යථා සඞ්කාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්‍ථ ජායෙථ සුචිගන්‍ධං මනොරමං.
මහමඟැ බහා ලන ලද කසළ ගොඩෙක සුවඳැති සිත්කලු පියුමෙක් යම්සේ හටගැනේ ද,
එවං සඞ්කාරභූතෙසු අන්‍ධභූතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකො.
එසේ ම කසළගොඩක් බඳු වූ නුවණ නැති පුහුදුන් ලෝවැස්සා කෙරෙහි උපන්, සම්‍යක්සම්බුද්ධශ්‍රාවක (රහත්) තෙම ප්‍රඥායෙන් සෙස්සන් ඉක්ම බබලයි.
යථා සංඛාරධානස්මිං යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ගරහදින්න නමැත්තා අරභයා දේශනාකළසේක. සැවැත්නුවර සිරිගුත්ත ගරහදින්න යන නම්වලින් යහළුවෝ දෙදෙනෙක් වූහ. එයින් සිරිගුත්ත උපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ඔහු අමතා සිරිගුත්තට මෙසේ කියන්නැයි කීහ. ඔබ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නේ ඇයි? ඔහු ළඟදී කුමක් ලැබිය හැකිද? එසේ කියා අප ළඟටම පැමිණෙන ලෙසත් අපටම දියයුතුදේ දෙන්නැයි කියාත් අවවාද නොකරන්නේ ඇයි? ගරහදින්න ඔවුන්ගේ වචන අසා නිරතුරුව ගොස් සිටින හිඳින හැම තැනකදීම සිරිගුත්ත අමතා, යහළුව ඔබට ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇති ඵලය කුමක්ද? එහි ගොස් කුමක් ලබන්නටද? ඔබ අපේ ආර්යයන් වෙත නොයන්නේ ඇයි? උන්වහන්සේලාට දන් නොදෙන්නේ ඇයි?
සිරිගුත්ත ඔහුගේ බස් අසාත් බොහෝ දිනවල නිහඬව සිට කළකිරීමට පත්ව එක්දිනක්, යහළුව නිතර පැමිණ මා හිඳින සිටින හැම තැනදීම ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇතිඵලය කුමක්ද? මගේ ආර්යයන් වෙත පැමිණ දන්දෙව යනුවෙන් කියයි. ඔබේ ඔය ආර්යයන් දන්නේ මොනවාදැයි මට පළමුවෙන්ම කියා දෙන්නැයි කීවේය. අනේ, යහළුව, එසේ නොකියව. මගේ ආර්යයන් නොදන්නා දෙයක් නැත. අතීත අනාගත වර්තමාන සියල්ලත් සියලු කාය වචී මනෝකර්මයන්ගෙන් මෙය සිදුවෙයි, මෙය සිදුනොවෙයි ආදි සියල්ලත් සිදුවිය හැකි නොහැකි සියල්ලත් දනිත්යයි කීවේය.
එසේනම් කියන්නේ එහෙමද? යහළුව, එසේය. ඉතින් මෙතෙක්කලක් මට එය නොකියා සිටීමෙන් ඔබ විසින් කර ඇත්තේ බරපතළ ක්‍රියාවකි. අද මම ඒ ආර්යයන්ගේ ඤාණානුභාවය දැන ගනිමි. යහළුවාණනි, මගේ වචනයෙන් ආර්යයන්ට දානයක් සඳහා නිමන්ත්‍රණය කරවයි සිරිගුත්ත කියා සිටියේය. හෙතෙම නිවටුන් හමුවට ගොස් ඔවුන්ට වැඳ මගේ යහළු සිරිගුත්ත හෙට දානය සඳහා ඔබවහන්සේලාට ආරාධනා කරන්නේයයි කීය. සිරිගුත්තම ඔබට මෙසේ කීවෙහිද? එසේමය ආර්යයෙනියි හේ කීය.
