ආවජ්ජන, සමාපජ්ජන, අදිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ ය යි වසී පසෙකි. (වසී නම් රිසි සේ යටත් කොටැ ගෙනැ පවත්වන්නට සමර්‍ථ බව යි.)
1. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැතිතාක් කල් ආවර්‍ජනය කිරීමෙහි සමර්‍ථ බව - ආවර්‍ජනයෙහි ලැසි නොවන බව ආවජ්ජන වසී ය.
2. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයකට කැමැතිතාක් කල් සමවැදීමෙහි සමර්‍ථ බව - සම වැදීමෙහි ලැසි නොවන බව සමාපජ්ජන වසී ය.
3. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැතිතාක් කල් අධිෂ්ඨානයෙහි සමර්‍ථ බව - අධිෂ්ඨානයෙහි ලැසි නොවන බව අධිෂ්ඨාන වසී ය.
4. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයෙකින් කැමැති කාලයෙකැ නැඟී සිටීමෙහි සමර්‍ථ බව - නැඟී සිටීමෙහි ලැසි නොවන බව වුට්ඨාන වසී ය.
5. කැමැති යම් තැනෙක කැමැති යම් ධ්‍යානාඞ්ගයක් කැමැති යම් කලෙක ප්‍රත්‍යවේක්‍ෂායෙහි සමර්‍ථ බව - ප්‍රත්‍යවේක්‍ෂායෙහි ලැසි නොවන බව පච්චවෙක්ඛණ වසී ය.
එහි අර්‍ථ ප්‍රකාශනය මෙසේ දත යුතු.
1. ප්‍රථම ධ්‍යානයෙන් නැඟී එහි ප්‍රථමාඞ්ගය වූ විතර්‍කය අරමුණ කරන්නහුට භවාඞ්ග සිඳැ ගෙනැ උපන් ආවර්‍ජනයට අනතුරු වැ එම අරමුණු කොටැ ඇති ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙන්නේ ය. තදනන්තර වැ භවාඞ්ග දෙකෙක් උපදී. යළි විචාරය අරමුණු කොටැ ආවර්‍ජනය ද, යට දැක්වුණු සේ ජවන් ද දිවෙයි. මෙසේ ධ්‍යානාඞ්ග පසෙහි නිරතුරු සිත මෙහෙයන්නට සමර්‍ථ වී නම් එවිට ආවජ්ජන වසී සිද්ධ වූයේ වේ. භවාඞ්ග සිත් දෙකකින් අතුරු ඇති සතර ජවන් සිත් ඇති මේ මස්තක ප්‍රාප්ත වසී වනාහි බුදුරජාණන් වහන්සේට යමා මහ පෙළහර දක්වන කල්හි ලැබෙන්නේ ය. සෙසු සැරියුත් ස්වාමි ආදීන්ට ද ලැබෙන්නේ එබඳු කලෙක ය. මෙයට වඩා සියුම් ආවජ්ජන වසීයෙක් නැති. (බුදුනට එක භවාඞ්ගයෙකින් අතුරු නොවන බැවිනි. තික්ඛින්‍ද්‍රියයනට ජවන් සතර ය. නාතිතික්ඛින්‍ද්‍රියයනට ජවන් පස යි.)
2. නන්‍දොපනන්‍ද දමනයෙහි සමර්‍ථ බව මුගලන් ස්වාමීන්ට මෙන් සිඝ්‍ර වැ සමවැදීමෙහි සමර්‍ථ බව සමාපජ්ජන වසී ය.
3. අසුරක් හෝ දස අසුරක් හෝ පහරන පමණ කාලයක් තබා ගන්නට සමර්‍ථ බව අධිට්ඨාන වසී ය.
