චතුර්විධ ශීල

star_outline

චතුර්විධ ශීල මෙසේ ය.

ප්‍ර‍ථම චතුෂ්කය

1. හානභාගිය 2. ඨිතිභාගිය 3. විසෙසභාගිය 4. නිබ්බෙධභාගිය සීල.

1. පිරිහීමට නැමීගත් සීලය හානභාගිය සීලය.

ඒ එසේ මැ යි :- “යම් අඥානයෙක් දුස්සීලයන් සේවනය කරමින් සීලවන්තයන් සේවනය නොකරමින් වරද කිරීමෙහි දෝෂ නොදකිමින් බොහෝ මිථ්‍යා අදහස් උපදවමින් ඉන්‍ද්‍රිය සංවරයක් නැතිව වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය හානභාගිය සීල වේ.”

2. පිරිහීමටත් නොපැමිණ අභිවෘද්‍ධියටත් නොපැමිණ තුබූ සැටියේ මැ පවත්නා සීලය ඨිතිභාගිය සීලය.

ඒ එසේ මැ යි :- “යමෙක් තමාලත් සීල සමාපත්ති මාත්‍රයෙන් සතුටුව කර්‍මස්ථාන පිණිස අදහස් මාත්‍ර‍යකුදු නූපදවා වාසය කෙරේ ද, එබඳු වූවහුගේ සීලය ඨිතිභාගිය සීල වේ.”

3. සමාධි සංඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසෙසභාගිය සීලය.

ඒ එසේ මැ යි :- යමෙක් සීල සම්පන්න ව මතු සමාධි පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය විසෙසභාගිය සීල වේ.

4. නිබ්බෙධ සංඛ්‍යාත විදර්‍ශනා පිණිස නැමීගත් සීලය නිබ්බෙධභාගිය සීලය.

ඒ එසේ මැ යි :- යමෙක් තමා ලත් ශීල මාත්‍රයෙන් සතුටු නොව විවසුන් වඩා නිවන් දක්නා පිණිස උත්සාහ කෙරේ ද, එබඳු වූවහුගේ සීලය නිබ්බෙධභාගිය සීල වේ.

මේය හානභාගිය, ඨිතිභාගිය, විසෙසභාගිය, නිබ්බෙධභාගිය සීල නම්.

ද්විතීය චතුෂ්කය

1. භික්ඛු 2. භික්ඛුණී 3. අනුපසම්පන්න, 4. ගහට්ඨ සීල.

1. භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්ඛුණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපදයන් අතුරෙන් භික්‍ෂූන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්‍ෂු ශීල නම් වේ.

2. භික්‍ෂූණීන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද ද, භික්‍ෂූන් උදෙසා පණවන ලද භික්‍ෂුණීන්ටත් සාධාරණ ශික්‍ෂාපද ද භික්ඛුණී සීල නම් වේ.

3. සාමණේරයන්ගේ හා සාමණේරීන්ගේ දස සීල අනුපසම්පන්න සීල නම් වේ.

4. උපාසක උපාසිකාවන්ට නිත්‍ය ශීල වශයෙන් පණවා වදාළ පංච ශික්‍ෂාපද ද, උත්සාහ ඇති කල්හි රැක්ක යුතු යයි වදාළ දශ ශික්‍ෂාපද ද, උපොසථාඞ්ග වශයෙන් පණවා වදාළ අෂ්ටශික්‍ෂාපද ද ගහට්ඨ (ගිහි) නම් වේ.

මේය භික්ඛු, භික්ඛුණී, අනුපසම්පන්න, ගහට්ඨ සීල නම්.

තෘතීය චතුෂ්කය

1. පකති 2. ආචාර 3. ධම්මතා 4. පුබ්බහෙතුක සීල.

1. ස්වභාවයෙන් රැකෙන සීලය පකති සීලය. උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ට පංචසීලය ස්වභාවයෙන් ම රැකෙයි. එහෙයින් ඔවුන්ගේ සීලය ප්‍ර‍කෘති ශීල නම් වේ.

2. කුල, දේශ, තීර්‍ථක යන මොවුන් අතර පවත්නා යහපත් සිරිත් ආචාර සීලය.

