9-6 සවන බිළාලපාදක සිටුහුගේ වස්තුවයි.

මාවමඤ්ඤෙථ පුඤ්ඤස්ස, න මන්තං ආගමිස්සති;

උදබින්දුනිපාතෙන, උදකුම්භොපි පූරති;

ධීරො පූරති පුඤ්ඤස්ස, ථොකං ථොකම්පි ආචිනං.

ඒ (සුලු කුශලය) (විපාකදීම් වශයෙන්) නොඑන්නේයයි කුශල කර්මය සුලුකොට නොසිතන්නේය. (කුශල කර්මය සුළුයයි නොසිතන්නේය) එක එක දිය බිඳ වැටීමෙන් කළය යම්සේ පිරේද, (එසේම) මඳ මඳ කොටද කුශල් රැස්කරන්නාවූ නුවණැත්තා කුශල කර්මයෙන් පිරෙන්නේය.

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස ආදි මේ ධර්ම දේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි, ඛිළාලපාදක නම් සිටුවරයා උදෙසා දේශනා කරන ලදි.

එක් කාලයක සැවැත්නුවර වාසී මිනිස්සු කොටස් වශයෙන් බෙදාගෙන බුදුන් ප්‍ර‍මුඛ මහාසංඝයාට දන් දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ අනුමෝදනා බණ කියමින්,

උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු තමන් තනියම දන් දෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරනොගනිති. ඔහු උපනුපන් තැන්වලදී භොගසම්පත් ලබයි. පරිවාර සම්පත් නොලබයි. සමහරු තමන් දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවයි. ඔහු උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තව එකෙක් තමනුත් නොදෙයි. අනුනුත් සම්මාදන් නොකරවයි. ඔහු උපනුපන් තැන්වල භෝග හා පිරිවර සම්පතත් යන දෙකම නොලබයි. තවත් පුද්ගලයෙක් තමනුත් දන් දෙනගමන් අනුනුත් සම්මාදන් කරගනී. ඔහු උපනුපන් තැන්වලදී භෝගසම්පතත්, පරිවාරසම්පතත් යන දෙකම ලබයි.

එක් නුවණැති පුද්ගලයෙක් ඒ ධර්මදේශනාව අසා අහෝ, එය අසිරිමත් කරුණකි. මම දැන් උභයසම්පත් ලබාදෙන ක්‍රියාවක් කරන්නෙමියි සිතා බුදුන් නැගිට යන වේලාවෙහි ස්වාමීනි, හෙට දිනයේ අපෙන් භික්‍ෂාව ගනු මැනවැයි ආරාධනා කෙළේය. උපාසකය ඔබට කෙතරම් භික්‍ෂූන් අවශ්‍යද? ස්වාමීනි, සිටින සියලුම භික්‍ෂූන්වහන්සේලා අවශ්‍යයි. බුදුරජාණන්වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.

හෙතෙම ගමට ගොස් මෑණිවරුන, පියවරුනි, සහෝදරියනි, සහෝදරවරුනි, මම හෙට දානය පිණිස බුදුන් ප්‍ර‍මුඛ මහා සංඝයාට ආරාධනා කෙළෙමි. යමෙකුට යම් පමණ භික්‍ෂූන්ට දිය හැකිනම් එතෙක් භික්‍ෂූන්ට කැඳ ආදිය සඳහා අවශ්‍ය සහල් ආදිය දෙන්න. එක්තැනකදී උයා දෙන්නෙමු යයි උද්ඝෝෂණය කරමින් ගම වටා ඇවිදියි. පසුව එක් සිටුවරයෙක් තමන්ගේ වෙළෙඳසැල වෙත පැමිණි ඒ පුද්ගලයා, දැක, මොහු තමන්ට දියහැකි තරමින් භික්‍ෂූන්ට ආරාධනා නොකොට ගමපුරා සම්මාදමේ යයි කෝපවී ඔබ ගෙනා භාජනය ගෙනෙන්නැයි කියා ඇඟිලි තුනට අසුවන ප්‍ර‍මාණයක් සහල් මුං මෑ ආදියෙන් දුන්නේය. ඔහු එතැන් පටන් බිළාල පාදක (බළල්කකුල්) සිටු නමින් ප්‍ර‍කට විය. ගිතෙල්, පැණි ආදියෙන් දුන්නේ කළයට කරඬියේ කොණක් ඔබා එක් කොණකින් බිංදුව බැගින් වැගිරෙන ප්‍ර‍මාණයකි. උපාසක තෙම, අනිත් අය දුන් දේවල් එක්වකොට පිසවා, සිටුවරයා දුන් දේවල් වෙනවෙනම පිසවා වෙනම තැබුවේය. සිටුවරයා ඒ දැක, මොහු මා දුන් දේවල් වෙන් කොට තබයි. මෙසේ සිතා ඊළඟට කරන්නේ කුමක්දැයි බලන ලෙස ඔහුගේ පිටුපසින් සුළුසේවකයෙක් යැවීය. ඔහු දන් පිළිගන්වද්දී සිටුවරයාට මහත්ඵල වේවායි කැඳබත් කැවිලිද මුං මෑ ආදියද තෙල් පැණි බිංදුද සියලු භාජනවලට දැම්මේය. සුළුසේවකයා ගොස් ඒ බව සිටුවරයාට දැන්වීය.

