1. ෂඩඞ්ගොපෙක්‍ෂා, 2. බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා, 3. බොධ්‍යඞ්ගොපෙක්‍ෂා, 4. වීර්‍ය්‍යාපෙක්‍ෂා, 5. සංස්කාරොපෙක්‍ෂා, 6. වෙදනොපෙක්‍ෂා, 7. විදර්‍ශනොපෙක්‍ෂා, 8. තත්‍රමධ්‍යත්‍වොපෙක්‍ෂා, 9. ධ්‍යානොපෙක්‍ෂා, 10. පාරිශුද්ධපෙක්‍ෂා යනු ඒ දශයයි.
1. ෂඩඞ්ගොපෙක්‍ෂාව
“ඉධ ඛීණාසවො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො”[1] ක්‍ෂීණාශ්‍රව භික්‍ෂු ඇසින් රූප දැකැ සොම්නස් නො ද වෙයි. දොම්නස් නො ද වෙයි. සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි’ මෙහි දැක්වුණු සේ රහතන්ගේ චක්‍ෂුරාදි සදොර ඉෂ්ට අනිෂ්ට අරමුණු වැටීමෙහි දී පිරිසිදු වූ ප්‍රකෘතිය නො වෙනස් වීම් ආකාරයෙන් පැවති යම් උපේක්‍ෂාවෙක් වේ ද එය ෂඩඞේගාපේක්‍ෂාය යි කියනු ලැබේ. ඡළඞ්ගුපෙක්ඛා යනු පාළි යි.
2. බ්‍රහ්ම විහාරොපෙක්‍ෂාව
“උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං එරිත්‍වා විහරති”[2] ‘උපේක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරා වාසය කරයි’. මෙහි දැක්වුණු සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය බ්‍රහ්මවිහාරෝපෙක්‍ෂා යි.
3. බොධ්‍යඞ්ගොපේක්‍ෂාව
“උපෙක්ඛාසම්බොජ්ඣගං භාවෙති විවෙක නිස්සීතං”[3] ‘විවෙක නිඃශ්‍රිත වූ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි’ යන මෙහි දැක්වුණු සහජාත ධර්‍ම අතුරෙන් මධ්‍යස්ථාකාරවූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය බොධ්‍යඞ්ගොපෙක්‍ෂා යි. (“භාවනාව වීථි ප්‍රතිපන්න කල්හි අලීනානුඬත අනිරාස්වාද භාවයෙන් ප්‍රග්‍රහ නිග්‍රහ සම්ප්‍රහර්‍ෂනයෙහි ව්‍යාපාරයක් නැති හෙයින් සම්ප්‍රයුක්ත ධර්‍මයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා” උපේක්‍ෂාව බොජ්ඣඞ්ගුපෙක්ඛාය යි සේ යි.
4. වීර්‍ය්‍යාපෙක්‍ෂාව
“කාලෙන කාලං උපෙක්ඛා නිමිත්තං මනසිකරොති”[4] ‘කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරයි’ යන මෙහි දැක්වුණු පමණ ඉක් මැ පටන් නො ගන්නා ලද පමණ ඉක් මැ ලිහිල් නො කරන ලද වීර්‍ය්‍ය සංඛ්‍යාත යම් උපේක්‍ෂාවෙක් වේ ද එය වීර්‍ය්‍යාපේක්‍ෂා යි (ලීනුද්ධච්චපක්ඛපාතරහිතං මජ්ඣත්තං වීරියං උපෙක්ඛා” යනු ටීකා යි.) මධ්‍යස්ථකාරයෙන් පවත්නා වීර්‍ය්‍යය ම ආකාරය ගෙනැ පැවැත්විය යුතු වූ එබඳු වීර්‍ය්‍යයට නිමිත්ත වන බැවින් උපේක්‍ෂා නිමිත්ත නම් වේ යනු සන්න යි.)
