තඤ්ච කම්මං කතං සාධු යං කත්‍වා නානුතප්පති
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.
යම් කර්‍මයක් කොට සත්ත්‍ව තෙම නො තැවේ ද, යම් කර්‍මයක්හුගේ ඉෂ්ට විපාකය ප්‍රිතිවේගයෙන් පිණා ගියේ සොඳුරු සිතැති ව අනුභව කෙරේ ද, එබඳු කුශල කර්‍ම කිරීම මැනැවි.
තං ච කම්මං කතං සාධු ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයෙහි සුමනමාලාකාර නමැත්තා අරභයා දේශනා කරන ලද්දකි.
සුමනමාලාකාර දිනපතා උදෑසනම බිම්බිසාර රජුට දසමන්මල් නැළි අටක් පිළිගන්වා කහවණු අට බැගින් ලබාගනියි. දිනක් ඔහු මල් රැගෙන නගරයට පිවිසි වේලාවේ මහාභික්ෂුසංඝයා පිරිවරා සවණක්රැස් විහිදුවමින් බුද්ධානුභාවයෙන් මුළුනගරය ආලෝකමත් කරමින් භාග්‍යවතුන්වහන්සේ නගරයට පිඬුපිණිස පිවිසිසේක. භාග්‍යවතුන්වහන්සේ එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ඇතැම් දවසක සවණක්රැස් සිවුරෙන් වසාගෙන, තුන්යොදුන් පමණ මග අංගුලිමාලට ඉදිරියෙන් යන්නාක් මෙන්ද, තවත් දිනෙක, කපිලවස්තුවට පිවිසියාක් මෙන් සවණක්රැස් විසුරුවමින්ද හැසිරෙති. මෙදිනද සිරුරින් සවණක් රැස් විහිදුවමින් මහත්වූ බුද්ධානුභාවයෙන්, මහත්වූ බුද්ධලීලාවෙන් රජගහ නුවරට පිවිසියාහුය.
මාලාකාර තෙම භාග්‍යවතුන්වහන්සේගේ රන්තොරණක් රුවන්තොරණක් වැනි දෙතිස් මහාපුරුෂලක්ෂණද අසූවක් අනුව්‍යංජනයෙන් ශෝභා සම්පන්න ශරීරය දැක පැහැදුණු සිත් ඇතිව බුදුන්ට කිසියම් පූජාවක් කරමියි සිතා වෙනත් කිසිවක් නොදැක මේ මල්වලින් බුදුන් පුදමියි සිතා නැවත මෙසේ සිතීය. මේ මල් නිතරම රජුට උපස්ථාන පිණිස ගෙනයන ඒවාය. රජු මේ මල් නොලැබ මා බන්ධනාගාරයේ දමනු ඇත. මා ඝාතනය කරනු ඇත. රටින් පිටුවහල් කරනු ඇත. දැන් ඉතින් කුමක් කරන්නෙම්ද? ඔහුට මෙබදු සිතක් පහළවිය. ඉතින් මේ රජු මා ඝාතනය කළත්, බන්ධනාගාරගත කළත් රටින් එළවා දැම්මත් කමක් නැත. ඔහු මට දෙන්නේත් මේ ලොව ජීවත්වීමට පමණක් සෑහෙන ධනයකි. බුදුන්ට පූජා පැවැත්වීමෙන් මට නොයෙක් කල්ප කෝටිගණනක් හිතසුව පිණිස වන්නේයයි තම ජීවිතය බුදුන් උදෙසා පරිත්‍යාග කෙළේය.
