයෙන් එහි ගැටීම, දොස් දැකීම, බ්‍රහ්මචරියයට අනුග්‍රහ පිණිස යි දැන පරිභෝග කිරීම, එයින් තමා උසස් කොට නො දැක්වීම, අනුනට අවමන් නො කිරීම, පිණ්ඩපාතසන්තෝසයෙහි ගුණ කීමට දක්‍ෂවීම, අලස් නො වීම, එහි සිහිනුවණින් යෙදීම ද්විතියආර්‍ය්‍යවංශප්‍රතිපදා ය.
එහි පිණ්ඩපාත නම්, ඔදන - කුම්මාස - සත්තු - මච්ඡ - මංස - ඛීර - දධි - සප්පි - නවනීත -තෙල - මධු - ඵාණිත - යාගු - ඛාදනීය - සායනීය - ලේහනීය යන මේ ය.
සඞ්ඝහත්ත - උද්දෙසභත්ත - නිමන්තණ - සලාකභත්ත - ගිලානභත්ත - ගිලානුපට්ඨාකභත්ත -ධුරභන්ත - කුටීභත්ත - වාරකභත්ත - විහාරභත්ත යන මේ බත් මහණුන් පිළිබඳ පිණ්ඩපාත ක්‍ෂේත්‍ර ය යි.
ලද සෙනසුනෙන් සතුටුවිම, එහි ගුණ කීම, සේනාසනය හේතුවෙන් නො සුදුසු අන්වේෂණාදියට නො පැමීණිම, නො ලද සෙනසුනට නො තැවීම, ලද ද තෘෂ්ණා විසින් එහි මුසපත් නොවීම, දොස් දැකීම, ශීතෝෂණාදිය නැසීම පිණිස යි සලකා පරිභෝග කිරීම එයින් තමා උසස් කොට නො දැක්වීම, අනුනට නො ගැරහීම, සේනාසනසන්තෝසයෙහි ගුණකීමට පොහොසත් වීම, අලස නො වීම, සිහි නුවණින් එහි යෙදීම තෘතීය ආර්‍ය්‍යවංශ ප්‍රතිපදා ය.
සේනාසන නම්, මංච - පීඨ - භිසි - බිම්බෝහන - විහාර - අඩ්ඪ - යෝග - පාසාද - හම්මිය -ගුහා - ලෙන - අට්ට - මාල - වේළුම්බ - රුක්ඛමූල යන මේ ය.
සංඝ - ගණ - ඤාති - චිත්ත - සකසන්තකධන - පංසුකූල යන මෙය සේනාසනක්‍ෂේත්‍ර ය යි. සේනාසනසන්තෝසය පිණ්ඩපාතයෙහි කී පරිදි දන්නේ ය. ග්ලානප්‍රත්‍ය ය පිණ්ඩපාතයෙහි ම ඇතුළත් වේ.
භාවනාරාමතා නම්, භාවනාවෙහි ඇලීම ය. සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - සෘද්ධිපාද - ඉන්‍ද්‍රිය -බල - බොජ්ඣඞ්ග - අනුපස්සනා - මහාවිදස්සනා - බෝධිපක්ඛියධම්ම - අට්ඨතිසාරම්මණ යන මේ ආදීන්හි ඇලීමය. භාවනා රතිය විදීමය. පස් වැදෑරුම් ප්‍රහාණයන්හි ඇලීම හෝ කාමච්ඡන්දාදි ක්ලේශයන් දුරු කරමින් භාවනාරතිය විඳීම, එයින් තමා උසස් කොට නො දැක් වීම, අනුනට නො ගැරහීම, එහි දක්‍ෂවීම, අනලස්වීම, සිහිනුවණින් යෙදීම චතුර්‍ත්‍ථආර්‍ය්‍යවංශ ප්‍රතිපදා ය.
චතුර්විධආර්‍ය්‍යවංශයන් අතුරෙහි ප්‍රථම - ද්විතීය - තෘතිය ආර්‍ය්‍යයවංශයන් ගෙන් තෙළෙස් ධූත ගුණයගේ හා චතුර්විධ ප්‍රත්‍යය සන්තෝෂයාගේ වශයෙන් මුළු විනයපිටකය කියන ලද්දේ ය. සිවු වන ආර්‍ය්‍යවංශයෙන් අනික් පිටක දෙක දැක්විනි.
බුදු, පසේ බුදු, මහරහත්හු ආර්‍ය්‍යයෝ ය. මේ දහම් සතර උන්වහන්සේලාගේ ප්‍රවේණීහු ය. එහෙයින් ආර්‍ය්‍යවංශ නම් වෙති. ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදී කුල වංශය යම් ලෙසකින් වෙත් නම්, මේ ආර්‍ය්‍ය වංශයත් ආර්‍ය්‍යයන්ගේ ප්‍රවේණි නම් වේ. සමාජයෙහි වූ වංශ අතුරෙහි මේ වංශය ම ශ්‍රේෂ්ඨ වේ. උත්තරීතර වේ. මූලගන්‍ධාදීන් අතුරෙහි කලුඅගිල් ගඳ ම ශ්‍රේෂ්ඨ වන්නා සේ ය.
අථ අඤ්ඤං අනුසාසෙය්‍ය = ඉන් පසු අනුනට අවවාද කරන්නේ ය.
තමන් පළමු කොට අප්පිච්ඡතාදිගුණයන්හි පිහිටා, මෙහි සැකෙවින් කියූ ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාවෙහි පිහිටා අනුනට එයින් අවවාද කරන්නේ ය. තෙමේ ආදර්‍ශවත් පුරුෂයෙක් ව අවවාද කරන්නේ ය.
න කිලිස්සෙය්‍ය පණ්ඩිතො = නුවණැත්තේ නො කෙලෙසෙන්නේය. නො කිලිටි වන්නේ ය.
තෙමේ, පළමු කොට ගුණදහමෙහි නො පිහිටා අනුන්ට අවවාද කරන්නේ නම්, අනුන්ගෙන් ගැරහුම් ලබන්නේ ය. ගැරහුම් ලබා කෙලෙසෙන්නේ ය. තෙමේ පළමු කොට ගුණදහමෙහි පිහිටා අවවාද කරන්නේ නම්, අනුන්ගෙන් පැසසුම් ලබන්නේ නො කෙලෙසෙන්නේ ය.
යම් කෙනෙක් අනුන්ට අවවාද කෙරෙත් නම්, ඔවුන් පළමු කොට එබදු ගුණයෙහි පිහිටා ගත යුතු ය. තමන් ගුණයෙහි පිහිටා සිට අනුනට ද එලෙසින් අවවාද කළ යුතු ය. යම් කෙනෙක් තුමූ එබදු ගුණයෙක නො පිහිටා අනුනට අවවාද කෙරෙත් නම්, ඒ අවවාද පිළිගන්නෝ නැත. තුමූ ම නින්දා පරිභව ලබන්නෝ ය. යම් කෙනෙක් පළමු කොට ගුණයෙහි පිහිටා අනුනට අවවාද කරන්නෝ නම්, ඔවුහු පැසසුමට බඳුන් වෙති.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූහු දෙනම සෝවාන් පලයහි පිහිටියාහු ය. ධර්‍මදේශනාව මහජනයාට වැඩ සහිත වූ ය.
උපනන්‍දස්ථවිර වස්තුව නිමි.