4. එසේ ම වහා නැඟෙන්නට සමර්‍ථ බව වුට්ඨාන වසී ය. අධිට්ඨාන වුට්ඨානවසී දක්වනු සඳහා බුද්ධරක්ඛිත ස්වාමීන්ගේ කථාව කිය යුතු. බුද්ධරක්ඛිත ස්වාමි උපසම්පදායෙන් අටවැසි වූයේ ම ථෙරම්බත්‍ථලයෙහි මහාරොහණගුත්ත ස්ථවිරයන් වහන්සේට ගිලන් උපස්ථාන සඳහා රැස් වූ තිස්දහසක් සෘද්ධිමතුන් මැද සිටියේ තෙරුන්වහන්සේට කැඳ පිළිගන්වමින් සිටි උපස්ථායක නාගරාජයා අල්වාගැනීම පිණිස අහසින් බස්නා ගුරුළු රජු දැකැ එකෙණෙහිම පර්‍වතයක් මවා නාරජ අතින් ගෙනැ ඒ පර්‍වතයට වැදුණේ ය. ගුරුළා පර්‍වතයට පහර දී පළා ගියේය. “ඇවැත්නි බුද්ධරක්ඛිත නො සිටින්නට අපි සියල්ලෝ නින්‍දා කටයුත්තෝ නොවම්හු දැ” යි මහාස්ථවිරයන් වහන්සේ කී සේක.
5. පච්චවෙක්ඛණවසීය ආවජ්ජන = වසියෙහි කියන ලදී. ප්‍රත්‍යවේක්‍ෂා ජවන් ම ඒ ආවජ්ජනයෙහි ආවර්‍ජනයට අනතුරු වැ වේ.
මේ සඳහා පැරකුම්බා සන්නයෙහි මෙසේ දැක් වේ. “මෙහි ආවජ්ජන වසියෙන් ම ප්‍රත්‍යවේක්‍ෂා වශිය සිද්ධ වත් අධිට්ඨාන වසියෙන් ම වුට්ඨානවසිය සිද්ධවත් අවජ්ජනවසිය හා ප්‍රත්‍යවේක්‍ෂා වශයෙහි ද, අධිට්ඨානවසිය හා වුට්ඨානවසියෙහි ද වෙසෙස් කිමෙක් ද යත් :- ජවනුන්ට ධ්‍යානාඞ්ගයන් ස්ඵුට වැ නො වැටහෙතු දු ධ්‍යානාඞ්ගයෙහි නිරනතර කොටැ ආවජ්ජනය පැවැත්විය හෙන බව ආවජ්ජනවසි නම් වෙයි. ධ්‍යානාඞ්ගයන් ස්වභාව විසින් ස්ඵුට වැ පස්විකනුකොට ජවන් පැවැත්විය හෙන බව ප්‍රත්‍යවේක්‍ෂාවශී නම් වේ. සත් ජවනුන් දිවතුදු නිරන්තර කොටැ ආවජ්ජනය පැවැත්වියහෙන බැව් ආවජ්ජනවසී නම් වෙයි. වශිතා බලයෙන් සත් ජවනුන් නො වැදී සතර හෝ පස් හෝ ජවන් කෙනකුන් ප්‍රත්‍යවේක්‍ෂා කටහෙන බව ප්‍රත්‍යවේක්‍ෂාවශිතා නම්. නොහොත් ඥාන විප්‍රයුක්ත චිත්තයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට හෙතු දු ප්‍රත්‍යවේක්‍ෂා කරමි යන ආවජ්ජන විථියට ඉක්බිති වැ භවඞ්ගයෙහි නො ලස් වැ වහා ධ්‍යානාඞ්ගයන් ආවජ්ජනා කට හෙන බව ආවජ්ජනවසිතා