1. ප්‍රථම ධ්‍යානයාගේ ආදි කල්‍යාණය ප්‍රතිපදා විශුද්ධිය යි, (ගොත්‍රභු අවසන් කොට ඇති භාවනා විෂය ප්‍රතිපදා නම් වේ. ඒ ප්‍රතිපදාව පිළිබඳ උපද්‍රවයන්ගෙන් විශුද්‍ධවීම ප්‍රතිපදා විශුද්ධිය යි. එය ධ්‍යානයාගේ උත්පාදක්‍ෂණයෙහි ලැබෙන බැවින් ප්‍රතිපදා විශුද්ධිය ආදි කල්‍යාණය යි කීහු.)
2. උපෙක්‍ෂානුබ්‍රෑහණාව - උපෙක්‍ෂාව වැඩීම මධ්‍ය කල්‍යාණය යි.
3. සම්පහංසනාව - සතුටුවීම පරියොසන කල්‍යාණය යි.
දශ ලක්‍ෂණය
මෙය ත්‍රිවිධ කල්‍යාණ පිළිබඳ මය.
ප්‍රතිපදා විශුද්ධි සංඛ්‍යාත ආදි කල්‍යාණයාගේ ලක්‍ෂණ තුනෙකි.
1. ධ්‍යානය පිළිබඳ උපද්‍රවයන්ගෙන් සිත ශුද්‍ධ වීම
2. ඒ ශුද්‍ධවීමෙන් ම සිත මධ්‍යම සමථ නිමිත්තට පැමිණීම
3. ඒ පැමිණීමෙන් ම සිත එහි වැදැ සිටීම
මේ ආදි කල්‍යාණයාගේ ත්‍රිවිධ ලක්‍ෂණය යි.
උපෙක්‍ෂානුබ්‍රෑහණා සංඛ්‍යාත මධ්‍ය කල්‍යාණයාගේ ලක්‍ෂණ තුනෙක.
1. ප්‍රතිපදා බලයෙන් පිරිසිදු වූ සිත නැවත පිරිසිදු නොකට හැකි බැවින් විශොධනයෙහි ව්‍යාපාර නො කොට උපේක්‍ෂා වීම.
2. සමථ භාවයට පැමිණි හෙයින් නැවත සමාධානයෙහි ව්‍යාපාර නො කොටැ උපේක්‍ෂා වීම.
3. සමථයට පැමිණි හෙයින් ම ක්ලේශ සංසර්‍ගය හැරැ ඒකත්‍වයෙන් වැටහුණු සමාධිහුගේ නැවත එකත්තුපට්ඨානයෙහි ව්‍යාපාර නො කැරැ උපේක්‍ෂා වීම.
මේ මධ්‍ය කල්‍යාණයාගේ ත්‍රිවිධ ලක්‍ෂණ යි.
සම්පහංසනා සංඛ්‍යාත පරියොසාන කල්‍යාණයාගේ ලක්‍ෂණ සතරෙකි.
1. එහි උපන් සමාධි ප්‍රඥා සංඛ්‍යාත යුගනද්ධ ධර්‍ම නො ඉක්මෙන බැවින් සතුටු වීම.
2. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් නානා ක්ලේශයන් කෙරෙන් මිදී විමුක්ති රසයෙක එකරස වන බැවින් සතුටුවීම
3. ඒ එකරස භාවයට අනුරූප වැ වීර්‍ය්‍ය පවත්නා බැවින් සතුටුවීම.
4. ආසෙවන වශයෙන් සතුටුවීම.
මේ පරියෝසාන කල්‍යාණයාගේ චතුර්විධ ලක්‍ෂණයි මෙය මතු ද පැහැදිලි කෙරේ.
