11-9 ධනවතකු හිඟන්නකු වීම

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං

ජිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ.

(පැවිද්දට යෝග්‍ය වූ තරුණ වයස පැවිදි වැ ගෙණ) බඹසරවස් නො වැස, (නූපන් භොග උපදවන්නට ද උපන් භොග රක්නට ද යෝග්‍ය වූ) යෞවන වයසෙහි (කෘෂි වණික්කර්‍මාදියෙන් ලැබිය හැකි වූ) ධනය ලැබ නොගෙන, පමා වැ වුසූ අඥානයෝ දිය සුන් හෙයින් මසුන් නැති විලෙක මඬ පිට හිඳ තැවෙන, (ගොදුරු ඇති විලකට නැගී යන්නට බල නැති පත් වගුළ) මහලු කොස්ලිහිණියන් මෙන් තැවෙන්නාහ.

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං

සෙන්ති චාපා’තිඛිත්තා’ව පුරාණානි අනුත්‍ථුනං.

තරුණ වයසෙහි බඹසරවස් නොවැස, යොවුන් වයසෙහි ධනය නොසපයා, පමා වැ වුසූ අනුවණයෝ හරණ ලද සැර මෙන් (හෙවත් දුන්නෙන් විදිනා ලදු ව වළැ හුනු සැර හුනු තැන ම තිබී දිරා නස්නා මෙන්) (පෙරැ මෙසේ කෑම්හ, මෙසේ පූම්හ යන ආදීන්) පෙර වුන් සුව සැපතට සොස්මින් හොවිත්.

බරණැස් නුවර අසූ කෙළක් මතුව ඇති සිටුගෙයක් විය. ඒ ගෙට සිටියේ එක ම පුතෙකි. මේ මහත් ධනයට හිමියා වූයේද ඔහු ය. එහෙත් ඔහු කිසිත් ශිල්පශාස්ත්‍රයක් නො ද උගත්තේ ය. තුබූ ධනයෙහි මහත්කම බලා දෙමවුපියෝ ඔහුට කිසිවක් නො ද ඉගැන්වූහ. එහෙයින් ඔහු එහි එනුවර වැසි අනික් ධනවත් තරුණයන් හා එක් ව නැටුම් ගැයුම් ගී කියුම් උගත්තේ ය. මවුපියන්ගේ කැමැත්ත වූයේ ද, තම පුතුට නැටුම් ඉගැන්වීමට ය. එහෙයින් ඔවුහු ද එයට අනුබල දුන්හ. බරණැස් නුවර ශිල්පශාස්ත්‍රයනට, උත්පත්තිස්ථානය වූයේ, ධනවතුනට ද උත්පත්තිස්ථාන විය. මෙ දවස එහි සැලකිය යුතු තවත් සිටුගෙයක් වි ය. ඒ ද පොහොසත් ය. මෙ තරම් ම ධනවත් ය. ගමේ ගෙයි ධනය අයත් වූයේ, එක් දැරියකට ය. ඇයගේ මවුපියෝ ද ධනමදයෙන් මත් ව ඒ දැරියටත් කිසිත් ශිල්පශාස්ත්‍රයක් නො ද ඉගැන්වූහ. එහෙයින් ඕ තොමෝ ද නැටුම් ගී කියුම් උගත්තා ය. මේ සිටු කුමරු හා සිටු කුමරිය හා දෙ දෙන කරකාර බැඳුමේ නිසි වියට පැමිණියෝ, දෙ පස නෑයන්ගේ කැමැත්ත ලෙස ගෘහබන්‍ධනයට ඇතුළත් වුහ. ටික කලක් ගිය තැන මවිපියෝ කලුරිය කළහ. එයින් දෙ පැත්තක තිබූ ධනය එක් තැන් වි ය. පමණ විසින් ඒ ධනය දෙ අසූකෙළක් වූයේ ය.