නම් වෙයි. වශිතා බලයෙන් ඥාන විප්‍රයුක්ත සිතිනු දු පස්විකියහෙන බව ප්‍රත්‍යවේක්‍ෂාවශිතා නම් වේ. තමා කැමැති තෙක් කල් සමාපත්තිය පැවතෙන බව අධිට්ඨානවාසි නමි. පරිච්ඡින්න කාලය නො ඉක්මවා ධ්‍යානයෙහි ආලය හැරිය හෙන බව උට්ඨානවසී නම්. නොහොත් තමා විසින් පරිච්ඡින්න කාලය නොයික් මැ පවතු දු පරිච්ඡින්න කාලය නො උන්නු කොටැ පැවැත්විය හෙන බව අධිට්ඨානවසි නම් වෙයි. තමා පිරිසුන් කල් නො ඉක්මැ පිරිසුන් කල්හි මැ නැඟෙන බව චුට්ඨානවසී නමි. සිලිසන්‍යයෙහි වනාහි යම් යම් කසිණාලම්බනයෙහි ධ්‍යාන සමවදනා කැමැත්තහු නො ලස් වැ ඒ ඒ කිසුණු වහා ආවජ්ජනය ඉපදවිය හෙන බව ද ධ්‍යානයෙන් නැඟි ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු භාවාඞ්ගයෙහි නො ලස් වැ භාවාඞ්ගයෙන් නැඟි විතර්කාදි ධ්‍යානාඞ්ගයෙහි වහා ආවර්ජනා පැවැත්විය හෙන බව ආවජ්ජනවසී නමි. කිසුණෙහි වහා ආවජ්ජනා ඉපද වුව ද උපචාරයෙහි වහා ධ්‍යානයට සමවැද්දහෙන බව සමාපජ්ජනවසි නම. ඇසුරු පහරනා පමණ මඳ කලෙක්හි දු ධ්‍යානයෙහි සිටිනු කැමැත්තහු නො උනු කොටැ එතෙක් කල් ම සිටිය හෙන බව අධිට්ඨානවසි නම. පරිච්ඡන්න කාලය නො ඉක්මවා තමා සමවන් සමාපත්තියෙන් තර වැ නැඟෙන බව වුට්ඨානවසී නිම. ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහු යටැ කී සෙයින් මැ ඉපද වූ ආවජ්ජනයට ඉක්බිති සැහැල්ලු කොටැ වහා ප්‍රත්‍යවේක්‍ෂා ජවන් පැවැත්විය හෙන බව ප්‍රත්‍යවේක්‍ෂා වශී නම් වෙයි කීහු” ය.
මේ පංච වසීන්හි පුරුදු වූවහු විසින් පුහුණු වූ ප්‍රථමධ්‍යාන යෙන් නැඟී “මේ සමාපත්තියෙහි ආසන්න වූ නීවරණ සංඛ්‍යාත සතුරෝ ඇත්තාහ. විතර්‍ක - විචාර ඖදාරික බැවින් අඞ්ගයෝ ද දුර්‍වලයහ”යි. එහි දොස් දැකැ විතර්‍ක - විචාර නැති බැවින් ද්විතීය ධ්‍යාන ශාන්ත වශයෙන් සලකා ප්‍රථමධ්‍යානයෙන්හි නිකන්ති දුරු කොටැ ද්විතීය ධ්‍යානය ලබාගන්නා පිණිස භාවනාරම්භ කළ යුතු.
