අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතො.
ඉදින් තමා තමහට ප්‍රිය යැයි දන්නේ වී නම්, එය සුරක්‍ෂිත කොට රක්නේ ය. (යමෙක් තමා රකිමි යී වැසූ දොරකවුළු ඇති ගෙයකට වැද රකවළ ඇති වැ වසන්නේ ද, අකුසල් කෙරේ නම්, හේ තමා රක්නේ නම් නො වේ. යමෙක් එළිමහනැ සිටින්නේ නුමුදු අකුසලින් දුරු වැ දානාදි සුචරිතයෙහි යෙදේ නම්, හේ තමා රක්නා නම් වේ. එහෙයින් නුවණැත්තේ තුන් වයසෙන් එක්තරා වයසෙක අකුසලින් දුරු කොට තමා රක්නේ ය.
බෝධිරාජ කුමාරයා කර වූ ප්‍රාසාදය කෝකනද නමින් පතළේ ය. එය එදා මිහි පිට තිබූ අන් හැම ප්‍රාසාදයන් අබිබවා සිටියේ ය. බලන්නවුන්ට එය පෙණෙනුයේ අහස ඉගිල්ලෙන්නක් සේ ය. එදා වඩු කර්‍මාන්තයෙහි අතිශයදක්‍ෂ වූ වඩුවා ලවා එය කර වි ය. බෝධි රාජ කුමාර තෙමේ වඩුවා ගෙන්වා, “තමුසේ මෙයට කලින් මෙ බඳු පහයක් කර තිබේ ද, නැත, තා කළ පළමු පහය මේ දැ?” යි ඇසී ය. “දේවයන් වහන්ස! එසේ ය, මා කළ පළමු පහය මේ ය” යි ඔහු කී ය. එවිට කුමාර තෙමේ “මින් පසු මොහු අනෙකකු උදෙසා මෙබඳු පහයක් කළේ නම්, මාගේ මේ පහයෙහි වටිනා කම පහත වැටෙන්නේ ය. එහෙයින් අද හෙට ම මොහු මරා දැමිය යුතු ය. නැත, අත් පා හෝ කපා දැමිය යුතු ය. ඇස් හෝ උදුරා දැමිය යුතු ය. එවිට මොහුට අන් පහයක් කරන්නට නො පිළිවනැ” යි සිතා තම යහළු වූ සඤ්ජිකා පුත්‍රයාහට ඒ බව කී ය. ඔහු එයින් තැති ගෙණ “මේ රටේ ඉන්නා දක්‍ෂ වඩුවා මෙ තෙමේ ය. කුමාරයා මොහු මරවනු ඒකාන්ත බව පෙණේ, මොහු මැරිම රටට බලවත් පාඩුවෙකි. මා දැන දැන මොහු මරන්නට ඉඩ තැබීම නො සුදුසු ය. මොහු මරණයෙන් ගැළවිය යුතු ය” යි සිතා වඩුවා වෙත ගියේ ය. ගොස් “පහයේ වැඩ අවසානදැ” යි ඇසී ය. “අවසානය” යි වඩුවා කී ය. එවිට සඤ්ජික තෙමේ “තමුසේ මරවන්නට කුමාරයාගේ අදහසක් තිබේ. එයින් ගැලවී ගන්නා සැටියක් සිතා ගන්නැ” යි දැන් වී ය. වඩු නෙමේ “මෙය මට දැන්වීමෙන් මහත්මයා කළේ ලොකු උපකාරයෙක්, වේවා, මේ ගැණ කරණ සැටි මම දනිමි” යි නිහඩ විය.
එක් දවසක් කුමාර තෙමේ වඩුවා වෙත ගොස් “පහයෙහි වැඩ අවසාන දැ” යි ඇසී ය. එවිට “දේවයන් වහන්ස! වැඩ අවසන් නැත. කළ හරියට වඩා කරන්නට ඉතිරි හරිය බොහෝ ය” යි කී ය. “ඉතිරි වැඩ මානවාද?” යි ඇසූ විට “දේවයන් වහන්ස, සොයා බලා කියන්නම්, තව ලී කොටස් කිහිපයක් වුවමනා ය. ඒවා ගෙන්වා දෙන්න” යි වඩුවා දන්වා සිටියේ ය. “වුවමනා ලී කොටන් මොනවා දැ?” යි කුමරු ඇසූවිට “වඩා වටිනා හර ඇති ලී දැන් වුවමනා නැත. දැනට වුවමනා කරන්නේ අරටු නැති සැහැල්ලු ලී” යි කී විට ඔහු ඒවා ගෙන්වා දුන්නේ ය. ඉක්බිති වඩුවා “දේවයන් වහන්ස! මින් පසු ඔබ වහන්සේ මෙහි නො ආ යුතු ය. කරනට ඉතිරිව ඇත්තේ ඉතා සියුම් කැටයම් ය. ඒවා කතා කර කර කළ හැකි නො වේ. කා වත් බලා සිටිය දී ඒ කරණු අපහසු ය, හිත එක් තැන් කොට ගෙණ ඒ කළ යුතු ය. එන්නට ඉඩ දිය යුත්තේ කෑම ටික ගෙණ එන අපේ පවුලට පමණ ය. එහෙයින් වැඩ අවසන් කොට මා දන්වන තුරු වැඩපලට යාපත් නො වනු මැනවැ” යි කී ය. කුමරු ද එය පිළිගත්තේය.
