සතර සංවර ශීලය කෙසේ සම්පාදනය කළ යුතු ද

star_outline

මේ සතර සංවර සීල අතුරෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු. එයට ශ්‍ර‍ද්ධාව මැ සාධන ය. ඒ එසේ මැ යි:- ශික්‍ෂාපද පැමිණවීම බුදුනට විනා ශ්‍රාවකයන්ට විෂය නොවේ. (සැරියුත් ස්වාමි ශික්‍ෂාපද පැණවීමට යාච්ඤා කළ කල්හි බුදුහු : “ආගමෙහි ත්‍වං සාරිපුත්ත තථාගතොව තත්‍ථ කාලං ඡානිස්සති”[1] යි ශාරිපුත්‍ර‍ය! තොප නවතින්න, තථාගතයෝ මැ එයට කල් දනිත්” යයි ප්‍ර‍තික්‍ෂේප කළ සේක. එබැවින් ශ්‍රාවකයන් විසින් තථාගතයන් වහන්සේ පැණ වූ ශික්‍ෂාපද අඩු වැඩි නො කොටැ සැදැහැයෙන් සමාදන් වැ ජීවිතයෙහි දු ආශාව හැරැ පියා මනාවැ රැක්ක යුතු. කීයේ මැ යි.

“කිකීව අණ්ඩං චමරීව වාලධිං

පියංව පුත්තං නයනංව එකකං

තථෙව සීලං අනුරක්ඛමානකා

සුපෙසලා හොථ සදා සගාරවා.”

‘කිරළ බිජුවට මෙන් ද, සෙමෙර වාලධිය මෙන්ද, මව්පියෝ එක මැ ප්‍රිය පුතු මෙන් ද, එකැස් ඇතියේ ඒ එකැස මෙන්ද ශීල රක්නාහු ඇමකල්හි බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇති වැ මනා වැ ප්‍රියශීලී වව්, යනු භාවයි.

ඒ සඳහා වදාළ අන්‍ය දේශනාවක් ද මෙසේ ය.

එවමෙව ඛො පහාරාද යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාතික්කමන්තී”[2] ‘පහාරාදය! මුහුද වෙරළ ඉක්මැ නොයන්නාසේ මගේ ශ්‍රාවකයෝ මා විසින් පැණවූ ශික්‍ෂාපද ජීවිතය නිසාවත් ඉක්මැ නොයති’ යනු එහි භාවයි. වනයෙහි සොරුන් විසින් බැඳ තුබූ ස්ථවිරයන්ගේ කථා මීට නිදර්‍ශන, වශයෙන් දත යුතු.

මහාවත්තනි නම් වනයෙහි දී සොරු එක් තෙර කෙනෙකුන් දැකැ කලවැලින් බැඳැ දැමූහ. උන්වහන්සේ වැල නොකඩා සත් දවසක් එහි හොත් සැටියේ ම හෙවැ විදර්‍ශනා භාවනා කරන්නෝ අනාගාමී වැ එහි ම කාලක්‍රියා කොට බඹලොව උපන් සේක.

එසේ මැ ලක්දිව සොරමුලෙක් එක් තෙර කෙනෙකුන් රසකිඳ වැලකින් බැඳ දැමූහ. උන්වහන්සේ ළැව් ගින්නෙන් වනය දා වැටෙන කල්හි දු වැල නො කඩා එහි ම හෙවැ භාවනා කරන සේක් ජීවිත සමසීසී වැ පිරිනිවි සේක. (ජීවිත සමසීසී නම් රහත් වූ කෙණෙහි මැ පිරිනිවන්නේ යි.) දීඝභාණක අභය තෙරුන්වහන්සේ ඒ දැකැ ශරීරය ආදාහන කොටැ ධාතු ගෙන චෛත්‍යයක් කර වූ සේක. එබැවින් අන්‍ය වූ ද සැදැහැවත් කුලදරුවා :-

පාමොක් රකින්නේ - සිය දිවි හළ ද එ මැනෝ,

ලෝ හිමි සඳුන් පැණ වූ - සිකපද නොමැ බිඳින්නේ[3]

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය රැක්ක යුතු ආකාරය යි.