5. සංස්කාරොපෙක්‍සාව
“කති සඞ්ඛාරුපෙක්ඛා සමාධිවසෙන උප්පජ්ජන්ති. කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති. අට්ඨ සඞ්ඛාරු පෙක්ඛා සමාධිවසෙන උප්පජ්ජන්ති. දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති”[5] යන මෙහි දැක්වුණු නීවරණාදීන් පරීක්‍ෂාකොටැ සනිටුහන් වශයෙන් සිටිනාවූ ආදීනව දුටු හෙයින් නීවරණාදීන් ගැන්මෙහි මධ්‍යස්ථ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය සංස්කාරොපේක්‍ෂා යි ‘සංස්කාරොපේක්‍ෂා කීදෙනෙක් සමථ වශයෙන් උපදිත් ද, සංස්කාරොපේක්‍ෂා කීදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත් ද, සංස්කාරොපේක්‍ෂා අටදෙනෙක් සමථ වශයෙන් උපදති සංස්කාරොපේක්‍ෂා දස දෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්’ යනු පෙළේ අර්‍ථ යි.
සමථ වශයෙන් ලැබෙන අෂ්ට සංස්කාරොපෙක්‍ෂා ප්‍රකාශක පාළිය මෙසේ ය - පඨමජ්ඣාන පටිලාභත්‍ථාය නීවරණෙ පටිසඞ්ඛාසන්නිට්ඨානා පඤ්ඤා සංකාරුපෛක්ඛාසු ඤාණං දුතියජ්ඣාන පටිලාභත්‍ථාය විතක්කවිචාරෙ-තතියජ්ඣාන - පටිලාභත්‍ථාය පීතිං-චතුත්‍ථජ්ඣාන පටිලාභත්‍ථාය සුඛදුක්ඛෙ - ආකාසානඤ්චායතන සඤ්ඤසමාපත්ති පටිලාභත්‍ථාය රූපසඤ්ඤා පටිඝසඤ්ඤං-නානත්තසඤ්ඤං - විඤ්ඤාණඤ්චායතන සමාපත්ති පටිලාභත්‍ථාය ආකාසානඤ්චායතනසඤ්ඤං - ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති පටිලාභත්‍ථාය විඤ්ඤාණඤ්චා-යතන සඤ්ඤං - නෙවසඤ්ඤානාසංඤ්ඤයතන සමාපත්ති පටිලාභත්‍ථාය ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤං - පටිසඞ්ඛා-සනනිට්ඨානාපඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං ඉමා අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති”[6]
විදර්‍ශනා වශයෙන් ලැබෙන දශ සංස්කාරොපේක්‍ෂා ප්‍රකාශක පාළිය මෙසේ ය :- සොතාපත්තිමග්ග පටිලාභත්‍ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ්බත්තිං උප්පත්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොක පරිදෙවං උපායාසං - පෙ- සොතාපත්ති ඵලසමාපන්තත්‍ථාය උප්පාදං පවත්තිං -පෙ- අරහත්ත මග්ග පටිලාභත්‍ථාය උප්පාදං -පෙ- උපායාසං -පෙ- අරහත්ත ඵලසමාපත්තත්‍ථාය සුඤ්ඤතා විහාර සමාපන්නත්‍ථාය අනිමිත්ත විහාර සමාපන්න ත්‍ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ්බත්තිං උප්පත්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ්ඛා සන්නිට්ඨානා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණංති ඉමා දස විපස්සනා වසෙන උප්පජ්ජන්ති”[7]
6. වෙදනොපෙක්‍ෂාව
“යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං”[8] ‘යම් කලෙක කාමාවචර උපේක්‍ෂා සහගත කුසල සිත උපන්නේ ද’ යන මෙහි දැක්වුණු යම් අදුක්ඛමසුඛ නම් උපේක්‍ෂාවෙක් වේද එය වේදනොපෙක්‍ෂාව යි.
7. විදර්‍ශනොපෙක්‍ෂාව
“යදත්‍ථිං යං භූතං තං පජහති උපෙක්ඛං පටිලභති”[9] ‘යමෙක් වේ ද යමෙක් විණි ද එය දුරු කරයි. උපේක්‍ෂාව ලබයි.’ යන මෙහි දැක්වුණු අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනයෙන් මධ්‍යස්ථ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය විදර්‍ශනොපෙක්‍ෂාව යි.