ඉක්බිති වඩු තෙමේ මඩුවෙහි ම කාමරයකට වැද ලී ශුද්ධ කොට කපා කොටා අඹු දරුවන් ද ඇතුළත හිඳුවා ගෙණ යා හැකි තරමේ අහස්යානයක් සාදා නිම කොට කෑම ගෙණ ආ අඹුට “ගෙයි ඇති විකිණිය හැකි සියලු බඩු මුට්ටු විකුණා දමා, රන් රිදී මුතු මැණික් තිබෙන හරියකුත් ගෙණ එව” යි කීයේ ය. රජකුමරුද වඩුවා ගෙයින් එලියට නො බනා බැවින් ගෙය වට කොට රැකවල් තැබුයේ ය. වඩුවා යන්ත්‍රයේ සියලු වැඩ අවසන් කොට දූ පුතුන් සමග අඹු ගෙන්වා ගෙණ උදය කා බී අඹුදරුවන් අහස් යානයට නංවා ජනෙල් කවුළුවකින් එලියට බැස අහසට නැග ගියේ ය.
“දෙවයන් වහන්ස, අන්න, අන්න, වඩුරාළ පැන යා” යි බොහෝ දෙන කෑ කෝ ගසමින් උඩ බලා සිටිය දී ම වඩු තම් අහසින් ගොස් හිමාලය වනයෙහි බැස, නුවරක් ඉදි කොට එහි රජ විය. හේ කාෂ්ටවාහන නම් වූයේ ය. බෝධිරාජ කුමාර තෙමේ ගෙ වැදීමේ මඞ්ගල්‍යය සඳහා ය බුදුරජුන් ආරාධනා කොට, පහය සිවුදෑ ගඳින් පිරිබඩ කොට, පළමු එලිපත සිට රෙදි පාවාඩ ඇතිර වූයේ ය. කුමරුට පුත්තු නැත. එහෙයින් ඔහු “මට පුතෙක් හෝ දුවක් ලැබේ නම්, බුදුරජානන් වහන්සේ මේ පාවාඩා උඩින් වඩිනා සේකැ” යි සිතමින් හුන්නේය. කුමරු බුදුරජානන් වහන්සේ ගෙට වැඩි කල්හි දණ බිම ඔබා වැඳපාත්‍රය ගෙණ “ස්වමින් වහන්සේ ගෙට වඩිනා සේක්වා” යි ආරාධනා කෙළේ ය. එහෙත් උන්වහන්සේ ගෙට නො වැඩි සේක. නැවතත් ආරාධනා කළේ ය. එ වේලෙහි උන්වහන්සේ අනඳ තෙරුන් දෙස බැලූහ. අනඳ තෙරණුවෝ බුදුරජුන් තමන් දෙස බැලූ බැල්මෙන් පාවාඩ උඩින් නො වඩිනා බව දැන “පාවාඩ හකුළා දමන්න, බුදුරජානන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිනා සේක, උන්වහන්සේ පශ්චිම ජනතාව ගැණ බලන සේක. එහෙයින් පාවඩ හකුළා දමන්නැ” යි කීහ.
රජකුමරු ද පාවාඩ හකුළුවා බුදුරජුන් ගෙට වැඩම කරවා වඩා හිඳුවා කැඳ අවුලුපතින් සතප්පා පසෙකට වී හිඳ වඳිමින් “මම බුදුරජානන් වහන්සේගේ දායකයෙක් වෙමි. තෙ වරක් ම සරණ ගිය උපාසකයෙක්මි. එක් වරක් සරණ ගියෙම් මව්කුසේ දී ය. දෙවන වර සරණ ගියෙම් ගැටවරකාලයේ ය. තෙවන වර සරණ ගියෙම් නුවණැති කාලයේ ය. එසේ වූ මා විසින් ඇතිර වූ පාවාඩ උඩින් බුදුරජානන් වහන්සේ නො වැඩි සේක. කුමක් නිසා බුදුරජානන් වහන්සේ එසේ කළ සේක් දැ” යි ඇසී ය. එකල්හි උන්වහන්සේ “කුමාරය! ඔබ කුමක් සිතා පාවාඩ ඇතිර වූ වහු දැ?” යි ඇසූහ. “ස්වාමීනි! මම පාවාඩ ඇතිර වූ යෙම් මට පුතෙක් හෝ දුවක් ලැබේ නම් බුදුරජානන් වහන්සේ පාවාඩ උඩින් වඩිනු ඇතැයි සිතා යි” කී විට “කුමාරය! මම ඒ නිසා ම පාවාඩ නො පා ගන්නට අදහස් කළෙමි” යි උන්වහන්සේ වදාළ සේක. “ස්වාමීනි! කිම, මම පුතකු හෝ දුවක නො ලබම් ද? මට ඒ පිණිස වාසනාවක් නො වේ දැ යි?” ඇසී ය. “ඔව්, ඔබට ඒ පිණිස වාසනාවක් නැත, පුතෙක් හෝ දුවක් නො ලැබේ යි වදාළ විට “කුමක් නිසා එසේ නො ලැබේ දැ?” යි ඇසී ය. ඔබ එක් ජාතියක දී අඹුව හා එක් ව මහා අපරාධයක් කළහු ය. ඒ අපරාධය නිසා” යි වදාළ කල්හි “ස්වාමීනි! එය වදාරණු මැනවැ” යි ආරාධනා කළේ ය.
