කිසියම් කිලුටක් නැති බැවින් හා ඉතා පිරිසිදු බැවින් නිර්වාණයට විශුද්ධි යයි කියනු ලැබේ. ඒ විශුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්‍ගය-විශුද්ධි මාර්‍ගය යි. මාර්‍ග නම් අධිගම උපාය (නිර්වාණයට යා හැකි උපාය-විශුද්ධි මාර්‍ගය යි කී නිසා මෙයින් දත යුතු.)
ඒ මේ විශුද්ධි මාර්‍ග සංඛ්‍යාත නිර්වාණ අධිගමෝපාය වනාහි ඇතැම් තැනෙක විදර්ශනා මාත්‍ර වශයෙන් ද, ඇතැම් තැනෙක ධ්‍යාන-ප්‍රඥා වශයෙන් ද, ඇතැම් තැනෙක කර්මාදි වශයෙන් ද, ඇතැම් තැනෙක ශීලාදි වශයෙන් ද, ඇතැම් තැනෙක සතිපට්ඨානාදි වශයෙන් ද වදාරන ලද්දේය. ඒ එසේ මැ යි.
“සබ්බෙ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ - එසමග්ගො විසුද්ධියා”[1]
“සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යහ’යි යම් විටෙක නුවණින් දක්නේ ද, එවිට දුඃඛයෙහි උකටළි වන්නේ ය” මෙහි විදර්ශනා මාත්‍රය විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. විදර්ශනා නම්, සියලු සංස්කාර ධර්‍මයන් අනිත්‍යාදි වශයෙන් සැලකීමයි.
“යම්භිඣානං ච පඤ්ඤා ච - සවෙ නිබ්බාණසන්තිකෙ”
“යමෙක් කෙරෙහි ධ්‍යානය හා ප්‍රඥාව ඇත්තේ ද හෙතෙම නිර්වාණය අසල වන්නේ ය” මෙහි ධ්‍යාන, ප්‍රඥා දෙක විශුද්ධිමාර්‍ගය යි වදාළේය.
“කම්මං විජ්ජා ච ධම්මො ච - සීලං ජීවිතමුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්තී - නගොත්තෙන ධනෙන වා”[2]
මෙහි කර්‍ම, විද්‍යා, ධර්‍ම, ශීල යන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය යි වදාළේ ය. “මාර්‍ග චේතනාය මාර්‍ග ප්‍රඥාය, සමාධිපාක්‍ෂික ධර්‍මය සීලයෙහි පිහිටියහුගේ උත්තම ජීවිතය, නොහොාත් විජ්ජා සංඛ්‍යාත සම්මාදිට්ඨි, සම්මාසංකප්පය, ධම්ම සංඛ්‍යාත සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධිය, සීල සංඛ්‍යාත සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීවය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් මනුෂ්‍යයෝ පිරිසිදු වෙති. ගොත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නොවෙත්” යනු ගාථාවෙහි අදහසය.
“සබ්බදා සීලපම්පන්නො - පඤ්ඤවා සුසමාහිතො
ආරද්ධවිරියො පහිතත්තො - ඔඝං තරති දුත්තරං”[3]
මෙහි ශීල, සමාධි, ප්‍රඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය නිවනට මඟ යයි වදාළේය. ‘ඇමකල්හි සිල්වත් වූ සාමාධිමත් වූ ප්‍රඥාවත් වූ පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති මහණ එතර විය නො හැකි කාමාදි චතුරෝඝය එතර කරන්නේ ය” යනු ගාථාවේ අදහස ය.
“එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා පෙ........
නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා”[4]
මෙහි සතර සතිපට්ඨාන ධර්‍මයෝ විශුද්ධිමාර්‍ගය-නිවනට මඟ යයි වදාළේ ය. මහණෙනි යම් සතර සතිපට්ඨාන ධර්‍ම කෙනෙක් වෙත් ද ඔවුහු සත්ත්‍වයන් ගේ විසුද්ධිය පිණිස, නිවන් අවබෝධය පිණිස ඒකායන මාර්‍ගය වන්නේ ය” යනු අදහස යි.