සිටුපුත් තෙමේ දවසට තෙ විටක් රාජසේවාව පිණිස රජගෙට යයි. ඒ නුවරවැසි බේබද්දෝ මේ සිටුපුත් බේබද්දකු කොට තම බඩ පුරවා ගන්නට සිතූහ. ඔහු බැදි මස් හා ලුනු, ඇඳ සිටි රෙදිවලුවල ගැට ගසා, මුලපලාමුල් රැගෙණ සිටුපුත් එනු මග බලා සිටියහ. ඒ වේලෙහි සිටුපුත් ගෙට එන්නට මග බැස එන්නේ ය. බේබද්දෝ එන්නහු දැක රා, කට පුරා බී, ලුනු කටේ දමා මුලපලාමුලුත් කටින් ගෙණ ඉදිරියට පැමිණ “ආර්‍ය්‍යය! ඔබතුමෝ බොහෝ කලක් ජීවත් වහුවා, අපි ඔබතුමන්ට පින් වැඩෙන්නට කන්නට බොන්නට ඇත්තෝ වන්නෙමු” යි මහහඬින් කියා සිටියහ. සිටුපුත් ඒ අසා පසුපස එන මෙහෙකරු අතින් “මොවුන් බොන්නේ මොනවාද?” යි ඇසී ය. “සුරාය" යි හෙතෙමේ කී ය. “මොනව ද ඒ, හොඳ දෙයක් දැ?” යි සිටු පුත් ඇසූ විට “ඔව්! ආර්‍ය්‍යය! බොන්නට හොඳ දෙයක් මෙයට වඩා නැත, බොන්නන් විසින් බිය යුත්තේ සුරා ය, මේ බී විට ඕනෑම දෙයක් ඇඟට නො දැනෙන සේ කළ හැකි ය. ඇඟේ වෙර වැඩේ, බඩගිනි නගින්නේ ය” යි මෙහෙකරු කී ය. එකල්හි සිටුපුත් තෙමේ ද රා ගෙන්වා බොන්නට පටන් ගතු. බේබද්දෝ සිටු පුත් රා බොන්නට පටන් ගත් බව දැන, ඔහු පිරිවරා ගත්හ. කල් යත් බේබද්දන්ගේ ගණන නැගී ගියේ ය. රටේ සිටි බේබද්දෝ සිටුපුත් වට කොට ගත්හ. ඔහු දිනපතා දෙසිය, තුන්සිය යවා රා ගෙන්වා බී ය. උන් හිටි තැන මුදල් ගොඩ ගසා තබා, සිය දහස් ගණනින් වියදම් කෙළේ ය. කමකට නැති වැඩට ධනය යෙදී ය. බේබද්දන්ට සූදුකාරයන්ට වයන්නන්ට ගයන්නන්ට නටන්නන්ට ඉමක් කොනක් නො තබා ධනය දුන්නේ ය.

මෙසේ දෙත්, මෙසේ කරත්, වැඩි දවස් නො යා දී ම තමන්ට අයත් ව තුබූ අසූ කෝටියම වියදම් වී ගියේ ය. මුදල් තුබූ තැන කපුරු පිලිස්සු තැන සේ විය. ඉක්බිති ඔහු බිරිඳ ලඟ තුබූ මුදල් ගෙන්වා ගත්තේ ය. එ ද ඒ ලෙසට ම වියදම් කෙළේ ය. එයින් ඔහුට කන්නට අඳින්නට මං නැති ව ගියේ ය. එකල්හි තමන්ට හා බිරිඳට මවුපිය උරුමයෙන් ලැබි තිබූ වතු පිටි ඉඩකඩම් කුඹුරු ඇඳ පුටු මේස අල්මාරි පිඟන් කෝප්ප හැළි වළං පැදුරු කොට්ට පාපිසි ඈ හැම දෙයක් විකුණා කෑයේ ය. අවසානයෙහි හුන් ගෙය ද විකිණී ගියේ ය. අඹුව හා මගට බැස්සේ ය. ගෙවල පිළිකණු ගානේ නවාතැන් ගණිමින් කොළපත් තැටි ගෙණ හිඟමින් දිවි ගෙවි ය. නොයෙක් දෙන කා බැහැර ලන ඉඳුල් සොයා කමින් කල් යැවී ය. විළි වසන්නට රදි කඩක් නො වී ය.

