පින් නො කොට, කළ හැකි අවස්ථාව ඉක්ම වූ ඇතැමුන් කෙරෙහි පුණ්‍යකාමතා වේශයෙන් කුක්කුච්චය පහළ වේ. එය පහළ වූ තැනැත්තේ තමා පෙර පින් කරන්නට සිතූ අවස්ථාවල් සිහි කරමින් “මම මහ දනක් දෙන්නට බලාපොරොත්තු වීමි. නුමුත් නිවාඩු නො ලැබුණ නිසා එය නුපුළුවන් විය. සිල් සමාදන් වන්නට බලාපොරොත්තු වූ නුමුත් අපේ ගෙවල කරදර නිසා නුපුළුවන් විය” යනාදීන් පින් කරනු කැමති බවෙහි ආකාරයෙන් තැවෙන්නේ ය.