මෙසේ දක්වන ලද නානාවිධ විශුද්ධිමාර්‍ග - නිවන් මං අතුරෙන් මේ “සීලෙ පතිට්ඨාය” යනාදි ප්‍රශ්න ව්‍යාකරණයෙහි ශීල, සමාධි, ප්‍රඥා, වීර්‍ය්‍ය යන මේ ධර්‍මයෝ විශුද්ධිමාර්‍ග-නිවනට මඟ යයි වදාළ සේක. (ඒ විශුද්ධිමාර්‍ග ප්‍රකාශක ග්‍රන්‍ථය ද විශුද්ධිමාර්‍ග නම් විය.)
ගාථායෙහි පදාර්‍ථ මෙසේ ය:-
සපඤ්ඤො= (ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි ප්‍රඥායෙන්) ප්‍රඥාවත් වූ, නරො = යම් සත්ත්‍වයෙක්; සීලෙ පතිට්ඨාය = සීලයෙහි පිහිටා; චිත්තං ච = සමාධියද; පඤ්ඤං ච = විදර්‍ශනාව ද; වඩන්නේ; ආතාපී = කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ; නිපකො = පාරිභාරිය - ප්‍රඥා ඇත්තේ වෙයිද; සො භික්ඛු = ඒ මහණ; ඉමං ජටං = මේ තෘෂ්ණා නමැති අවුල; විජටයෙ = නිරවුල් කරන්නේ ය; සිඳලන්නේ ය; යූ සේයි.
ගාථායෙහි එක් එක් පදයෙක විවරණය මෙසේ ය:-
සීලෙ පතිට්ඨාය= සීලයෙහි සිටැ සීලය පුරන්නා ම මෙහි සීලයෙහි සිටියේ යයි කියනු ලැබේ. එහෙයින් සිල් පිරීම් වශයෙන් සීලයෙහි පිහිටා යන අර්‍ථයි.
නරො= සත්ත්‍ව තෙමේ.
සපඤ්ඤො= කර්‍මජ ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි ප්‍රඥායෙන් ප්‍රඥා ඇත්තේ ය.
(අහේතුක හෝ ද්විහේතුක ප්‍රතිසන්‍ධි චිත්තයෙන් උපන්නහුට ඒ අත්බැව්හි තෘෂ්ණා අවුල කැපිය නොහැක. ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි චිත්තයෙන් උපන්නේ මැ තෘෂ්ණා අවුල කපා, තෘෂ්ණා අවුල කැපීම නම් රහත් වීම ය. අහේතුක ද්විහේතුකයනට රහත්වනු තබා ධ්‍යානවත් සෙසු මාර්‍ග ඵලවත් නොලද හැක.
චිත්තං පඤ්ඤං ච භාවයං= සමාධියද, විදර්‍ශනාව ද, වඩන්නේ. මෙහි චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය ද, ප්‍රඥා නාමයෙන් විදර්‍ශනාව ද, දක්වන ලදී.
ආතාපී= වීර්‍ය්‍ය ඇත්තේ. වීර්‍ය්‍යය වනාහි කෙළෙස් තවන අර්‍ථයෙන් ආතාප යයි කියනු ලැබේ. ආතාප ඇත්තේ ආතාපී.
නිපකො= ප්‍රඥා ඇත්තේ. නේපක්ක නම් ප්‍රඥා එයින් යුක්ත වූයේ නිපක. මෙයින් පාරිහාරිය ප්‍රඥාව දැක්විණි.
මේ ගාථායෙහි “1 සපඤ්ඤො, 2. පඤ්ඤංභාවයං, 3 නිපකො” යි තෙවරක් ප්‍රඥාව සඳහන් විය. එයින් ප්‍රථමය ජාති ප්‍රඥාව ය. ද්විතීය ය විදර්‍ශනා ප්‍රඥා ය. තෘතීය ය සර්‍වකෘත්‍යසාධක පාරිහාරිය ප්‍රඥා ය. (පාරිහාරිය ප්‍රඥා නම්, “අයං කාලො උද්දෙසස්ස අයං කාලො පරිපුච්ඡායාති ආදිනා නයෙන සබ්බත්‍ථකාරාපිකා පරිහරිතබ්බපඤ්ඤා”යි[5] සංයුත් අටුවායෙහි යූ බැවින් මේ උද්දෙසයට කාලය, මේ පරිපුච්ඡායට කාලයයි යනාදි නයින් සර්‍වාත්‍ථසාධක වූ පරිහරණය කළයුතු ප්‍රඥාය. උද්දෙස නම්, පාළිවාචනා පරිපුච්ඡා නම්, අට්ඨ කථා.)