ඉක්බිති බුදුරජානන් වහන්සේ “කුමාරය! පෙර එක් ජාතියක සිය ගණනක් මිනිස්සු ලොකු නැවකින් මුදු ගියහ. නැව මූද මැද දී බිඳී ගියාය. එකල්හි ඔබ දෙ මහල්ලෝ පුවරුකඩක එල්ලී ගොඩබිමකට පැමිණියහු ය. නැවෙහි සිටි අන් හැම දෙන දියෙහි ගැලී නටහ. දෙ මහල්ලන් ගොඩ බට බිම, කුරුල්ලන්ගේ වාසභූමියක් වූ ය. එහි කුරුල්ලෝ අතුරු සිදුරු හා නැති ව හුන්හ. ඒ වේලෙහි ඔබ දෙපොල බඩසයින් පළුවෝ කන්නට දෙයක් නො ලැබ කුරුලු බිත්තර ගෙණවුත් ගිනි අඟුරුවල ලා තබා කෑහ. කුරුලු පැටවුන් අල්ලා තම්බා කෑහ. ලොකු කුඩා කුරුල්ලන් තම්බා කෑහ. එක් අවස්ථාවකවත් ඔබ දෙ පොලට සංවේගයක් භයෙක් නො උපනැ” යි පෙර කළ ඒ අපරාධය ප්‍රකාශ කොට, “කුමාරය! ඔබ එදා බිරිද හා සමග සිහි නුවණින් ක්‍රියා කළහු නම්, තුන් වයසින් එක් වයසක දී ඔබට පුතකු හෝ දුවක ලැබෙන්නට ඉඩ තුබුනේ ය. ඔබ දෙපොල අතුරෙන් එකෙක් වත් එසේ වී නම් ඔහු නිසා වත් පුතකු හෝ දුවක ලැබීමට හැකියාවක් නො වන්නේ නො වේ. කුමාරය! තමාට තමා ප්‍රියයෙක් වේ නම්, තමාට තමා හිත වැඩ පතා නම් ඔවුන් විසින් තුන් වයසේ දී ම තෙමේ රැකිය යුතු ය. එසේ නො හැකි වී නම්, තුන් වයසින් එක් වයසක දී නමුත් තෙමේ රැකිය යුතු ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්තානඤ්චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං,
තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතොති.
ඉදින් තමා (තමාට) ප්‍රිය යි දන්නේ නම්, ඒ තමා සුරක්‍ෂිත කොට රකින්න්නේ ය. නුවණැති පුරුෂ තෙමේ තුන්වයසින් එක් වයසකදී තමන් රකින්නේ ය.
අත්තානං චෙ පියං ජඤ්ඤා = ඉදින් තමා ප්‍රිය යි දන්නේ නම්.
අත්තා යි පංචස්කන්‍ධයට නමෙකි. හේ ස්ථිරපදාර්‍ත්‍ථයෙක් නො වේ. නො නැසෙනසුලු පදාර්‍ත්‍ථයෙක් නො වේ. ලැබිය හැකි පදාර්‍ත්‍ථයක් නො වේ. එහෙයින් “රූපං අනත්තා, වේදනා අනත්තා, සඤ්ඤා අනතතා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා” යි වදාළ සේක.
අත්තා යනු ස්ථිර නම්, නො නැසෙන සුලු නම්, ලැබිය හැකි නම්, “රූපං ව හිදං භික්ඛවෙ! අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය” යනු කා වදාරණ සේක. “මහණෙනි! මේ රූපය ආත්ම වී නම්, තමා යි ගත යුතු පදාර්‍ත්‍ථයක් ඇත්තේ වී නම්, මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ ය” යනු අරුත් ය. සෙසු ස්කන්‍ධයන් ගැණ කිය යුත්තේ ද මෙසේ ය.
රූපාදීකස්න්‍ධයන් කෙරෙහි “උපන් ස්කන්‍ධයෝ, සිටීමට පැවැත්මට නො පැමිණෙත්වා, සිටීමට පැමිණියෝ නො දිරත්වා, දිරීමට පැමිණියෝ නො බිඳෙත් වා, හට ගැණීමෙන් නැසී යෑමෙන් නො පෙළෙත්වා” යනාදීන් දෙව් බඹ මිනිස් ඈ කිසිවකුගේ වශීහාවයෙක් නැත්තේ ය. රූපාදි ස්කන්‍ධයෝ, දෙව් බඹ මිනිස් ඈ කිසිවකුගේ ඊශ්වරත්වය. පිළිගන්නෝ නො වෙති. අධිපතිභාවයට යටත් වූවෝ නො වෙති. ස්කන්‍ධයන් කෙරෙහි කරන්නා ය, විඳින්නා ය, අධිෂ්ඨායකයා ය යනාදී වූ මොවුන්ගේ පැවැත්මෙක් නැත්තේ ය. එහෙයින් රූපාදීස්කන්‍ධයන් කෙරෙහි වූ ආත්ම ව්‍යවහාරය ඇති සැටි ගෙණ ඇණවුනෙක් නො වේ. පංචස්කන්‍ධයෙහි භවයෙන් භවයට අතර නො තබා යන සුවදුක් අනුභව කිරීමෙහි අධිපති කම් කරණ ආත්මයෙක් තමා යි ගැණෙන්නෙක් ඇතැ යි ගෙණ පැණවූනෙක් නො වේ. සාමාන්‍ය ලෝකව්‍යවහාරය අනුව ගොස් ලෝකයාගේ අවබෝධයට පහසු වනු පිණිස පැණවුනෙක් වේ. එහෙයින් පංචස්කන්‍ධයෙහි භවයක් පාසා දිගින් දිගට අත්වැල් බැඳ යන ආත්මයක්, තමා යන්නෙක් ස්ථිර පදාර්‍ත්‍ථයක් ඇතැ යි නො ගත්තෝ ය.
මෙහි චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය ධර්‍මයන් හා රූපාදි ආලම්බනයන්ගේ ගැටීම් හැපීම් හේතුවෙන් උපදනා චිත්තරාශියක් හා, ඒ හා එකට ඉපිද නස්නා දෙපණස් චෛතසික ධර්‍ම කෙනෙක් ද කම්මප්පච්වය - ආරම්මණප්පච්චය - සහජාතප්පච්චය යනාදී වූ ප්‍රත්‍යධර්‍මයන්ගේ ආනුභාවයෙන් බලයෙන් ඉපිද නස්නෝ වෙති. ක්‍ෂණයක් පාසා ඉපද නැසී යන සුලු චිත්ත චෛතසික ධර්‍ම හැර, අන් කිසි ස්ථිර ආත්මයෙක් තමා යන්නෙක් මෙහි නැත. ඇත්තේ හේතුඵල පරම්පරා සම්බන්‍ධයෙකි. මේ තැන ඉතා සියුම් ය. තේරුම් ගැණීම පහසු නො වේ. එහෙයින් ලෝකය නානා තරාතිරමේ ආත්මවාද ඉපද වූයේ ය. දිගින් දිගට පවත්නා ආත්මයක් ඇතැ යි ගත්තේ ය.
