ඉධ මොදති පෙච්ච මොදති කතපුඤ්ඤො උභයත්‍ථ මොදති
සො මොදති සො පමොදති දිස්වා කම්ම විසුද්ධිමත්තනො.
පින් කළ පුද්ගල තෙම මෙ ලොව දී කුශලකර්‍මානුස්මරණයෙන් සතුටු වෙයි. පරලොව දී විපාකානුභාවයෙන් සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්‍යකර්‍මය දැක්මෙන් හෙ තෙම මෙ ලොව දී සතුටු වෙයි. පරලොව දී ද බොහෝ සෙයින් සතුටු වෙයි.
අප බුදුරජුන් දවසැ සැවැත්නුවරැ ධම්මික නමින් හැදින්නූ පන්සියයක් උපාසකයෝ වාසය කළහ. උන් එකිනෙකාට පන්සියය පන්සියය උපාසකයෝ පිරිවර වූහ. මෙහි කියන ධම්මික උපාසක තෙමේ ඒ හැම දෙනා අතර වැඩිමහල්ලා විය. ඔහුට පුත්තු සත් දෙනෙක, දූලා සත් දෙනෙකැයි දූ පුත්තු දස සතර දෙනෙක් වූහ. උන් හැම කෙනෙක් එක් එක් ලහ කැඳක්, ලහ බතක්, අඩමස් බතක්, අලුත් සඳ දුටු දා දෙන නවසද බතක්, වස් විසූ භික්‍ෂූන්ට දෙන වස්වැසි බතක් දැ යි බත් කීපයක් දුන්හ. ඒ හැම දෙන ධම්මිකයාගේ අනුජාත දූ පුත්තු වූහ. ධම්මිකයාත් ලහ කැඳ, ලහ බත් ආදිය දුන්නේ ය. ඔහු අඹුව ද ලහ කැඳ, ලහ බත් ආදිය දුන්නා ය. අඹුදරුවන් සහිත වූ ධම්මික තෙමේ සිල් ඇත්තේ, යහපත් ගති පැවතුම් ඇත්තේ, දීමෙහි ඇලුනේ විය.
මෙසේ දැහැමින් කල් යවන ධම්මික උපාසක තෙමේ, කල් යත් රෝගාතුර විය. ඔහුගේ ආයුසංස්කාරය පිරිහී ගියේ ය. රෝගී ව ඇඳ ඇතිරැ ගත් උපාසක තෙමේ, බණ අසනු කැමැති ව ‘භික්‍ෂූන් අට නමක් හෝ සොළොස් නමක් එවන්නැ’ යි බුදුරජානන් වහන්සේට ආරාධනාවක් යැවී ය. උන්වහන්සේ ඔහුගේ ආරාධනාව පරිදි භික්‍ෂූන් එහි යැවූහ. උන්වහන්සේලා උපාසකයාගේ ගෙට ගොස් ඔහු වැතිරැ හුන් ඇඳ වටා පණවා තුබු අසුන්හි වැඩහුන්හ. එවිට උපාසක තෙමේ භික්‍ෂූන් දෙස බලා, ‘ස්වාමීනි! දැන් මට ඇත්තේ ඔබවහන්සේලාගේ පිහිට ය, ඔබවහන්සේලා දැකීම මට මහත් පිහිටෙක, එදා මාගේ ශරීරෙහි තුබූ ශක්තිය දැන් නැත, ඇස් දෙකත් මඳක් අඳුරු ය, කන් ඇසීමත් ටිකක් අඩු ය, මට බණ ටිකක් වදාරන්නැයි කී ය. ‘උපාසකතුමනි! අසන්නට වඩා කැමැති සූත්‍රය කුමක් ද’ කියන්න, මහත්මයාගේ කැමැත්තේ හැටියට අපට ඕනෑ ම සූත්‍රයක් කිය හැකි ය’ යි භික්‍ෂූන් කී විට ‘සියලු බුදුරජුන් විසින් අත් නො හැර ගෙණ ආ ‘මහාසතිපට්ඨාන සුත්‍රය’ වදාරන්නැ’ යි දන්වා සිටියේ ය. භික්‍ෂූන් වහන්සේලා ඒ දේශනා කරන්නට පටන් ගත්හ.
