සචෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තෙනත්තමනො සතීමා.
ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ වී නම්, සියලු උපද්‍රව තාක් මැඩ, ඔහු හා සතුටු සිතැති වැ සිහි නුවණින් යෙදී වසන්නේ ය.
නො චෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය
එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙ’ව නාගො.
ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණමිත්‍රයකු ඉදින් නො ලද්දේ වී නම්, දිනන ලද (අතට පත්) රට හැර පියා එකලා වැ වනයට වැද තවුස් පැවිද්ද ගත් මහාජනක රජු මෙන් ද, (ඇත්මුළ හැර පියා) රක්‍ෂිත වනයෙහි (හුදෙකලාවැ වසන) මාතඞ්ග ඇතු මෙන් ද, ගණයා හැර එකලා වැ වසන්නේය.
එකස්ස චරිතං සෙය්‍යො
නත්‍ථි බාලෙ සහායතා
එකො චරෙ න ච පාපානි කයිරා
අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගො.
එකලාහුගේ වාසය උතුමි. (දෙලෝ වැඩ නොදක්නා) අනුවණයා කෙරෙහි (ශීල ධූතාංග විදර්‍ශනා මාර්‍ගඵල ත්‍රිවිද්‍යා අභිඥා නිර්‍වාණ යන මේ) සහාය බව නැත. (ඔහු නිසා එය ලැබිය නො හැක්ක.) එ හෙයින් ගණයා හැර එකලා වැ වසන්නේ ය. මඳ වූ ද පව් නො ම කරන්නේ ය. ගණයා හැර වෙනෙහි වසන මාතඞ්ග (පාරිලෙය්‍යක) ඇතු මෙන් (ගණ පරිහරණයෙහි) නිරුත්සාහ වැ වසන්නේ ය.
"සචෙ ලභෙථාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ පාරිලෙය්‍යක ඇතාගෙන් උවැටන් ලබමින් ආරක්ෂිත වනයෙහි වැඩ සිටියදී බොහෝ භික්ෂූන් නිමිති කරගෙන දේශනා.
කථා පුවත, යමක වර්ගයේ "පරෙචන විජානන්ති යන ගාථාවර්ණනාවේ සඳහන් වන පරිදිය.
බුදුරජාණන් වහන්සේ ඇත් රජුගෙන් උවටැන් ලබා වසන ආකාරය මුළු දඹදිවම ප්‍රකට විය. සැවැත් නුවරින් අන්නේපිඩු විසාඛා මහා උපාසිකාව මේ ආදී මහ කුලයන් විසින් ආනන්ද තෙරුන්ට පණිවිඩයක් යැවුහ. ස්වාමීනි තථාගතයන් වහන්සේ අපට මුණගස්වන්න යනු වෙනි. දිසාවාසී පන්සියයක් භික්ෂූන් වස්වසා, ආනන්ද තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් ආනන්ද අපි බොහෝකාලයකින් බුදුන්ගෙන් බණ නොඇසුවෙමු. අපට ධර්මයක් අසන්න සලසා දෙන්නැයි ඉල්ලා සිටියහ. තෙරුන් වහන්සේ එම තෙරවරු ගෙන තුන්මසක් ඒකවිහාරීවු බුදුන් වෙත යාම සුදුසු නොවේ. යයි සිතා තනියම ආනන්ද තෙරුන් වැඩියහ. පාරිලෙය්‍ය ඇතා ඒ දැක දණ්ඩක් ගෙන පැන්නේය. එය තථාගතයන් දැක පාරිලෙය්‍ය අයින් වෙන්න ඉවත්වෙන්න එන්න. මේ බුද්ධ උපස්ථායකයයි පැවසුහ.