හෙතෙම මගේ පැහැදුණු සිත වෙනස්වීයාමට පෙර පූජාව කරන්නෙමියි තුටුපහටුව උද්දාමයට පත්ව බුදුන් පිදුවේය. ඒ කෙසේද? පළමු කොටම මල්මිටි දෙකක් බුදුරදුන් ඉදිරියෙහි උඩට දැම්මේය. එය බුදුන්ගේ හිසට ඉහළින් වියනක් මෙන්වී සිටියේය. තවත් මල්මිටි දෙකක් උඩට දැමීය. ඒවා දකුණු අත් පැත්තෙන් මල්තිරයක් මෙන්වී සිටියේය. තවත් දෙමිටක් දැමූකල්හි ඒවා බුදුරදුන්ගේ පිටුපසින් මල්තිරයක්විය. තවත් දෙමිටක් දැමූකල එය වම්පසින් මල්තිරයක් විය. මෙසේ මල්නැළි අට සතර තැනක සිට බුදුරදුන් වසා ගත්තාමෙන් වී ඉතිරිවිය. මල්වල නැටි ඇතුලට විය. පෙති පිටතට විය. භාග්‍යවතුන්වහන්සේ රතුරෙද්දකින් වටකළාක්මෙන්වී වැඩියහ. සිතක් නැති මල් සිතක් ඇතිව පිදූ හෙයින් සිතක් ඇත්තාක් මෙන් වී නොබිඳී නොවැටී බුදුන් සමගම යයි. සිටිසිටි තැන්වල සිටී. බුද්ධ ශරීරයෙන් සිය ගණන් රැස්මාලා නික්මිණි. පෙරටුවෙන් පසුපසින් දකුණෙන් වමෙන් හිස්මුදුනින් අතරක් නැතිව නිකුත් රශ්මිවලින් එකක් හෝ හමුවූ තැන්වලින් පහව නොගොස් සියලු රැස්වළලු ශාස්තෘන්වහන්සේ තෙවරක් ප්‍රදක්ෂිණාකොට නාඹුල් තල්කඳන් පමණවී පෙරටුවෙන්ම දුවයි.
මුළු නගරය ඇළලී ගියේය. ඇතුළු නුවර නවකෝටියක්ද පිටනුවර නවකෝටියක්දැයි දහඅට කෝටියක් ජනයන්ගෙන් එක් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ආහාරයක් රැගෙන පැමිණියේ නැත. මහාජනයා සිංහනාද කරමින් හුණකළල් වනමින් බුදුන් පෙරටුවෙන්ම යෙති. ශාස්තෘන්වහන්සේ මාලාකාරයාගේ ගුණ ප්‍රකට කරමින් තුන්ගවු පමණවූ නගරයෙහි බෙර හඬවන මාර්ගයෙහිම වැඩිසේක. මාලාකාරයාගේ මුළුසිරුරම පස්වණක් ප්‍රීතියෙන් පිනාගියේය. හෙතෙම ටිකදුරක් බුදුන් සමග ගොස් මනෝසිලා වතුරක ගිළුණාක් මෙන් බුදුරැස් අතරට වැදී බුදුන්ට ස්තුති කොට වැඳ හිස් පැසම රැගෙන ගෙදර ගියේය.
ඉන්පසු ඔහුගේ භාර්යාව මෙසේ ඇසුවාය. මල් කොහේද? මම ඒවා බුදුන්ට පිදුවෙමි. දැන් රජු කුමක් කෙරෙයිද? රජු මා මරා දමනු හැකිය, රටින් පිටුවහල් කළ හැකිය, මම ජීවිතය පුදා බුදුන් පිදුවෙමි. සියලුමල් අටමිටක් විය. මෙබඳු පූජාවක් සිදුවිය. මහාජනතාව දහස් ගණනින් උන්නාද පවත්වමින් බුදුන් සමග නගරයෙහි හැසිරෙති. එහි නැගෙන උන්නාද ශබ්දය දැනුත් ඇසෙයි.
ඔහුගේ අනුවණ බිරිය මෙබඳු වූ ප්‍රාතිහාර්යයෙහි ප්‍රසාදයක් උපදවා ගතනොහැකිව ඔහුට බැණ දොඩා නින්දාකොට රජවරු, සැඩ පරුෂය, වරක් කිපුණොත් අත්පා කැපීම් ආදි බොහෝ අනර්ථ සිදුකරති. ඔබ කළ දෙයින් මටත් නපුරක් වියහැකියයි දරුවනුත් රැගෙන රජවාසලට ගියපසු රජු ඈ කැඳවා මේ කිමෙක්දැයි ඇසූකල, මේ මගේ සැමියා ඔබවහන්සේට ගෙනා මල්වලින් බුදුන් පුදා හිස් අතින් ගෙදර ආවේය. මල් කොයිදැයි මම ඇසීමි. මෙසේ වීයයි හේ කීය. මම ඔහුට බැණදොඩා, රජවරු චණ්ඩයෝය, වරක් කිපුණොත් අත් පා කපාදැමීම් ආදී බොහෝ වධබන්ධන කෙරෙත්, ඔබකළ වරදින් මාත් අනතුරේ වැටෙතියි ඔහු හැරදමා මෙහි ආවෙමි. ඔහු කළ දෙය හොඳක්වුවත් නරකක්වුවත් කමක් නැත. මම ඔහු හැරදමා ආබව දේවයන්වහන්සේ දැනගනු මැනව.
