චතුර්‍ථධ්‍යානය ලබාගත යුතු ක්‍ර‍මය

star_outline

යට දැක්වුණු සේ ලබා ගත් තෘතීය ධ්‍යානයෙහි ආවර්‍ජනාදි පස් ආකාරයෙන් චීර්‍ණවශී වැ ප්‍ර‍ගුණ වූ එයින් නැගී “මේ සමාපත්තිය ආසන්න වූ ප්‍රීති නමැති පසමිතුරෙක් ඇත්තේ ය. මෙහි පවත්නා සැපය යන අභෝගයෙන් මෙය ඖදාරික සේ ද වැටහෙයි. එහෙයින් ම එය අඞ්ග දුර්‍වලය”යි එහි දොස් දැකැ චතුර්‍ථ ධ්‍යානය ශාන්ත වශයෙන් සලකා තෘතීය ධ්‍යානයෙහි අපේක්‍ෂාව හැරැ පියා චතුර්‍ථධ්‍යානය ලබාගන්නා පිණිස භාවනාරම්භ කටයුතු යි.

තෘතීය ධ්‍යානයෙන් නැඟී සිහි නුවණ ඇති වැ ඒ යෝගාවචර එසේ භාවනාරම්භ කොටැ ධ්‍යානාඞ්ග ප්‍ර‍ත්‍යවේක්‍ෂාකරත් ම ඔහුට චෛතසික සෞමනස්‍ය සඞ්ඛ්‍යාත සුඛය ඖදාරික වශයෙන් ද, උපේක්‍ෂාවේදනාව හා චිතේතකාග්‍ර‍තාව ශාන්ත වශයෙන් ද වැටහෙයි. එවිට හේ ඖදාරිකාඞ්ග ප්‍ර‍හාණය පිණිස හා ශාන්තාඞ්ග ප්‍ර‍තිලාභය පිණිස ඒ කසිණ නිමිත්තයම “පඨවි - පඨවි”යි නැවත නැවත මෙනෙහි කරන්නේ ය. එසේ මෙනෙහි කරත් ම දැන් චතුර්‍ථ ධ්‍යානය උපදී යයි භාවාඞ්ග සිඳී. ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ මනොද්‍වරාවර්‍ජනය උපදී. ඉක්බිති එයම අරමුණු කොටැ ජවන් සතර හෝ පස දිවේ. එයින් අවසාන ජවනය රූපාවචර චතුර්‍ථධ්‍යානිකය. සෙස්ස යට කීසේ කාමාවචර යි.

මෙහි කිය යුතු විශේෂයක් ඇති :- සුඛ වේදනාව, අදුක්ඛමසුඛ වේදනාවට ආසේවනප්‍ර‍ත්‍යයෙන් ප්‍ර‍ත්‍යය නොවේ. චතුර්‍ථ ධ්‍යානයෙහි ලැබිය යුත්තේ අදුක්ඛමසුඛ වේදනාවය. එබැවින් ඒ සතර - පස් ජවන් උපේක්‍ෂාවේදනා සම්ප්‍ර‍යුක්තය. එ බැවින් එහි ප්‍රීතිය නො වන්නේ ය.

මෙතෙකින් ඒ යෝගාවචර “සුඛස්සච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති”[1] යි වදාළ පරිදි සුඛය ද ප්‍ර‍හාණය කිරීමෙන් දුක්ඛය ද ප්‍ර‍හාණය කිරීමෙන්, පූර්‍වයෙහි ම සෞමනස්‍ය හා දොම්නස්‍ය අසතඞ්ගම කිරීමෙන්, දුක් නොවූ, සුඛ නොවූ, උපේක්‍ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ, චතුර්‍ථ ධ්‍යානය ලබා වාසය කරන්නේ ය. මෙසේ ඔහු විසින් එක් අඞ්ගයෙකින් විප්‍ර‍හීණ වූ, අඞ්ගද්‍වයයෙකින් සමන්විත වූ, ත්‍රිවිධ කල්‍යාණ හා දශ ලක්‍ෂණ සමපන්න පඨවිකසිණ චතුත්‍ථජ්ඣානය ලබාගන්නා ලද්දේ වේ.

“සුඛස්ස ච පහාණා” යනාදියෙහි විවරණය මෙසේ ය. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා = කායිකා සුඛය ද, කායික දුඃඛය ද ප්‍ර‍හාණය කිරීමෙන්,

පුබේබව = ඒ ප්‍ර‍හාණය පූර්‍වයෙහි ය. චතුර්‍ථ ධ්‍යානලක්‍ෂණයෙහි නොවේ.

සොමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා = චෛතසික සුඛ චෛතසිකදුඃඛ යන මේ දෙක ද පූර්‍වයෙහි ම අස්තංගම කිරීමෙන් අස්තංගම නම් ප්‍ර‍හාණය මැ යි. ඔවුන්ගේ ප්‍ර‍හාණය කවරදා වන්නේ ද චතුර්‍ථධ්‍යානයන්ගේ උපචාරක්‍ෂණයෙහි ය.

ඒ එසේ මැ යි :-

සොමනස්ස චතුර්‍ථ ධ්‍යානයාගේ උපචාරක්‍ෂණයෙහි ද, දුක්ඛ දොමනස්ස - සුඛයෝ ප්‍ර‍ථම - ද්‍විතීය - තෘතීය ධ්‍යානයන්ගේ උපචාරක්‍ෂණයෙහි ද, ප්‍ර‍හීණ වෙති. කිය යුත්තෙක් ඇති “සුඛස්සච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සා නං අත්‍ථංගමා’යි. මෙහි සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්ස වදාළේ ප්‍ර‍හාණ ක්‍ර‍මයෙන් නොවේ. ඉන්‍ද්‍රිය විභඞ්ගයෙහි ඉන්‍ද්‍රිය උදේදස කළ ක්‍ර‍මයෙනි. ප්‍ර‍හාණ ක්‍ර‍මයෙන් වදාළේ නම් ‘දුක්ඛං-දොමනස්සං-සුඛං-සොමනස්සං’ විය යුතුය.

ප්‍ර‍ශ්නයෙකි :- මේ සුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්සයෝ ඒ ඒ ධ්‍යානයන්ගේ උපචාර ක්‍ෂණයෙහි ප්‍ර‍හීණ වෙත් නම් “කත්‍ථචුප්පන්තං දුක්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙ ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්‍ථචුප්පන්තං දුක්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති. කත්‍ථ චුප්පන්තං දොමනස්සින්‍ද්‍රියං -පෙ- සුඛින්‍ද්‍රියං -පෙ- සොමනස්සින්‍ද්‍රියං -පෙ- අපරිසෙසං නිරුජ්ඣති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහාණා -පෙ- චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති එක්‍ථචුප්පන්තං සොමනස්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති[2] යි. කුමක් හෙයින් ධ්‍යානයෙහි දී ම නිරෝධය වදාරන ලද්දේ ද (පෙළෙහි අර්‍ථ සුගම ය.)

උත්තර මෙසේ ය :- අතිශය නිරෝධ හෙයිනි. ප්‍ර‍ථම ධ්‍යානාදියෙහි ඒ දුඃඛාදීන්ගේ නිරෝධය අතිශය නිරෝධය. නිරෝධ මාත්‍ර‍ නොවේ. උපචාර ක්‍ෂණයෙහි ඔවුන්ගේ නිරෝධය නිරෝධ මාත්‍ර‍ය අතිශය නිරෝධ නොවේ. එසේ මැයි :- යම් ආවර්‍ජනයකින් අර්‍පනාව වේ ද එයින් භින්න වූ ආවර්‍ජන ඇති ප්‍ර‍ථමධ්‍යානෝපචාරයෙහි දී නිරුද්‍ධ වූ දුඃඛෙන්‍ද්‍රිය මැසි-මදුරු ආදීන්ගේ ඩැහැමෙන් හෝ විෂම හිඳීමෙන් ලැබෙන පීඩායෙන් හෝ යළිදු උපදිය හැකිය. අර්‍පනායෙහි දී ඒ නැවත නූපදනේ ම ය. තවද උපචාරයෙහි දී නිරුද්ධ වූ ඒ දුඃඛෙන්‍ද්‍රිය ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මය විසින් නො නසන ලද බැවින් මනා වැ නිරුද්ධ වූයේ නොවේ. දුඃඛෙන්‍ද්‍රියයට ප්‍ර‍තිපක්‍ෂ නම් ප්‍රීතියයි. අර්‍පනායෙහිදී ප්‍රිතීය පැතිරීමෙන් සියලු කය සුඛයෙන් වදනා ලද්දේ ය. සුඛයෙන් වදනා ලද කය පිළිබඳ දුඃඛෙන්‍ද්‍රිය ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මය විසින් නසනා ලද බැවින් මනාව නිරුද්‍ධ වූයේ වෙයි.

