උද්ධුමාතක අසුභය වඩන ආකාර

උද්ධුමාතක සරීරයෙහි (ද්‍විවිධ වූ) උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතක සංඛ්‍යාත ධ්‍යානය වඩනු කැමැති යෝගී විසින් පඨවි කසිණයෙහි කී සේ ප්‍රිය ගුරුභාවනීයාදි ගුණ සම්පන්න ආචාර්‍ය්‍යයන් විසිනුදු ඒ යෝගි හට අසුභ නිමිත්ත සඳහා යා යුතු සැටි ද, මළකුණ හාත්පස නිමිති සැලකිය යුතු සැටි ද, එකොළොස් ආකාරයෙන් නිමිති ගතයුතු සැටි ද, යන එන මඟ සැළකිය යුතු සැටි දැයි මෙසේ අර්‍ථණාවශාන කොටැ ඇති සියල්ල කියා දිය යුතු. යෝගී විසිනු දු සියල්ල මනා වැ ඉගෙනැ නාතිදූරාදි පෙර කී ආකාර සේනාසනයක් කරා එළඹැ උද්ධමාතක නිමිත්තයක් සොයමින් විසිය යුතු ය. එසේ වසන්නාහු විසිනු දු අසවල් ගම් දොර හෝ වල්මුව හෝ මඟ හෝ පර්‍වත පාදයෙහි හෝ රුක් මුල හෝ සොහොනෙහි හෝ උද්ධුමාතක සරීරයක් ඇතැයි කියන්න වුන්ගේ බස් අසා පිරුණු නදී ආදියට නො තොටින් බස්නකු සේ ලහි ලහියේ නො යා යුතු. කුමක් හෙයින් ද මළ මිනියට චණ්ඩ මෘගයෝ හෝ අමනුෂ්‍යයෝ හෝ අරක් ගෙනැ සිටිති. එයින් ඔහුගේ ජීවිත විනාශය හෝ වන්නේ ය. තව ද ගමන් මඟ ගම් දොරින් නගන තොටින් හෝ කුඹුර අද්දරින් හෝ විණි නම් හැල් ගෙවිලිය ආදි විසභාග රූප හෝ ආපාථයට එන්නේ ය. ඇතැම් විට ඒ සිරුර ම විසභාග වන්නේ ය. පුරුෂයා හට ස්ත්‍රී ශරීරය ද ස්ත්‍රීහට පුරුෂ ශරීරය ද විසභාග ය. එය අළුත මළ එකක් නම් ශුභ වශයෙන් වැටහී යාමෙන් බ්‍ර‍හ්ම චරියන්තරාය හෝ වන්නේ ය. “මා වැන්නේකුට මෙය බැරි නොවේ ය” යි ඉදින් තමා සැලකේ නම් එවැන්නක් විසින් විසභාගා රමමණය කරා ද යා යුතු. එසේ යන්නහු විසින් සංඝස්ථවිරයන්ට හෝ අන්‍ය ප්‍ර‍සිද්ධ භික්‍ෂුවකට හෝ දන්වා යා යුතු. කුමක් හෙයින් ද සොහොනෙහි අමනුෂ්‍යයන්ගේ හෝ සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ හෝ රූප ශබ්දාදි අනිෂ්ටාරම්මණයකින් පීඩිත වූ ඒ යෝගී භික්‍ෂුහුගේ අඟ පසඟ හෝ වෙවුලා නම් කෑ අහර හෝ නැඟී ඒ නම් අන්‍ය ආබාධයෙක් හෝ වේ නම් ඒ සංඝස්ථවිර හෝ අන්‍ය ප්‍ර‍සිද්ධ භික්‍ෂු හෝ ඔහු සතු විහාරයෙහි සිව්රු රැක ගනිති. දහර භික්‍ෂූන් හෝ සාමණේරයන් හෝ යවා පිළියම් කරවති. තවද සොහොන් භූමිය නම් නිසැක තැනෙකැ යි සිතා සොරකම් කළා වූ ද නොකළා වූ ද සොරු එහි රැස් වෙති. මිනිසුන් විසින් ලුහුබඳනා ලද සොරු භික්‍ෂු ළඟ බඩු දමා ලා පලා යෙති. මිනිස්සු බඩු සහිත සොරා දුටුම්හ යි ඔහු අල්ලා ගෙනැ පෙළා ලති. එබන්දෙක් විණි නම් ඒ තෙරහු “මේ භික්‍සුහට පීඩා නො කරවු. මේ අපට දන්වා මෙ බඳු වැඩක් සඳහා එහි ගියේ ය”යි කියා මිනිසුන්ට දන්වා සැනසුම් ලබා දෙති. දන්වා යාමෙහි මේ අනුසයි. එබැවින් යට දැක්වුණු සේ භික්‍ෂු නමකට දන්වා අසුභ නිමිත්තයක් දැකීමෙහි අභිලාෂ ඇත්තහු විසින් අභිෂේක ශාලාවට යන ක්‍ෂත්‍රියකු සේ යාග ශාලාවට යන යාජකයකු සේ නිධි ස්ථානයට යන දුගියකු සේ ප්‍රීති සොම්නස් උපදවා අටුවාහි දැක්වුණු සැටියෙන් යා යුතු.