එසේ ආරම්භ කරත්ම ධ්‍යානයෙන් නැඟී සිහි නුවණ ඇති වැ ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ ඔහුට විතර්‍කය හා විචාරයා ඖදාරිකා වශයෙන් වැටහෙයි. ප්‍රීතිය හා සුඛය හා චිත්තේකග්ගතාව හා ශාන්ත වශයෙන් වැටහෙයි. එසේ වැටහෙන කල්හි හේ ඖදාරිකාඞ්ග දුරු කැරැ යනු සඳහා ද ශාන්තාඞ්ග ලබාගනු සඳහා ද ඒ යට කී නිමිත්ත ම ‘පඨවි-පඨවි’ යි නැවත නැවත මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරන්නා වූ ඔහුට මේ දැන් ද්විතීය ධ්‍යානය ලැබෙන්නේ යයි භවාඞ්ග උපචේඡද ව ඒ පඨවි කසිණය ම අරමුණු කොටැ මනොද්‍වාරාවර්‍ජනය උපදී. ඉක්බිති ඒ අරමුණ මැ එල්බ ජවන් සතරෙක් හෝ පසෙක් දිවෙයි. ඒ ජවනයන්ගේ අවසානයෙහි එක රූපාවචර දුතියජ්ඣානික ය. මොබ සෙස්ස කාමාවචර යි. මෙතෙකින් ඒ යොගි විතර්‍ක - විචාර සංසිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්‍රසාදනයෙන් යුක්ත වූ, චිත්තයාගේ එකෝදි භාවය යි කියන ලද, විතර්‍ක - විචාර නැති, සමාධියෙන් නිපන් ප්‍රීති හා සුඛ ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණැ වාසය කරයි. එසේ ඔහු විසින් විතර්‍ක - විචාර යන අඞ්ග ද්වයයෙන් වියුක්ත වූ පීති-සුඛ-එකග්ගතා යන අඞ්ගත්‍රයෙන් යුක්ත වූ ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්‍ෂණයෙන් සමන්විත පඨවි කසිණ ද්විතීය ධ්‍යානය ලබා ගන්නා ලද්දේ වෙයි.
ද්විතීය ධ්‍යානයෙහි ආකාර දක්වන පාළිය මෙසේ ය :-
“විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති - සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති”[1] ‘විතර්‍ක - විචාර සංසිඳීමෙන්’ යනාදින් යට දක්වන ලද්දේ මෙහි අර්‍ථය යි. යළිදු එය පදානුක්‍රමයෙන් පැහැදිලි කරනු ලැබේ.
විතක්ක විචාරානං වූපසමා = විතර්‍ක - විචාර යන මේ අඞ්ගද්වය සංසිඳීමෙන් හෙවත් ප්‍රහාණ වශයෙන් ඉක්මීමෙන් ද්විතීය ධ්‍යාන ක්‍ෂණයෙහි පහළ නොවීමෙන් යයි සේ යිා. මෙහි කිය යුත්තෙක් ඇත. ප්‍රථම ධ්‍යානය පිළිබඳ කිසිම ධර්‍ම කෙනෙක් ද්විතීය ධ්‍යානයෙහි නො වෙති. ප්‍රථම ධ්‍යානයෙහි ඵස්සාදීහු අන්‍යයෝ ය. ද්විතීය ධ්‍යානයෙහි ඵස්සාදීහු අන්‍යයෝ ය. එතකුදු වුවත් ඖදාරික අඞ්ග සමතික්‍රමයෙන් ප්‍රථම ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යානයාගේ අධිගමය වන්නේ යයි දක්වනු පිණිස “විතක්ක විචාරානං වූපසමා” යි වදාරන ලදැ යි දත යුතු.
අජ්ඣත්තං = මෙයින් නියකජ්ඣත්තය කියන ලදී. විභඞ්ගයෙහි අජ්ඣත්තංපච්චත්තං’යි මෙතෙක් වදාළේ ය. මෙහි නියකජ්ඣත්තය අදහස් කරන ලද බැවින් තමාගෙන් උපන් - ස්ව සන්තානයෙහි උපන් යන අර්‍ථය ගත යුතු.
සම්පසාදනං = මෙයින් ශ්‍රද්ධාව කියනු ලැබේ. නීලවර්‍ණ යෝගයෙන් වස්ත්‍රය ද නීල වන්නා සේ සම්ප්‍රසාදන යෝගයෙන් ධ්‍යානයද සම්පසාදන වේ. නොහොත් ඒ ධ්‍යානය සම්පසාදනයෙන් යුක්ත බැවින් විතර්‍ක - විචාරයන්ගෙන් වන කැලඹුම් සංසිඳීමෙන් සිත පහදවන බැවින් සම්පසාදනය යි කියනු ලැබේ. මෙසේ අර්‍ථ ගන්නා කල්හි “සම්පසාදන චෙතසො”යි පද සම්බන්‍ධ කටයුතු. මුල කී “සම්පසාදන යොගතො සම්පදානං” යන අර්‍ථ විකලපනයෙහි “චෙතසො” යනු “එකොදි භාවං” යනු හා යෙදිය යුතුයි. මේ එහි අර්‍ථ යෝජනාව ය.
