උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා.
දියාළුවෝ (කෙත්වත් ආදියට දිය ගෙණ යන්නාහු) (සිත් පිත් නැති) දිය (ඇල බිඳ ගෙණ, පිහිලි පටවා ගෙණ, වෙහෙලි නගා ගෙණ තමන් කැමැති තැනකට) ගෙණ යන්නාහ. හීවඩුවෝ (සිත් පිත් නැති) හීදඬු (තවා ඇද මැඩ තමන් කැමැති ලෙසට) නමන්නාහ. ලීවඩුවෝ (සිත් පිත් නැති) දඬු (නිම්වළලු ආදිය පිණිස වක් කොට ද ඉදි කොට ද සැස තමන් කැමැති ලෙස) නමන්නාහ. සුව සේ අවවාද අනුශාසන කට හැකි සුවචයෝ තමන් සිත දමනය කරන්නාහ (තමන් සිත දමනය කොට රහත් පලයට පැමිණෙන්නාහ).
“උදකං භි නයන්ති” - යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වැඩ සිටියදී “සුඛ” සාමණේරයන් වහන්සේ නිමිතිකරගෙන දේශනාකළහ.
අතීතයේ බරණැස සිටු වරයාට ගන්ධ කුමාර නම් පුතෙක් සිටියේය. රජතුමා ඔහුගේ පියා අභාවප්‍රාප්තවූ විට ඔහු කැඳවා සනසා මහත් සත්කාරයෙන් ඔහුටම සිටුතනතුර දුන්නේය. ඔහු එතැන්සිට ගන්ධ සිටුතුමායි ප්‍රසිද්ධ විය. අනතුරුව භාණ්ඩාගාරික තැන භාණ්ඩාගාරයේ දොරවල් විවෘත කොට පෙන්වීය. ස්වාමීනි ඔබගේ පියාසන්තක ධනය මෙපමණ ඇත - මුතුන් මිත්තන්ගේ ධනය මෙපමණයිද වෙනකොට දැක්වීය. ඔහු එම ධන රැස දැක කීම මෙපමණ ධනය ඔවුන් හැර නොගියහයි පැවසීය.
ස්වාමීනි ධනය නම් රැගෙන යන්නෝ නම් නැත. තම තමන් කළ කුශල කර්මයන්ම සත්ත්වයෝ රැගෙන යන්නෝය. ඔහු මෙසේ සිතුවේය. මම නම් මේ ධනය අරගෙනම යන්නෙමි. මෙලෙස සිතා දාන හෝ දෙමි පින් කම් හෝ කරමියි නො සිතා මේ සියල්ල පරිභෝග කරමි යන්නම සිතුවේය. ඔහු ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාන කොටුවක් කළේය. ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාහන ඵලකයක් - ලක්ෂයක් දී වාඩිවන ආසනයක් කරවීය, ලක්ෂයක් දී ආහාර ගන්නා භාජනයක්ද පැන් ගන්නා භාජන තබන තැනක්ද කරවීය. ලක්ෂයක් වියදම් කර මැදුරේ සීමැදුරු කවුළුවක් ද සැදවීය. තමන්ගේ උදේ ආහාරය සඳහා දහසක් දුන්නේය. රාත්‍රී ආහාරයටද දහසක්ම දුන්නේය. පසළොස්වක් දිනට නම් ආහාර සඳහා ලක්ෂයක් දුන්නේය. ඒ බත වළදන දින ලක්ෂයක් වියදම් කර නගරය අලංකාර කොට අණ බෙර ගැස්සවීය. ගන්ධ සිටුවරයා ආහාරය ගන්නා ආකාරය බලන්න කියා අණ බෙර ලෑමෙන් මහජනයා ඇඳක් පිට ඇඳක් තබා බැඳ රැස්වුහ. සිටුපුත්‍රයාද ලක්ෂ ගණනක් වටිනා දියකොටුවේ ලක්ෂ ගණනක් වටිනා පළගේ වාඩිවී සුවඳකළ පැන් කළ දහසකින් හා ඒ සීහපඤ්ජරය - (සිව්මැදුරු කවුළුව) ඇර එම පළගෙහි වාඩිවිය ඉක්බිති එහි තබන ලද කුහරයේ භාජනය තබා ආහාර බෙදුහ. ඔහු නළුවන් පිරිවරා මෙබදු සම්පතින් ඒ භෝජනය අනුභාවකරයි. ඊට පසු එක් දිනෙක එක් ගම්වැසි මිනිසෙක් තමාගේ වියදම උපයාගනු සඳහා දර ආදිය රථයක තබාගෙන නුවරට ගොස් මිතුරෙකුගේ නිවසක නැවතුනි. එදින පසළොස්වක දිනයකි. ගන්ධ සිටුවරයා ආහර ගැනීමේ ලීලාව බලන්නයි නගරයේ අණබෙර ලැවුහ.
