12-2 සිරිමාවන්ගේ මළ සිරුර

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං

ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්‍ථි ධුවං ඨිති.

යම් මේ සිරුරෙක නිත්‍ය පැවැත්මෙක් නැද්ද, (නව මහා ව්‍රණමුඛයන්ගේ වශයෙන් ව්‍රණස්වභාව වූ ව්‍රණසමූහ වූ) තුන් සියයක් ඇටින් ගළපා සිටුවන ලද්දා වූ, (හැම කල්හි ම කැවීමෙන් පෙවීමෙන් නැහැවීමෙන් ඉළීමෙන් ඉරියවු පෙරැළීම් ආදියෙන් පරිහරණය කට යුතු හෙයින් සතතයෙන්) ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභය ශුචි යැ යි කල්පනා කරණ ලද්දාවූ, (වස්ත්‍රාභරණාදියෙන් සරහා) විසිතුරු කරණ ලද්දා වූ මේ ශරීරය, මේ මෘතකලෙබරය (අසුචි දුගඳ පිළිකුල් සේ) බල.

වේසා ගෑණියක් වූ සිරිමා රජගහ නුවර විසූ දුටුවන් මන නුවන් ඇද ගන්නා රූ සපුවෙන් යුත් කාන්තාව වූවා ය. ඕ තොමෝ එක් අවදියෙක උත්තරා උපාසිකාවට වරදක් කොට, ඇය හා කලහයක් ඇතිකර ගත්තා ය. උත්තරා තොමෝ සුමන සිටුපුත්හුගේ බිරිය ය. පුණ්ණක සිටානන්ගේ දූ ය. පසු දවසෙක සිරිමා තොමෝ උත්තරාව කමා කරවා ගන්නට සිතා, උත්තරාවගේ ගෙයි බුදුරජුන් දන් වළඳනා දිනෙක එහි ගියා ය. වළඳා අවසන් කොට හුන් බුදුරජානන් වහන්සේ කමා කරවා ගත් ඕ තොමෝ ඒ වේලෙහි අනුමොදනා පිණිස;

“අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ,

ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදීනං”

වදාළ දහම් අසා සෝවාන් වූවා ය. මේ කෙටිකතා ය. විස්තර කථාව ක්‍රෝධවර්‍ගයෙහි අනුමෝදනා ගාථා වර්‍ණනාවෙහි එන්නී ය.

සෝතාපන්න සිරිමාවෝ. බුදුරජුන් ආරාධනා කොට පසුදා මහදන් පවත්වා, සඞ්ඝයා වහන්සේ උදෙසා නිතර දෙන්නට ලහබත් අටක් පිළියෙළ කළහ. මුල සිට වැඩිමහල් පිළිවෙළින් අටනමක් භික්‍ෂූන් වහන්සේලා නිතර එහි වඩිත්. උන්වහන්සේලාට කිරි ගිතෙල් ආදිය පාත්‍ර පුරා දෙත්. එකකු ලත් කිරි ගිතෙල් තුන් හතර නමකට සෑහෙන්නේ ය. දිනපතා කහවණු සොළොසක් වියදම් කොට දන් පිළියෙළ කෙරෙත්.

දවසෙක එක් භික්‍ෂු නමක් ඇගේ ගෙයි තමන්ට ලැබුනු ලහබත වළඳා තුන් යොත්නකින් ඈත්හි පිහිටි එක් ආවාසයකට ගියේ ය. එහි සවස මහ තෙරුන්ට උවැටන් කොට වත් පිරිත් කියන වේලේ භික්‍ෂුහු “ඇවත! අද දාවල දානය ගත්තහු කො තැනින් දැ?” යි ඇසූහ. “සිරිමාවගේ ගෙයි දී වැලඳුයෙමි” යි ඒ මහණ කී ය. ආවාසික භික්‍ෂුහු “ඇවැත! කොහොමද, සිරිමාව එය හොඳින් සැලකිල්ලෙන් කරන්නේ ද? වළඳන්නට රිසි උපදනා ලෙසට දන් දෙන්නී දැ” යි ඇසූහ. “ස්ථවිරවරුනි! කුමක් අසහු ද? ගොසින් බලනු මැනවි, සිරිමාවගේ දානයෙහි මහත්කම මට කියන්නට නො හැකි ය, ඈ තරම් හොඳට දන් දෙන ගෑණියක් රජගහ නුවර කො තැනකත් නැත, එහි කිසි දෙයක් අඩු නැත, හැම දෙයක් ම ඇත්තේ ය, කෑම බීම ඉතා රසවත් ය, මහණුන් කෙරෙහි දක්වන සැලකිලි උසස් ය, දීමෙහි මැලිකමෙක් ඈට නැත, දෙන්නට උපන් ගෑණි සිරිමා ය, වළඳා අවසන් වූ කල්හි ඉතිරි වන කෑම බීමෙහි පමණ කියනු නො හැකි ය, ඒ තරමට කෑම බීම එහි ඉතිරි වේ, අහංකාර කමක් ඈ තුළ නැත, ඕ ම දන් පිළිගන්වා බත් මාලු බෙදමින් පැන් පිළිගන්වමින් අත කට සෝදන්නට පඩික්කම් ඉදිරියෙහි තබමින් ඉඳුල් හැර දමමින් සියලු කුදු මහත් වතාවන් කරන්නී ය, ඇගේ ශ්‍රද්ධාව පුදුම ය, මෙලෙසින් ලෝබකම් හැර දන් දෙන ගෑණු පිරිමි දකින්නට නැත. ඇගේ දානයටත් වඩා වටින්නේ ඈගේ දැකී ම ය, ඕ එතරම් නෙත් සිත් ඇද ගන්නා හැඩහුරුකමින් යුත් ගෑණියකැ” යි ඒ මහණ සිරිමාගේ ගුණ කී ය.

