එකාසනං එකසෙය්‍යං එකො චරමතන්‍දිතො
එකො දමයමත්තානං වනන්තෙ රමිතො සියා.
(ගණසඞ්ගණිකායේන් ද ක්ලේශ සඞ්ගණිකායෙන් තොර වැ) හුදෙකලා ඉඳීම සෙව්නේ ය. (මාහැඟි යහන්හි නුමුදු සිහි එළවා මූලකර්‍ම ස්ථානයෙන් යෙදී හෝනා) ඒකශය්‍යාව සෙව්නේ ය. (පිඬු සිඟා ජීවත් වන බැවින්) අකුසීත වැ (සිවු ඉරියවුහි ම) හුදෙකලා ව පවතිමින් හුදෙකලා වැ තමා දමනය කරණ මහණ තෙම ගැඹුරු වෙනෙහි ම ඇලුනෙක් වන්නේ ය. (හුදෙකලා වැ වැස මිස ආකීර්‍ණවිහාරී වැ තමා දමනය කරන්නට නො පිළිවන් බැවිනි.)
"එකාසන්නති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ඒක විහාරික තෙරුන් නම් තෙරනමක් නිමිති කරගෙන දේශනාකළහ.
එම තෙරුන් වහන්සේ වනාහි එකලාව සයනය කරති. එකලාව තනියම වාඩිවෙති. එකලාව සක්මන් කරති. තනියම සිටිතියි. සිවුපිරිස අතර ප්‍රසිද්ධවිය. අනතුරුව ඉක්බිති භික්ෂූන් වහන්සේලා මෙබඳු ස්වරූප ඇති තෙරනමක් සිටීයයි බුදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ සාධු - සාධ - යයි සාධුකාර දී භික්ෂූන් නම් විවේකී විසිය යුතුය. විවේකයෙන් සිටියයුතුයයි විවේකයේ අනුසස් කියා මේ ගාථාව පැවසුහ.
පිරිස් මැද වූවද
කරදර කෙත්තෙක් ආවද
තමන් තනිවම හිද
තම කමටහන වැඩුමද
එකලාව හැසිරෙමින්
තමන් දමනය තමා කරතොත්
ඒ මහණහු ලොවේ
උතුම් මහණෙක් වේමැයි.
ආත්ම දමනය කරන තැනැත්තා තනිව හිදීම, තනිව ගෙවීම, තනිව හැසිරීම, කරන්නේය. නො මැළි වුයේ තනිවම හැසිරෙන්නේය. දුර වනයේම ඇලුණක් වන්නේය.
එහි එකාසනං එකසෙය්‍ය භික්ෂූන් වහන්සේලා දහසක් මැද වුවද මුල කර්මස්ථාන අත්නොහැර එම මනසිකාරයෙන්ම සිටින තැනැත්තා ඒකාසන නම් වේ. ලෝහ ප්‍රාසාදය සමාන වු ප්‍රාසාදයක භික්ෂූන් දහසක් මැද පනවන ලද විසිතුරු ඇතිරිලිවලින් යුත් මාහැගි සයනයේ වුවද - සිහිය පිහිටුවාගෙන දකුණු ඇලයෙන් මූල කර්මස්ථාන සිහිකරමින් නිදන භික්‍ෂවට එක සෙය්‍යවම මෙබඳු ඒකාසනයම ඒක සෙය්‍යවම භජනය කරයි යනු අර්ථයි. අතන්දිතො දණහිස් වල බලය නිසා දිවි ගෙවීමට කුසීන නොවී සිව් ඉරියව්හී හුදෙකලාවම හැසිරේයන අරථයි. එකොදමයන්ති - රාත්‍රි ස්ථාන ආදියේ කමටහන්වල යෙදී මාර්ග ඵල ආදී වශයෙන් එකලාව ආත්මය දමනය කරමි යන අර්ථයි. වනනෙන රමිතො සියා - මෙසේ තමන් දමනය කරන්නේ ස්ත්‍රී පුරුෂ ආදීන්ගෙන් වෙන්වු විවේකී වු වනයෙහි ඇලුනේ වෙයි. බොහෝ අය වාසය කරන ජනාකීර්ණ වු විහාරයක ආත්ම දමනය කිරීම අපහසුය යන අර්ථයි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ. එවක් පටන් උන්වහන්සේ ඒකවිහාරියයි ප්‍රසිද්ධවිය.
ප්‍රකීර්ණක වර්ග වර්ණනය නිමාවිය.
විසිඑක් වැනි වර්ගයයි.