නුසුදුසු විහාර අටලොස

“සමාධි භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක වසමින්” යනු මෙතැන් පටන් විස්තර කරනු ලැබේ. යම් කෙනෙකුන්ට ආචාර්‍ය්‍යයන් හා සමග එක විහාරයෙහි විසීම පහසු වන්නේ නම් එබන්දන් විසින් කර්‍මස්ථානය පිරිසිදු කර ගනිමින් එසේ විසිය යුතු ආචාර්‍ය්‍යයන් වෙත එක් වැ විසීමට අපහසු ඇත්තන් විසින් ගව්වක් හෝ අඩයොදුනක් හෝ යොදුනක් හෝ දුරින් පිහිටි සප්පාය විහාරයෙක් වේ නම් එහි විසිය යුතු. එබඳු තැනෙක වසන්නවුන්ට කර්‍මස්ථානය පිළිබඳ කිසිතැනෙක සැකයෙක් හෝ විස්මරණයෙක් හෝ විණි නම් උදෑසන ම විහාරයෙහි වත පිළිවෙත කොටැ අතරමගදී පිණ්ඩපාත කැරැ ගෙනැ වළඳා වැළඳූ ඉක්බිති ම ආචාර්‍ය්‍යයන් වසන තැනට ගොස් එ දවස ම ඔවුන්ගෙන් කර්‍මස්ථානය ශුද්ධකොටැ ගෙනැ පසුදා ඔවුන් වැඳැ නික්ම පෙරසේ අතර මග පිණ්ඩපාත කොටැ වළඳා විඩා නැතිවැ ම ස්වකිය වාසස්ථානයට පැමිණිය හැකි බැවිනි. යොදුනක් පමණ වත් ආසන්නයෙහි එබඳු සප්පාය විහාරයක් නොලබන්නවුන් විසින් කර්‍මස්ථානය පිළිබඳ සියලු ග්‍ර‍න්ථීස්ථාන විසඳා ආවර්‍ජන ප්‍ර‍තිබද්ධ කොටැ ගෙනැ දුරකට හෝ ගොස් සමාධිභාවනාවට නුසුදුසු විහාර හැරැ සුදුසු විහාරයෙක විසිය යුතු. නුසුදුසු විහාර නම් පහත දැක්වෙන අටලොස් දෝෂ අතුරෙන් එක දෝෂයකින් හෝ යුක්ත විහාර යි.

ඒ අටලොස් දෝෂ නම් :

1. මහා විහාර වන බව,

2. අභිනව විහාර වන බව,

3. දිරාපත් විහාර වන බව,

4. මහා මාර්‍ගසන්ත විහාර වන බව,

5. පැන්කෙමි ඇති විහාර වන බව,

6. පලා කොළ විහාර වන බව,

7. මල් ඇති විහාර වන බව,

8. ඵල ඇති විහාර වන බව,

9. බොහෝ දෙන පතනු ලබන විහාර වන බව,

10. නගරාශ්‍රිත විහාර වන බව,

11. දැව ඇති විහාර වන බව,

12. ක්‍ෂේත්‍ර‍ සීමා ඇසුරු කළ විහාර වන බව,

13. විසභාග පුද්ගලයන් ඇති විහාර වන බව,

14. සමුද්‍ර‍තීර ඇසුරු කළ විහාර වන බව,

15. ප්‍ර‍ත්‍යන්ත ඇසුරු කළ විහාර වන බව,

16. රාජ්‍ය සීමා ඇසුරු කළ බව,

17. සප්පාය නැති බව,

18. කල්‍යාණ මිත්‍ර‍යන් නැති බව යන මේයි.

මේ අටලොස් දෝෂ අතුරෙන් එක දෝෂයකින් හෝ යුක්ත විහාර නුසුදුසු විහාරයි. එබඳු තැනෙක නොවිසිය යුතු.