ඒ වේලෙහි එහි සිටි එක් මහණෙක්, සිරිමාගේ ගුණ කථාව අසා, ඇය කෙරෙහි ඇලී, “ගොස් බලන්නට ඕනෑ” යි තම වස් ගණන ඒ මහණහුට දන්වා, නැවත “හෙට සිරිමාගේ ගෙට දානය පිණිස යන්නට කුසපත් ලබා ඇති මහණහුගේ වස් ගණන කෙතක් දැ” යි ඇසී ය. “ඇවැත! ඔබ, වහන්සේ එහි යන්නහු නම්, ඔබ වහන්සේට සඞ්ඝස්ථවිර ව හෙට එහි ගොස් දන් පිළිගත හැකි ය” යි ඒ මහණ කී කල්හි එයින් සතුටු වූ ඒ මහණ තෙමේ ඒ වේලෙහි ම පා සිවුරු ගෙණ ඉතා අලුයම අරුණ නැගෙත් ම දන් දෙන තැනට ගොස් සඞ්ඝස්ථවිර ව සිට දන් පිළිගත්තේ ය.

පෙර දිනයෙහි එහි දන් වැළඳු මහණ එ තැනින් බැහැර ගිය ඇසිල්ලෙහි ම සිරිමා රෝගාතුර වූ ය. තදින් ගිලන් වූ ඕ ඇඟ ලා තුබූ ඇඳුම් ආයිත්තම් ගලවා දමා නින්දට ගියා. ය. එදාත් දන් පිළිගන්නට භික්ෂූහු එහි පැමිණියහ. එහි මෙහෙ කරණ කෙල්ලෝ භික්‍ෂූන් දන් පිළිගන්නට ඇවිත් සිටුනා බව සිරිමාට දැන් වූහ. ඕ තොමෝ “මම ගිලන්මි, කිසිත් කරන්නට මට නො පිළිවන, දැරියනි! තෙපි හාමුදුරුවරු වඩා හිඳුවාලා පාත්‍ර ගෙණ පළමුකොට අවුලුපත් පිළිගන්වා නැවත දන් වළඳවාලවු, වළඳනා වේලෙහි මා අදහස් ලෙසින් පා පුරවා බත් මාලුපිණි පිළිගන්වාලවු” යි නියෝග කළා ය. මෙහෙ කරණ කෙල්ලෝ “යහපතැ” යි භික්‍ෂූන් ගෙට වැඩම කරවා වඩා හිඳුවාලා පළමු කොට අවුලුපත් පිළිගන්වා ඉන් පසු දන් පිළියෙල කොට පිළිගැන් වූහ. සිරිමා කී ලෙසින් දන් වළඳනා වේලෙහි බත් මාලු පිණියෙන් පාත්‍ර පුරවා, සිරිමාවට ඒ බව දන්වා සිටියහ. ඕ තොමෝ ඒ දකිනු කැමැති ව “දැරියනි, මම හාමුදුරුවරු දකිනු රිසියෙමි, මා අල්ලා ගෙණ එ තැනට ගෙණ යවු” යි කිවු ය. මෙසේ මෙහෙ කරණ කෙල්ලන් විසින් අතින් ගෙණ භික්‍ෂූන් ඉදිරියට පමුණු වන ලද සිරිමා තොමෝ වෙවුල වෙවුලා භික්‍ෂූන් වැන්දා ය. අවුරුදු කෙළ ගණනක් රැස් ව සිටි කෙලෙස් ඇති ඒ මහණ තෙමේ ඇය දැක මුළා වූයේ ලත් බතත් කා ගත නො හී, පාත්‍රයත් රැගෙණ වෙහෙරට ගොස් එය වසා තබා පොරොවා තුබු සිවුරෙහි කොණක් බිම එලා නිදන්නට වන.

