1. ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය

star_outline

“ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදෙසු”[1] යන ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය සඳහා විභඞ්ගප්‍ර‍කරණයෙහි පුග්ගලාධිට්ඨාන වසයෙන් වදාළ පාළියයි. ‘මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ වාසය කරන්නේ ය. ශික්‍ෂාපදයෙන් සමාදන් වැ රකින්නේ ය’ යනු එහි සංක්‍ෂිප්ත අදහස යි.

පදයක් පාසා විවරණය මෙසේ දතයුතු.

ඉධ = මේ ශාසනයෙහි.

භික්ඛු = “සංසාරෙ භයං ඉක්ඛතී ති භික්ඛු” සසර බිය දක්නේ නුයි භික්‍ෂු. ජින්න භින්න පටධරත්තා භික්ඛු” කඩ කඩ කොට කැපූ වස්ත්‍ර‍ධරණ හෙයින් භික්‍ෂු යනාදි වශයෙන් නම් ලත් සැදැහැයෙන් සසුන් වන් කුලදරුවා.

පාතිමොක්ඛසංවර සංවුතො = ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්ත වැ. මෙහි පාතිමොක්ඛ නම්, ශික්‍ෂාපද ශීලය. “යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචෙති අපායිකාදිහි දුක්ඛෙහිති පාතිමොක්ඛං”[2] යනු එහි විග්‍ර‍හ වාක්‍යයි. ‘යම් ශීලයක් තෙමේ තමා රක්නහු අපායිකාදි දුඃඛයන්ගෙන් මුදා ගන්නේද, ඒ සීලය පාතිමොක්ඛ නම් වේ’. යනු එහි අදහසයි. සංවර නම් කයෙන් හෝ වචනයෙන් ශික්ෂාපද ව්‍යතික්‍ර‍මණය නො කිරීමයි. හෙවත් නොබිඳීමයි. සංවුත නම් මෙහි යුක්ත යන අර්‍ථයි.

විහරති = වාසය කරයි.

ආචාර ගෝචර සම්පන්නො = ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ. මෙහි විහඞ්ගප්‍ර‍කරණයෙහි මෙසේ විස්තර කරන ලදී. “ආචාරගෝචර සම්පන්නොති අත්‍ථ ආචාරො අත්‍ථ අනාචාරො. තත්‍ථකතමො අනාචාරො? කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො අයං වුච්චති අනාචාරො. සබ්බංපි දුස්සීල්‍යං අනාචාරො. ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵ ඵල - සිනාන - දන්තකට්ඨදානෙන වා චාටුකම්‍යතාය වා මුග්ගසුප්පතාය වා පාරිභට්ටතාය වා ජඞ්ඝපෙසනිකෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති අනාචාරො.

තත්‍ථ කතමො ආචාරො? කායිකො අවීතිකකමො වාචසිකො අවිතික්කමො කායික වාචසිකො අවීතික්කමො අයං වුච්චති ආචාරො, සබ්බො පි සිලංසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන න පත්ත-න පුප්ඵ - ඵල න සිනාන-න දන්තකඨදානෙන න චාටුකම්‍යතාය න මුග්ග සුප්පතාය න පාරිභට්ටතාය න ජඞ්ඝපෙසනිකෙන න අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති ආචාරො[3] යි.

මෙහි භාවය මෙසේ ය.

‘ආචාරගොචරසම්පන්නො යන මෙහි ආචාරයෙක් ද ඇත. අනාචාරයෙක් ද ඇත. එහි අනාචාරය යනු කිම? කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම, කයෙන් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණය කිරීම යන මේ අනාචාරයයි කියනු ලැබේ. තවද සියලු දුශ්ශීල කර්‍ම අනාචාරය.

ඒ එසේ මැ යි :- මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් හුණු, කොළ, මල්, ඵල, නහනු දැවටු ගිහියන් සිත් ගන්නා පිණිස දෙන්නේ ය. චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිභට්ටකතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් ද අන්‍යවූත් බුදුන් විසින් පිළිකුල් කොට වදාළ මිථ්‍යාජීවයෙන් ද ජීවිකා පවත්නේ ය. මෙය ආනාචාරය යි කියනු ලැබේ.

මෙහි චාටුකම්‍යතා නම් :- භික්‍ෂූන් විසින් ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස් තන්හි තබා තමන් පහත් තන්හි තබා කථා කිරීම ය.

මුග්ගසුප්පතා නම් :- මුං ඇට තැම්බූ කල වැඩි කොටස නො පැසී මඳ කොටසක් පැසී තිබෙන්නා සේ කථා කරන කල්හි වැඩි කොටස අසත්‍ය වීම හා මඳ කොටසක් මැ සත්‍ය වීම ය.