භික්ඛු= සසර බිය දක්නේ භික්‍ෂු
සො ඉමං විජටයෙ ජටං= යට දැක්වුණු (ශීල, සමාධි, ත්‍රිවීධ ප්‍රඥා, වීර්‍ය්‍ය යන) සවැදෑරුම් ධර්‍මයන්ගෙන් යුක්ත වූ භික්‍ෂු තෙමේ ශක්ති සම්පන්න පිරිමියෙක් පොළොවෙහි සිටැ ගෙන තියුණු ආයුධය ඔසවා මහ හුණු ලැහැබක් කපා හෙලන්නා සේ ශීලයෙහි පිහිටා සමාධි නමැති නිකපාෂාණයෙහි මුවහත් තබන ලද විදර්‍ශනා ප්‍රඥා නමැති ආයුධය වීර්‍ය්‍ය බලයෙන් රුකුල් දෙන ලද පාරිහාරිය ප්‍රඥා නමැති හස්තයෙන් ඔසවා සිය සතන්හි පවත්නා සකල තෘෂ්ණා ජටාව කපා හෙලන්නේ ය. මාර්‍ග ක්‍ෂණයෙහි හෙතෙමේ කපා හෙළන්නේ නම් වේ. ඵල ක්‍ෂණයෙහි කපා හෙළුයේ සකල ලෝකයට අග්‍ර දක්‍ෂිණාර්‍හ වන්නේ ය. එහෙයින් සර්‍වඥයන් වහන්සේ
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං”
යී වදාල සේක.
මෙහි දක්වන ලද ත්‍රිවිධ ප්‍රඥාවන් අතුරෙහි “සපඤ්ඤො” යි පළමු දැක්වුණු ප්‍රතිසන්‍ධි ප්‍රඥාව සඳහා යෝගාවචරයා විසින් මේ අත්බැව්හි කළ යුත්තෙක් නැත. එය පූර්‍වකර්මානුභාවයෙන් මැ සිද්ධ විය යුතු බැවිනි.
ඔහු විසින් “ආතාපී-නිපකො” යි මෙහි දක්වන ලද වීර්‍ය්‍යයෙන් නිති උත්සාහවත් වැ ප්‍රඥායෙන් යහපත් විමසුම් ඇති වැ සීලයෙහි පිහිටා චිත්ත-පඤ්ඤා වශයෙන් වදාළ සමථ-විදර්‍ශනා වැඩිය යුතු වන්නේ ය. මෙසේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා මුඛයෙන් විශුද්ධිමාර්‍ගය හෙවත් නිවනට මඟ වදාළ සේකැ යි දත යුතු. එපමණක් ද නොවේ. මේ ත්‍රිවිධ ධර්‍මයෙන් උන්වහන්සේ 1 ත්‍රිවිධ ශික්‍ෂා, 2 ත්‍රිවිධකල්‍යාණ ශාසන, 3 තෙවිජ්ජතාදීන්ට උපනිඃශ්‍රය, 4 උභයාන්තය හැර මධ්‍යම ප්‍රතිපත්ති සේවන, 5 අපායාදී සමතික්‍රමණ උපාය, 6 ත්‍රිවිධ සංක්ලේශ විශෝධන, 9 සෝතාපන්නතාදින්ට හේතු යන මෙතෙක් ධර්‍ම ප්‍රකාශ කළ සේක.
1. ත්‍රිවිධ ශික්ෂා නම්:- අධිශීල ශික්‍ෂා, අධීචිත්ත ශික්‍ෂා අධිප්‍රඥා ශික්‍ෂා යැ. එහි ශීලයෙන් අධිශීල ශික්‍ෂාවද, සමාධියෙන් අධිචිත්ත ශික්‍ෂාව ද, ප්‍රඥායෙන් අධිප්‍රඥා ශික්‍ෂාව ද දක්වන ලදී.
2. ත්‍රිවිධ කල්‍යාණ ශාසන නම්:- ශාසනයාගේ ආදී කල්‍යාණ මජ්ඣෙ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ ය. ශීලයෙන් ශාසනයාගේ ආදි කල්‍යාණත්‍වය දැක්විණි.