බුදුන් දුටු ප්‍රථම දර්ශනයෙන්ම රජු සෝවාන්ඵලයට පැමිණි ශ්‍රද්ධාවටත් ප්‍රසාදයටත් පත් ආර්යශ්‍රාවකයෙකි. ඔහු මෙසේ සීතිය. අනේ මේ මෝඩ ගැහැණිය මෙබඳු ගුණයන් කෙරෙහි පැහැදීමක් පවා උපදවා නොගත්තීයයි කෝපවූවාක් මෙන්වී මෑණියනි, කුමක් කියන්නීද? මා සඳහා ගෙනා මල්වලින් ඔහු පූජාවක් කෙළේද? එසේය දේවයිනි, ඔහු අත්හැර දැමීමෙන් ඔබ යහපත් වැඩක් කෙළෙහිය. මගේ මල් පූජාකළවුන්ට කළයුත්ත දනිමියි ඇය පිටත්කර වේගයෙන් බුදුන් වෙත ගොස් බුදුන් සමග ඇවිද්දේය. බුදුරජාණන්වහන්සේ ඔහුගේ සිතේ ඇති ප්‍රසාදය දැන බෙරගසන වීථියෙන් නගරයට පැමිණ රජමාලිගා දොරට වැඩියහ. රජු බුදුන්ගේ පාත්‍රය ගෙන බුදුන් ගෙතුළට වැඩමවාගනු කැමතිවිය. ශාස්තෘන්වහන්සේ රජමිදුලෙහිම වැඩ සිටීමට කැමතිබව දැක්වූහ. රජු ඒ දැන වහා මණ්ඩපයක් කරව්යයි එකෙණෙහිම මණ්ඩපයක් කරවූයේය. බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයාත් සමග එහි වැඩසිටිසේක. බුදුරජාණන්වහන්සේ රජගෙදරට වැඩමනොවූයේ කුමක් නිසාද? ඉදින් මා රජගෙය ඇතුළට ගොස් හිඳගතහොත් මහාජනයාට මා බලාගැනීමට නොහැකිවන්නේය. මාලාකාරයාගේ ගුණද ප්‍රකට නොවන්නේය. රාජාංගනයේ සිටිකල මහාජනයාට මා දැක ගන්නටත්, මාලාකාරයාගේ ගුණ ප්‍රකටවීමටත් ඉඩ ලැබෙන්නේය, ගුණවතුන්ගේ ගුණ ප්‍රකටකරවන්නට බුදුවරුම සමත් වෙති. සෙසු අය ගුණවතුන්ගේ ගුණ කීමට මසුරුවෙතියි සිතා රජගේතුළට නොවැඩියහ.
