සදා ජාගරමානානං අහොරත්තානුසික්ඛිනං
නිබ්බාණං අධිමුත්තානං අත්‍ථං ගච්ඡන්ති ආසවා.
හැම කල්හි පිබිදැ සිටින (කෙලෙස් නින්දෙන් නො නිදන), දව රෑ දෙක්හි තුන් සිකෙහි හික්මෙන, කෙලෙස් පිරිනිවනෙහි ඇලුනු යෝගවචරයන්ගේ ආශ්‍රවයෝ විනාශයට යන්නාහ.
"සදාජාගර මානන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වාසය කරන අතර පුණ්ණා නම් රජගහ නුවර සිටුවරයාගේ දාසියක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් පුණ්ණාට කෙටීම සඳහා බොහෝ වී දුන්නාහුය. ඇය රාත්‍රි කාලයේ ද පහනක් දල්වාගෙන වී කොටමින් සිටියදී විවේකය සඳහා දහඩිය වැගිරිනු ශරීරයෙන් ගෙයින් පිටත සිහිල් සුළඟ හමන තැනක සිටියාය. මේ අවස්ථාවේදී දබ්බමල්ල පුත්ත තෙරුන්, භික්ෂූන්ට සෙනසුන් පනවන ධූරය දැරු භික්ෂුවයි. උන්වහන්සේ තම තමන්ගේ සෙනසුන්වලට යන්නා වූ භික්ෂූන්ට ඇඟිල්ල දල්වා ආලෝකයක් මැවුහ. එළි මහනේ සිටිය පුණ්ණා මේ ආලෝකයෙන් පර්වතයේ හැසිරෙන භික්ෂූන් දැක මම නම් මගේ දිළිදු කමින් පෙළුනේ මේ වේලාවේත් නින්දට නොයමි. මේ ස්වාමීන් වහන්සේලා කුමක් නිසා නොනිදා සිටිත්දැයි සිතා ඒකාන්තයෙන් කිසියම් තෙරනමකට රෝගිබවක් හෝ සර්පයෙකු හෝ දෂ්ට කිරිමක් (උවදුරක්) වන්නේයයි සිතා උදැසනම සහල් කුඩු රැගෙන දියෙන් තෙමා අත්ලේ කැවුමක් සාදා ගිනි අගුරුවල තම්බා උකුලේ (ඉනේ) තබාගෙන තොටුපොළට යන පාරේදි කන්නෙමියි කළය ගෙන තොටුපොළ බලා යන්නීය. බුදුරදුන් ද ගමට පිඬුපිණිස වැඩම කිරිම සඳහා එම පාරේම ගමන් කිරිම සඳහා පිළිපන්හ. ඇය බුදුන් දැක මෙසේ සිතුවාය. අන් දිනෙක බුදුන් දකින විට ම විසින් දියයුතු දෙයක් නැත. දියයුතු දෙයක් ඇතිවිට බුදුන් දක්නට නොලැබේ. දැන් දියයුතු දෙයක් ද ඇත. බුදුරදුන් ද හමුවිය. ඉදින් - රළුවු හෝ ප්‍රණීත වූ හෝ දියයුතු දෙයක් ඇති නිසා නීරස ද ප්‍රණීත ද මිහිරි බවද නොසිතා ගන්නේනම් දෙන්නෙමියි කළය එකත් පසෙක තබා බුදුන් වැඳ ස්වාමීනි මේ රළු දානය පිළිගෙන මට සංග්‍රහ කරන්නැයි පැවසුවාය. - බුදුහු ආනන්ද තෙරුන් දෙස බලා උන්වහන්සේ සිවුරෙන් මෑත්කර සිව් මහ රජු දුන් පාත්‍රය එළවා කැවුම (රොටිය) ගත්හ. පුණ්ණා ද එය බුද්ධ පාත්‍රයේ තබා පසඟ පිහිටුවා වැඳ ඔබවහන්සේට දීමෙන් මෙහිදීම විපාක දේවායි පැවසුවාය. බුදුහු ඔබේ අදහස ඉටුවේවායි සිටගෙනම පින් අනුමෝදනය කළහ. පුණ්ණ දාසිය සිතුවාය කිම බුදුහු මට සංග්‍රහ කරමින් රොටියි (පුව) පිළිගත්හ. එහෙත් උන්වහන්සේ මේ රොටිය නොවළදනු ඇත. ඒකාන්තයෙන් ඉදිරියේ දී කපුටන්ට හෝ දී රජුගේ හෝ රාජපුරුෂයෙකුගේ මන්දිරයකට ගොස් ප්‍රණීත ආහාර ගෙන වළඳන්නේය. බුදුරජාණන් වහන්සේ ද