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය ශ්‍ර‍ද්ධායෙන් සම්පාදනය කළ යුතු සේ මැ ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතු. එයට සිහිටය සාධනය සිහියෙන් රැකගත් ඉන්‍ද්‍රිය අභිජ්ඣාදි පාප ධර්‍මයෝ ලුහු නො බඳිත්. එබැවින් “වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සමපජ්ජලිතාය සජොති භූතාය චක්ඛුන්‍ද්‍රියං සම්පලිමට්ඨ, න ත්‍වෙ ව චක්ඛුවිඤෙඤය්‍යෙසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො”[4] මහණෙනි, රත් වූ ගිනිගෙන දිලිහෙන යවුලකින් ඇස මදිනා ලද්දේ මැනව. චක්‍ෂුර්විඥෙය රූපයන්හි අනුඛ්‍යඤ්ජන වශයෙන් නිමිත්ත ග්‍ර‍හණය නො මැනව” - යනාදීන් වදාළ ආදිත්ත පරියාය දේශනාව සිහි කරමින්, රූපාදි ආරම්මණයන්හි චක්‍ෂුර්ද්වාරාදියෙහි පැවැති සිත් අභිජ්ඣාදීන් විසින් ලුහුබැඳ යත හැකි නිමිත්ත ග්‍ර‍හණය නො නැසුණු සිහියෙන් වළක්වා ලමින් මේ ඉන්‍ද්‍රිය සංවර ශීලය මනාකොට රැක ගත යුතුයි. ඉදින් ඉන්‍ද්‍රිය සංවර ශීලය නොරැකුණේ නම් යට දැක්වුණු ප්‍රාතිමෝක්‍ෂය සංවර ශීලය ද වැට නැති ගොයමක් මෙන් නො රැකුණේ වේ. චිරස්ථායී නො වේ. දොරවල් හැර දමා තිබෙන ගම සොරුන් විසින් පැහැර ගනු ලබන්නා සේ මැ ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය එවිට කෙලෙස් සොරුන් විසින් පැහැර ගනු ලැබේ. එ පමණක් ද මනාව සෙවෙණි නො කළ ගෙය වැසි දියෙන් මෙන් ඔහුගේ සිත රාගයෙන් තෙමෙන්නේ ය.

වදාළේ මැ යි.

“රූපෙසු සද්දෙසු අථො රසෙසු

ගන්‍ධෙසු ඵස්සෙසු ච රක්ඛ ඉන්‍ද්‍රියං

එතෙ හි වාරා විවටා අරක්ඛිතා

හනන්ති ගාමංච පරස්සහාරිනො”[5]

“රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ හේතුවෙන් උපදනා කෙලෙසුන් කෙරෙන් සිත රැක ගනු. නො පියූ - නො රැකු චක්‍ෂුරාදි ද්වාරයෝ ඒ අසංවරික පුද්ගලයා ගම් පහරන සොරු ගමක් මෙන් විනාශ කරත්” යනු එහි භාවයි.

“යථාගාරං දුච්ඡන්නං - චුටඨි සමතිවිජ්ඣති

එවං අහාවිතං චිත්තං - රාගො සමතිවිජ්ඣති”[6]

“වැස්ස මනා වැ සෙවෙණි නොකළ ගෙය තෙමන්නා සේ රාගය භාවනා රහිත සිත තෙමෙන්නේ ය”යනු භාවයි.