එක් යහළු මහණෙක් එහි, පැමිණ, නොයෙක් ලෙසින් පෙරැත්ත කළ ද කිසිවක් වළඳවා ගත නො හැකි විය. එ දවස ම සිරිමා කලුරිය කළා ය. රජ තෙමේ සිරිමා කලුරිය කළ බව බුදුරජුන්ට දන්වා යැවී ය. බුදුරජානන් වහන්සේ එය අසා, “සිරිමාවගේ මළ සිරුර ආදාහන නො කොට අමුසොහොනට ගෙණ ගොස් බලු කවුඩු කැනහිල් ඈනට ලං වන්නට බැරි සේ තබ්බවා රැකවල් ලව” යි රජුට දන්වා යැවූ සේක. රජ එසේ කරවී ය. පිළිවෙළින් තෙ දිනක් ඉක්ම ගියේ ය. සිවුවන දා මළසිරුර ඉදිමින. වනදොරින් පණුවෝ වැගිරෙන්නට වූහ. මුළු සිරුර ඇල් සාල් බත් සැළියක් සේ විය. ඉක්බිති රජ තෙමේ බුදුරජානන් වහන්සේගේ අදහස් දැන “කුඩා ලමයින් හා ගෙවල් රැකවල සිටියවුන් හැර අන් හැම කෙනෙක් සිරිමාව දකින්නට එත්වා. නො ආවුන්ට කහවණු අට බැගින් දඩ ය” යි මුළු නුවර අණබෙර යැවී ය. “සංඝයා වහන්සේත් කැටුව බුදුරජානන් වහන්සේ සිරිමාව දකින්නට සොහොන් බිමට වැඩම කරණ සේක්වා” යි ආරාධනා යැවී ය. බුදුරජානන් වහන්සේ “සිරිමාව දකින්නට යමු” යි සඞ්ඝයාට දැන් වූහ. ක්ලේශ වශී ව සිටි මහණ, සිවු දිනක් ම නො කා නො බී කිසිවකුත් කියන්නක් ද නො පිළිගෙණ බත් නැති ව සිටියේ ය. පාත්‍රයෙහි තුබූ බත් කුණු විය. පාත්‍රයෙහි මළ බැඳුණේ ය. ඔහුගේ යහළු මහණෝ ඔහු වෙත ගොස් “ඇවැත බුදුරජානන් වහන්සේ සිරිමාව දකින්නට වඩිනා සේකැ” යි කීහ. සිවු දිනක් නො කා නො බී නිදි ගත් ඒ මහණ, ‘සිරිමා’ යි කී සැටියේ වහා නැගිට “කුමක් කියහු?” යි ඇසී ය. “බුදුරජානන් වහන්සේ සිරිමාව බලන්නට වඩිනා සේක, ඔබත් එහි යන්නහු දැ?’ යි ඇසූහ. “ඔව්, මමත් යමි” යි බත් වීසි කොට පාත්‍රය සෝදා ථවිකයෙහි බහා මහණුන් හා එක් ව එහි ගියේ ය. බුදුරජානන් වහන්සේ මහණගණයාගෙන් පිරිවරණාලදු ව පසෙකට වී වැඩ සිටි සේක. මෙහෙණෝ රාජපුරුෂයෝ උපාසක උපාසිකාවෝ එක එක තැන රැස් ව සිට ගත්හ.

බුදුරජානන් වහන්සේ

:-

මහරජ, මෝ කවු ද?

මහරජ තෙමේ

:-

ස්වාමීනි! ජීවකයාගේ නැගනි වූ සිරිමා.

බුදුරජානන් වහන්සේ

:-

මෑ ද ඒ සිරිමාව?

මහරජ තෙමේ

:-

ස්වාමීනි! එසේ ය, මෝ සිරිමා ය.

බුදුරජානන් වහන්සේ

:-

මහරජ! එසේ නම් කහවණු දහසක් දී කැමැති කෙනෙකුට දැන් මේ සිරිමාව ගෙන යන්න යි මුළු නුවර අණබෙර යවන්න.

මහරජ තෙමේ

:-

හොඳයි, ස්වාමීනි; යවන්නෙමි.

රජ තෙමේ මෙසේ කියානුවර බෙර යැවී ය. එහෙත් එකෙකුත් ඒ පිණිස නො ආයේ ය. ඉක්බිති රජ තෙමේ “සිරිමාවී ගන්නට එකෙත් මෙහි නැතැ” යි බුදුරජානන් වහන්සේට දන්වා සිටියේ ය. “මහරජ! එසේ නම් ගණන අඩු කර ගන්නැ, යි කියා දන්වාලව” යි වදාළ විට “පන් සියයක් දී සිරිමා ව ගන්නැ” යි අණබෙර යැවී ය. ඒ වරත් එකෙකුත් ඉදිරිපත් නො වී ය. එකල්හි දෙසිය පණසට, දෙසියයට, සියයට, පණසට, පස්විස්සට, විස්සට, දහයට, පසට, එකකට, පාදයකට, මදටයකට, තුට්ටුවකට සිරිමාව ගන්නැ” යි පිළිවෙළින් දොළොස් වරක් අණ බර යැවි ය. එකෙකුත් ඒ ගන්නට නො ආයේ ය. එවිට “නො මිලයේ හැරගෙණ යන් නැ” යි දැන් වී ය. එහෙත් නිකමටවත් හා, හු, කියන්නෙක් එහි නො වී ය. රජ තෙමේ ඒ බව බුදුරජානන් වහන්සේට දන්වා සිටියේ ය.