අනතුරුව ඒ මිත්‍රයා මෙසේ පැවසීය. ගන්ධ සිටුවරයාගේ ආහාර ගැනීම දැක තිබේද? යහළුව දැක නැත. එසේනම් එන්න බලමුයි ඔහු නගරයේ බෙර හසුරුවයි. මහ සම්පත් බලමුයි නුවර වැස්සෝ ජනපදවාසීන් ද රැගෙන ගියහ. මහජනයා ඇඳන්පිට ඇඳන් බැඳ නැගී බලති. ගම්වැසි ජනයා බත් සුවඳ ආඝ්‍රාණය කොට නුවර වැස්සන්ට කීහ. මට මේ තලියෙන් බත් පිඬක් කන්නට ආශාවක් ඇතිවිය. යහළුව මෙසේ ප්‍රාර්ථනා නොකරන්න එය ලබාගන්නට නොහැකිය. යහළුව ඉදින් නොලබන්නේනම් ජීවිතය නොරැකෙන්නේ ය. ඔහුට ඒ පුද්ගලයා වළකාලන්නට නොහැකි විය. පිරිස කෙළවර සිටි ඔහු ස්වාමීනි මම ඔබට වඳිමියි තෙවරක් මහා හඬින් කීය. මේ කවුදැයි විමසූවිට ස්වාමීනි මම ඇයි මේ යයි විමසුවිට - මේ එක් ගම් වැසියෙකි. ඔබගේ භාජනයෙන් බත් පිඬක් ලැබීමේ ආශා ඇතිකරගත් අයෙකි. එක් බත් පිඬක් දෙනු මැනව. ලබන්නට නොහැකියයි පැවසුවිට කිම යහළුව ඇසුවේද? ලැබුනොත් ජීවත්වෙමි. නොලැබුනොත් මාගේ මරණය සිදුවන්නේය. හේ නැවත ද විලාප නැගීය.
ස්වාමීනි මොහු මැරෙන්නේය ඔහුට ජීවත්වීමට ඉඩ දෙන්න. එම්බල ! බත් පිඩක් සියයක් වටී. දෙසියක් වටී. යම් යම් කෙනෙක් ඉල්ලයිද ඒ ඒ අයට දීමෙන් අප කුමක් අනුභව කරමුද? ස්වාමීනි මෙය නොලැබෙන්නේ මැරෙන්නේ ය. ඔහුට ජීවිතය දෙන්න. නැවත නොලබන්නේනම් ජීවත් නොවේ. වසර තුනක් මගේ ගෙයි බැලමෙහෙ කරනු. එවිට ඔහුට බත් පත දෙන්නෙමි. ගම්වැසියෝ එය අසා එසේ වේවායි යාළුවාට කියා අඹු දරුවන් අත්හැර - බත් පතක් වෙනුවෙන් අවුරුදු තුනක් සේවාකම් කරන්නෙමියි සිටුවරයාගේ ගෙට පිවිසියේය. හේ බැලමෙහෙ කරමින් සියලු කටයුතු හොඳින් කළේය. නිවසේ හෝ වනයේ හෝ දවල් හෝ රාත්‍රී හෝ කළ යුතු සියළු කටයුතු කළා සේ පෙනුණි. බත් බැලයා යයි මුළු නුවරම ප්‍රකට විය.
