“කුඩා පළිබෝධ ද සිඳැ” යනු කී හෙයින් යම් යම් කුඩා පලිබෝධ ඇත්නම් එ ද සිඳැලිය යුතු. කුඩා පළිබොධ සිඳිය යුතු මෙසේ ය:- දික් වැ වැඩුණු කෙස් නිය කැපිය යුතු. දිරා ගිය සිව්රෙහි දැඩිකම් හෝ ගෙත්තම් හෝ කළ යුතු. කිලිටු සිවුරු රඳා ගත යුතු. පාත්‍රය මල බැඳී ඇත්නම් පිස ගත යුතු. ඇඳ පුටු ආදිය සුද්ධ කළ යුතු යි. මේ “කුඩා පළිබොධ සිඳැ” යන්නෙහි විස්තරය යි.
“සියලු භාවනා විධි නොපිරිහෙලමින් භාවනා කළ යුතු” යනු කී හෙයින් පඨවි කසිණයෙහි පටන් සියලු කර්‍මස්ථාන පිළිබඳ විස්තර කථාව මෙසේ දත යුතු.
යට දැක්වුණු සේ කුඩා පළිබොධ සිඳැ ලූ භික්‍ෂු විසින් පිණ්ඩපාත කොටැ දන් වැළඳීමෙන් පසු භත්තසම්මදය ද දුරු කොටැ ගෙනැ විවේක ස්ථානයෙක සැප සේ හිඳැ අභිනවයෙන් කර ගන්නා ලද හෝ ප්‍රකෘතියෙන් තුබුණු හෝ පෘථිවියෙක නිමිත්ත ග්‍රහණය කළ යුතු. ඒ සඳහා පැරණි අටුවායෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“පඨවි කසිණං උග්ගණහන්තො පඨවිං නිමිත්තං ගණ්හාති කතෙ වා අකතෙ වා සාන්තකෙ නො අනන්තකෙ, සකොටියෙ නො අකොටියෙ, සවටුමෙ නො අවටුමෙ, සපරියන්තෙ අපරියන්තෙ, සුප්පමත්තෙවා සරාවමන්තෙවා, සොතං නිමිත්තං සුග්ගහීතා කරොති සූපධාරිතං උපධාරෙති සුවවත්‍ථිතං වවත්‍ථ පෙති, සො තං නිමිත්තං, සුග්ගහිතං කත්‍වා සූපධාරිතා උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවතථපෙත්‍වා ආනිසංසදස්සාවී රතනසඤ්ඤී හුත්‍වා චිත්තිකාරං උපට්ඨපෙත්වා සම්පියායමානො තස්මිං ආරම්මණෙ චිත්තං උපනිබන්‍ධති. අද්ධා ඉමාය පටිපත්තියා ජරාමරණම්හා මුඤ්චිස්සාමී’ති. සො විවිච්චෙව කාමෙහි - පෙ- පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති”යි.
“පඨවි කසිණය උගන්නා තැනැත්තේ මතු කියනු ලබන ආකාරයෙන් පිළියෙළ කරගන්නා ලද්දා වූ - හෝ එසේ පිළියෙළ කර නො ගත් බලමණ්ඩලාදි වශයෙන් ප්‍රකෘතියෙන් පිහිටි හෝ අන්ත සහිත - කෙළවර සහිත - කුඩා වට්ටියක් හෝ මලාවක් පමණ වූ - පෘථිවි මණ්ඩලයෙහි නිමිත්ත ග්‍රහණය කරන්නේ ය. හෙතෙමේ ඒ නිමිත්ත සුග්ගහීත සූපධාරිත සුවවත්‍ථිත කරන්නේ ය. එසේ සුග්ගහීත සූපධාරිත සුවවත්‍ථිත කොටැ එහි ආනිසංස දක්වමින් රත්න සංඥා ඇති වැ ගෞරව එළවා “ඒකාන්තයෙන් මේ ප්‍රතිපත්තිය පුරා ජරා මරණයෙන් මිදී ගන්නෙමි’ යි සන්තෝෂයෙන් යුක්ත වැ එහි සිත බැඳැ ගන්නේ ය. එයින් ඒ යොගී වස්තු කාම ක්ලේශ කාමයෙන් වෙන් වැ - ප්‍රථම ධ්‍යානය ලැබැ ගෙනැ වසන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත භාවය යි.
