“පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවන පච්චයෙන පච්චයො”[1] පළමු පළමු කුශල ධර්‍මයෝ පසු පසු කුශල ධර්‍මයන්ට ආසෙවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙති’යි පට්ඨානයෙහි වදාළ බැවින් ආසේවන ප්‍රත්‍යය ලැබීමෙන් පසු පසු ධර්‍ම බලවත් වේ. එ එබැවින් සවැන්නෙහි ද, සත්වැන්නෙහි ද අර්පණා වන්නේ යයි ආභිධම්මික ගෝදත්ත ස්ථවිරයන්වහන්සේ කියන සේක. එය සූත්‍ර-සූත්‍රානුලොම ආචාර්‍ය්‍යවාදයන් හා නො සැසඳෙන බැවින් ස්වකීය මති මාත්‍රයෙකැ යි අටුවාචාරීන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදි. අර්පණා වන්නේ සතරවන පස්වන ජවන්හිම ය. භවඞ්ගාසන්න බැවින් එයින් බ්බෙහි ජවන් හුණුයේ නම් වෙයි යනු අටුවා මත යි. මෙසේ විචාරණය කොට මැ කියූ බැවින් අටුවා මතය ප්‍රතික්‍ෂේප කළ හැකි නො වේ.
ඒ එසේ මැ යි :- ඡින්නතටාභිමුඛ වැ දිවෙන පුරුෂයෙක් ඒ තට පර්‍ය්‍යයන්තයෙහි පය තබා සිට ගන්නට අසමර්‍ථ වැ තටයට ම වැටෙන්නා සේ භවාඞ්ගයට ආසන්න බැවින් සවැන්නෙහි හෝ සත්වැන්නෙහි නො වැ සතරවැන්නෙහි හෝ පස්වැන්නෙහි ම අර්පණා වන්නේ යයි දත යුතු. ඒ අර්පණා වනාහි ඒක චිත්තක්‍ෂණික ම ය.
අද්ධාන පරිච්ඡේද රහිත තැන් අර්පණා පමණක් නො වේ. සප්තස්ථානයෙක කාලපරිච්ඡේද නැත. කවර සප්තස්ථානයෙක ද 1. ප්‍රථම අර්පණා, 2. ලෞකික අභිඥා, 3. සතර මාර්‍ග, 4. මාර්‍ගාන්තරඵල, 5. රූපාරූපභවයෙහි භවාඞ්ය සඞ්ඛ්‍යාත ධ්‍යාන, 6. නිරොධසමාපත්තියට හේතු වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන, 7. නිරෝධයෙන් නැගෙන්නුගේ ඵල සමාපත්ති-යන සප්ත ස්ථානයෙහි ය.
මෙහි සතර වැන්නට දැක්වුණු මාර්‍ගානන්තර ඵල සිත් තුනකින් මතු නො වන්නේ ය. සවැන්නට දැක්වුණු නිරෝධ සමාපත්තියට හේතු වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත් දෙකෙකින් මතු නො වන්නේ ය. පස්වැන්නට දැක්වුණු රූපා‘රූප භවයෙහි භවාඞ්ග සඞ්ඛ්‍යාත ධ්‍යාන චිත්තයන්ගේ ප්‍රමාණයෙක් නැත. සෙසු සතර තන්හි ම ඇත්තේ එක චිත්තක්‍ෂණයෙකි මෙසේ අර්පණා එක චිත්තක්‍ෂණික බව දත යුතු.
අර්පණාවට අනතුරු වැ භවාඞ්ග පාත වේ. ඉක්බිති භවාඞ්ග සිඳි ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා පිණිස මනොද්වාරාවජිනය උපදී. ඉක්බිති ධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. මෙතෙකින් ඒ යෝගාවචරයා “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති”[2] යි වදාළ පරිදි කාමයන්ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත විචාර සහිත විවිකයෙන් නොහොත් විවේකයෙහි උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධ්‍යානය උපදවා වාසය කරන්නේ ය. මෙයින් ඒ යෝගී විසින් අඞ්ග පඤ්චකයකින් විනිර්මුක්ත වූ අඞ්ග පඤ්චකයකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුක්ත පඨවි කසිණ ප්‍රථම ධ්‍යානය ලබන ලද්දේ යයි කී නියා දත යුතු.