පෙර එක් ගමක් ඇසුරු කරගෙන එක් කෛරාටික තාපසයෙක් විසුවේ ය. ඔහුගේ කපටිකම්වලට රැවටී එක් පින් කැමති මනුෂ්‍යයෙක් සමීප වනයෙහි පන්සලක් කරවා කූට තවුසා එහි වාසය කරවා ඔහුට ප්‍රණීත ආහාර පානයෙන් උපස්ථාන කරමින් සිටියේය. එක් දවසක් ඒ මනුෂ්‍යයා තමා වෙත තුබූ රන් කහවණු සියයක් කූට තවුසා වසන තැනට ගෙන ගොස් ආරක්ෂාව සඳහා එහි පොළොවෙහි නිදන් කර තබා “ස්වාමීනි, මෙය බලා ගනු මැනව”යි තවුසාට ද කීය. පමණට වඩා සිල්වත් බව ශාන්ත බව දැක්වීම කෛරාටිකයන්ගේ ස්වභාවයකි. එබැවින් කූට තාපසයා කියනුයේ “පින්වත, මෙබඳු දේ පැවිද්දන් හට කීම නො වටනේ ය. අපට අනුන් අයත් වස්තු කෙරෙහි ලෝභයක් නම් නැතය.” යි කීය. ඔහු “එසේය ස්වාමීනි”යි කියා කූට තවුසාගේ වචනය විශ්වාස කොට ධනය එසේ ම තිබෙන්නට හැර ගියේය.
මුදල එහි තබා ටික දිනක් ගතවූවාට පසු කූට තවුසා “මේ මුදල ගෙන පලාගියහොත් මෙයින් මට පහසුවෙන් ජීවත්විය හැකි වන්නේ ය”යි සිතා එය ගෙන තමා පලායන්නට බලාපොරොත්තු වන මාර්ගයෙහි එක් තැනක සඟවා තබා නැවත පන්සලට අවුත් එදා එහි ම වැස දෙවන දවස්හි මුදල් තැබූ තැනැත්තාගේ ගෙට ගොස් එහි දන් වළඳා අවසානයෙහි තවුසා කියනුයේ “පින්වත, අපි ඔබ නිසා දීර්ඝකාලයක් මෙහි විසුවෙමු. දීර්ඝ කාලයක් එක් තැනක වසන කල්හි ගිහියන් හා බැඳීම ඇති වන්නේ ය. එය පැවිද්දන්ට කිලුටක් වන්නේ ය. එබැවින් අපි අන් පෙදෙසකට යමුය”යි කීය. දායකයා විසින් නැවතීමට නැවත නැවත යාඥා කළ නමුත් කූට තවුසා නො කැමති විය. එකල්හි දායකයා “එසේ නම් වඩිනු මැනව”යි කියා ගමේ කෙළවර දක්වා තවුසා හා ගමන් කොට වැඳ සමුගෙන නැවතිණ.
කූට තවුසා මඳ දුරක් ගොස් දායකයා තවත් රවටන්නට සිතා ජටාවෙහි පිදුරු ගසක් රඳවාගෙන නැවතත් ඒ ගෙට ම හැරී ආවේ ය. දායකයා “ස්වාමීනි, කුමන කරුණකින් වැඩියේදැ”යි ඇසීය. කූට තවුසා කියනුයේ පින්වත, ඔබගේ ගෙයින් පිදුරු ගසක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු දෙයක් පිළිබඳ වුවද අදින්නාදානය පැවිද්දන්හට නොවටනේ ය. එබැවින් මේ පිදුරු ගස නැවත මෙහි ගෙනාවෙමි”යි කීය. මෝඩ දායකයා “අහෝ! මේ ස්වාමීන් වහන්සේ කෙතරම් සිල්වතෙක් ද? මෙපමණ සුළු දෙයක් ගැන පවා සැක කරන්නාහ”යි වඩාත් පැහැද පිදුරු ගස දමා වැඳ පිටත් කෙළේය.
එදින මහ බෝසතාණෝ වෙළෙඳ බඩු සපයනු පිණිස ඒ ගමට පැමිණ ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ “තවුසාගේ කීම අසා” මේ කූට තවුසා විසින් මෙසේ කරන්නට ඇත්තේ මොහුගෙන් කිසිවත් ගත් බැවින් විය යුතුය”යි සිතා ඒ මිනිසාට කථා කොට “යහළුව, තවුසා වෙත තබන ලද කිසිවක් ඇත්ද?”යි විචාළහ. ඔහු රන්මිල සියයක් තබා ඇති බව කීහ. බෝසතාණෝ “වහා ගොස් එහි සොයා බලව”යි කීහ. ඒ මිනිසා පන්සලට ගොස් බලා මුදල් නැති බව දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීහ.