උන්වහන්සේ “මහණෙනි! වැඩක හැටි බලවු, එදා මේ නුවර හැම දෙනකුගේ සිත් ගෙණ සිටි මේ ගෑණිය, අද නොමිලයේත් ගෙණ යන්නට කවුරුත් නැන, එදා ගත්තේ දවසට කහවණු දහසක් දීලා ය, දැන් නිකමට දුන්නත් ගන්නෙක් නැත, එදා මහාජනයා මුළා කළ මැයගේ රූපය අද ඇස් හැර බැලීමටත් නො හැකි තැනට වැටුනේ ය, මහණෙනි! බලවු, හැඩට යසට තිබුනු සිරුරට සිදු වී ඇති සැටි, හිස පටන් දෙපතුල තෙක් ම එක ම පණුවැදැල්ලෙක, වණමුවින් වැගිරෙන ලේ සැරවෙහි නිමාවක් නැත, පණුවන්ගේ සීමාවක් නැත, මහණෙනි! මේ සිරුර මුළුමනින් කුණු ගොඩක, කුණුවළෙක, පණුවැදැල්ලෙකැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

පස්ස විත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං,

ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්‍ථි ධුවං ඨීතීති.

යම් සිරුරෙක තිර පැවැත්මෙක් නැත්තේ ද. වණ සමුහයක් වූ (තුන්සියයක් ඇටින්) නගා සිටුවන ලද ගිලන් වූ බොහෝ දෙනා විසින් ශුභය යි සලකන ලද විසිතුරු කළ මේ සිරුර බලව.

පස්ස = බලව.

මසැස හැර බලව යනු අදහස නො වේ. නුවණැසින් නය ලෙසින් බලව යනු අදහස ය.

විත්තකතං = විසිතුරු කළ, සැරසූ.

ලෝකය තෙමේ මදමත් ව මේ සිරුර කොමු පිළි, දුහුල් පිළි, පට පිළි ඈ නන් වැදෑරුම් වූ වටිනා පිළියෙන් හා රන් රිදී මුතු මැණික් ආදියෙන් කළ ශීර්‍ෂාභරණ, ග්‍රීවාභරණාදී වූ නානාවිධ ආභරණයෙන් මොනවට සරසන්නේ ය. විසිතුරු කරන්නේ ය. සුවඳ දිය, සුවඳ සබන් පියොර ආදියෙන් සුවඳවත් කරන්නේ ය, නොයෙක් වේශ විලාස දක්වා හිස පිරන්නේ ය. සුවඳ තෙල් ගල් වන්නේ ය. රැවුලු කපන්නේ ය. කුඩුම්බි තබන්නේ ය, තොල් නිය පාට ගන් වන්නේ ය.

බිම්බං = සිරුර.

බිම්බ යි සත්ත්‍ව ශරීරයට නමෙකි. ‘ බිම්බං වුච්චති සරීරං’ යනු කෝෂ යි. කුණු කසළ, වමනය කරණ බැවින් එසේ කියන ලද්දේ ය. රෑ දාවල් දෙකකි. ඇස්, කන් නාස් ඈ වණමුඛයන්ගෙන් වමනය කරන්නේ කුණු කසළ ම වේ. ‘වමු + උග්ගිරණෙ’ යනු ධාතුයි.

අරුකායං = වණ සමූහයක් වූ.

මුව, දෙඇස, දෙනාස් සිදුරු, දෙකන් සිදුරු, මලමග, මූමග යන මේ නව තැන මහාවණමුඛ නම්. මේ හැම තැනකින් දිවා රෑ දෙක්හි ගලන්නේ වෑහෙන්නේ පිට වන්නේ කුණු ය. දුගඳ ය. පිවිතුරු නො වූ දෑ ය. සිය සිරුරෙහි රැස් ව සිට මේ නව මගින් නිකුත් වන අශූචි ය. තෙමේ ම අතින් පයින් කෝටුවෙන් පහසනු තබා දුර සිට දක්නට ද අකැමැත්තේ ය. ඒ බැහූ පැත්තෙහි ඉන්නට යන්නට අකැමැත්තේ ය. මෙසේ හැම ලෙසින් පිළිකුල් වූ කැහි, කෙල, සොටු, කබ, කම්මල, මල මූ නිතර නිකුත් වන මේ සිදුරු නවය දුගඳ වහනය වන බැවින්, කුණු වැගිරෙන බැවින් වණමුඛ නම් වේ.

අරු යි වණයට නමෙකි. සිරුරෙහි වූ කුණු කසළ උඩට නගනා බැවින් වණමුඛ ‘අරු’ යි කියනු ලැබේ. ඔවුන්ගේ සමූහය අරුකාය නම්.

සමුස්සිතං = (තුන්සියයක් ඇටින්) නගා සිටුවන ලද.

දෙතිස් දත් ඇට හැර, සූසැටක් අත් ඇට, සූ සැටක් පා ඇට, සූ සැටක් මස් ඇසුරු කළ මොළොක් ඇට, දෙකක් විළුම් ඇට, දෙකක් ගොප් ඇට, දෙකක් දඟ ඇට, දෙකක් දණ ඇට, දෙකක් කලවා ඇට, දෙකක් කටි ඇට, අටළොසක් පිටිකටු ඇට, සූ විස්සක් ඉල ඇට, තුදුසක් උර ඇට, එකක් ලය ඇට, දෙකක් අකු ඇට, දෙකක් කොටු ඇට, දෙකක් බාහු ඇට, දෙකක් අක්බාහු ඇට, සතක් ගෙල ඇට, දෙකක් හනු ඇට, එකක් නාස් ඇට, දෙකක් ඇස් ඇට, දෙකක් කන් ඇට, එකක් නළල් ඇට, එකක් මුදුන් ඇට, නවයක් හිස් කබල් ඇට යන තුන්සියයක් පමණ ඇටවලින් ගළපා, නහරින් වෙළා, මසින් ලෙහයෙන් වඩා නගා සිටුවන ලද්දේ ය මේ සිරුර. මේ කියන ලද්දේ ආගම ධර්‍මයෙහි ආ සැටි ය.

