9-4 සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි.

පාපො’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති

යදා ච පච්චති පාපං අථ පාපො පාපානි පස්සති.

යම් තාක් කල් පුරුෂයා විසින් කරණ ලද අකුශල කර්‍මය මෙලොවැ හෝ පරලොවැ හෝ විපාක නො දේ ද, ඒ තාක් කල් පාපකර්‍මසමන්‍විත පුද්ගල ද යහපත දක්නේ ය (පාපී පුද්ගල ද පූර්‍වජන්මයෙහි කළ සුචරිත බලයෙන් වැඩ දක්නේ ය, සුව විඳුනේ ය. යම් කලෙක වනාහි ඔහු කළ පාපකර්‍මය දුෂ්ටධර්‍මවේද්‍ය ව එම ජන්මයෙහි හෝ උපපද්‍යවෙද්‍ය ව හෝ අපරාපර්‍යවේද්‍ය ව) විපාක දේ ද, එකල්හි පව් කළ පුද්ගල තෙම (මෙලොවැ වධබන්‍ධනාදියට ද පරලොවැ අපාය දුකට ද භාජන වීමෙන්) පාපඵලයන් දක්නේ ය.

භද්‍රො’පි පස්සති පාපං යාව භද්‍රං න පච්චති

යදා ච පච්චති භද්‍රං අථ භද්‍රො භද්‍රානි පස්සති.

යම් තාක් කල් පුරුෂයා විසින් කරන ලද කුශල කර්‍මය (මෙ ලොව හෝ පරලොවැ) විපාක නො දේ ද, ඒ තාක් කල් කුශලකර්‍මසමන්‍විත පුද්ගල ද (පුර්‍ව කර්‍මයෙහි කළ දුශ්චරිත බලයෙන් වන අකුශල විපාක වූ) අවැඩ දක්නේ ය (දුක් විඳුනේ ය). යම් කලෙක වනාහි ඔහු කළ සුචරිතය (මෙ ලොවැ ම හෝ පරලොවැ හෝ) විපාක දේ ද, එ කල්හි කුසල් කරණ සත්පුරුෂ තෙම (මෙ ලොවැ ලාභසත්කාරාදි සුව ද පර ලොවැ දෙව්සැපත් ආදි සුව ද අනුභව කරන්නේ) භද්‍ර වූ ඉෂ්ට විපාකයන් දක්නේ ය.

පාපොපි පස්සති භද්‍රං යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරනලදි.

අනාථපිණ්ඩික සිටුවරයා පනස්හතර කෝටියක් බුද්ධශාසනය උදෙසා වියදම්කොට කරවනලද ජේතවනවිහාරයෙහි බුදුරජාණන්වහන්සේ වැඩවාසය කරන විට දිනපතා උපස්ථාන සඳහා තුන්වරක් යයි. එසේ යනවිට, ළදරු සාමණේරවරු ගෙනාවේ මොනවාදැයි මගේ අත්දෙස බලතියි හිස්අතින් නොයයි. උදේ වරුවේ යන්නේ නම්, කැඳ රැගෙනම යයි. උදේ ආහාර වේලාවෙන් පසු යනවිට ගිතෙල්, වෙඬරු ආදිය රැගෙන යය. සවස් වේලේ යනවිට මල්ගඳවිලවුන්, රෙදි ආදිය රැගෙන යයි. මෙසේ නිරන්තරයෙන්ම දවස්පතා දන්දෙමන් සිල් රකියි.

පසුකල් යනවිට ඔහුගේ ධනය අවසන් වූයේය. මෙසේ එදිනෙදා ජීවිතය සඳහා අටළොස්කෝටියක් ණයට ගන්නාලදි. තම පාරම්පරික ධනයෙන් අටළොස්කෝටියක ධන ගංඉවුරේ සැළක බහා නිධන්කොට තිබිණි. ජලයෙන් ඉවුරු සෝදාගෙන යනවිට ධනනිධානද මූදට ගසාගෙන ගියේය. මෙසේ ක්‍ර‍මයෙන් ඔහුගේ ධනය ක්ෂය වී ගියේය. එසේවුවත් ඔහු සංඝදාන දිගටම දෙන්නේමය. එහෙත් ප්‍ර‍ණීත ලෙස දීමට අපොහොසත්විය.

දිනක් බුදුරජාණන්වහන්සේ සිටුවරයා අමතා සිටුවරය ඔබේ නිවසේ පෙර සේම දැනුත් දන් දෙන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, දන්දෙමි. එහෙත් ඒ දෙන්නේ නිවුඩුහාලේ බත් කොඩිහොදිත් සමගයයි සිටුවරයා කියා සිටියේය.

ගෘහපතිය, ඔබ කටුක ලෙස දන් දෙන්නෙමියි නොසිතව. සිතේ ප්‍ර‍ණීතබව ඇත්නම් බුද්ධාදීන්ට දෙන දානයක් කටුක නොවෙයි. එය අෂ්ටාර්යපුද්ගලයන්ට දෙන දානයක් හෙයිනි. ගෘහපතිය, මම වේලාම නම් බමුණෙක්ව සිටි කාලයේ නගරයේ සියලු දෙනා නඟුල් පසෙකින් බැඳ ගොවිතැන් නොකරන කාලයේත් මහදන් දුන්නත් තිසරණගිය කෙනෙක්වත් එකල නොලැබීමි. දක්‍ෂිණාර්හ පුද්ගලයෝ ඉතා දුර්ලභයහ. එනිසා මාදුන් දානය කටුකයයි නොසිතවයි කියා වේලාම සූත්‍ර‍ය දේශනා කළසේක.

ඉන්පසු සිටුවරයාගේ දොරකොටුවෙහි අධිගෘහීත දේවතාදුව බුදුනුත් බුද්ධශ්‍රාවකයෝත් එතනින් ඇතුල් වනවිට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එහි සිටීමට නොහැකිව, මොවුන්ට මේ ගෙයට ඇතුල් නොවීමේ ක්‍ර‍මයක් යෙදිය යුතුයයි ගෘහපතියා හා මේ පිරිස බිඳුවන්නෙමියි සිතා ඉසුරුමත් කාලයේ එය කියාගත නොහැකි වුණත්, දැන් ඔහු දුප්පත් නිසා මගේ කියමන් භාරගනු ඇතියි සිතා රාත්‍රිභාගයෙහි සිටුවරයාගේ ශ්‍රීයහන් ගැබට පිවිසි අහසෙහි සිටියාය. සිටුවරයා එය දැක මේ කවරෙක්දැයි ඇසීය. මහසිටුවරය, සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දේවතාදුවණිය මමයි, ඔබට අවවාදයක් දෙනු පිණිස ආවෙමි. එසේනම් අවවාද කරවයි කීපසු මහසිටුවරය, ඔබ පසුකාලය ගැන නොසිතා ශ්‍ර‍මණගෞතමයන් උදෙසා බොහෝ ධනය වියදම් කෙළෙහිය. දැන් දුප්පත් වීමෙන් පසුවත් එය අත්නොහරින්නෙහිය. මෙහෙම ගියොත් කීප දිනකින්ම බඩගින්නට ආහාරවත් ඇඳීමට රෙදිවත් නැතිවීයන්නට පුළුවන. ඔබට ශ්‍ර‍මණගෞතමයන්ගෙන් වැඩක් නැත. එය අතිපරිත්‍යාගයෙන් මිදී ධනය කර්මාන්තයෙහි යොදවා පවුල රැකගනු මැනවි. ඔබ මටදෙන අවවාදය එයද? සිටුවරය එසේය. ඉවත්ව යව, තී වැනි අය ලක්‍ෂයක් ආවත් මා එයින් ඉවත්කරනු නොහැකිය. තී කියන්නේ අයුක්තියකි. මගේ ගෙදරම වසමින් මෙසේ කියන තී මගේ ගෙයින් ඉවත්ව යවයි කීවේය. සෝවාන්ව සිටි ආර්යශ්‍රාවකයාගේ වචන අසා සිටිය නොහැකිව දරුවනුත් රැගෙන නික්මුණාය. එසේ නික්මී ගොසිනුත් වාසයකිරීමට වෙනත් තැනක් ලබාගත නොහැකිව, සිටුවරයා සමා කරවාගෙන එහිම වාසය කරන්නෙමියි නගරයටම අධිපති දිව්‍යපුත්‍ර‍යා වෙත එළඹ තමන් කළ අපරාධය ගැන දන්වා මාත් සමග එන්න. සිටුවරයා ළඟට මා පමුණුවා සමාකරවා විසීමට තැනක් ලබා දෙන්නැයි කීවාය.

ඒ දිව්‍යපුත්‍ර‍යා, තී කියන්නේ අයුත්තකි. මම තී සමග එහි යෑමට උත්සාහ නොකරන්නෙමියි ඇගේ ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කෙළේය. ඈ සිව්වරම් දෙවියන් වෙත ගොස් ඔවුනුත් ඉල්ලීම ප්‍ර‍තික්ෂේප කළකල්හි, ශක්‍ර‍දිව්‍යරාජයන් වෙත ගොස් ඒ පුවත කියා දේවයන්වහන්ස, වසන තැනක් නොලැබ දරුවන් අතින් එල්ලාගෙන අනාථව ඇවිදිමි. වසන තැනක් මට සොයා දෙන්නැයි බලවත්සේ ඉල්ලා සිටියාය. ඉන්පසු සක්දෙව් රජ ඈට මෙසේ කීවේය. ඔබේ කරුණ සිටුවරයාට කීමට මමත් අපොහොසත් වෙමි. මම එක් උපායක් ඔබට කියා දෙමියි කීවේය. දේවයන්වහන්ස එසේයයි කීවිට, යව ගොසින් සිටුවරයාගේ ලියන්නකුගේ වෙස්ගෙන සිටුවරයාගෙන් ණයට ගත් අයට ලිපියක්ද ගෙන, ඔවුන් සිටින තැන්වලට ගොස් ඔවුන් විසින් ගන්නාලද අටළොස්කෙළක් ධනය තම ආනුභාවයෙන් රැගෙන අවුත් හිස් ගබඩා පුරවා, මහමුහුදට ගසාගිය අටළොස්කෙළක ධනයත්, අසවල් ස්ථානයෙහි ඇති අස්වාමික අටළොස්කෙළක ධනයක් ගෙනවුත් ඔහුගේ හිස් ගබඩා පුරවා දඬුවම් විඳ ක්ෂමාකරවානුවයි කීවේය.