8. තත්‍රමධ්‍යත්‍වොපේක්‍ෂාව
ජන්‍දාදි “යෙවාපනක” ධර්‍මයන් ඇතුළත් සහජාත ධර්‍ම සම වැ ඉසිලීමට කාරණ වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය තත්‍රමජ්ඣත්තුපෙක්ඛා යි. (“යෙවාපනක” ධම්මසඞ්ගණියෙහි[10] බලනු.)
9. ධ්‍යානොපෙක්‍ෂාව
“උපෙක්ඛකො ච විහරති” උපෙක්‍ෂක වැ වෙසේ යන මෙහි දැක්වුණු අග්‍ර වූ ධ්‍යාන සුඛයෙහි පක්‍ෂපාත නො දනවන යම් උපේක්‍ෂාවෙක් වේද එය ධ්‍යානෝපෙක්‍ෂාව යි.
10. පාරිසුද්ධි උපේක්‍ෂාව
“උපෙක්ඛා සතිපාරිසුද්ධිංං චතුත්‍ථජ්ඣානං”[11] උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ථධ්‍යානය’ යන මෙහි දැක්වුණු නීවරණ-විතර්‍ක-විචාරාදි සියලු ප්‍රතිපක්‍ෂ ධර්‍මයන්ගෙන් පිරිසිදු වූ ප්‍රතිපක්‍ෂ ධර්‍ම සංසිඳුවීමෙහි ද උත්සාහ රහිත වූ යම් උපේක්‍ෂාවෙක් වේ ද එය පාරිසුද්ධි උපේක්‍ෂා යි.
මේ දශවිධ උපේක්‍ෂා අතුරෙන් ෂඩඞේගාපේක්‍ෂා බ්‍රහ්ම විහාරොපේක්‍ෂා බොධ්‍යඞේගාපේක්‍ෂා තත්‍රමධ්‍යත්‍වොපේක්‍ෂා ධ්‍යානොපෙක්‍ෂා පාරිශුද්ධ්‍යුපේක්‍ෂා යන සය අර්‍ථ වශයෙන් එකම තත්‍රමජ්ඣත්තුපේක්‍ෂාව ම ය. එක ම පුද්ගලයා කුමාර-තරුණ-මහලු-සෙනෙවි-රජ ආදි වශයෙන් බෙදී යන්නා සේ මෙ ද ඒ ඒ අවස්ථා භේදයෙන් බෙදී ගියේ ය. එ බැවින් ඡලඞ්ගුපේක්‍ෂා ඇති තැනැ බොජ්ඣඞ්තුපේක්ඛාදිය ද බොජ්ඣඞ්ගුපේක්ඛා ඇති තැන ඡළඞ්ගුපේක්ඛාදිය ද නො වන බව දත යුතු.
යට දැක්වුණු උපේක්‍ෂා අර්‍ථ වශයෙන් එකක් වූ සේ ම සංස්කාරොපේක්‍ෂාව හා විදර්‍ශනොපේක්‍ෂාව ද අර්‍ථ වශයෙන් එකෙක්ම ය. ඒ වනාහි එකම ප්‍රඥාව කෘත්‍ය වශයෙන් ද්විවිධ වූ සැටියි. පුරුෂයෙක් සවස ගෙට වන් සර්‍පයකු අජපද දණ්ඩ ගෙනැ සොයන්නේ බොල්ගොඩෙහි හොත්තා දැකැ සර්‍පයා දෝ නොවේ දෝයි සැක ඇති වැ නැවත නැවත පිරික්සන්නේ සෝවැති තුන දැකැ සැකය දුරුවා ඌ සෙවීමෙහි උපේක්‍ෂා වන්නේ ද එමෙන් ආරබ්ධ විදර්‍ශක විදර්‍ශනා ඥානයෙන් තිලකුණු දුටු කල්හි නැවත සංස්කාරයන්ගේ අනිත්‍යත්‍වාදිය සෙවීමෙහි උපේක්‍ෂා වන්නේ ය. එය විදර්‍ශනොපේක්‍ෂා ය. වැළි ඒ පුරුෂයා අජපද දණ්ඩෙන් සර්‍පයා දැඩි වැ තද