1. මහා විහාරයෙහි දෝෂ

මහා විහාරයෙහි නොයෙක් අදහස් ඇති බොහෝ භික්‍ෂූහු රැස් වෙති. ඔව්හු අන්‍යොන්‍යයන් හා විරුද්ධ වීමෙන් වත පිළිවෙත නො කරති. බෝමළු ආදිය නො හමදිති. බොන පැන් පරිභොග පැන් පෙරහා නො තබති. මේ යෝගී භික්‍ෂු ගොදුරු ගම පිඬු පිණිස යන්නට පා සිවුරු ගෙනැ, නික්මෙත් ම නො කළ වතක් හෝ පැන් නැති හිස් කළයක් හෝ දුටු නම් ඒ වත කළ යුතු වේ. පැන් පෙරහා තැබිය යුතු වේ. එසේ නො කළ හොත් වත්ත භේදයෙහි දුකුළා වන්නේ ය. එසේ කරන්නට පටන් ගත් කල දහවල් වන්නේ ය. දහවල් වැ, පිඬු පිණිස ගිය කලක කිසිවක් නො ලබන්නේ ය. එතෙක් ද, හේ විවේක ගත වූයේ ද, හෙරණුන්ගේ හා දහර භික්‍ෂූන්ගේ හඬ තැලුමෙන් හා සංඝකර්‍මයෙන් වික්‍ෂිප්ත වන්නේ ය. යම් තැනෙක සියලු වත පිළිවෙත කැරුණේ නම් සෙසු ගැහැට ද නො වන්නේ නම් එබදු මහා විහාරයෙහි වුවද විසිය යුතු.

2. අභිනව විහාරයෙහි දෝෂ

අභිනව විහාරයෙහි නවකර්‍ම බොහෝ ය. ඒ නො කරන්න වුන්ට සෙස්සෝ කිපෙති. දොස් නගති. “නුඹවහන්සේ සුව සේ මහණුවමෙහි යෙදෙන්න. අපි නවහම් කරම්හ”යි යම් තැනෙක භික්‍ෂූහු කියත් නම් එබඳු අභිනව විහාරයෙහි වුවද විසිය යුතු.

3. දිරාපත් විහාරයෙහි දෝෂ

ජරපත් විහාරයෙහි හැරවියයුතු කටු කොහොල් බොහෝ ය. යටත් පිරිසෙයින් තමන් වසන සෙනසුන පවා එ බන්ද නොකර වන කලට සෙස්සෝ කිපෙති. දොස් නගති. ඒ කරවන්නට ගත් කල කමටහන පිරිහී යන්නේ ය.

4. මහා මාර්‍ගාසන්ත විහාරයෙහි දෝෂ

මාවත් අසල විහාරයන්ට ආගන්තුක භික්‍ෂූහු රෑ දාවල් රැස් වෙති. නො කල්හි ආවානට තමන්ගේ සෙනස්න දී රුක් මුලෙක හෝ ගල්පොත්තක හෝ විසිය යුතු වේ. පළමු දවසෙහි මෙන් දෙවන දවසෙහි ද විය හැකි බැවින් කර්‍මස්ථානයට අවකාස නො ලැබෙයි. එබඳු ආගන්තුක සම්බාධ නැති මහා මාර්‍ගාසන්න විහාරයෙහි වුව ද විය යුතු.

5. පැන් කෙමි විහාරයෙහි දෝෂ

පැන් කෙමි නම් ගල් පොකුණු ය. එබඳු තැනට පැන් පිණිස මහ ජනයා රැස් වෙති. නුවර වැසි රාජකුලුපග තෙරවරුන්ගේ අතවැස්සෝ ද පඬු පෙවුම් ආදිය පිණිස එළඹෙති. ඔවුන් භාජන දර පඬුඔරු ආදිය කොතන දැයි විචාරන කල අසවල් අසවල් තැන යයි දැක්විය යුතු වේ. මුළු කාලය එ බන්දෙහි ව්‍යාපෘත වීමෙන් ගෙවී යන්නේ ය.

6. පලාපත් විහාරයෙහි දෝෂ

පලා කොළ ඇති විහාරයෙහි යෝගී භික්‍ෂූන් කමටහන් ගෙනැ දිවා විහරණයෙහි යෙදී සිටිය ද පලා නෙලන වනිතාවෝ ඔවුන් සීපයෙහි ම ගී ගයමින් පලා නෙලන්නාහු විසභාග ශබ්ද ඝට්ටනයෙන් කර්‍මස්ථානයට අන්තරාය කරත්.

7. මල් ඇති විහාරයෙහි දෝෂ

පිපී ගිය නානාවිධ මල් ගස් ඇති විහාරයෙහි ද පලා පත් විහාරයෙහි මෙන් ම උපද්‍ර‍ව වන්නේ ය.