පාරිභට්ටතා නම් :- කිරිමවුන් මෙන් කුඩා දරුවන් වඩා ගෙන ආදර දැක්වීම ආදිය.

ජඞ්ඝපෙසනිකතා නම් :- ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යාමයි. අන්‍ය වූ බුද්‍ධපතිකුඨ මිච්ඡාජීව නම්, වෙදකම් කිරීම් නැකැත් කීම් ආදිය යි. (මෙය මතු ද විස්තර වශයෙන් දක්වනු ලැබේ)

“ගොචරොති අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො. තත්‍ථ කතමො අගොචරො? ඉධෙකච්චො වෙසිය ගොචරොවා හොති, විධව - ථුල්ලකුමාරික - පණ්ඩක - භික්ඛුණී - පානාගාර ගොචරො වා හොති, සංසට්ඨො විහරති, රාජුහි රාජමහාමත්තෙහි තිත්‍ථථියෙහි තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පනතානි - කුලානි අස්සද්‍ධානි අප්පසන්නානි අක්කොසක පරිහාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති අගොචරො.

තත්‍ථ කතමො ගොචරො? ඉධෙකච්චො න වෙසිය ගොචරො හොති ---පෙ--- න පානාගාර ගොචරො අසංසටෙඨා විහරති රාජූහි ---පෙ--- තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි සද්‍ධානි පසන්තානි ඔපානභුතානි, අත්‍ථකාමානි ---පෙ---- යොගක්ඛෙම කාමානි භික්ඛුනං ---පෙ--- උපාසිකානං තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති ගොචරො”[4]

මෙහි භාවය මෙසේ ය.

ගොචරො” යයි කියූ තන්හි ගෝචරයෙක් ද ඇත. අගේචරයෙක් ද ඇත, එහි අගෝචරය යනු කිම? මේ සසුන්වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්ෂුණීන්, මත්පැන් ගෝචර කොට වෙසෙයි. රජුන් හා රාජ මහාමාත්‍යයන් හා තීත්‍ථකයන් හා තීත්‍ථක ශ්‍රාවකයන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී වෙසෙයි භික්‍ෂූන්ට භික්‍ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට අකෝසා පරිකෝසාබණින ඔවුන්ට අනත්‍ථ කැමැති අභිත කැමැති අපහසු කැමැති භය කැමැති සැදැහැ පැහැදුම් නැති කුලගෙවල් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කරයි. මෙය අගෝචර යි කියනු ලැබේ.

(මෙහි වෙසඟනන් ......පෙ..... භික්‍ෂුණීන් ඇසුරු කිරීම ඔවුන් රාගාධිකයන් බැවින් ශ්‍ර‍මණ ධර්‍මයට අන්තරාය කර ය.

රාජරාජාමාත්‍යයන් ඇසුරු කිරීම නුසුදුසු ලාභ සත්කාර උපදවන බැවින් සම්‍යක් ආජීවයට අන්තරාය කර ය.

තීත්‍ථක තීත්‍ථකශ්‍රාවකයන් ඇසුරු කිරීම දෘෂ්ටි විපත්තියට හේතුවන බැවින් සම්‍යක් දෘෂ්ටියට අන්තරාය කර ය. සැදැහැ නැති කුලයන් සේවනය කිරීම ශ්‍ර‍ද්ධා හානියට හා චිත්තබේදයට හේතු ය.)

ගෝචර නම් කිම? මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණැ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්‍ෂුණීන්, මත්පැන් සැල් ගෝචර කොට නො වෙසෙයි. රජුන් හා රජ මැතිනියන් හා අත්තොටුවන් (අන්‍යතීර්ථකයන්) හා අත්තොටු සව්වන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී නො වෙසෙයි. භික්‍ෂු ආදි සිවුපිරිසට නිති සිවුපසයෙන් උපස්ථාන කරන - භික්‍ෂු භික්‍ෂුණීන් ගේ කෂාය වස්ත්‍රයෙන් බැබලී ගත් - ඔවුන්ගෙන් නිතර ගැවසී ගත් ඔවුන්ට හිත වැඩ කැමති - ඔවුන්ට පහසු හා නිර්‍භය කැමැති-සැදැහැ පැහැදුම් ඇති කුලයන් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කෙරෙයි මෙය ගෝචරය යි කියනු ලැබේ.

යට දැක්වූ ආචාරයෙන් හා මේ ගෝචරයෙන් යුක්ත වූ යේ ආචාර ගෝචර සම්පන්නයි.