ඒ එසේ මැ යි:- ශීලය ශාසනයාගේ ආදිය වේ. “කොචාදී කුසලානං ධම්මානං සීලං ච සුවිසුද්ධං”[6] “සබ්බ පාපස්ස අකරණං” යනාදීන් වදාළ හෙයිනි. ඒ ශාසනයාගේ ආදි සංඛ්‍යාත ශීලය අවිප්පටිසාරාදි ගුණ එළවන බැවින් කල්‍යාණ වේ. අවිප්පටිසාර නම් විපිළිසර නොවීම. “සීලං අවිප්පටිසාරය” යනාදීන් වදාළ හෙයිනි.
සමාධියෙන් ශාසනයාගේ මධ්‍ය කල්‍යාණත්‍වය දැක්විණි. ඒ එසේ මැ යි:- සමාධිය ශාසනයාගේ මාධ්‍ය යැ. “කුසලස්ස උපසම්පදා”[7] යනාදීන් වදාළ හෙයිනි. හෙ ද සෘධිවිධාදි ගුණ එළවන හෙයින් කළ්‍යාණ ය වේ.
ප්‍රඥායෙන් පරියොසානා කළ්‍යාණතා දැක්විණි. ඒ එසේ මැ යි:- ප්‍රඥාව ශාසනයාගේ අවසානය වේ “සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං”[8] යනු වදාළ හෙයින් හා ශ්‍රේෂ්ඨ බැවිනි. හේ ඉෂ්ටානිෂ්ටාරම්මණයෙහි නොසැලෙන බව ගෙන දෙන බැවින් කළ්‍යාණ වේ. වදාළේ මැ යි.
“සෙලො යථා එකඝනො - වාතෙන න සමිරති,
එවං නින්‍දාපසංසාසු - න සමිඤ්ජන්ති පණ්ඩිතා”[9]
“ඒකඝන ශෛල පර්‍වතයක් වාතයෙන් කම්පිත නොවන්නා සේ පණ්ඩිතයෝ නින්‍දා ප්‍රශංසා දෙකින් කම්පිත නොවෙත්” යනු භාවයි.
3. තේවිජ්ජතාදීන්ට උපනිඃශ්‍රය නම්: ත්‍රිවිද්‍යා-ෂට්අභිඥා චතුපටිසමහිදා ලබා ගැන්මට හේතුවන බව ය.
ඒ එසේ මැ යි:- සීලයෙන් ත්‍රිවිද්‍යාවට උපනිඃශ්‍රය බව දර්ශිත ය.
සීලසම්පත්තිය නිසා ත්‍රිවිද්‍යාව ලබයි. ඉන් වැඩියක් නො ලබයි. සාමාධියෙන් ෂඩභිඥාවට උපනිඃශ්‍රය බව දර්ශිතය. සමාධිසම්පත් නිසා ෂට් අභිඥා ලබයි. ඉන් වැඩියෙන් නො ලබයි. ප්‍රඥායෙන් සිව්පිළිසිඹියාවට උපනිඃශ්‍රය දර්ශිත ය. ප්‍රඥායෙන් මැ සිව්පිළිසිඹියා ලබයි. අනෙක් හේතුවකින් නො ලබයි.
4. උභයාන්නය හැර මධ්‍යම ප්‍රතිපත්ති සේවනය නම්:- කාමසුඛානුයෝගය හා අත්තකිලමථානුයෝගය දුරුකොට මධ්‍යම ප්‍රතිපදායෙහි යෙදීම ය. ශීලයෙන් කාමසුඛානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. සමාධියෙන් අත්තකිලමථානුයෝගයෙන් දුරුවීම දර්ශිත ය. ප්‍රඥායෙන් මධ්‍යම ප්‍රතිපදා සේවනය දර්ශිතයි.
5. අපායා දි සමතික්‍රමණ උපාය නම්:- අපායෙන් ද, කාම භාවයෙන් ද, සියලු භවයෙන් ද දුරුවීමේ උපායයි. ශීලයෙන් අපාය කෙරෙන් දුරුවීමේ උපාය ද, සමාධියෙන් කාමභවයෙන් දුරුවීමේ උපායය ද, ප්‍රඥායෙන් කාමරූප අරූප යන සියලු භවයන්ගෙන් දුරුවීමේ උපාය ද දක්වන ලදී.
