5-15 පසළොස්වන වනවාසික තිස්සතෙරුන්ගේ වස්තුවයි.

අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී

එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො

සක්කාරං නාභිනන්‍දෙය්‍ය විවෙකමනුබ්‍රූහයෙ.

ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවනට පමුණුවන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධාශ්‍රාවක මහණ තෙම මේ කාරණය විශේෂයෙන් දැන නොදැහැමින් උපන් සත්කාරය නො ඉවසන්නේ ය. කායාදී ත්‍රිවිධ විවේකය වඩන්නේ ය.

අඤ්ඤාහි ලාභූපනිසා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි වනවාසිකතිස්ස තෙරුන් අරභයා දේශනා කළසේක. මෙම දේශනාව රජගහනුවර උපන්නකි. සැරියුත් තෙරණුවන්ගේ පියාවූ වංගන්ත බමුණාගේ යහළුවූ මහාසේන නම් බමුණෙක් රජගහනුවර වාසයකරයි. සැරියුත් තෙරණුවන් දිනක් පිඬුපිණිස වඩිනගමන් ඔහු කෙරෙහි අනුකම්පා උපදවා ඔහුගේ ගෙදොරට වැඩියාහ. ඔහු සම්පත් ගෙවීගිය දිළින්දෙකි. හෙතෙම මගේ පුතා මගේ ගෙදරට පිඬුපිණිස ආවා වියහැකිය. මම දුප්පතෙක්මි. මගේ දුප්පත්බව නොදන්නවා වියහැකිය. මට දියයුතු දෙයක්ද නැතැයි මුණගැසෙනු නොහැකිව සැඟවුණේය.

තෙරණුවෝ තවත් දිනකද එහි වැඩියෝය. බමුණා එදිනද සැඟවුණේය. කිසිවක් ලබාගෙන දියයුතුයයි සිතුවේ නමුත් නොලැබුණේය. ඉන්පසු දිනක බමුණන් හොමකරන තැනකින් දළරෙදිකඩක්ද, කිරිබත් තලියක්ද ලැබී එය රැගෙන ගෙටගොස් තෙරුන් සිහිකෙළේය.

මේ පිණ්ඩපාතය තෙරුන්ට දියහැකිනම් මැනවි කියාය. තෙරණුවෝද එවේලේ ධ්‍යානයට සමවැදී සමවතින් නැගිට ඒ බමුණා දැක, බමුණා දියයුත්තක් ලැබී මගේ පැමිණීම බලාපොරොත්තුවයි. මා එහි යායුතුයය සඟල පෙරවා පාත්‍ර‍යත් රැගෙන ඔහුගේ ගෙදොර සිටගෙනම තමන් දැක්වීය. තෙරුන් දැකීමෙන්ම බමුණාගේ සිත පැහැදුණේය. ඉන්පසු ඔහු උන්වහන්සේ වෙත එළඹ වැඳ පිළිසඳර කථාකොට ඇතුල්ගෙහි වඩාහිඳුවා කිරිබත් තලිය ගෙන තෙරුන්ගේ පාත්‍රයෙහි බහාලීය. තෙරණුවෝ භාගයක් පිළිගෙන අතින් පාත්‍ර‍ය වැසූහ. ඉන්පසු බමුණා උන්වහන්සේ අමතා, ස්වාමීනි, මේ පායාසය එක් කෙනෙකුන්ට පමණක් සෑහෙයි. මට පරලොවින් සංග්‍ර‍හ කරන්න, මෙලොව සංග්‍ර‍හ අවශ්‍ය නැත. ඉතිරි නොකරම දෙනු කැමැත්තෙමියි සියල්ල පාත්‍රයෙහි බහාලීය.

තෙරණුවෝ, එහිම සිට වැළඳූහ. වළඳා අවසන්වූ පසු එම සාටකයත් පූජා කොට වැඳ, ස්වාමීනි, ඔබ දුටු දහම මමත් දකිනු කැමැත්තෙමියි කීය. බ්‍රාහ්මණය, එසේම වේවායි ප්‍ර‍කාශකොට ඔහුට අනුමෝදනා දේශනාදකොට අසුනින් නැගිට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් දෙව්රමට වැඩියෝය. දුප්පත් කාලයේ දුන් දානය අතිශයින් බබළන්නේයයි බමුණාත් ඒ දානය දී ප්‍ර‍සන්නසිත් ඇතිව සොම්නස්ව තෙරුන් වෙත අතිමහත්සේ ස්නේහ ඇතිකර ගත්තේය.

හෙතෙම තෙරුන්වෙත ස්නේහ කරමින්ම කළුරිය කොට සැවැත්නුවර තෙරුන්ට උපස්ථාන කරන පවුලක පිළිසිඳ ගත්තේය. එකෙණෙහිම ඔහුගේ මව ගැබිණියක වූවායයි දැන ස්වාමිපුරුෂයාට ඒබව දැන්වූවාය. හෙතෙම ඈට ගැබ්පෙළහැර දුන්නේය. ඈට ඉතා ශීතල, අධිකඋෂ්ණ, තද ඇඹුල් ආදිය පරිභෝග කිරීම වළක්වා සැපසේ ගැබ රැකබලාගනිද්දී ‘අනේ සැරියුත් හිමියන් ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කොට ගෙදර වඩා හිඳුවා පැන් නුමුසු ක්ෂීරපායාස පිළිගන්වා තමනුත් කසාවත් හැඳ රන්තැටියක් ගෙන ආසනකෙළවර හිඳගෙන ඒ භික්ෂූන් වළඳා ඉතිරි ඉඳුල් කිරිබත් කෑමට ඇත්නම් ඉතා මැනවයි දොළදුකක් පහළවිය. ඇගේ ඒ කසාවත් හැඳ පෙරවීමේ දොළදුක, කුසේහුන් දරුවා බුදුසසුනේ පැවිදිවනබවට පෙරනිමිත්තක් විය.

ඉන්පසු ඇගේ නෑයෝ අපේ දුවට ධාර්මික දොළදුකක් පහළවීයයි සැරියුත් හිමියන් ප්‍ර‍මුඛකොට පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු ක්ෂීරපායාසය පිළිගැන්වූවාහුය. ඕතොමෝත් එක් කසාවතක් හැඳගෙන එකක් පෙරවා ගෙන රන්තලියක් ගෙන්වාගෙන අසුන්කෙළවර හිඳ ඉඳුල්කළ පායාසය අනුභය කළාය. දොළදුක අවසන් විය. ඇගේ දරුවා ලැබෙනතුරු අතරින්පතර කරනලද මංගල්‍යවලදීද දසමස් ඇවෑමෙන් පුතකු වැදූපසු කළ මංගල්‍යවලදීද සැරියුත් හිමියන් ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන්ට අල්පජලය යෙදූ මිහිරි පායාස පිළිගන්වනලදි. මේ සියල්ල දරුවා විසින් බ්‍රාහ්මණකාලයේ දුන් පායාස දානයේ ආනිසංස වෙයි.