දවසෙක මේ දෙදෙන හිතමින් පන්සලට ආහ. එහි විසූ කුඩා වහන්දෑ ඔවුන්ට වළඳා ඉතිරිව තිබූ ඉඳුල් බත් දුන්හ. බුදුරජානන් වහන්සේ ඒ දැක සිනහ පහළ කළහ. එවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! කුමක් නිසා සිනා පහළ කළ සේක් දැ?” යි උන් වහන්සේගෙන් ඇසූහ. “ආනන්ද! බලන්න, මේ නුවර කෝටි දෙකක් මුදල් ඇතිව සිට ඒ සියල්ල කා බී අවසන් කොට ගේ දොරට ඇඳුමට කැඩුමට පවා අහිමි ව මේ දෙ දෙන හිඟා කන සැටි, මේ මිනිහා මේ මහත් ධනය කා බී අවසන් නො කොට යම් කිසි කර්‍මාන්තයක යෙදී නම්, මොහුට මේ නුවර සිටු නායකයා වන්නට ඉඩ තුබුනේ ය. නැත, මේ සියල්ල හැර දමා තරුණ අවදියේ ම පැවිදි වී නම් රහත් වන්නට ඉඩ තුබුනේ ය. මැදියම් වියේ දී මේ මුදල් කර්‍මාන්තයක යෙදී නම් දෙවන සිටු වන්නට පිළිවන්කම තබුනේ ය. එසේ නො කොට ඒ හැම හැර දමා පැවිදි වී නම් මොහු අනගැමි වන්නේ ය. මහලු වියේ දී එසේ කළේ නම් තෙවන සිටු වරයා හෝ පැවිදි වී නම් අඩු ගණනින් සකෘදාගාමී හෝ වන්නට හැකියාව තුබුනේ ය. අඹු ද සෝවාන් වන්නී ය. දැන් මොහු ගිහි සැපතිනුත් පිරිහුනේ ය. පැවිදි සැපතිනුත් පිරිහුනේ ය. මෙසේ අන්තිමට පිරිහී ගොස් දිය සිඳී ගිය විලෙක පියාපත් වගුළ කොස්වා ළිහිණියක සේ වුයේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං,

ජිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ.

.

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං,

සෙන්ති චාපාතිඛිත්තාව පුරාණානි අනුත්ථුනත්තී.

බඹසර නො වැස යොවුන් වියෙහි ධනය නො ලැබ මසුන් නැති විලක (මඩ මතුයෙහි හිඳ තැවෙන) කොස්වා ලිහිණියක සේ තැවෙත්.

බඹසර නො වැස තුරුණු වියෙහි ධනය නො ලැබ දුන්නෙන් විදුනා ලද ඊතල සේ පෙර කළ දේට සුසුම් ලමින් හොවිත්.

අචරිත්‍වා බ්‍රහ්මචරියං = බඹසර නො වැස. බ්‍රහ්මචරියවාසය නො කොට.

මහණකමට සුදුසු තරුණ වයසෙහිදී පැවිදි ව ගෙණ මහණකම් නො කොට, යනු අදහස ය. මේ සසුන්හි මහණකමට අයත් ග්‍රන්‍ථධූර - විදර්‍ශනාධූර පිළිබඳ හැම ක්‍රියාවකට ම බාල මහලු දෙ වයසට වඩා සුදුසු තරුණ වයසබව මෙයින් පැහැදිලි වේ.

බ්‍රහ්මචරිය නම්, ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ය. උසස් හැසිරීම ය. පැවැත්මය ය. නැත, බ්‍රහ්ම වූ බුද්ධාදිමහෝත්තමයන්ගේ හැසිරීම ය.

දාන - වෙය්‍යාවච්ච - සික්ඛාපද -බ්‍රහ්මවිහාර - ධම්මදේසනා - මෙථුනවිරති - සදාරසන්තොස - උපෝසථ - අරියමග්ග - සාසන - අජ්ඣාසය - විරිය - යන අරුත්හි හෙන්නේ යි ‘ බ්‍රහ්මචරිය’ ශබ්දය.

“තං මෙ වතං තං පන බ්‍රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො ඉද්ධී ජුතී බලවිරියූපපත්ති ඉදං ච මෙ විර මහාවිමානං” මෙහි යෙදී සිටි බ්‍රහ්මචරිය ශබ්දය දානය කියා ලන්නේ ය.

“තෙන පාණිකාමදදො තෙන පාණි මධුස්සවො,

තෙන මෙ බ්‍රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති” මෙහි වෙය්‍යාවච්චයෙහි වැටේ.

“ඉදං ඛො තං භික්ඛවෙ! තිත්තිරි යං නාම බ්‍රහ්මචරියං අහොසි” මෙහි ආයේ සික්ඛාපදයෙහි ය.

“තං ඛො පන පංචසිඛ! බ්‍රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය යාව දෙව බ්‍රහ්මලොකුපපතියා” යන මෙහි බ්‍රහ්මවිහාරයන් කෙරෙහි වැටේ.

“එකස්මිං බ්‍රහ්මචරියස්මිං සහස්සං මච්චුහායිනො” මෙහි ධම්මදේසනාවහි ආයේ ය.

“පරෙ අබ්‍රහ්මචාරී භවිස්සන්ති මයමෙත්‍ථ බ්‍රහ්මචාරි භවිස්සාම” මෙහි ආයේ මෙථුනවිරතියෙහි ය.