චෙතසො එකොදිභාවං = එකො උදෙතීති එකොදි ශ්‍රෙෂ්ඨ වැ නැඟෙන්නේ එකො දි ය. විතර්‍ක විචාරයන් විසින් අධ්‍යාරූඪ නො වන බැවින් ශ්‍රේෂ්ඨ වැ නැඟෙන්නේ ඒකොදි යයි කී සේ යි. ලෝකයෙහි ශ්‍රෙෂ්ඨ ද එක යයි කියති. විතර්‍ක-විචාර රහිත වැ - හුදෙකලා වැ - අසහාය වැ නැඟෙන්නේ හෝ ඒකොදි යයි කියනු යෙදෙයි. නොහොත් “සම්පයුත්ත ධම්මෙ උදායතිති උදි. එකො ච සො උදිචෙති එකොදි. එකොදිං භාවෙතීති එකොදිභවං”[2] ඵස්සාදි සම්ප්‍රයුක්ත ධර්‍ම නඟන්නේ උදි යැ. ඒක - ශ්‍රෙෂ්ඨ උදි එකොදි යැ. එනම් සමාධිය යි. මේ සමාධි සංඛ්‍යාත ඒකොදි වඩන්නේ ඒකොදි භාවය’ එනම් ද්විතීය ධ්‍යානය යි යට දැක්වුණු ඒකොදිය සත්ත්‍වයකුගේ ජීවියකගේ නො වැ චිත්තයාගේ ය. එහෙයින් “චෙතසො එකොදිභවං”යි කියන ලදි.
ප්‍රශ්නයෙකි. මේ සද්ධා සංඛ්‍යාත සම්පසාදනය ද සමාධි සංඛ්‍යාත සම්පසාදනය ද සමාධි සංඛ්‍යාත ඒකොදිය ද ප්‍රථම ධ්‍යානයෙහි දු ඇත්තේ නො වේ ද කුමක් හෙයින් ද්විතීය ධ්‍යානය ම “සම්පසාදනං චෙතසො එකොදිභාවං”යි කියන ලදද
උත්තර මෙසේ ය :- විතර්‍ක - විචාරක්‍ෂෝභයෙන් යුත් ප්‍රථම ධ්‍යානය රළපතරින් යුත් ජලය සේ සුප්‍රසන්න නො වෙයි. එ බැවින් එහි ශ්‍රද්ධාව ඇත ද එය සම්පසාදනය යි නො කියන ලදි. සම්පසාදනය නැති බැවින් ම එහි සමාධිය අප්‍රකට ය. එ බැවින් එකොදිභාවය යි නො කියන ලදි. ද්විතීය ධ්‍යානයෙහි විතර්‍ක - විචාරක්‍ෂොභ නැති බැවින් ලද අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත් වැ පවතී. බලවත් ශ්‍රද්ධා ලාභයෙන් ම සමාධිය ද ප්‍රකට වැ පවතී. එ හෙයින් මේ ද්විතීය ධ්‍යානය ම “සම්පසාදනං චෙතසො එකොදිභවාං”යි කියන ලදි. විභඞ්ගයෙහි ‘සම්ප සාදනංති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො”යි ද “චෙතසො එකොදිභාවංති යා විත්තස්ස ඨිති සණ්ඨිති - පෙ - සම්මාසමාධි”[3] යි ද මේ තෙක් ම වදාළේ ය. ඒ හා සමග මේ අර්‍ථ වර්‍ණනාව අවිරුද්ධ වැ ඒකාන්තයෙන් සංසන්‍දනය වන පරිදි සැලකිය යුතු.
