9-10 දසවන මණිකාර කුලුපගතිස්ස තෙරණුවන්ගේ වස්තුවයි.

ගබ්භමෙකෙ’පපජ්ජන්ති නිරයං පාපකම්මිනො

සග්ගං සුගතිනො යන්ති පරිනිබ්බන්ති අනාසවා.

සමහර සත්ත්‍ව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්‍දර ගති ඇති සත්ත්‍වයෝ දෙව්ලොවට යන්නාහ. ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු නිරුපධිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නාහ.

ගබ්භමෙකෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරන කාලයේ මණිකාරකුලුපගතිස්ස තෙරුන් අරභයා දේශනා කරනලදි.

ඒ තෙරණුවෝ මැණික්කරුවකුගේ ගෙදර දොළොස් වසක් වළඳමන් එහිම සිටියහ. ඒ ගෙදර අඹුසැමි දෙදෙනා මවුපිය තනතුරේ තබා තෙරුන් පෝෂණය කළහ. දිනක් මැණික්කරුවා තෙරුන් ඉදිරියේම සිට මස් කපමින් සිටියේය. ඒ වෙලාවේ ප්‍රසේනජිත් කොසොල් රජු, මෙය සෝදා කපා විද වහා එවන්නැයි එක් මැණිකක් එවීය. මැණික්කරු ලේ තැවරුණු අතින් එය පිළිගෙන පෙට්ටියක් උඩතබා අත් සෝදාගැනීමට ගේ ඇතුළට ගියේය. ඒ ගෙදර ඇතිකරන කොස්වාලිහිණියෙක්ද සිටියේය.

ඒ ලිහිණියා ලේ ගඳින් ඉවවැටී මස් කැබැල්ලකියි සිතා ඒ මැණික තෙරුන් බලබලා සිටිද්දීම ගිලදැම්මේය. මැණික්කරු ඇවිත් මැණික නොදැක මැණික ගත්තේ කවුදැයි භාර්යාවගෙනුත් පුතුන්ගෙනුත් පිළිවෙලින් අසා ඔවුහු අපි නොගත්තෙමුයයි කීකල්හි, තෙරුන් විසින් ගන්නාලදැයි සිතා භාර්යාව සමග කථා කරමින් මැණික තෙරුන් විසින් ගන්නාලදැයි කීවේය. භාර්යාව, ස්වාමීනි, එසේ නොකියව. මෙතෙක් කල් මම තෙරණුවන්ගේ කිසි වරදක් නොදුටිමි. උන්වහන්සේ මැණික නොගන්නා ලදැයි කීවාය.

මැණික්කරුවා තෙරුන් අමතා, ස්වාමීනි, මෙතැන් තිබූ මැණික ඔබවහන්සේ විසින් ගන්නාලදද? උපාසකය නොගත්තෙමි. ස්වාමීනි මෙි වෙන කිසිවෙක් නොසිටියහ. එය ඔබම ගන්නාලදැයි, මට ඒ මාණික්‍යරත්නය දෙන්නැයි කීවේය. තෙරනම තම කථාව භාරනොගන්නා හෙයින් නැවත භාර්යාව අමතා, මැණික ගන්නා ලද්දේ තෙරුන් විසින්මයි. පීඩා කරමින් හෝ උන්වහන්සේගෙන් අසන්නෙමියි කීවේය. ඈ, හිමියනි, අප වනසන්ට එපා, අපි දාසයන්වීම මීට වඩා උතුම්ය. තෙරුන්ට මෙසේ කීම අයුතුයයි කීවාය. අපි සියලු දෙනාම දාසයන් බවට පත්වුණත් මේ මැණික තරම් නොවටින්නෙමුයයි කියා, ලණුවක් රැගෙන තෙරුන්ගේ හිස වෙළා දඬුවකින් මිරිකා තද කෙළේය. තෙරුන්ගේ හිසෙන් හා නාසයෙන් ලේ වැගිරෙන්නට විය. ඇස් එළියට එන්නාක් මෙන් දැනිණි. තෙරණුවෝ වේදනාවෙන් බිම ඇදගෙන වැටුණහ. ලිහිණියා ඒ ලේ ගදින් එතැනට අවුත් ලේ බීවේය. ඉන්පසු මැණික්කරුවා තෙරුන් සමග උපන් කෝප වේගයෙන් තෝ මෙතැන කුමක් කරන්නේදැයි පාදයෙන් පහරක් ගසා හෙළීය.