අතීත ජාතියෙහි කරණ ලද කුශලාකුශලාදි කර්‍මයන්ගේ බලයෙන් පහළ වූ ස්කන්‍ධායතන ධාතූහු එහිදී ම නිරුද්ධ වී යන්නාහ. ඒ අතීත කර්‍මයන්ගේ හේතුවෙන් ම මේ අත්බවේ දී අන්‍ය වූ ම ස්කන්‍ධායතන ධාතුහු පහළ වෙත්. අතීත භවයෙන් මේ භවයට ආවා වූ එක ම ධර්‍මයෙක් නැත්තේ ය. මේ අත්බවේ දී කර්‍මයන්ගේ හේතුවෙන් උපන් ස්කන්‍ධාදීහු මෙහි ම නිරුද්ධ වෙති. පුනර්‍භවයෙහි අන්‍ය වූ ම ස්කන්‍ධාදීහු හට ගන්නාහු ය. මේ වර්‍තමාන භවයෙන් පුනර්‍භවයට එක් ධර්‍මයකුත් නො යන්නේ ය.
ගුරුවරයා සිය මුවින් කරණ හැදෑරීම අතැවැසියාගේ මුව තුළට නො ද වදියි. එහෙත් ඒ හේතුවෙන් අතවැසියාගේ මුවෙහි හැදෑරීම නො පවත්නේ ද නො වේ. දූතයා විසින් පානය කරණ ලද මැතුරූ දිය රෝගියාගේ කුස තුළට නො ද පිවිසෙයි. එහෙත් ඒ හේතුවෙන් රෝගීහුගේ රෝගය නො සන්සිඳෙන්නේ ද නො වේ. මුහුණෙහි කරණ රැවුලු කැපීම් ඈ ලීලා විලාස සැරසිලි මූණ බලන කන්නාඩි ආදියෙහි පැමිණෙන වැටෙන මුව පිළිබිඹුවෙහි නො වදි යි. නොවැටෙයි. එහෙත් ඒ හේතුවෙන් ඒ මුව පිළිබිඹුවෙහි රැවුල කැපීම් ඈ ලීලා විලාස සැරසිලි නො පෙනෙනුයේ ද නො වේ. එක් පහන් වැටියෙක දැල්වෙන පහන් සිළක් අන් පහන් වැටියකට නො ය යි. එහෙත් ඒ හේතුවෙන් එහි පහන් සිළක් නො දැල්වෙන්නේ ද නො වේ.
එ පරිද්දෙන් ම අතීතභවයෙන් මේ භවයට, මේ භවයෙන් පුනර්‍භවයට, කිසි ස්කන්‍ධයෙක් නො යන්නේ ය. අතීතභවයෙහි ස්කන්‍ධායතන ධාතුන්ගේ හේතුවෙන් මෙහි ද, මෙහි වූ ස්කන්‍ධායතන ධාතුන්ගේ හේතුවෙන් පුනර්‍භවයෙහි ද ස්කන්‍ධායතනධාතූහු නො උපදිත්. මේ මෙහි පාලිය. “යෙ අතීතෙ කම්මපච්චයා නිබ්බත්තා. ඛන්‍ධා තෙ තත්‍ථෙව නිරුද්ධා, අතීනකම්මපච්චයා පන ඉමස්මිං භවෙ අඤ්ඤෙ ඛන්‍ධා නිබ්බත්තා, අතීතභවතො ඉමං භවං ආගතො එකධම්මොපි නත්‍ථි. ඉමස්මිං භවෙ කම්මපච්චයෙන නිබ්බතා ඛන්‍ධා නිරුජ්ඣිස්සන්ති පුනබ්භවෙ අඤ්ඤෙ නිබ්බත්තිස්සත්ති. ඉම්මහා භවා පුනබ්භවං එකධම්මොපි න ගමිස්සති. අපි ච ඛො යථා ආචරියමුඛතො සජ්ඣායො අන්තේවාසිකස්ස මුඛං පවිසති, න ච තප්පච්චයා තස්ස මුඛෙ සජ්ඣායො න වත්තති. න දූතෙන මන්තොදකං පීතං රොගිනො උදර පවිසති. න ච තස්ස තප්පච්චයා රොගො න වූපසම්මකි, න මුඛෙ මණ්ඩනවිධානං ආදාස තලාදීසු මුබනිමිත්තං ගච්ඡති. න ච තත්‍ථ තප්පච්චයා මණ්ඩනවිධානං න පඤ්ඤායති. න එකිස්සා වට්ටියා දීපසිඛා අඤ්ඤං වට්ටි සඞ්කමති, න ච තප්පච්චයා දීපසිඛා න නිබ්බන්තති. එවමෙව න අතීතභවතො ඉමං භවං, ඉතො වා පුනබ්භවං කොචි ධම්මො සඞ්කමති. න ච අතීත භවෙ ඛන්‍ධායතනධාතුප්පච්චයා ඉධ, ඉධ වා ඛන්‍ධායතනධාතුපච්චයා පුනබ්භවෙ ඛන්‍ධායතනධාතුයො න නිබ්බත්තන්ති” යනු.