මෙ තැන් පටන් ඒ අටුවා පාඨයෙහි අර්‍ථ ප්‍රකාශ කිරීම සමග භාවනා විධිය දක්වනු ලැබේ.
යම් කෙනෙකුන් විසින් යට ජන්මයෙහි දු බුද්ධ ශාසනයෙහි හෝ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් හෝ පැවිදි පැ පඨවි කසිණයෙහි චතුෂ්ක - පඤ්චක ධ්‍යාන උපදවන ලද ද, එබඳු උපනිශ්‍රය සම්පන්න පින්වතුන්ට මල්ලක තෙරුන්ට මෙන් පිළියෙළ කර නො ගත් පෘථිවියෙහි - එ නම් සීසෑ තැන හේ කලවිටි මඬුල්ලෙහි හෝ නිමිත්ත උපදින්නේ ය.
ඒ එසේ මැයි:- මල්ලක තෙරුන් වහන්සේ සීසෑ තැන බලත් ම එ තරම්ම වූ පටිභාග නිමිත්ත උපන්නේ ය. උන්වහන්සේ එය වඩාලා පඤ්චක ධ්‍යාන උපදවා ධ්‍යාන පදස්ථාන කොටැ විදසුන් ද වඩා රහත් වූ සේක.
එසේ කෘතාධිකාර නැතියවුන් විසින් ආචාර්‍ය්‍යයන් වෙත උගත් කර්‍මස්ථාන විධි නො වරද්දා චතුර්විධ කසිණ දොස දුරු කොටැ කසිණ මණ්ඩලය සාධා ගත යුතු. චතුර්විධ කසිණ දොස නම් නීල-පීත-ලොහිත-අවදාත වර්‍ණ මිශ්‍ර වීම යි. එ බැවින් නීලාදි වර්‍ණවත් මැටි නො ගෙනැ රාවණ ගඟ සැඩ පහරින් පහළ භිත්තියෙහි මැටි වැනි අරුණු වන් මැටියෙන් කසිණ මණ්ඩලය සාධා ගත යුතු. “කසිණ මණ්ඩලය සාධා ගනිමි”යි විහාර මැද සාමණේරාදීන් හැසිරෙන තැන නො වැ විහාර කෙළවර පිළිසන් තැනෙක-නැමී සිටි ගල් යටෙක හෝ පන්සැලෙක හෝ සංහාරිම කොටැ හෝ තත්‍රස්ථක කොටැ හෝ සාධා ගත යුතු. (සංහාරිම නම් කැමැති තැනෙක ගෙනැ යා හැකි සේ සාදා ගන්නා කසිණ මණ්ඩලය යි තත්‍රස්ථක නම් එහි මැ තිබෙන සේ සාදා ගන්නා කසිණ මණ්ඩලය යි.) සංහාරිම කසිණ මණ්ඩලය සාධාගන්නවුන් විසින් දඬු සතරෙක රෙදි කඩක් හෝ සමක් හෝ කළාල කඩක් හෝ බැඳැ එහි තණ මුල් කැට ගල් වැලි නැති සීනට ඇඹරූ මැට්ටෙන් එක් වියත් සතරඟුල් වන සේ වට කොටැ ලිම්පනය කැරැ ගත යුතු. එය නිමිත්ත ග්‍රහණයෙන් භාවනා කරන කල්හි බිම තබා ගෙනැ බැලිය යුතු. තත්‍රස්ථක කසිණ මණ්ඩලය සාධාගන්නවුන් විසින් බිම පියුම් කෙමියක ආකාරයෙන් කණු ගසා වැලින් බැඳැ සාධා ගත යුතු. අරුණු වන් මැටි මඳ නම් යට වෙන මැට්ටක් දමා ලා උඩ පිරිසිදු කළ අරුණුවන් මැටියෙන් ම එක් වියත් සතරඟුල් වන සේ වට කොටැ සාධා ගත යුතු.
යට “කුඩා කුල්ලක් හෝ මලාවක් පමණ වූ” ය යි කීයේ මේ ප්‍රමාණය සඳහා ය. ‘අන්ත සහිත - කෙළවර සහිත ය”යි කීයේ පරිච්ඡේදය සඳහා ය.