නිගණ්ඨයෝ තුටුපහටු සිතින් අපේ කාර්යය ඉටුවීයයි සිරිගුත්ත අප සමග පැහැදුණු කාලයේ පටන් කවර නම් සැපතක් අපට නොලැබෙන්නේදැයි කීවාහුය. සිරිගුත්තට මහත් ගෙයක් විය. හෙතෙම ඒ ගෙවල් දෙක අතර දිග පළල ඇති වළක් කණවා අශුචි මඩවලින් පිරවිය. වළ දෙකෙළවර කණු සිටවා ලණු බැඳ ආසනවල ඉදිරි පා වළේ ඉදිරි කෙළවර තබා පසු පා ලණුවලින් ගැට ගසා තැබීය. ඒ ආසනවල හිඳිකල පසු පා ලණුවලින් ඇද්දවිට ඔවුන්ගේ හිස් යටට හැරී වැටෙන්නේය යන අදහසින් එසේ කරනලදි. ඉන්පසු වළ නොපෙනෙන සේ ඒ මත ඇතිරිලිවලින් වසන ලදි. ඉන්පසු ලොකු ලොකු හැළිසෝදවා කෙසෙල්කොළ හා රෙදිවලින් ඒ හැලිවල කටවල්බැඳ ඒවා හිස්වම කැඳබත් ගිතෙල් කැවුම්කුඩු ආදිය තවරා ගේපිටිපස තැබ්බවීය.
එදින උදෑසනම ගරහදින්න ඉක්මන් ගමනින් සිරිගුත්තගේ ගෙට ගොස් ආර්යයන්ට සත්කාර සූදානම්දැයි විචාළේය. යහළුව එසේය සියල්ල සූදානම්යයි හෙතෙම කීවේය. ඒවා කොහේද? මෙතන මේ හැළිවල කැඳය. මෙපමණ සැළිවල බත්ය. මෙතෙක් හැළිවල ගිතෙල් පැණි කැවුම් ආදියය කීය. හෙතෙම යහපතැයි කියා ගියේය. ඔහු ගියකල පන්සීයක් නිගණ්ඨයෝ එහි පැමිණියාහුය. සිරිගුත්ත ගෙයින් නිකම අවුත් පසඟපිහිටුවා නිගණ්ඨයන් වැඳ ඔවුන් ඉදිරියේ ඇඳිලි බැඳ සිටගෙන, තෙපි වනාහි අතීතාදි සියලු කාලභේද දන්නාහුය. ඒ බව තොපගේ උපස්ථායකයා විසින් මට කියාදෙන ලදි. ඉදින් තෙපි ඒ සියල්ල නොදන්නාහු නම් මගේ ගෙට නොයව. නොදැන පිවිසි තොපට මෙහි කැඳබත් නැත. නොදැන ගෙට ඇතුළුවූ හෙයින් අශුචිවළට දමා දඬුවම්කෙරෙමියි සිතා මිනිසුන්ට, කථාකොට මොවුන් හිඳගත්කල පිටුපසින් සිට අසුන්වල ඇතිරිලි අශුචි නොගෑවෙනලෙස ඉවත්කරව්.
ඉන්පසු නිවටුන් අමතා, ස්වාමීනි, මෙහි එනු මැනවැයි කීය. නිගණ්ඨයෝ අවුත් පැනවූ අසුන්වල ඉඳගන්ට පටන්ගත්හ. ඉන්පසු මිනිස්සු ඔවුන් අමතා ස්වාමිවරුනි වඩිනු මැනවි. එහෙත් දැන්ම වැඩනොසිටිනුයි කීහ. ඒ කුමක් නිසාදැයි ඇසූහ. අපේ ගෙට පිවිසෙන ආර්යයන් වතාවත් දැන ඒ අනුව හිඳගැනීම කළයුතුය. ඇවැත්නි, කුමක් කටයුතුද තමතමන්ට ලැබෙන ආසනමුල සිට සියලුදෙනාට එකමවරම හිඳ ගැනීම කළයුතුය. මෙසේ කරන ලද්දේ එකෙක් වළෙහි වැටුණුවිට සෙස්සෝ හිඳ ගැනීම නොකෙරෙතියි සිතාය. ඔවුහු යහපතැයි කියා, මොවුන් කී කථාව අප විසින් කළයුතුයයි සිතූහ.