සර්වාකාරයෙන් කෙලෙස් නූපදින්නේ යයි මේ වදාළ දේශනා උත්කෘෂට දේශනා ය. සිත වනාහි වහා පෙරලෙන සුලු ය. එබැවින් සිත පෙරලීම් වශයෙන් යම් විටෙක රාගය උපන්නේ ද එවිට අසුභ මෙනෙහි කිරීමේ ඒ රාගය දුරු කොටැ ගෙනැ ඉන්‍ද්‍රිය සංවරය රැක ගත යුතු ය. අලුත පැවිදි වූ වංගිස ස්වාමින් මෙනි.

වංගීස ස්වාමි පැවිදි වූ අලුත ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමඟ පිඬු පිණිස වඩින්නේ එක් ස්ත්‍රියක දැක උපන් රාගයෙන් මෙසේ කීවේ ය.

“කාමරාගෙන ඩය්හාමි-චිත්තං මෙ පරිඩය්හති

සාධු නිබ්බාපනං බ්‍රෑහි - අනුකම්පාය ගොතම”[7]

“මම කාමරාගයෙන් දැවෙමි. මගේ සිත රාගයෙන් දැවේ. ගෞතම පුත්‍ර‍යාණෙනි එය නිවන උපායක් කරුණාවෙන් වදාළ මැනවි

ඒ ඇසූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සඤ්ඤාය විපරියෙසා - චිත්තං තෙ පරිඩය්හති

නිමිත්තං පරිචජ්ජේහි - සුභං රාගුපසංහිතං

අසුහාය විත්තං භාවෙහි - එකග්ගං සුසමාහිතං

සඞ්ඛාරෙ පරතො පස්ස - දුක්ඛතො නො ච අත්තතො

නිබ්බාපෙහි මහාරාගං - මා ඩය්හිත්‍ථො පුනප්පුනං”[8]

“විපරීත සංඥාව හේතු කොට තොපගේ සිත රාගයෙන් දැවේ. රාගොත්පත්තියට හේතු වූ ශුහාරම්මණය සිතින් දුරු කරනු. අශුහාරම්මණයෙහි එකඟ කොට - සමාහිත කොට සිත වඩනු. සියලු සංස්කාරයන් පර වශයෙන් දුක් වශයෙන් බලනු ආත්ම වශයෙන් නො බලනු. තොපගේ මහා රාගය නිවාලනු එයින් නැවත නැවත නො පැලහෙනු” යනු භායයි.

ඒ ඇසූ වංගීස ස්වාමි රාගය සිතින් දුරු කොට ගෙන මැ පිඬු පිණිස පිවිසියේ ය.

වැළිදු ඉන්‍ද්‍රිය සංවරය පුරන්නාහු විසින් කරද්‍ධු මහලෙන චිත්තගුත්ත තෙරුන් මෙන් ද චොරක මහවෙහෙර මහාමිත්ත තෙරුන් මෙන් ද විය යුතු.

කරද්‍ධුලෙන චිත්තගුත්ත තෙරුන්නාන්සේ

කරද්‍ධුලෙන විහාරයෙහි විපස්සි ආදි සත්බුදුවරයන්ගේ ගෘහාභිනිෂ්ක්‍ර‍මණ විසිතුරු ලෙස සිතියම් කරැ තුබුණේ ය. එක් දවසෙක භික්‍ෂු සමූහයෙක් විහාර බලමින් වඩනා ගමන් එහි දු ආවෝ ය. ඔව්හු විහාරයෙහි සිතියම් දැක “ස්වාමීනි සිතියම් සිත්කලු ය”යි ගොස් චිත්තගුත්ත තෙරුන්ට කීවෝ ය. “ඇවැත්නි මම සැට වර්‍ෂයකටත් පෙර සිට මේ ලෙනෙහි වසමි. එතෙක් මෙතෙක් මෙහි සිතියම් ඇති බවකුත් නො දැන සිටියෙමි. අද ඇස් ඇතියවුන් නිසා ඒ දැන ගතිමි”යි උන්වහන්සේ කී සේක. චිත්තගුත්ත ස්වාමි කිසි විටෙක ඇස දල්වා උඩ නො බලන ලද්දේය. එතෙක් ද ඒ ලෙන් දොර මහ නා රුකෙක් විය. අවුරුදු පතා බිම වැටී තිබෙන මල් රේනු දැක නා ගස පිපියේ වනැ’යි සිතනු විනා උන්වහන්සේ කිසි දවසෙක නා ගස උඩ නොබලන ලද්දේය.