“මයං ච භරියා නාතික්කමාම අම්හෙ ච භරියා නාතික්කමන්ති අඤ්ඤත්‍ර තාභි බ්‍රහ්මචරියං චරාම, තස්මා හි අම්හං මීයරෙ” මෙහි සදාරසන්තොසයෙහි ආයේ ය.

“හීනෙන බ්‍රහ්මචරියෙන ඛත්තියෙ උපපජ්ජති මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති” මෙහි උපෝසථයෙහි ආයේ ය.

“ඉදං ඛො පන පංචසිඛ බ්‍රහ්මචරියං එකත්තනිබ්බිදාය විරාගාය -පෙ- අයමෙව අරියො අට්ඨඞ්ගිකෝ මග්ගො” මෙහි අරියමග්ගයෙහි ආයේ ය.

“තයිදං බ්‍රහ්මචරියං ඉද්ධං චෙව ඵීතං වා විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං” මෙහි සාසනයෙහි ආයේ ය.

“අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති විපක්ක බ්‍රහ්මචරියොස්මිං එවං ජානාහි ගාමිණි” මෙහි අජ්ඣාසයෙහි ආයේ ය.

“අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත, වතුරඞ්ගසමන්තාගතං බ්‍රහ්මචරියං චරිත්‍වා තපස්සී සුදං හොමි පරමතපස්සී” මෙහි වීර්‍ය්‍යයයෙහි ආයේ ය.

මෙහිලා ගැණෙනුයේ එකාසන - එකසෙය්‍ය - මෙථුනවිරති ආදී වූ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය නො වේ. ලෝකෝත්තරශීල සමාධි ප්‍රඥා නම් වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයත් නො වේ.

ඉතාඋතුම් බැවින් නිවන බ්‍රහ්ම නම්. ශීල සමාධි ප්‍රඥා යන ශික්‍ෂා තුණ පවතින්නේ නිවන් පිණිස ය. එහෙයින් බ්‍රහ්ම නම් වූ නිර්‍වාණය පිණිස හැසිරිය යුතු වූ හික්මිය යුතු වූ ඒ ශික්‍ෂා තුණ බ්‍රහ්මචර්‍ය්‍යය නම්. ශාසන බ්‍රහ්මචර්‍ය්‍ය යනුත් ඒ ම ය යි කීව ද අර්‍ත්‍ථ විරුද්ධ නො වේ. බ්‍රහ්මචරිය ශබ්දයෙන් සාසන - මග්ගබ්‍රහ්මචරිය දෙක ම ගැණෙන බැවින් හා ඒ දෙකම නිවන් පිණිස පවත්නා බැවින් හා.

ලෞකික වූ ශීල සමාධි ප්‍රඥාවෝ සාසනබ්‍රහ්මචරිය නම්. ලෝකෝත්තරමාර්‍ග සම්ප්‍රයුක්ත වූ ශීල සමාධි ප්‍රඥාවෝ මග්ගබ්‍රහ්මචරිය නම්. පරියත්ති පටිපත්ති සාසනයෝ සාසනබ්‍රහ්මචරිය නම්. පටිවේධ සාසනය මග්ගබ්‍රහ්ම චරිය නම්.

මෙය මෙසේ දෙපරිද්දෙකින් විභාගයට ගිය ද මෙථුනවිරති - සමණධම්ම - සාසනමග්ග යි සිවු පරිද්දෙකින් ද විභාගයට යන්නේ ය. “බ්‍රහ්මචරියං නාම මෙථුනවිරති සමණධම්ම සාසන මග්ගානං ඉදං අධිවචනං” යනු අටුවා ය. එහෙයින් ප්‍රකෘතිශිල මාත්‍රයෙන් වුව ද සිල්වත් ගිහියාගේ මෙවුන්දමින් වැළැක්ම බ්‍රහ්මචරිය යි කිය හැකි ය.

අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය

අඞ්ගාරකාසුං ජලිතංව වීඤ්ඤූ,

අසම්බුනන්තො පන බ්‍රහ්මචරියං

පරස්ස දාරං නාතික්කමෙය්‍ය.

යන මේ ගාථාධර්‍මය එහි සාධක වේ. “නුවණැති ගිහියා දිලිසෙන අඟුරු වළක් සේ සිතා මෛථුනසේවනය (ස්ත්‍රී සේවනය) දුරු කරන්නේ ය. ඉදින් එසේ නො හැක්කේ නම්, පරස්ත්‍රී සේවනයෙන් වත් වළකින්නේ ය” යනු එහි අදහස ය.

