වාචානුරක්ඛී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ග ඉසිප්පවෙදිතං.
යමෙක් (චතුර්විධ වාග්දුශ්චරිත දුරැ ලීමෙන්) වචස රක්නා සුලු වේ ද, ත්‍රිවිධ මනෝදුශ්චරිත දුරැ ලීමෙන් මනසින් මොනවට හැවුරුනේ වේ ද, කයිනුත් (ත්‍රිවිධ කායදුශ්චරිත සංඛ්‍යාත) අකුසල් නො කරන්නේ ද, (කායදුශ්චරිතාදි) මේ තුන් කර්‍මපථ පිරිසිදු කරන්නේ ද; ඒ (පුද්ගල තෙම බුද්ධාදි) ඍෂින් විසින් පිළිවිදුනා ලද ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධ කරන්නේය (ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙන්නේ ය.)
"වාචානු රක්ඛී” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩසිටියදී සුකර ප්‍රේතයකු නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් මහ මුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමග ගිජුකුළු පර්වතයෙන් බසිමින් එක් පෙදෙසක දී සිනා පහළ කළහ. මෙහිදී ලක්ඛණ තෙරුන් ඇයි ඇවැත්නි කුමක් නිසා සිනා පහළ කළේ ද යනුවෙන් මුගලන් තෙරුන්ගෙන් විමසුහ. දැන් එයට පිළිතුරු දීමට කාලය නොවේ. මෙය බුදුන් හමුවේදී මගෙන් විමසන්නැයි පැවසීය. මෙලෙස පිළිතුරු දී රජගහ නුවර පිණ්ඩපාතයේ ගොස් පසුව වේළුවනයට පැමිණ බුදුන් වැඳ සිටියාහුය. එහි දී ලක්ඛණ තෙරුන් ඒ කරුණ විමසුහ. මුගලන් තෙරුන් මෙසේ පැවසුහ. ඇවැත්නි මම එක් ප්‍රේතයෙක් දුටුවෙමි. ඔහුගේ සිරුර ගව් තුනක් පමණය. එය මිනිස් සිරුරකට සමානය. හිස ඌරෙකුගේ වැනිය. ඔහුගේ කටේ නගුටක් තිබුනි. එයින් පණුවන් ගිලිහුනි. මම මෙබඳු අයෙකු මින් පෙර නොදුටුවෙමි. ඔහු දැක සිනා පහළ කළෙමි. බුදුහු මහණෙනි මගේ ශ්‍රාවකයින් අතර ඇස් ඇති අය සිටිතියි පවසා මම ද මොහු බෝධි මණ්ඩලයේදී දුටුවෙමි. යම් කෙනෙක් මාව නොපිළිගනියයි එය ඔවුන්ගේ අහිත පිණිස පවතී යයි, අන් අය කෙරෙහි අනුකම්පාවෙන් නොකීවෙමි, දැන් මේ මුගලන් සාක්ෂි ලැබ කියමි. මහණෙනි. මුගලන් සත්‍යයක්ම පැවසුවේය එය අසා භික්ෂුහු බුදුන්ගෙන් විමසුහ. ස්වාමිනි ! ඔහුගේ පුවකමය කුමක්ද? මහණෙනි ! අසාගන්නැයි ඔහුගේ අතීත පූර්ව කර්මය පැවසුහ.
කාශ්‍යප බුද්ධ කාලයේ එක් ගමක ආවාසයක තෙරවරු දෙනමක් සමගිව වාසය කළහ. ඔවුන් අතරින් එකතෙරනමක් වයස හැටකි. එක් නමක් පනස්නවයකි. පනස් නවයක් වයස්වූ තෙරුන් අනෙක් නමගේ පාසිවුරු ගෙන හැසිරුණේය. සාමණේර නමක් ලෙසට සියළු වතාවත් කළේය. ඔවුන් එක මවු කුසකින් උපන් සහෝදරයන් ලෙසට සමගිව වසන තැනට එක් ධර්මකථික නමක් පැමිණියේය. එදින ධර්මය අසන දිනයක් විය. තෙරුන් සලකා අපට ධර්ම කථාවක් කරන ලෙසට කීවාහුය.