යට දැක්වුණු ත්‍රිවිධ කල්‍යාණ අතුරෙන් ප්‍රතිපදා විශුද්ධි නම් පරිකර්‍ම සහිත උපචාරය යි ද, උපේක්‍ෂානුබ්‍රෑහණා නම් අර්පණාය යි ද, සම්පහංසනා නම් ප්‍රත්‍යවෙක්‍ෂණය යි ද අභයගිරි නිකායිකයෝ කියති. අර්පණාප්‍රාප්ත චිත්තයම ප්‍රතිපදාවිශුද්ධි උපේක්‍ෂානුබ්‍රෑහණා ඤාණසම්පහංසනා යන ත්‍රිවිධ කල්‍යාණයෙන් යුක්ත බව පෙළෙහි වදාළ බැවින් ඔවුන්ගේ මතය සාවද්‍යය ඒ ත්‍රිවිධ කල්‍යාණය ම අර්පණා ප්‍රාප්තය බව දත යුතු. එහි දු ප්‍රතිපදාවිශුද්‍ධිය ආගමන වශයෙන් ද, උපේක්‍ෂානුබ්‍රෑහණාව තත්‍රමජ්ඣත්තුපෙක්ඛාවගේ කෘත්‍ය වශයෙන් ද, සම්පහංසනාව ධර්‍මයන්ගේ අනතිවතතනාදිය සිදුවීමෙන් පිරිසිදු වූ ඥානයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් ද වන්නේ ය.
එහි විභාගය මෙසේ ය.
1. සතර පස් සිතක් ඇති යම් අර්පණා වාරයෙක අර්පනාව උපන්නේ නම් එවිට ඒ ධ්‍යානයට උපද්‍රව වශයෙන් පවත්නා නීවරණ සංඛ්‍යාත ක්ලේශ සමූහයාගෙන් සිත පිරිසිදු වන්නේ ය.
2. එසේ පිරිසිදු වීම හේතු කොටැ ගෙනැ සිත නීවරණ රහිත වැ මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙන්නේ ය. මධ්‍යම සමථ නිමිත්ත නම් සම ප්‍රවෘත්ත අර්පණා සමාධි ම ය. (සම ප්‍රවෘත්ත අර්පණා සමාධිය ම ලීනෞද්ධත්‍ය සංඛ්‍යාත අන්තද්වයට අනුපගමනයෙන් මධ්‍ය නමුදු සවිශේෂයෙන් ප්‍රත්‍යනීක - විරුද්ධ ධර්‍මය ව්‍යුපශමය කරන හෙයින් ශමථ නමුදු යෝගිහුගෙ සුඛවිශේෂයට කාරණ හෙයින් නිමිත්ත නමුදු වේ” යනු පැරකුම් සන්න යි.) මධ්‍යම සමථ නිමිත්තයට පැමිණීම නම් ඒ අර්පණාචිත්තයට අනන්තර ප්‍රත්‍ය වූ පූර්‍වචිත්තය හෙවත් ගෝත්‍රභූ චිත්තය ‘කිරි ම දී නො වෙතත් එකත්‍ව නයින්’ කිරිම දී වන්නා සේ ගෝත්‍රභූ චිත්තයම අර්පණා නොවෙතත් එකසන්තති පරිණාමනයෙන් අර්පණාසමාධි බවට පැමිණීම යි.
3. එසේ පැමිණීම හේතු කොටැ ගෙනැ එ කෙණෙහි අර්පණා සමාධීන් සමාහිත භාවයට එළඹීමෙන් සෙස්සන් සෙයින් වදනා බවක් නැත ද ඒකත්‍ව නයින් අර්පණා සමාධි බවට වැදැ සිටින්නේ ය.
අර්පණා සිතට පූර්‍ව වූ ග්‍රෝතභූචිත්තයෙහි විද්‍යාමාන පරිපන්‍ථ විශුද්ධි, මධ්‍යම සමථ ප්‍රතිපත්ති, පක්ඛන්‍ද යන ආකාරයෙන් නිපන් ප්‍රථම ධ්‍යානයාගේ උත්පත්ති ක්‍ෂණයෙහි ආගමන වශයෙන් පැවති ප්‍රතිපදාවිශුද්‍ධි සංඛ්‍යාත ආදි කල්‍යාණයාගේ විභාගය යි.
1. විසුද්ධ වූ සිතෙහි නැවත සුද්ධ කටයුතු නැති බැවින් විශෝධනයෙහි ව්‍යාපාර නො කරන්නේ විශුද්ධ චිත්තයෙහි උපේක්‍ෂා වන්නේ නම් වන්නේ ය.
සමථ භාවයට පැමිණීමෙන් සමථයට පිළිපන්නහුට නැවත සමාධානයෙහි ව්‍යාපාර නොකරන්නේ සමථ පටිපන්න සිතෙහි උපේක්‍ෂාවන්නේ නම් වන්නේ ය.