මෙසේ මේ දැක්වුණු ප්‍රමාණ විසභාග වර්‍ණයකින් පරිච්ඡේද කරගත් කසිණ මණ්ඩලය “ගල්පෙණින් ගහා බෙර ඇසක් සේ සම කර ගත යුතු” ගල් පෙණින් ගහා සම කරගත යුතුය යි කීයේ දඬු පෙණින් ගහා සම කරන කල අරුණුවන් පැහැයට විසභාග වර්‍ණ උපදින බැවිනි. එසේ සම කොටැ ගෙනැ ඒ ස්ථානය ද හැමදැ පියා ජලස්නානය කොටැ ගෙනැ අවුත් කසිණ මණ්ඩලයෙන් දෙරියන් වියත් අතර ඇති තැන පණවා ගත් එක් වියත් සතරඟුල් පා ඇති මොළොක් ඇතිරි අතුළ පුටුවෙකැ හිඳැ ගත යුතු. කසිණ මණ්ඩලයෙන් දෙරියන් වියතකට වඩා දුර වැ උණ් කල කසිණය නො වැටෙන්නේ ය. එයට වඩා ළං වූ කල කසිණයෙහි දෝෂ පැනෙන්නේය. කී ප්‍රමාණයෙන් උස් වූ පුටුවෙක අන් කල කර නමා නැඹුරු ව බැලිය යුතු වන්නේ ය. කී ප්‍රමාණයෙන් පහත් පුටුවෙක උන් කල දෙ දන රිදෙන්නේ ය. එබැවින් එතෙක් ම දුර එතෙක් ම උස පුටුවෙහි හිඳැ “අප්පස්සාඳාකාමා” ‘කාමයෝ අල්පාස්වාදයෝ ය’ යනාදි නියායෙන් කාමයෙහි ආදීනව සලකා කාමනිස්සරණයෙහි සර්‍වදුඃඛසසමතික්‍රමයට උපාය වූ නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත ධ්‍යාන ප්‍රතිලාභයෙහි අභිලාෂා ඇති වැ (‘සම්මාසම්බුද්ධො වත භගවා අවිපරීතධම්මදෙසනත්තා, ස්වාක්ඛාතො ධම්මො එකන්තනීය්‍යානිකත්තා’, සුපටිපන්නොසංඝො යථානුසිට්ඨං පටිපජ්ජනතො” යනාදීන්) බුද්ධ ධර්‍ම-සංඝ යන රත්නත්‍රයෙහි ගුණානුස්මරණයෙන් ප්‍රීති-ප්‍රමෝද්‍ය උපදවා “මේ වූ කලි සියලු බුදු-පසේ-බුදු සව්වන් පිළිපන් නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව ය” යි ප්‍රතිපදායෙහි ගෞරව ඇති වැ “ඒකාන්තයෙන් මම මේ ප්‍රතිපත්තියේ පවිවෙක සුඛ රසයට භාගී වෙමි”යි ධෛර්‍ය්‍ය උපදවා සම ආකාරයෙන් ඇස් දල්වා බලා ගෙනැ නිමිත්ත ග්‍රහණය කිරීමෙන් භාවනා කළ යුතු යි.