කොටැ ගෙනැ “මම කෙසේ මූට ද නොරිද වා මා ද දෂ්ට කරවා නොගෙන මුගෙන් මිදී යෙම් දැ”යි ඌ මුදාලන ආකාරය සලකමින් ගැන්මෙහි මධ්‍යස්ථ වන්නේ ද එමෙන් ඒ විදර්‍ශක තිලකුණු දුටු බැවින් භවත්‍රය ගිනි ඇවිළ ගත්තා සේ සලකා සංස්කාර ග්‍රහණයෙහි මධ්‍යස්ථ වන්නේ ය. එය සංස්කාරොපේක්‍ෂා යි. මෙසේ විදර්‍ශනොපේක්‍ෂාව සිද්ධ කල්හි සංස්කාරොපේක්‍ෂාව ද සිද්ධ මය. (සෝවැති තුන දුටුවහුට සර්‍ප ලක්‍ෂණ විචාරයෙහි මෙන් තුන් ලකුණු දුටුවහුට සංස්කාරයන්ගේ නිත්‍යාදි ලක්‍ෂණ දෘෂ්ට හෙයින් සංස්කාර ලක්‍ෂණ විචාරයෙහි උපේක්‍ෂා ම වෙයි. සංස්කාරයන්ගේ මැදහත් වූ විදර්‍ශනොපේක්‍ෂාව සිද්ධ කල්හි දෘෂ්ටාදීනව වූ ඒ සංස්කාරයන් ග්‍රහණයෙහි අධ්‍යාශය සර්‍ව සංස්කාර නිමිති හෙයින් උපේක්‍ෂාව ද සිද්ධ වෙයි දත යුතු යනු පැරකුම්බා සන්න යි.) සෙවීමෙහි හා ගැනීමෙහි මධ්‍යස්ථා සංඛ්‍යාත කෘත්‍යයෙන් මේ උපේක්‍ෂාප්‍රඥාව මෙසේ ද්විධ විය.
වීර්‍ය්‍යාපේක්‍ෂාව හා වේදනොපේක්‍ෂාව ඔවුනොවුන් හා ද සෙසු උපේක්‍ෂාවන් හා ද අර්‍ථ වශයෙන් හින්න මැයි.
දශවිධ උපේක්‍ෂා භේද යි.
දශවිධ උපේක්‍ෂා අතුරෙන් මෙහිලා ගත යුත්තේ ධ්‍යානොපේක්‍ෂා ය. ධ්‍යානෝපේක්‍ෂායෙහි ලක්‍ෂණය මධ්‍යස්ථ භාවය යි. රසය අනාභෝගය යි හෙවත් මෙනෙහි නො කරන බව යි. පච්චුපට්ඨානය අව්‍යාපාරය යි. හෙවත් ප්‍රහීණ වූ ද සුවෙහි ව්‍යාපාර නැති බව යි. පදට්ඨාන ප්‍රීතිවිරාග යයි.
ප්‍රශ්නයෙන් නඟී. මෙහි දැක්වෙන උපේක්‍ෂාව ද අර්‍ථ වශයෙනි තත්‍රමජ්ඣත්තුපෙක්ඛාවම නො වේ ද එය ප්‍රථම ද්‍විතීය ධ්‍යානයන්හිදු ඇති බැවින් එහිදු “උපේක්ඛකො විහරති”යි වදාළ යුතු නො වේ ද කුමක් හෙයින් එසේ නො වදාළේ ද
උත්තර මෙසේ යි.
සැබෑව! එහිදු ඇත්තේ ය. එහෙත් එහි නො වදාළේ එහි පවත්නා උපේක්‍ෂාව පරිව්‍යක්ත කෘත්‍ය රහිත බැවිනි. (එහි පවත්නා උපෙක්‍ෂාවගේ කෘත්‍යය) විතර්‍කාදීන් අභිභූත බැවින් පරිව්‍යක්ත නොවේ. මෙහි එයින් අනභිභූත බැවින් හිස එසවූ සේ පරිව්‍යක්ත ය. එ හෙයින් මෙහිම වදාරන ලද්දේ ය.
“උපෙක්ඛකො ච විහරති” යනුයෙහි අර්‍ථ වර්‍ණනාව යි.