ඉක්බිති දිනය පිරුණ විට සේවකයා කීවේය. සේවකයාගේ නියමිත දිනය පිරුනි. ඔහු විසින් දුෂ්කරවූ දෙයක් කරන ලදී. වසර තුනක් බැලමෙහෙ කරන්නා එක ක්‍රියාවකදු නොපිරි හෙලා කරන ලදී. ඉක්බිති සිටුවරයා තමාගේ උදේ ආහාරය සඳහා දෙදහසක්ද රාත්‍රී ආහාරය සඳහා දහසක් දැයි තුන් දහසක්දී මෙසේ කීවේය.
අද මට කළයුතු සේවය (මෙහෙය) ඔහුටම කරන්න. මෙසේද කියා එක් සිතුමිණි රුවනක් නම් ප්‍රිය භාර්යාවයි. අවශේෂ ජනයා අද ඔහුව පිරිවරා ගන්නැයි කියා සියලු සම්පත් පවරා දුනි. ඔහු (ගැමියා) සිටුවරයාගේ නාන ජලයෙන් එම ජල කොටුවේ සිට ස්නානය කර ඔහුගේම නාන ඇඳුම් ඇද එම අසුනේ වාඩිවිය. සිටුවරයාද නුවර අණබෙර වාදනය කරවා බත් බැලයා සිටුවරයාගේ නිවසේ වසර තුනක් බැලමෙහෙ කොට බත් පත ලැබුවේය. ඔහුගේ ආහාර අනුභව සම්පත්තිය බලන්න. මිනිස්සු - ඇඳන් මත ඇඳන් තබා නැග බලති. බැලු බැලු තැන කම්පන ස්වරූපයක් දක්නට ලැබුනි. නළුවන් පිරිවරා සිටියහ. ඔහු අත බත් බඳුන වඩා තැබුහ. ඉක්බිති ඔහු අත සෝදන වේලාවේ ගන්ධමාන පර්වතයේ එක් පසේ බුදුවරයාණ නමක් සත් දිනක් සමවතින් නැගිට අද කොහි පිඬුපිණිස යන්නේදැයි සිහිකරමින් බත් බැලයා දුටුවහ. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් වීය. මේ තැනැත්තා වසර තුනක් බැල මෙහෙකර බඳුනක් ලැබුවේය. මොහුට ශ්‍රද්ධාව ඇත්තේදැයි සිහිපත් කරන්නේ ඇති බව දැන ඇතැම් අයට ශ්‍රද්ධාව ඇතද සංග්‍රහ කරන්නට නොහැකි වෙති. මොහුට සංග්‍රහ කරන්නට හැකිවන්නේදැයි විමසා ඔහුට හැකිවන්නේ යයි ද මට සංග්‍රහ කර මහා සම්පත් ලබන්නේයයි දැන සිවුර පෙරවා පාත්‍රය ගෙන අහසට පැන නැගී පිරිස් අතරින් පැමිණ ඔහු ඉදිරියේ සිටිමින් තමන් පෙනෙන්නට සැලැස්වීය. ඔහු පසේ බුදුන් දැක මෙසේ සිතුවේය. මම පෙර නොදුන් බැවින් මෙපමණ බත් පතක් සඳහා වසර තුනක් අන් අයගේ ගෙදරක බැලමෙහෙ කළෙමි. දැන් මේ බතින් එක් දිනක් රැකෙමි. ඉදින් මම මෙය ආර්යන් වහන්සේට දෙන්නේනම් නොයෙක් කල්ප කොටි දහස් ගණනාවක් මාව