එ වේලෙහි උපාසකයාගේ පින් තෙදින් මෙහෙයුනු සදෙව්ලෝ වැස්සෝ, එක් එක් දෙව්ලොවින් දහස දහස අසුන් යෙදූ එක් සිය පණස් යොදුන් පමණ වූ මොනවට සැරසූ දෙව්රිය සයක් ගෙණවුත්, උපාසකයාහට පෙනෙන සේ අහස තබා ‘අපි ගෙණ යන්නෙමු, අපි ගෙණ යන්නෙමු” යි වහසි බෙණෙමින් ‘උපාසකය! මැටි බඳුනක් බිඳ රන් බඳුනක් ගන්නකු සේ අපගේ දෙව්ලොවට යන්නට මේ රියට නගින්න, මේ රියට නගින්නැ’ යි වෙන වෙන ම කියා සිටියහ. එවිට උපාසක තෙමේ ‘බණට අනතුරු නො කොට, ඒ අවසන් වනතුරු පොඩ්ඩක් ඉවසන්නැ’ යි අත් සනින් දන්වා සිටියේ ය. ඒ දුටු භික්‍ෂූන් වහන්සේලා බණ නවතා ලන්නට කියිති යි සිතා, බණ නවතාලූහ. ඉක්බිති ගෙයි වැස්සෝ මොක ද මේ; අපේ පියා මෙයට කලින් කිසි දිනෙකැ මෙසේ කළේ නො වේ, සිහි මදකමෙක් ද මේ, එදා කො තරම් බණ ඇසුවත් උන්දෑට මදි ය, බණ ඇසීමෙහි සෑහීමෙක් මෙයට පෙර කවදාත් උන්දෑට තුබුනේ නැත, අය්යෝ! ඕනෑකමින් ම හාමුදුරුවරු ගෙන්වා, ගත්තේත් තාත්තා ය, දැන් තාත්තා ම බණ නවතා ලන්නට කියයි, මරණයට බිය නො වන්නේ කවරෙක් දැ’ යි කියමින් හඬන්නට පටන් ගත්හ. භික්‍ෂූන් වහන්සේලා ද දැන් ඛණට ඉඩ නැතැ යි විහාරයට වැඩියාහ.
මඳකට පසු, උපාසක තෙමේ ‘නුඹලා කුමක් නිසා හඬහු දැ?’ යි ඔවුන්ගෙන් ඇසී ය. ‘තාත්තා හාමුදුවරු වැඩමවා, බණ අසන්නට පටන් ගෙණ, නැවැත තාත්තා ම ඒ වළකාලූබව අපට පෙණුනේ ය, තාත්තා මරණයට බියෙන් මෙසේ කරන්නේ ය යි සිතා අපි හැඬුවෙමු’ යි කීහ. ‘නෑ මම මරණයට බිය නො වෙමි, කොහි ද හාමුදුරුවරු?’ යි උපාසක තෙමේ ඇසී ය. ‘උන්වහන්සේලා බණ කියන්නට ඉඩ නැතැ’ යි කියා විහාරයට වැඩිය බව කීවිට, ‘මම උන්වහන්සේලාට බණ නවතාලන්නට නො කීමි, උන්වහන්සේලා හා කතා නො කෙළෙමි’ යි කී ය. ඉක්බිති පුත්තු ‘තාත්තා කතා කළේ කා සමග දැ?’ යි ඇසූහ. ‘සදෙව්ලෝ වැස්සෝ එක් එක් දෙව්ලොවෙන් එක් එක් රිය බැගින් රියසයක් සරසා ගෙණවුත් අහස තබා, “අපේ දෙව්ලොව, සැපතින් මහත් ය, අපේ දෙව්ලොව සැපතින් මහත් ය, අපේ දෙව්ලොවට එන්න! මේ රියට නගින්න! මේ රියට නගින්නැ’ යි මට කියති. ඒ නිසා මම ඔවුන්ට බණ අසන බව කියා, පොඩ්ඩක් ඉවසන්නට අත නගා කීමි, ඒ හැර හාමුදුරුවරුන්ට බණ නවතන්නට නො කීමි ‘ යි කී විට, ඔවුහු ‘කොහේ ද තාත්තේ ඒ දෙව්රිය, අපට එකෙක් වත් නො පෙණේ, කොහේ ද, අපට පෙන්වන්නැ’ යි කීහ. එවිට උපාසකයා, ගෙතූ මල්දමක් ගෙන්වා, ‘කි නම් දෙව්ලොව වඩාත් සිත්කලු දැ’ යි අසා, ‘තුසිත දෙව්ලොව හැමට සිත්කලු ය’ යි කී විට, ‘එසේ නම් මේ මල්දම තුසිත දෙව්ලොවින් ආ දෙව්රියෙහි එල්බේවා’ යි සිතා අහසට දමවු’ යි කීයේ ය. ඔවුහු එසේ සිතා