ද්‍විවිධ ශීල මෙසේයි.
ප්‍රථම ද්‍විකය
1. චාරිත්ත සීලය 2. වාරිත්ත සීලය
1. “මේ දේ කළ යුතුය” යි බුදුන් විසින් පණවා වදාළ යම් ශික්ෂාපද කෙනෙක් වෙද් ද ඒ ශික්‍ෂාපදයන්හි නියමිත සේ කිරීම චාරිත්ත සීලය. “චරන්ති තස්මිං සීලෙ පරිපූර කාරිතාය පවත්තන්තී’ත චාරිත්තං” යනු එහි විග්‍රහ වාක්‍යයි.
2. “මේ දේ නොකළ යුතුය” යි බුදුන් විසින් යමක් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ද ඒ ප්‍රතික්‍ෂිප්තය නොකිරීම වාරිත්ත සීලය. “වාරිතං තායන්ති රක්ඛන්ති තෙනාති වාරිත්තං” යනු එහි විග්‍රහ වාක්‍යයි.
වාරිත්ත සීලය ශ්‍රධායෙන් හා වීර්‍ය්‍යයෙන් සිද්ධ කළ යුතුය. වාරිත්ත සීලය ශ්‍රද්ධායෙන් මැ සිද්ධ කළ යුතුයි.
මෙය චාරිත්ත - වාරිත්ත සීල නම්.
ද්වීතීය ද්විකය
1. ආභිසමාවාරික සීලය හා 2. ආදිබ්‍රහ්මචරියක සීලය
1. අභිසමාචාර නම් :- උතුම් හැසිරීමය. අභිසමාචාරය ම ආභිසමාචාරික ය. ස්වර්‍ථයෙහි ප්‍රත්‍යය කිරීම් වශයෙනි. මෙයින් උත්තම හැසිරීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.
නොහොත් සෝවාන් ආදි මාර්‍ගඵල අභිසමාචාරය ය. ඒ අභිසමාචාරය සඳහා පණවන ලද සීලය ආභිසමාචාරික ය. මෙයින් ආජීවටමක සීලය හැර සෙසු සිල් ආභිසමාචාරික සීල යයි කී නියා දතයුතු.
නොහොත් ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍ර ශික්ෂාපද ආභිසමාචාරික ය. මෙයින් පවිති-දුකකට-දුර්භාෂිත ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම ආභිසමාචාරික සීලය යි කී නියා දතයුතු.
නොහොත් සුලුවග, මහවග දෙක්හි ආ කඳුවත් පිරීම ආභිසමාචාරික සීලය යි.
2. මාර්‍ග බ්‍රහ්මචරියාවට ආදියෙහි වූ, සීලය ආදි බ්‍රහ්මචරියක සීලය. එනම් : ආජීවාෂ්ටමක ශීලය යි. ආජීවාෂ්ටමක ශීලය නම්: කායද්‍වාරයෙන් සිද්ධවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන ත්‍රිවිධ අකුශලයෙන් ද, වාග්ද්‍වාරයෙන් සිද්‍ධවන මුසාවාද, පිසුණාවාචා, ඵරුසවාචා, සම්ඵප්පලාප යන චතුර්විධ අකුශලයෙන් ද, මිථ්‍යාආජීවයෙන් ද වැළකීම සඳහා සමාදන් වැ ගන්නා ශීලය යි. මේ ශීලය මාර්‍ගයට පූර්‍වභාගයෙහි පිරිය යුතු මැ ය. එහෙයින් වදාළහ. “පුබ්බෙව ඛො පනස්ස කායකම්මා වචී කම්මා ආජීවො සුපරිසුද්‍ධො හොති”[1] යි.
නොහොත් සඞ්ඝාදිසෙස පාරාජික යන මහා ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම ආදිබ්‍රහ්මචරියක ශීලයයි.
නොහොත් භික්‍ඛු - භික්‍ඛුණී උභය විහඞ්ගයන්හි ආ ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම ආදිබ්‍රහ්මචරියක ශීලයයි.