6. ත්‍රිවිධක්ලේශ ප්‍රහාණ නම්:- තදඞ්ගප්පහාණ, වික්ඛම්හනප්පහාණ, සමුච්ඡේදප්පහාණයි. ශීලයෙන් තදඞ්ගප්පහාණ වශයෙන් ද, සමාධියෙන් වික්ඛම්හනප්පහාණ වශයෙන් ද, ප්‍රඥායෙන් සමුච්ඡේදප්පහාණ වශයෙන් ද කෙලෙස් ප්‍රහාණය දක්වන ලදී.
7. ව්‍යතික්‍රමාදි ප්‍රතිපක්‍ෂභාව නම්:- ක්ලේශයන් ගේ ව්‍යතික්‍රම, පරියුට්ඨාන, අනුසයයන්ට විරුද්ධ භාවයයි. ව්‍යතික්‍රම නම් සමාදන්වූ ශික්‍ෂාපද බිඳපීම ය. පරියුට්ඨාන නම්, ක්ලේශයන් නැඟී සිටීමය. අනුසය නම් කෙලෙසුන් නිදි ගෙන මෙන් සිය සතක්හි ගුප්ත වැ සිටීම යි. ශීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යාතික්‍රම ප්‍රතිපක්‍ෂ භාවය ද, සමාධිායෙන් පරියුට්ඨාන ප්‍රතිපක්‍ෂභාවය ද, ප්‍රඥායෙන් අනුසය ප්‍රතිපක්‍ෂභාවය ද දක්වන ලදී.
8. ත්‍රිවිධ සංක්ලේශ විශෝධන නම් - දුශ්චරිත, තෘෂ්ණා, දෘෂ්ටි යන තෙවැදෑරුම් සංක්ලේශයන්ගෙත් පිරිසිදු වීම ය. ශීලයෙන් දුශ්චරිත සංක්ලේශ විශෝධනය ද, සමාධියෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනය ද, ප්‍රඥායෙන් දෘෂ්ටි සංක්ලේශ විශෝධනය ද දක්වන ලදී.
9. සෝතාපන්නතාදීන්ට හේතු යි කී තන්හි ශීලයෙන් සෝවාන් බව හා සකෘදාගාමි බවට ද, සමාධියෙන් අනාගාමි බවට ද, ප්‍රඥායෙන් අර්‍හත් බවට ද හේතු දක්වන ලදී.
ඒ එසේමැ යි:- සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ශීලයෙහි පරිපූරකාරීහු ය. අනාගාමි පුද්ගලයා සමාධියෙහි පරිපූරකාරී ය. රහතන්වහන්සේ ප්‍රඥායෙහි පරිපූරකාරී සේක.
මෙසේ මේ ක්‍රමයෙන් ත්‍රිවිධ ශික්‍ෂා, ත්‍රිවිධි කල්‍යාණ ශාසන, තෙවිජ්ජතාදීන්ට උපනිස්සය, උභයාන්තයහැර මධ්‍යම ප්‍රතිපත්ති සේවන, අපායාදි සමතික්‍රමණ උපාය, ත්‍රිවිධ ක්ලේශප්‍රභාණ, ව්‍යතික්‍රමාදි ප්‍රතිපක්‍ෂභාව, ත්‍රිවිධ සංක්ලේශ විශොධන සෝතාපන්තාදීන්ට හේතු යන නවත්‍රිකයෝ ද මෙබඳු අන්‍ය ගුණත්‍රිකයෝද දක්වන ලදැ යි දත යුතු.
මේ මෙහි අති සංක්‍ෂේප ක්‍රමයයි.
ප්‍රශ්න - උත්තර ව්‍යාජයෙන් විස්තර මතු දක්වනු ලැබේ.
1. සීල නම් කිම? 2. කවර අර්‍ථයකින් “සීල” යයි කියනු ලැබේ ද 3. සීලයා ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? 4. සීලයෙහි ආනිසංස කිම? 5. සීලය කී වැදෑරුම් ද 6. සීලය කිලිටිවන්නේ කෙසේ ද? 7. සීලය පිරිසිදු වන්නේ කෙසේ ද? යන මෙහිලා ප්‍රශ්නයි.
එය එකක් පාසා ක්‍රමයෙන් විසඳනු ලැබේ.