8. ඵල ඇති විහාරයෙහි දෝෂ

අඹ - දඹ - පනා ආදි නානාවිධ ඵලයන්ගෙන් යුක්ත වූ විහාරයෙහි වසන්නවුන්ගෙන් ඵල කැමැත්තෝ අවුත් ඵල ඉල්ලති. නුදුන් කල කිපෙති. බලාත්කාරයෙන් හෝ ඇරැගනිති. සවස් කාලයෙහි විහාර මැද සක්මන් කරන්නවුන් විසින් එ බන්දන් දැකැ “උපාසකවරුනි! කුමක් හෙයින් මෙසේ කරන්නහු දැ”යි විචාළ කල සිත් පුරා බැණ වදිති. එ තෙක් ද විහාරයෙන් නෙරනට ද උපක්‍ර‍ම යොදත්.

9. ජනප්‍රාර්‍ථනීය විහාරයෙහි දෝෂ

පැතිය යුතු - ලෝකයා විසින් සම්භාවනා කරනු ලබන දක්‍ෂිණගිරි - හත්‍ථිකුච්ඡි ලෙණ, සෑගිරි, සිතුල්පව් වැනි විහාරවල වසන්නවුන් “රහත්වරුන් වහන්සේ”යි සිතා වැඳියටි මනුෂ්‍යයෝ නොයෙක් දිගින් රැස් වෙති. යෝගී භික්‍ෂූන්ට එය පහසු පිණිස නො වන්නේ ය. එබඳු තැන් සප්පාය ඇතියවුන් විසින් දහවල් අන් තැනෙක ගොස් රාත්‍රි එහි අවුත් විසිය යුතු.

10. නගරාශ්‍රිත විහාරයෙහි දෝෂ

නගර සන්නිශ්‍රිත විහාරයෙහි විසභාග අරමුණු හමුවන්නේ ය. කුම්භදාසීහු කළින් ඇඟ ගටමින් යන්නාහ. අයින් වැ මඟ පවා නො දෙන්නාහ. අධිපති මිනිස්සු විහාරය මැද තිර ඇදැ ගෙන හිඳිත්.

11. දැව ඇති විහාරයෙහි දෝෂ

දර හෝ දැව උපකරණයට නිසි රුක් හෝ ඇති විහාරයෙහි දර ගෙන යන මාගම්මු පලා මල් ගෙන යන යට කී ස්ත්‍රීන් මෙන් අපහසුකම් කරති. “විහාරයෙහි රුක් කපා ගෙන ගෙවල් කරම්හ”යි මිනිස්සු අවුත් රුක් කපති. සවස පටන් ගෙයින් නික්මැ වෙහෙර මැද සක්මන් කරන භික්‍ෂූන් එ බන්දන් දැකැ “උපාසකවරුනි! කුමක් කරව් දැ”යි විචාළ කල රිසි සේ බැනැ වදිති. විහාරයෙන් නෙරනට ද උපක්‍ර‍ම යොදත්.

12. ක්‍ෂේත්‍රාශ්‍රිත විහාරයෙහි දෝෂ

විහාරය අවට කුඹුරු ඇති කල මිනිස්සු විහාර මැද ම කලවිට සාදා ගෙනැ ගොයම් පාගති. ඉදිරි පස ම වී වියලති. අන්‍ය වූ ද බොහෝ අපහසුකම් කරති. තව ද ඇතැම් විහාරයන්හි බොහෝ සංඝ භෝග ඇත්තේ ය. ඒ රක්නා ආරාමික කුල ද ඇත. ඔව්හු “අපගේ ගොයම් කෑහ”යි ආරාමිකයන්ගේ ගෙරි බැඳැ සිටුවති. වී කරල් මුදුන් කඩා ගෙන අවුත් “නුඹවහන්සේ ගේ ආරාමික කුලයනගේ වැඩවල සැටි බලන්නැ”යි සංඝයාට දක්වති. එයින් රාජරාජ මහාමාත්‍යයන්ගේ ගෙදොර වලට පවා යන්නට සිදු වේ. මෙ ද කුඹුරු ළඟ විහාරයන්හි විසීමේ වරදට ඇතුළ්ත යයි දත යුතු යි.

13. විසභාගයන් ඇති විහාරයෙහි දෝෂ

විසභාගයන් ඇති විහාරයෙහි භික්‍ෂූහු තුමූ අන්‍යොන්‍ය වෛරී වැ කලහ කරති. “කලහ නො කරන්න. “ස්වාමීනි”යි වළකනු ලබන විට “මේ පංසුකූලිකයා ආ තැන් පටන් අපට මෙහි විසුමෙක් නැතැ”යි හඬ තලත්.