වෛද්‍යශාස්ත්‍රීය ග්‍රන්‍ථයන්හිද මිනිස් සිරුරෙක ඇත්තේ ඇට තුන් සියයකැ යි කියන ලද්දේ ය. ‘ත්‍රීණ්‍යස්ථිශතානි භවන්ති මනුෂ්‍යශරීරෙ’ යනු ආප්තයි. වෛදිකයෝ ‘ඇට තුන් සිය සැටෙ කැ’ යි කියත්. ශල්‍ය තන්ත්‍රයෙහි කියන ලද්දේද තුන් සියයෙකි. එහි, ශාඛාවන්හි එක් සිය විස්සෙක, උකුළුදෙපස, පිට, උදර, ලය යන තැන්හි, එක්සිය සතළොසක, ගෙලෙන් උඩ පෙදෙස තෙ සැටෙකැ යි ඇට තුන් සියය මෙසේ වෙන් කරත්.

දත් ඇට හා මේ සියලු ඇට කපාල, රුවක, තරුණ, වලය, නරක යි කොටස් පහකට බෙදත්, දණ, ඇල, කොපුල්, තල්ල, හක්ක, හිස යන මෙ තැන්හි වූ ඇට කපාල නම්. දත් ඇට රුවක නම්. නැහැය, කණ, ගෙල, ඇස, කෝෂය යන මෙ තැන්හි වූ ඇට තරුණ නම්. අල්ල, පල්ල, පිට, බඩ, ලය යන මෙ තැන්හි වූ ඇට වලය නම්. සෙසු ඇට නලක නම්.

ආතුරං = ගිලන් වූ. .

සිරුර දිවා රෑ දෙක්හි කැවීම, පෙවීම, නැහැවීම, ඉළීම, ඉරියවු පෙරළීම ඈ යන මෙයින් නිතර පිළිදැගුම් කළ යුතු බැවින්, පරිහරණය කළ යුතු බැවින් ගිලන් ය. සිරුර ජරාවෙන් ව්‍යාධියෙන් ගිලන් ය. කෙලෙසුන්ගෙන් ගිලන් ය. එහෙයින් සිරුර ආතුර යි වදාළ සේක.

බහුසඞ්කපපං = බොහෝ දෙනා විසින් යහපත් යි කල්පනා කරණ ලද නො නැසු කෙලෙස් ඇති අඥයන් විසින් අශුභ වූ ශරීරය ශුභය යි සම්මත ය. එහෙයින් ඔවුහු එහි මුසපත් වෙති. එයින් ඔවුහු පව්කම් කරන්නෝ ය.

යස්ස නත්‍ථි ධූවං ඨිති = යම් සිරුරෙක නිති පැවැත්මෙක් නැත්තේ ද.

එකතින් නස්නා සුලු ය. එකතින් විසිරෙණ සුලුය යි මේ වදාළ සැටියි. සිරුරෙහි එකාන්ත ස්ථිර පැවැත්මෙක් නැත්තේ ය. ශරීරයයි කියන නාම රූපධර්‍ම දෙ කොටස දිවා රෑ දෙක්හි හැම මොහොතෙක ඉපිද ඉපිද මැරි මැරි යන්නේ ය. සිරුරෙහි තිර පැවැත්මෙක් නැතැ යි වදාළෝ එහෙයිනි. එහෙත් සන්තති වශයෙන් දිගට පවත්නා බවක් පෙණෙන හෙයින් නුවණ නැත්තේ සිරුර ස්ථිරය, ශුභය, සුඛය යන ඈ ලෙසින් වරදවා ගන්නේ ය. එයට ආලය කරන්නේ ය. එහි හැපෙන්නේ ය.