මේ ආචාර ගෝචරය පිළිබඳ මතු දක්වනු ලබන ක්‍ර‍මය ද දැනගත යුතු.

1. කායික අනාචාරය, 2. වාචසික අනාචාරය යි

අනාචාර ද්‍විවිධ වේ.

1. කායික අනාචාරය :- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් සඞ්ඝ සභාවට ද එළඹ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ගරුසරු නැති වැ ඔවුන් සිව්රෙන් සිව්ර හා ඇඟින් ඇඟ ගටමින් සිටිති. හිඳිති. ඔවුන් අභිමුඛයෙහි ද එසේ මැ සිටිති. හිඳිති. උසසුන්හි දු හිඳ ගනිති. හිස වසා පොරවා ගෙන ද හිඳිති. ගරු සරු නැති වැ සිට ගෙන ද අත් වනමින් ද කථා කෙරෙති. මහතෙරුන් පා වහන් නැති වැ සක්මන් කරන කල තුමු වහන් නැගී ද, මහතෙරුන් පහත් වූ සක්මන් හි සක්මන් කරන කල තුමූ උස් වූ සක්මන් හි නැගී ද සක්මන් කෙරෙති. මහතෙරුන් හිඳිනා තන්හි වැද හිඳිති. නවක භික්‍ෂූන් අසුන්වලින් නෙරපති. ජන්තාඝරයට වැද මහතෙරුන් නොවිචාරා උදුනෙහි දර දමති. දොරවල් ද වසති. පැන් නහනා තොටට ගොස් මහතෙරුන් ඇඟ ගැටෙමින් ඔවුන් ඉදිරියෙහි වෙමින් තොටට බසිති. නහති. තොටින් නැඟෙති. ගමට වදනා කල්හි ද ස්ථවිර භික්‍ෂුන් ඇඟ ගටමින් යෙති. ඔවුන් ඉදිරියෙහි ද ගමන් කරති. කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන් වසන පිළිසන් ගැබ් ගෙවලට ලා හෙළා වදිති. බාල දරුවන්ගේ හිස පිරිමදිත් මේ කායික ආනාචාරය යි දතයුතු.

2. වාචසික අනාචාරය- මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් මහතෙරුන් නොවිචාර බණ කියති. ප්‍ර‍ශ්න විසඳති. ඇතුල් ගෙවලට ද වැද ඒ ඒ කුලස්ත්‍රීන් ගේ කුලකුමාරීන් ගේ නම් ගොත් කිය කියා ආමන්ත්‍ර‍ණය කෙරෙමින් “කුමක් තිබේ ද කැඳ තිබේ ද බත් තිබේ ද කැවිලි තිබේ ද කුමක් කම් ද කුමක් බොම් ද කුමක් බුදිම්දැ” යි ශ්‍ර‍මණ සාරුප්‍ය නොවු විකාර කථා කෙරෙත්. මේ වාචසික අනාචාරය යි දතයුතු.

මේ දැක්වූ කායික අනාචාරය හා වාචසික අනාචාර නොකිරීම ආචාරය වන්නේ ය.

තවද යම් කිසි භික්‍ෂු කෙනෙක් සෙසු වැඩිමහලු භික්‍ෂූන් කෙරෙහි ගෞරව හා යටත් පැවතුම් ඇති වැ - ලජ්ජා බියෙන් යුක්ත වැ - මනාකොට හැඳැ පෙරවැ- දුටුවන් පහදනා ගමනා - ගමනයෙන් ආලෝකන විලෝකනයෙන් අත් පා දිගුකිරීමෙන් හැකිලීමෙන් යුක්ත වැ, යට හෙළා ලු ඇස් ඇති වැ මනා ඉරියව්වලින් රැඳී ඉඳුරන් රැකවල් කොට ගෙන පමණ දැනැ වළඳමින් නින්දෙහි තත්පර නොවැ සිහි නුවණෙන් යෙදී අල්පේච්ඡ ව ලත් දෙයින් සතුටු ව අත් නොහළ වීර්‍ය්‍ය ඇති වැ ආභිසමාචරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ ආභිසමාචාරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ වෙසෙත් නම් එය ද ආචාරය යි කියනු ලැබේ.

ගෝචර වනාහි 1. උපනිස්සය ගොචරය, 2. ආරක්‍ඛ ගොචරය, 3. උපනිබන්‍ධ ගොචර යි ත්‍රිවිධ වේ.