එසේ මැ භින්න වූ ආවර්‍ජන ඇති ද්විතීය ධ්‍යානොපචාරයෙහි ප්‍ර‍හීණ වූ දොමනස්සින්‍ද්‍රියය විතර්‍ක විචාර ප්‍ර‍ත්‍යය කොටැ ඇති කායක්ලමථුවක් හෝ චිත්ත පීඩාවක් හෝ ඇති කල්හි නැවත උපදනේ ය. විතර්‍ක - විචාර නැති කල්හි නැවත නූපදනේ ය. යම් තැනෙක දෝමනස්සින්‍ද්‍රිය වේ නම් ඒ වන්නේ විතර්‍ක - විචාර ඇති බැවින් ය. ද්විතීය ධ්‍යානෝපචාරයෙහි විතර්‍ක - විචාර අප්‍ර‍හීණ ය. එබැවින් එහි දොමනස්සින්‍ද්‍රිය විය හැකි ය. ප්‍ර‍හීණ ප්‍ර‍ත්‍ය බැවින් ද්විතීය ධ්‍යානයෙහි දොමනස්සින්‍ද්‍රිය නො වන්නේ ය.

එසේ ම තෘතීය ධ්‍යානෝපචාරයෙහි දී ප්‍ර‍හීණ වූ සුඛින්‍ද්‍රිය ප්‍රීතියෙන් උපන් ප්‍ර‍ණීත රූපයෙන් පැතුරුණු සිරුරු ඇතියාහට නැවත උපදිය හැකිය. තෘතීය ධ්‍යානයෙහි දී නම් නූපදිය හැකි ය. එහිදී සුඛයට ප්‍ර‍ත්‍යය වූ ප්‍රීතිය සර්‍වාකාරයෙන් නිරුද්ධ බැවිනි.

එසේම චතුර්‍ථධ්‍යානෝපචාරයෙහි දී ප්‍ර‍හීණ වූ සෝමනස්සින්‍ද්‍රියය ආසන්න බැවින් අර්පණා ප්‍රාප්ත උපේක්‍ෂා නැති වැ මැනෙවින් නො ඉක්මුණු බැවින් නැවත උපදිය හැකි ය. චතුර්‍ථධ්‍යානයෙහිදී නම් නූඵදිය හැකි ය. එහි අර්පණා ප්‍රාප්ත උපේක්‍ෂා ඇති බැවිනි.

“ඵත්‍ථුප්පන්නං දුක්ඛීන්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති”යි අපරිසෙස ශබ්දය, යොදන ලද්දේ මේ නිසා යයි දත යුතු.

තවද ප්‍ර‍ශ්නයෙකි :- ප්‍ර‍ථමාදි ඒ ධ්‍යානයන්ගේ උපචාරයෙහි ප්‍ර‍හීණ වූ මේ වේදනා යළිදු කුමක් හෙයින් දක්වන ලද ද.

උත්තරය මෙසේය :- සුවසේ ගැන්ම පිණිස ය. “අදුක්ඛමසුඛං” යි මෙහි දැක්වුනු අදුක්ඛාසුඛ වේදනාව හෙවත් උපේක්‍ෂාවේදනාව සියුම් ය. සුවසේ දැනගන්නට අපහසු ය. ළං වැ ගන්නට බැරිතරම් චණ්ඩ වූ ගොනු අල්ලාගැනීම පිණිස ගොපල්ලා ගාලෙහි සියලු ගෙරින් එක්කොටැ එක එකා බැහැර කරමින් පිළිවෙළින් ආ චණ්ඩයා “මේ ඌය උහු ගනිවු” ය යි උහු ද ගන්නේ ද, මෙන් බුදුහු සුව සේ ගැන්ම පිණිස මුල පටන් සියලු වේදනා දැක්වූ සේක. එසේ දැක්වීමෙන් සුවත් නො වූ දුකුත් නො වූ, සොම්නසුත් නො වූ, දොම්නසුත් නො වූ යම් වේදනාවෙක් වේ ද එය අදුක්ඛාසුඛ වේදනාය යි ගන්වන්නට හැකි ය.

තව ද අදුක්ඛාසුඛ හෙවත් උපේක්‍ෂා චේතෝ විමුක්තියට ප්‍ර‍ත්‍යය දක්වනු සඳහා ද මේ වදාළේ යයි දත යුතු. අදුක්ඛාසුඛයට හෙවත් උපේක්‍ෂාවට ප්‍ර‍ත්‍යය නම් - සුඛ දුඃඛ ප්‍ර‍හාණාදිය යි. වදාළේ මැ යි.