බෝසතාණෝ “යහළුව, නුඹේ මුදල් අනිකකු විසින් නොගන්නා ලද්දේ ය. මේ කූට තවුසා විසින් ම ගන්නා ලද්දේ වන්නේ ය. එනු මැන, කූට තවුසා ලුහුබැඳ ගොස් මුදල ගෙන එමු”යයි කියා වේගයෙන් එලවා ගොස් තාපසයා අල්ලා අතින් පයින් තළා මුදල ආපසු ලබාගත්තේ ය. කූට තවුසා ඔහුගේ කපටිකම නිසා ලබමින් සිටි ලාභයෙන් ද පිරිහී ගුටි බැට කා නින්දාවට ද පැමිණ මහා විපතකට පත්විය. ඔහුට නැවත ඒ පෙදෙසට පැමිණෙන්නට නො හැකි විය. මේ කූට තවුසා මෙන් කෛරාටික කම් කරන ඇතැම්හු මෙලොවදී ද ඒවායේ ඵල ලබන්නාහුය.
වෙළඳුන්ගේ කම්කරුවන්ගේ සිත් කෛරාටික භාවයෙන් කිළිටි වූ කල්හි ඒ ඒ ද්‍රව්‍යයන්ගේ නැති ගුණ දක්වන්නාහ. කෛරාටික වෙළෙන්දා බාල බඩුව ඉස්තරම් බඩුවක් කොට ද, දුබල බඩු කල් පවත්නා බඩු කොට ද, පරණ බඩු අළුත් බඩු කොට ද, පලුදු ඇති බඩු හොඳ බඩු කොටද, රන් රිදී නොවන බඩු රන් රිදී බඩු කොට ද, එක් වර්ගයක බඩුවක් අන්‍ය වර්ගයක බඩුවක් කොට ද, රාත්තලක් නො වන දෙය රාත්තලක් කොට ද, සේරුවක් නො වන දෙය සේරුවක් කොට ද, දක්වා බඩු මිලයට ගන්නවුන් රවටති. කම්කරුවෝ ද තම තමා සාදන බඩු ගැන එසේ රැවටිලි කරති. එසේ කෛරාටික කමින් රවටා බඩු විකුණා මුදල් ගැනීම අදත්තාදාන කර්මයට ඇතුළත් වන පාපයකි. එසේ කෛරාටික කම් කරන වෙළෙන්දා ළඟට බඩු ගැනීමට එන්නන් අඩු වීමෙන් ද රවටනු ලැබූවන්ගේ පළිගැනීම්වලට භාජන වීමෙන් ද මෙලොව පිරිහීමට ද පැමිණෙන්නේ ය. මරණින් මතු අපායට ද පැමිණෙයි. පෙර එක් කපටි වෙළෙන්දෙක් වී වලට වීබොල් මිශ්‍රකොට විකුණමින් මුදල් සපයා මරණින් මතු ගිනියම් වූ වී බොල් සියතින් ම ගෙන සිය හිස මත ලා ගනිමින් දුක් විඳින ප්‍රේතයකු වූ බව ප්‍රේත වස්තු ප්‍රකරණයෙහි දක්වා තිබේ.
කෛරාටික බව ස්වර්ගයට යාමට ද සසර දුක් කෙටි කර ගැනුමට ද මහත් බාධාවකි. කෛරාටිකයාට සසර දික්වේ. සතර අපාය සිය නිවස වැනි වේ. ඔහු වරක් දෙකක් බණ අසා සිත්හි තබාගෙන පිළිපැදීම ම ඇතය, නැවත නැවත බණ අසන්නට ඕනෑ නැත. මල් පහන් පුදා විහාර කිලිටි නො කළාට සිතින් පමණක් නො ගියාට තමා සිටින තැන සිට ගෙන ම ඒ විහාර චෛත්‍යයන් සිහිකර වැඳිය හැකිය. සිල් සමාදන් වන්නට නො ගියාට තමාගේ ගෙදර ම සිත පිරිසිදු කරගෙන සිටියාම ඇත. එක මලක්, එක පහනක්, එක බත් සැන්දක් පිදීමෙන් ම දෙව්ලොව ඉපිද තිබෙනවා ය, ඕනෑවට වඩා පින් ඕනෑ නැත. පින් පව් නම් සිතිවිලිය. ධනය වියදම් කොට පින්කම් නො කළාට සිතින් දන්දීම් ආදි පින් කිරීම ඇත යනාදීන් කෛරාටික බණ කිය කියා කිසි පිනක් නො කොට මරණින් මතු අපායෙහි උපදනේ ය. එබැවින් මේ කෛරාටික බව නමැති චිත්තෝපක්ලේශය සිය සිත් සතන්වලට වැදෙන්නට නොදී සැම කල්හි ම සිත සෘජුව ම තබා දෙලොව වැඩ සිදුකර ගනිත්වා!