“වස්ත්‍රාභරණාදියෙන් සැරසූ, වණසමූහයක් වූ ඇටවලින් නැගුනු ගිලන් වූ බොහෝ දෙනා විසින් යහපතැ යි පිළිගත්, තිර පැවැත්මක් නැති මේ සිරුර බලව” යි වදාළෝ සිහි එලවා බලන්නට ය. නුවණින් බලන්න ට ය. කරුණු සිතට ගෙන බලන්නට ය. නිවනට හිත ලෙස බලන්නට ය. ආගමට අනු ව විද්‍යාචක්‍රවර්තිපදයෝ මෙහි ලා මෙසේ කීහ. “මේ ශරීරය නම් මුත්තෙකින් මැණිකෙකින් මරාවකින් පබළුයෙකින් රණෙකින් රිදියෙකින් නිමියේ නො වෙයි. ඇටින් සෙමින් නහරින් මසින් ලෙහෙයින් සෙමින් පිතින් වමනින් අසුචියෙන් හිසකෙහෙයෙන් ලොමින් නියෙන් දතින් වකුගඩුවෙන් හදවතින් අක්මායෙන් බඩදිවින් දලබුයෙන් අතුණෙන් අතුණුබහනින් නො පැසුනු අහරින් පූයායෙන් ඩැහයෙන් කෙලින් කඳුලෙන් සොටුයෙන් සඳමිදුලෙන් හිස් මුලින් නිමි, බැලූ බැලූ සේ අසාරය, සිතු සිතු සේ පිළිකුල ය, නුවණ නැති නැති වූ සේ යහපත් ව වැටහෙන්නේ ය, බුදු ඇසිනුදු බලා සාරයක් දක්නට නැතියාව හැම ලෙසින්ම අසාර ව සිටියේ ය, පෙණ පිඩක් සේ, දිය බුබුලක් සේ, විදුලියක් සේ, ඉන්‍ද්‍රජාලයක් සේ, සිහිනෙන් දුටු රුවක් සේ අස්ථිර ය, අයාපත, නො සබා ය, දුර්‍ගන්‍ධයට ආකර ය, අශූචියට පාත්‍ර ය, මුත්‍රයට භාජන ය, ගඩක් වැන්න, පොළක් වැන්න, රෝගයක් වැන්න, ඇවිදිනා අසුචි පිඩක් වැන්න, තෙමේ ම තමහට විෂ ය, තෙමේ ම තමහට ගිනි ය, ඇතුළෙහි අසුචි පුරා පිටතැ සිතියම් කළ කළයක් වැන්න, එක් දවසක් නො නෑ ව එක් දවසක් නො ඉලු ව එක් දවසක් දත් නො මැද් ද පැයක් බුලත් නො කෑ ව තෙමේ ම තමහට අසුචි වළක් සේ වැටහෙයි, කන්හි කණාදු ලෙසින් සිටි අසුචි ය, ඇස්හි මඩ ලෙසින් සිටි අසුවි ය, නාසයෙහි සොටු ලෙසින් සිටි අසුචි ය, ස්වභාවයෙන් අධෝමාර්‍ගයෙන් වෑහෙන්නා වූ අසුවිය යන මෙතක් අසුචියෙන් අතුරක් නැත්තේ ය, රෝගයට ආකර ය, ශෝකයට ආකර ය, භයට ආකර ය, උපද්‍රවයට ආකර ය, අද නස්සි, හෙට නස්සී යි හිමක් නැත්තේ ය, ආදී මවුකුස් මහ නරකයෙහි වැස විඳුනා දුකට කාරණ ව සිටියේ ය, ඝෝර වූ ජරාදුකට පිහිට ව සිටියේ ය. මරහු මුවෙහි විඳුනා මරණදුකට පිහිට ව සිටියේ ය. තමාගේ පිළිකුල් තමාට ම ඉවසා ගත නො හැකි දුර්‍ගන්‍ධ ඇත්තේ ය. මළ එක දවසකුදු ගෙයි ලැග්ග, ලැගි ගෙය අමු සොහොනක් සේ කරණ පිළිකුලට නිදාන ව සිටියේ ය. නො ගත හැක්ක, නො දිය හැක්ක, නො සිතිය හැක්ක. එසේ වූ කුණු ශරීරය හා ඒ ශරීරය නිසා පවත්නා සිත මුත් අනික් ආත්මයක් නැත. මේ චිත්තයත් මේ ශරීරයත් ඇති ව නැති වන හෙයින් අනිත්‍ය ය. නොයෙක් දුකට පිහිට හෙයින් දුඃඛ ය, තමා කැමති සේ නො පවත්නා හෙයින් අනාත්ම ය” යි.

මෙය බලා වඩා නිවන් පසක් කරණු කැමැත්තහු විසින් සිරුරෙහි හැම කොටසක් සිතින් වෙන් කොට හැම කොටසක් වණ්ණ, සණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද යන පස් අයුරින් ඉගෙණ ව්‍යවස්ථා කොට නැවත වණ්ණ, ගන්‍ධ, ආසය, ඔකාස විසින් පස් පරිද්දෙකින් පිළිකුල් බව සිහි කළ යුතු ය.

එහි පළමු කොට තවපංචකාදීන්ගේ වශයෙන් පිරිසිඳ අනුලෝම ප්‍රතිලෝම විසින් වචනයෙන් හැදෑරිය යුතු ය. සිතිනුදු හැදෑරිය යුතු ය. වචනයෙන් හැදෑරීම සිතින් කරණ හැදෑරීමට ප්‍රත්‍යය වන්නේය. මනසාසජ්ඣායනය ලක්‍ෂණප්‍රතිවේධයට කරුණු වන්නේ ය, කේසාදීන් පිළිබඳ පැහැය මේ ය යි නිශ්චය කර ගැනීම ඔවුන් පිළිබඳ සටහන් නිශ්චය කර ගැණීම, සිරුරෙහි නාභියෙන් උඩ, උපරිමදිසා ය. යට පෙදෙස හෙට්ඨිමදිශා ය. එහෙයින් මේ කොටස මේ දිසායෙහි ය යි යනාදීන් දිශා නිශ්චය කර ගැණිම මේ කොටස මේ අවකාශයෙහි පිහිටියේ ය, යනාදීන් අවකාශ නිශ්චය කර ගැණිම, මේ කොටස උඩින් යටින් සරසින් අසවල් කොටසින් පිරිසිඳිනා ලද ය. කේසයෝ ලෝමයෝ නො වෙති, ලෝමයෝ කේසයෝ නො වෙති යනාදීන් සහාගවිසභාගයන් පිරිසිඳ ගැණීම යන පස් අයුරෙන් මේ උගත යුතු ය. මේ උගැන් ම ‘ උග්ගහ කොසල්ල’ යි කියත්. අනතුරු ව දස අයුරකින් වඩ වඩාත් මේ මෙනෙහි කළ යුතු ය. දස අයුරකින් කෙරෙණ මේ මනසිකාරය ‘මනසිකාරකොසල්ල’ යි කියත්.