මල්වඩම අහසට වීසි කළහ. එය සිතූ පරිදි තුසිත දෙව්ලොවින් ආ රියෙහි ලැගුනී ය. එහි රැස් ව සිටියවුනට මල්වඩම පෙණින. රිය නො පෙණින. උපාසක තෙමේ ‘මල්වඩම පෙණේ දැ’ යි දූ පුතුන් විචාළේ ය. ඔවුන් ‘එසේ ය’ යි කී විට, ‘ඒ මල්වඩම ලැගී තිබෙන්නේ තුසිත දෙව්ලොවින් ආ රථයෙහි ය, මම දැන් තුසිත දෙව්ලොවට යමි, ඒ ගැණ නුඹ ලා දුක් නො වියැ යුතු ය, නුඹලාත් මා සමීපයට එන්නට සිතා තව තව පින් කරන්න! දන් දෙන්න! සිල් රකින්න! භාවනා කරන්න! සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, පරස්ත්‍රී-පරපුරුෂසේවනයෙන්, රා අරක්කු බීමෙන්, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, රළුබස් බිණීමෙන්, ඕපාදූපා කතා කිරීමෙන්, මුළුමනින් වෙන්වන්න! පව්කමක්, වැරදි වැඩක් කිසි දවසක නො කරන්න! කරුණා මෛත්‍රි ආදී වූ ගුණ දියුණු කරන්නැ’ යි මේ ඈ ලෙසින් අවවාද දී කලුරිය කොට, තුසිත දෙව්ලොවින් ආ රථයෙහි නැගී සිටියේ ය. එ කෙණහි ම උපාසකයාගේ ආත්මභාවය තුන්ගවු පමණ වූයේ, ගැල් සැටක පුරාලන්නා වූ අබරණවලින් සැරසුනේ විය. දෙවඟනන් දහසක විසින් පිරිවැරුණේ ය. පන්සිය යොදුන් පමණැති රන්විමනෙක් ද පහළ විය.
සතිපට්ඨානසූත්‍ර දේශනාවට උපාසකයා වෙත වැඩිය භික්‍ෂූන් වහන්සේලා, පෙරළා විහාරයට වැඩිය කල්හි බුදුරජානන් වහන්සේ, ඔවුන් අතින් ‘උපාසකයා හොඳට බණ ඇසී දැ’ යි ඇසූහ. ඔවුහු ‘එසේ ය, උපාසකයා හොදට බණ අසා හිඳැ අතරමගැ දී බණ නවතාලන්නට කී ය, එ කෙණහි ඔහුගේ දූ පුත්තු හඬන්නට පටන් ගත්හ, අපි දොරට බැස ආවෙමු’ යි කීහ. ‘උපාසකයා කතා කළේ තමුසේලා සමග නො වේ, ඔහු තමුසේලාට කිසිවක් කීයේ නැත, ඒ වේලෙහි සදෙව්ලෝ වැස්සෝ රිය සයක් සරසා ගෙණවුත් දෙව්ලොවට එන්නැ යි අඬ ගෑහ, උපාසකයා, බණට අනතුරු නො කොට, පොඩ්ඩක් ඉවසන්නැ යි අත් නගා දෙවියන්ට දැන්වී ය, ඒ මුත් තමුසේලාගේ බණ නවතාලන්නට ඔහු නො කීයේ ය’ යි බුදුරජුන් වදාළ කල්හි, භික්‍ෂූන් වහන්සේලා ‘උපාසකතෙමේ කො තැනක උපන්නේ දැ?’ යි ඇසූහ. ‘තුසිත දෙව්ලොවැ’ යි උන්වහන්සේ කීහ. නැවැත භික්‍ෂූන් වහන්සේලා ‘ධම්මික උපාසක තෙමේ ජිවත්වන්නේ, නෑයන් මැද ඉතා සතුටින් ජීවත් වූයේ ය, දැන් මැරී ගොස් ද, සතුටු වියැ හැකි තැනකැ ම උපන්නේ ය’ යි කීවිට, ‘ඔව්! මහණෙනි! නො පමා වූ ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, සියලු දෙන සියලු තැනැ ම සතුටු වෙති’ යි වදාරා. මේ ධර්‍මදේශනාව ද කළ සේක:-
ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤ්ඤො උභයත්‍ථ මොදති,
සො මොදති සො පමොදති
දිස්වා කම්මවිසුද්ධිමත්තනො ති.