ලිහිණියා එකපාරෙන්ම මැරී උඩුකුරුව වැටුණේය. ඒ දුටු තෙරණුවෝ, උපාසකය මගේ හිසෙහි වෙළුම මදක් බුරුල්කොට මේ කොස්වාලිහිණියා ගැන බලව. ඌ මියගොස්ද නැද්දැයි බලවයි කීහ. ඉන්පසු ඔහු තෙරණුවන් අමතා, මේ පක්‍ෂියා වගේම ඔබත් මැරෙන්නෙයයි කීවේය. උපාසකය, මේ ලිහිණියා ඒ මැණික ගිල්ලේය, මූ නොමැරුණා නම්, මම දිවිහිමියෙන් ඒ බව නොකියමි. එවිට මැණික නිසා ඔබ මූ මරන්නේය. මැණික්කරු උගේ බඩ පලා මැණික දැක වෙව්ලමින් තැතිගත් සිතින් යුක්තව තෙරුන් පාමුල වැඳ වැටී, නොදන්නාකමින් මා කළ වරදට සමාවුව මැනවැයි කීවේය.

උපාසකය ඔබේ දෝෂයක් නැත. මගේත් දෝෂයක් නැත. මෙය සංසාරදෝෂයයි. ඔබට සමාවදෙන්නෙමියි කීවිට ස්වාමීනි, මට සමාව දෙන්නෙහි නම් පෙර කළසේ මෙන්ම මගේ ගෙදර නැවතී භික්ෂාව ගනුමැනවැය කීවේය. උපාසකය, මම අද පටන් අනුන්ගේ ගෙදරක වහළයක් යටට ඇතුළු නොවෙමි. ගෙවල් ඇතුළට යාමේ වරද මෙයයි. මෙතැන් පටන් දෙපයේ වීරියෙන් ගෙවල්වල සිටගෙනම භික්ෂාව ලබාගන්නෙමි කියා ධුතාංග සමාදන්වී මේ ගාථාව ප්‍ර‍කාශකළහ:

අහර ටික ටික ඉල්ලා

ගැනීමට මුනිවරුන් උදෙසා

පිසෙයි බත් හැම තැන

පිඬු සිඟා ගෙන යන්නෙමි

දෙපා වාරුව ඇතිතෙක්

මෙසේ පැවසූ තෙරණුවෝ එම ආබාධයෙන්ම නොබෝ කලකින් පිරිනිවන් පෑහ. කොස්වාලිහිණියා මැණික් කපන්නාගේ බිරිඳගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මැණික් කපන්නා මියගොස් නිරයෙහි උපන්නේය. මැණික් කපන්නාගේ බිරිඳ තෙරුන් කෙරෙහි මෘදුසිත් ඇතිකරගත් හෙයින් මියපරලොව ගොස් දෙව්ලොව උපන්නාය.

භික්‍ෂූන්වහන්සේලා ඔවුන් ඉපදුණු තැන් ගැන බුදුරජාණන්වහන්සේගෙන් අසා සිටියහ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, මේ ලොව සමහරු මවුකුස උපදිති, පව්කරන සමහරු අපායෙහි උපදිත් කළ පින් ඇත්තෝ දෙව්ලොව උපදිති. අනාශ්‍ර‍ව රහතන්වහන්සේලා වනාහි පිරිනිවන්පාතියයි වදාරා අනුසන්ධි ගලපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.

සමහරු මවුකුසද

පව්කාරයෝ නිරයෙද

පිනැත්තෝ සුගතියෙහිද

නිකෙලෙස්හු නිවනට ද යෙති

එහි ගබ්භං යනුවෙන් මනුෂ්‍යගර්භයක්ම අදහස් කරනලදි. මෙහි සෙසු විස්තර කියනලද අර්ථමය. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.