මෛථුන සතෙකි. ඒ සතින් හා අසද්ධර්‍මසේවනයෙන් වැළැක්ම මෛථුනවිරති නම්. ඒ මේ මෛථුදනවිරතිය ස්ත්‍රීසේවනයෙන් වැළැක්ව බ්‍රහ්මචරිය නම්. කාමාස්වාදයෙන් ස්ත්‍රී ශරීරස්පර්‍ශය විඳීම, ස්ත්‍රීන් හා සිනාසීම, ඇසින් ඇස බැලීම, ස්ත්‍රීන්ගේ කතා ගී කීම ආදී වූ ශබ්ද ශ්‍රවණය, ස්ත්‍රීන් හා පෙර කළ කෙළි සෙල්ලම් සිහිකිරීම, පස්කම් සැප විඳුනා ගැහැවියකු දැක එහි ඇලීම, දිව්‍යනිකායයක් පතා බඹසර හැසිරීම යන මේ ය ඒ සත. බ්‍රහ්මචරිය කැමැත්තහු විසින් මේ සතින් හා ස්ත්‍රී සම්බභොගයෙන් මුළු මනින්ම වැළකිය යුතු ය.

අප බුදුරජුන් දවස රජගහ නුවර කපිල නම් බමුණෙක් වී ය. ඔහුට පිප්ඵලී නම් පුතෙක් සිටියේ ය. ඔහුගේ වයස අවුරුදු විස්සෙකි. පිණැත්තේ ය. මවුපියෝ කසාදයක් බැඳ දෙන්නට සිතා දැකුම්කලු තරුණියක සොයන්නට බමුණන් අට දෙනකු ඒ ඒ පළාත්වලට යැවූහ. බමුණෝ තෑගිබෝග ගෙණ සාගලනුවරට ගියහ. එනුවර කෝශියවංශය ඇති බමුණකුහට සොළොස් වයසැති සිත් ගත් රූසපුවෙන් යුත් දුවක් වූ ය. නමීන් භද්‍රකාපිලානී නම් වූවා ය. පිණැත්තී ය. බමුණෝ එහි ගොස් සියලු වගතුග කියා කොසිය බමුණු ගිවිස්වා ගත්හ. “දැරියක් ලදැ” යි කපිල බමුණාහට ලියුමක් ද යැවූහ. පිප්ඵලී බමුණුකුමාර තෙමේ මෙය දත්තේ ය. දැන, ලියුමක් ලියා භද්‍රාකාපිලානියට යැවී ය. මේ ඒ ලියුම.

රජගහනුවර කපිල බමුණු නිවසේ දී ය.

කරුණාවෙන් ලියමි.

පින්වත් භද්‍රා!

.

මාගේ මවුපිය ඔබ මට බිරිය කොට ගෙණ දෙන්නට කටයුතු පිළියෙල කරත්. ඔබගේ මවුපියන් ද එයට සතුට දී ඇති බව මට දැන ගන්නට ලැබින. එහෙත් මම එයට නො කැමැත්තේ වෙමි. මම ගිහිකම් කරන්නට බලාපොරොත්තු නො වෙමි. එහෙයින් හද්‍රා තමන්ගේ කුලයට වස්තුවට හැඩ රුවට වයසට ගැළපෙන ස්වාමි පුත්‍රයකු හා දීග යන්න. තමන්ට කැපෙන හිමියකු සොයා ගන්න. මම තව ටික දිනකින් මේ සියල්ල හැරදමා මහණ වන්නෙමි. මා හා අමනාපයක් ඇති කර නො ගන්න. සැපවත් වේ වා!

මෙයට, කාරුණික.

පිප්ඵලි.

පිප්ඵලී, ලියා යැවූ මේ ලියුම ලැබෙන්නට කලින් භද්‍රා ද ලියුමක් ලියා පිප්ඵලීට යැවූ ය. මේ ඒ ලියුම.

සාගල නුවර කෝසිය බමුණු ගෙදර දී ය.

දිගාසිරි ලැබේවා.

පින්වත!

.

ඔබගේ මව්පියන් මා ගැණ සොයන්නට මෙහි එවූ බමුණෝ මාගේ මවුපියන් හා කතා කොට තෑගිබෝගත් දී මා ඔබගේ බිරිය කරන්නට නියම කරගෙණ ගියහ. එහෙත් මම මේ දිවියෙහි දී කිසිවකුගේ බිරිය වන්නට නො කැමැත්තී වෙමි. දීග කෑමට මාගේ බලාපොරොත්තුවක් නැත. මා ගැණ ඔබගේ බලාපොරොත්තුවක් වේ නම් එය හැරදමනු මැනවි.