කළ පින් ඇත්තේ මෙලොවැ සතුටු වෙ යි. පරලොවැ සතුටු වෙයි. (මෙසේ) දෙලොවැ සතුටු වෙයි. හෙතෙමේ තමන්ගේ, නොහොත් තමන් කළ පින්කම දැක, සතුටු වෙයි. පරලොවැ දී තදින් සතුටු වෙයි.
ඉධ මොදති = මෙලොවැ සතුටු වෙයි.
මෙලොවැ උපන්නේ, ජීවත් වන්නේ ම තමන් විසින් කළ කුශල කර්‍මයන්ගේ වශයෙන් ‘මා විසින් ඒකාන්තයෙන් පාපකර්‍මයෙක් නම් නො කරණ ලද ය, කරණ ලද්දේ කුශලකර්‍ම මැ’ යි කළ කුසල් සිහි කිරීමෙන් සතුටු වෙයි. කළ පිණැත්තහු හැම ඉරියව්කැ දී ම තමන් කළ කුශලකර්‍ම සිහි කිරීමෙන් සතුටුවීම ස්වභාවධර්‍මයෙකි. එසේ කළ කුසල් ගැණ සිතා, එහි අනුසස් සැලකීම, කුශලඵලයාගේ මහත්ත්‍වයට කරුණු වේ. පින් නො කළ තැනැත්තාට මරණාසන්නකාලයෙහි ශෝක වීමට කරුණු ඉදිරිපත් වෙතත්, කළ පින් ඇත්තහුට එම අවස්ථායෙහි ඉදිරිපත්වන්නේ සන්තෝෂ වීමට කරුණු ය. ඔහුට, තමන් වැඩිවශයෙන් පුරුදු පුහුණු කළ කුශල කර්‍මයක් ම මැරෙන්නට ලං වූ විට ඉදිරිපත් වේ. ඔහු, ජීවත්වන්නේ, දන්දීම වැඩි වශයෙන් පුරුදු කෙළේ නම්, ඒ සිදුකිරීමට උපකාර කොට ගත් භෝජන, චීවර, ධජ, පතාකා, සුවඳ මල් ඈ කිසිවෙක් වේ නම්, එයින් කිසිවෙක් ඔහුට මැරෙණ විට කර්‍මනිමිත්ත වශයෙන් පෙණී යයි. එසේ ම ඒ කුශලකර්‍මවිපාකයට අනුරූප ව ගතිය නියමකිරීම්වශයෙන් දෙවඟනන්, දෙව්විමන්, කප්රුක්, මස් වැදලි ඈ අතුරින් කිසිවෙක් පෙණී යයි. පෙණී යනු සදොරින් එක් දොරකට ය. මරණාසන්නකාලයෙහි කළ පිණැත්තහුට, මෙසේ පිරිසිදු කර්‍මය, කර්‍මනිමිත්ත, ගතිනිමිත්ත යන මොවුන් පෙණී යෑමෙන් උපදින සතුට ටික නො වේ. ඒ ඉමහත් ය. එහෙයිනි වදාළෝ ‘ඉධ මොදති” යි.
පෙච්ච මොදති = පරලො වැ සතුටු වෙයි.
ජීවත් ව සිටැ, පින්කම් කළේ, මරණින් මතු මිනිසෙක් ව උපන්නේ, මිනිසුන් පිළිබඳ හැම යස ඉසුරු උසස් ලෙසින් ලැබීමෙන් සතුටු වන්නේ ය. දෙවියෙක් ව උපන්නේ, දෙවියන් පිළිබඳ හැම යස ඉසුරු උසස් ලෙසින් ලබා සතුටු වන්නේ ය. පින්කම් කළහුට, එහි විපාක විසින් ලැබෙන්නේ දෙවි-මිනිසුන් අතර උසස් උත්පත්තිය හා උන් පිළිබඳ මහත් යස ඉසුරු ය. එයින් ඔහු පිණා යයි. සතුටු වෙයි.
කතපුඤ්ඤො= කළ පිණැත්තේ.