අතීත හේතූන් හා වර්‍තමාන ඵලධර්‍මයන් ගේ ද වර්‍තමාන හේතුන් හා අනාගත ඵලධර්‍මයන්ගේ ද සම්බන්‍ධය දිගින් දිගට හේතුඵල වශයෙන් පැවැත්ම නුවණමදයන්ට පෙනෙනුයේ දිගින් දිගට භවයෙන් භවයට යන ස්ථිර වු අවිනශ්වර වූ ආත්මයක් සේය. එහෙයින් ඔවුහු “ස්ථිර ආත්මයෙක් නො වේ නම්, බුදුවන්නකු ඇති විය නො හැකි ය. පව් කොට අපායෙහි උපදින්නකු නො විය හැකි ය. පින් කොට සුගතියෙහි උපදින්නකු නො විය හැකි ය. එහෙයින් ආත්මයෙක් ඇත්තේ ය” යනා දී වූ මිථ්‍යාවාද උපදවා ලෝකය අපායයෙහි හෙලති.
“භවයෙන් භවයට යන ආත්මයෙක් පුද්ගලයෙක් වේ දැ?” යි ඇසූ විට බුදුරජානන් වහන්සේ වදාළෝ කර්‍මශක්තිය මුත් ආත්මයක් නැති බව ය. ඒ කර්‍මශක්තිය ද නිත්‍ය නො වේ. ඒ ද වෙනස් වන සුලු ය. එහෙයින් ඒ ද ආත්මයෙක් නො වේ. අතීත හේතුන්ගේ හා වර්‍තමාන ඵලයන්ගේ වර්‍තමාන හේතුන්ගේ හා අනාගත ඵලයන්ගේ පරම්පරා සම්බන්‍ධය කොතරම් දුරට හැනී පවතී ද යනු. “න ච සො න ච අඤ්ඤො” යනාදි දේශනාවන්ගෙන් පැහැදිලි වේ. වර්‍තමාන සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බැවින් හා අනාගත සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බැවින් හා අනාගත සත්ත්‍වයා වර්‍තමාන හේතුන්ගේ ඵලය බැවින් හා “න ච සො න ච අඤ්ඤො” යනු වදාළ සේක. ඒ මුත් එක් සත්ත්‍වයකු දිගට යන බව නො වදාළ සේක. වර්‍තමාන සත්ත්‍වයා අතීත සත්ත්‍වයා නො වන බව ද කර්‍මයෙන් හටගත් ඵලය කෙරෙහි (සත්ත්‍වයා කෙරෙහි) ඒක වේගය නිසාම නොයෙක් උස්මිටිකම් පෙරපුරුද්ද ඇතිවන බව ද වදාළ සේක. ඒ මුත් ස්ථිර ආත්මයෙක් ඇතැයි ගෙණ ආත්මදේශනාව නො කළ සේක.
“කම්මා විපාකා වත්තන්ති විපාකො කම්මසම්භවො,
තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තති”
කර්‍මය නිසා විපාකයෝ පවතිත්. විපාකය කර්‍මයෙන් හට ගත්තේ ය. එහෙයින් නැවත භවය වේ. ලෝකයෙහි පැවැත්ම මෙසේ ය. දිගට යන ආත්මයෙක් නැත්තේ ය.
“කම්මස්ස කාරකො නත්‍ථි විපාකස්ස ච වෙදකො,
සුද්ධධම්මා පවත්තන්ති එවෙතං සම්මදස්සනං”
කර්‍මය කරන්නෙක් නැත. එසේ ම විපාකය විඳින්නෙක් නැත. ශුද්ධ වූ ප්‍රත්‍යයප්‍රත්‍යයුත්පන්න ධර්‍මයෝ ම පවත්නාහ. මේ වනාහි තත්ව දර්‍ශනය යි. ස්ථිර වූ ආමයෙක් ඇතැ යි ගැණු ම මිථ්‍යාග්‍රහණයෙක් වේ.
කරුණු මෙසේ බැවින් බුදුරජානන් වහන්සේ ආත්මයක් ගෙණ කිසි දේශනාවක් නො කළ සේක.
බුද්ධදේශනා තොමෝ සම්මුතිදේශනා - පරමාර්‍ත්‍ථදේශනා යි ද වැදෑරුම් ය. එහි ලෝකව්‍යවහාරය නො ඉක්මවා ලෝවැස්සා විසින් ඒ ඒ පදාර්‍ත්‍ථවිෂයයෙහි පණවා ගත් ව්‍යවහාරය බැහැර නො කොට කරණ දේශනාව සම්මුතිදේශනා නම්. රූපාදී ස්කන්‍ධයන් කෙරෙහි සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී ව්‍යාවහාරයෝ ලෝකයා විසින් පණවාගන්නා ලද්දෝ ය. ලෝවැස්සාට පහසුවෙන් වැටහෙනු පිණිස බුදුවරයෝ ඒ ව්‍යවහාරයන් ගෙණ ධර්‍මදේශනා කරති.
සම්මුතිය නිතර වෙනස් වන සුලු ය. පෙරළෙන සුලු ය. පඨවී ආදී වූ ශුද්ධාෂ්ටකරූපයකින් කැරුණු එකකට ලෝකයා විසින් ස්වර්‍ණ යි පැණවුමෙක් කැරුණේ ය. . ස්වර්‍ණ යනු පැණවුමෙකි. එයින් කරණ ඔටුන්න රන් ඔටුන්න යි ද, එය බිඳ හැර නැවත එයින් ම නිපද වන කඩුව, රන් කඩුව යි ද, එය බිඳ නැවත එයින් ම තනන කරඬුව රන් කරඬුව යි ද, යි මෙසේ එක ම ද්‍රව්‍යය නන් වැදෑරුම් සම්මුතීන්ට පෙරළින එය බිඳ එයින් අන් කුමක් කරණ ලද්දේ ද, ඒ හැම ලෝකසම්මුතිය අනුව වෙනස් වේ.