මාගම විසු රජ්ජුරුවෝ උන්වහන්සේගේ ගුණ සම්පත්තිය අසා පැහැදැ වැඳැ ගන්නා රිසියෙන් තුන් වරෙක පණිවුඩ යැවූහ. උන්වහන්සේ නො වැඩි සේක. එවිට රජතුමා “තෙරුන් වහන්සේ වඩනා තාක් දරුවන්ට කිරි බොන්නට නො දෙමැ”යි එ ගම කිරි බොන දරුවන් ඇති ගැහැණුන්ගේ තන පටින් බඳවා මුද්දර තැබුවේ ය. තෙරුන් වහන්සේ ද දරුවන් කෙරෙහි කරුණායෙන් මාගමට වැඩි සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ අන්තඃපුරයට පමුණුවා වැඳැ වළඳවා “අද අවකාශ නැත. සෙට සිල් ගනිමි”යි උන්වහන්සේ ගේ පාත්‍ර‍ය ගෙන මඳ තැන් ගොස් දේවිය සමග වැඳැ නැවතුණහ. තෙරුන් වහන්සේ රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු “සුඛී හෝතු මහාරාජා”යි කියති. සතියක් මැ මේ ලෙසින් ගත විය. භික්‍ෂූහු “ස්වාමීනි රජ්ජුරුවන් වඳනා කල්හි දු දේවිය වඳනා කල්හි දු කුමක් හෙයින් ‘මහරජ සුවපත් වේවා’යි කියන සේක්දැ”යි ඇසූහ. “මම රජ්ජුරුවන් වඳනා බවක් හෝ දේවීන් වඳනා බවක් හෝ නියම නොකරමැ”යි උන්වහන්සේ කී සේක.

රජතුමා තෙරුන් වහන්සේට මෙහි වාසය අපහසු ය’යි කරඩු ලෙනට මැ යැවූයේ ය. උන්වහන්සේ එ දින රෑ සක්මන් මලුවට බටහ. නාග වෘක්‍ෂාධිගෘහිත දේවතාණෝ දඩුවැට පහන් අල්වා සිට ගත්හ. උන්වහන්සේට කමටහන විසද විය පිරිසිදු වැ වැටහුණේ ය. උන්වහන්සේ ඒ දැනැ ඉතා සතුටු වැ භාවනා කරන සේක් මැදියම ඉක්මෙන්නා ම මුළු වනය උන්නාද කරවමින් රහත් වූ සේක.

වන වඳුරු තැතිගත් - මුව බියපත් ළදරු සේ,

අත්වැඩ කැමති කුලපුත් - සසල නෙත් යුත් නොවන්නේ;

යට හෙළා ලු ඇසින් - වියදඩු පමණ බලනේ,

වඳුරු ගති යුත් මනසට වසඟ නො මැ වන් කිසිවිට.

