පාපං චෙ පුරිසො කයිරා න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්‍දං කයිරාථ දුක්ඛො පාපස්ස උච්චයො.
පුරුෂ තෙම ඉදින් ප්‍රාණවධාදි අකුශල කර්‍මයක් (ප්‍රමාද දෝෂයෙකින් වත් අසත්සමවායයෙකින් වත් එක් වරෙක) කොට පූයේ වී නමුත් ඒ අකුශල කර්‍මය නැවැත නැවැත නො කරන්නේ ය. (නොදැන සාලඟුරු මැඩ ගත් එකක්හු වහා පය හයා ගන්නා සේ එකෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා කොට මෙවැනි ලාමකක්‍රියා කිරීම තාගේ ජාත්‍යාදියට නොසුදුසු ය යි සලකා ඒ පාපය නො කරන්නේ ය). ඒ අකුශලයෙහි ආලයක්, රුචියක් නො කරන්නේ ය. කුමක් හෙයින් ද? යත්: (ප්‍රාණවධාදී අකුශල) කර්‍මයාගේ රැස් කිරීම (මෙ ලොව ද පර ලොව ද කායචිත්තදුඃඛය එළවන හෙයින්) දුකි. (අකුසල් රැස් කිරීම නම් යම් හෙයකින් මෙ ලොව ද පරලොව ද දුකට කාරණ ද එහෙයින් දුකැ යි සේ යී).
පාපං චෙ පුරුසො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරද්දී සෙය්‍යසකතෙරුන් අරභයා දේශනා කරනලදි. උන්වහන්සේ ලාලුදායීතෙරණුවන්ගේ සද්ධිවිහාරිකයෙකි. උන්වහන්සේ තමන්ගේ නොඇල්ම ලාලුදායිතෙරුන්ට දැන්වූ පසු උන්වහන්සේ විසින් ප්‍රථම සංඝාදිසෙස කර්මයෙහි පිහිටුවන ලදි. අනභිරතිය උපනුඋපන් අවස්ථාවල එම කර්මයම කෙළේය.
බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මේ ක්‍රියාව ගැන අසා උන්වහන්සේ කැඳවා ඔබ මෙබන්දක් කෙළෙහිදැයි අසා ස්වාමීනි එසේයයි පිළිගත්කල්හි, ඇයි මෙතරම් බරපතළ දෙයක් කෙළේ, හිස් මිනිස, ඔබ නොගැළපෙන ක්‍රියාවක් කෙළෙහියයි නානාප්‍රකාරයෙන් ගර්හාකොට ශික්‍ෂාපද පණවා, මෙබදු ක්‍රියා කරන්නවුන්ට මෙලොවත් පරලොවත් එය දුක් ගෙනදීමටම හේතුවේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
පව් කළහොත් කවුරු හෝ
යළිත් එයම නොකළයුතුවේ
රුචි නොකළ යුතුය එයටම
පව් රැස් කිරීමෙන් පසු
දුක් විඳීමට සිදුවේ
එහි අර්ථය නම්, යම් හෙයකින් පුද්ගලයා වරක් පාපකර්මයක් කළවිට, එකෙණෙහිම ඒ ගැන සිතාබලා මෙය නුසුදුසුය, පහත් වැඩකියි සිතා ගන්නේනම් එය නැවත නොකරන්නේය. ඒ පිළිබඳ යම් කැමැත්තක් රුචියක් හෝ උපන්නොත් එයත් නැතිකර දමන්නේමය. මක්නිසාදයත්? දුක්ඛො පාපස්ස උච්චයො පාපයාගේ රැස්කිරීම, වර්ධනයට පත්කර ගැනීම මෙලොවත් පරලොවත් දුකක්ම ගෙන දෙන හෙයිනි. දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.