පෙර විසූ එක් කෛරාටික භික්ෂුවක් තමා විහාරයෙහි ලොකු සැළියක් තබාගෙන තමා වෙත මිනිසුන් එනු දුටු කල්හි ඒ සැළියට වැද සැඟවෙයි. මිනිසුන් අවුත් ඔහුගේ අනුචරයන්ගෙන් “හාමුදුරුවෝ කොහිදැ”යි අසන කල්හි “හාමුදුරුවෝ ගෙයි වැඩ සිටිති”යි කියති. ඔවුන් ගෙය තුළට වැද සැම තැන ම ඇවිද බලා භික්ෂුව නො දැක ගෙයින් නික්ම යන්නට සූදානම් වන කල්හි භික්ෂුව සැළියෙන් නික්ම අසුනක හිඳ ගනී. මිනිසුන් හාමුදුරුවන් ගෙයි නැතිය යි කියන කල්හි අනුචරයෝ හාමුදුරුවෝ ගෙයිමය කියා නැවතත් මිනිසුන් එහි ම යවති. ඔවුහු ගෙය තුළට වැද බලන්නාහු පළමු නොදුටු භික්ෂුව සිටිනු දැක පුදුම වී “ස්වාමීන් අපි පළමු බලද්දී මෙහි නුඹ වහන්සේ නුදුටුයෙමු. නුඹ වහන්සේ කොයි වැඩිසේක්දැ”යි කියති. එකල්හි කෛරාටික භික්ෂුව ඔවුනට තමා සිතු සිතු තැනකට සෘධියෙන් යා හැකි කෙනකැයි හැගෙන්නට “උපාසකවරුනි, ශ්‍රමණයෝ තමා කැමති කැමති තැනකට යන්නාහු නො වෙද්දැයි” කියයි. මෙසේ ඇතැම් කෛරාටිකයෝ තමාගේ ලාමක කම නිසා නො රහත්ව රහත් බව පවා හඟවති. කෛරාටිකකම් කරන්නන් විසින් එසේ කිරීම තමාගේ දක්ෂකමකැයි සලකා ගෙන කරන මුත් නොයෙක් විට ඒවා වැරදීමෙන් නුවණැතියන්ට අසුවීමෙන් ඔවුන්ට මෙලොවදී ම මහත් පිරිහීම්වලට පැමිණෙන්නට සිදුවන වාර බොහෝ ය. කූට තවුසාගේ කථාව එයට නිදර්ශනයකි. ඒ මෙසේ ය. –