අටුවායෙහි මෙසේ දක්වන ලදී.

“උද්ධුමාතකං අසුභනිමිත්තං උග්ගණහන්තො එකො අදුතියො ගච්ඡති, උපට්ඨිතාය සතියං අපම්මුට්ඨාය, අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගතමග්ගං පච්චවෙක්ඛමානො, යස්මිං පදෙසෙ උඬුමාතකං අසුභ නිමිත්තං නික්ඛිත්තං හොති. තස්මිං පදෙසෙ පාසාණං වා වම්මික වා රුක්ඛං වා ගච්ඡං වා ලතං වා සතිමිත්තං කරොති. සාරම්මණං කරොති. සනිමිත්තං කත්‍වා සාරම්මණං කත්‍වා උඬුමාතකං අසුභ නිමිත්තං සභාවභාවතො උපලක්ඛෙති. වණ්ණතො පි ලිඞ්ගතො පි සණ්ඨානතො පි දිසතො පි ඔකාසතො පි පරච්ඡෙදතො පි සන්‍ධිතො පි විවරතො නින්නතො ථලතො සමන්නතො. සො තං නිමිත්තං සුග්ගහිතං කරොති. සූපධාරිතං උපධාරෙති. සුවවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත්තං සුග්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා එකො අදුතියො ගච්ඡති උපට්ඨිතාය සතියා අසම්මුට්ඨාය අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගත මග්ගං පච්චවෙක්ඛමානො. සො චද්‍ධකමන්තො පි තබ්හා ගියඤ්ඤෙච වඞ්කමං අධිට්ඨාති. නිසීදන්තො පි තබ්හාගියඤ්ඤෙච ආසනං පඤ්ඤාපෙති.

මෙහි සංක්‍ෂිප්තාර්‍ථය මෙසේ ය:-

‘උද්ධුමාතක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළා වැ එළඹැ සිටි සිහියෙක් යුක්ත වැ සංවර වූ ඉන්‍ද්‍රියයෙන් යුක්ත වැ බැහැරැ නුලු සිතින් යුක්ත වැ ගිය - ආ මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. ඒ උද්ධුමාතක නිමිත්ත තිබුණු පෙදෙසෙහි පිහිටි ගල හෝ තුඹස හෝ රුක හෝ පඳුර හෝ වැල හෝ සනිමිත්ත කරන්නේ ය. සාරම්මණ කරන්නේ ය. සනිමිත්ත කොටැ සාරම්මණ කොටැ ඒ අසුභ නිමිත්ත සභාග හෙයින් සලකුණු කරන්නේ ය. හේ එය වර්‍ණ, ලිඞ්ග, පණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද, සන්‍ධි, විවර, නින්න, ඵල, සමන්ත යන ආකාරයෙන් සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කරන්නේ ය. එසේ සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කොටැ නො මුළා වැ එළඹ සිටි සිහියෙන් සංවර වූ ඉන්‍ද්‍රියයෙන් බැහැර නො වූ සිතින් ආ ගිය මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. හේ සක්මන් කරන්නේ ද ඒ අසුභ නිමිත්ත මනස්කාර සහිත වැ ම සක්මන කරන්නේ ය. හිඳින්නේ ද ඒ මනස්කාර සහිත වැ ම හිඳින්නේ ය.

හාත්පස නිමිති සලකුණු කැරැ ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසමේමාහ පිණිස ය අසමේමාහානිසංස පිණිස ය.

එකොලොස් ආකාරයෙන් නිමිති ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසූභාරම්මණයෙහි සිත එළවා බැඳීම පිණිස ය. ඒ ආනිසංස පිණිස ය.

ආ ගිය මඟ සැලකීම කවර අර්‍ථයක් කවර ආනිසංසයක් පිණිස ද, කර්‍මස්ථාන වීථියට මනා කොටැ පිළිපැදීම පිණිස ය. එම ආනිසංස පිණිස ය.

ඒ යෝගාවචර ආනිසංස දක්මින් රත්න සංඥා වැ ගෞරව උපදවා ප්‍රිය කරමින් “ඒකාන්තයෙන් මම මේ ප්‍ර‍තිපදායෙන් ජරා මරණයෙන් මිදී ගන්නේමි”යි ඒ අරමුණෙහි සිත බැඳැලන්නේ ය. හේ වස්තුකාම කේලශකායෙන් වෙන් වැ -පෙ- ප්‍ර‍ථම ධ්‍යානය ලබා ගෙනැ වාසය කරන්නේ ය. ඔහු විසින් මෙසේ රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය ලබා ගන්නා ලද්දේ වේ දිව්‍ය විහරණය ද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු ද ලබා ගන්නා ලද්දේ වෙයි.”

මේ අර්‍ථය ම මතු විස්තර කරති.

අටුවායෙහි මෙසේ දැක්වුණු හෙයින් යමෙක් තමාගේ අසංයත වූ සිත දමනය කැරැ ගැන්ම සඳහා මළ සිරුරු දක්නට යන්නේ නම් හේ ගෙඩිය ගසා ගණයා රැස් කරවා ගෙනැ ද යේවා. කර්‍මස්ථාන ශීර්‍ෂයෙන් යන්නහු විසින් එසේ නො කොටැ දෙවන්නකු හෝ නො ගෙනැ එකලා වැ මූල කර්‍මස්ථානය සිතින් නො හැරැ එම සිහි කරමින් සොහොනෙහි සුනඛාදීන්ගෙන් වන උපද්‍ර‍ව වළකනු සඳහා සැරයටිය හෝ අන්කිසි යෂ්ටියක් හෝ ගෙනැ මූල කර්‍මස්ථානය මෙනෙහි කිරීමෙන් නුමුළා සිහි ඇති වැ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් මනා ව සංවර කොටැ ගෙනැ බැහැර නො ගිය සිහි ඇති වැ ගමන් කළ යුතු.

විහාරයෙන් නික්මෙත් ම අසුවල් දිගැ අසුවල් දොරින් නික්මුණෙමි යි ද්වාරය සිහියේ තබා ගත යුතු. ඉක්බිති යම් මඟකින් යන්නේ නම් ඒ මඟ “මෙය නැගෙනහිරට අභිමුඛ ව ගියේ ය, මෙය බස්නාහිරට අභිමුඛ වැ ගියේ ය, මෙය උතුරු දිගට - මෙයට දකුණු දිගට - මෙය සතර අනු දිගට අභිමුඛ වැ ගියේ ය යි ව්‍යවස්ථා කැරැ ගත යුතු. තවද මෙතැන දී වමට ගියේ ය, මෙතැන දී දකුණට ගියේ ය, මෙ තැන ගල ය, මෙ තැන තුඹස ය, මෙ තැන රුක ය, මෙ තැන ගස ය, මෙ තැන වැල යයි මෙසේ ගමන් මඟ ව්‍යවස්ථා කැරැ ගනිමින් නිමිත්ත ස්ථානයට යා යාතු ය. එසේ යත ද උඩු සුළඟට නො යා යුතු. කුමක් හෙයින් ද උඩු සුළඟට යත් ම කුණු ගඳ නැහැයේ වැදී හිස් මුල් හෝ අලළන්නේ ය. ආහාර හෝ නංවන්නේ ය. මේ නියා කුණප ස්ථානයකට ආයෙමි යි විපිළිසර හේ දනවන්නේ ය. එබැවින් උඩු සුළඟ හැරැ යටි සුළඟට යා යුතු අතර ප්‍ර‍පාතයෙක් හෝ පර්‍වතයෙක් හෝ පහණෙක් හෝ වැටෙක් හෝ කටුලැහැබෙක් හෝ දියකඩෙක් හෝ මඩ බිමෙක් හෝ වේ නම් එයින් උඩු සුළඟට යා නො හැකි නම් සිවුරු කනින් නැහැය වසා ගෙනැ යා යුතු.

මේ ඒ යෝගී හට ගමන් වත යි.

එසේ ගියහු විසින් ලා හෙලා අශුභ නිමිත්ත නො බලා දිසා ව්‍යවස්ථා කැරැ ගත යුතු. ඇතැම් දිසා භාගයෙක සිටියහුට අරමුණ විභූත වැ නො වැටහෙයි. සිත ද භාවනාවට යෝග්‍ය නො වෙයි. එබඳු දිසාභාග හැරැපියා අරමුණ විභූත වැ වැටහෙන සිත ද භාවනාවට යෝග්‍ය වන දිසාභාගයෙක සිටිය යුතු. එසේම වාතයට මුහුණ ලා ද පිටු පා ද නො සිටිය යුතු. වාතයට මුහුණ ලා සිටුත් ම කුණු ගඳින් පෙළීමෙන් සිත වික්‍ෂිප්ත වෙයි. වාතයට පිටුපා සිටුත් හොත් කුණපයට අධිගෘහිත අමනුෂ්‍යයෝ වූ නම් ඔහු කිපී අනර්ථ කරති. එබැවින් මඳක් අයින් වැ ඉතා අනුවාතයෙහි නො සිටිය යුතු. එසේ සිටින්නහු විසිනුදු ඉතා දුර වැ ද ඉතා ළං වැ ද නො සිටිය යුතු. පා ළඟ හෝ හිස ළඟ හෝ නො සිටිය යුතු. කුමක් හෙයින් ද ඉතා දුර වැ සිටින කල්හි අරමුණ විභූත නොවේ. ඉතා ළංවැ සිටින කල්හි බිය උපද්දි පාළඟ හෝ ඉස ළඟ හෝ සිටි කල්හි අසුභය මුළුල්ල නො පෙනෙයි. එබැවින් ඉතා දුරත් නොවැ ඉතා ළඟත් නොවැ පහසුයෙන් බැලිය හැකි මැද හරියේ සිටිය යුතු. එසේ සිටැ “තස්මිං පදෙසෙ පාසාණං වා -පෙ- ලතං වා සනිමිත්තං කරොති” යි අටුවායෙහි කී පරිදි නිමිති සැලකිය යුතු.