මෙසේ උග්ගහකොසල්ල, මනසිකාරකොසල්ල දෙකෙන් දක්‍ෂ වූවහු විසින් පැහැයෙන් සටහනින් ගඳින් හටගත් තැනින් අවකාශ විසින් කෙස් ඉතා පිළිකුල් ය යි නිශ්චය කර ගත යුතු ය. මෙසේ පිළිකුල් විසින් මෙ‍නෙහි කරන්නහුට මුළු සිරුරු කොටස් කොටස් වශයෙන් ප්‍රකට වන්නේ ය. සියලු කොටස් පැහැදිලි ව පෙනෙන්නට වූ කල්හි මිනිස් තිරිසන් ඈ සත්ත්‍වාකාරය හා ස්ත්‍රී පුරුෂාදි භාවාකාරය හැර කොට්ඨාස රාසි වශයෙන් නුවණට ඒ වැටහෙන්නේ ය. අනුපුබ්බමුඤ්චනාදීන්ගේ වශයෙන් පිළිකුල් බව නැවත නැවත මෙනෙහි කිරීමෙන් පිළිවෙළින් අර්‍පණාව පහළ වන්නී ය. එහි කසාදීන් වණ්ණසණ්ඨානාදීන්ගේ වශයෙන් වැටහීම උග්ගහනිමිත්ත නම්. හැම ලෙසකින් පිළිකුල් බව වැටහීම පටිභාගනිමිත්ත නම්. එය සේවනය කිරීමෙන් වැඩීමෙන් ප්‍රථමධ්‍යානයාගේ වශයෙන් අර්‍පණාව වන්නී ය. නැවත මෙතෙමේ කේසාදීන්ගේ වර්‍ණභේදය ඇසුරු කොට ධ්‍යාන ලබන්නේ ෂඩ් අභිඥාවන් ප්‍රතිවේධ කරන්නේ ය. විස්තර විශුද්ධි මාර්‍ගයෙහි එන්නේ ය.

සිරුර මෙසේ බැලීම නිවනට හිත ය. වරදවා ශුභ වශයෙන් බැලීම නිවනට හිත නොවේ. වරදවා බැලීම නිවන් මග අවුරන්නේ ය, කෙලෙස් උපද වන්නේ ය.

“අඞ්ගපච්චඞ්ගකොට්ඨාස කලාපාකාරතො පන,

සංගතො රූපපුඤ්ජොව වුත්තො බිම්බොති එකතො”

අත් පා කෙස් ලොම් ඈ කොටස් කලාප වශයෙන් එකට බැඳී සිටි රූප සමූහය ම සිරුරැ යි කියන ලද්දේ ය.

“නානා සන්‍ධිපරිඡින්නඅඞ්ගපච්චඞ්ගර සිනො,

හොති නාමං සරීරන්ති ඉත්ථී වා පුරිසොති වා”

නොයෙක් සන්‍ධීන්ගෙන් පිරිසිඳිනා ලද අඟපසඟ සමූහයට ශරීරැ යි නම් වේ. ස්ත්‍රී-පුරුෂ යන නම් ද වේ.

“ජාතො ජිණ්ණො මතො ව්‍යාධි සන්තොයමිති සම්මුති,

ජයමානාදිභාවෙන රූපකායො පවත්තති”

“මේ සත්ත්‍ව නම් උපන්නේ ය. මහලු වූයේ ය. මළේ ය. රෝගී ය” යි සම්මුතියක් මුත් පරමාර්‍ත්‍ථ විසින් සත්ත්‍වයෙක් නැත්තේ ය. උපදින දිරණ ස්වභාවයෙන් රූපසමූහය පවත්නේ ය.

“කායො න පස්සති සුණාති ච නෙව කිඤ්චි

ජානාති කිඤ්චිමපි නෙව සයං කරොති,

යුත්තො පවත්තති මනෙන තථා තථායං

සුත්තෙන යන්තමිව දාරුමයං පයුත්තං”

ශරීරය තෙමේ රූප නො දකියි. ශබ්ද නො අසයි. කිසිවකුත් නො දකියි. තෙමේ කටයුතු ද නො කරයි. හූවලින් යුත් දාරුමය යන්ත්‍රයක් සේ සිතින් යුක්ත වූයේ ඒ ඒ දෙය කරයි.