නො පෙරළෙන නො වෙනස් වන ඇති තතු ගෙණ කරණ දේශනාව පරමාර්‍ත්‍ථ දේශනා නම්. සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී ව්‍යවහාර හැර දමා මේ ව්‍යවහාරයන්ගෙන් හඳුන්වන ස්කන්‍ධ ධාතු ආයතනාදී වූ තත්වාර්‍ත්‍ථ දක්වත කතා ය පරමාර්‍ත්‍ථ දේශනා. බුදුරජුනට විෂය වනුයේ ද මේ ස්කන්‍ධ ධාතු ආයතනාදී අර්‍ත්‍ථය ම ය. එයිනුදු ස්කන්‍ධාදී වූ අර්‍ත්‍ථය පරමාර්‍ත්‍ථය නම් වේ. බුදුවරයෝ දහම් තතු ඉගැන්වීම සඳහා පරමාර්‍ත්‍ථ දේශනාව යොදා ගනිත්.
තව ද සම්මුතිය හැර ඇතැම්, කෙනකුන්ට පරමාර්‍ත්‍ථය ඉගැන්වීම අපහසු ය. එහෙයින් ලෝකසම්මුතිය නො හැර දහම් දෙසූ සේක.
“පඤ්ඤත්ති අනතික්කම පරමත්‍ථො පකාසිතො,
සමඤ්ඤං නාතිධාවෙය්‍ය තස්මා අඤ්ඤොපි පණ්ඩිතො,
පරමත්‍ථං පකාසෙන්තො සමඤ්ඤං නාතිධාවයෙ”
යි අටුවාව කී ය. කරුණු අටක් නිසා මෙසේ දේශනා කරත්. හිරි ඔතප් දැක්වීම, කර්‍මය තමන් අයත්බව දැක්වීම, පුද්ගලයන් පිළිබඳ ඒ ඒ ක්‍රියා දැක්වීම, ආනන්තර්‍ය්‍යයකර්‍ම දැක්වීම, බ්‍රහ්මවිහරණ දැක්වීම, පූර්‍වෙනිවාසය දැක්වීම, දක්‍ෂිණාවිශුද්ධිය දැක්වීම, ලෝකසම්මුතිය නො හැරීම යන මේ ය ඒ කරුණු අට.
පරමාර්‍ත්‍ථ නම්, වෙනස් වනුයේ නො වේ. වෙනස් කරණු ද නො හැකි ය. ස්වර්‍ණ යන සම්මුතියෙහි පරමාර්‍ත්‍ථයක් තිබේ. ඒ නම්, පෘථිවි - ආපස් - තේජස් - වායු - වර්‍ණ - ගන්‍ධ - රස - ඔජස් යන ශුද්ධාෂ්ටකරූපය යි. මෙය හැම ද්‍රව්‍යයෙකම ඇත්තේ ය. ඒ ඒ ද්‍රව්‍ය කෙරෙහි ලෝකයා විසින් පැණ වෙන සම්මුතිය වරින් වර වෙනස් වන්නේ ය. ශුද්ධාෂ්ටකරූපය වෙනස් නො වේ.
සත්ත්‍ව පුද්ගල ස්ත්‍රී පුරුෂ ආත්මාදී විවිධ ප්‍රඥප්තීන්ට තැන්වනුයේ චිත්ත චෛතසිකධර්‍ම හා හැනුනු ඒ මේ ශුද්ධාෂ්ටකරූපය ම වේ.
ඒ මුත් පරමාර්‍ත්‍ථ විසින් අනෙක් රිදීයෙක් ලෝහයෙක් තඹයෙක් මැටියක් කැටයෙක් දඬුවෙක් සත්ත්‍වයෙක් පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ආත්මයෙක් විඳින්නෙක් කරන්නෙක් නැත්තේ ය. ලෝකයාගේ ස්වර්‍ණ රජතාදී වූ විවිධ ප්‍රඥප්තින්ට යටත් වූ මේ ශුද්ධාෂ්ටකරුපය උස් පහත් ව පෙණෙන්නේ ය ස්වර්‍ණය රජතයට වඩා උසස් ය රජතය ස්වර්‍ණයට වඩා පහත් ය. මිනිසා තිරිසනාට වඩා උසස් ය. තිරිසනා මිනිසාට වඩා පහත් ය. බ්‍රහ්මයා දෙවියාට වඩාත් උසස් ය. දෙවියා බ්‍රහ්මයාට වඩා පහත් ය. එහෙයින් මෙහි පෙණෙන වෙනස් බව නාමධාතුන් හා එක් වූ ශුද්ධාෂ්ටකරූපය පිළිබඳ උස් පහත් බවය. මේ හැම තැන ශුද්ධාෂ්ටක රූපයාගේ නම් වෙනසෙක් නැත්තේ ය.
දහම් තතු මෙසේ බැවින් බුදුරජානන් වහන්සේ සත්ත්‍වපුද්ගලාදීන් කෙරෙහි පරමාර්‍ත්‍ථ විසින් ආත්මව්‍යාවහාරයක් නො කළ සේක. කළ සේක් ලෝකාව්‍යවහාරය නො ඉක්මවීම ය. උන්වහන්සේ පරමාර්‍ත්‍ථ විසින් ආත්ම නම්, පංචස්කන්‍ධය යි වදාළ සේක ආත්ම යනු සත්ත්‍වපුද්ගලාදීන් කෙරෙහි ලෝකයා උපදවා ගත් ව්‍යවහාරය වූ බැවින් ඔවුන්ගේ සුඛාවබෝධය සලකා ම සත්ත්‍ව ශරීරයෙහි ආත්ම ව්‍යවහාරය කළ සේක. සත්ත්‍වයා පිළිබඳ භයවක් පාසා දිගින් දිගට යන ස්ථිර ආත්මයෙක් ඇතැ යි නො ද පිළිගත් සේක.