ඉන්පසු සියලුදෙනු තමතමන්ට ලැබුණු අසුන්මුල පිළිවෙලින් සිටියාහුය. ඉන්පසු ඔවුහු ස්වාමීනි, වහා එක්වරම හිඳගනුමැනවැයි කියා ඔවුන් හිඳගන්නා බවදැන ආසනවල එලාතිබුණු ඇතිරිලි ඉවත්කළහ. නිගණ්ඨයෝ එක්වරම හිඳගත්හ. ලණුඋඩතිබුණු ආසනවල පා බිඳිණි. නිගණ්ඨයෝ හිස් පාතට හැරී වළෙහි වැටුණාහ. සිරිගුත්ත ඔවුන් වැටුණු පසු දොරවල් වසා උඩට එන එනවුන්ගෙන් අතීත අනාගත වර්තමාන කර්මයන් දැනගනිව් කියමින් පොලුවලින් තළවා මොවුන්ට මෙපමණක්ම සෑහේයයි දොරවල් හැර දැමීය. නිවටෝ නික්මී පලායන්ට පටන්ගත්හ. ඔවුන් ගමන් කරන මාර්ගය සුණු තවරා ඒ බිම නානුවර්ගවලින් පුරවා තිබිණි. ඔවුන් එහි සිටගෙන සිටිය නොහැකිව ලිස්සා වැටෙනවිට නැවතත් තළවා තොපට මේ ප්‍රමාණවත්යයි පිටත්කර හැරියේය.
නිගණ්ඨයෝ අප නසාදමන ලදි. විනාශකරදමන ලදැයි හඬමින් උපස්ථායකයාගේ ගෙදරට ගියාහුය. ගරහදින්න ඔවුන්ගේ විප්‍රකාරය දැක, සිරිගුත්තයා විසින් මා නසා දමනලදි. අතදිගහැර සදෙව්ලෝ වැසියන් විසින් වඳිනුලබන, කැමතිපරිද්දෙන් දන්දිය හැකි පින්කෙත් බඳු මාගේ ආර්යයන් තළාපෙළා ව්‍යසනය පත්කරන ලද්දේයයි රජකුලයට ගොස් ඔහුට කහවණු දහසකට දඩනියම කරනලෙස ඉල්ලීය.
ඉන්පසු රජු ඔහුට ලිපියක් යැවීය. සිරිගුත්ත එහි ගොස් රජුන් වැඳ දේවයන්වහන්ස, පරීක්ෂාකර දඩ ගන්නෙහිද, එසේ නොකොට ගන්නෙහිදැයි ඇසීය. පරීක්ෂාකොට ගන්නෙමියි රජු කීවේය. දේවයන්වහන්ස, මැනවි එසේනම් ගනු මැනවැයි ඔහු කීවේය.
දේවයන්වහන්ස, මගේ යහළුවා, නිගණ්ඨ ශ්‍රාවකයෙකි. ඔහු මාවෙත පැමිණ මා සිටින හිඳින හැම තැනදීම නිතරම, යහළුව ශ්‍රමණ ගෞතමයන්ගෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද, එහි ගොස් කුමක් ලබා ගන්නෙහිද ආදි වශයෙන් සියල්ල සිරිගුත්ත ප්‍රකාශ කෙළේය. දේවයිනි, ඉදින් මෙහිදී දඩයක් ගතයුතුනම් එය ගනුමැනවැයි කීවේය.
රජු ගරහදින්න දෙස බලා ඔබ මෙසේ කීවේ සැබෑදැයි ඇසීය. දේවයිනි එසේය. සැබෑයයි හේ කීවේය. ඔබ මෙපමණකුත් නොදන්නාවුන්ට බුදුන්යයි පිළිගෙන සියල්ල දන්නවුන්යයි කුමක් නිසා බුද්ධශ්‍රාවකයෙකුට කීවෙහිද? ඔබ නියම කළ දඩය ඔබ විසින්ම ගෙවිය යුතුයයි කීවේය. මෙසේ තමන්ම දඩත් ගෙවා කුලුපගයන්ටත් තළා පිටත්කර හැරියේය. ගරහදින්න එතැන් පටන් අඩමසක් පමණ සිරිගුත්ත හා කථාබස් නොකොට මෙසේ නිකම්සිටීම මට නොහොබී. මොහුගේ කුලුපගයන්ටත් ව්‍යසන කළයුතුයයි සිතා, සිරිගුත්ත ළඟට ගොස්, යහළු සිරිගුත්තයයි ඇමතීය. ඇයි යහළුවාණනි ඇසූවිට, නෑදෑයන් අතර කෝලාහලද වෙයි, විවාහද වෙයි, ඔබ කිසිවක් කතානොකරන්නේත් ඇයිද? යහළුව, ඔබ මා හා කතා නොකරන හෙයින් කථා නොකෙළෙමි. එසේය ගියදේ ගියේමය. ඒනිසා අපේ මිත්‍රත්වය බිඳනොගනිමුයි කීය.