හෙතෙම එකෙණෙහිම ලීදණ්ඩ විසිකොට ඉවතලා පා සිවුරු ගැනීමට ඉල්වීය. ස්ථවිරයෝ නුදු. ඇතා ද වත පිළිවෙත මැනවින් දැන ගත්තෙක් වන්නේය. ශාස්තෲන් වහන්සේ වැඩ සිටින ගල් තළාවේ තමන්ගේ පිරිකර නොතබන්නේ යයි සිතීය. ස්ථවිර තෙමේ පා සිවුරු බිම තැබීය. වත් සිරිත් දන්නා අය ගරු අසුන්හි හෝ ඇදෙහි හෝ තමන්ගේ පිරිකර නොතබති. තෙරණුවෝ ශාස්තෲන් වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ හුදෙකලාව තනිවම ආවේදැයි විචාළහ. භික්ෂූන් පන්සියයක් සමග ආවෙමි යයි කියා, දැන් ඒ අය කොහිදැයි විමසා, ඔබ වහන්සේ ගේ අදහස් නොදන්නා බැවින් පිටත නතර කර ආවෙමියි කීහ. ඒ පිරිස කැඳවාගෙන එන්නැයි කී විට ඔහු කැඳවුහ. ශාස්තෲන් වහන්සේ ඔවුන් සමඟ පිළිසදර කථාකොට ඒ මහණුන්, වහන්ස බුද්ධ සුකුමාල වු ද ක්ෂත්‍රිය සුඛුමාල වූ - ඔබ වහන්සේ විසින්, තෙමසක් එකම තැන සිටිමින්, නිදියමින් දුෂ්කර කාර්යයක්ම කරන ලද්දේ යයි කීහ. වත් පිළිවෙත් කරන්නෙක් ද නො සිටි බව හඟිමියි කී කල්හි, මහණෙනි පාරිලෙය්‍ය ඇතු ඒ සියළු කාර්යයන් කළේ යයි, ද මෙවැනි සහයක් ලබන්නෙකු සමග සිටීම, වසන්නට ලැබීම යහපත්ය. සුදුසුය එසේ නොලබන්නේ නම ඒකචාරීව තනිව හැසිරීම ශ්‍රේෂ්ටයයි පවසා මේ ගාථා වදාළහ.
නුවණ සහ වීරිය - ඇති කලණ මිතුරෙකු හා
විසුම යහපත් වේ - සියලු උවඳුරු මැඩගෙන
ගුණ නුවණ ඇතියෙක් - නොලදොත් තමන් ඇසුරට
මහ ජනක රජුමෙන් - හුදෙකලාවම විසිය යුතුවේ.
නැණමද බාලයන් - සමග විසුමට වැඩියෙන්
පව් සිරිත් දුරලා - තනිව විසුමම අග හැමවිට.
මනා පැවතුම් ඇති - නුවණ ඇති සමග හැසිරෙන අයෙක් ලදොත් සියලු විපත් මග හැර තුටු සිතින් ඔහු හා විසිය යුතු
මනා පැවතුම් ඇති යහළුවෙකු නොලදොත්, මහා ජනක රජු මෙන්ද පාරිලෙය්‍යක ඇතා මෙන් ද තනිව විසිය යුතු
හුදෙකලා වාසය උතුම්ය. අනුවණය හා සහාය බවක් නැත. ඔහු ඇසුරෙන් යහපතක් සිදු නොවන බැවිනි. එනිසා පිරිස් පරිහරණයෙහි උත්සාහ නැතිව වනයෙහි තනිව වසන පාරිලෙය්‍යක ඇතා මෙන් තනිව විසිය යුතුය.