දන් - සිල් - බැවුම් ඈ විසින් කළ පිණැත්තේ ‘ කතපුඤ්ඤ’ නම්, කළ තැනැත්තහු හෝ, ඔහු සිත පිරිසිදු කරන්නේ ‘ පුඤ්ඤ’ නම්. යම්කිසි ක්‍රියාවකින් රාගාදී වූ දොෂයකින් අපිරිසිදු වූ සත්‍වයන්ගේ සිත, පිරිසිදුබවට යේ නම්, ඒ හැම ක්‍රියා පින් ය. මේය නිරුක්ති එහිලා “පුනාතීති පුඤ්ඤං, අත්තනො කාරකං ජනං අත්තසන්තානං වා යත්‍ථ සයං උප්පන්නං තං සන්තානං පුනාති සොධෙතීති = පුඤ්ඤං, පුජ්ජභාවං, ජනෙතිති වා = පුඤ්ඤං, පූජිතං වා නෙතීති = පුඤ්ඤං” යි.
පුඤ්ඤ ශබ්දය, කුශල-සුන්දර-පවිත්‍ර යන අරුත්හි ආයේ ය. (පණ්ඩකෙ සුකතෙ) පුඤ්ඤං (මනුඤ්ඤෙ පාවනෙ තිසු) යනු කෝෂ යි. මෙහි ආයේ කුසල්හි ය.
මිනිසත්බව ලද්දහු විසින් කළ යුත්තේ පින්කම් ම ය. “එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ යනු වදාළෝ එහෙයිනි. [1] ආගමයෙහි දාන-සීල-භාවනා යි පුණ්‍යක්‍රියා තුනෙක් දැක් වේ. මේ තුන ද ගෙණ නැවැත අපචායන-වෙය්‍යාචච්ච-පත්තිදාන-පත්තානුමොදනා-ධම්මසවණ-ධම්මදේසනා-දිට්ඨුජ්ජුකම්ම යන පින්කම්, දසවැදෑරුම් කොට කීහ. මෙ දසය තුළ හැම පින් කමෙක් ම දැක්ක හැකි ය.
දියයුතු වස්තු, දිමෙහි සිතිවිල්ල, දීම යන මේ දාන’ නම්. “දීයතීති = දානං, දෙය්‍යධම්මස්සෙතං නාමං, සවත්‍ථුකා වා චෙතනා දානං, සම්පත්තිපරිච්චාගස්සෙතං නාමං” යනු, දානං’ යනු විස්තර කළ සැටියි. [2]
සම්පත්ත-සමාදානවිරතීන්ගේ වශයෙන් ප්‍රාණවධාදියෙන් වළකින්නහුගේ, උපාද්ධ්‍යාය-ආචාර්‍ය්‍යවත්ත යනාදී වූ වත් පිළිවෙත් පුරන්නහුගේ චේතනාදී ධර්‍ම සීල” නම්. “ පාණතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිවත්තං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා සීලං නාම” යි සීලං” යනු විස්තර කළ සැටියි. [3]
සත්වයාගේ සිත කිලිටි කරණ ලෝභ-දෝස-මෝහාදී වූ සියලු කෙලෙසුන්ට පටහැනි ව නැගුනු කුශලපක්‍ෂයෙහි වූ සිතිවිල්ල භාවනා’ නම්. “ චිත්තස්සුපක්කිලෙසානං යා චින්තා පටිපක්ඛිකා, තස්සා යා භාවනා සා හි භාවනාති පකිතතිතා” යනු ඒ කියූ සැටියි.
මානය දුරු කොට විද්‍යමානශීලාදී වූ ගුණයක් හෝ, තමාට කළ උපකාරයක් හෝ, සිහි කිරීමෙන් බුද්ධාදි උතුමන් කෙරෙහි, මවුපියාදීන් කෙරෙහි ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි කරණ පූජාවය ‘ අපචායන’ නම්. “ගුණයුත්තෙසු සක්කාරකිරියා වන්‍දනාදිකා, පූජාරහෙන මුනිනා පූජාති පරිකිතහිතා” යි ඒ කියූ සැටියි.
ගිලනුන්ට ගුණවතුන්ට උවැටන් කිරීම, වෙය්‍යාවච්ච’ නම්. “ගිලානගුණවන්තානං දානාදීකිරියාසු වා ආසනොදකදානාදි වෙය්‍යාවච්චන්ති සඤ්ඤිතං” යන මෙයින් කීයේ ඒ ය.