‘අත්තා හි කිරදුද්දමො’ යනාදී තැන්හි සිතෙහි, ‘අත්තනො ආසනෙයෙව අත්තානං’ යනාදී තැන්හි කයෙහි එන අත්ත ශබ්දය මෙහි ආයේ සිතෙහි ය. අත්ත (ආත්මන්) ශබ්දය යන්න, ඍති - බුද්ධී -ස්වභාව - බ්‍රහ්ම - දෙහ යන අරුත්හි ඒය යි අමර කෝෂයෙහි ද, මනස් යන අරුත්හි ඒ ය යි මේදිනී කෝෂයෙහි ද, පුත්‍ර අරුත්හි ඒ ය යි ශබ්දරත්නාවලියෙහි ද, ජීව අර්‍කහුතාශන යන අරුත්හි ඒ ය යි හේමචන්‍ද්‍ර කෝෂයෙහි ද කියන ලද්දේ ය.
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං = එය හොඳින් රකින්නේ ය. රැකිය යුතුය.
නං යනු ‘අත්තානං’ යනු සඳහා යෙදුනේ ය. එහෙයින් ‘නං’ යන්නෙන් කියවෙනුයේ ආත්මය යි. සිත යි. ආත්මය තමාට ප්‍රිය වේ ය යි යමෙක් සලකන්නේ නම්, දන්නේ නම්, ඔහු ඒ තමන් ආත්මය යි ගන්නා ලද්ද, මැනවින් ඉතා හොඳින් රකින්නේ ය. නො ද එසේ නම්, ආත්මය ප්‍රිය යි ගැනීමෙන් සැලකීමෙන් වැඩක් නො වන්නේ ය.
තිණ්ණං අඤ්ඤතරං යාමං = යාම තුනින් එක්තරා යාමයෙක.
බුදුරජානන් වහන්සේ තමන් ධර්‍මෙශ්වර බැවින්, ධර්‍මදේශනයෙහි දක්ෂ බැවින් තුන් වයසින් එක්තරා වයසක් මෙහි යාම යි දැක්වු සේක.
මිනිස් වයස ප්‍රථම මධ්‍යම - පශ්චිම යි තුන් කොටසක් කොට බෙදුනේ ය. ඉන් එක් කොටසක් යාම යි දැක්වින. දවසෙහි සයෙන් කොටසෙක් හෝ අටෙන් කොටසෙක් යාම යි කියනු ලැබේ. පහාර යි මෙයට තවත් නමෙකි. ‘පහාරා යාමසඤ්ඤිතො’ යනු කෝෂයි. මනුෂ්‍යයකු මනුෂ්‍යයන් අතර සම්පූර්‍ණයෙන් ජීවත් විය යුතු කාලය ඒ ඒ කාලයන්හි මිනිසුන් අතර පහළ වන සුචරිත දුශ්චරිත අනුව එක්සිය විස්සෙක, එක්සිය දසයෙක, අනූවෙක, අසූවෙක, සැත්තෑවක, සැටෙක, යන ඈ ලෙසින් සාමාන්‍ය විසින් සම්මත ව ඇත්තේ ය. ඒ සම්මතය අනුව අද ජීවත් වන මිනිසකුගේ ජීවත්වීමේ කාලය බොහෝ සෙයින් සැට අවුරුද්දකින් හෝ සැත්තෑ අවුරුද්දෙකින් සීමිත කළ හැකි ය. ආදිකල්පික මනුෂ්‍යයන්ගේ ආයු කාලය අතිදීර්‍ඝ වූයේ ය. ඇතැම් කෙනක් කල්ප ගණනක් ජීවත් වූහ. එ දවස ඔවුන් අතර දුර්ගුණයෝ නො වූහ. ඔවුන් දීර්‍ඝායුස්කයන් වීමේ හේතුව ඒ ය.
සැට අවුරුද්දෙකින් සීමින මනුෂ්‍යයායුෂයෙහි මුල් විසි අවුරුද්ද ප්‍රථම වයස කොට, මැද විසි අවුරුද්ද මද්ධ්‍යමවයස කොට, පැසුළු විසි අවුරුද්ද පශ්චිමවයස කොට ගැණෙන්නේ ය. ප්‍රථමවයසෙහි ඇතුළත් මුල් විසි අවුරුද්ද ප්‍රථමයාමය වේ. මද්ධමවයසෙහි ඇතුළත් මැද විසි අවුරුද්ද මද්ධ්‍යම යාමය වේ. පශ්චිමවයසෙහි ඇතුළත් පැසුළු විසි අවුරුද්ද පශ්චිම යාමය වේ. මේ කියූ තුන් යාමයෙහි ම ආත්මය තමාට ප්‍රිය යි සලකන්නහු විසින් ඒ රැක ගත යුතු ය. යමකුට යම් ලෙසකින් දෙ යාමයෙක්හි ම ආත්මය රැක ගැණීමට අවස්ථා නො වූ නම් එක් යාමයෙක්හිවත් ඔහු විසින්, ආත්මය රැක ගත යුතු ය. තුන් යාමයෙන් එක් යාමයෙක දී වත් ආත්මය රැක ගත යුතු ය යනු, එක් යාමයක් ම ආත්මාරක්‍ෂාවට වෙන් කරණු සඳහා වදාරණ ලද්දේ නො වේ. තුන් යම ම හෙවත් තුන් වයස ම එයට සුදුසු වේ. මෙසේ වදාළෝ මුල් මැදියම් දෙකෙහි අන් කටයුතු නිසා ආත්ම රක්‍ෂාවක් කර ගැණීමෙහි ඉඩ පහසුකම් නො වූයේ නම්, පැසුළු යම්හි ඒ කරගත යුතු ම ය යනු ගන්වනු සඳහා ය.
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො = නුවණැත්තේ රකින්නේ ය.