එහි නිපකං අර්ථ අනරිය දන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වූ, සාධු විහාරි ධීරං - කල්‍යාණ වූ පැවතුම් ඇති, ධෛර්යමත් වූ, ප්‍රාඥ වූ, පරිස්සයානී එබඳු වූ මෛත්‍රී විහාර සහිත වුවකුන්ගේ සහාය ලබන්නේ නම් සිංහ ව්‍යාඝ්‍ර ආදීන්ගෙන් වන සියලු උවදුරු මැඩ රාග භය වේශ භය ආදී උවදුරු ද නසා, සියලු උවදුරුවලින් දුරු වී, සියලු උවදුරු මැඩ පවත්වා එළඹ සිටි සිහියෙන් යුක්තව හැසිරෙන්නේය. කල්ගත කරන්නේය යන අර්ථයි. රාජාව රට්ඨන්ති රට හැර ගිය මහා ජනක රජු මෙන් දිනාගත් හෝ අතටපත් හෝ මහරටක් අත්හළ රජු. මේ රාජ්‍යය නම් මහත්සේ ප්‍රමාදයට කරුණුය. මේ රාජ්‍යයෙන් මට කවර වැඩක්ද, යනුවෙන් සිතා යටත් රට හැර හුදෙකලාවම මහා අරණ්‍යයට පිවිස, තවුස් පැවිද්දෙන් පැවිදිව, සිව් ඉරියව්හි හුදෙකලාව හැසිරෙයි. මෙසේ තනිව හැසිරිම දැක්වීම සඳහා මෙය කියන ලදී. මාතඞ්ග රඤ්ඤොව නාගො මම වනාහි ඇතුන් ඇතින්නියන් ඇත් නාම්බන්, ඇත් පැටවුන් විසින් කා ඉතිරිකරන ලද, මේරු කොල කම් ඔවුන් විසින් කඩා දමා ඉතිරිකරන ලද අතු හා අතුවල මේරු කොලකමි ඇත් රැළ දියට බැස නා ගියායින් පසු, ඔවුන් විසින් බොර කරන ලද දිය මට බොන්න ලැබේ. බොර වතුර නාන්නට ලැබේ. මා ජලයට බසින විට ජලයෙන් ගොඩ එන ඇතින්නියෝ මගේ ඇගේ හැපෙති. මම මේ අලිරැළෙන් වෙන් වී වාසය කරන්නේ නම් ඉතා යෙහෙකි. මෙසේ සිතා, මාතඞ්ග යයි නම් ලද, මේ වනයේ වෙසෙන ඇති පිරිස අත්හැර, සියලු ඉරියහි තනිව හැසිරෙයි. යන අර්ථයි. එකස්සා පැවිද්දාගේ පැවිදි වූ තැන් පටන්, තනිව හැසිරීමේ කැමැත්ත, තනිව හැසිරීමේ ඇල්ම තනිව හැසිරීම,
චරිතං සෙය්‍යා නත්ථිබාලෙ සභායත චූළසීල, මධ්‍යම සීල, දස කථා වස්තු කෙලෙස් ධුතාංග විදර්ශනා නුවණ සතර මග, සතර ඵල, ත්‍රිවිද්‍යාෂට් අභිඥා, අමාමහ නිවන, මේවා සහාය වීම යනුයි. යම් කිසි බාලයකු නිසා ඒ ධර්මයන්ට පැමිණීමට නොහැක්කෙක්ද එවැනි බාලයන් සමග සහ වාසය අත්හළ යුතුය. එකො මේ කාරණයෙන් සියලු ඉරියව්හි අප්‍රමාද නොවි හුදෙකලාව හැසිරෙන්න. නචපාපානි පව්කම් නොකළ යුතුය. අප්පොස්සුකෙකා ආශාව ආලය දුරුකළ යුතුය. අරඤ්ඤොමාතඬග නාගො මේ අරණෙහි කැමති කැමති තැනක සුවසේ හැසිරෙයි. මෙසේ තනිව හැසිරෙන්නේ ස්වල්ප වූ පාපයක් නො කරයි. යන අර්ථයි. එහෙයින් තොපගේ සුදුසු සහාය නොලත් බැවින් ඒකචාරීව විසීම කළ යුතු වන්නේය. යන මෙම අර්ථය දක්වමින් ශාස්තෲන් වහන්සේ එම භික්ෂූන්ට ධර්ම දේශනා කළ සේක.
දේශනාවසානයේ පන්සියයක් භික්ෂුහු රහත් බවෙහි පිහිවුහ.