ඒ ඇසූ සිටුවරයා, යම්හෙයකින් ඔහු පිරිස මැද නුගුණ කියා මගේ නම කීවොත්, ඒ වෙලාවේම ගසා මොහු මරන්නෙමියි කලවෙහි පිහියක් බැඳ ඊළඟ දිනයේ ගොස් දානශාලාවෙහි සිටියේය. ඒ පුරුෂයා බුදුන් ප්‍ර‍මුඛ භික්‍ෂුසංඝයා වළඳවා භාග්‍යවතුන්වහන්සේට, ස්වාමීනි, මම මහාජනයාත් හවුල් කරගෙන මේ දානය දුන්නෙමි. ඒ සඳහා සම්මාදන් වුණු මිනිස්සු තමතමන්ගේ ශක්ති ප්‍ර‍මාණයෙන් බොහෝවූත් ස්වල්පමාත්‍ර‍ වශයෙනුත් සහල් ආදිය දුන්හ. ඒ සියලු දෙනාටම මේ පින මහත්ඵල වේවායි කීය.

ඒ අසා සිටි සිටුවරයා, මම අසවල් පුද්ගලයා විසින් ඇඟිලිවලින්ගෙන සහල් ආදිය දුන්නේයයි මගේ නම කී හැටියේ මොහු මරන්නෙමියි ආවෙමි. මොහු සියලුදෙනාම සංග්‍ර‍හ කළවුන් හැටියට සලකා නැලි ආදියෙන් මැන දුන් අයටත් ඇඟිලිතුඩුවලින් ගෙන දුන් අයටත් පින සමසේ මහත්ඵල වේවායි කියයි. ඉදින් මම මෙබඳු පුද්ගලයා සමාකරවා නොගත්තොත් දේවදඬුවම මා හිසමත වැටෙන්නේයයි සිටුවරයා ඔහුගේ පාමුල වැඳවැටී ස්වාමීනි, මට සමාවෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කුමක්දැයි ඔහු ඇසූ කල්හි සියලු ප්‍ර‍වෘත්තිය දන්වා සිටියේය. ඒ ක්‍රියාව දුටු ශාස්තෘන්වහන්සේ මේ කිමෙක්දැයි දානයට ව්‍යාවෘතවුණු අයගෙන් විචාළහ. හෙතෙම මුල පටන් ඒ පුවත දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, සිටුවරය, එසේදැයි අසා, එසේය ස්වාමීනියි කීකල්හි, උපාසකය පිනනම් අල්පයයි නිග්‍ර‍හ කළයුතු නැත. මාවැනි බුදුකෙනෙකුන්ට, බුද්ධප්‍ර‍මුඛ සංඝයාට හෝ දන්දී අල්පයයි නොසිතිය යුතුය. නුවණැති මිනිස්සු පින් කරන විට විවෘත භාජනයක් මත ජලබින්දු වැටී පිරෙන්නාක් මෙන් පින්ද සම්පූර්ණ වන්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

එය කුඩා කුසලකි

එයිනුදු පල ලැබේමැයි

යනුවෙන් සිතාගෙන

සුළුවුවද පින් කළයුතු

බිඳුව බැගින් වැගිරෙන

ජලය කළයක් පුරවයි

එහි අර්ථය නම්, නුවණැති මනුෂ්‍යයෝ මම කුඩා පින්කමක් කෙළෙමි. එහි විපාක වශයෙන් මට කිසිවක් නොලැබේ. මෙබඳු කුඩා කර්මයක් කෙසේ නම් මා දකියිද, මම හෝ එය කොහිදී දකින්නද, කවදා නම් එබඳු පිනක් විපාක දෙන්නේදැයි අවමානය ලක් නොකරයි. නිරන්තරයෙන් දියබිඳු වැටීමෙන් විවෘතකොට තබන ලද කළගෙඩි වැනි භාජන ජලයෙන් පිරෙන්නාක් මෙනි. මෙසේ ධෛර්ය සම්පන්න නුවණැති පුරුෂයා ටිකටික පින් රැස්කරමින් විශාල පිනක් ලබාගනියි.

දේශනා කෙළවර ඒ සිටුවරයා සෝවාන්ඵලයට පැමිණියේය. සපැමිණි පිරිසට එම දේශනාව ප්‍රයෝජනවත් විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.