මෙයට, මෙක්සිතැති

භද්‍රා.

ලියුම් ගණ ගියෝ අතරමග දී මුණ ගැසී කතා කොට ලියුම් කඩා බැලූහ. ලියුම් දෙක ඔවුන්ගේ සිත් නො ගත්තේ ය. එහෙයින් ඔවුහු ඒ ලියුම් දෙක ඉරා දමා වෙන ලියුම් දෙකක් ලියා ඒ දෙපලට යැවූහ. මේ ඒ ලියුම් දෙක.

රජගහනුවර කපිල බමුණු නිවසේ දී ය.

සෙත් වේවා.

පිය භද්‍රා!

.

ඔබ මාගේ ධර්‍මපත්නිය වන්නට යෑම අප පෙර කළ පිණෙක විපාකයකැ යි මාගේ පිළිගැණීම ය. ඒ එසේ වීම අප දෙපලගේ ඉදිරි ජීවිත සඵල වීමට හේතු වනු ඇත. මම ඔබ බිරිය කර ගන්නට කැමැත්තෙමි. ඒ එසේ වේවා.

මෙයට, කාරුණික

පිප්ඵලී.

-

සාගල නුවර කෝසිය බමුණු ගෙදර දී ය.

දිගාසිරි ලැබේවා,

මා ප්‍රිය හිමියෙනි!

.

ඔබගේ හා මාගේ හා අඹුසැමියන් වශයෙන් එක්වීම ඉතා උසස් කොට සැලකිය හැකි ය. අපගේ මවුපියෝ මා ඔබගේ බිරිඳ වනු දැක්මට කැමැත්තෙන් සිටිති. ඔබගේ මවුපියන්ගේ කැමැත්තත් එසේ ය යි සිතමි. මම ද ඔබ හා එක් ව ජීවත් වීමට කැමැත්තෙමි.

මෙයට, විනීත

භද්‍රා.

දෙපස නෑයෝ මඟුල් කටයුතු පිළියෙල කළහ. මේ දෙපල කෙරෙහි මේ පිණිස නෑයන්ගේ ඇවිටිල්ල හා ඉක්මන්කම බලවත් විය. එහෙයින් කල් නො යාදී ම කසාද බැඳුම සිදු විය. එහෙත් ඒ දෙ දෙන අඹු සැමියන් වශයෙන් ජීවත් නො වූහ. එක දවසකුත් ඒ දෙදෙන එක් ව ගොස් නිදි නො ගත්හ. වෙන් වෙන් ව ගොස් නිදති. එක ඇඳෙහි නිදත්, දෙදෙන අතර මල්දම් රැසක් තබා නිදන පෙදෙස් වෙන් කොට ගනිත්, නො නිදා ම මුළු රැය ගෙවති. කිසිවිටෙක සිනාසීම් පමණකුත් නැත. ඔවුහු අනික් පහත් මිනිසුන් සේ ලෝකාමිසයෙහි නො ගැලී ඒ හා නො හැනී ගිහිගෙයි වසන්නෝ ම වූහ.

ටික දිනක් ගිය අතර දෙපස ම මවුපියෝ මැරී ගියහ. ඔවුන් මළ පසු මේ දෙ දෙන සමාන අදහස් ඇති ව “මුළු තුන් ලොව ගිනි ගෙණ දැවෙන තණපැලක් වැනි ය. මෙහි කිසිත් සැනසීමක් නැත, මෙයින් සසර ගමන දිග් ගැසෙන්නේ ය. අපි මහණ වෙමු” යි නියම කොට ගෙණ කඩපිළෙන් කසාවන් රෙදිත් මැටිපා දෙකකුත් ගෙන්වා ගෙණ කෙස් බා හැර “ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත් නම්, අපේ මේ පැවිද්ද ඒ උතුමන් නිසා ය” යි පැවිදි වෙස් ගෙණ මැට් පා, කර ලග්ගවා බමුණු ලෙයින් නික්ම ගියහ. පිප්ඵලී පැවිද්දා ඉදිරියෙහි යයි. යන්නහුට දෙ මං හන්දියක් මුණ ගැසින. ඔහු ඒ තැන නැවතී සිට “භද්‍රා අප දෙ දෙනා මෙසේ එක් ව ගමන් කිරීම ලෝකාපවාදයට කරුණු වේ, රට වැස්සෝ අප කෙරෙහි නපුරු අදහස් උපදවති, එයින් ඔවුනට පව් පිරෙන්නේ ය. එහෙයින් ඔබ මේ දෙ මගින් එක් මගෙක යන්න මම එක් මගෙක යන්නෙමි” යි කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස! ඒ එසේ ය, පැවිද්දන්ට මාගම මලයෙකි. අප එක් ව ගමන් කරණ විට දකින්නෝ අපට දොස් කියති” යි කියා භද්‍රා තොමෝ “අපි වෙන් වෙමු” යි තෙ වරක් පැදකුණු කොට වැඳ, පිට නො පා පස්සෙන් පස්සට ගොස් සතර විටක් හිස බිම තබා වැඳ දොහොත් මුදුන් දී සිට “කල්පලක්‍ෂයක් පමණ කල් පැවැති අපගේ මිත්‍ර සන්‍ථවය මෙයින් හමාර වන්නේ ය. ඔබ වහන්සේ දකුණු පස මඟින් වඩිනු මැනවි. මම වම්පස මඟින් යමි” යි මගට බැස්සා ය.