කුමක් රකින්නේ ද යත්, ආත්මය රකින්නේ ය. ගිහියෙක් “තමා රක්නෙමි” යි පහයෙක උඩු මහල්තලයෙහි හොඳට වැසූ දොර කවුළු ඇති කාමරයකට වැද සම්පූර්‍ණ ආරක්‍ෂා ඇති ව වසන්නේ ද, පැවිද්දෙක් මනා සේ වැසූ දොර කවුළු ඇති ලෙනක වසන්නේ ද තමා නො රකීම ය. දොර අගුල් ලා රැකවල් ඇති ව සිටිය ද ගිහියාත් නො රැකෙන්නේ ය. පැවිද්දාත් නො රැකෙන්නේ ය. ශක්ති වූ පරිදි දන් සිල් ඈ පින්කම් කරණ ගිහියාත්, වත්පිළිවෙත් කරණ බණ දහම් ඉගෙන කමටහන් වඩන දවස නො හැර වත් පිරිත් දෙසන පැවිද්දාත් තමා රක්නේ නම් වේ.
තුන් වයසෙහි ම තමන් නො රැකියහැකි වුවත්, නුවණැති පුරුෂ තෙමේ මෙලෙසින් දන් සිල් ඈ පින්දම් කරමින් තමා රක්නේම ය. මුල් වයසෙහි කෙළි සෙල්ලම්වල යෙදී වසන ගිහියකුට කුසල් කරන්නට ඉඩ පහසු නො වුයේ නම්, ඔහු විසින් මැද වයසෙහි දී නොපමාව කුසල් දහම් කර ගත යුතු ය. අඹුදරුවන් රැකීම් ඈ කටයුතු බොහෝ බැවින්, මැද වයසෙහිදී ද ඒ නො හැකි වූයේ නම්, පැසුළු වයස්හි දී වත් පින් දහම් කර ගත යුතු ය. පැසුළු වයසේ දී වත් පින් දහම් කළේ නම්, හේ තමා රැක්කේ නම් වේ. එසේ ද නො කරන්නහුට ආත්මය නම් ප්‍රිය නො වේ. ඔහු ස්වකීය ආත්මය අපාය එක ම මාර්‍ගය කොට ඇත්තක් කරන්නේ ය.
පැවිද්දා මුල් වයසෙහි බණ දහම් උගන්නේ, උගත් බණ දහම් දරන්නේ, අනුනට උගන්වන්නේ, වත් පිළිවෙත් නො පුරණුයේ, භාවනාවෙහි පමා වනුයේ තම්, ඔහු මැදවයසෙහි දී මහණදම් කළ යුතු ය. මුල් වයසෙහි උගත් පර්‍ය්‍යාප්තියෙහි අර්‍ත්‍ථකථා විනිශ්චය, කාරණාකාරණ විචාරීම් ආදීයෙන් මැද වයසෙහි දී ද පමාව සිටියේ නම්, පැසුළු වයසෙහි දී මහණ දම් කළ යුතු ය. පැසුළු වයසෙහි දී වත් මෙසේ කළේ නම්, ඔහු නමින් රැකියේ නම් වේ. මෙසේ තුන් වයසින් එක වයසකත් මහණදම් නො කරන්නාහට, තෙමේ තමාට ප්‍රිය නො වේ. ඔහු පසු තැවුල්ලෙන් තමන් තවන්නේ ය.
ධර්‍මකීර්තිපාදයන් මේ කියූ සැටි. “ඉදින් ගිහිකෙනෙක් තමන් රකුම් හ යි සිතා මාලිගාවල යටිමාල් හැර මතුමාල් වලට නැගිලා ඉනුත් ගබඩා වලට වැද ආත්මාරක්‍ෂාව ඇති ව වෙසෙත් නමුත්, පැවිදිවරු භිත්ති හා දොරලි දොරබා ඇති ගලෙනක වෙසෙත් නමුත් සිතින් සන්හුන්කමක්! නැත්තෝ වූ නම ඌ තමන් රක්නා නම් නො වෙති. ගිහි වූවන් පවේ නො යෙදී බල වූ ලෙස දන් පින් කෙරෙත් නම්, පැවිදි වුවත් ධූරද්වයින් එක්තරා ධූරයෙක හා වත් පිළිවෙත යදී වෙසෙත් නම්, ඌ තමන් රක්නා නම් වෙති. තුන් වයස පුරා කට නො හෙතත් නුවණැත්තෝ එක් වයසෙක වුවත් තමන් රකිති. ඉදින් ගිහිහු පළමු වයසෙහි කෙළිනළුවෙහි ලොල් බැවින් පින් කට නුහුණ වූ නමුත්, මද්ධ්‍යම වයස වුවත්, පින් කළෝ නම් යහපත. ඉදින් මද්ධ්‍යම වයස දී අඹුදරුවන් රකිනා නිසා පින් කට නුහුණු වූ කෙළවර වයස දී වුවත් පින් කළ මනා ය. තුන් වයසින් එක් වයසක වුවත් පමා වූ නම් උන්ගේ ආත්මය උන්ට සතුරු වත් මුත් ප්‍රිය වූවා නම් නො වෙයි. මහණ වූවාහු පළමු වයස මාර්‍ගාධිගම ඵලාධිගම නිසා භාවනාවට පමා වූ නම් මද්ධ්‍යම වයස වුව නොපමාව මහණදම් කළෝ නම් යහපත. ඉදින් පළමු වයස උගත් පෙළ අර්‍ත්‍ථත් විනිශ්චයත් කාරණා කාරණත් විචාරීමෙන් මද්ධ්‍යම වයස ගියත් කෙළවර වයස වුවත් තමන්ට පිහිටක් සිතූ නම් යහපත. වයස් තුණ වුවත් දෙකක වුවත් එකෙක වුවත් නො පමා වීම කෙළවර වයසට සම්භ වී නම් තමන් රැක්කා නම් ම වෙති. එසේ කොට ගත නො හෙන්නවුන්ට අත්බැව ප්‍රිය නො වෙයි. තමන්ට සතුරෝ නම් තුමූ ම ය” යි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බෝධිරාජකුමාර තෙමේ සෝවාන් වී ය. ධර්‍මදේශනාව පැමිණ සිටි පිරිසටත් වැඩ සහිත වූ ය.
බෝධිරාජකුමාර වස්තුව නිමි.