3. සමථ ප්‍රතිපන්න බැවින් ම ක්ලේශ සංසර්‍ග නැති බැවින් එකත්‍වයෙන් හුදෙකලා වැ පිහිටි ඒ ධ්‍යාන සිත නැවත ඒකත්‍වයෙන් තැබීමෙන් ප්‍රයෝග නො කරන්නේ එකත්තු පට්ඨානයෙහි උපේක්‍ෂා වන්නේ නම් වන්නේ ය.
උපේක්‍ෂානුබ්‍රෑහණා සංඛ්‍යාත මධ්‍ය කල්‍යාණයාගේ විභාගය යි.
මෙසේ උපේක්‍ෂායෙන් වඩනා ලද ඒ සමාධි සිතෙහි 1. සමාධි ප්‍රඥා සංඛ්‍යාත යුගනද්ධ ධර්‍මයෝ අන්‍යොන්‍යයන් නො ඉක්මැ සම වැ පවත්නා හ.
2. ශ්‍රද්ධාදි වූ ඉන්‍ද්‍රියෝ නානා ක්ලේශයන්ගෙන් මිදී විමුක්ති රසයෙන් එක් රස වැ පවත්නාහ.
3. ඒ යෝගාවචර සමාධිප්‍රඥාවන්ගේ නො ඉක්මීමට හා ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ ඒක රස භාවයට සුදුසු යම් වීර්‍ය්‍යයක් වඩා ද එ ද එහි වන්නේ ය. ඒ ඇසිල්ලෙහි පැවැති ආසේවනාව ද එහි වන්නේ ය. මේ සියල්ල සංක්ලේශකර ව්‍යවදානකර ධර්මයන්හි ඒ ඒ දෝෂ හා ගුණ නුවණින් දැනැ අන්‍යොන්‍යයන් නො ඉක්මැ පැවතීම් ආදිය වන පරිදි සම්පහංසිත බැවින් - විශෝධ්ධිත බැවින් - නිර්‍මලීකෘත බැවින් යම් හෙයකින් නිපන්නේ ද එහෙයින් “සම්පහංසනාව ධර්‍මයන්ගේ අනතිවත්තනාදිය සිදුවීමෙන් පිරිසිදු වූ ඥානයාගේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් වන්නේ ය”යි කියන ලද්දේ ය. (ඒ ධ්‍යානක්‍ෂණයෙන් ඇති උපේක්‍ෂානු බ්‍රෑහණාව අවසානය යි නො කියා සම්පහංසනාව අවසානය යි කුමට කීයේ ද යත් :- එහි උපේක්‍ෂා වශයෙන් ඥානය ප්‍රකට හෙයින් ඥානකෘත්‍ය ළුූ සම්පහංසනාව පරියෝසානය යි කියන ලදැයි දත යුතු.
කීයේම ය:- “තථා පග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති උපෙක්ඛාවසෙන. පඤ්ඤාවසෙන පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති උපෙක්ඛාවසෙන. නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති වීමොක්ඛවසෙන පඤ්ඤා වසෙනව පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති. විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති එක රසට්ඨෙන භාවනා”යි.
සම්පහංසනා සංඛ්‍යාත පිරියෝසාන කල්‍යාණයාගේ විභාගය යි.
(මෙසේ ත්‍රිවිධ ප්‍රතිපත්ති විශුද්ධියෙන් ලද විශේෂ ඇති ත්‍රිවිධ වූ උපේක්‍ෂානුබ්‍රෑහණයෙන් සාතිශය ප්‍රඥේන්‍ද්‍රියයා ගේ අධිමාත්‍ර බැවින් චතුර්විධ වූ සම්පහංසනා සිද්ධ වේනු යි ආගමන උපේක්‍ෂා ඥානකෘත්‍ය වශයෙන් දශප්‍රකාර ආකාරයෝ ධ්‍යානයෙහි ම වෙතියි” දත යුතු යි.)
“පඨමං ඣානං අධිගතං හොති පඨවි කසිණං”[1] පඨවි කසිණ ප්‍රථම ධ්‍යානය ලබාගන්නා ලද්දේ වේ” යන මෙහි ප්‍රථම නම් වූයේ දේශනා ක්‍රමයෙන් ආ ගණන් පිළිවෙළිනි. නැතහොත් පළමු කොටැ අධිගත වූයේ හෝ ප්‍රථම ය.