ඒ දරුවා උපන් දිනයේම උදෑසනම නාවා සරසා සිරිසයනයෙහි ලක්ෂයක් වටිනා කම්බිලියක් මතුපිට නිදිකරවූහ. හෙතෙම එහි නිදාගෙන සිටිද්දීම තෙරුන් දැක මේ මාගේ පූර්වාචාර්යයන් වහන්සේයි. මම තෙරුන් නිසා මේ සම්පත් ලදිමි. මා විසින් උන්වහන්සේට එක් පරිත්‍යාගයක් කළයුතුයයි ශික්ෂාපදගැන්වීම සඳහා ගෙනයනවිට ඒ කම්බිලිය සුළු ඇඟිල්ලෙහි වෙළා ගෙනගියේය. ඉන්පසු ඔහුගේ ඇඟිල්ලෙහි කම්බිලිය ඇළී ඇතැයි එය ගලවන්ට පටන්ගත්හ. හෙතෙම ඇඬීය. නෑයෝ, ඉවත්වන්න, දරුවා නොහඬවන්නැයි කම්බිලියත් සමග ගෙනගියහ. තෙරුන් වන්දවන වේලාවේ කම්බිලියෙන් ඇඟිල්ල ඉවතට ගෙන කම්බිලිය තෙරුන්ගේ පාමුල හෙළීය. නෑයෝ ළාබාල කුමරා නොදැන කළ දෙයකැයි නොකියා පුතා මෙය ඔබට දෙනලදි. ස්වාමීනි, මෙය පරිත්‍යාගයක් ලෙස වේවායි කියා, ස්වාමීනි, ලක්ෂයක් අගනා කම්බිලියකින් පූජාවක් කළ ඔබගේ දාසයාට සිල්දෙන්නැයි කීවාහුය. මේ දරුවාගේ නම කුමක්ද? ස්වාමීනි ආර්යයන්ගේ නමකට සමාන නමකි. එය තිස්ස නම්වන්නේයි.

තෙරණුවෝ ගිහකල උපතිස්සමානව නම් වූහ. ඔහුගේ මවද මගේ පුතාගේ අදහස වෙනස් නොකළ යුතුයයි සිතුවාය. මෙසේ දරුවාගේ නාමකරණ මංගල්‍යය සිදුකොට නැවත ඔහුට බත්කවන මගුලේදීත් කන්විදින මගුල, රෙදිපිළි හදවන මගුල, කෙස්කැපීම ආදියෙහිද සැරියුත් හිමියන් ප්‍ර‍මුඛ පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු පායාසම පිළිගැන්වූහ. දරුවා වැඩී සත්වයසකට පසු මව අමතා, මෑණියනි, මම තෙරණුවන් ළඟ පැවිදි වන්නෙම්දැයි ඇසීය. පුත, ඉතා මැනවි. මම මීට පෙරත් පුතාගේ අදහස් කඩකර නොදැමිය යුතුයයි සිතුවෙමි. පුත පැවිදි වන්නැයි තෙරණුවන්ට ආරාධනාකොට පැමිණි උන්වහන්සේට ආහාර පිළිගන්වා ස්වාමීනි, ඔබවහන්සේගේ දාසයා පැවිදි වන්නෙමියි කියයි. අපි මොහු රැගෙන සවස විහාරයට එන්නෙමුයයි තෙරුන් පිටත්කරවා සවස් කාලයේ මහත්වූ සත්කාර සම්මාන සහිතව පුතාත් රැගෙන විහාරයට ගොස් ඔහු තෙරණුවන්ට භාරකළහ.

තෙරණුවෝ ඔහු හා සමග කථා කරමින්, තිස්සය, මේ පැවිද්දනම් ඉතා දුෂ්කරය, තදඋණුසුම අවශ්‍යවිට සීතල ලැබෙයි. සීතල ඕනෑවූවිට තදඋෂ්ණය ලැබෙයි. පැවිද්දෝ දුකසේ ජීවත්වෙති. ඔබ සැපසේ ජීවත්වූවෙකියි කීහ. ස්වාමීනි, මම ඔබවහන්සේ කියන අයුරින් සියල්ල කිරීෟමට සමත්වෙමි. තෙරණුවෝ යහපතැයි කියා ඔහුට පිළිකුල පිළිබඳ සිහිකරවීමට තචපංචක කමටහන් දී ඔහු පැවිදි කළහ. (කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනු තචපංචකයි) මෙහිදී සියලු ද්වත්තිංසාකාරයම කීම වටනේය. ඒ සියල්ලම කීමට අපහසු අය විසින් යටත්පිරිසෙයින් තචපංචකයව්ත කිවයුතුමය. මේ කමටහන වනාහි සියලු බුදුවරයන් විසින් අත්නොහළ, පුරුදුපුහුණ කළ දහමකි. කේශාදි ශරීරයේ එක් එක් කොටස ගැන පිළිකුල් භාවනාවකොට රහත්බවට පැමිණි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සංඛ්‍යාවක් නැත. අවියත් භික්ෂූන් පැවිදිකරවන අවස්ථාවේ රහත්වීමට ඇති හේතුසම්පත් නසා ගනිත්. එහෙයින් තෙරණුවෝ කමටහන් කියාදෙමින්ම පැවිදිකොට දසසීලයෙහි පිහිටුවූහ.

මවුපියෝ පුතාගේ පැවිදිවීමේදී අවශ්‍ය සත්කාර සම්මාන කරමින් සතියක් විහාරයෙහිම නැවතී බුදුන් ප්‍ර‍මුඛ සංඝයාට දියනුමුසු මිහිරි පායාසයෙන්ම සංග්‍ර‍හ කළහ. භික්ෂූහු හැම වේලාවේම දියනුමුසු මිහිරි පායාසය වැළඳීම අපහසුයයි උද්ඝෝෂණය කළහ. ඔහුගේ මවුපියෝ සත්වෙනි දිනයේ සවස ගෙදර ගියහ. සාමණේරතෙම අටවෙනි දිනයෙහි භික්ෂූන් සමග පිඬුපිණිස පිවිසියේය. සැවැත්නුවර වැසියෝ, අද සාමණේරයන්වහන්සේ පිඬුපිණිස එතියි, උන්වහන්සේට සත්කාර කරන්නෙමුයි පන්සීයක් ගැල්පුරා බඩුද, සමග දරනුද කොට (කොට්ට) පිණ්ඩපාත පන්සීයක් සාදා ඒවා රැගෙනවුත් මාර්ගයෙහි සිට පිළිගැන්වූහ. දෙවෙනි දිනයේ විහාරය සමීප වනයෙහි සිට දුන්හ. මෙසේ සාමණේර තෙම දවස් දෙකේදීම ශ්‍රාවකයන් දහසකට පිණ්ඩපාතදාන දහසක් ලබා භික්ෂුසංඝයාට දුන්නේය. බ්‍රාහ්මණයෙක්ව උපන් කාලයෙහි දෙනලද සිනිඳුසාටකය ඇතුළු දානවල ආනිසංස මෙයයි.