එතැන් පටන් දෙදෙනාම එකතැන සිටිති, හිඳිති. පසු දිනක සිරිගුත්ත ගරහදින්න අමතා, ඔබට නිවටුන් කරා යාමෙන් ඇති ඵලය කුමක්ද? ඔබට කුමක් නම් ලැබෙන්නේද? මගේ ශාස්තෘවරයන් වෙත යාමට හෝ ඒ ආර්යයන්ට දන්දීමට හෝ ඔබට නොවටීද? ඔහුත් එයම බලාපොරොත්තු විය. එහෙයින් එය කසන තැනට නියෙන් ඇන්නාක් මෙන්විය. හෙතෙම සිරිගුත්තගෙන් තොපගේ ශාස්තෘවරයන් කුමක් දනිත්දැයි ඇසීය. අපොයි එසේකීම නුසුදුසුය. මගේ ශාස්තෘන්වහන්සේ නොදන්නා දෙයක් නම් නැත. අතීතාදි කාලභේද සියල්ලක් දනිති. සොළොස් අයුරකින් සත්ත්වයන්ගේ සිත් පිරිසිඳ දනිතියි කීය. මම ඒ ආකාරයෙන් නොදනිමි. මෙතෙක් කල් එය මට නොකීවේ ඇයිද? යි ඇසීය.
එසේනම් යව. හෙට දිනය සඳහා ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කරව. මම උන්වහන්සේ වළදවන්නෙමි. පන්සීයක් භික්ෂූන් සමඟ මගේ ගෙට භික්ෂාව සඳහා ආරාධනා කරවයි කීය. සිරිගුත්ත බුදුන් වෙත පැමිණ වැඳ, ස්වාමීනි, මගේ යහළු ගරහදින්න පන්සීයක් භික්ෂූන් සමඟ හෙට දිනයේ දන් සඳහා ආරාධනා කරයි. එහි වැඩමවා භික්ෂාව ගනුමැනවයි කීවේය. මින් පෙර දිනයේ මම ඔහුගේ හිතවතුනට මෙබඳු දෙයක් කෙළෙමි. මා කළ දේට මෙය පළිගැනීමක්දැයි නොදනිමි. ඔබවහන්සේට පිරිසිදු සිතින් දෙන දානයක්ද කියාත් නොදනිමි. කල්පනා කර බලා යුතුනම් පිළිගනු මැනවි. එසේ නොවේනම් භාරනොගනු මැනවයි කියා සිටියේය.
ඔහු අපට කුමක්කරනු කැමතිවේදැයි ආවර්ජනාකොට බැලූ ශාස්තෘන්වහන්සේ, ගෙවල් දෙකක් මැද මහත්වළක් කණවා කිහිරිදර අසූවක් පමණ ගෙන්වා වළ පුරවා ගිනි දල්වා ඒගිනි අඟුරුවලට දමා නිග්‍රහ කරනු කැමතිබව දුටුසේක. නැවත එහි යෑමෙන් වැඩක් ඇද්ද නැද්දැයි ආවර්ජනාකොට බලන කල, මම අඟුරුවළට පාදිගුකරමි. එවිට එය වසාතිබූ කළාලය අතුරුදහන්වෙයි. ගිනිඅඟුරු පලාගෙන රථරෝදයක් පමණ මහපියුමක් උඩට නැගී එයි. ඉන්පසු ඒ පියුම්කෙමිය පාගාගෙන ගොස් ආසනයෙහි හිඳගනිමි. පන්සීයක් භික්ෂූහුද ඒ අයුරින්ම ගොස් හිඳගනිති. එවිට මහාජනයා එහි රැස්වෙති. මම ඒ සමාගමයෙහි ගාථා දෙකකින් අනුමෝදනාව කරන්නෙමි. ඒ අනුමෝදනා අවසානයේ අසූහාරදහසක් දෙනාට ධර්මාවබෝධය වන්නේය. සිරිගුත්ත ගරහදින්න දෙදෙනා සෝවාන් වන්නාහුය. තමන්ගේ ධනරාශිය ශාසනයෙහි විසුරුවන්නාහුය. මේ කුලපුත්‍රයා නිසාම යායුතුයයි භික්ෂාදානය ඉවසූහ.
