මෙසේ ලැබැ ගත් ද්විතීය ධ්‍යානයෙහි යට කීසේ පස් ආකාරයකින් චීර්‍ණවශී වූවහු විසින් ප්‍රගුණ වූ ඒ ද්විතීය ධ්‍යානයෙන් නැඟී “මේ සමාපත්තිය ආසන්න වූ විතර්‍ක - විචාර සංඛ්‍යාත සතුරන් ඇත්තේ ය. එහි පවත්නා ප්‍රීතිය ද සිත උල්පවන්නෙකි. එ බැවින් එය ඖදාරික සේ වැටහේ. එය ඖදාරික බැවින් ම එහි අඞ්ග ද දුර්‍බලය”යි ද්විතීය ධ්‍යානයෙහි දෝෂ දැක තෘතීය ධ්‍යානය ශාන්ත වශයෙන් සලකා ඒ ද්විතීය ධ්‍යානයෙහි ආශාව දුරු කොටැ තෘතීය ධ්‍යානය ලබාගන්නා පිණිස භාවනා කටයුතු. එසේ භාවනාරම්භ කරන්නා ද්විතීය ධ්‍යානයෙන් නැඟි නුවණ ඇති වැ ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්‍ෂා කරත් ම ඔහුට ප්‍රීතිය ඖදාරික වශයෙන් වැටහෙයි සුඛය හා එකග්ගතාව ශාන්ත වශයෙන් වැටහෙයි. එවිට හේ ඖදාරිකාඞ්ගය දුරු කරනු පිණිස ද, ශාන්තාඞ්ග ලබනු පිණිස ද ඒ නිමිත්තම “පඨවි පඨවි” යි නැවත නැවත මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරත්ම දැන් තෘතිය ධ්‍යානය උපදින්නේ ය යි භාවඞ්ග සිඳි ඒ පඨවී කසිණය ම අරමුණු කොටැ මනෝද්වාරාවර්‍ජනය උපදී. ඉක්බිති එ ම අරමුණු කොටැ ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙයි. එහි අවසාන ජවනය රූපාවචර තෘතීය ධ්‍යානය යි. මොබ සෙස්ස යට කී සේ කාමාවචර ය. මෙතෙකින් ඒ යොගී
“පීතියා ච චිරාගා උපෙක්ඛකො ච විහරති යතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආවික්ඛන්ති “උපෙක්ඛකො සතිමා සුඛවිහාරී”ති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති[1] යි දැක්වුණු පරිදි ඒකාඞ්ගයෙකින් අඩු වූ අඞ්ගද්වයකින් සමන්විත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් යුත් පඨවි කසිණ තෘතීය ධ්‍යානය ලැබැ ගත්තේ වෙයි.
“පීතියා ච විරාගා” යනාදියෙහි පදානුක්‍රම විවරණය මෙසේ ය.
පීතියාච විරාගා = යට දැක්වුණු ආකාර ඇති ප්‍රීතිය පිළිබඳ පිළිකුල් කිරීමෙන් හෝ ඉක්මීමෙන්, මෙහි “ච” ශබ්ද සම්පිණ්ඩනාර්‍ථ යි. එයින් සම්පිණ්ඩණය කරන්නේ ප්‍රීතියේ හා විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමය යි. ප්‍රීති ව්‍යුපශමය සම්පිණ්ඩනය කරන කල්හි ප්‍රීතියෙන් විරාගයෙන්, වැළි ප්‍රීති ව්‍යුපශමයෙන් යි පද යෝජනා කටයුතු ය. මෙහි විරාග නම් ජිගුච්ඡනය යි. පිළිකුල් කිරීම යි. එබැවින් ප්‍රීතියෙහි ජුගුප්සාවෙන් හා ප්‍රීතිය සමතික්‍රමයෙන් යන අර්‍ථය දත යුතු. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමය සම්පිණ්ඩනය කරන කල්හි ප්‍රීතියෙහි විරාගයෙන් වැළි ‘විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන්’යි පද යෝජනා කටයුතු. මෙහි විරාගය සමතික්‍රමණාර්‍ථ යි. එහෙයින් ප්‍රීතිය සමතික්‍රමණය කිරීමෙන්, විතර්‍ක විචාර ද ව්‍යුපශමනය කිරීමෙන් යි එවිට අර්‍ථ ගත යුතු.
විතර්‍ක - විචාර ද්විතීය ධ්‍යානයෙහි දී සන්සිඳුණේ නො වේ ද, මෙහි යළිදු කුමක් හෙයින් ගනු ලැබේද යනු මෙහි ලා ප්‍රශ්නයෙකි.
මේ ධ්‍යානයට මාර්‍ග දක්වනු පිණිස හා ගුණ කියනු පිණිසය යනු උත්තරයි. එහි විස්තරය මෙසේ දත යුතු.
විතර්‍ක[2] විචාර ව්‍යුපශමය මේ ධ්‍යානයට එකාන්ත මාර්‍ගයෙකි. ද්විතීය ධ්‍යානය නො ලද හොත් තෘතීය ධ්‍යානය නො ලද හැකි බැවින් විතර්‍ක විචාර සමතික්‍රමණය තෘතීය ධ්‍යාන ලාභයට මාර්‍ග යි. මේ පළමු වන උත්තරයේ විස්තර යි. අනාගාමී මාර්‍ගය දක්වන තන්හි “පඤ්චන්තං ඔරමභාගියාන සංයොජනානං පහාණා”[3] යි. එයින් නො පහනු ලබන සක්කායදිට්ඨි ආදීන්ගේ ද ප්‍රහාණය දක්වනුයේ එහි ගුණ කීම ය. එය ලබාගනු සඳහා උත්සාහ උපදවීම සඳහා ය. එමෙන් මෙහිදු මෙයින් නොසන්සිඳෙන විතර්‍ක-විචාර ව්‍යුපශමය කීම එහි ගුණ කීම යි.
උපෙක්ඛකො ච විහරති = උප්පත්තිතො ඉක්ඛති ති උපෙක්ඛා-යුක්ති වශයෙන් බලන්නේ උපේක්‍ෂා ය. පක්‍ෂපාත නොව සම වැ බලන්නේ යයි සේයි. ව්‍යක්ත වූ විපුල වූ ස්ථිරත්‍වයට පැමිණි ඒ උපේක්‍ෂායෙන් යුත් බැවින් තෘතීය ධ්‍යාන සමංගී පුද්ගල උපේක්‍ෂකය යි කියනු ලැබේ. (ව්‍යක්තත්‍වය සංකේලශ විගමනයෙනි. විපුලත්‍වය මහද්ගත භාවයට පැමිණීමෙනි. ස්ථිරත්‍වය ප්‍රීති විගමයෙනි.) උපේක්‍ෂාව දස වැදෑරුම් වේ.