ඇගේ මේ සිත දැනගෙන ආනන්ද තෙරුන් දෙස බලා වාඩි වීමට සුදානම් වුහ. තෙරුන් සිවුර නවා අසුනක් පනවා දුන්හ. බුදුහු නගරයෙන් පිටත දීම දන්වළදා (රොටිය) එසේ වළඳන්නට සුදානම් වනවි දෙවිවරු සියළු සක්වල ගැබ දෙවි මිනිසුන්ට සුදුසුවු ඕස මඩුපටලයක් ලෙස කළතා එහි බහාලූහ. පුණ්ණ දාසිය ද බලා සිටියාය. වළදා අවසන බුදුහු පුණ්ණාට කථාකොට පුණ්ණා ඔබ මගේ ශ්‍රාවකයින්ට කුමක් නිසා පරිභව කරන්නීද? යි විමසුහ. නැත ස්වාමීනි මම පරිභව නොකරමි. එසේ නම් මගේ ශ්‍රාවකයන් දෙස බලා ඔබ කුමක් කීවේද? මම මේ දුක්ඛිත බව නිසා නොනිදා සිටියෙමි. මේ ස්වාමීන් වහන්සේලා කුමක් නිසා නොනිදා සිටිත්ද? ඒකාන්තයෙන් උපද්‍රවයක් ඇතිවී තිබේ කිසියම් නමකට අපහසුවක් ඇත දීඝ ජාතික සර්පයයකුගෙන් උපද්‍රවයක් සිදුවන්නට ඇත. ස්වාමීනි මම සිතුවේ මෙපමණකි. බුදුහු ඇගේ වදන් අසා පුණ්ණා ඔබ තම දුප්පත් බව නිසා නිදිවරයි. මගේ ශ්‍රාවකයෝ හැමදා නිදි වැරීමේ යෙදී සිටිතියි මේ ගාථාව දේශනා කළහ.
දිවා රෑ නොනිදා
අවදිව පුරා තුන්සිත
නිවන් මග ඇලුණහ.
දුරු කෙරෙමැයි සියලු කෙලෙසුන්
හැමදා නිදිවරණ දිවා රාත්‍රි හික්මෙන නිවනේ යෙදෙන ශ්‍රමණයෝ කෙළෙස් නිවීම කරති.
එහි අහොරනතානු සික්ඛිතන්ති සඣිතං - යනු රෑදාවල් ත්‍රිශික්ෂාවන්ගෙන් නික්මෙන නිබ්බාණං අධිමුත්තානං නිවන අරමුණු කරගෙන සිටින "අත්ථ ගච්ඡන්ති" මෙබඳු සියළු කෙලෙස්මල විනාශයට, නැති බවට පත් කරති. යන අරුතයි. දෙසුම අවසන එලෙස සිටි පුණා සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසට ධර්මදේශනය සාර්ථක බවට පත්විය. බුදුහු තැබූ රොටියෙන් දවල් ආහාර කිස නිමවා විහාරයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේ දී කථාවක් ඉපදවුහ. ඇවැත්නි දුෂ්කර වු දෙයක් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලදහ. බුදුන් පැමිණ කවරකථාවකින් යුතුව මා පැමිණිබව පෙර කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මේ පිළිබඳවයයි පැවසුවිට මහණෙනි දැන් පමණක් නොව පෙරද මම තුඹුසහලින් කළ රොටී වැළදුවෙමියි පවසා අතීත කථාව දැක්වූහ.
කා ඉතිරි වු තණ ද, කැඳ බත් ද කා වැඩුණු හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නො කන්නේ ද?
බමුණානනි ! යම් තැනක බොහෝ දෙනා උපතින් උසස් බව හා ආචාර ශීලයෙන් යුතු බව නො දනිත්ද? එහි දී කැඳ වතුරද කුඩු ද, පරිභෝග කරමි. ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකැයි හොඳින් දන්නේය. දන්නකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නො කමි. මේ කුණ්ඩක සින්ධව පෝතක ජාතකය විස්තර ලෙස දෙසුහ.