මින්පසු භික්ෂූහු උන්වහන්සේ පිණ්ඩපාතදායකතිස්ස වශයෙන් නම්කළහ. නැවතත් දිනයක සාමණේරතෙම ශීතකාලයෙහි විහාරයෙහි ඇවිදන ගමන් ඒ ඒ තැන්වල ගිනිශාලාදියෙහි උණුසුම ලබන්නවුන් දැක, ස්වාමීනි කිම? ගිනිතපමින් සිටින්නාහුදැයි ඇසීය. සාමණේරයාණනි, අපට බොහෝ සීතලය. ස්වාමීනි, සීතකාලයේ කම්බිලියක් පෙරවීම සුදුසුයි, එය ශීත වළක්වා ගැනීමට සමර්ථයි. සාමණේරය, ඔබ මහ පිනැත්තෙකි. එනිසා කම්බිලි ලැබෙන්නේය. අපට කම්බිලි කොයින්ද ස්වාමීනි, එසේ නම් කම්බිලි කැමති අය මා සමග එනු මැනවියයි මුළු විහාරය පුරා දන්වා යැවීය. ඉන්පසු සාමණේරයන් සමග ගොස් කම්බිලි ගෙනෙන්නෙමුයි සත්හැවිරිදි සාමණේරයන් පිරිවරා දහසක් පමණ භික්ෂූහු නික්මුණාහුය. හෙතෙම මෙපමණ භික්ෂූන්ට කොහෙන් කම්බිලි ලබන්නෙම්ද යන සිතක්පවා නූපදවා ඒ භික්ෂූන්ද රැගෙන නගරාභිමුඛව ගියේය. මැනවින් දන් දුන් කල එබඳු ආනුභාව ඇතිවේ. හෙතෙම පිටත නගරයෙහිම ගෙපිළිවෙලින් යන්නේ කම්බිලි පන්සීයක් ලබා ඇතුළු නගරයට පිවිසියේය. මිනිස්සු එහෙන් මෙහෙන් කම්බිලි රැගෙන ආහ.

එක් පුරුෂයෙක් වෙළෙඳපොළ දොරටුවෙන් යනගමන් කම්බිලි පන්සීයක් විසුරුවාතබා සිටින එක් වෙළෙන්ඳෙකු දැක එම්බල එක් සාමණේර නමක් කම්බිලි එකතු කරමින් එයි. ඔබේ කම්බිලි හකුළා සඟවා තබවයි කීය. මොකද ඔහු දෙනුබන දේ ගනීද, නැතහොත් නොදුන් ඒවාත් ගනීදැයි ඇසීය. දෙන ඒවා ගනී. එසේනම් මම කැමතිනම් දෙන්නෙමි, නැතහොත් නොදෙන්නෙමි, ඔබ යන්නැයි පිටත්කර හැරියේය. මසුරු අන්ධබාලයෝ මෙසේ අනුන් දන්දෙන කලත් මසුරුකම් කොට (කොසොල් රජුගේ) අසදෘශදාන දැක මසුරුකම් කරමින් ‘කාළ’ නම් සෙනෙවියා මෙන් නරකයෙහි උපදිත්. වෙළෙන්දා, මේ පුරුෂයා තමන්ගේ මසුරු ස්වභාවය අනුව පාරේ යන ගමන් ඔබේ කම්බිලි සඟවන්නැයි මට කියයි. ඉතින් ඒ සාමණේරවරයා දුන් දෙයක්ම ගනී නම් මම මා සන්තක දේ දෙන්නෙමි. නැත්නම් නොදෙන්නෙමියි කියමි. පෙනේනට තියෙද්දීත් නොදී සිටින විට ලජ්ජාව උපදී. තමා සන්තකදේ සඟවා තැබීමෙහිත් වරදක් නැත. මේ කම්බිලි පන්සීයෙන් කම්බිලි දෙකක් ලක්ෂයක් වටනේය. ඒ දෙක සඟවා තැබීම සුදුසුයයි ඒ කම්බිලි දෙක වාටි එක්කර ගැටගසා අනික් කම්බිලිඅතර සඟවා තැබීය.

සාමණේරතෙමේත් භික්ෂූන් දහසක් සමග ඒ ප්‍රදේශයට පැමිණියේය. වෙළෙන්දාට සාමණේරයන් දුටු හැටියේම පුත්‍රස්නේහය උපන්නේය. මුළු සිරුරම පුත්‍ර‍ස්නේහයෙන් පිරී ඉතිරී ගියේය. හෙතෙම, කම්බිලි නොවෙයි, මොහු දුටුවිට හදවතවුවත් ගළවා දෙන්ට සිතෙයි සිතා, සැඟවූ කම්බිලි දෙක පිටතට ගෙන සාමණේරයන්ගේ පාමුල තබා වැඳ‍, ස්වාමීනි, ඔබ දුටු දහමේ මමත් කොටස කරුවෙකුවීමේ භාග්‍යය ලබන්නෙමියි කීවේය. සාමණේර තෙමේත් එසේම වේවායි අනුමෝදනා කෙළේය. සාමණේරයන්වහන්සේ ඇතුළුනුවරදීත් කම්බිලි පන්සීයක් ලැබූහ. මෙසේ එක්දිනක් තුළදීම කම්බිලි දහසක් ලබා භික්ෂුසංඝයාට දුන්හ. ඉන්පසු උන්වහන්සේ කම්බිලිදායකතිස්ස නමින් හැඳින්විණි. මෙසේ නම් කරන දිනයේ දෙනලද කම්බිලිත්, සත්හැවිරිදි කාලයේ දුක් කම්බිලිත් සමග කම්බිලි දහසක් බවට පත්විය.

යම්තැනක මදක් දීමෙන් බොහෝ බවට පත්වන, බොහෝ දීමෙන් බහුතරයක් බවට පත්වන තවත් තැනක් බුදුසසුන හැර නැත්තේය. එහෙයින්ම භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි යම්බඳු අල්පවූ දෙයක් දුන්විට බොහෝවෙයිද, හුඟක් දුන්විට බහුතරයක්වෙයිද, මහණෙනි මේ භික්ෂුසංඝතෙමේ එබඳුයයි වදාළසේක. මෙසේ ඒ සාමණේරනම එක් කම්බිලියක් පිදීමේ ආනිසංසයෙන් සත්හැවිරිදි කාලයේම කම්බිලි දහසක් පිදීම සඳහා අවස්ථාව ලැබීය.

මෙසේ දෙව්රම වාසයකරන උන්වහන්සේ වෙත නිතර ඥාතිදරුවෝ පැමිණ කථාසල්ලාපයෙහි යෙදෙති. ඉන්පසු උන්වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. මා මෙහි සිටින විට නෑදරුවෝ පැමිණ කථාවේ යෙදෙති. මේ අය සමග මෙසේ ප්‍ර‍මාදවීමෙන් මගේ බලාපොරොත්තු නිසිලෙස ඉටුකරගත නොහැකිය. බුදුරදුන් ළඟට ගොස් කමටහන් ඉගෙනගෙන ආරණ්‍යගතවීම වඩා මැනවි. ඉන්පසු හෙතෙම බුදුරදුන්වෙත පැමිණ රහත්බව දක්වා කමටහන් (භාවනා) කියවාගෙන උපාධ්‍යායයන්ද වැඳ පාසිවුරුද රැගෙන විහාරයෙන් පිටත්ව, ඉතින් ළඟ තැනක සිටියොත් නෑදෑයෝ මා කැඳවනු ඇතැයි යොදුන් එකසියවිස්සක් පමණ මගගෙවා ගියහ.

ඉන්පසු එක් ගම්දොරටුවකින් යන අතර එක් මහලු මිනිසෙකු දැක, මහා උපාසකතුමනි, මේ පෙදෙසේ ආරණ්‍යකයන් වසනතැනක් ඇද්දැයි විචාළේය. ස්වාමීනි, මෙහි එබඳු තැනක් ඇත. එසේනම් මට එහි යන පාර කියා දෙන්න. මහලු උපාසකයාට සාමණේරයන් දැක පුත්‍ර‍ස්නේහය උපන්නේය. ඉන්පසු ඔහු එහි එතැනදී පාර නොකියා ස්වාමීනි, එනු මැනවි ඔබට කියා දෙන්නෙමියි උන්වහන්සේත් සමග ගියේය. සාමණේරතෙම ඔහු සමග යන අතර අතරමග නානාමල්ඵලවලින් යුක්ත හතරපස් තැනක්ම දැක උපාසකතුමනි, මේ කිනම් ප්‍රදේශයක්ද මේ කිනම් ප්‍රදේශයක්දැයි ඇසීය. හෙතෙමේත් ඒ ප්‍රදේශ ගැන කියාදෙමින් තපොවනයට පැමිණ ස්වාමීනි, මේ පහසු තැනකි. මෙහි නවතිනු මැනවයි කියා, ස්වාමීනි, ඔබවහන්සේ කිනම් වන්නහුදැයි නම විචාරා හෙට අපේ ගමේ පිඬුසිඟාවඩින්නැයි ආරාධනාකොට තමන් ගමටම ගියේය.

එහි ගොස් වනවාසික තිස්ස නම් තෙරණුවෝ අපේ විහාරයට වැඩියෝය. උන්වහන්සේට කැඳබත් ආදිය පිළියෙල කරන්නැයි මිනිසුන්ට දැන්වීය. සාමණේරතෙම ප්‍ර‍ථමයෙන් තිස්ස නම් වය. ඉන්පසු පිණ්ඩපාතදායක තිස්ස විය. ඊළඟට කම්බිලිදායකතිස්ස විය. දැන් වනවාසික තිස්සයයි නම් තුනක් ලබා සත්වසරක් ඇතුළත නම් සතරක් ලැබීය. හෙතෙම දෙවෙනි දිනයේ උදෑසනම ඒ ගමට පිඬුසිඟා වැඩියේය. මිනිස්සු භික්ෂා පිළිගන්වා වැන්දාහ. සාමණේරතෙම, සැපවත් වෙත්වා, දුනින් මිදෙත්වායි පැවසීය. පිණ්ඩපාතය දුන් එක් මිනිසෙකුටවත් නැවත ගෙවල්වලට යෑමට නොහැකිවිය. සියලු දෙනාම උන්වහන්සේ දෙස බලාසිටියහ. සාමණේරයන්වහන්සේ තමන් යැපෙන පමණකට භික්ෂාව පිළිගත්හ. සියලු ගම්වාසීහු උන්වහන්සේගේ පාමුල ළය තබා වැදහෙවී ස්වාමීනි, ඔබවහන්සේ මේ තෙමස මෙහි වැඩසිටියොත් අපි තුන්සරණෙහි පිහිටා පන්සිල්ගෙන මාසයේ පොහොයදින හතරේ පෙහෙවස්කම්කොට බොහෝ පින් කරගැනීමට හැකිනිසා මෙහි වසනබවට ප්‍ර‍තිඥා දෙනුමැනවැයි ඉල්ලාසිටියහ.

සාමණේරයන්වහන්සේ ඔවුන්ට වන උපකාරය ගැන සිතා ප්‍ර‍තිඥා දී නිතර ඒ ගමෙහිම පිඬුපිණිස හැසිරෙන්නාහ. වඳින වඳින හැමවිටම සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යන පදදෙක පමණක්ම කියා ආපසු යන්නාහ. උන්වහන්සේ එහි පළමු මාසයත් දෙවෙනි මාසයත් ගතකොට තුන්වෙනි මාසය ගතවෙද්දී සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහ. ඉන්පසු පවාරණයෙන් අනතුරුව උන්වහන්සේගේ උපාධ්‍යායයන්වහන්සේ බුදුන්වෙත පැමිණ වැඳ, ස්වාමීනි, මම තිස්ස සාමණේරයන් වෙත යන්නෙමියි කීහ. ශාරීපුත්‍ර‍ය යවයි බුදුන් වදාළපසු උන්වහන්සේ තම පිරිවර භික්ෂූන් පන්සීයක්ද සමග යන්නාහු ඇවැත් මොග්ගල්ලානයෙනි, මම තිස්ස සාමණේරයන් ළඟට යන්නෙමියි කීහ. මුගලන් තෙරණුවෝද ඇවැත්නි මමත් එන්නෙමියි පන්සීයක් භික්ෂූන් සමග නික්මුණාහුය. මේ ආකාරයෙන්ම මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, පුණ්ණ ආදි සියලු මහාශ්‍රාවකතෙරුන්වහන්සේලාත් පන්සීය බැගින් පිරිවර භික්ෂූන්ද සමග සතළිස්දහසක් භික්ෂූහු ගමනට පිටත්වූහ. ඔවුහු එක්සියවිසිගව් දුරමග ගොස් ගොදුරු ගමට පිවිසියාහුය.