මල්තිර සතරක් සතර පැත්තෙන් විය. මහාජනයා බුදුන් පිරිවරා සිටියහ. රජු බුදුන් ප්‍රමුඛ භික්ෂුසංඝයාවහන්සේට ප්‍රණීත ආහාරය පිළිගැන්වීය. බුදුහු බත්කිස අවසානයෙහි අනුමෝදනාකොට පෙර පරිද්දෙන් මල්තිර සතරකින් වටවී ප්‍රීතිඝෝෂාකරන මහාජනයා පිරිවරා විහාරයට වැඩිසේක. රජු බුදුරදුන් අනුව ගොස් නැවතී මාලාකාර කැඳවා, මට ගෙනා මල්මිටිඅටින් කවර අයුරකින් බුදුන් පිදුවේදැයි ඇසීය. මාලාකාර, රජු මා මරා දැමුවත්, රටින් එළවා දැමුවත්, කමක් නැතැයි ජීවිත පරිත්‍යාගයෙන් පිදුවෙමි දේවයන්වහන්සයැයි පිළිතුරු දුන්නේය. රජු ඔබ මහා පුරුෂයෙකියි කියා ඇතුන් අටදෙනෙක්, ආදිවශයෙන් අසුන්, දාසයන් දාසීන් හා මහා පළඳනාද දී කහවණු අටදහසක් රජකුලයෙන් මුදාහැර සව්බරණින් සැරසුණු ස්ත්‍රීන් අටදෙනෙක්ද ගම්වර අටක්දැයි මෙසේ සියල්ලෙන් අට බැගින් සබ්බට්ඨක නම් පරිත්‍යාගයක් කෙළේය. ආනන්ද තෙරණුවෝ මෙසේ සිතූහ. අද උදේ පටන් සිංහනාද දහස් ගණනක්ද, හුණකුළල් වනමින් කරන පුදපෙරහැරද පවතී. මාලාකාරයාගේ පූජාවේ අනුසස් කෙසේවීදැයි බුදුරදුන්ගෙන් විචාළහ. ශාස්තෘන්වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා, ආනන්ද, මේ මාලාකාර විසින් කුඩා දෙයක් කරනලදැයි නොසලකව. මොහු විසින් මා වෙනුවෙන් දිවි පුදා මේ පූජාව කරනලදි. හෙතෙම මෙසේ මා කෙරෙහි සිත පහදවා කළ පිනෙන් කල්පලක්ෂයක් දුගතියකට නොයයි. දෙව්මිනිසුන් අතර මේ හේතුකොටගෙන මහත්ඵල ලබා පසුව සුමන නමින් පසේබුදුවරයෙකු වන්නේය.
මෙසේ වදාරා බුදුරජාණන්වහන්සේ විහාරයට වැඩමවා ගඳකිළියට පිවිසෙන වේලාවෙහි ඒ මල් දොරටුව ළඟ වැටුණේය. සවස් වේලෙහි දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු, අනේ පුදුමයි මේ මාලාකාරයා ජීවමාන සම්මාසම්බුදුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ පූජාව නිසා එකෙණෙහිම සබ්බට්ඨක නම් පරිත්‍යාගයක් ලැබුවේයයි කථාවක් ඇති කළහ. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙන් නික්ම ත්‍රිවිධ ගමන් විලාසයන්ගෙන් එකකින් දම්සභාවට වැඩමවා බුදුඅසුන්හි වැඩහිඳ, මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙබඳු කථාවකිනුයි කීකල්හි, එසේය මහණෙනි, යම් ක්‍රියාවක් කිරීමෙන් පසු පසුතැවිල්ලක් නොවේනම් සිහිකරන කරන මොහොතෙහි සතුටක් ප්‍රීතියක්ම උපදීනම් එබඳු ක්‍රියා කළයුතුම වේයයි වදාරා මේ ගාථාව ප්‍රකාශ කළසේක:
තමා කළ වැඩ ගැන සොම්නසම ඇතිවේ නම්
එබඳු දේ කළ යුතු එයින් පසුතැවිලි ඇතිනොම වේ
එහි යං කත්වා යනු යම් දෙව්මිනිස් සැප හා නිවන්සැපද උපදාදීමට සමත් සැපඋපදවන ක්‍රියාකොට නානුතප්පති නොතැවෙයි. එසේම මෙලොවදීත් සිහිකරන කරන මොහොතක් පාසා ඇතිවන ප්‍රීතිවේගයෙන් පතීතො ප්‍රමුදිතවන්නේ සොම්නස් වේගයෙනුත් සුමනො ප්‍රීතිමත් මනසක් ඇතිව මෙලොව ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විපාකං පටිසෙවති තං කම්මං කතං සාධු විපාක හෙවත් ප්‍රතිඵල ලබාගනීද එබඳු කර්ම යහපත්වේ.
දේශනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය.