ප්‍රථම ධ්‍යාන ස්වභාවය ප්‍රකාශ කැරැ දක්වන “විවිච්චෙච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යනාදි දේශනායෙහි “විවිච්චෙව කාමෙහි” යන්නෙහි අර්‍ථය ‘කාමයෙන් වෙන් වැ ප්‍රහාණ වශයෙන් කාමයෙන් ඉවත් වැ’ යනු යි. මෙහි “එව” යන නිපාතය නියමාර්‍ථ යි. එය නියමාර්‍ථ බැවින් ප්‍රථම ධ්‍යානයට පැමිණ වසන සමයෙහි අවිද්‍යමාන වූ ද කාම එයට විරුද්‍ධ බව ද, කාම පරිත්‍යාගයෙන් ම එයට පැමිණෙන බව ද දක්වන්නේ යි. තවද පැහැදිලි තරත්හෝත අන්‍ධකාරය ඇති කල්හි පහන් ආලෝකය නො පවත්නා සේ යම් කාම කෙනෙකුන් ඇති කල්හි මේ ප්‍රථම ධ්‍යානය නො පවත්නේ ද, ඒ කාමයෝ මේ ප්‍රථම ධ්‍යානයට ප්‍රතිපක්‍ෂයෝ ය. මෙතෙර හැරැපීමෙන් එතෙරට පැමිණීම සේ ඒ කාම පරිත්‍යාගයෙන් ම මේ ප්‍රථම ධ්‍යානයට පැමිණීම වන්නේ ය, යන නියමය මේ “ඒව” ශබ්දයෙන් හඟවන්නේ යයි දත යුතු.
මෙහිලා ප්‍රශ්නයෙකි. ඒව ශබ්දය උත්තරපදයෙහි ද නො දක්වා කුමක් හෙයින් පූර්‍වපදයෙහි පමණක් දක්වන ලද්දේ ද, කිම? අකුශල ධර්‍මයන්ගෙන් නො වෙන්වැ ද ධ්‍යාන උපදවා විසිය හැකි ද
එසේ නොසිතිය යුතු. කාම නිස්සරණ හෙයින් ම එය ප්‍රථම පදයෙහි යොදන ලදී. ධ්‍යාන වනාහි සියලු කාම භවයන්ගේ සමතික්‍රමණයට ප්‍රතිපත්ති බැවින් ද, ක්ලේශ කාමයට ප්‍රතිපක්‍ෂ බැවින් ද, කාමයන්ගේ ම නිස්සරණය යි. “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං”[1] යි. බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. ‘නෙක්ඛම්මය යන යමෙක් වේ ද එය කාමයන්ගේ නිස්සරණය ය’ යනු එහි අර්‍ථ යි. මෙහි නෙක්ඛම්ම නම් ධ්‍යාන ය. (මෙයින් ව්‍යාපාදයට විරුද්‍ධ මෛත්‍රිය මෙන් ද, විහිංසාවට විරුද්‍ධ කරුණාව මෙන් ද ධ්‍යානයට කාමරාගය ඉඳුරා විරුද්‍ධ ය යි කී නියා දත යුතු)
තව ද “ඉධෙව භික්ඛවෙ සමණො ඉධදුතියො සමණො”[2] යනාදි දේශනා පාළියෙහි මෙන් මෙහි දු උත්තර පදයෙහිත් “ඒව” ශබ්දය යොදා කිය යුතු. කාමයන්ගෙන් පමණක් නොවේ. අන්‍ය නීවරණ සංඛ්‍යාත අකුශලයන්ගෙන් ද නො වෙන් වැ ධ්‍යාන උපදවා වසන්නට නො හැක. එහෙයින් “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි” යි දෙපදයෙහි ම “ඒව” ශබ්දය යොදා ගත යුතුයි. එවිට කාමයන්ගෙන් වෙන්වැම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැම යන අර්‍ථය ලැබේ. (මහණෙනි, සෝවාන් මහණ ද මේ ශාසනයෙහි ම ය. දෙවන සකෘදාගාමි මහණ ද මේ ශාසනයෙහි ම ය යනු “ඉධෙව භික්ඛවෙ සමණො” යනාදි පාඨයෙහි අර්‍ථ යි.)
මේ දෙපදයෙහි දැක්වුණු විවිච්ච යන සාධාරණ වචනයෙන් තදඞ්ගවිවේක-විෂ්කම්භනවිවේක-සමුච්ඡේදවිවේක ද, චිත්තවිවේක-කායවිවේක-උපධිවිවේක යන ත්‍රීවිධවිවේක ද යන සියලු විවේකයෝ සංග්‍රහ වෙති. එතකුදු වුවත් මේ ධ්‍යාන කථෘයෙහි කාය විවේක චිත්තවිවේක - විෂ්කම්භනවිවේක යන ත්‍රිවිධ විවේක පමණක් ඇතුළත් වන බව දත යුතු යි.