සාමණේරයන්වහන්සේගේ නිරන්තර උපස්ථායක උපාසකතෙම උන්වහන්සේලාගේ වැඩමවීම ගම්දොරටුවේදීම දැක පෙරගමන්කොට වැන්දේය. ඉන්පසු සැරියුත්තෙරණුවෝ ඔහුගෙන් උපාසකය මේ ප්‍රදේශයෙහි ආරණ්‍යක විහාරයන් ඇද්දැයි ඇසූහ. ස්වාමීනි, ඇත. එය භික්ෂූන් සහිතද, රහිතද? ස්වාමීනි භික්‍ෂූන් සහිතය. එහි වසන්නේ කවුරුන්ද? ස්වාමීනි, වනවාසිකතිස්ස තෙරුන්වහන්සේයි. එසේනම් අපට එහියන පාර කියා දෙන්න. ඔබවහන්සේලා කවුරුන්ද? අපි සාමණේරයන්වහන්සේ හමුවට ආ අය වෙමු.

උපාසකතෙම බලා ධර්මසේනාපතීන්වහන්සේ ප්‍ර‍මුඛ සියලු මහාශ්‍රාවකයන්වහන්සේලා හඳුනාගත්තේය. හෙතෙම නිරන්තරයෙන් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, මදක් නවතිනු මැනවයි වේගයෙන් ගමට ගොස් සැරියුත්හිමියන් ප්‍ර‍මුඛ අසූමහාශ්‍රාවකයෝ තම තමන්ගේ පිරිවර සමග සාමණේරයන්වහන්සේ ළඟට ආහ. ඇඳ පුටු ඇතිරිලි පහන්තෙල් ආදිය රැගෙන ඉක්මනින් පිටත්වෙව්යයි උස්හඬින් කියාසිටියේය. මිනිස්සු සැණෙකින් ඇඳපුටු ආදියද රැගෙන තෙරුන්වහන්සේලාත් සමගම උන්වහන්සේලා පසුපසින් විහාරයට පිවිසියාහුය. සාමණේරතෙමේ භික්ෂුසංඝයා හැඳිනගෙන මහතෙරුන් කීපනමකගේ පාසිවුරු රැගෙන වතාවත් කෙළේය. උන්වහන්සේ තෙරවරුන්ට වසනතැන්, සංවිධානය කර පාසිවුරු පිළියෙලකර තබන අතර රෑබෝවිය. සැරියුත්තෙරණුවෝ උපාසකවරුන් අමතා, උපාසකවරුනි ඔබලා දැන් යන්න. රෑවුණායයි පැවසූහ. ස්වාමීනි, අද බණ අසන දිනයයි. අද අපි නොයන්නෙමු. බණ අසන්නෙමුයයි කීවාහුය. මින් පෙර බණ අසන්ටත් නොලැබිණියයිද කීවාහුය. සාමණේරය එසේ නම් පහන් දල්වා බණ ඇසීම සඳහා කාලඝෝෂා කරන්නැයි සැරියුත්තෙරණුවෝ කීවාහුය. සාමණේරතෙම එසේ කෙළේය.

ඉන්පසු සැරියුත්තෙරණුවෝ, තිස්ස ඔබේ උපාසකවරු බණ අසනු කැමැත්තම්හයි කියති. ඔවුන්ට බණ කියවිය කීහ. උපාසකවරු එක්වරම නැගී සිට, ස්වාමීනි, අපේ ආර්යයන්වහන්සේ සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වා යන මේ දෙපදය හැර වෙනත් ධර්‍මයක් නොදන්නාහුය. අපට වෙනත් ධර්මකථිකයෙකු දෙනු මැනවැයි කීවාහුය. සාමණේරතෙම රහත්බවට පැමිණ වුවද ඔවුන්ට බණ නොකීවේය.

එදින උපාධ්‍යායයන්වහන්සේ, සාමණේරය, සුවපත්වන්නේ කෙසේද? දුකින්මිදෙන්නේ කෙසේද යන මේ දෙපදය මේ උපාසකවරුන්ට අර්ථවශයෙන් පැහැදිලිකර කියාදෙන්නැයි කීහ.

හෙතෙම ස්වාමීනි, යහපතැයි කියා චිත්‍රිත විජිනිපත රැගෙන ධර්මාසනයට නැගී පස්නිකායෙන්ම අර්ථත් කාරණාත් ගෙනහැර පාමින් මහවැස්සක් වසින්නාක් මෙන්ද, චාතුර්දීපික මහාමේඝයක් මෙන්ද ස්කන්ධ, ධාතු, ආයතන, බෝධිපාක්ෂිකධර්ම බෙදා හදමින් අර්හත්වය කුළුගන්වා, ධර්මකථා පවත්වා, ස්වාමීනි, මෙසේ අර්හත්වයට පත්වූ තැනැත්තාට සැප ඇතිවෙයි. අර්හත්වයට පත්වූ තැනැත්තාම දුකින්මිදෙයි. සෙසුජනයා ජාත්‍යාදිදුකෙන් මෙන්ම නිරයදුක්ඛාදියෙන්ද නොමිදෙන්නේයයි කීවේය.

සාමණේරයන්වහන්ස, ඔබේ පදකීම අතිශයින්ම විසිතුරුය. දැන් සරහඤ්ඤය (මිහිරිකොට කීම) දෙසන්නැයි කීහ. හෙතෙම සරහඤ්ඤ දේශනාවද කෙළේය. උදෑසන අරුණු නැගෙත් සාමණේරයන්වහන්සේගේ උපස්ථායක මිනිස්සු දෙකොටසක් වූහ.

ඇතැම් අය අපි මීට පෙර මෙතරම් කර්කශකෙනෙක් නොදැක්කෙමු. මෙතරම් දහම්කථා දැනදැනත් මෙතෙක්කල් මවුපිය තනතුරේ තබා උවටැන්කරන අයට කෙසේනම් බණ ටිකක් නොකියා සිටිය හැකිදැයි කිපුණාහ. සමහරු අනේ අපට මහත් ලාභයකි. අපි මේ හිමියන්ගේ ගුණයක් හෝ අගුණයක් හේ නොදැනත් උපස්ථාන කෙළෙමු. දැන් වනාහි මුන්වහන්සේ සමීපයෙහි බණඅසන්ටත් අවස්ථාව ලැබුවෙමුයයි තුටුපහටු වූහ.