ඈ යහපත දේවයිනියි ඒ කී සියල්ල කී අයුරින්ම ඉටුකොට යළි සිටුවරයාගේ සිරි යහන්ගැබ ආලෝකවත් කරමින් අහසෙහි සිට මේ කවුදැයි ඇසූවිට මම ඔබේ සිව්වැනි දොරකොටුවෙහි අධිගෘහිතමෝඩ දේවතාදුවයි, මගේ මෝඩකමෙන් මා ඔබ ළඟදී යමක් කීවෙහි නම් ඒ සියල්ලට මට සමාව දෙනු මැනව. ශක්‍රදේවේන්ද්‍ර‍යාගේ උපදෙස් අනුව සිව්පනස්කෝටියත් ගෙනුවත් හිස්ගබඩා පිරවීම දඬුවමක් වශයෙන් කෙළෙමි. වසන තැනක් නොමැතිව ක්ලාන්තව සිටිමැයි කීවාය.

අනාථපිණ්ඩික මෙසේ සිතීය, මේ දේවතාවිය දඬුවම් වින්ද බවත්, තම වරද පිළිගන්නා බවත් කියයි. මැය බුදුන්ට පෙන්වන්නෙමියි සිතීය. හෙතෙම ඇය බුදුන් හමුවට පමුණුවා තී කළ හැම දෙයක්ම දන්වන්නැයි කීවේය. දේවතාවිය බුදුන්න පාමුල හිස තබා වැඳවැටී ස්වාමීනි, මම මගේ මෝඩකමෙන් ඔබවහන්සේගේ ගුණ නොදැන පව්කාර වචන කීවෙමි. ඒ සියල්ලටම මට සමාව දෙනු මැනවයි බුදුන් සමා කරවාගෙන, මහසිටුවරයාත් සමාකරගත්තාය.

බුදුරජාණන්වහන්සේ හොඳනරක ක්‍රියාවල හැටි සිටුවරයාටත් දේවතාවියටත් පැහැදිලි කරමින් අවවාද කරමින්, ගෘහපතිය, මේ ලෝකයෙහි පව්කාර පුද්ගලයා; පාපය මුහුකුරා යනතුරු එය යහපතැයි සිතා ගනී. එය මුහුකුරා ගියපසු එය පාපයකියි දකියි. යහපත් පුද්ගලයා පින මුහුකුරා යනතුරු පාපයක් ලෙස දකියි. ඔහුගේ පින මෝරා ගියපසු එය යහපතක් ලෙස දකියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළහ:

පව්කරන අය මේ ලොව

එය පවක් සේ නොදකිති

මුහුකුරා පල දෙනවිට

එය පවක් බව වැටහෙයි

පින්කරන අය මේ ලොව

එය පිනක් සේ නොදකිති

මුහුකුරා සැප දෙනවිට

එය පිනක් සේ වැටහෙයි.

එහි පාපො යනු කායදුශ්චරිතාදියෙන් යුක්ත පුද්ගලයායි. ඔහුත් පෙරසුචරිත කිරීමේ ආනුභාවයෙන් උපන් සැප අනුභව කරමින් එය යහපත් ලෙස දකියි. යාව පාපං න පච්චති යනු යම්තාක් ඔහුට ඒ පාපය මෙලොවදී හෝ පරලොවදී විපාක නොදෙයිද එතෙක්කල්ය. යම් විටක එලොවදී හෝ පරලොව විපාක දෙයිද, මෙලොවදී නොයෙක් දුකටත්, පරලොව අපාය දුකටත් වැටී දුක්විඳින කල එය පාපයක් ලෙස දකියි.

දෙවෙනි ගාථාවේත් කායසුචරිතාදි භේද ඇති යහපත් ක්‍රියාවලින් යුක්තවූයේ යහපත් පුද්ගලයායි. ඔහුද පෙර කළ කර්මානුරූපව උපන් දුක් අනුභව කරමින් පවේ විපාක දැනගනී. යාව භද්‍රං පච්චති යනු යම්තාක් ඔහුගේ ඒ යහපත් ක්‍රියා මෙලොවදී හෝ පරලොවදී විපාක නොදේද, යම් විටකදී ඒ යහපත් ක්‍රියා මෝරා යයිද, එකල්හි මෙලොවදී හෝ පරලොවකදී හෝ ලාභසත්කාරාදිය ලැබීමේ සැපය හෝ දිව්‍යමය සම්පත් අනුභව කරන අවස්ථාවේදී හෝ කළ කර්මය යහපතක්ම ලෙස දකියි.

දේශනාවසානයෙහි ඒ දෙව්දුව සෝවාන්ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටත් එය ප්‍රයෝජනවත් ධර්මදේශනාවක් විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.