අවිතක්කං අවිචාරං - භාවනායෙන් ප්‍රහාණය කරන ලද බැවින් විතර්‍කය නැත්තේ අවිතර්‍කය. එසේ ම විචාරය නැත්තේ අවිචාරය.
වදාළේ මැ යි :- විභඞ්ගයෙහි “ඉති අයංච විතක්කො අයංච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්‍ථංගතා අබහත්තංගතා අප්පිතා ව්‍යප්පිතා සොසිතා විසොසිතා ව්‍යන්තිකතා. තෙන වුච්චති අවිතක්කං අවිචාරං”[4] යි. ‘මෙසේ මේ විතර්‍කය ද මේ විචාරය ද ශාන්තය, භාවනා බලයෙන් ශමථයට පමුණුවන ලද්දේ ය, විශේෂයෙන් ශාන්තය, අස්තඞ්ගතය, විශේෂයෙන් අස්තඞ්ගතය, විනාශයට පමුණුවන ලද්දේ ය. විශේෂයෙන් විනාශයට පමුණුවන ලද්දේය. වියලවන ලදී. විගතාන්ත කරන ලදි. එහෙයින් අවිතක්ක - අවිචාරය යි කියනු ලැබේ’ යනු එහි අර්‍ථ යි.
ප්‍රශ්නයෙකි - “විතක්ක විචාරානං වූපසමා” යන්නෙන් ම “අවිතක්කං අවිචාරං” යනු සිද්ධ නොවේ ද යළි කුමක් හෙයින් කියන ලද ද
උත්තර මෙසේ ය :- සැබව, ඒ අර්‍ථය සිද්ධ ය. එහෙත් “වීතක්ක - විචාරානං වූපසමා” යනු “අවිතක්ක අවිචාරං” යන්නෙහි අර්‍ථය නො දෙයි. (ද්‍විතීය ධ්‍යානාදීන්ගේ අධිගමයට උපායදීපක වූ අජ්ඣත්තසම්පසාදනභාවයට හා චේතසො එකොදි භාවයට හේතු දීපක වූ අවිතර්‍ක - අවිචාර භාවයෙහි දු ධේතු දිපක වූ විතර්‍ක - විචාර වූපසම වචනයෙන් විතර්‍ක - විචාරයන්ගේ අභාවය දිපික නොවේ” යනු පැරකුම්බා සන්න යි.) “ඖදාරික අඞ්ග සමතික්‍රමයෙන් ප්‍රථම ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යානාදීන්ගේ සමධිගමය වන්නේ ය. යනු දක්වනු සඳහා “විතක්ක විචාරානං වූපසමා” යනු කියන ලදැයි ආදියෙහි ම අපි කීයෙමෝ නො වමු ද
තවද අර්‍ථයෙකි. මේ සම්පසාදනය විතක්ක - විචාරයන්ගේ ව්‍යපශමයෙන් වන්නේ ය. ක්ලේශ කාලුෂ්‍යයාගේ ව්‍යපශමයෙන් නො වන්නේ ය. මේ එකොදිභාවය ද විතර්‍ක - විචාරයන්ගේ ව්‍යපශමයෙන් වන්නේ ය. උපචාර ධ්‍යානය මෙන් නීවරණ ප්‍රහාණයෙන් හෝ ප්‍රථම ධ්‍යානය මෙන් අඞ්ග ප්‍රාදුර්‍භාවයෙන් හෝ නො වන්නේ ය. එහෙයින් “විතක්ක විචාරානං වූපසමා” යනු සම්පසාදන එකොදිභාවයන්ට හේතු දක්වන වචන යි. තවද මේ අවිතර්‍ක - අවිචාර වන්නේත් විතර්‍ක-විචාර-ව්‍යපශමයෙනි. තෘතීය ධ්‍යානය චක්‍ෂුර්විඥානාදිය මෙන් විතර්‍ක-විචාර අභාවයෙන් ම නොවේ. එබැවින් “විතක්ක විචාරානං වූපසමා” යනු අවිතර්‍ක-අවිචාරභාවයට හේතු දක්වයි. විතර්‍ක-විචාර අභාව මාත්‍රය නො දක්වයි. “අවිතක්කං-අවිචාරං” යනු ම විතර්‍ක විචාර අභාව මාත්‍රය දක්වයි. එ බැවින් “විතක්ක විචාරානං වූපසමා” යනු කීව ද “අවිතක්කං අවිචාරං” යනු ද කිය යුතු ම ය.