බුදුරජාණන්වහන්සේද එදවස උදෑසන ලෝකය බලනසේක් වනවාසිකතිස්සතෙරුන්ගේ උපස්ථායකයන් තමන්ගේ ඤාණදැලට ඇතුළත්වනු දැක, සිදුවන්නේ කුමක්දැයි ආවර්ජනා කරනසේක්, මෙකරුණ දුටුවාහුය. වනවාසිකතිස්සසාමණේරයන්ගේ උපස්ථායකයන්ගේ සමහරු සතුටුවූවාහුය. සමහරු කිපුණාහ. මාගේ පුතෙකු වැනි සාමණේරයන් කෙරෙහි කිපුණාහු නිරයට යන්නෝවෙති. එහෙයින් මා එහි යායුතුමයි. මා එහි ගියකල ඒ සියල්ලෝම සාමණේරයන් කෙරෙහි මෙත්සිත් ඇතිකොට දුකින් මිදෙන්නාහුය.

එගම මිනිස්සුත් භික්‍ෂුසංඝයාට ආරාධනා කොට ගමට ගොස් මණ්ඩපයක් කරවා කැඳබත් ආදිය සම්පාදනය කොට අසුන් පනවා සංඝයා වඩින මග බලබලා සිටියෝය. භික්ෂූහුද සිරුරු පිළිදැගුම් කොට භික්‍ෂාපිණිස හැසිරෙන වේලාවෙහි පිඬුපිණිස ගමට වඩින අතර සාමණේරයන් අමතා, තිස්ස ඔබ අප සමගම එන්නෙහිද, නැතහොත් පසුව එන්නෙහිද? ස්වාමීනි, ඔබවහන්සේලා වඩින්න, මම වෙනදා යන වේලාවටම එන්නෙමි. භික්ෂූහු පාසිවුරු රැගෙන පිටත්වූහ.

ශාස්තෘන්වහන්සේ ජේතවනාරාමයේදීම සිවුරුපෙරවා පාත්‍ර‍යද රැගෙන එක් චිත්තක්ෂණයක් ඇතුළතම ගොස් භික්ෂූන්ගේ ඉදිරියේ සිටිමින්ම තමා දැක්වූහ. බුදුරජාණන්වහන්සේ වැඩිසේක්යයි සියලු ගම්වැසියෝ කැළඹීගොස් ඒකකෝලාහල විය. ප්‍රීතියෙන් උදම්වූ මිනිස්සු බුද්ධප්‍ර‍මුඛ භික්ෂුසංඝයා වඩා හිඳුවා කැඳ පිළිගන්වා අනුභව කළයුතුදේද පිළිගැන්වූහ. සාමණේරයන්වහන්සේ වළඳා අවසන් වීමට ප්‍ර‍ථම ඇතුල්ගමට වැඩියාහ. ගම්වැසියෝ උන්වහන්සේ කැඳවාගෙන ගොස් සකසා දන් පිළිගැන්වූහ. උන්වහන්සේ යැපෙන පමණක් ආහාරගෙන බුදුන් ළඟට ගොස් පාත්‍ර‍ය බුදුරදුන්ට පිදූහ. බුදුරජාණන්වහන්සේ තිස්ස මෙහාට ගෙනෙන්නැයි පාත්‍ර‍ය පිළිගෙන, ශාරීපුත්‍ර‍ය ඔබේ සාමණේරයන්ගේ පාත්‍ර‍ය බලන්නැයි තෙරුන්ට පෙන්වූහ. තෙරණුවෝ බුදුන්ගේ අතින් පාත්‍ර‍ය ගෙන සාමණේරයන්ටද දී, යන්න තමන්ට ලැබුණුතැන හිඳගෙන බත්කිස කරවයි පැවසූහ.

ගම්වැසියෝ බුදුන් ප්‍ර‍මුඛ භික්ෂු සංඝයා වළඳවා බුදුන්ගෙන් අනුමෝදනා කරන ලෙස ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ අනුමෝදනා කරන්නාහු උපාසකවරුනි, නුඹලාට මහත් ලාභයක් විය. ඔබලා තමන්ගේ කුලුපග සාමණේරයන් නිසා සාරිපුත්‍ර‍, මොග්ගල්ලාන, කාශ්‍යපාදි අසූමහා ශ්‍රාවකයන් දැකීමේ භාග්‍යය ලැබුවාහුය. මමත් නුඹලාගේ කුලුපග සාමණේරනම නිසාම ආවෙමි. බුදුන් දැකීමේ වරයත් මොහු නිසාම ලැබුවාහුය. ඔබහැම හොඳම හොඳ ලාභයක් ලැබුවාහුයයි වදාළහ.

මිනිස්සු, අහෝ, අපට මහත් ලාභයක් ලැබුණි. බුදුනුත් මහාසංඝයාත් ආරාධනය කරන්ට, සතුටු කරවන්ට සමත් ආර්යයන් දැකීමේ භාග්‍යය ලදිමු. දන්දීමේ ලාභය ලදිමුයයි කියමින් කිපුණුඅය සතුටට පත්වූහ. පැහැදුණු අය වඩවඩාත් පැහැදුණහ. අනුමෝදනා අවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට වැඩියාහුය. මිනිස්සු බුදුන් අනුව ගොස් නැවතුණාහ. බුදුරජාණන්වහන්සේ සාමණේරයන් සමග සමාන දුරකින් වැඩමවමින් සාමණේරය, මේ ප්‍රදේශය කිනම්ද, මේ ප්‍රදේශය කිනම්දැයි මුලින් උපාසකයා විසින් පෙන්වා දුන් ප්‍රදේශ ගැන අසමින් වැඩියාහ. සාමණේර තෙමේත් මේ ප්‍රදේශය මෙනම්ය, මෙය මෙනම්යයි කියමින්ම ගියේය. බුදුරජාණන්වහන්සේ සාමණේරයන් වසන තැනට වැඩමවා පර්වත මුදුනට නැංගාහ. එහි ගියවිට මහමුහුද පෙනෙයි. ශාස්තෘන්වහන්සේ, තිස්සය, පර්වතය නැගී ඔබමොබ බලා කුමක් දකින්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, මහමුහුද දකිමි. එය දැක කුමක් සිතුවෙහිද?