කිව යුත්තෙක් ඇති, ආභිසමාචාරික සීලය නුපුරන්නේ ආදිබ්‍රහ්මචරියක ශීලය පුරන්නේය යනු කිසි කලෙක සිද්ධ නොවේ. ආභිසමාචාරික ශීලය පුරන්නේ මැ ආදිබ්‍රහ්මචරියක ශීලය ද පුරන්නේ ය.
වදාළේ මැ යි. “සො වත භික්ඛවෙ භික්‍ඛු අභිසමාචාරිකං ධම්මා අපරිපූරෙත්‍වා ආදිබ්‍රහ්මචරියකා ධම්මං පරිපූරෙස්සතී ති නෙතං ඨානා විජ්ජති”[2] යි.
මෙය ආභිසමාචාරික, ආදිබ්‍රහ්මචරියක සීල නම්.
තෘතීය ද්විකය
1. විරති සීලය හා 2. අවිරති සීලය
1. ප්‍රාණඝාතාදියෙන් වැළකීම් මාත්‍රය විරති ශීලය හෙවත් එම කුශල චිත්ත වීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසිකත්‍රය විරති ශීලයයි.
2. එම කුශල චිත්ත වීථියෙහි මැ පහළ වන සෙසු චෙතනාදි චෛතසිකයෝ අවිරති ශීලය යි.
මේය විරති, අවිරති සීල නම්.
චතුර්‍ථ ද්විකය
1. නිස්සීත සීලය හා 2. අනිස්සිත සීලය
1. තණ්හා නිස්සය, දීට්ඨි නිස්සය’ යි නිස්සය දෙවැදෑරුම් වේ. ‘මම මේ සීල හේතුයෙන් ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි, අප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි’ යි භව සම්පත් පැතීම් වශයෙන් පුරනු ලබන ශීලය තණ්හා නිස්සිත ය. ‘ශීලයෙන් මැ සුද්‍ධය වන්නේය’යි දෘෂටි වශයෙන් පුරනු ලබන ශීලය දිට්ඨි නිස්සිත ය. මේ දවිවිධ වූ ශීලය නිස්සිත සීල නම් වේ.
2. මේ දෙවැදෑරුම් නිස්සයයෙන් වෙන් වැ පුරනු ලබන ලෞකික ලොකොත්තර සීල අනිස්සිත සීල නම් වේ.
මේය නිස්සිතානිස්සිත සීල නම්.
පංචම ද්විකය
1. කාලපරියන්ත සීලය හා 2. ආපාණකොටික සීලය.
1. කාලපරිච්ඡේද ඇතිව (අෂ්ඨාඞ්ග සීලය මෙන්) සමාදන් ව රක්නා ශීලය කාලපරියන්ත සීලය.
2. දිවිහිම් කොට (පංචසීලය මෙන්) සමාදන්ව රක්නා ශීලය ආපාණකොටික සීලයි.
මේය කාලපරියන්ත, ආපාණකොටික සීල නම්.
ෂෂ්ඨ ද්විකය
1. සපරියන්ත සීලය හා 2. අපරීයන්ත සීලය.
1. ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්ත සීලය ඒ එසේ මැ යි. ඇතැම් කෙනෙක් ‘ලාභයක් ලබමි’ යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ ලාභය ලත්කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් කීර්‍තතියක් ලබමි’යි යන සිතින් සිල් සමාදන් වෙති. පසුව ඒ කිර්‍තතිය ගත් කල සීලය බිඳැ ලත්. ඇතැම් කෙනෙක් ඥාති, අංග, ජීවිත අපේක්‍ෂායෙන් සිල් සමාදන් ව පසුව ඒ ඥාති, අංග, ජීවිත ලත් කල සීලය බිඳැ ලත්. මෙබඳු සිල් ඛණ්ඩය ජිද්‍රය. සබලය. කල්මාෂය. භුජිස්ස නොවේ. විඤ්ඤැප්පසත්‍ථ නොවේ. පරාමට්ඨ වේ. සමාධිසංවත්තනික නොවේ. නිවන් පිණිස නො පවතී.