රකින්නේය. ආර්යයන් වහන්සේටම එය දෙමියි වසර තුනක් බැලමෙහෙ කර ලැබු බතින් එක් පිඩක් හෝ කටේ නොතබා තෘෂ්ණාව දුරුකොට තමන්ම භාජනය ඔසවා පසේ බුදුන් වෙත ගොස් භාජනය අනෙකකුගේ අත තබා පසඟ පිහිටුවා වැඳ භාජනය වම් අතින් ගෙන දකුණතින් උන්වහන්සේගේ පාත්‍රයේ බත් හෙලීය. පසේ බුදුහු බත් අඩක් ඉතිරි වු පාත්‍රය අතින් වැසුහ. ඉක්බිති ඔහු බුදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි එක් කොටසකින් දෙකක් කරන්නට නොහැකිය. මට මෙලොවින් සංග්‍රහ නොකරන්න පරලොවින් සංග්‍රහ කරන්න. කිසිවක් ඉතිරි නොකර සියල්ලම දෙමි. තමන්ට ටිකක් හෝ ඉතිරි නොකර දීම නිරවසේස දානය නම් වෙයි. එය මහත්ඵල වන්නේය. ඔහු මෙසේ කර නැවතද මෙසේ කීවේය. ස්වාමීනි මම එක් බත් පතක් නිසා වසර තුනක් බැලමෙහෙ කළෙමි. ඒ නිසා දුක් වින්දෙමි. මේ නිසා මේ දානයෙන් උපන් සියළු තැන යහපතක්ම වේවා. ඔබ වහන්සේට මෙලොව ප්‍රතිඵලම වේවා. පසේ බුදුවරයන් වහන්සේ එසේ වේවා සිතුමිණ සේ සියළු කැමති දේ දෙන මැණික සේද සිතේ අදහස් සියල්ල පුන් සඳ සේ ද සපිරේවායි අනුමෝදන් කරන්නේ
සිතන පතන දේ ඔබට ලැබේවා
පුන් සඳ සේ සව් ඉසුරු වැඩේවා
කැමති කැමති හැම දෙයම ලැබේවා
සියලුම අදහස් නීති සපිරේවා
සිතුමිණි රුවනක් අත ඇත්තෙකු සේ
සිතන පතන හැම දෙයින් පිරේවා
මෙසේ දේශනා කර - මම ගන්ධමාන පර්වතයට යනතුරු මේ මහ ජනතාව බලාසිටීවායි අදිටන් කොට අහසින් ගන්ධමාන පර්වතයට වැඩම කළහ. මහජනයා ද උන්වහන්සේ දෙස බලමින් සිටියහ. උන්වහන්සේ එහි ගොස් එම පිණ්ඩපාත දානය. පන්සියයක් පසේ බුදුවරුන්ට බෙදා දුන්නේය. සියල්ලෝ තම තමන්ට ප්‍රමාණවත් තරම් ගත්හ. අල්ප වූ පිණ්ඩපාතය කෙසේ ප්‍රමාණවත් වේදැයි නොසිතිය යුතුය. අචින්තේය කරුණු සතරකි. එලෙසම පසේ බුද්ධ විෂය ද අචින්තේය මහජනයා පසේ බුදුවරුන්ට බෙදා දෙනු දැක සාධුකාර දහසක් පැවැත්වුහ. හෙණ සියයක් වැටෙන සේ මහ හඬ විය. මේ අසා ගන්ධ සිටුවරයා සිතුවේය බත්බැලයා මා දුන් සම්පත් දරනු නොහැකි විය.