උන් වහන්සේ ධර්ම කථාව පැවසුවේය. තෙරවරු ධර්ම කථික නමක් අප ලැබුවේයයි සතුටුසිත් ඇතිව දෙවන දින එම තෙරුන් ද ගෙන දුර ගමක පිණ්ඩපාතයේ ගොස් බත්කිස නිමවා ඇවැත්නි ඊයේ සිටි තැනදී කළා මෙන් කෙටි ධර්ම කථාවක් කරන්නැයි ඒ ගමේ මිනිසුන්ට බණ කියවුහ. මිනිස්සු බණ අසා පැහැදී දෙවන දිනයට ද ආරාධනා කළහ. මේ ලෙසට මුළු ගම්වල දින දෙක දෙක දේශක තෙරුන් ගෙන පිඬු සිඟා වැඩම කළහ. ධර්ම කථික තෙරුන් මෙසේ සිතුවේය. මේ දෙදෙනා බොහෝ මෘදුය. මවිසින් මේ දෙදෙනාම පළවා හැර මේ විහාරයේ වාසය කිරීම වටී. ඔහු සවස තෙරුන්ට උවටැනට ගොස් භික්ෂූන් නැගිට ගියවිට නැවතී මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි ! කිවයුතු කිසිවක් ඇතැයි කියා - ඇවැත්නි කියන්නැයි පැවසුවිට ටිකක් සිතා - ස්වාමීනි මහාසාවජ්‍ජ යයි කියා නොකියාම පිටත්විය. අනු තෙරුන් ළගටද ගොස් එලෙසටම කළේය. ඔහු දෙවැනි දිනයේද එලෙසටම කර තුන්වැනි දිනයේ දී ඔවුන් අතර දැඩි කුහුලක් ඇතිවුවිට මහතෙරුන් වෙත එළඹ ස්වාමීනි කිවයුතු කිසිවක් ඇත. ඔබ වහන්සේ ළඟ කීමට නොහැකෙමි. කියා තෙරුන් විසින් කමක් නෑ කියන්නැයි කීවේය. ඇය ස්වාමීනි අනු තෙරුන් ඔබ වහන්සේ සමග සහෝදර අපි එකම මවකගේ දරුවන් සේ ය. එක් අයෙකුට ලැබුන දෙය අනෙකාටද ලැබුන සේය. ම විසින් ඔහුගේ අගුණයක් මෙතෙක් නොහැක්කෙමි. එසේය ස්වාමීනි. ස්වාමීනි අනුතෙර විසින් මට මෙසේ පැවසුවේය. සත්පුරුෂය ඔබ කුල පුත්‍රයෙකි. මේ මහතෙරුන් ලජජා සහිතය. ප්‍රියජනකය. උන්වහන්සේ සමග එකට කටයුතු කිරීමේදී පරීක්ෂාකර කරන්න. මේ ලෙසට මම පැමිණි දිනයේ සිටම පවසයි. මහතෙර මෙය අසා කිපුන සිත් ඇත්තේ මුගුරකින් පහර ලද මැටි බඳුනක් සේ බිඳුනේය. අනෙකා නැගිට අනුතෙරුන් ළඟට ගොස් මෙලෙසටම පැවසුවේය. ඔහු ද එලෙසටම සිත් බිඳුනි. ඔවුන් අතර කිසිවක් මෙතෙක්කල් එක් අයෙක් හෝ වෙන්වී පිඬුසිඟා නොගියහ. දෙවන දවස වෙන් වී පිණ්ඩපාතයේ ගියේ අනුතෙර කල් ඇතිව පැමින උවටැන් හලේ සිටියේය. මහතෙර පසුව පැමිණියේය. එය දැක අනුතෙර මෙසේ සිතුවේය. කිම මොහුගේ සිවුරු ගත යුතුද එසේ නොපිළිගත යුතුද? යනුවෙනි. ඔහු දැන් නොපිළිගනිමි. සිතාද ම විසින් එසේ නොකරන ලදී මවිසින් තමන්ගේ වතාවත විනාශ කිරීම නොවටීයයි සිත මෘදු කරගෙන තෙරුන් වෙත එළඹ ස්වාමීනි පාසිවුරු දෙන්නැයි කීවේය.
මහතෙර යව අවිනීතය. ඔබ මගේ පාසිවුරු පිළිගැනීම යුතු නොවේ. අසුරු ගසා එසේනම් හොඳයි ස්වාමීනි මම ද ඔබගේ පාසිවුරු නො ගනිමියි සිතුවේය. කීකළ ඇවත්නි නවක ඔබ තවත් සිතන්ද? මට මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි කීය. අනෙකා ද ඔබ වහන්සේලා කුමක් සිතුන්ද මේ විහාරයේ කිසියම් ඇලීමක් ඇතැයි මේ ඔබේ විහාරයයි. කියා පාසිවුරුගෙන නික්මයි. අනෙකාද නික්මෙනි. ඒ දෙදෙනාම එකම මගකින් නොගොස් එකෙක් බටහිර දොරටුවෙන් ද අනෙක් නම පෙරදිග දොරටුවෙන් ද මාර්ගයට එළඹුනි. ධම්ම කථික තෙර ස්වාමීනි මෙසේ නොකරන්නැයි කියා නවත්තන්නැයි කීවිට නො නැවතුනි. ඔහු පසුදින දුර ගමකට පිවිසියේ මිනිසුන් විසින් ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේලා කොහිදැයි විමසුවිට