සමාධිජං = ප්‍රථම ධ්‍යානය සමාධියෙන් හෝ සම්ප්‍රයුක්ත සමාධියෙන් හෝ උපන් (ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානයට උපනිඃශ්‍රය ප්‍රත්‍ය වන බැවින් ප්‍රථම ධ්‍යාන සමාධියෙන් යි කීහ.) ප්‍රථම ධ්‍යානය ද සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේ නො වේ ද මේ ද්විතීය ධ්‍යානයම සමාධිජය යි. කවර හෙයින් කීහු ද විතර්‍ක විචාරක්‍ෂොභ රහිත වැ ඉතා නිශ්චල බැවින් ද සුප්‍රසන්න බැවින් ද මේ ද්විතීය ධ්‍යානය ම සමාධිය යි කිය යුතු ය. එබැවින් එහි ම වර්‍ණ කථනය සඳහා “සමාධිජ” ය යි කියන ලදී.
“පීතිසුඛං” යට කී නියා මැ යි.
දුතියං = ගණන් පිළිවෙළින් හෝ දෙ වැනි උපන් බැවින් හෝ දෙ වැනි වැ සමවදින බැවින් හෝ දෙවැනි
“දුවඞ්ගවිප්පහිණං තිවඞ්ගසමන්තාගතං”[5] යන තන්හි විතර්‍ක-විචාරයන්ගේ ප්‍රහාණ වශයෙන් ම ද්වඞ්ග විප්පහීණතාව දත යුතු. ප්‍රථම ධ්‍යානයාගේ උපචාර ක්‍ෂණයෙහි නීවරණ ප්‍රහාණ වන්නා සේ ද්‍විතීය ධ්‍යානයාගේ උපචාර ක්‍ෂණයෙහි විතර්‍ක විචාරයෝ ප්‍රහීණ නො වෙති. අර්පණා ක්‍ෂණයෙහි ම ද්විතීය ධ්‍යානය විතර්‍ක-විචාර නැති වැ උපදී. එ හෙයින් විතර්‍ක - විචාර ද්විතීය ධ්‍යානයාගේ ප්‍රහාණාඞ්ගය යි කියනු ලැබේ. පීති - සුඛං - එකග්ගතා වශයෙන් තිවඞ්ග සමන්තාගත වේ.
එහෙයින් විභඞ්ගයෙහි “ඣානං ති සම්පසාදො පීති සුඛං චිත්තස්ස එකග්ගතා”[6] යි වදාළේ ය. එ ද සපරිවාර ධ්‍යානය දක්වන්නට පර්‍ය්‍යායයෙන් වදාරන ලද්දෙකි. සම්පසාදනය හැරැ නිෂ්පර්‍ය්‍යාය වශයෙන් උපනිධ්‍යාන ලක්‍ෂණයට පැමිණ අඞ්ගයන්ගේ වශයෙන් මේ තිවඞ්ග මැ යි. “කතමං තස්මිං සමයෙ තිවඞ්හිකං ඣානං හොති පීති සුඛං චිත්තස්සෙකග්ගතා”[7] යි එහෙයින් වදාළේ ය. (රථයට පාණ්ඩුකම්බලය මෙන් සම්ප්‍රසාදනය ධ්‍යානයට පරිවාර වෙයි. ධානාඞ්ග නො වෙයි. කී සේය.) සෙස්ස ප්‍රථම ධ්‍යානයට කි නියා මැයි.