කාමෙහි යන මේ පදයෙන් “කතමෙ වත්‍ථුකාමා මනාපියා රූපා”[3] වස්තුකාම කවරේද මන වඩන රූප” යනාදීන් නිර්‍දෙශ පාළියෙහි දැක්වුණු වස්තුකාම ද
“ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො ඉමෙ වුච්චන්ති කාමා”[4] යනාදීන් නිර්‍දෙශයෙහි හා විභඞ්ගයෙහි දැක්වුණු ක්ලේශකාම ද යන සියල්ල සඞ්ග්‍රහ වන බව දත යුතු. “ඡන්‍දය කාමය රාගය කාමය, ඡන්‍දරාගය කාමය, සඞ්කල්පය කාමය, රාගය කාමය, සඞ්කල්ප රාගය කාමය, මොහු කාමයෝ යි කියනු ලැබෙත් යනු පාළියෙහි අර්‍ථ යි. (ප්‍රාර්‍ථනාකාරයෙන් ප්‍රවෘත්ත වූ දුර්‍වල ලෝභය ඡන්‍දනාර්‍ථයෙන් ඡන්‍ද නම් වූයේ කැමති වන අර්‍ථයෛන් කාම නම් ව්. සෙස්සෙහි දු මෙමෙ නය යි එයට වඩා බලවත් ලොභය රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. එයට වඩා බලවත් බහුල රාගය ඡන්‍දාරාග නම් වේ. නිමිත්තානුඛයඤ්ජනයන්ගේ සඞ්කල්පයට හේතු වූ ලෝභය සඞ්කල්පරාග නමි. එය වඩා බලවත් වූයේ රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. සඞ්කල්ප වශයෙන් ප්‍රවෘත්ත වෙසෙසින් බලවත් වූ ලෝභය සඞ්කල්පරාග නම් වේ යනු පැරකුම්බා සන්න ය.)
මෙසේ ගත් කල්හි “විවිච්චෙව කාමෙහි” යන්නෙන් “වස්තුකාමයෙන් වේන වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් කාය විවේකය කියවේ. “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන්නෙන් “ක්ලේශ කාමයෙන් හා සියලු අකුශලයෙන් වෙන් වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් චිත්ත විවේකය කියවේ. පළමු දැක්වුණු වස්තුකාම විවේක වචනයෙන් කාම සුඛ හැරැපීම ද, දෙවුන දැක්වුණු ක්ලේශ කාම විවේක වචනයෙන් ධ්‍යාන සුඛ ලැබැ ගැන්මද ප්‍රකාශ විණි.
මෙසේ වස්තු කාම - ක්ලේශ කාම විවේකය කියවෙන හෙයින් ම මේ දෙපද අතුරෙන් පළමු වැන්නෙන් තෘෂ්ණාදි සංක්ලේශොත්පත්තියට හේතු වූ වස්තු දුරු කිරීම ද, දෙවැන්නෙන් ඒ සංක්ලේශ දුරු කිරීමද, එසේ ම පළමු වැන්නෙන් ලෝල භාව හේතු දුරු කිරීම ද, දෙවැන්නෙන් බාල භාව දුරු කිරීම ද, පළමුවැන්නෙන් කාම ගුණාධිගමයට හේතු වූ ප්‍රාණඝාතාදිය අශුද්ධ ප්‍රයෝග වන බැවින් එයින් වෙන්වීම් සංඛ්‍යාත ප්‍රයෝග ශුද්ධිය ද, දෙවැන්නෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනයෙන් හා විවපනිශ්‍රය ධ්‍යාන සංවර්‍ධනයෙන් වන ආශය පොෂණය ද, ප්‍රකාශ කරන ලද්දේ යයි දත යුතු. “කාමෙහි” යි වදාළ කාම අතුරෙන් වස්තු කාම පක්‍ෂයෙහි ක්‍රමය මෙසේ ය.
ක්ලේශකාම පක්‍ෂයෙහි ඡන්‍ද, රාග, කාමාසව, කාමරාග සංයොජන, රූපතෘෂ්ණා යනාදි නොයෙක් භේද ඇති කාමච්ඡන්‍දය කාමයයි කියන ලද්දේ ය. හේද අකුසලයෙහි සංග්‍රහ වන නමුදු “තත්‍ථ කතමෙ කාමා ඡන්‍දො කාමො”[5] යනාදීන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ වන බැවින් අකුශල සාමාන්‍යයෙන් නො ගෙනැ වෙන් කොටැ ස්වරූපයෙන් දක්වන ලදි. ක්ලේශ කාම හෙයින් පූර්‍ව පදයෙහි හෝ අකුශල පර්‍ය්‍යාපන්ත බැවින් දෙවෙනි පදයෙහි හෝ වදාරන ලද්දේ යයි ද කිය යුතු. ඒ කාමය නොයෙක් භේද ඇති බැවින් “කාමස්මා”යි ඒක වචනයෙන් නො දක්වා “කාමෙහි”යි බහුවචනයෙන් දැක්වූහ. දිට්ඨි-මානාදි වූ සෙසු අකුසල ඇත ද, විභඞ්ගයෙහි “තත්‍ථ කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්‍දො”[6] යනාදීන් නීවරණ ම අකුසල වශයෙන් දක්වන ලදී. ධ්‍යානාඞ්ගයන් තමන්ට විරුද්‍ධ වූවන්ට ප්‍රතිපක්‍ෂ බව දැක්වීම් වශයෙනි.
ඒ එසේ මැයි :- නීවරණයෝ ධ්‍යානාඞ්ගයන්ට ප්‍රතිපක්‍ෂයෝ ය. ධ්‍යානාඞ්ග විසින් නීවරණ වනසනු ලැබේ.
කියන ලද මැයි - පෙටකයෙහි - “සමාධි කාමච්ඡන්‍දස්ස පටිපක්ඛො, පීති ව්‍යාපාදස්ස, වීතක්කො ථීන මිද්ධස්ස, සුඛං උද්ධච්ච-කුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡාය”යි ‘සමාධි සංඛ්‍යාත ඒකග්ගතාව කාමච්ඡන්‍දයට ප්‍රීතිය ව්‍යාපාදයට ද විතර්‍කය ථීන මිද්ධයට ද, සුඛය උද්ධච්ච-කුක්කුච්චයට ද, විචාරය විචිකිච්ඡාවට ද විරුද්ධය, යනු එහි අර්‍ථ යි.
මෙසේ මේ “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි”[7] යන දෙපද අතුරෙන් “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දයාගේ විෂ්කම්භන විවේකය ද, “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් පඤ්චනීවරණයන්ගේම විෂ්කම්භන විවේකය ද කියවිණි.
තව ද අගහිත ගහණ වශයෙන් ගතහොත් (අගහිත ගහණ න්ම මුල පෙදෙන් නොගත් දේ පසු පෙදෙන් ගැන්මයි) පළමු වන “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍ද නීවරණයාගේ ද, දෙවන “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දය හැරැ ව්‍යාපාදාදි සෙසු සතර නීවරණයන්ගේ ද, විෂ්කම්භන විවෙකය කියන ලද්දේ ය. එසේම පළමු පෙදෙන් ත්‍රිවිධ අකුශල මූල අතුරෙහි පඤ්චකාම ගුණ භේද විෂයක ලෝභයාගේ ද, දෙවන පෙදෙන් ආඝාත වස්තු භේදාදි විෂයක ද්වේෂ මෝහයන්ගේ ද, එසේ ම ඕඝ අතුරෙහි පළමු පෙදෙන් කාමොඝයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ඕඝයන්ගේ ද, යෝග අතුරෙහි පළමු පෙදෙන් කාම යෝගයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ යෝගයන්ගේ ද, ආසව අතුරෙහි පළමු පෙදෙන් කාමාසවයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ආසවයන්ගේ ද, උපාදාන අතුරෙහි පළමු පෙදෙන් කාමුපාදානයාගේ ද, දෙවන පෙදෙන් දිට්ඨාදි සෙසු ත්‍රිවිධ උපාදානයන්ගේ ද, කායග්‍රන්‍ථ අතුරෙහි පළමු පෙදෙන් අභිජ්ඣා කාය ග්‍රන්‍ථයාගේ ද, දෙවන පෙදෙන් ව්‍යාපාදාදි සෙසු ත්‍රිවිධ කාය ග්‍රන්‍ථයන්ගේද, සංයෝජන අතුරෙන් පළමු පෙදෙන් කාම රාග සංයොජනයාගේ ද, දෙවෙන පෙදෙන් සෙසු රූපරාගාදි නවවිධ සංයෝජනයන්ගේ ද, භව මූල අතුරෙහි පළමු පෙදෙන් තෘෂ්ණාවගේ හා තත් සම්ප්‍රයුක්තයන්ගේ ද, දෙවෙන පෙදෙන් අවිද්‍යාවගේ හා තත් සම්ප්‍රයුක්තයන්ගේ ද, අකුසල සිත් අතුරෙහි පළමු පෙදෙන් ලෝභ සම්ප්‍රයුක්ත අෂ්ටවිධ අකුසල චිත්තයන්ගේ ද, දෙවන පෙදෙන් දෝෂ = මෝහ සම්ප්‍රයුක්ත සෙසු චතුර්විධ අකුසල චිත්තයන්ගේ ද විෂ්කම්භන විවේකය කියන ලදැ යි දත යුතු යි.
“විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි”
යන මේ පදයන්ගේ අර්‍ථ ප්‍රකාශය යි.
මෙතෙකින් ප්‍රථම ධ්‍යානය පිළිබඳ ප්‍රහාණාඞ්ග දක්වා ඉක්බිති සම්ප්‍රයොගාඞ්ග දක්වන්නට “සවිතක්කං සවිචාරං” යනාදිය වදාළේ ය. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ යනු එහි අර්‍ථ යි.