මා දුකට පත්වූ අවස්ථාවල ඇඬීමෙන් වැගිරවූ කඳුළු සතරමහා සාගරයේ ජලයටත් වැඩියයි මෙය දැක සිතීමි. තිස්සය, ඉතා මැනවි. ඉතා මැනවි. එක් එක් සත්ත්වයා දුකට පත් අවස්ථාවල වැගිරවූ කඳුළු සතරමහා සාගරයේ ජලයට වැඩිමවේයයි වදාරා මේ ගාථාවද ප්‍ර‍කාශ කළසේක:

සිව්සයුරේ ඇති ජලය ටිකයි

දුකින් පෙළෙන අය හඬා වැටී

හෙලූ කඳුළුදිය ඊට වැඩියි

මෙකරුණ දකිමින් සිටින ලොවේ

පමාවෙමින් ඇයි ඔබ නවතින්නේ

ඉන්පසු ඔහුගෙන් මෙසේ ඇසූහ: තිස්ස ඔබ වසන්නේ කොහිද? ස්වාමීනි, මේ පර්වතප්‍රාන්තයෙහිය. එහි වසන ඔබ කුමක් සිතුවෙහිද? සසරදී මේ ස්ථානයෙහි මා මැරී කීවරක් නම් ශරීරය දමන්ට ඇද්දැයි සිතීමි. තිස්සය, ඉතා මැනවි, ඉතා මැනවි. එය එසේමයි. මේ සත්ත්වයන් මහපොළොවෙහි නොමැරුනු තැනක් නම් නැත්තේයයි වදාරා-

උපසාළ්හක නමින් සිට තුදුස් දහසක් වාර ගණනින්

මෙතැනම දැවී හළුවිය නොදැවුණු තැනක් ලොව නැත

යමකු වෙත සත්‍යය අහිංසා සංයම දහමත්

දමනයත් එක සේ ඇත්නම් එයයි ලොව නොමැරීම වන්නේ

මේ දුකනිපාතයෙහි උපසාළ්හක ජාතකය වදාළහ. මෙසේ පොළොවෙහි ශරීරය දමා මැරෙන සත්ත්වයන් අතරෙහි නොමැරුණු පෙදෙසක මැරෙන්නෙක් නැත. ආනන්දතෙරුන් වැනි අය නොමැරුනු පෙදෙස්වල පිරිනිවන් පාති. ආනන්දතෙරණුවෝ වනාහි එක්සිය විසි හැවිරිදි කල්හි ආයුෂ කාලය ගැන බලනවිට එය අවසන්වී ඇතිබව දැන සත්වෙනි දිනයෙහි පිරිනිවන් පාන්නෙමියි දන්වා සිටියහ. එපුවත අසා රෝහිණීනදියෙහි උභය තීරයන්හි විසූ මිනිසුන් අතර මෙහා තීරයෙහි විසූ අය අපි තෙරුන්ට බොහෝ උපකාර කෙළෙමු. අප සමීපයෙහි පිරිනිවන් පාන්නාහුයයි කීවාහුය. එහා තීරවාසී මිනිස්සුද අපිත් තෙරණුවන්ට බොහෝ උපකාර කෙළෙමු. උන්වහන්සේ අප සමීපයෙහි පිරිනිවන් පාන්නාහුයයි කීවාහුය. තෙරණුවෝ ඔවුන්ගේ කථා අසා දෙතෙරවාසීහුම මගේ උපකාරකයෝය. මේ අය අනුපකාරකයයි කීමට නොහැකියි. ඉතින් මම එහා තීරයෙහි පිරිනිවියොත් මෙහා තීරයෙහි මිනිස්සු ධාතු බෙදාගැනීමට ඔවුන් සමග කෝලාහල කරන්නාහුය. ඉතින් පරතීරයෙහි පිරිනිවියොත් මෙහා තීරයෙහි වැසියෝ කලහකරන්නෝය. ඒ කලහය ඇති වන්නේ මා නිසාය. කලහ සංසිඳෙන්නේත් මා නිසාමයයි සිතා මෙහා ඉවුරෙත් එහා ඉවුරෙත් යන දෙපිරිසම මගේ උපස්ථායකයෝය. අනුපකාරකයය කියන්ට නැත. මෙහා ඉවුරේ අය මෙහා ඉවුරේත් එහා ඉවුරේ අය එහා ඉවුරේත් රැස්වෙත්වායි කීහ.

එයින් සත්වෙනි දිනයෙහි නදියෙහි මැද තල්ගස් සතක් පමණ උඩ අහසේ එරමණිය ගොතා ඉඳගෙන මහජනයාට ධර්මකථා කියා මාගේ සිරුර මැදින් දෙකට පැළී එක් භාගයක් මෙගොඩත් එක් භාගයත් එගොඩත් වැටේවායි අදිටන් කොට ඉඳගෙනම තේජෝ ධාතුසමවතට සමවැදුණාහ. ගිනිදැල් නැගිණි. සිරුර මැදින් පැළී එක් භාගයක් මෙහා ඉවුරේත් අනිත් භාගය එහා ඉවුරේත් වැටුනේය. මහාජනකාය හැඬූහ. පොළොව උදුරාලන්නාක් වැනි මහා ඇඬුම්හඬක් පැතිරිණි. බුදුන් පිරිනිවිදා හැඬූහඬත් වඩා කාරුණ්‍යකර හඬක්විය.

මිනිස්සු සිව්මසක් හඬමින් වැළපෙමින්, බුදුන් පිරිනිවියත් බුදුන්ගේ පාසිවුරු ගන්නා අනඳතෙරුන් සිටිනිසා බුදුන් ජීවත්වන්නාක් මෙන්විය. දැන් අපේ බුදුන් පිරිනිවියේයයි හඬා වැළපෙමින් ඇවිද්දාහ.

බුදුරජාණන් වහන්සේ නැවත සාමණේරයන් අමතා, තිස්ස මේ වනපයසේ දිවිකොටි ආදීන්ගෙන් බයක් නැද්දැයි ඇසූහ. ස්වාමීනි බිය නොවෙමි. එනමුත් ඔවුන්ගේ ශබ්ද අසා වනය පිළිබඳ ඇලුම් ඇති වන්නේයයි කියා සැටක් පමණ ගාථාවලින් වනවර්ණනාවක් කෙළේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ තිස්සයයි ඇමතූහ. ස්වාමීනි, ඇයි? තිස්ස අපි යන්නෙමු. ඔබ එන්නෙහිද, මෙහි නවතින්නෙහිද? මගේ උපාධ්‍යායයන්වහන්සේ මාත් රැගෙන යතොත් යන්නෙමි. නවතා ගියොත් නවතින්නෙමි ස්වාමීනියි කීය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ද කැටුව වැඩමවූහ. සාමණේරයන්වහන්සේගේ කැමැත්ත නම් නැවතීමටමය. තෙරණුවෝ, එය දැන තිස්ස ඉදින් නවතිනු කැමති නම් නවතින්නැයි කීය. හෙතෙම බුදුනුත් සංඝයාත් වැඳ නැවතුණේය. ශාස්තෘන්වහන්සේ දෙව්රමටම වැඩියහ.

ධර්මසභාවෙහි කථාවක් ඇතිවිය. අනේ ඒකාන්තයෙන්ම තිස්ස සාමණේරනම දුෂ්කරදෙයක් කරයි.

පිළිසිඳ ගැනීමේ පටන් නෑයෝ මංගල්‍ය සතක දී පන්සීයක් භික්ෂූන්ට දියනුමුසු මිහිරි පායාසයෙන්ම දන් දුන්හ. පැවිදිවූ පසු ස්වකීය විහාරයෙහි සත්දවසක් දියනුමුසු මිහිරි පායාසයම දුන්හ. පැවිදිවී අටවෙනි දවසෙහි ගමට යන අතර දින දෙකක්ම සළුදහසක් සමග පිණ්ඩපාත දහසක් ලැබීය. නැවත එක් දිනක කම්බිලි දහසක් ලැබීය. මෙසේ ඔහු මෙහි වසන කාලයෙහි මහා ලාභසත්කාර ලැබුවේය. දැන් එබඳු ලාභසත්කාර හැරදමා කැලෑවැදී මිශ්‍රආහාරයෙන් යැපෙයි. තිස්ස සාමණේරයන් කරන්නේ දුෂ්කර දෙයකි.

ශාස්තෘන්වහන්සේ පැමිණ, මහණෙනි, කවර නම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා, මෙනම් කථාවකිනුයි කීකල්හි මහණෙනි. එසේය, ලාභලැබීම නම්වූ මේ ක්‍ර‍මය එකකි. නිර්වාණගාමිණීප්‍ර‍තිපදාව තවත් එකකි. මෙසේ ලාභ ලබන්නෙමියි ආරණ්‍යකාදි ධුතංග සමාදාන වශයෙන් ලාභලැබීමේ වත රකින භික්ෂුවට සතර අපායේ දොරටු විවෘතව පවතී. නිර්වාණගාමිනී ප්‍ර‍තිපදාවෙන් උපන් ලාභසත්කාර හැරදමා ආරණ්‍යයට වැදී උත්සාහයෙන් වෑයම් කරන්නේ රහත්බව ලබාගන්නේයයි පූර්වාපර සන්ධිගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

ලාභ ලබනු එක කරුණකි

නිවන් යෑම තවත් මගකි

මෙය නිසි ලෙස දැනගන්නා

මේ සසුනේ බුදුසව්වෙකි

සත්කාරය නොකැමති වෙයි

විවේක සුවයට කැමතියි

එහි, අඤ්ඤාභි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණගාමිනී යනු ලාභලැබීම නම්වූ මේ කරුණ හෙවත් පැවැත්ම එකකි. නිවන් යෑමේ ප්‍ර‍තිපදාව තවත් එකකි. ලාභලබන භික්ෂුව කුඩා හෝ අකුශල කර්මයක් කළයුතුවේ. කායවාක් ආදියෙන් වංකකම් කළයුතුවේ. යම් කලෙක කායාදිද්වාරයන්ගෙන් කිසියම් වංක ක්‍රියාවක් කරයිද එවිට ලාභ උපදියි. පායාස තලියක, වංක නොකර කෙළින්ම අතදමා උඩට ගන්නාවිට අතේ පායාස ගෑවුණු හැටියෙන්ම පවතියි. වංක කොට අතදමා උඩට ගන්නාවිට පායාසපිණ්ඩය නික්මෙයි. මෙසේ කායවංකාදිය කරනකාලයෙහිම ලාභය උපදියි. අධාර්මික ලාභ ඉපදවීමනම් මෙයි. උපධිසම්පදාව, චීවරධාරණය, බහුශ්‍රැතබව, පිරිවර, ආරණ්‍යවාසය යන මේ කරුණුවලින් උපන් ලාභය ධාර්මික නම්වෙයි. නිවන්මාර්‍ග ප්‍ර‍තිපදාව පුරන්නා වූ භික්‍ෂුව විසින් කායවංකාදිය හැරදැමිය යුතුයි. අන්ධනොවී සිටියදීත් අන්ධයෙකු මෙන්ද ගොළුවෙක්නොවී ගොළුවෙක් මෙන්ද, බිහිරෙක් නොවී බිහිරෙකු මෙන්ද ක්‍රියාකිරීමට සිදුවේ. කපටිමායාකාරී නොවීමට සිදුවේ.

එවමෙතං යනු මෙසේ ලාභ උපදවන ප්‍ර‍තිපදාවත්, නිර්වාණගාමිනී ප්‍ර‍තිපදාවත් දැන සියලු සංඛත අසංඛත ධර්මයන් අවබෝධකරන අර්ථයෙන් බුද්ධස්ස බුදුන්ගේ සවන්අග ඉපදුණු අවවාද යන අර්ථයෙන් අනුශාසනා හෝ ඇසීමෙන් සාවකො භික්ඛු ශ්‍රාවක භික්ෂුව සිව්පස සංඛ්‍යාත සක්කාරංනාභිනන්දෙය්‍ය සත්කාරයන්ගෙන් සතුටු නොවෙයි. ධාර්මික දෙයට දොස්ද නොකියයි. කායවිවේකාදි විවෙකං චානුබ්‍රෑහයේ විවේකය උතුම්කොට ගනී.

එහි කායවිවේකය නම් කයේ ඒකීය භාවයයි. චිත්ත විවේකය නම් අෂ්ටසමාපත්තීහුයි. උපධිවිවේක නම් නිර්වාණයයි. ඔවුනතර කායවිවේකය කුලයන් කෙරෙහි ඇළීම දුරුකරයි. චිත්ත විවේකය කෙලෙස්වල ඇළීම දුරුකරයි. උපධිවිවේකය සංස්කාරයන්හි ඇළීම දුරුකරයි. කාය විවේකය චිත්ත විවේකයට ප්‍ර‍ත්‍යය වෙයි. චිත්ත විවේකය උපධි විවේකයට ප්‍ර‍ත්‍යය වෙයි. මෙසේත් කියා ඇත. කාය විවේකය වංචකවූ කායාදීන්ටද නෛෂ්ක්‍ර‍ම්‍යයෙහි ඇළුණුවුන්ටද, චිත්ත විවේකයත් පිරිසිදු සත් ඇත්තවුන්ට පරමපවිත්‍ර‍ත්වයට පැමිණියවුන්ටද, උපධිවිවේකය නිරුපධි පුද්ගලයන්ටද සංස්කාර රහිතවූවන්ටද ඉවහල් වේ යන අර්ථයි. මෙසේ මේ ත්‍රිවිධ විවේකය වැඩෙන්නේය, වෘද්ධියට පැමිණෙන්නේය, පැමිණ වසන්නේය යන අර්ථයි. දේශනාකෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

බාලවර්ග වර්‍ණනාව නිමියේය.

පස්වන වර්‍ගයයි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.