එකෙණෙහි පොළොව දෙදරා ගියා.ය. හඬ නගන්නට වන. අහස හෙණ හඬ නැංගේ ය. සක්වළගල හඬ නැගුයේ ය. මේ වේලෙහි මාගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් පොළෝහඬ අසා ආවර්‍ජනා කරණ සේක් මොවුන් දැක පා සිවුරු ගෙණ එකලා ව ම තුන් ගවු මග ගෙවා ඉදිරියට ගොස් රජගහනුවරට හා නාලන්දාවට හා අතර පිහිටි බහුපුත්‍රික නම් නුගගස මුල වැඩහුන් සේක. ඒ මග එන පිප්ඵලී තෙමේ එහි වැඩ හුන් බුදුරජුන් දැක එළඹ වැඳ උන් වහන්සේගෙන් ලැබූ අවවාද ඇත්තේ උපසපන් වී අටවන දිනයෙහි රහත් විය. භද්‍රා තොමෝ මෙහෙණවරකට ගියා එහි දී රහත් වූවා ය. මොවුහු දෙදෙන රහත් වූවෝ මෙථුනවිරති නම් වූ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි අනුභාවයෙනි. මෙය මෙසේ අනුභාවය ඇති කල්හි, මෙයට වඩා හැම ලෙසකින් උත්තරිතර වූ මහණදම් පිරීම් ආදී වූ බඹසර හැසුරුමෙහි ලා කුමන කතා ද.

ශ්‍රමණධර්‍මය, මෛථුනධර්‍ම සමායොගයෙන් ඉතා ඈත් ව මාගමුන් නො දැක ම රැකිය යුතු තරම් උසස් ගුණයකි. එයට අයත් හැම හැසිරීමෙක් ම මහණකමැ යි ගැණේ. මහණකම බ්‍රහ්මචරිය යි කීයේ, එය සදේවලෝකයාගේ පරමාභිවාදනයට පරමපූජාවට කරුණු වන උසස් හැසිරීමක් බැවිනි.

ශීල සමාධි ප්‍රඥා යන ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ සියලු බුදුසසුන ම සාසන බ්‍රහ්මචරිය නම් වේ. “සකලසාසනබ්‍රහ්මචරියං නාම අධි සීලසික්ඛාදිසික්ඛාත්තයසංගහං අනවසෙසං සත්‍ථුසාසනභූතං සෙට්ඨචරියං” යනු ආගමකථා ය.

“කතමං ච භික්ඛවෙ! බ්‍රහ්මචරියං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං, සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි” යන මෙයින් ආර්‍ය්‍ය මාර්‍ගය මග්ගබ්‍රහ්මචරිය යි වදාළ සේක බුදුරජහු.

අන් හැම බ්‍රහ්මචරියකට වඩා මෙය ප්‍රණීත ය. උතුම් ය. එසේ කියනු චතුර්විධ මාර්‍ගඵලයන් අවසන් කොට සිටිය බැවිනි. මණ්ඩපෙය්‍ය කථාවෙහි මෙය බ්‍රහ්මචරියමණ්ඩ යි ආයේ ය. “බ්‍රහ්මචරිය මණ්ඩොති මග්ගබ්‍රහ්මචරියමෙව මණ්ඩො” යනු අටුවා ය. පිරිපුන් බැවින් මල්රහිත බැවින් වෙසෙසින් පහන් බැවින් මග්ගබ්‍රහ්මචරිය ම බ්‍රහ්මචරියමණ්ඩ යි ද, පිය යුතු බැවින් සෙවිය යුතු බැවින් හැසිරිය යුතු බැවින් මණ්ඩපෙය්‍ය යි ද කියනු ලැබේ. යමක් බීමෙන් විසංඥව ගියෝ සිය රෙදිකඩටත් අස්වාමික වේ නම්, පහන් වුව ද එය නො පිය යුතු ය. බ්‍රහ්මචරිය ය එසේ නො වේ. එය පහන් බැවින් මණ්ඩ නම්. හිතසුව එළවන බැවින් පෙය්‍ය නම්. එහෙයින් පිය යුතු ය. හැසිරිය යුතු ය. හිත සැප එළ වන්නේ ය.

