ත්‍රිවිධ ශීල

ඉක්බිති ත්‍රිවිධ ශීල දක්වනු ලැබේ.

ප්‍ර‍ථම ත්‍රිකය

1. හීන සීල, 2. මජ්ඣිම සීල, 3. ප්‍ර‍ණිත සීල.

1. හීන වූ ඡන්‍දයෙන් හීන වූ චිත්තයෙන් හීන වූ වීර්‍ය්‍යයෙන් හීන වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය හින ශීලය.

2. මධ්‍යම වූ ඡන්‍දයෙන් මධ්‍යම වූ චිත්තයෙන් මධ්‍යම වූ වීර්‍ය්‍යයෙන් මධ්‍යම වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය මධ්‍යම ශීලය.

3. ප්‍ර‍ණීත වූ ඡන්‍දයෙන් ප්‍ර‍ණීත වූ චිත්තයෙන් ප්‍ර‍ණීත වූ වීර්‍ය්‍යයෙන් ප්‍ර‍ණීත වූ ප්‍ර‍ඥායෙන් පවත්වන ලද ශීලය ප්‍ර‍ණීත ශීලයි.

නොහොත් 1. කීර්ති ප්‍ර‍ශංසා කැමැති ව සමාදන් ව රක්නා ශීලය හීන ශීලය. 2. සිල් රැකීමෙන් මතු උසස් කුල, ස්වර්‍ග ලැබෙන්නේ ය යි සලකා ඒ ආනිසංස පිණිස රක්නා ශීලය මධ්‍යම ශීලය. 3. මෙය මවිසින් කටයුතුමයි සෝවාන් ආදි ආර්‍ය්‍යභාවය අපේක්‍ෂා කොට රක්නා ශීලය ප්‍ර‍ණීත ශීලය යි.

නොහොත් 1. ‘සීලවන්ත නම් මම ය, මේ අනෙක් භික්ෂූහු දුශ්ශීලයෝ ය. පාප ධර්‍ම ඇත්තෝය’යි තමන් උසස් කර ගන්නා අදහසින් අනුන් හෙළා දක්නා අදහසින් කිලිටි වූ ශීලය හින ශීලයැ 2. එබඳු අත්තුක්කංසන පරවම්හන අදහසින් නොකිලිටි වූ පෘථග්ජනයන්ගේ ශීලය මධ්‍යම ශීලය. 3. ලෝකෝත්තර ශීලය ප්‍ර‍ණීත ශීල යි.

නොහොත් 1. තෘෂ්ණා වශයෙන් භවභෝග සම්පත් පතා රකිනු ලබන ශීලය හීනය. 2. තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකිනු ලබන ශීලය මධ්‍යමය. 3. සියලු සතුන් සසරින් එතර කරනු සඳහා රකිනු ලබන බෝසතුන්ගේ පාරමිතා ශීලය ප්‍ර‍ණීතයි.

මේය හීන, මධ්‍යම, ප්‍ර‍ණීත ශීල නම්.

ද්විතීය ත්‍රිකය

1. අත්තාධිපතෙය්‍ය, 2. ලොකාධිපතෙය්‍ය, 3. ධම්මාධිපතෙය්‍ය සීල.

1. තමහට නුසුදුසු දේ හැරපියා තමා මැ ගුරුකොට තමා කෙරෙහි මැ ගෞරවයෙන් රක්නා ලද සීලය අත්තාධිපතෙය්‍ය සීලය. (මා වැන්නකු විසින් පව් කිරීම නුසුදුසු යයි ආත්ම ගෞරව උපදවා රක්නා ලද සීලය යි සේයි)

2. ලෝකාපවාදයට බියෙන් ලෝකයා ගරුකොට සමාදන්ව රක්නා සීලය ලෝකාධිපතෙය්‍ය සීලය.

3. ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්තෙන් ධර්‍ම ගෞරවයෙන් රක්නා සීලය ධම්මාධිපතෙය්‍ය සීලයි. (ධර්‍ම මහත්ත්‍වයට පුදනු කැමැත්ත නම් : “ධර්‍මය මහානුභාව ඇත්තේය. ඒකාන්ත නෛර්‍ය්‍යානිකය, ඒ ධර්‍මය ප්‍ර‍තිපත්තීන් පිදිය යුතුය” යි සලකා ධර්‍මයට පුදනු කැමැති වීමයි.)

මේය අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය සීල නම්.

තෘතීය ත්‍රිකය

1. පරාමට්ඨ 2. අපරාමට්ඨ, 3. පටිප්පස්සද්‍ධ සීල

1. පරමට්ඨ සීල නම් : දවිවිධ ශීලයන්හි දක්වන ලද නිස්සිත සීලම ය. ඒ වනාහි ‘මම මේ ශීල හේතුයෙන් ප්‍ර‍සිද්‍ධ හෝ අප්‍ර‍සිද්‍ධ දෙවියෙක් වන්නෙමි’ යි තෘෂ්ණා වශයෙන් ද, ‘ශීලයෙන් ශුද්‍ධිය වන්නේ ය’යි දෘෂ්ටි වශයෙන් ද, පරාමර්‍ශනය කරන (අල්වාගන්නා) ලද බැවින් පරාමට්ඨ සීල නම් වේ.