අන්‍යයා කෙරෙහි කරුණාවෙන්, තමහට කළ උපකාර සැලකීමෙන් තමන්ට වන වැඩ නො බලා තමන් කළ කුශලය අන්‍යයා කෙරෙහි පැමිණවීම, පත්තිදාන’ නම්. “අත්තත්‍ථමන පෙක්ඛිත්‍වා පරත්‍ථං දීයතෙ යතො කරුණාකතං ඤාණයොගං පත්තිදානන්ති කිත්තිතං” යන මෙයින් ඒ කී ය.
යමකු විසින් කරන ලද කුශලකර්‍මයෙහි කුශලමහිමය ඊර්‍ෂ්‍යා ද්වේෂ මාත්සර්‍ය්‍යයාදිය දුරු කොටැ, ශ්‍රද්ධාප්‍රඥාදී වූ ගුණයන්ගෙන් යෙදුනු සිතැති ව අනුමෝදන්වීම, පත්තානුමොදනා නම්.
දහම් අසා එයට අනු ව කල් යවා, ලෞකික-ලෝකෝත්තර ගුණයන්ට පැමිණෙමි යි හෝ, දැනැ ඉගෙණැ ජනසංග්‍රහ පිණිස අනුන්ට බණ කියමි යි හෝ මෙසේ අන්‍යයා නිසා හෝ තමන් නිසා පැන නැගුණු ධර්‍මශ්‍රවණචේතනාව, ධම්මසවණ නම්. “විහාය වික්ඛෙපමලං අට්ඨි කත්‍වාන සාධුකං සද්ධම්මසවණං එත්‍ථ සවණන්ති පකාසිතං” යනු ඒ කී සැටියි.
ලාභාපේක්‍ෂාවෙන් තොර ව, විමුක්තායතනගීර්‍ෂයෙහි සිට දහම් දෙසන්නහුගේ, නිරවද්‍යවිද්‍යායතනාදිය උගන්වන්නහුන්ගේ හෘදගත චේතනා මාත්‍රය, ධම්මදෙසනා නම්, “හිතජ්ඣාසයතො යා හි පරස්ස හිතදෙසනා, දෙසනාමයපුඤ්ඤන්ති දෙසයී තං සුදෙසකො” යනු ඒ කී සැටියි.
දීමෙහි ඵල ඇතැ, යනාදී ලෙසින් ඒ ඒ ක්‍රියාවන්හි ඒ ඒ ධර්‍මයන්හි නියම තතු දැනැ තම දැක්ම පිරිසිදු කිරීම, දිට්ඨුජ්ජුකම්ම නම්.
දසවැදෑරුම් වූ පින්කිරියවත්හි චේතනාව ම ප්‍රධාන වේ. එහෙයින් දශවිධපුණ්‍යක්‍රියා නම් දශවිධපුණ්‍යක්‍රියාවන්හි පැවැති චේතනා ය.
උභයත්‍ථ මොදති = දෙලොවැ සතුටු වෙයි.
පින් කළ මිනිසා තමන් කළ පින්කම්, රෑ දෙවේලේ සිතමින් සිහි කරමින් මැරෙනතුරු කර්‍මමෝදනයෙන් සතුටු වෙයි. මරණින් මතු, කළ පින්කමින් සුගතියෙහි ඉපද, යස ඉසුරු ලබා විපාක මෝදනයෙන් සතුටු වෙයි.
සො මොදති සො පමොදති දිස්වා විසුද්ධිකම්මං අත්තනො = හෙතෙමේ තමන්ගේ නොහොත් තමන් කළ පිරිසිදු කර්‍මය (පින්කම) දැක සතුටු වෙයි. පරලොවැ දී තදින් සතුටු වේ.
පින් කළ මිනිසා තමන් කළ පින්කම් ගැණ සිතා, මෙලොවැ දීත්, පින්කම්වල විපාක විඳිනවිට පරලොව දීත්, තදින් සතුටු වන බව මෙයින් වදාළෝ ය. පින් කම්, කරන්නහුගේ සිත පිරිසිදු කරණ බැවින් ‘කර්‍මවිශුද්ධි’ යි කීහ. ‘මෝදති’ යන්න ‘පමෝදති’ යි වඩාලා වදාළේ, පින් කළහු පරලොව දී යසඉසුරු ලබා තදින් සතුටු වන බැවිනි.
ධර්‍ම දේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියෝ ය. දේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
ධම්මිකඋපාසක වස්තුව නිමි.