ඇවැත්නි මගෙන් නො විමසව, තොපගේ කුලුපග තෙරුන්ද ඊයේ කෝලාහල කොට නික්මුනාහුය. මා ආයාචනා කළේද නැවැත් වීමට නොහැකිවීයයි පැවසුවේය. ඔවුන් අතර ලාබාල අය සිටියහ. නුවනැති අය, අප විසින් මෙතෙක් අපේ හිමිවරුන් අතර කිසි කළහයක් නුදිටුමු. මේ බිය මොහු නිසාම මේ භික්ෂුව නිසා සිදුවීයයි දොම්නසට පත්වුහ. මේ තෙරවරු දෙනම ද ගිය තැනක සිතේ සුවයක් නම් නොලැබුහ. මහතෙරුන් මෙසේ සිතුවේය. අහෝ - නවක භික්ෂුවට බැරෑරුම් දෙයක් කළේය. මොහොතක් දුටු ආගන්තුක භික්ෂුවට කීවේය. මොහු සමග සම්බෝගයක් නොකළේය. ඔවුන්ට සජ්‍ඣායක් නොවීය. සිහි කිරීමක් නොවීය. ඔවුහු වසර සියයකට පසු බටහිර දෙස එක විහාරයකට ගියාහුය. ඔහුගේ එකම සෙනසුනට වැඩම කළහ. මහතෙර පිවිසි ඇඳක සිටියේ අනෙක් තෙර පිවිසුනි. මහතෙර ඔහු දැක හඳුනාගෙන කඳුලු දරාගැනීමට නොහැකිවිය. අනෙක් තෙරුන් ද මහතෙරුන් හැඳින ගෙන කඳුළු පිරුණ නෙතින් කථා කරමි ද කථා නොකරමිද? සිතා තෙරුන් වැඳ මෙසේ පැවසුවේය. ස්වාමීනි මෙපණ කලක් ඔබගේ පාසිවුරු ගෙන හැසුරුනෙමි. කාය වාරාදියෙහි තොප විසින් කිසිඳු නොගැළපෙන දෙයක් දැක්කේ නොවේද? ඇවැත්නි නොදැක්කෙමි. එසේ නම් කුමක් හෙයින් ධර්ම කථික භික්ෂුවට කීවේද? මොහු සමඟ සම්භෝග නොකරන්නැයි නැත ඇවැත්නි මම එබඳු දෙයක් නොකීවෙමි. ඔබ විසින් මට එබඳු දෙයක් කීවේද? මම ද ස්වාමීනි එසේ නොකීවෙමි. එකෙනෙහි ඔහු විසින් අපව බිඳවනු සිතින් මෙසේ කියන ලද්දේ වනැයි දැනගෙන එකිනෙකාගේ වරද දෙසාගත්හ. (සමාවගත්) ඔවුහු වර්ෂ සියයක් චිත්තාස්වාදයක් නොලබමින් එදවස සමගිවී අපි ඒ විහාරයට යමු. නෙරපා දමමුයි. පිටත්ව ගොස් පිලිවෙළින් එම විහාරයට ගියාහුය. ධර්ම කථික භික්ෂුව ද තෙරවරුන් දැක පාසිවුරු පිළිගැනීම සඳහා සමීප විය. ථෙරවරු ඔබ මේ විහාරයේ වාසය කිරීම සුදුසු නොවේය. අසුරු ගැසුහ. ඔහු සිටිමට නොහැකිව එකෙනෙහිම පළා ගියේය. අනතුරුව ඔහු අවුරුදු විසි දහසක් කරන ලද ශ්‍රවණ ධර්මය දරා ගැනීමට නොහැකිවිය. එයින් චුතවී අවීචියේ ඉපදුනේ එක් බුද්ධාන්තරයක් පැසී. දැන් ගිජුකුළු පව් ප්‍රේතයකු වී කියන ලද ආත්මභාවයෙන් දුක් අනුභව කරයි. බුදුහු මේ පුර්ව කර්මය ගෙන හැර දක්වා මහණෙති භික්ෂුවක් විසින් කායාදියෙන් සංවර වීම විය යුතුයයි පවසා මෙම ගාථාව පැවසුහ.
වචනය නිසා සිදුවන අකුසල් සතර
නැතිකොට, මනස සංවරකරගෙන නිතර
රැකගතහොත් කය ද සංවර කර තිදොර
නැති කර ගත හැකිය දුක් කරදර සසර
වචනයෙන් ද, මනසින් ද, කයින් ද අකුශල් නොකර සංවර වෙන්න. මේ ත්‍රිවිධවු කර්මපථ පිරිසිදු කර සෘෂිවරුන් කියන ලද මාර්ගය පිරිසිඳ ගන්න.
මෙහි අරුත චතුර්විධවු වචී දුශ්චරිතයෙන් වෙන්වී වචනය රකින්න. යනු වාචානුරක්ඛී නම් වේ. අභිධ්‍යා ආදී නිපදවා මනසින් ද මනැවින් සංවර වන්න. යනු සුටඨු සංවුතො යයි කියන ලදී. ප්‍රාණඝාත ආදි කයින් කරන කර්ම වලින් ශුද්ධිය ලබන්න. යන්න කායෙනච අකුසලං න කයිරා. යනුවෙන් කීය. එවං එතෙ තයොකම්ම පථෙ විසොධයෙ - යන මේ ලෙසින් පිරිසිදු වන්න සීලක්ඛන්ධ ආදියෙන් බුද්ධාදී ඍෂිවරුන් ප්‍රකාශ කළ ආර්ය අෂඨංගික මාර්ගය පිළිපදින්න.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.