අරමුණු උපනිජ්ඣානය කරන්නේ-බලන්නේ යන අර්‍ථයෙන් හෝ ප්‍රතිපක්‍ෂ නීවරණ ඣාපනය කරන්නේ - දවාලන්නේ යන අර්‍ථයෙන් හෝ ඣානය යි කියනු ලැබේ.
පෘථිවිමණ්ඩලය සකලාර්‍ථයෙන් පඨවිකසිණ නමි. කසිණ නම් කෘත්සනය - සියල්ල ය. එක දේශයක් අරමුණු කොටැ සියල්ල අරමුණු කරන බැවිනි. ඒ පෘථිවි මණ්ඩලය නිසා ලත් නිමිත්ත ද පඨවි කසිණය. එනම් පඨවි කසිණ නිමිත්තයි. ඒ නිමිති කොටැ ලත් ධ්‍යානය ද පඨවි කසිණය. මෙහිලා ධ්‍යානය පඨවි කසිණය යි දත යුතු. “පඨමං ඣානං අධීගතං හොති පඨවි කසිණං” යනු වදාළේ එ හෙයිනි.
මෙසේ ධ්‍යානය ලැබැගත් කල්හි ඒ යෝගීහු විසින් වාළවෙධියකු මෙන් ද, සූදයකු මෙන් ද ආකාර සලකා ගත යුතු. අතිදක්‍ෂ ධනුර්‍ධරයා වාළවෙධය පිණිස අභියෝගය කරනුයේ වාළය විදැපී වාරයෙහි තම පා තුබුණු සැටි ද, දුන්න හා දුනුදිය හා ශරය හා තුබුණු හැටි ද සලකා ගන්නේ ය. මෙසේ සිටි මා විසින් මෙසේ මෙසේ දුන්න හා දුනුදිය හා ශරය හා ගෙනැ මෙසේ වාළය විදුනා ලදැ යි සිතන්නේ ය. එසේ සලකා ගත් හෙතෙමේ එතැන් පටන් ඒ ඒ ආකාරයෙහි ම පිහිටා නො වරදවා වාළය විදැලන්නේ ය. එසේ මැ යෝගීහු විසිනු දු “ම විසින් මේ මේ බොජුන් වළඳා මෙබඳු පුද්ගලයන් ඇසුරු කිරීමෙන් මෙ බඳු සෙනස්නෙහි මේ මේ ඉරියව්වෙහි සිටැ මේ කාලයෙහි මේ ධ්‍යානය ලැබැගන්නා ලදැ යි” භෝජන සප්පයාදි ආකාර සැලකිය යුතු. එවිට ඒ ධ්‍යානය නටද, පළමු කී විධි සම්පාදනය කොටැ නැවත උපදවා ගන්නට ද, අප්‍රගුණ ලැබැගන්නට ද සමර්‍ථ වන්නේ ය.
දක්‍ෂ වූ සූදයා ස්වාමියාට බොජුන් වළඳවන්නේ ස්වාමියා යම් යම් භෝජනයක් රුචියෙන් වළඳා නම් ඒ ඒ භෝජනය සිතට ගෙනැ එතැන් පටන් එබන්ද ම පිළියෙළ කොටැ දී ලාභ ලබන්නේ ය. මේ යෝගාවචර ද ධ්‍යාන ලැබැගත් ඇසිල්ලෙහි ඒ භෝජනාදි ආකාර සලකා ගෙනැ එතැන් පටන් එබන්ද ම සම්පාදනය කරන්නේ නැවත නැවත අර්පණා ලැබැගන්නේ ය. යෝගීහු විසින් වාළවෙධියකු මෙන් ද, සූදයකු මෙන් ද, ඒ ඒ ආකාර සලකා ගත යුතුය යි කියන ලද්දේ එහෙයිනි.