ඒ එසේ මැ යි :- ඇතැම් කුලයන්හි රහමෙර පීම ඒ කුලවල ආදි පුරුෂයන් විසින් තහනම් කරන ලද්දේ වේ. ඇතැම් දේශයන්හි ප්‍රාණඝාත කිරීම ඒ දෙශාධිපතීන් විසින් තහනම් ලද්දේ වේ. තීර්‍ථකයන් අතර යම-නියම ඇත්තේය. එයට අනුව යමෙක් හැසිරෙයි ද එය ආචාර සීලයයි සේයි.

3. බෝසත් මාතාවන්ගේ සීලය ධම්මතා සීලය.

වදාළේ මැ යි :- “ධම්මතා එසා ආනන්‍ද යදා බොධිසත්තො මාතු කුචජිං ඔක්කනෙතා හොති න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උපපජ්ජති කාමගුණූපසංහිතං”[1] යි.

“ආනන්‍දය! යම් දිනෙක බෝධිසත්ත්‍වයෝ මාතෘකුක්‍ෂියෙහි පිළිසිඳ ගනිද්ද, එ තැන් පටන් බෝසත් මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාම කල්පනා පහළ නො වෙයි යන මෙය ධර්‍මතාවෙක” යනාදීන් දක්වන ලද්දේ ධම්මතා සීලය.

4. පූර්‍වහේතුයෙන් මැ ජනිත සීලය පුබ්බහෙතුක සීලය. මහාකාශ්‍යපාදි ශුද්‍ධසත්ත්‍වයන්ගේ ද, බොධිසත්ත්‍වයන්ගේ ද ඒ ඒ ජාතීන්හි පැවැති සීලය පුබ්බහෙතුක සීලය යි කී නියාය. ඒ එසේ මැ යි :- පිප්ඵලිමානවක හා භද්දකාපිලානි ස්වකීය මධුරාත්‍රිය පවා වීතිරාගයන් සේ ගත කළහ. බෝසත් සීලව රජතුමා පර පණ නොනසා තෙමේ ජීවග්‍රාහයෙන් අසුවූයේ ය.

මේය පකති, ආචාර, ධම්මතා, පුබ්බහේතුක සීල නම්.

චතුර්‍ථ චතුෂ්කය

1. පාතිමොක්ඛ සංවර, 2. ඉන්‍ද්‍රිය සංවර

3. ආජීව පාරිසුද්‍ධි 4. පච්චයසන්නිස්සිත සීල

1. ප්‍රාතිමොක්‍ෂයෙහි වදාළ ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍ම නොකොටැ රැකගැන්මාදිය පාතිමොක්ඛසංවර සීලය.

වදාළේ මැ යි:- ‘ඉධ භික්ධු පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාර ගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[2] යි.

2. චක්ඛු, සෝත, ඝාණ, ජිවහා, කාය, මන යන ෂට් ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්ම ඉන්‍ද්‍රිය සංවර සීලය.

වදාළේ මැ යි :- “සො චක්ඛුනා රූපං දිසවා න නිමිත්තග්ගාහි හොති නානුඛ්‍යඤ්ජනග්ගාහි, යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ක්‍ඞා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍ටා --පෙ-- ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා...පෙ---- ජිවහාය රසං සායිත්‍වා---පෙ---- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍ටාමනසා ධම්මං විඤ්ඤායථ න නිමිත්තග්ගාහි හොති. නානුඛ්‍යජනග්ගාහි, යත්‍වාධිකරණමෙතං මනින්‍ද්‍රියං අසංවුතං විහරන්තා අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍ටාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ සංවරං ආපජ්ජතී[3] යි.

3. ආජීවය හේතු කොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාද ව්‍යති ක්‍ර‍මණය කිරීම් වශයෙන් ද; කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතාදි පාපධර්‍මයන්ගේ වශයෙන් ද පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීවපාරිසුද්‍ධි සීලය.

4. “පටිසංඛා යොනිසො වීවරං පටිසෙවාමි යාවදෙව සිතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය”[4] යනාදීන් ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට සිව්පස පරිභොග කිරීම පච්චය සන්නිඝසිත සීලයි.

මේ චතුපාරිසුද්‍ධි සීලය පිළිබඳ විස්තර විනිශ්චය කථාව පිළිවෙළින් මතු දක්වනු ලැබේ.

  1. දී:නි: මහාවග්ග 8

  2. වි:ප:ඣානවිභඞ්ග 185

  3. ම.නි. මූලපණ්ණාසක 190

  4. ම:නි: මූලප: 11