එනිසා මහජනයා අපහාස කරමින් එක්රැස්වී කෑගසති. ඔහු එම පුවත දැනගනු සඳහා මිනිසුන් යැවීය. ඔවුන් පැමිණ සම්පත් දරන්නෝනම් එලෙස වේවායි සිතා නාදකරන බව පැවසූහ. සිටුවරයා එය අසා පස්වණක් ප්‍රීතියෙන් ස්පර්ශ වූ ශරීර ඇතිව අහෝ දුෂ්කරවු දෙයක් විය. මම මෙපමණ කලක් මෙබඳු සම්පතකින් කිසිවක් දෙන්නට නොහැකි වීයයි ඔහුව කැඳවා ඔබ මෙබඳු දෙයක් කළා සැබෑදැයි විමසා එසේය ස්වාමීනි යයි කීවිට
දහසක් ගෙන ඔබේ දානයේ පිං මට දෙන්නැයි කීවේය. ඔහු එසේ කළේය. සිටුවරයාද තමා සතු සියල්ල දෙකට බෙදා දුන්නේය. සතර සම්පදානම් - වත්ථු සම්පදා - පච්චය සම්පදා චේතනා සම්පදා ගුණාතිරේක සම්පදා එහි නිරෝධ සමවතින් නැගිසිටි අරහත් හෝ අනාගාමී හෝ දක්ෂිණාව පිදිය යුතු උතුමා වත්ථු සම්පදා නම් වෙයි. ප්‍රත්‍යයන්ගේ ධර්මයෙන් සමයෙන් උපන් ප්‍රත්‍ය සම්පදාව නමි. දානයට පෙරද - දන්දෙන අතරද දානයෙන් පසුවද අවස්ථා තුනේදී පිරිසිදු චේතනාවෙන් සොම්නස් සහගත ඤාණ සම්පයුත්තභාවය චේතනා සම්පදා නමි. දක්ෂිණාව සඳහා සමාපත්තියෙන් නැගීසිටි බව - ගුණාතිරේක සම්පදා නම් වේ. මෙහිදී ක්ෂිණාශ්‍රව හෝ පසේ බුදුබව දක්‍ෂිණේය නම් බැලමෙහෙ කොට ලැබූ නිසා ප්‍රත්‍යය ධර්මයෙන් දෙය වෙයි. මුල - මැද - අග තුන්කල්හි පිරිසිදු වු සිත චේතනා සම්පදා නම් මේ සතර සම්පත් නිපන් මේ ආනුභාවයෙන් මෙලොව දීම මහා සම්පත් පැමිණෙති. එනිසාම ඒ සිටුවරයාගෙන් සම්පත් ලැබුණි. ඉන් පසුව රජු ද මොහු විසින් කරන ලද කර්මය අසා කැඳවා දහසක් දී පිං ගෙන සතුටු සිතින් මහත් භෝග සම්පත් දී සිටු තනතුරක් දුන්නේය. හේ භත්ත භතික සෙට්ඨි නමින් ප්‍රකට විය.
ඔහු ගන්ධ සිටුවරයා සමග මිත්‍රවී එකට අනුභව කරන්නේ කමින් බොමින් නිදමින් දිවි ඇති තෙක් සිට ඉන් චුතවූයේ දෙලොව ඉපිද එක් බුද්ධාන්තරයක් දිව්‍යමය සම්පත් අනුභව කර මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවත් නුවර සැරියුත් තෙරුන්ට උවටැන් කරන කුලයක ප්‍රතිසන්ධි ගත්තේය. ඉක්බිති ඔහුගේ මව ලබන ලද ගබ් පෙළහර ඇත්තේ දින කීපයකින් මෙබඳු දොළදුකක් ඇතිවිය. පන්සියයක් භික්ෂූන් සමග සැරියුත් මහ තෙරුන්ට සියගණන් රස බොජුනක් දී කහපාට වතත් ඇඳගෙන රන් බදුනක් ගෙන භික්ෂූන් වහන්සේලාගේ අසුන් කෙළවර හිඳ එම භික්ෂූන් වහන්සේලා ඉතිරිකරන ලද. (ඉඳුල් බත් කන්නෙමියි) යන දොළදුක ඇතිව - එසේම කර දොළදුක දුරු කර ගත්තාය. ඇය සෙසු මංගල අවස්ථාවල දීද එලෙසම දන් දී දරුවකු බිහිකර නම් දෙන දිනයේ දී ස්වාමීනි මගේ පුතුට සික්ඛාපද දෙන්නැයි තෙරුන්ට පැවසුවාය. තෙරුන් වහන්සේ මොහුගේ නම කුමක්දැයි විමසුහ. ස්වාමීනි මේ දරුවා පිළිසඳගත් තැන්සිට මේ නිවසේ කිසිවෙකුටත් දුකක් නම් නොවීය. එනිසා මොහුට සුබුම කුමාර යන නම යෙදිය යුතු යයි පැවසුවිට එම නම යොදා පන්සිල් පද දුන්නේය. එදින මවට මම පුතුගේ අදහස නොබිඳිමියි සිතක් ඇතිවිය. ඇය ඔහුගේ කන විදින මංගල අවස්ථාවලදී ද එසේම දන් දුන්නාය. කුමරුද වයස අවුරුදු හතේ දී මෑණියනි මම තෙරුන් ළඟ පැවිදි වීමට කැමති යයි පැවසුවේය. හොඳයි දරුව මම ඔබගේ ප්‍රාර්ථනය නොබිඳිමියි තෙරුන්ට ආරාධනා කොට ස්වාමීනි මගේ පුතු පැවිදි වීමට කැමතියි මම ඔහු සවස විහාරයට ගෙන එන්නෙමියි පැවසුවාය.
තෙරුන් වහන්සේ උනන්දුකර ඤාතීන්ට දැනුම්දී රැස්කරවා මගේ පුතුට ගිහිකාලයේ කළ යුතු වතාවන් අදම කරමියි කියා පුතු සරසා මහත් සිරිසරින් යුතුව විහාරයට ගෙන ගොස් තෙරුන්ට පාවා දුන්නාය. තෙරුන් වහන්සේ ද දරුව පැවිදිවීම නම් දුෂ්කරය. පැවිදිවීමට කැමතිදැයි විමසුවෝය. ස්වාමීනි ඔබ වහන්සේගේ අවවාද රකිමි. පැවසුවට කමටහනක් දී පැවිදි කළහ.
ඔහුගේ දෙමාපියෝ පැවිදි තැනැත්තාට සත්කාර කරන්නේ ඇතුළු විහාරයේම දින හතක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට සියගණනින් රස ආහර දී සවස තමන්ගේ ගෙට ගියහ. අටවැනි දින සැරියුත් තෙරුන් භික්ෂු සංඝයා ගමට පිවිසිවිට විහාරයේ කළයුතු වතාවත් කොට සාමණේර ලවා පා සිවුරු ගෙන්වාගෙන ගමට පිඬු පිණිස නික්මුණහ. අතරමගදී සාමණේරයන් වහන්සේ දියාලුවන් ආදීන් දැක පණ්ඩිත සාමණේරයන් ලෙසට නොයෙක් ප්‍රශ්න විමසුහ. තෙරුන් වහන්සේ ද එලෙසටම විසඳුහ. සාමණේරයන් මම කරුණු අසා ඉදින් ඔබ වහන්සේගේ පාසිවුරු මගෙන් ගන්නේ නම් මම නවතින්නෙමියි කියා තෙරුන්වහන්සේ ඔහුගේ අදහස නොබිඳ පාසිවුරු ගෙනෙන්නැයි ලබාගෙන සිටි විට තෙරුන් වැඳ නවතිමින් ස්වාමීනි මට ආහාර ගෙනෙන විට සත රස ආහාර ගෙනත් දෙන්නැයි පැවසුවේය.
මම කොහින් ලබන්නේද? තමන් වහන්සේගේ පිනෙන් නොලැබෙන බව පැවසුවිට තමන්ගේ පිනෙන් ලැබෙන බව පැවසුවේය. ඉක්බිති තෙරුන් වහන්සේ යතුර දි ගමට පිඬු පිණිස වැඩම කළහ.