වදාළේ මැ යි
“සෙය්‍යථා පි භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො රාජානං වා රාජමහාමත්තානං වා නානච්චයෙහි නානග්ගරසෙහි සුපෙහි පච්චුපට්ඨිතො අස්ස අම්බිලග්ගෙහි පි තිත්තකග්ගෙහි පි කටුකග්ගෙහි පි මධුරග්ගෙහි පි ඛාරිකෙහි පි අඛාරිකෙහි පි ලොණිකෙහි පි අලොණිකෙහි පි, සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති. ඉදං වා මෙ අජ්ජභත්තු සූපෙය්‍යං රුච්චති ඉමස්ස වා අභිහරතී ඉමස්ස වා බහුං ගණහාති ඉමස්ස වා වණනං භාසති අම්බිලග්ගං වා මෙ අජ්ජ භත්තු සූපෙය්‍යං රුච්චති අම්බිලග්ගස්ස වා අභිහරති අම්බිලග්ගස්ස වා බහුං ගණ්හාති අම්බිලග්ගස්ස වා වණ්ණං භාසති - පෙ ආලොණිකස්සවා වා වණ්ණං භාසති ති. සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සූදො ලාභී චෙව හොති අච්ඡාදණස්ස ලාභි වෙතනස්ස ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො සුදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති.
එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පණ්ඩිතොවියත්තො කුසලො භික්ඛු කායෙ කායානුපස්සි විහරති පෙ-වෙදනාසු-පෙ-චිත්තෙ-පෙ-ධම්මෙසු ධම්මානුපස්සි විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානු පස්සිනො විහරතො චිත්තං සමාධියති උපක්කිලෙසා පහීයන්ති, සො තං නිමිත්තං උග්ගණ්හාති. සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු ලාභී චෙව හොති දිට්ඨධම්මසුඛවිහාරස්ස ලාභී සතිසම්පජඤ්ඤස්ස, තං කිස්ස හෙතු? තථාහි සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගණ්හාති”[2] යි.
මෙහි සංක්‍ෂිප්ත අර්‍ථය මෙසේ ය.
“මහණෙනි! නුවණැති දක්‍ෂ අරක්කැමියා ඇඹුල් රස වූ හෝ තිත්ත රස වූ හෝ කුළු රස වූ හෝ මිහිරි රස වූ හෝ ක්‍ෂාර ද්‍රව්‍ය මිශ්‍ර වූ හෝ ක්‍ෂාර ද්‍රව්‍ය මිශ්‍ර නුවූ හෝ ලුණු රස වූ හෝ ලුණු රස නුවූ හෝ නොයෙක් රස ඇති නොයෙක් අග්‍ර රස ඇති මාළුයෙන් රජකු හට හෝ රජ ඇමතියකු හට හෝ වළඳවන්නේ ය. මහණෙනි! ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා “අද මාගේ ස්වාමියාට මේ මාළුව රිසි ය. මෙයට අත තබා මෙය වඩා ගනී. මෙහි ගුණ කියා ය යි” ස්වකීය ස්වාමියාගේ රුචියෙන් වළඳන ආකාරය සිතට ගන්නේ ය. මහණෙනි! එයින් ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා හඳනා පිළි ද වැටුප් ද අභිහාර ද ලබන්නේ ය. කුමක් හෙයින්ද? මහණෙනි! ඒ නුවණැති දක්‍ෂ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ රුචි වැ වළඳන ආකාරය සිතට ගත්තේ ය. එහෙයිනි, එ මෙන් මැ මහණෙනි! මේ ශාසනයෙහි නුවණැති දක්‍ෂ භික්‍ෂු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ සිහි නුවණ ඇති වැ ලෝකයෙහි අභිධ්‍යා හා දොම්නස් වැඩ පවත්වා ගෙනැ කායයෙහි කායානුපස්සි වැ වේදනාවන්හි වේදනානුපස්සී වැ චිත්තයෙහි චිත්තානුපස්සී වැ ධර්‍මයන්හි ධම්මානුපස්සී වැ වාසය කරන්නේය. මහණෙනි! එසේ වසන ඒ භික්‍ෂුහුගේ සිත සමාධි වන්නේ ය. උපක්ලේශ ප්‍රහීණ වන්නේ ය. මහණෙනි! ඒ භික්‍ෂු ඒ ආකාරය සිතට ගන්නේ ය. එයින් ඒ භික්‍ෂු මේ අත්බැව්හි සැප විහරණ ද සිහි නුවණ ද ලබන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! එසේ ඒ භික්‍ෂු ස්වකීය චිත්තයාගේ ආකාර සිතට ගන්නේ ය. එහෙයිනි.