අලද්ධා යොබ්බනෙ ධනං = යොවුන් වියෙහි ධනය නො ලැබ.

තරුණ වයස ධන සැපයීමට ඉතා සුදුසු කාලය බව මෙයින් පැහැදිලි ය. එහෙයින් ඒ පිණිස මුල සිට ශිල්පශාස්ත්‍රාදිය උගත යුතු ය. මව්පියන් විසින් දු පුතුන්ගේ මතු දිවිය වැඩ වන ලෙසට ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වාලිය යුතු ය. සදාශ්‍රය ලබා දිය යුතු ය. ශිල්ප ශාස්ත්‍රාදිය උගැන්මෙන් තොර ව වැඩුනු දූපුතුනට ධනය රැස්කොට දීම ඔවුන්ගේ විපතට හේතු වන්නේ ය. එය දායදයෙක් නො වේ, දායාදය නම්, ශිල්පශාස්ත්‍රාදියෙහි උගැන්මක් ලබාදීම ය. උගැන්මෙන් හා සදාශ්‍රයෙන් වැඩුනු ඔවුහු දෙලොව ජීවිතය ම සඵල කර ගන්නෝ ය. මේ යුතුකම නො සලකන්නා වූ මව් පියෝ වරද කරුවෝ ය. දූ පුතුන් යොවුන් වියට පැමිණත් ම ඔවුහු ධන සැපයීමෙහි, සැපයු ධර ය නිසි තැන යෙදීමෙහි රැකීමෙහි සමතුන් කළ යුතු ය. යොවුන් විය ම ධන සැපයීමට සුදුසු වේ. යොබ්බන නම්, තරුණ වයස ය. ‘යුවස්ස භාවො = යොබ්බනං’.

ජිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ = මසුන් නැති විලෙක (මඩ මතුයෙහි හිඳ තැවන) කොස්වාළිහිණියන් සේ තැවෙත්.

මහණකමට සුදුසු වූ තරුණවයසෙහි පැවිදි ව බ්‍රහ්මචරියවාසය නො කොට, නුපන් භෝගයන් උපද වන්නට උපන් භෝගයන් රැක ගන්නට පොහොසත් තරුණ කාලයෙහි ධනලාභයට හේතු වූ ගොවිකම් ආදිය නො කොට පමා බැවින් කල් යවන අඥජනයෝ දිය සිඳී ගිය බැවින් මසුන් නැති විලෙක මඩ මතුයෙහි හිඳ තැවෙන පියාපත් ගැලවී වැටුනු කොස්වාළිහිණියන් සේ තැවෙත්.

අචරිත්වා බ්‍රහ්මචරියං = බඹසර නො වැස.

අලද්ධා යොබ්බනෙ ධනං = යොවුන් වියෙහි ධනය නො ලැබ.

සෙන්ති චාපාතිඛිත්තාව පුරාණානි අනුත්ථුනං = දුන්නෙන් විදිනා ලද ඊතල සේ පෙර කළ දෙයට සුසුම් ලමින් හොවිත්.

තරුණ වයසෙහි බඹසර නො වැස ධනය නො ලැබ පමා බැවින් කල් යවන මුග්ධජනයෝ දුන්නෙන් විදිනා ලද, වේගය ඇති තාක් ගොස්, වේගය සිදී ගිය කල්හි වෙනෙහි වැටුණු ඊතල ඇර ගන්නට කනකු නැති කල එහි ම තිබී නස්නා සේ තුන් වයස ම ඉක්මවා සිටියෝ පෙර මෙසේ කෑම්හ, මෙසේ පූම්හ, මෙසේ ඇන්දෙමු මෙසේ පැලන්දෙමු” යන ඈ ලෙසින් පෙර කළ කෑම් පීම් නැටුම් ගැයුම් ආදියට සුසුම් ලමින් ශෝක කරමින හොවිත්.

ධර්‍ම දේශනාව අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.

මහාධනශ්‍රේෂ්ඨි වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.