ඒ සාමණේරයන් වහන්සේ විහාරයට අවුත් තෙරුන්ගේ කාමරය විවරකර - නැවත දොර වසා තමන්ගේ සිරුර පිළිබඳ ඤාණයට බැස වාඩිවිය. ඔහුගේ ගුණ තේජසින් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අසුන උණුසුම් විය. සක්දෙවිඳු මේ කුමක් දැයි විමසන්නේ සාමණේරයන් දක සුඛ සාමණේරතුමාගේ උපාධ්‍යයන් වහන්සේට පා සිවුරු දී සමණ දහම් කරන්නට විධි නැවතුනි. මා විසින් එහි යායුතු වෙයි. සිතා සතර වරම් මහ රජවරු කැඳවා දරුවනි යන්න. විහාරය ආසන්න වනයේ නරක ශබ්ද කරන පක්‍ෂීන් පළවා හරින්නැයි උනන්දු කළේය. ඔවුන් එසේ කොට හාත්පස ආරක්ෂාව සැළසුහ. සඳ හිරු දෙදෙනා තමන්ගේ විමානවලට වී සිටින්නැයි අණ කළේය. ඔවුන්ද එසේ කළහ. තමන් ද ස්ථානයේ සිට ආරක්ෂාව සැළසිය. විහාරයේ සිටි සාමණේරයන් වහන්සේ එකග සිතින් විදසුන් වඩා මාර්ග ඵලයන්ට පත්වුනි. සාමණේරයන් වහන්සේ සතරස භෝජනය ගෙන ඒමට තෙරුන්ට කී හෙයින් කාගේ නිවසින් ලබාගත හැකිදැයි බලන්නේ එක් යහපත් අපේක්ෂා ඇති කුලයක් දැක එහි ගොස් ස්වාමීනි ඔබ වහන්සේ විසින් යහපතක් කරන ලදී. අද අපේ නිවසට වඩින්නැයි කියා සතුටු සිතින් පාත්‍රය ගෙන වඩා හිඳුවා කැඳ කැවිලි ආදිය දී දානය වළඳන තෙක් ධර්ම කථාවක් ඉල්ලා සිටියෙන් සිහි කටයුතු දැහැමි කථාවක් කර කාලය ගැන සලකා දේශනය නිමාකළහ. ඉක්බිති උන්වහන්සේට සතරස භෝජනය පිළිගන්වා සිටි විට එය රැගෙන යනු කැමති බව දැන තෙරුන් වහන්සේට ස්වාමීනි මෙහි සිට වළඳන්න. පසුව ගෙනයාම සඳහා දෙන්නෙමැයි කියා තෙරුන්ට වැළඳවීය නැවත දෙවනුව පාත්‍රය පුරා සතරස භෝජනය බෙදුහ. තෙරුන් වහන්සේ එය ලබාගෙන සාමණේරයන් කුසගින්නේ සිටින්නේයයි සිතා වහවහා වැඩම කළහ. එදවස බුදුරජාණන් වහන්සේ උදැසනම නික්මී ගඳකිළියේ සිටිමින්ම ආවර්ජනා කළහ. අද සුඛ සාමණේරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේට පාත්‍ර සිවුරු දී මහණ දම් කරන්නෙමියි නැවතුනේ ඔහු කාර්යය සම්පූර්ණ වූවේ දැයි බලන්නේ මාර්ගඵල තුනට පත්වූ බව දැක අද දින ඔහුට රහත් වීමට හැකිදැයි තවදුරටත් විමසුවේ රහත් බවට පත්වන බව දැන බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් දානය ලබාගෙන වහ වහා විහාරය බලා එන බව දැන රහත් වීමට පෙර බාධාවක් වන නිසා තමන් වහන්සේ කල් ඇතිව ගොස් දොරකඩ සිටිය යුතුයයි සිතා ගඳකිළියෙන් නික්ම ගොස් සාමණේරයන් සිටි ආරාමය දොරටුවේ සිට ආරක්ෂාව සැලසූහ.