ආකාර සිතට ගැන්මෙන් යළි ඔහු ඒ ආකාර එසේ සම්පාදනය කරත් ම ඔහුට අර්පණා මාත්‍රය ම සිද්ධ වන්නේ ය. අර්පණාවගේ චිරස්ථිතිය සිද්ධ නො වන්නේ ය. අර්පණා චිරස්ථිතිය වන්නේ සමාධියට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ ධර්‍ම මනාකොටැ සුද්ධ කැරැ ගැන්මෙනි.
ඒ එසේ මැයි :- යම් මහණෙක් කාමයන්ගේ ආදීනව සැලකීම් ආදි වශයෙන් කාමච්ඡන්‍දය විෂ්කම්භනය කොටැ නො ගෙනැ, කායපස්සද්ධි වසයෙන් කායදරථය හෙවත් කාය චිත්තයන්ගේ සංරද්ධ භාවයට නිමිත්ත වූ ව්‍යාපාදය නො සංසිඳුවා ගෙනැ, ආරම්භ ධාතු ආලෝක සංඥාදිය මෙනෙහි කිරීම් වශයෙන් ථීනමිද්ධය දුරු කොටැ නො ගෙනැ, සමථ නිමිත්ත මෙනෙහි කිරීම් ආදි වශයෙන් උද්ධච්චකුක්කුච්චය නො නසා, අන්‍ය වූත් විචිකිච්ඡාවට කරුණු වූ මද-නිම්මදනාදි සමාධි ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් ශුද්ධ කොටැ නො ගෙනැ, ධ්‍යානයට සමවන්නේ නම් ඒ භික්‍ෂු අශුද්ධ ස්ථානයකට වන් බමරකු සේ ද, අශුද්ධ උද්‍යානයකට වන් රජකු සේ ද වහා ඒ ධ්‍යානයෙන් නැඟෙන්නේ ය. එසේ නො වැ යම් මහණෙක් සමාධි ප්‍රතිපක්‍ෂ ධර්‍ම මැනෙවින් පිරිසිදු කොටැ ගෙනැ සමාධියට සමවදනේ ද හේ සුවිශුද්ධ ස්ථානයට වන් භ්‍රමරයා සේ ද, පරිශුද්ධ උද්‍යානයට වන් රාජයා සේ ද මුළු දවස සමාපත්තියෙහි ම සිටින්නේ ය. එහෙයින් කීහ පුරාතනයෝ.
“කාමෙසු ජන්‍දං පටිඝං විනොදයෙ
උද්ධච්ච මිද්ධං විචිකිච්ඡ පඤ්චමං
විවෙක පාමුජ්ජ කරෙන චෙතසා
රාජාව සුද්ධන්ත ගතො තහිං රමෙ”යි.
‘කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද, උද්ධච්ච - කුක්කුච්චය ද, ථීනමිද්ධය ද, පස්වනු වූ විචිකිච්ඡාව ද දුරු කරන්නේ ය. විවේකජ ප්‍රීතිය උපදවන සිතින් සුද්ධන්තගත රජකු මෙන් ඒ ධ්‍යානයෙහි ඇලෙන්නේ ය, යනු එහි අර්‍ථ යි. එහෙයින් සමාධි චිරස්ථිතිය කැමැත්තහු විසින් ප්‍රතිපක්‍ෂ ධර්‍ම ශුද්ධ කොටැ ගෙනැ ධ්‍යානයට සමවැදිය යුතු.
තවද සමාධි භාවනා අභිඥා වශයෙන් විපුල කැරැ ගැන්ම සඳහා කුදු මහත් වශයෙන් හෝ උපචාරභූමි අර්පණාභූමි වශයෙන් හෝ ලද පරිදි ඒ පටිභාග නිමිත්ත වැඩිය යුතු. උපචාරභූමි අර්පණා භූමිය යි එහි වැඩුම් භූමි දෙකෙකි. උපචාරයට පැමිණැ හෝ අර්පණාවට පැමිණැ හෝ ප්‍රතිභාග නිමිත්ත වැඩිය යුතු. ඒ දෙතැනින් එක් තැනෙකදී අවශ්‍යයෙන් වැඩිය යුතු. “ලද පරිදි පටිභාග නිමිත්ත වැඩිය යුතු ය” ආදියෙහි කීයේ එහෙයිනි.