සිරිගුත්ත ගොස් බුදුන් ආරාධනය පිළිගත් බව ගරහදින්නට දන්වා තුන්ලෝ ගුරුන්ට සත්කාර කරවයි ගියේය. ගරහදින්න තෙමේ දැන් ඉතින් කළයුත්ත දන්නෙමියි ගෙවල් දෙක අතර මහත්වළක් කණවා ගැල්හැටක් පමණ කිහිරිදර ගෙන්වා වළ පුරවා ගිනි දල්වා පසුම්බි (හුළං ගහන මයිනහම) යොදා මුළු රාත්‍රියම ගිනිපිට කිහිරිඅඟුරු රාශියක්කොට වළට උඩින් ලීපුවරු තබා කළාලවලින් වසා ගොමගා එක්පැත්තකින් දුබලදඬු අතුරා යන ගමන්මග කරවීය. මෙසේ පාගන පාගන වේලාවෙහි දඬු බිඳී පෙරළී අඟුරුවළෙහි වැටෙන්නාහුයයි සිතමින් ගෙයි පිටිපස සිරිගුත්ත තැබූ අයුරින්ම ආහාරසැළි තැබ්බවීය. ආසනද එසේම පැනවීය. සිරිගුත්ත උදෑසනම ඔහුගේ ගෙට ගොස් යහළුව සත්කාර සූදානම් කෙලේදැයි ඇසීය, මිත්‍රය එසේය.
ඒ කොහේදැයි ඇසීය. යහළුව එන්නැයි සියල්ල සිරිගුත්ත පෙන්වූ අයුරින්ම පෙන්වීය. සිරිගුත්ත යහළුව ඉතා මැනවියි කීය. මහාජනයා රැස්විය. මිසදිටුවෙකුගේ ආරාධනයක් නිසා මසහත් ජනසන්නිපාතයක් විය. මිසදිටුවොත් ශ්‍රමණ ගෞතමයන්ගේ විප්‍රකාරය බලමුයි රැස්වූහ. සම්දිටුවෝත් අද බුදුහු අගනා ධර්මයක් දෙසති, බුද්ධවිෂය බුද්ධලීලා බලාගනිමුයි රැස්වෙති.
දෙවෙනි දින බුදුහු පන්සීයක් භික්ෂූන් සමග ගරහදින්නගේ ගෙදොරට වැඩියහ. හෙතෙම ගෙයින් එලියට අවුත් පසඟ පිහිටුවා වැඳ ඉදිරියෙහි ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, ඔබවහන්සේලා වනාහි අතීතාදි සියලු කාලභේද දන්නාහුය. සත්ත්වයන්ගේ සොළොස් ආකාර සිත් පිරිසිඳ දන්නාහුය. ඔබවහන්සේලාගේ උපස්ථායකයා මට කීවේ එහෙමයි. ඉදින් නොදන්නාහු නම් මගේ ගෙට ඇතුල් නොවන්න. ගෙට පිවිසෙන ඔබවහන්සේලාට මෙහි කැඳ නැත. බත් ආදි කිසිවකුදු නැත. ඔබ සියලු දෙනා ගිනිඅඟුරෙහි හෙළා නිග්‍රහ කරන්නෙමි.