“සතො ච සම්පජානො”
‘සරතීති සතො සම්පජානාතී ති සම්පජානො’ සිහිකරන්නේ “සතො” ය. මනාකොට දන්නේ “සම්පජානො” ය. පුද්ගලාධිෂ්ඨාන වශයෙන් සතිය සම්ප්‍රඥාව කියූ තැනි. සිහියෙන් යුක්ත වූයේ සම්‍යක් ප්‍රඥායෙන් යුක්ත වූයේ යනු අර්‍ථයි. මෙහි සතිය සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. සිහිමුළා නො වීම කෘත්‍ය කොටැ ඇත්තේ ය. කෙලෙසුන් කෙරෙන් ආරක්‍ෂාව පච්චුපට්ඨාන කොටැ ඇත්තේ ය. සම්පජඤ්ඤය මුළා නොවීම ලක්‍ෂණ කොටැ ඇත්තේ ය. තීරණය කෘත්‍ය කොටැ ඇත්තේ ය. වීමංසාව පච්චුපට්ඨාන කොටැ ඇත්තේ ය.
මෙහිදු ප්‍රශ්නයෙකි.
මේ සති-සම්පජඤ්ඤ යට ධ්‍යානයන්හි ඇත්තේ නො වේ ද සිහි-නුවණ නැතියාහට අර්පණා තිබේ වා. උපචාර මාත්‍රයෙකු දු නො ලැබෙයි.
පිළිතුරු මෙසේ ය.
විතර්‍කාදි ස්ථූලාඞ්ග ඇති බැවින් යට ධ්‍යාන ඖදාරික ය. එසේ ඒ ධ්‍යාන ඖදාරික බැවින් පුරුෂයකු හට පොළොවෙහි ගමන පහසුවන්නා සේ එහි චිත්තයාගේ ගමන පහසු වන්නේ ය. එහෙයින් එහි සති-සම්පජඤ්ඤ පිළිබඳ කෘත්‍යය ව්‍යක්ත නොවේ. මෙහි ඖදාරිකාඞ්ග නැති බැවින් මෙය සූක්‍ෂම ය. එබැවින් මෙහි පුරුෂයකුගේ කර මුවහතෙහි ගමන් මෙන් සති-සම්පජඤ්ඤ කෘත්‍යයෙන් යුක්ත වූ ම චිත්තයාගේ ගමන කැමැති විය යුතු ය. එබැවින් මෙහි ම ‘සතො සම්පජානො’ යි දැක්විණි.
තවද කිරිවස්සා දෙනගෙන් ඉවත් කරන ලද්දේ නමුදු ඉදින් රැක නො ගන්නා ලද්දේ නම් නැවත දෙන කරාම දුවන්නේ ය. තෘතීය ධ්‍යාන සුඛය ද ප්‍රීතියෙන් ඉවත් කරන ලද්දේ ඉදින් සති-සම්පජඤ්ඤයෙන් නො රක්නා ලද්දේ නම් නැවත ප්‍රීතියටම පැමිණෙන්නේ ය. (ද්විතීය ධ්‍යානයට ම පැමිණෙන්නේ යයි සේයි) ප්‍රීති සම්ප්‍රයුක්ත ම වන්නේ ය. සත්ත්‍වයෝ සුවයෙහි ඇලෙති. මෙයට වඩා සුවයක් නැති බැවින් මෙය අති මධුර සුවය යි සති-සම්පජඤ්ඤානුභාවයෙන් ම සුවයෙහි නො ඇල්ම විය යුතු ය. සුවයෙහි නො ඇල්මට වෙන මේතු නැත. මෙ ද දක්වන්නට “සතො සම්පජානො” යනු මෙහි ම දක්වන ලදැ යි දත යුතුයි.