1. උපනිස්සය ගෝචර නම්:- අල්පේච්ඡ කථා ආදි දශවිධ කථාවන්ට පිහිටි වූ ගුණෙන් යුත් කල්‍යාණ මිත්‍ර‍යායි හේ කෙබඳුවිය යුතු ද යත්? යම්බඳු කල්‍යාණ මිත්‍ර‍යකුගේ ආශ්‍රයෙන් පෙර නොඇසූ විරූ ධර්‍මම අසන්නේ ද, ඇසූවිරූ ධර්‍මම පිරිසිදු කර ගන්නේ ද, සැක තුබූ තන්හි සැක දුරු කර ගන්නේ ද, ස්වකීය දෘෂ්ටිය සෘජුකර ගන්නේ ද, සිත ප්‍ර‍සන්න වන්නේ ද, වැළිත් යම් කළ්‍යාණ මිත්‍ර‍යකු ගේ ආශ්‍රයෙන් ශ්‍ර‍ද්ධා ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍ර‍ඥා යන පංච ධර්‍මමයෙන් තෙමේ වැඩෙන්නේ ද, එබඳු ආචාර්‍ය්‍ය මෙහි කළ්‍යාණ මිත්‍ර‍ - (උපනිස්සය ගොචර) නම් වේ යයි දතයුතු.

2. ආරක්ඛ ගෝචර නම් :- ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්මයි. ඒ එසේ මැයි :- මේ සසුන් වන් පැවිදි තෙමේ ගමට වේවයි, වීථියට වේවයි වන් කල යට හෙළා ලූ ඇස් ඇති වැ වියදඬු පමණ බලමින් සංවර යුක්ත ව ගමන් කරයි ද, ඇතුන්, අසුන්, රථ, පාබලසෙනඟ දිසා බලමින් ස්ත්‍රීන් පුරුෂයන් දිසා බලමින් ගමන් නොකරයි ද, උඩ බලාගෙන හෝ පමණට වඩා බෙල්ල නවා බිම බලාගෙන ම හෝ ගමන් නොකරයි ද, දිසානුදිසාවන් (වටපිට) බල බලා හෝ ගමන් නොකරයි ද මේ ආරක්ඛ ගෝචර යයි දතයුතු.

උපනිබන්‍ධ ගෝචර නම් :- සිත බැඳ තැබීමට - (භාවනාවට) අරමුණු එනම් :- සතර සතිපට්ඨාන යි.

වදාළේ මැ යැ. “කො ච භික්ඛවෙ භික්ඛුනො ගෝචරො සකො පෙත්තිකො විසයො යදිදං චත්තාරො සතිපට්ඨානා[5] යි ‘මහණෙනි, භික්‍ෂු හට සිය පිය සතු ගෝචරය කුමක් ද මේ සතර සතිපට්ඨානයෝ ය’ යනු එහි බාවයි. මේ උපනිබන්‍ධ ගෝචරය යි දතයුතු.

මේ දැක්වූ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ ද ආචාරගෝචර සම්පන්න නම් වේ යයි දතයුතු.

අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී = පරමාණු තරම් වූ ඉතා ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ (ඉතා ස්වල්ප වරද නම් නොදන මතක නැති වැ පැමිණෙන සේඛියා ශික්‍ෂාපද ව්‍යතික්‍ර‍මණ හා අකුසල සිත් ඉපදීම් ආදිය එබඳු සුලු වරද පවා පාරාජිකාපත්තියක් තරම් කොට සලකමින් යූ සේයි.)

සමාදාය සික්ඛති සික්ඛාපදෙසු = භික්‍ෂූන් විසින් ශික්‍ෂාපදයන් අතුරෙන් යමක් සමාදන් ව ගෙන රැක්ක යුතු ද ඒ සියල්ල රක්නේය යන අර්‍ථයි.

(මෙහි “පාතිමොක්ඛ සංවරසංවුතො” යන පදයෙන් මැ පුග්ගලාධිට්ඨාන- දේසනා වසයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වදාරන ලදී. සෙසු “ආචාරගෝචර සම්පන්නො” යනාදිය ඒ ශීලය රක්නහුගේ ප්‍ර‍තිපත්ති දක්වන පිණිස වදාරන ලදී. පුග්ගලාධිට්ඨානදේසනා නම්, ශීලය දැක්වුවමනා තන්හි ඒ ශීලය ඇති පුද්ගලයා වර්‍ණනා කොට දැක්වීමයි.)

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය නිමියේ ය.

  1. විප:ඣානචි: 185

  2. මා:කථා 1

  3. වි:ප:ඣානවිභඞ්ග 186

  4. වි:ප: ඣානවිහඞ්ග 187

  5. සං:නි: මහාවග්ග 902