වදාළේ මැ යි. පටිසම්භිදායෙහි :-
“කතමං තං සීලං සපරියන්තං? අත්‍ථ සීලං ලාභපරියන්තං, අත්‍ථි සීලං යසපරියන්තං, අත්‍ථි සීලං ඤාතිපරියන්තං, අත්‍ථි සීලං අංගපරියන්තං, අත්‍ථි සීලං ජීවිතපරියන්තං, කතමං තං සීලං ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්නසික්ඛාපදං විතික්කමති ඉදං තං සීලං ලාභපරියන්තං -- -පෙ--- එවරූපානි සීලානි කණ්ඩානි ජිද්දානි සබලානි කම්මාසානි න භුඤ්ජිස්සානි - --පෙ --- න නිබ්බානාය සංවත්තන්ති”[3] යි.
2. ලාභය, කීර්‍තතිය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මොවුන් අතුරෙන් කිසිවක් සීමා නොකොට රක්නා සීලය අපරියන්ත සීලය. ඒ එසේ මැ යි :- ඇතැම් කෙනෙක් සමාදන් ව ගත් ශික්‍ෂාපද ලාභයක් හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම? සමාදන්ව ගත් ශික්‍ෂාපද කීර්‍තති, ඥාති, අඞ්ග, ජීවිත හේතුකොට ගෙන බිඳ පීමෙහි සිතුවිල්ලකුදු නූපදවති. බිඳ නොපියත් යනු කියනු කිම්? මෙබඳු සිල් අඛණ්ඩය, අච්ජිද්‍රය, අසබලය, අකල්මාෂය, ---පෙ--- - නිවන් පිණිස පවතී.) වදාළේ මැ යි පටිසම්භිදායෙහි :-
“කතමං තං සීලං අපරියන්තං? අත්‍ථි සීලං න ලාභපරියන්තං, අත්‍ථි සීලං න ලාභ පරියන්තං, අත්‍ථි සීලං න යසපරියන්තං, අත්‍ථි සීලං න ඤාති පරියන්තං, අත්‍ථි සීලං න අංගපරියන්තං, අත්‍ථි සීලං න ජීවිතපරියන්තං, කතමං තං සීලං න ලාභපරියන්තං ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්තං සික්ඛාපදං විතික්කමාය චිත්තම්පි න උප්පාදෙති ----පෙ --- එව - රූපානි සීලානි අඛණ්ඩානි අච්ජිද්දානි ---පෙ ---- නිබ්බානාය සංවත්තන්ති”[4] යි.
මේය සපරියන්ත, අපරියන්ත සීල නම්.
සත්තම ද්විකය
1. ලෞකික සීලය හා 2. ලෝකෝත්තර සීලය.
1. ආශ්‍රව සහිත වූ (පෘථග්ජනයන්ගේ) සියලු සීල ලෞකික ය. එය භවසම්පත් එළවයි. භවනිස්සරණයට ද ප්‍රත්‍යය වෙයි. වදාළේ මැ යි.
‘විනයො සංවරත්‍ථාය, සංවරො අවිප්පටිසාරත්‍ථාය, අවිප්පටිසාරො පාමොජ්ජත්‍ථාය, පාමොජ්ජං පීතත්‍ථාය, පීති පස්සද්‍ධත්‍ථාය, පස්සද්‍ධි සුඛත්‍ථාය
සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභුතඤාණදස්සනත්‍ථාය, යථාභුතඤාණදස්සනං නිබ්බි දත්‍ථාය, නිබ්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත්තත්‍ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්‍ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්‍ථාය. එතදත්‍ථා කථා එතදත්‍ථා මහනණා එතදත්‍ථා උපනිසා එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදා විත්තස්ස විමොක්ඛො”[5]
2. ආශ්‍රව රහිත වූ (සෝවාන් ආදි ආර්‍ය්‍යයන්ගේ) සීල ලෝකොත්තරය, එය භවනිස්සරණය එළවයි. ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයට ද භූමි වෙයි.
මේය ලෞකික, ලෝකෝත්තර ශීල නම්.
ද්‍විවිධ සීල නිමියේය.