සුඛං ච කායෙන පටි සංවෙදෙති = කයෙන් සුව ද විඳින්නේ ය. තෘතීය ධ්‍යානයෙන් යුක්ත වූ යෝගී හට “මම සුව විඳිමි” යන අභෝගයෙක් - කල්පනාවෙක් නැත. එතකුදු වුවද හේ නාමකාය හා සම්ප්‍රයුක්ත වූ යම් සුවයෙක් ඇද්ද එය විඳින්නේ ය. තවද නාමකාය හා සම්ප්‍රයුක්ත වූ ඒ සුවයෙන් නිපන් අතිප්‍රණීත වූ රූපයෙන් ඔහුගේ රූපකාය ස්පර්‍ශ වන්නේ ය. එයින් හේ ධ්‍යානයෙන් නැගී සිටියේ ද කායික සුව අනුභව කෙරෙයි. “සුඛං ච කායෙන පටිසංවෙදෙති” යනු වදාළේ එහෙයිනි. (නාම කායයෙන් චෛතසික සුඛය ද කායික සුඛ හේතු වූ රූපය ඉපදවීමෙන් කායික සුඛය ද ධ්‍යාන සමන්විතයා අනුභව කෙරෙයි යි කියනු ලැබෙයි. මේ මෙහි සංක්‍ෂෙපාර්ථයි යනු පැරකුම්බා සන්නයි.)
යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති - යම් ධ්‍යානයක් හේතු කොටැ ගෙනැ බුද්ධාදි ආර්‍ය්‍යයෝ ඒ තෘතීයධ්‍යාන සමඞ්ගි පුද්ගලයා හට “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී”යි ප්‍රශංසා කරත් ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි යනු එහි අර්‍ථ යි. කුමක් හෙයින් උන්වහන්සේ ඔහුට එසේ ප්‍රශංසා කරනසේක්ද ප්‍රශංසාවට සුදුසු බැවින්. ඒ එසේ මැ යි:-
මේ තෙමේ ඉතා මිහිරි සුව ඇති - සුවයාගේ පරතෙරට පත් - තෘතීය ධ්‍යානයෙහි ද “උපේක්‍ෂකය” ය යනු සුඛාභිලාෂයෙන් නො අදනු ලැබෙයි. ප්‍රීතිය නූපදනා පරිදි සිහි එළවා සිටින බැවින් ස්මෘතිමත් ය. ආර්‍ය්‍යකාන්ත වූ ආර්‍ය්‍ය ජන නිසේවිත වූ අසංක්ලිෂ්ට වූ සුඛය නාමකායයෙන් විඳින බැවින් සුඛ විහාරී ය. එ හෙයින් එසේ ප්‍රශංසාර්‍භ ය, එ හෙයින් ම ආර්‍ය්‍යයෝ ඔහුට “උපෙක්ඛකො සතිමා සුඛ විහාරී” යයි ප්‍රශංසා කරති යි දතයුතු.
“තතියං” ගණන් පිළිවෙළින් ද තුන් වැනි වැ සමවදින බැවින් ද මේ “තතිය” යි.
එකඞ්ග විප්පහීණං දුවඞ්ග සමන්තාගතං = එකාඞ්ගයෙකින් විප්‍රහීණ වූ, අඞ්ගද්වයෙකින් සමන්විත වූ, මෙහි එකාඞ්ග විප්‍රහීණත්‍වය ප්‍රීති ප්‍රහාණ වශයෙන් වූවෙකි. ප්‍රීතියෙහි ද්විතීය ධ්‍යානයෙහි විතර්‍ක-විචාර මෙන් අර්‍පනාක්‍ෂණයෙහි ම ප්‍රහීණ වන්නේ ය. එබැවින් එය ප්‍රහාණාඞ්ගය යි කියන ලදි. සුඛ චිතේතකග්ගතා ඉපදීම් වශයෙන් අඞ්ගද්වයෙන් සමන්විත විය. එහෙයින් විභඞ්ගයෙහි “ඣානංති උපෙක්ඛා සතිපම්පජඤ්ඤං සුඛං චිත්තස්සේකග්ගතා”[12] යි වදාළේ ය. එසේ වදාළේ පර්‍ය්‍යාය වශයෙන් සපරිවාර ධ්‍යානය දක්වනු සඳහා ය. උපේක්‍ෂාව හා සතිසම්පජඤ්ඤ හැරැ නිෂ්පර්‍ය්‍යාය වශයෙන් උපනිධ්‍යාන ලක්‍ෂණයට පැමිණි අඞ්ගයන්ගේ වශයෙන් මෙය දුවඞ්ගික යි.
වදාළේ මැ යි.
“කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්සේකග්ගතා”[13] යි. සෙස්ස ප්‍රථම ධ්‍යානයෙහි කී පරිදිම ය.
තෘතීය ධ්‍යානය පිළිබඳ විස්තරය යි.