“චත්තාරො ඛො ආවුසො පච්චයා අදුක්ඛමසුඛාය චෙතො විමුත්තියා සමාපත්තියා, ඉධ ආවුසො භික්ඛු සුඛස්සච පහාණා - පෙ - චතුත්‍ථංඣානං උපසම්පජ්ජවිහරති. ඉමෙ ඛො ආවුසො චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චේතොවිමුත්තියා”[3] යි අර්‍ථ සුගම යි.

තවද සෝවාන් මාර්‍ගයෙහි දී ප්‍ර‍හීණ වූ සක්කායදිට්ඨි ආදිය අනාගාමි මාර්‍ගයට ප්‍ර‍ශංසා පිණිස එහි දී ද වදාළා සේ මෙයට ප්‍ර‍ශංසා පිණිස සෙසු වේදනා ද මෙහි දී වදාළ සේකැයි දත යුතු.

තවද ප්‍ර‍ත්‍යය නාශයෙන් හෝ රාගද්වේෂාදීන් කෙරෙන් ඉතා දුරු බව දක්වන්නට මෙය වදාළේය යි දත යුතු.

එසේ මැ යි :-

මොවුන් අතුරෙන් සුඛය සොමනස්සයට ද, සොමනස්සය රාගයට ද, දුක්ඛය දොමනස්සයට ද දොමනස්සය ද්වේෂයට ද, ප්‍ර‍ත්‍යය ය. සුඛ-දුක්ඛ නාශයෙයන් ප්‍ර‍ත්‍යය සහිත රාග ද්‍වෙෂයෝ නැසුණෝ වෙති. එයින් ඔවුහු ඉතා දුරුවූවෝ වෙත්.

අදුක්ඛමසුඛං = දුක්ඛ නැති බැවින් අදුක්ඛ වූ, සුඛ නැති බැවින් අසුඛ වූ, මෙයින් දැක්වුණේ දුඃඛ-සුඛ දෙකට ප්‍ර‍තිපක්‍ෂ වූ තෘතීය වේදනා නම් අදුක්ඛාසුඛ වේදනා ය. උපේක්‍ෂා යයි සේ යි. උපේක්‍ෂායෙහි ලක්‍ෂණය ඉෂ්ටානිෂ්ට දෙකට විපරීත වූ මධ්‍යස්ථාලම්බනානුභවනය යි. රසය හෙවත් කෘත්‍යය මධ්‍යස්ථ භාවය යි. පච්චුපට්ඨානය ගල් පිට මුවන් ගිය මං සේ සුව දුක් දෙකින් අනුමාන කටයුතු බැවින් අවිභූත භාවය යි හෙවත් නො පහළ බව යි. පදට්ඨානය සුඛ නිරෝධය යි. (චතුර්‍ථ ධ්‍යානෝපචාරය සුඛ නිරෝධ නමි. ඒ ආසන්න කාරණ කොටැ ඇත්තේය. යන අර්‍ථ යි.)

උපෙක්ඛාසතිපාරිසුද්ධිං = උපේක්‍ෂායෙන් ජනිත ස්මෘති පාරිසුද්ධි ඇති. මේ ධ්‍යානයෙහි ස්මෘතිය පිරිසිදු ය. ඒ පිරිසිදු බව උපේක්‍ෂායෙන් කැරුණේ ය. අන්‍යයෙකින් කැරුණේ නො වෙයි. එහෙයින් එය උපේක්ඛාසතිපාරිසුද්ධිය යි කියනු ලැබේ. “අයං සති ඉමාය උපෙක්ඛාය විවටා හොති පාරිසුද්ධා පරියොදාතා තෙන වුච්චති උපේක්ඛා සති පාරිසුද්ධිං”[4] යි විභඞ්ගයෙහිදු වදාළේ ය. මේ ස්මෘතිය මේ උපේක්‍ෂායෙන් විවෘත ය, පරිශුද්ධ ය, නිර්‍මල ය. එහෙයින් උපෙක්ඛා - සතිපාරිසුද්ධිය යි කියනු ලැබේ යනු එහි අර්‍ථ යි. ස්මෘති පිරිසිදු කරන මේ උපේක්‍ෂාව අර්‍ථ වශයෙන් ගතහොත් තත්‍ර‍මජ්ඣත්තතාවය යි දත යුතු. ඒ තත්‍ර‍මජ්ඣත්තතායෙන් පිරිසිදු වන්නේ ස්මෘතිය මතු නොවේ. සියලු සම්ප්‍ර‍යුක්ත ධර්‍මයෝ ම පිරිසිදු වෙති. එහෙත් දේශනාව ස්මෘති ශීර්ෂයෙන් වදාළේ ය.

