3. සීලයාගේ ලක්‍ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද සීලයාගේ ලක්‍ෂණය යට දැක්වූ සීලනය මැ යි.
“සීලනං ලක්ඛණං තස්ස
භින්තස්සාපි අනෙකධා,
සනිදස්සනත්තං රූපස්ස
යථා භින්නස්ස නෙකධා”
‘නීලාදි වශයෙන් නානාවිධ වූ ද රූපයාගේ ලක්‍ෂණය සනිදර්‍ශන භාවයයි. රූපය නීලාදි වශයෙන් නානා භේද වුවද සනිදර්‍ශන භාවය නොහරන බැවිනි, එමෙන් චේතනාදි වශයෙන් නානාවිධ වූද සීලයාගේ ලක්‍ෂණය සමාධානය උපධාරණය යි දෙවැදෑරුම් කොටැ දක්වන ලද සීලනය මැයි. එබඳු භේද සහිත වුවත් සීලය සමාධානාර්‍ථ හෝ උපධාරනාර්‍ථ වූ හෝ සීලන ලක්‍ෂණය නොහරින බැවිනි. (ලක්‍ෂණ නම්, සාමාන්‍ය ස්වභාවයයි)
“දුස්සීල්‍ය විධංසනතා - අනවජ්ජගුණා තථා,
කිච්චසම්පත්ති අත්‍ථෙන - රසො නාම පවුච්චති.”
රස නම් :- කෘත්‍ය හෝ සම්පත්තිය. සීලයාගේ කෘත්‍ය රසය නම්, දුශ්ශීලත්‍වය විනාශ කිරීමයි. සම්පත්ති රසය නම්, නිරවද්‍ය ගුණයෝයි. (සීලයෙන් දුශ්ශීලත්‍වය වනසනු ලැබේ. එසේ මැ සීලයෙන් ධ්‍යානාදි ගුණ උපදවනු ලැබේ.)
“සොචෙය්‍යපච්චුපට්ඨානං - තයිදං තස්ස විඤ්ඤෑහි
ඔත්තප්පංච හිරිං චෙ ච - පදට්ඨානං‘ති වණ්ණිතං.”
පච්චුපට්ඨාන නම් :- වැටහෙන කාරණය, සීලයාගේ පච්චුපට්ඨානය නම්, කය - වචන - හිත යන ත්‍රිවිධ ද්වාරයාගේ පරිශුද්ධ භාවයයි වදාළේ මැ ය :- “කායසොචෙය්‍යං වචී සොචෙය්‍යං මනොසොචෙය්‍යං”[1] යි සොචෙය්‍ය නම්, සුවිභාව හෙවත් පිරිසිදු බව.
පදට්ඨාන නම් :- ආසන්න කාරණය, සීලයාගේ පදට්ඨාන නම්, හිරි - ඔතප් දෙක ය.
ඒ එසේ මැ යි - හිරි ඔතප් ඇති කල්හි මැ සීලය උපදනේත් වෙයි. පවත්නේත් වෙයි. හිරි ඔතප් නැති කල්හි සීලය කෙසේවත් නූපදනේ ය. නොපවත්නේ යි.
ශීලයාගේ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන - පදට්ඨාන කවරහුද? යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.
0 0 0 0 0
-
අ:නි:තික නි: 166 ↑