සැරියුත් තෙරුන් වහන්සේ ද සතරස භෝජනය රැගෙන වැඩම කළහ. පෙර කී ලෙසටම ප්‍රශ්න සතර විසඳා අවසන සාමණ්රයන් වහන්සේ අර්හත්වයට පත්විය බුදුහු සැරියුත් තෙරුන් අමතා සැරියුත් යන්න. සාමණ්රයන්ට බත් දෙන්න යයි පැවසුහ. තෙරුන් වහන්සේ ගොස් දොරට තට්ටු කළහ. සාමණෙර නික්මී උපාධ්‍යයන් වහන්සේට වතාවත්කර බත් කිස කරන්නැයි කී කල තෙරුන්ට දානය අනවශ්‍ය බව දැන සත් වයස් වු කුමරු එකෙනෙහිම රහත්බවට පත්වුයේ නිවන ප්‍රත්‍යවේක්ෂා කරමින් බත්කිස කර පාත්‍රය සේදුවේය. එම අවස්ථාවේදී සතර වරම් රජවරු ආරක්ෂාව විසරවුහ. හිරු අහස් මැද පසුකරව - සවස් කාලය දැක්වීය. භික්ෂූන් වහන්සේලා සවස් භාගය ඇතිවිය. සාමණේරයන් වහන්සේ ද දැන් බත්කිස නිමවීය. කුමක් නිසා අද දිවාකාලය වැඩි වීද. බුදුහු පැමිණ මහණෙනි මා පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටින්නේදැයි විමසුහ.
භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙමින් ස්වාමීනි අද පෙරවරුව බලවත්විය. (වැඩිවිය) සවස් කාලය අඩුවිය. සාමණේරයන් වහන්සේ දන් වළදා අවසන්විය. එමෙන්ම හිරුද මධ්‍යහනයෙන් නික්මී තිබෙනු දක්නට ලැබෙයි. යනුවෙන් පැවසුවිට මහණෙනි එසේ සිදුවේ. පින්වත් අය මහණ දම් කරනවිට අද සතරවරම් රජවරු හාත්පස ආරක්ෂාව සැලසුහ. සඳ හිරු දෙදෙන විමන්වලට වී සිටියහ. සක්දෙව් රජ දොර අගුලු වෙත ආරක්ෂාව ගත්හ. මම ද දොර කොටුවේ සිට ආරක්ෂාව සැලසිමි. අද සුඛ සාමණේරයන් වහන්සේ දියාලුවෝ ජලය ගෙන යන අයුරුත් වඩුවෝ ලී ඇද අරින අයුරින් - හිවඩුවෝ හි ඇද අරින අයුරින්ද වඩුවා ඇද නැති රිය සක හදන අයුරින් දැක බලා තම සිත දමනය කර රහත් බවට පත්වී යයි පවසා මේ ගාථාව පැවසුහ.
ගොවියෝ දිය ගෙනෙති තමනට රිසි තැනට
හීයේ ඇද හරී කම්මල්කරු යසට
වඩුවෝ ලී නමති සක හසුරන ලෙසට
දමනය කරයි සිත සද්දන සිව්මගට
දිය ඇලි කපන්නෝ කැමති තැනට ජලය ගෙනයති. හී වඩුවෝ කැමතිලෙස හීය ඇද යවති වඩුවෝ දැව රිසිසේ නවාගනිති. සුචච වුවෝ තම සිත සුදුසු ලෙස හසුරුවා ගනිති.
එහි - සුබ්බතා -යනු සුවසේ අවවාද අසන අනුශාසනා පිළිගන්නා අයයි. ඉතිරිය පෙර කී පරිදිය. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ. ඵලයන්ට පත්වුහ.
දහවැනි වර්ගය නිමි.
දසවැනි දණ්ඩ වර්ගය නිමියේය.