වැළි කිය යුත්තෙක් ඇති, මේ උපේක්‍ෂාව යට ධ්‍යානත්‍ර‍යයෙහි ද පවත්නේ ය. දහවල් සූර්‍ය්‍ය රශ්මියෙන් අභිභූත බැවින් ද, සෞම්‍යත්‍වයෙන් හා තමහට උපකාරත්‍වයෙන් සභාග වූ රාත්‍රිය නො ලැබීමෙන් ද, දහවල් විද්‍යමාන වූ ද චන්‍ද්‍ර‍ රේඛාව අපාරිසුද්ධ අපරියොදාත වන්නා සේ මේ තත්‍ර‍මජ්ඣත්තුපේක්ඛාව ද, විතර්‍කාදි විරුද්ධ ධර්‍ම තේජසින් මැඩුණු බැවින් ද, සභාග වූ උපේක්ෂාව නො ලැබුණු බැවින් ද, ප්‍ර‍ථම ධ්‍යානාදීයෙහි විද්‍යමාන වුවද, අපරිසුද්‍ධ අපරියෝදාත වන්නේ ය. (නො තියුණු බැවින් චන්‍ද්‍ර‍ රේඛාව මෙන් රාත්‍රි ද සෞම්‍ය ය, රාත්‍රියෙහි ම චන්‍ද්‍ර‍ රෙඛාව දිලියෙන බැවින් රාත්‍රිය චන්‍ද්‍ර‍ රේඛාවට උපකාරය.) ඒ අපිරිසිදු කල්හි අපිරිසිදු වූ චන්‍ද්‍ර‍ රේඛායෙහි ප්‍ර‍භාව මෙන් සහජාත වූ ද ස්මෘති ආදීහු අපිරිසිදු වෙති. එහෙයින් මේ ප්‍ර‍ථම ධ්‍යානාදියෙහි එකෙකුදු “උපෙක්ඛා සති පාරිසුද්ධි” යයි නො වදාරන ලදි. මේ චතුර්‍ථ ධ්‍යානයෙහි වනාහි විතර්‍කාදි විරුද්‍ධ ධර්‍ම සංඛ්‍යාත තෙජසින් නො මැඩුනු බැවින් ද, උපේක්‍ෂා වේදනා සංඛ්‍යාත රාත්‍රිය ලැබුණු බැවින් ද, මේ තත්‍ර‍මජ්ඣත්තුපෙක්ඛා සංඛ්‍යාත චන්‍ද්‍ර‍ රෙඛාව ඉතාම අපිරිසිදු ය. එබැවින් පිරිසිදු චන්‍ද්‍ර‍ රෙඛායෙහි ප්‍ර‍භාව මෙන් සහජාත වූ ස්මෘති ආදීහු ද පිරිසිදු ය. නිර්‍මල ය. එ බැවින් මෙම උපෙක්ඛාසතිපාරිසුද්ධිය යි වදාරන ලද්දේ යයි දත යුතු.

චතුත්‍ථං - ගණන් පිළිවෙළින් හෝ සතර වැනි වැ සම වදින බැවින් හෝ සතර වැනි වූ.

“එකඞ්ග විප්පහීණං දුවඞ්ගසමන්තාගතං” යන මෙහි සෞමනස්‍ය ප්‍ර‍හාණ වශයෙන් එකාඞ්ග විප්‍ර‍හීණත්‍වය දත යුතු. ඒ සෞමනස්‍ය ප්‍ර‍හාණ ද එක වීථියෙහි පූර්‍ව ජවන්හි ම වන්නේ ය. එහෙයින් එය ඒ ධ්‍යානය පිළිබඳ ප්‍ර‍හාණාඞ්ගය යි කිය යුතු. උපේක්‍ෂා - ඒකාග්‍ර‍තා යන මොවුන්ගේ උතපත්ති වශයෙන් දුවඞ්ගසමන්නාගතතාව දත යුතු. සෙස්ස ප්‍ර‍ථමධ්‍යානයෙහි කී නියා මැයි.

චතුෂ්කධ්‍යාන නය යි.

  1. වි:ප: ඣානවිභඞ්ග 186

  2. සං: නි: ඉන්‍ද්‍රියසං: 941

  3. ම: නි: මූලපන: 299

  4. වි: ප: ඣානවි: 197