මහාමිත්ත තෙරුන්නාන්සේ

මහාමිත්ත තෙරුන්නාන්සේගේ මෑණියන්ට විසගණ්ඩ රෝගයෙක් වැළඳුණේ ය. ඇය ගේ දූ ද භික්‍ෂුණී ශාසනයෙහි පැවිදි වැ වුසුවා ය. මෑණියෝ දුහිතා වූ භික්‍ෂුණියට අමතා, “ආර්‍ය්‍යාවනි යන්න, සහෝදර ස්වාමීන්ට මගේ රෝගය දන්වා සුදුසු බෙහෙතක් ඉල්ලා ගෙන ඒව”යි කීහ. ඕ ගොස් එ පුවත් දැන්වූවා ය. ඒ අසා තෙරුන්නාන්ගේ කියනසේක් ‘මම බෙහෙත් සාදන්ට නො දනිමි. එසේ වූවා ද මම තිට බෙහෙත් කියමි. මම පැවිදි වූ තෙක් පටන් ලෝභ සහගත සිතින් ඉඳුරන් බිඳැ විසභාග රූපයක් දිසා නො බැලුයෙමි. “මේ සත්‍ය වචනයෙන් මගේ මෑණියන්ට සුව වේවා”යි යන මේ කියා උපාසිකාව්නගේ ශරීරය පිරිමදින්නැ”යි කීහ. භික්‍ෂුණී එසේ කළා ය. එ කෙණෙහි මැ ගෙඩිය පෙණ පිඩක් මෙන් වියලී ගියේ ය. මෑණියෝ නැඟිට “ඉදින් බුදුරජාණන් වහන්සේ අද ජීවමාන සේක් නම් මගේ පුත්‍ර‍යා බඳු භික්‍ෂුවකගේ ශීර්‍ෂය කුමක් හෙයින් නො පිරිමදිනා සේක්දැ”යි ප්‍රීති වචන කීවෝ ය.

එබැවින්:-

“මම් කුලපුත්මි’ යන-මාන යුත් සෙසු මහණ ද,

මිත් තෙරිඳු ලෙස සිටිනේ - ඉඳුරු සංවර කල්හි.”[9]

ඉන්‍ද්‍රියසංවර ශීලය රැක්ක යුතු ආකාරයයි.

ඉන්‍ද්‍රිය සංවර ශීලය සිහියෙන් සම්පාදනය කළ යුතුසේ මැ ආජීවපාරිශුද්ධි ශීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය වීර්‍ය්‍යය යි. යහපත් වීර්‍ය්‍යය ඇත්තාහට මිත්‍යාජීවය දුරු කළ හැකිය. එ බැවින් නුසුදුසු ලෙස සිව්පස සෙවුම් දුරු කොටැ යහපත් වූ පිණ්ඩපාතචර්‍ය්‍යාදි සෙවුම් වලින් වීර්‍ය්‍යයෙන් මේ ආජීවපාරිශුද්ධි ශීලය රැක ගත යුතු. පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය මැ වැළඳිය යුතු. අපිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය විසඝෝර සර්‍පයන් මෙන් දුරුකල යුතු ධුතාඞ්ගධර නොවූ භික්‍ෂුහට සඞ්ඝයාගෙන් ද, ගණයාගෙන් ද, ධර්‍මදේශනාදි ස්වකීය ගුණයෙන් පහන් වූ ගිහීන්ගෙන් ද උපන් ප්‍ර‍ත්‍යය පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය වේ. පිණ්ඩපාත චර්‍ය්‍යාදියෙන් උපන් ප්‍ර‍ත්‍යය ඉතා පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යයයි. ධුතාංගධර භික්‍ෂු හට පිණ්ඩපාත චර්යාදියෙන් ද, ධුතගුණයෙහි පහන් ගිහීන්ගෙන් ධුතාඞ්ග[10]ධරයකු හට රෝගයක් වැළඳුණේ යයි සිතමු. ඔහුගේ ඒ රෝග ව්‍යපසමයට පූතිමූත්‍ර‍ පරිභාවිත අරළු හා චතුමධුර ලැබෙන්නේය. යමෙක් වනාහි “චතුමධුර සෙසු භික්‍ෂුහු වළඳත්වා”යි සිතා අරළුව මැ වළඳා ද එබඳු ධුතාංග සමාදානයට යෝග්‍ය වන්නේ වේ. හෙ තෙමේ මැ උතුම් ආර්‍ය්‍යවංශිකයා යි කියනු ලැබේ.

නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති

