උය්‍යුඤ්ජන්ති සතිමන්තො න නිකෙතෙ රමන්ති තෙ
හංසා’ව පල්ලලං හිත්‍වා ඔකමොකං ජහන්ති තෙ.
සිහි ඇතියෝ (රහත්හු) තමන් පිළිවිදි ධ්‍යානාදි ගුණයන්හි ආවර්‍ජනාදී වශයෙන් යෙදෙන්නාහ. ඔහු ආලයයෙහි (පංචකාමයෙහි ද ගිහි ගෙහි ද) නො ඇලෙන්නාහ. (ගොදුරු ගත්) විල හැරැ පියා යන හංසයන් මෙන් ආලයයක් ආලයයක් පාසා (හෙවත් සියලු ආලයයන්) හරනාහ. (විහාරාදියෙහි ඇලුම් හැර පක්‍ෂීන් මෙන් නිරපේක්‍ෂක ව ම යන්නාහ.)
උය්‍යුංජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ මහාකාශ්‍යප තෙරණුවන් අරභයා දේශනාකරන ලද්දකි. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර වස් වැස වස් අවසන්වී අඩමසකින් පමණ චාරිකාවෙහි හැසිරෙන්නෙමියි භික්ෂූන්ට දන්වා යැවූහ. භික්ෂූන් සමග මෙසේ චාරිකාවේ හැසිරීම බුදුවරයන්ගේ එක්තරා වතකි. මෙසේ භික්ෂූන් තමන්ගේ පාසිවුරු ආදිය සෝදා පඬුපොවාගැනීම් ආදිය කරන අතර මහාකාශ්‍ය තෙරණුවෝත් සිවුරු ආදිය සේදූහ. භික්ෂූහු දොස් කියන්ට පටන්ගත්හ.
මහකසුප්තෙරණුවෝ කුමක් නිසා සිවුරු සෝදත්ද? මේ නුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු සිටිති. එයින් යම් කෙනෙක් තෙරුන්ගේ නොනෑයෝ නම් ඔවුහු උපස්ථායක දායකයෝය. යම් කෙනෙක් දායකයෝ නොවෙත් නම් ඔවුහු නෑයෝය. ඒ අය තෙරුන්ට සත්කාරසම්මාන නොකෙරෙත්ද, මෙතරම් උපකාර කරද්දීත් ඒවා අතහැර මුන්වහන්සේ කොහි යන්නාහුද, ඉදින් ගියත් මාපමාද ඔයෙන් එහාට නොයන්නාහුයයි කියාය. ශාස්තෘන්වහන්සේ යම් ඔයක් ළඟට පැමිණ, නැවැත්විය යුතු භික්ෂූන්ට තෙපි මෙහි නවතිව් පමා නොවව්යයි වදාරති. එහෙයින් එතැනට මාපමාදකන්දරයයි කියති. ඒ සඳහාම මෙසේ කියා ඇත.
ශාස්තෘන්වහන්සේ චාරිකාව පටන්ගෙන මෙනුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු වාසය කරති. ඒ මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවල ඒ සඳහා භික්ෂූන් යායුතුය. විහාරය හිස් කරන්ටත් බැරිය. මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවලදී භික්‍ෂූන්ගෙන් වැඩද ඇත. කවුරුන් නවතා යන්නෙම්ද? ඉන්පසු මෙසේද සිතූහ. කාශ්‍යපට මෙහි නෑයෝත් දායකයෝත් සිටිති. එහෙයින් උන්වහන්සේ නවතා යන්නෙමියි ඔබේ පිරිසත් සමග නවතින්නැයි කාශ්‍යප හිමියන්ට කීහ.
එසේයයි තෙරණුවෝ පිරිසත් සමග නැවතුණාහ. භික්ෂූහු ඇවැත්නි, අප විසින් මේ දැන් කීදෙය තෙපි දැක්කාහුනේද, අප කීලෙසම මහකසුප්තෙරණුවෝ සිවුරු සෝදන්නේ කුමක් නිසාද? උන්වහන්සේ බුදුන් සමග නොයායුතුය යනාදි අප කීදෙය ඉක්මනින්ම සිදුවිය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ කතා අසා නැවතී මෙසේකීහ: මහණෙනි, කුමක් කථා කළාහුද? ස්වාමීනි, මහාකාශ්‍යප තෙරුන් ගැන කථා කරන්නෙමුයයි ඔවුහු දන්වා සිටියහ. තමන් කලින්ම කීදෙය එලෙසම සිදුවූ හැටි දැන්වූහ.
මහණෙනි, තෙපි මහකසුප්තෙරණුවන් කුලයෙහි හා ප්‍රත්‍යයයෙහි ඇළුණු කෙනෙකියි නොකියව්. හෙතෙම මගේ වචනය ඉටු කරන්නෙමියි නැවතුණේය. මෙතෙම පෙරත් සිව්පසයෙහි නොඇළී සඳමෙන්වී කුලයන් වෙත එළඹෙන්ට සමර්ථ වෙම්වායි ප්‍රාර්ථනා කෙළේය. කුලයන්හි හෝ ප්‍රත්‍යයන්හි හෝ ලැගීමක් උන්වහන්සේට නැත. මම චන්ද්‍රෝපම ප්‍රතිපදාවත්, අරියවංස ප්‍රතිපදාවත් කාශ්‍යප ආදීන් නිසාම දේශනා කෙළෙමි. භික්ෂූහු, ස්වාමීනි, තෙරුන් විසින් ඒ ප්‍රාර්ථනා කරන ලද්දේ කවදාදැයි ඇසූහ. මහණෙනි, එය අසනු කැමැත්තාහුද? ස්වාමීනි, එසේය. බුදුරජාණන්වහන්සේ භික්ෂූන් අමතා මෙසේ කීහ.
මෙයින් කල්පලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුන් ලොව පහළවීයයි වදාරමින් පදුමුත්තර බුද්ධ කාලයෙහි ඔහු තැබූ ප්‍රාර්ථනා ආදිකොට ඇති තෙරුන් පිළිබඳ සියලු පූර්වචරිතවිස්තර ප්‍රකාශකළහ. එය ථෙරපාළියෙහි විස්තරකොට ඇත.
බුදුරජාණන්වහන්සේ මේ තෙරණුවන්ගේ පූර්ව චරිතකථාව විස්තරකොට මහණෙනි, මම මෙසේ තොපට චන්‍ද්‍රෝපම ප්‍රතිපදාවත්, ආර්යවංශ ප්‍රතිපදාවත් මාගේ පුත්‍ර කාශ්‍යපතෙරුන් නිමිතිකොට කීවෙමි. මාගේ පුත්‍ර මහාකාශ්‍යප තෙරණුවන්ට සිව්පසය හෝ පවුල් කෙරෙහි හෝ විහාර පිරිවෙන් ආදියේ ලැගීමක් හෝ නැත. දිය පිරුණු කුඩා විලක බැස එහි පීනා එයින් ඉගිලී කිසිවක නොඇළී නොලැගී යන රාජහංසයෙකු මෙන් මගේ පුත්‍රයාගේ පිළිවෙල වන්නේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
දැහැන් වඩන සිහිමත් අය
ආලය කම්සැපෙහි නොලැග
විල හැර යන හසෙකු වගේ
ඇළුම් බැඳුම් හැරදා යෙති
එහි උය්‍යුංජන්ති සතිමන්තො යනු සිහිය දියුණුකර විපුල භාවයට පත් රහතන්වහන්සේලා තමන්ට අවබෝධ කළ ගුණදහම්ද ධ්‍යාන විදර්ශනාදියද ආවර්ජනා කිරීම, සමවැදීම එයින් නැගිටීම අධිෂ්ඨානය ප්‍රත්‍යවේක්ෂාකිරීම ආදියෙහි යෙදෙති. උත්සාහවත් වෙති. න නිකෙතෙ රමන්ති තෙ යනු ඒ අයට ආලය කළයුතු වස්තූන් පිළිබඳ ඇලීමක් නැත. හංසාව යනු දේශනාශීර්ෂයකි. එහි අර්ථය මෙයයි. ආහාරපාන ආදි ගොදුරුවලින් පිරිපුන් දිය පිරුණු කුඩා විලකට බසින හංසයෝ ගොදුරු සොයාගෙන එයින් පිටත්ව යනවිට, මේ මගේ ජලයය, මේ මගේ නෙළුම්ය, මේ මගේ උපුල්ය, මේ මගේ මල්කෙමිය ආදි වශයෙන් එතැන පිළිබඳ කිසිම බැඳීමක් නොකොට අපේක්ෂා රහිතවම ඒ පෙදෙස හැරදමා ඉගිලී අහසෙහි කෙළිමින් යෙති. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාත් එපරිද්දෙන්ම යම්කිසි තැනක වාසයකළත් කුලයන්හි නොඇලී සිට එතනින් පිටත්ව ඒ ඒ තැන් හැරයන විටත් මගේ විහාරය, මගේ පිරිවෙන, මගේ දායකයෝයි නොඇලී අපේක්ෂා රහිතවම යෙති. ඔකමොකං යනු ඇළෙන රැඳෙන තැන්ය. ඒ සියලු ඇලෙන තැන් හැරදමත් යන අර්ථයි. දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.