“නානත්තො හි මනසො අනිලස්ස භෙදො

භෙදානිලස්ස ගමනාදි ක්‍රියාවිභාගො

කායස්ස සිජ්ඣති ක්‍රියා ච තථා තථායං

දෙසන්තරම්හි ඉතරිතරරූපසිද්ධි”

චිත්තජවායෝධාතුහුගේ භේදය, සිතේ වෙනස් බව හේතු කොට වන්නේ ය. වායෝධාතුහුගේ වෙනස්වී ම නිසා යෑම් ඊම් ඉඳීම් කිරීම් ආදී වූ ක්‍රියා සිදු වේ. ඒ ද ඒ ඒ අයුරෙන් ඒ ඒ දේශයෙහි අනික් අනික් ක්‍රියාවන්ගේ සිද්ධිය පිණිස වේ.

“නානත්තතො මානසභූරවානං

නානාභිධානානි භවන්ති එවං,

අත්‍ථානුරූපක්‍රියසද්දහෙතු

තත්‍ථාවිනිබ්භොගමතී රමන්තෙ”

චිත්ත, පඨවිධාතු, ශබ්ද යන මොවුන්ගේ නානාභාවය හේතු කොට නොයෙක් නාමයෝ වෙත්. මෙසේ අර්‍ථානුකූල වූ ක්‍රියා ශබ්ද දෙදෙනා හේතු කොට සිරුරෙහි වෙන් කිරීම නො කැමැත්තෝ ස්ත්‍රී පුරුෂග්‍රහණයෙන් සිරුරෙහි ඇලෙත්.

“කත්‍වා විනිබ්භොගමිදං සරීරං

නිස්සත්තමෙතන්ති පහාය සඤ්ඤං,

මෝහන්‍ධකාරාතුරජීවලොකෙ

තුච්ඡං විතක්කෙතිහ ධම්මමත්තෙ”

මේ ශරීරය ධාතු ආයතනාදී වශයෙන් වෙන් කොට “ශරීරය සත්ත්‍ව රහිත ය” යන කල්පනාව හැර මෝහන්‍ධකාරයෙන් ආතුර වූ සත්ත්‍වලෝකය තෙමේ ධර්‍මමාත්‍ර වූ මේ ශරීරයෙහි හිස් වූ මිථ්‍යා කල්පනාවෙන් විතර්‍කනය කරයි.

“අලද්ධා සබ්හි සංවාසං සරීරෙ ධාතුමත්තකෙ,

යථාභූතමජානන්තො කරොන්තා පටිඝං රතිං”

සත්පුරුෂයන් හා ආශ්‍රයයෙන් වෙන් ව ධාතුමාත්‍ර වූ ශරීරයෙහි තත්ත්‍වාකාරය නො දත හැකි ය. ඒ නො දන්නෝ ප්‍රතිඝයත් ඇල්මත් කරති.

“භූතපුඤ්ජොව භූතානං වසෙනෙවං පවත්තති,

නත්‍ථි කොචි පවත්තෙන්තො පවත්තාපනකො නරො”

සතර මහාභූතයන්ගේ වශයෙන් සතර මහාභූතපුඤ්ජය ම යෑම් ඊම් ඈ ඉරියවූ ගෙණ පවතී. යෑම් ඊම් ඈ කරන්නා වූත් කරවන්නා වුත් කිසි මිනිසෙක් මෙහි නැත්තේ ය.

“නහෙත්‍ථ දෙවො න බ්‍රහ්මා නත්‍ථිත්‍ථි පුරිසොති වා,

ධාතුමත්තාසුභානිච්චා දුක්ඛධම්මා පවත්තරෙ”

මෙහි දෙවියෙක් නැත. බ්‍රහ්මයෙක් නැත. පුරුෂයෙක් නැත. ධාතු මාත්‍ර වූ අශුභ වූ අනිත්‍ය වූ දු:ඛධර්‍මයෝ ම පවතිත්.

“නායං මිත්තො න ඤාතී ච න ච කස්සචි සන්තකො

නිජ්ජිවාසුචි මත්තොව කෙවලං කම්මසම්භවො”

මේ ශරීරය යහළුවෙක් නො වේ. නෑයෙක් නො වේ. කිසිවකුට අයත් ද නො වේ. හුදෙක් කර්‍මයෙන් හටගත් ජීවරහිත වූ අසුචි මාත්‍රයෙක් ම ය.

පස්ස යන ක්‍රියාපදයෙන් දක්වා වදාළෝ මේ සිරුර කලාප - ආදීනව - අශුභාදීන්ගේ වශයෙන් බැලීම ය. බැලිය යුතු බව ය. ධර්‍මාභිසමයට හේතු වන්නේ එය බැවිනි. “ යස්ස ධුවභාවො වා ඨිතභාවො වා නත්‍ථි එකන්තෙන භෙදනවිකිරණවිද්ධංසන ධම්ම මෙවෙතං, ඉදං පස්සථ” යන විවරණය එය කියාලයි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි අසූසාර දහසක් දෙනාට ධර්‍මාභිසමය වූයේ ය. ඒ මහණ ද සෝවාන් විය.

සිරිමා වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.