මෙසේ සිතා බුදුන්ගේ පාත්‍රය ගෙන භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවි, අපේ ගෙදොරට ආ අය වත් දැන ඇතුළුවිය යුතුයයි කීය. ඇවැත්නි, අප කුමක් කළයුතුද? එකඑක්කෙනා පිවිසී ඉදිරියට ගොස් ඔහු අසුනෙහි හිඳි කල්හි ඉන්පසු අනිත් අයෙක් යා යුත්තාහ. පෙරටුව එන්නා අඟුරුවළේ වැටෙනු දකින විට අනිත් අය නොඑන්නාහුය. එක එක්කෙනා ගිනි අඟුරුවළට දමා නිග්‍රහ කරන්නෙමියි සිතා මෙසේ කරන ලදි.්‍්
ශාස්තෘන්වහන්සේ යහපතැයි කියා තනිවම වැඩිසේක. ගරහදින්න, අඟුරුවළතෙක් පැමිණ එයින් පැත්තකට වී ස්වාමීනි වඩිනු මැනවයි කීය. බුදුරජාණන්වහන්සේ අඟුරුවළට පා දික් කළ සේක. කළාල අතුරුදහන් විය. අඟුරුවළ බිඳගෙන රිය සකක් (කරත්ත රෝදයක්) පමණ නෙළුම්මල් උඩට ආවේය. ශාස්තෘන්වහන්සේ පියුම්කෙමි පාගමින් ගොස් පැනවූ බුද්ධාසනයෙහි වැඩ සිටිසේක. භික්ෂූහුද එසේම ගොස් වැඩ සිටියහ. ගරහදින්නගේ ඇඟ දැවෙන්නාක් මෙන් විය. හෙතෙම සිරිගුත්ත ළඟට ගොස් ස්වාමීනි මා නොනසා රැකගන්නැයි ඉල්ලීය. ඒ කුමක් නිසාද? පන්සීයක් භික්ෂූන්ට මේ ගෙහි කැඳ හෝ බත් හෝ නොමැති. දැන් කුමක් කරන්නෙම්ද? ඔබ මෙහි කෙළේ කුමක්ද?
මම ගෙවල් දෙක අතර මහත් අඟුරුආවාටයක් කොට අඟුරු පිරවීමි. එහි හෙලා නිග්‍රහ කරන්නෙමියි සිතාගෙනය. දැන් ඒ අඟුරුවළ බිඳගෙන මහ නෙළුම්මල් නැගී ඇත. සියලුදෙනා ඒ පියුම්කෙමි උඩ පා තබා ගොස් පැනවූ අසුන්වල වැඩහුන්නාහ. දැන් මා කුමක් කරන්ටද? ඔබ දැන් මට මෙතෙක් සැළිය මෙතෙක් කැඳය, මෙතෙක් බත්ය ආදි වශයෙන් පෙන්වූයේ නොවේද? ස්වාමීනි, ඒ බොරුය, සැළි සියල්ල හිස්ය. එසේ වේවා ගොස් ඒ හැළිවල කැඳ ආදිය බලවයි සිරිගුත්ත කීවේය.
