ප්‍රීති විභාගය

star_outline

ඒ මේ ප්‍රීති විභාගය ඛුද්දික පීති, ඛණික පීති, ඔක්කන්තීක පීති, උබේබග පීති, එරණ පීතිය යි පඤ්චවිධ වේ.

මෙයින් ඛුද්දක පීතිය - ශරීරයෙහි ලොමුදහ ගැන්වීම් මාත්‍ර‍යක් කරන්නට සමර්‍ථ ය. (ඛුද්දික පීති නම් කුඩා ප්‍රීතිය)

ක්‍ෂණික ප්‍රීතිය - ක්‍ෂණ ක්‍ෂණයෙහි විදුලි කෙටීමක් සේ ක්‍ෂුද්‍ර‍ ප්‍රීතියටට වඩා බලවත් ව උපදී.

ඔක්කන්තික පීතිය - මුහුදු වෙරළ පැතිරෙන මුහුදු රළ සෙයින් ශරීරය පිනවමින් පැතිරැ බිඳෙයි. (මෙය ඔකඳකෙළි කෙළවන ක්‍ෂණික ප්‍රීතියට වඩා බලවත් එකෙකි.)

උබේබගපීතිය - එයටත් වඩා බලවත් ය. කය උඩගෙන ගොස් අහසෙහි නඟාපියන පමණට පමුණුවයි.

ඒ එසේ ම ය - පුණ්ණාගල්ල (පණගල) නම් විහාරවාසී මහාතිස්ස තෙරුන් වහන්සේ පසළොස්වක පොහෝදා සවස එහි චෛත්‍ය මලුවට පැමිණැ සඳ එලිය දැක රුවන් වැලි සෑ දිශාවට හැරී “එකාන්තයෙන් මේ වේලායෙහි සිව් පිරිස මහ සෑය වඳිති”යි පෙර මහා සෑයෙහි පූජා දුටු විරූ හෙයින් බුද්ධාරම්මණ උබේබග පීති උපදවා සුණුබිම ගැසූ විසිතුරු පන්දුවක් සේ අහසට නැඟී මහ සෑ මළුයෙහි පිහිටි සේක.

එසේ ම ගිරිහඬුමහවෙහෙරට සමීප වත්තකාල නම් ගම්වැසි එක් කුලදුහිතෘවක් බලවත් වූ බුද්ධාලම්භන උබේබග ප්‍රීතියෙන් අහස නැංගාය. ඒ මෙසේ ය.

කුලදුවකගේ උද්වේග ප්‍රීතිය

ඇයගේ මව්පියෝ එක් දවසෙක සවස බණ අසනු සඳහා විහාරයට යන්නට සැරසී ‘දුවණියනි! ඔබ ගර්භිණීය. අවේලායෙහි ඇවිදීම නුසුදුසු ය. අපි ඔබ ද සිහිපත් කොටැ බණ අසම්හ”යි කියා නැඟී ගියාහ. ඕ තොමෝත් යායැටි වුව ද මව්පියන්ගේ වචනය ඉක්මවන්නට අසමර්‍ථ වැ ගෙදොර රඳා මිදුලේ සිටැ සඳ පහනින් ගිරිහඬුයෙහි ආකාශ චෛත්‍ය මලුව බලන්නී එහි පහන් පූජාව දුටුවා ය. සිව් පිරිස සුවඳ මලින් සෑය පුදා පැදකුණු කරති. භික්‍ෂුසංඝයාගේ ගණසජ්ඣායනා ශබ්දය ද ඇසේ. “විහාරයට ගොස් මෙබඳු සෑ මලුවෙක ඇවිදින්නට මෙ බඳු මධුර ධර්‍මකථා අසන්නට ලැබුවෝ අහෝ එකාන්තයෙන් මහා පිනැත්තෝ ය”යි මුතු රැසක් බඳු චෛත්‍යය බලත් ම ඇයට උබේබග ප්‍රීතිය උපන. ඕ අහස නැඟී මව්පියන්ට පෙරාතුවම ආකාශ චෛත්‍යාඞ්ගණයෙහි බැස සෑය වැඳැ බණ අසමින් සිටියාය. මව්පියෝ අවුත් විස්මිත වැ “දරුව උඹ කවර මඟකින් අවුද”යි විචාළහ. ‘මම අහසින් ආමි. මඟකින් නො ආමි”යි ඕ කීවා ය. “දරුව අහසින් යන්නෝ රහතන්වහන්සේ ය. උඹ කෙසේ අවුදැ”යි නැවත කී කල “සඳ පහනින් චෛත්‍යය දිශාව බලාගෙනැ සිටි මට බලවත් වූ බුද්ධාරම්මණ ප්‍රීතියෙක් පහළ විය. එයින් මම මා උන් සිටි බව නො දත්තෙමි. ගත් අරමුණින් ම අහස නැඟැ සෑ මලුයෙහි පිහිටියෙහි”යි ඕ කීවාය. මෙසේ උබේබග ප්‍රීතිය නඟා පියන තරම් ය.

එරණ ප්‍රීතිය - උපන් කල සකල ශරීරය පිඹ පිරූ විතක් මෙන් ද, මහා ජල ප්‍ර‍වාහයකින් පිරුණු පර්‍වත කුක්‍ෂියක් මෙන් ද, හාත්පසින් ස්පර්‍ශ කරන ලද්දේ වේ.

මේ පංචවිධ ප්‍රීති ගැබ් ගැනීමෙන් - මිහිකිරීමෙන් කාය පස්සද්ධි - චිත්තපස්සද්ධි යන ද්විවිධ පස්සද්ධි පුරන්නේ ය. පස්සද්ධි ගැබ් ගැනීමෙන් - මිහි කිරීමෙන් කායික චෛතසික ද්විවිධ සුඛ පුරන්නේ ය. ඒ සුඛ ගැබ් ගැනීමෙන් - මිහි කිරීමෙන් ක්‍ෂණික සමාධි, උපචාරසමාධි, අර්පණාසමාධි යන ත්‍රිවිධ සමාධි ද පුරන්නේ ය. ඒ ත්‍රිවිධ සමාධි අතුරෙන් අර්පණාසමාධියට මුල් වැ වැඩෙන සමාධි සම්ප්‍ර‍යුක්ත යම් එරණ ප්‍රීතියෙක් වේ ද එය “පීති - සුඛං” යන මෙහි ලා ප්‍රීතිය යි අදහස් කරන ලදී.

සුඛං” සුඛ නම් සුවය. “සුට්ඨු වා ඛාදති ඛණති ච කායචිත්තා බාධන්ති සුඛං” යනු එහි විග්‍ර‍හ ය. “යම් ධර්‍මයෙක් කාය චිත්තා - බාධ මනා වැ කා දමන්නේ ද සාරාදමන්නේ ද එය සුඛ නම් වේ” යනු එහි අර්‍ථ යි. එහි ලක්‍ෂණය සාත බව ය. - හෙවත් ශීතල මධුර ස්වභාව ය. රසය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් වඩනා බව ය. පච්චුපට්ඨානය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන්ට අනුග්‍ර‍හ කරන බවයි.

මේ ප්‍රීති හා සුඛ ප්‍ර‍ථමධ්‍යානාදි කිසියම් සිතෙක නො වෙන්ව එකවට යෙදෙන්නේ නමුදු ඉෂ්ටාලම්භන ප්‍ර‍තිලාභ වශයෙන් උපදනා තුෂ්ටිය ප්‍රීති නමි. ලත් ආලම්බන රසානුභවය සුඛ නමි. ප්‍රීති ඇති තැනැ සුඛය ද ඇත්තේ ය. එහෙත් සුඛ ඇති තැනැ නියමයෙන් ප්‍රීති ඇතැ යි නොකිය යුතු. ප්‍රීතිය සංස්කාර ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙක. සුඛය වේදනා ස්කන්‍ධයට ඇතුළත් ධර්‍මයෙක. ප්‍රීතිය වනාහි කාන්තාර ගමනින් විඩාවට පත් පුරුෂයකුහට වනය හෝ ජලය දැකීමෙහි දී ද ඇසීමෙහිදී ද ඇති වන ස්වභාවය බඳු ය. සුඛය ඒ වන සෙවනට පැමිණීමෙහි දී හා ජලය පරිභෝග කිරීමෙහි දී ඇතිවන ස්වභාවය බඳු ය. ඒ ඒ අවස්ථායෙහි ප්‍ර‍කට බැවින් මෙසේ කියන ලදැයි දත යුතු.

මේ ප්‍රීතිය ද මේ සුඛය ද යම් ධ්‍යානයකට හෝ යම් ධ්‍යානයෙක ඇත්නම් ඒ ධ්‍යානය “පීති - සුඛ” ය යි කියනු ලැබේ නොහොත් ධර්‍මය ද විනය ද ධර්‍මවිනය වූ සේ ප්‍රීතියත් සුඛයත් ප්‍රීතිසුඛය. විවේකයෙන් ජනිත ප්‍රීති - සුඛ යම් ධ්‍යානයකට හෝ යම් ධ්‍යානයෙක හෝ ඇත්නම් ඒ ධ්‍යානය විභක්ත්‍යලොප වශයෙන් “විවෙකජ - පීතිසුඛ” වේ. මෙසේ ගත් කල්හි ධ්‍යානය සේම ප්‍රීති-සුඛ ත් විවේකයෙන් ජනිත වූයේ වේ. ආදියෙහි ‘විවෙකජං පීතිසුඛං” යි දෙපදයක් කොටැ ගත් සේ ම මේ අර්‍ථයෙන් “විවෙකජං-පීතිසුඛං”ය යි එක පදයක් වශයෙන් ගත ද වරද නො වේ. විභඞ්ගයෙහි දී වනාහි “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං”[1] මේ සුඛය මේ ප්‍රීතියෙන් යුක්ත ය’ යනාදි ක්‍ර‍මයෙන් වදාළේ ය. එහි දු අර්‍ථය මෙසේ මැ දත යුතු යි.

පඨමං ඣානං = ප්‍ර‍ථම වූ ධ්‍යානය. මෙය මතු ප්‍ර‍කාශ වේ.

උපසම්පජ්ජ = එළඹැ - පැමිණ තව ද උපසම්පජ්ජයන්නට ලබාගෙනැ - නිපදවා ගෙනැ යන අර්‍ථය ද කිය හැකි ය. විභඞ්ගයෙහි “උපසම්පජ්ජ‘ති පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සමාපත්ති පස්සනා පච්ඡිකිරියා උපසම්පදා”[2] යි වදාරන ලදි. උපසම්පජ්ජ යනු ප්‍ර‍ථම ධ්‍යානය ලැබීම - මනා වැ ලැබීම - පැමිණීම - මනා වැ පැමිණීම නුවණින් දැක්ම - සාක්‍ෂාත් කිරීම උපදවීම යනු එහි අර්‍ථ යි.

විහරති = වාසය කරයි - ධ්‍යානයට සුදුසු ඉරියව්වෙන් යට දැක්වූ පරිදි ධ්‍යානයෙන් යුක්ත වැ ආත්මභාවයාගේ පැවැත්ම කෙරෙ යි කී නියා ය. “විහරති ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති තෙන වුච්චති විහරති.”[3] යනු විභඞ්ග යි.

“පඤ්චාඞ්ග ප්‍ර‍හීණ පඤ්චාඞ්ග සමන්නාගත වූ”යි කියූ තන්හි ප්‍ර‍හීණ වන පඤ්චාඞ්ග නම් කාමච්ඡන්‍ද, ව්‍යාපාද-ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා යන මොහු ය. මොවුන් ප්‍ර‍හීණ නො වුවහොත් ධ්‍යානයෙක් න්ම කැල ම නූපදනේ ය. එබැවින් මේ පස ධ්‍යාන පිළිබඳ ප්‍ර‍හීණාඞ්ගය යි කියනු ලැබේ. ධ්‍යාන ක්‍ෂණයෙහි ප්‍ර‍හීණ වන්නේ මේ පස පමණෙක් ද නැත. අන්‍ය වූද අකුශල ධර්‍මයෝ ප්‍ර‍හීණ වෙති. එතකුදු වුව ද මේ පස විශේෂයෙන් ම ධ්‍යානයට අන්තරායකර ය.

ඒ එසේ මැ යි - කාමච්ඡන්‍දයෙන් නොයෙක් අරමුණෙහි පෙළඹී ගිය සිත ඒකාග්‍ර‍තාරම්මණයෙහි සමාහිත නොවේ. එසේ ම කාමච්ඡන්‍දාහිභූත සිත කාමධාතු ප්‍ර‍හාණ ප්‍ර‍තිපත්ති පිණිස ද නොපවත්නේ යඤ ව්‍යාපාදයෙන් අරමුණෙහි ගැටෙන සිත නිරතුරුව නො පවත්නේ ය. ථීනමිද්ධයෙන් අතිභූත වූ සිත කර්‍මන්‍ය නො වන්නේ ය. ‘භාවනා කර්‍මයට යෝග්‍ය නොවේ යයි සේ යි. උද්ධච්චකුක්කුච්චයෙන් පීඩිත වූ සිත නො සන්සුන් බැවින් ම අරමුණෙහි භ්‍ර‍මණය කරන්නේ ය. විචිකිච්ඡායෙන් උපහත වූ සිත ධ්‍යානාධිගම සාධක ප්‍ර‍තිපත්තියට නො නඟින්නේ ය. මෙසේ විශේෂයෙන් ධ්‍යානාන්තරායකර බැවින් මේ පඤ්ච නීවණයෝ ප්‍ර‍හාණඞ්ගයෝ යයි කියන ලදු.

  1. වි: ප: ඣානවි: 194

  2. වි: ප: ඣානවි: 195

  3. වි: ප: ඣානවි: 195