පමණට වඩා ඇස් දල්වා ලා බලන්නහුගේ ඇස් (ඉතා සියුම් රූපයක් හෝ ඉතා භාස්වර රූපයක් හෝ බලන විට මෙන්) වෙහෙසට පත් වන්නේ ය. කසිණ මණ්ඩලය ද ලක්‍ෂණ වශයෙන් හෝ වර්‍ණ වශයෙන් වැටහෙන්නෙන් අතිවිභූති වන්නේ ය. එයින් ඔහුට නිමිත්ත නූපදනේ ය. ඉතා මඳ වැ ඇස දල්වා බලන්නහුට කසිණ මණ්ඩලය විභූත නො වන්නේ ය. සිත ද කුසීත පක්‍ෂයෙහි වැටෙන්නේ ය. එයින් ද නිමිත්ත නූපදනේ ය. එහෙයින් උන්මීලනය ද, අතිනිමීලනය ද නො කොටැ කැටපත්හි මුහුණ බලන කල මෙන් සම වූ ආකාරයෙන් ඇස් දල්වා නිමිත්ත ග්‍රහණය කරමින් භාවනා කළ යුතු. වර්‍ණය හෝ ලක්ෂණය හෝ නො සැළකිය යුතු. එසේ වුව ද බල බලා භාවනා කටයුතු බැවින් වර්‍ණය නො හැරැ වර්‍ණය තමහට අශ්‍රය වූ පෘථිවි ධාතුව හා සමාන ගතික කොටැ උත්සද වශයෙන් සසම්හාර පෘථිවියෙහි “පඨවි” යන මේ ලෝක ව්‍යවහාරයෙක් ඇත් ද ඒ ප්‍රඥප්ති ධර්‍මයෙහි සිත පිහිටුවා මෙනෙහි කටයුතු. පඨවි, සෙදිනී, මහී, භුමි, වසුධා, වසුන්‍ධරා යනාදි පෘථිවියට කියන නම් අතුරෙන් තමහට රිසි යෙන තමන් පූර්‍වයෙහි ගන්නා ලද සංඥා වශයෙන් අනුකුල වන-නම කිය යුතු. (මෙහි කිය යුතු ය යි කී හෙයින් ප්‍රථම සමන්නාහාරයෙහි කිසිවෙකු හට යාග්භෙද වන බව හේ විග්භෙද කළ යුතු බව හෝ කියන ලදැයි සැලකිය යුතු.) පෘථිවියට නොයෙක් නම් ඇත ද “පඨවි” යන නාමය ප්‍රකට හෙයින් එ මැ කියමින් භාවනා කළ යුතු. විටෙක ඇස දල්වා ලා ද, විටෙක ඇස පියා ලා ද ආවර්‍ජනය කටයුතු උද්ග්‍රහ නිමිත්ත නූපදින තාක් මෙසේ කාල සියයකු දු, කාල දහසකු දු, ඉන් අධික වැ ද භාවනා කළයුතු. මෙසේ භාවනා කරත් දෑස පියා ලා ආවර්‍ජනය කරන විට ද, ඇස දල්වා ලා ආවර්‍ජනය කරන විට මෙන් කසිණය ආපාත ගත වේ ද එවිට උද්ග්‍රහ නිමිත්ත උපන්නේ නම් වන්නේ ය.
උද්ග්‍රහ නිමිත්ත උපන් කල පටන් එ තැන නො හින්ද යුතු උද්ග්‍රහ නිමිත්ත උපන්නාට පසු වැ ද කසිණ මණ්ඩලයම බල බලා භාවනා කළ හොත් ප්‍රතිභාග නිමිත්ත නූපදී. එහි උන්නොත් ඒ දිසා නො බලා සිටින්නට ද නො හැකිය. එබැවින් එයලත් ඇසිල්ලෙහි එ තැනින් ඉවත් වැ තමන් වසන තැනට පැමිණැ එහි හිඳැ ගෙනැ භාවනා කළ යුතු පා දෙවුමෙන් වන ප්‍රමාද දුරු කැරැ ගන්නා පිණිස එක පටේ වහන් සඟලක් ද, උපද්‍රව දුරු කැරැ ගන්නා පිණිස සැරයටියක් ද, පරිහරණය කළ යුතු කිසියම් අසප්පාය කාරණයකින් ඒ ලත් තරුණ සමාධිය (උග්ගහ නිමිත්ත) නැතිවැ ගියේ නම් වහන් නැඟී සැරයටිය ගෙන ඒ කසිණ මණ්ඩලය තුබුණු තැනට ගොස් නැවත උද්ග්‍රහ නිමිත්ත උපදවා ගෙනැ ආ යුතුයි. එසේ අවුත් සැපසේ හිඳ ගෙනැ භාවනා කළ යුතු. නැවත නැවත ආවර්‍ජනා කළයුතු. තර්‍කාහත - විතර්‍කාහත කළයුතු. එසේ කරත් කරත් අනුක්‍රමයෙන් ඔහුගේ නීවරණ විෂ්කම්භනය වන්නේ ය. කෙලෙස් සන්සිඳෙන්නේ ය. උපචාර සමාධියෙන් සිත සමාධි වන්නේ ය. ප්‍රතිභාග නිමිත්ත උපදනේ යි.