එකෙණෙහිම ගරහදින්න විසින් යම් සැළියක කැඳයයි කියන ලද නම් එය කැඳවලින් පිරුණේය. යම් හැළිවල බත්යයි කියන ලද නම් ඒ හැළි බතින් පිරුණේය. මේ සම්පත දුටු ගරහදින්නගේ සිරුර ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී ගියේය. සිත පැහැදිණි. හෙතෙම මනාකොට බුදුන්ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා බත්කිස අවසානයේ අනුමෝදනා අසනු පිණිස බුදුන්ගේ පාත්‍රය ගත්තේය. බුදුරජාණන්වහන්සේ අනුමෝදනා කරමින්. මේ මිනිස්සු නුවණැස් නැති හෙයින් මගේත් ශ්‍රාවකයන්ගේත් ගුණ නොදනිති. නුවණැස් නැත්තෝ අන්ධයෝය. නුවණැස ඇති අය නියම ලෙස ඇත්තෝ වෙතියි මේ ගාථා වදාළහ:
කසළ එක්රැසක්කොට දැමූ මහා වළකින්
මනරම් සුවඳ විහිදෙන පියුමක් පිපෙන්නා සේ
මෙසේ කසළ වන් අනුවණ පුහුදුනන් මැද
සම්බුදු සසුන සව්වෝ නුවණින් උස්තැනට යෙති
එහි සංකාරධානස්මිං යනු කසළ ඇති ස්ථානයයි. කසළරාශිය යන අර්ථයි. උජ්ඣිතස්මිං මහාපථෙ යනු මහාමාර්ගයෙහි දමන ලද යන අර්ථයි. සුචිගන්ධං යනු ඉතා මනා සුවඳ යනුයි. මනොරමං යනු සිත මෙහි අලවා යන අර්ථයෙනි. සංකාර භූතෙසු යනු කසළමෙන්වූ යන අර්ථයි. පුථුජ්ජනෙ යනු බොහෝවූ කෙලෙස් ඉපදවීම නිසා ලැබුණු නමෙන් යුතුව ලෝකයෙහි වසන මහාජනයායි. ඒ සඳහා කියනලදි. යම් ලෙසකින් මහාමාර්ගයෙහි දමනලද කසළගොඩක, අශුචි ආදි ජුගුප්සාජනකවුවද මිහිරි සුවඳැති පියුමක් හැදෙයිද, එය රාජරාජ මහ ඇමතියන්ට මනරම් ප්‍රියමනාප වූ උසස් අය අතරද පිළිගැනීමක් වන්නේද, එසේම කෙලෙස් කසටින් ගහනවූ පුහුදුන් කෙරෙහි උපන් නුවණ නැති මහාජනයාගේ ප්‍රඥාචක්ෂුවෙන් තොරවූ අය අතර උපන්නේ නමුත්, තමන්ගේ ප්‍රඥා බලයෙන් කාමයන්හි ආදීනවද, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසද දැක නික්මී පැවිදිවූයේ පැවිදිවීම් මාත්‍රයෙනුත් එයින් එහාට ඇති සීල සමාධි ප්‍රඥා විමුක්තිඥා දර්ශනයක් ලබාගෙන අතිශයින්ම ප්‍රීති වන්නේය. සම්මාසම්බුද්ධසාවකො යනු ක්ෂීණාශ්‍රව රහත් භික්ෂූන්වහන්සේය. නුවණැසින් අන්ධ වූ පුහුදුන් හා ඉක්මවා ගොස් බබළයි. ශෝභමාන වෙයි යන අර්ථයි.
දේශනාවසානයෙහි අසූහාර දහසක්ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. ගරහදින්න සිරිගුත්ත දෙදෙනා සෝවාන්ඵලයට පැමිණියාහුය. ඒ දෙදෙනා තමන්සතු ධනය බුද්ධ ශාසනයෙහි දියුණුව සඳහා වියදම් කළහ. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට විහාරයට වැඩමවූසේක. සවස් භාගයෙහි ධර්මසභාවට රැස්වූ භික්ෂූහු, අහෝ බුද්ධ ගුණ නම් පුදුමයි, ඒසා කිහිරිඅඟුරු රාශිය බිඳගෙන පියුම් නැගී සිටියේය, යනුවෙන් කථාවක් ඉපදවූහ.
බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි අසා මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, දැන් බුද්ධත්වයට පැමිණී සිටින මට මෙකල, අඟුරු රාශියකින් පියුම් පැන නැගීම පුදුමයක් නොවෙයි. ප්‍රදේශඥානයක් ලබාසිටි බෝසත්වරයෙකුව සිටියදීත් මාවෙනුවෙන් පියුම් පැන නැංගේයයි වදාරා, ස්වාමීනි, ඒ කවරදාදැයි වදාරන්නැයි ඉල්ලා සිටිකල අතීතය ගෙනහැර පා වදාළහ:
නොවරදවාම හිස් යටට හා පා උඩට ගෙන
පනින්නෙමි ගින්නට නුසුදුසු දෙයක් නොකරමි
එසේ හැසිරෙන මම පිණ්ඩපාතය ගන්නෙමි
යනුවෙන් ඛදිරංගාරජාතකය සවිස්තරව දේශනා කළහ.
පුෂ්පවර්ග වර්ණනාව නිමි
සතරවන වර්ගයයි.