තමන්ට උපකාර කළ මා පියන්ට හා ගුරුවරුන්ටත්, තවත් එවැනි අයටත්, ප්‍රත්‍යූපකාර වශයෙන් සැලකිලි නො කළ අය කෙරෙහිත්, සමහර විට කරුණා වේශයෙන් කුක්කුච්චය ඇති වේ. ඔවුහු “බාල කල පටන් අපට උපකාර කළ, අප දියුණු කළ, අප කෙරෙහි අපමණ කරුණාවෙන් විසූ මවට පියාට ගුරුවරයාට සහෝදරයාට සහෝදරියට සැලකිල්ලක් කරන්නට නො ලැබුනේ යැයි” යි ඔවුන් ගැන දයාව දක්වන්නා වූ ආකාරයෙන් පසුතැවෙති. කෝප වී හෝ ලාභය පිණිස හෝ සතුන් මැරූ අය ද කෝප වී අනුන්ට පීඩා කළ අය ද, සමහර විට මැරූ සත්ත්වයින්ට හා පීඩා කරනු ලැබූ මිනිසුන්ට අනුකම්පා කරන ආකාරයෙන් කළ පාපය ගැන පසු තැවෙති. එසේ තැවීම හෙවත් කණගාටු වීම පාපය අඩුවීමට කරුණකැයි සමහරු සිතතත්, තෙමේ ම පාපයක් වූ කුක්කුච්චය කළ පාපයක් අඩුවීමට හෝ නැති වීමට කරුණක් නොවේ.