10-5 විශාඛා ආදී උපාසිකාවන්ගේ උපොසථ සමාදන්වීම පිළිබඳ කථා පුවත

යථා දණ්ඩෙන ගොපාලො ගාවො පාචෙති ගොචරං

එවං ජරා ච මච්චු ච ආයුං පාචෙන්ති පාණිනං.

යම්සේ ගොපලු තෙම දඬුයෙන් (පැහැරැ පැහැරැ) ගෙරින් ගෝචර භූමියට (හෙවත් තණබිමට) පමුණුවා ද (ගෙනැ යේ ද), එ පරිද්දෙන් ම (ප්‍රකට ජරා ද අප්‍රකට ජරා ද යන ද්විවිධ) ජරා ද, (සන්තති විච්ජෙද යන) මරණ ද (යන මොහු දෙදෙන) ප්‍රාණීන්ගේ ජිවිතේන්‍ද්‍රියය ක්‍ෂයයට පමුණුවන්නාහු ය.

“යථා දණ්ඩෙනා ති” - මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර පූර්වාරාමයේ වැඩසිටිය දී විශාඛා ආදී උපාසිකාවන්ගේ පෙහෙවස් සමාදන්වීම නිමිති කරගෙන දේශනා කළහ.

සැවත් නුවර එක් මහා උපෝසථ දිනයෙක පන්සියයක් පමණ ස්ත්‍රීහු පෙහෙවස් සමාදන්ව විහාරයට ගියාහුය. විශාඛාව - ඔවුන් අතරින් මහළු ස්ත්‍රීන් වෙතගොස් මෑණිවරුනි. කුමක් නිසා පෙහෙවස් සමාදන් වුවේ දැයි විමසුවාය. ඔවුන් දිව්‍ය සැපය ප්‍රාර්ථනා කරගෙන යයි කීවිට, මධ්‍යම වයසේ අයගෙන් විමසුවාය. තම සැමියන්ගේ අන් බිරියන් කෙරෙහි පවත්නා සපත්නීරෝෂයෙන් මිඳීම සඳහා යයි පැවසූහ. තරුණ ස්ත්‍රීන්ගෙන් විමසුවාය. ඔවුන් විසින් පළමු ගැබ් ගැනීමේදීම පුතෙක් ලබා ගැනීම සඳහා යයි පැවසූහ. අනතුරුව කුඩා කුමාරිකාවන්ගෙන් විමසුවාය. ඔවුන් තරුණ වියේ දීම පතිකුලයට යාම සඳහා යයි පැවසූවිට

ඒ සියළුම කථා අසා ඔවුන් රැගෙන බුදුන් වෙත ගොස් පිළිවෙළින් දැනුම් දුන්නාය. ඒ අසා බුදුරජාණන් වහන්සේ විශාඛාවනි ! මේ සත්ත්වයින්ගේ ඉපදීම් ආදිය නම් දණ්ඩක් අතින් ගත් ගොපල්ලන් වැනිය. ජාති ජරා ආදියෙන් යුත් ජරා ව්‍යාධි ආදියෙන් යුත් ව්‍යාධි මරණ සමීපයට යවා කෙටේරියෙන් සිඳින්නා සේ ජීවිතය සිඳගනී. නිවණ පතන්නෝ නම් නැත. සසර පතන්නෝ නම් වෙතියි, පවසා අනුපිළිවෙළ වදාරා දහම් දෙසමින් මේ ගාථාව දෙසූහ.

ගොපල්ලා කෙවිටෙන

හරක් ගෙන යයි කෙත වෙත

ලෙඩ, දුක්, ජරාවෙන්

ඔබත් ගෙනයයි මරණෙ දොර වෙත,

යම් සේ ගොපල්ලා දණ්ඩ යොදාගෙන ගවයන් ගාලට යවයිද එසේම ජරාව හා මරණය සත්ත්වයින්ගේ ආයුෂ පාලනය කරයි.

එහි පාචෙතිතී - දක්ෂ ගොපල්ලා කුඹුරු අතරින් ඇතුළුවන ගවයින් දණ්ඩෙන් වළකා එයින් තලමින් - ජලය - තණකොළ සුළඟ ඇති තැන්වලට මෙහෙයවයි ද “ආයුං පාචෙන්ති ” ජීවිතින්ද්‍රිය ගෝචර භූමිය වැන්න එහි ජාති නම් සත්ත්වයින්ගේ ජීවිතින්ද්‍රිය ජරාව සමීපයට යවයි. ජරා- ව්‍යාධි සමීපයට යවයි. ව්‍යාධිය මරණ සමීපයට යවයි. එලෙසම මරණය නමැති කෙටේරියෙන් සිඳ යන්නේ යයි මෙසේ උපමා කරමින් - දේශනය නිමාකළ විට බොහෝ දෙන සෝවාන් ඵලයට පැමිණුනාහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.