4-1 පළමුවන පෘථුවි කථාවෙහි නියුතු පන්සීයක් භික්ෂූන්ගේ වස්තුවයි.

කො ඉමං පඨවිං විචෙස්සති

යමලොකඤ්ච ඉමං සදෙවකං.

කො ධම්මපදං සුදෙසිතං

කුසලො පුප්ඵමිව පචෙස්සති

කවරෙක් ආත්මභාවය සංඛ්‍යාත මේ පෘථිවිය ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? දෙව්ලොව සහිත මේ මිනිස්ලොවත් සිවු අපායත් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ගන්නේ ද? කවරෙක් දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නා සේ සත්තිස් බෝපැකි දහම් ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ද?

සෙඛො පඨවිං විචෙස්සති

යමලොකඤ්ච ඉමං සදෙවකං

සෙඛො ධම්මපදං සුදෙසිතං

කුසලො පුප්ඵමිව පචෙස්සති.

සත්වැදෑරුම් ශෛක්‍ෂ තෙම මේ පෘථිවිය (මේ අත්බව) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. දෙව්ලොව සහිත මේ මිනිස්ලොව හා අපායලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය. ශෛක්‍ෂ තෙම දක්‍ෂ මල්කරුවකු මල් නෙලන්නාක් මෙන් සත්තිස් බොපැකිදහම් පසක් කරන්නේ ය.

කො ඉමං පඨවිං විජෙස්සති යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කාලයෙහි පොළොව පිළිබඳ කථාවෙහි නියැළී සිටි පන්සීයක් භික්ෂූන් අරභයා දේශනා කළසේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ සමග ජනපද චාරිකාවේ හැසිර දෙව්රමට අවුත් සවස්වේලෙහි උපස්ථාන ශාලාවෙහි එකතුව තමන් ගියගිය තැන්වල, තොරතුරු එනම් අසවල් ගමේ සිට අසවල්ගමට යන පාර සමවිසමයි. මඩ බහුලයි. කැටගල් බහුලයි. කළුමැටි සහිතයි. මැටි තඹපාටයි ආදි වශයෙන් පඨවීකථා කළාහුය.

බුදුරදහු පැමිණ මහණෙනි, කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විචාරා ස්වාමීනි අපි ඇවිද්ද තැන්වල පොළොව ගැන කථා කෙළෙමුයි කීකල මහණෙනි, මේ බාහිර පොළොවයි. තොප විසින් ආධ්‍යාත්මික පොළොව පිළිබඳ ප්‍ර‍තිකර්මකිරීම වටනේයයි වදාරා මේ ගාථා දෙකද දෙසූසේක:

අත්බැව් නමැති මෙපොළොව කවුරුද දන්නේ

යමලොව සදෙව්ලොව ගැන කවුරුද දන්නේ

මල් කරුවෙකු ලෙසින් හොඳමල් තෝරන්නේ

කවුරුද සතිස් බෝපැකි දම්පද දන්නේ

හික්මීමෙන් කෙළවරවුණු උතුමයි මෙපොළොව දන්නේ

යමලොව සහ සදෙව්ලොවත් ඒ උතුමාමයි දන්නේ

දස්කම් ඇති මල්කරුමෙන් හොඳ මල්ටික තෝරන්නේ

සේඛ නමැති උතුමයි සඳහම්පද නිසිලෙස දන්නේ

එහි කොඉමං යනු මේ ආත්මභාව නමැති පොළොව කවරෙක් දනිතිද? විජෙස්සති යනු තමන්ගේ ඥානයෙන් විශේෂයෙන් දනී, ප්‍ර‍තිවේධ කරයි. සාක්ෂාත් කරයි යනු අර්ථයි. යමලොකඤ්ච යනු සතරාකාර අපාය ලෝකයයි. ඉමං සදෙවකං යනු දෙව්ලෝ සහිතමේ මිනිස්ලොව ගැන කවුරු නම් දනිත්ද? දිනත්ද, විශේෂයෙන් දැන ගනිත්ද, ප්‍ර‍තිවේධ කෙරෙත්ද, සාක්ෂාත් කෙරෙත්දැයි විචාරයි. ධම්මපදං සුදෙසිතං යථාස්වභාවයෙන් කියනලද හෙයින් සත්තිස් බෝධිපාක්ෂිකධර්ම සංඛ්‍යාත ධම්මපදය දක්ෂ මල්කරු පුප්ඵං මල් රැස්කරන්නාක්මෙන් කො පචෙස්සති රැස්කරයි, විශේෂයෙන් දැනගනියි, පරීක්ෂා කෙරෙයි, ප්‍ර‍තිවේධ කෙරෙයි. (අවබෝධ) සාක්ෂාත් කෙරෙයි යනු අර්ථයි. සෙඛො යනු අධිශීල, අධිචිත්ත අධිපඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගෙන් හික්මුණේ සෝවාන් මාර්ගස්ථයා (මගට පැමිණි) ආදිකොට ඇති අර්හත්මාර්ගයෙන් දැන එසේම ඡන්දරාගය කඩා දමන්නේ, විජෙස්සති යනු විශේෂයෙන් දිනයි. විශේෂයෙන් දැනගනී. ප්‍ර‍තිවේධ කරයි. සාක්ෂාත් කරයි. යමලොකං ච යනු ඒ කියනලද ආකාර ඇති යමලෝකයද ඉමං මිනිස්ලොව හා දේවලෝකයෙහි සදෙවකං තමන්ම විශේෂයෙන් දැනගනී, ප්‍ර‍තිවේධ කරයි. සාක්ෂාත් කරයි යන අර්ථයි.

සෙඛො යනු තමන්ම සප්තවිධවූ ශෛක්ෂ්‍යයන් මේ ආත්මභාවපොළොව යම්සේ කුසලො දක්ෂ මාලාකාරතෙම මල්උයනකට පිවිසී මුහුකළ කැකුළුද, පණුවිදිමල්ද, මැලවීගියමල්ද, කොරඩෑවුණුමල්ද හැරදමා ශෝභනවූ යහපත් ලෙස පිපීගිය මල්ම එකතු කෙරෙයිද, එසේම මොවුන් විසින් කියනලද අතිශයින්ම සම්පූර්ණවූ බෝධිපාක්ෂික ධර්මයන්ද ප්‍ර‍ඥාවෙන් පචෙස්සති රැස්කරයි. පරීක්ෂාකරයි. ප්‍ර‍තිවේධ කරයි. සාක්ෂාත් කරයි යනුවෙන් ශාස්තෘන්වහන්සේ තමන්ම ප්‍ර‍ශ්න විසඳාලූසේක.

දේශනාවසානයෙහි පන්සීයක් භික්ෂූහු පටිසම්භිදා සහිතව රහත්බවට පැමිණියහ. ධර්මදේශනාව සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.