සීල නම් කිම

සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ (1) චේතනා, (2) චෛතසික, (3) සංවර, (4) අව්‍යතික්‍ර‍ම, යන මේ ය.

වදාළේ මැ යි:- පටිසම්භිදායෙහි “කිං සීලං ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්ක මො සීලං....[1] යි.

(1) චේතනා සීල නම් :- ප්‍රාණඝාතාදියෙන් වැළැකෙන්නහු ගේ හෝ වත් පිළිවෙත් පුරන්නහු ගේ හෝ චේතනා ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෛන් චේතනා චෛතසිකය සීල නම් වෙයි යූ සේයි.)

තවද ප්‍රාණඝාතාදිය හැර පියන්නකු ගේ සප්ත කර්‍මපථ චේතනා ද සීල නම් වෙයි. (සප්ත කර්‍මපත නම්, පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සමඵප්පලාප යන මේයි.)

(2) චෛතසිකය ශීල නම් : ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති ය. (එබන්දකුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍ර‍ය චෛතසික සීල නම් වෙයි. යූ සේයි) තවද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන මේ ධර්‍මයෝ ද චෛතසික ශීල නම් වෙත්. “අභිජ්ඣා පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති”[2] යනාදීන් වදාළ හෙයිනි.

(3) සංවර ශීලය වනාහි, පාතිමොක්ඛසංවරය, සතිසංවරය ඤාණ සංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ වේ. “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො”[3] යනාදි දේශනා පාළියෙහි පාතිමොක්ඛ සංවරයද “රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[4] යනාදි දේශනායෙහි සති සංවරය ද,

“යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා)

සති තෙසං නිවාරණං - සොතානං සංවරං බ්‍රැමි

පඤ්ඤායෙතෙ පිථියරෙ”[5]

යන දේශනාවෙහි ඤාණසංවරය ද, (පච්චයසන්නිස්සිතසීලය ද මෙහි මැ ඇතුළති) “ඛමොහොති සීතස්ස උණහස්ස”[6] යනාදි දෙශනායෙහි ඛන්තිසංවරය ද, උප්පන්තං කාමවිතක්කං නාධිවාසෙති”[7] යනාදි තන්හිවීරිය සංවරය ද, (ආජීව පරිසුධි සීලය ද මෙහි මැ ඇතුළති) සීල වශයෙන් වදාළේ ය. මේ පංච විධ සංවරය හා පාපභීරුක කුලපුත්‍ර‍යන්ගේ සම්පත්ත චිරතිය ද යන මේ සියල්ල සංවර සීලය යි දතයුතු.

(4) අව්‍යතික්‍ර‍ම ශීල නම් - සමාදන් වැ ගත් සීලය කයෙන් වචනයෙන් නොබිඳ රැක ගන්මයි.

“සීල නම් කුමක් ද?” යනු මෙතෙකින් විසඳන ලද්දේය.

2. කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේද

සීලන අර්‍ථයෙන් සීල යයි කියනු ලැබේ. සීලන නම්, සමධානය හෝ උපධාරණය යි. කුශල කායකර්‍මාදීන්ට විසිර යන්නට ඉඩ නොදීම සමාධානය. කුශල ධර්මයන් ප්‍ර‍තිෂඨා වශයෙන් ධැරීම උපධාරණය යි. (සීලවන්තයා විපිළිසර නොවන්නේ ය. සීලයෙහි සමාධානර්‍ථය ඇති හෙයිනි.) ධ්‍යාන මාර්‍ග - ඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වේ. (සීලයෙහි උපධාරණාර්‍ථය ඇති හෙයිනි.) ශබ්ද ලක්‍ෂණඥයෝ මේ අර්‍ථද්වය මැ මෙහි ලා පිළිගනිති. ඇතැම්හු ශිරස් (හිස යන) අර්‍ථයෙන් සීලය වේ. ශීතලාර්‍ථයෙන් සීලය වේ. යනාදීන් ප්‍ර‍පඤ්ච (විස්තර) කෙරෙත්.

කවර අර්‍ථයෙකින් සීල යයි කියනු ලැබේ ද

යනු මෙතෙකින් විසඳන ලද්දේ යි.

0 0 0 0 0

  1. ප:ම: ඤාණකථා 43 බුරුම

  2. දී:නි: සීලක්ඛන්ධ ව: 55

  3. වි:ප: ඣාන වි: 186

  4. වි:ප:ඣාන වි: 188

  5. සු:නි: පරායනව 137

  6. ම:නි: මූලපණ්ණාසක 11

  7. ම:නි: මූලපණ්ණාසක 12