2. පුථුජ්ජන සීලවන්තයා විසින් සෝවාන් ආදි ආර්‍ය්‍ය මාර්‍ග ලැබීම පිණිස පුරනු ලබන සීලය ද, සප්තශෛක්‍ෂයන්ගේ මාර්‍ග චිත්තයන්හි ලැබෙන විරති චෙතනාදිය ද, තෘෂ්ණා-දෘෂ්ටි විසින් පරාමර්‍ශනය නොකරන ලද බැවින් අපරාමට්ඨ සීල නම් වේ. (සප්ත ශෛක්‍ෂයෝ නම් :- සෝවාන් මාර්‍ගස්ථ ඵලස්ථ, සකෘදාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අනාගාමි මාර්‍ගස්ථ ඵලස්ථ, අභීත් මාර්‍ගස්ථ යන මොහුයි.)

3. ශෛක්‍ෂයන්ගේ හා අශෛක්‍ෂයන්ගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්සිඳුවන බැවින් පටිප්පස්සද්ධ සීල නම් වෙත්. (අශෛක්‍ෂයා නම් : අභීත් ඵලස්ථයාය.)

මේය පරාමට්ඨ, අපරාමට්ඨ, පටිප්පස්සද්ධ සීල නම් :

චතුර්‍ථ ත්‍රිකය

1. විසුද්‍ධ, 2. අවිසුද්‍ධ 3. වේමතික සීල

1. ඇවැත්වලට නොපැමිණ මැ රක්නාලද ශීලය ද, ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කර ගන්නා ලද ශීලය ද විසුද්ධ සීල නම් වේ.

2. ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිළියම් කරැ නොගන්නා ලද ශීලය අවිසුද්‍ධ සීල නම් වේ.

3. වස්තුයෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහු ගේ සීලය වේමතික සීල නම් වේ. (වස්තුයෙහි විමතිය නම් :- මස් වලඳන කල්හි “වලස් මස් දෝ හෝ හූරුමස් දෝ හෝ”යි සැක සහිත වීම ය. (වලස් මස් වැළඳුව දුෂ්කෘත වේ. හූරුමස් නම් ඇවැත් නැති.) මෙසේ වස්තුයෙහි සැක සහිතවීම වස්තුයෙහි විමතිය යි. ආපත්තියෙහි විමතිය නම් :- “තමා පැමිණි ඇවැත පවිතිය දෝ හෝ දුකකටය දෝ හෝ”යි යනාදි වශයෙන් සැක සහිත වීමයි. අජ්ඣාචාරයෙහි විමතිය නම් :- “තමා ඇවැතට පැමිණියේ දෝ නො පැමිණියේ දෝ හෝ”යි සැක කිරීමයි. (යෝගාවචර භික්‍ෂුව විසින් ස්වකීය ශීලය අපිරිසිදු නම් - අවිසුද්‍ධ නම් ඇවැත් දෙසා ගැනීම් ආදි වශයෙන් පිරිසිදු කර ගත යුතු ය. වේමතික නම් වස්තු අජ්ඣාචාර නො කොට විනය ධරයන් විචාරා විමති දුරු කට යුතුයි. එසේ ඇති කල්හි ඒ භික්‍ෂු හට සුව පිණිස වේ.)

මේය විසුද්‍ධ, අවිසුද්‍ධ, වේමතික සීල නම්.

පංචම ත්‍රිකය

1. සෙඛ, 2. අසෙඛ, 3. නෙවසෙඛනාසෙඛ සීල

1. ශෛක්‍ෂයන් ගේ මාර්‍ග-ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු සෙඛ සීල නමි.

2. අශෛක්‍ෂයා ගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදිහු අසෙඛ සීල නමි.

3. පෘථග්ජනයන් ගේ ශීල නෙවසෙඛනාසෙඛ සීල නම් වේ.

මේය සෙඛ, අසෙඛ, නෙවසෙඛවනාසෙඛ සීල නම්.

සීලය යි ස්වභාවයට ද කියනු ලැබේ. සැප ස්වභාව ඇත්තේ සුඛ සීල ය. දුක් ස්වභාව ඇත්තේ දුක්ඛ සීලය කලහ කරන ස්වභාව ඇත්තේ කලහ සීල යනාදි වශයෙනි. සීල ශබ්දයා ගේ මේ ස්වභාවාර්‍ථය සලකා පටිසම්භිදා නම් ධර්‍ම ග්‍ර‍න්‍ථයෙහි :-“තීනි සීලානි කුසලං සීලං අකුසලං සීලං අඛ්‍යාකතං සීලං[1]”යි ‘කුසල සීලය, අකුසල සීලය’යි අන්‍ය වූ ද ත්‍රිවිද ශීලයෙක් දක්වන ලද්දේ ය. අකුසල සීල යනු යට දක්වන ලද ශීල ලක්ෂණයන් අතුරෙන් එකකටවත් අයත් නොවන බැවින් මේ ත්‍රිවිධ ශීලය විශුද්‍ධිමාර්‍ගයෙහි ඇතුළත් නොකරන ලද බව දත යුතුයි.

ත්‍රිවිධ ශීල නිමියේ ය.

  1. පටි: ම: මහාවග්ග 43