14. සමුද්‍ර‍තීර ඇසුරු කළ විහාරයෙහි දෝෂ

මුහුදු පටන් හෝ ගොඩ පටුන් අසල පිහිටි විහාරයන් කරා නැව්වලින් ද ගැල්වලින් ද මනුෂ්‍යයෝ නිතර රැස්වෙති. ඔව්හු “අපට ඉන්නට අවකාශ දෙන්න. පැන් දෙන්න. ලුණු දෙන්නැ”යි ගැහැට කරත්.

15. ප්‍ර‍ත්‍යන්තයෙහි මනුෂ්‍යයෝ බුද්ධාදි රත්නත්‍රයෙහි ප්‍ර‍සන්න නැත්තෝ ය.

16. රාජ්‍ය සීමාවෙහි පිහිටි විහාරයන්හි වසන්නවුන්ට රාජ භය පැමිණෙන්නේ ය. ඒ එසේ මැයි:- එක් පැත්තෙක රජ “මේ භික්‍ෂු මගේ වශයෙහි නො සිටින්නේය”යි පහර දෙයි. අනෙක් පැත්තේ රජ ද එසේ ම පහර දෙයි. දෙපැත්තම සතුටු කරන භික්‍ෂු කලෙක එක රජෙකුගේ විජිතයෙහි ද කලෙක අනෙක් රජුගේ විජිතයෙහි ද වසන්නේ ය. එවිට “මේ චරපුරුෂයෙකැ”යි අල්ලා අනය ව්‍යසනයට පමුණත්.

17. සප්පාය නැති බව විසභාග රූපාදි අරමුණු ලැබීම හෝ අමනුෂ්‍යාධිගෘහිත බව යි. එයට නිදර්‍ශනයෙක් මෙසේ ය. එක් තෙරුන් වහන්සේ කෙනෙක් අරණ්‍යයෙහි වසති. දවසෙක යක්ෂනියක් පන්සල් දොර සිටැ ගීයක් කිවුය. භික්‍ෂු පන්සලින් නික්ම දොරටුව ළඟට ආ ය. යක්ෂනී ඉක්බිති සක්මන් මලුවේ කෙළවරට ගොස් ගායනා කළාය. භික්‍ෂු එහි ගියේ ය. නැවත ඕ තොමෝ සියක් පුරුෂ ප්‍ර‍මාණ ප්‍ර‍පාතයෙක සිට ගායනා කරන්නට වූ ය. භික්‍ෂු ආපසු එන්නට හැරුණේ ය. යක්ෂනී වේගයෙන් දිවැ අවුත් උන්වහන්සේ අල්ලා ගෙනැ “වහන්සේ! මා විසින් කා දමන ලද්දේ නුඹවහන්සේ වැනි එක් කෙනකු දෙදෙනකු නොවෙති”යි කිවුය.

18. කල්‍යාණ මිත්‍ර‍යන් නැති බව නම් ආචාර්‍ය්‍යයන් හෝ ආචාර්‍ය්‍යසමයන් හෝ උපාධ්‍යායයන් හෝ උපාධ්‍යායසමයන් හෝ නො ලැබෙන බව යි. හෙද මහා දෝෂයෙක් මැයි.

මේ අටලොස් දෝෂ අතුරෙන් එකකින් හෝ යුක්ත විණි නම් ඒ නුසුදුසු විහාරයයි දතයුතු. මේ සඳහා අටුවායෙහි ආ ගාථා මෙසේ යි.

“මහාවාසං නවාවාසං - ජරාවාසං ච පන්‍ථනිං

සොණ්ඩිං පණ්ණං ච පුප්ඵං ච - ඵලං පත්‍ථිතමෙව ච

නගරං දාරුනා ඛෙත්තං - විසභාගෙන පට්ටනං,

පච්චන්ත සීමා සප්පායං - යත්‍ථ මිත්තො න ලබ්භති

අට්ඨාරසෙතානි ඨානානි - ඉති විඤ්ඤාය පණ්ඩිතො,

ආරකා පරිවජ්ජෙය්‍ය - මග්ගං පටිභයං යථා”

මහාවාස = මහා වෙහෙර; නවාවාස = නව වෙහෙර; ජරාවාස = ජරාවාස වෙහෙර; පන්‍ථනි = මහමං ඇසුරු කළ වෙහෙර; සොණ්ඩිං = පැන් කෙමි වෙහෙර; පණණා = පත්‍ර‍ ඇති වෙහෙර; පුප්ඵ = මල් ඇති වෙහෙර; ඵලං = ඵල ඇති වෙහෙර; පත්‍ථිමෙව = පැතිය යුතු වෙහෙර;

නගරං = නුවර ඇසුරු කළ වෙහෙර; දාරුනා = දර ඇති වෙහෙර හා සමග; ඛෙත්තං = කෙත් ඇසුරු කළ වෙහෙර; විසභාගෙන = විසභාගය ඇසුරු කළ වෙහෙර හා සමග; පට්ටන = පටුන් ගම් ඇසුරු කළ වෙහෙර; පච්චන්තං = ප්‍ර‍ත්‍යන්ත ඇසුරු කළ වෙහෙර; සීමා = රජ සිම් ඇසුරු කළ වෙහෙර; අසප්පායං = නො සැප වෙහෙර; යත්‍ථ = යම් වෙහෙරක; මිතේතා න ලබ්භති = කල්‍යාණ මිත්‍ර‍ නො ලැබේද; යන

එතානි අට්ඨාරසට්ඨානානි = මේ අටලොස් ස්ථානයන්; පණ්ඩිතො = නුවණැත්තේ; ඉති විඤ්ඤාය = මෙසේ දැනැ; පටිභයං මග්ගං යථා = භය ඇති මගක් මෙන්; ආරකා = දුරින් ම පරිවජේජය්‍ය = දුරුකරන්නේ යි යනු සන්න යි.

සුදුසු විහාර නම් නාතිදූර නාත්‍යාසන්නතාදි පඤ්චාඞ්ගයෙන් සමන්විත විහාර යි.

වදාළේ මැ යි:

“කථං ච භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ග සමන්නාගතං හොති? ඉධ භික්ඛවෙ සෙනාසනං නාතිදූරං හොති නාච්චාසන්නං ගමනාගමන සම්පන්තං දිවා අප්පකිණ්ණං රතතිං අප්පසද්දං අප්පනිග්ඝොසං අප්ප ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සං හොති. තස්මිං ඛො පන සෙනාසනෙ විහරන්තස්ස අප්පකසිරෙනෙව උප්පජ්ජන්ති චීවරං පිණ්ඩපාත සෙනාසන ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛරා. තස්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික්ඛු විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්‍වා පරිපුච්ඡති පරිපඤ්හති ඉදං භන්තෙ කථං ඉමස්ස කො අත්‍ථොති. තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති අනුත්තානී කතං ච උත්තාතී කරොන්ති අනෙක විහිතෙසු ච කංඛාඨානීයෙසු ධම්මෙසු කංඛං පටිවිනොදෙන්නි. එවං ඛො භික්ඛවෙ සෙනාසනං පඤ්චඞ්ග සමන්නාගතං හොති”[1] යි.

“මහණෙනි! සේනාසනය කෙසේ පඤ්චඞ්ගයෙන් යුක්ත වන්නේ ද මහණෙනි යම් සේනාසනයෙක් ගමට ඉතා දුරත් නො වැ දුනු පන්සියකට වඩා ආසන්නත් නො වැ ගමනා ගමනයට පහසු වන්නේ ද; දහවල් ජනාකීර්‍ණ නො වැ රාත්‍රි නිශ්ශබ්ද වැ මහජන සන්නිපාතයෙන් වන ගිගුම් හඩ නැත්තේ වන්නේ ද, මැසි මදුරු අවු සුළං නයි පොළොං ආදීන්ගේ ස්පර්‍ශ නැත්තේ වන්නේ ද, එසේ ම එම සේනාසනයෙහි වසන්නවුන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නිරායාසයෙන් ලැබෙන්නේ ද, බහුශ්‍රැත වූ ආගතාගම ධර්‍මධර විනයධර මාතෘකාධර ස්ථවිර භික්‍ෂූහු ඒ වෙහෙර වෙසෙත් ද, ඔව්හු කලින් කළ එළඹ “ස්වාමින් වහන්ස මේ කෙසේ ද, මෙහි අර්‍ථ කෙසේ දැ”යි පුළුවුත්නා ලද්දේ (ප්‍රදෙශන්තර පාලි දර්‍ශනයෙන්) අවිවෘත වූ අර්‍ථය විවෘත කෙරෙද් ද, ගැඹුරු වූ අර්‍ථය ලිහිල් කරද්ද, අනේකවිධ ශඞ්කාස්ථානීය ධර්‍මයන්හි ශඞ්කා දුරු කෙරෙත් ද, මහණෙනි! මෙසේ සේනාසනය පඤ්චාඞ්ගයෙන් යුක්ත වන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත භාවය යි.

“සමාධි භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක වසමින්”

යන්නෙහි විස්තර නිමියේ ය.

  1. නි: දසක නි: 904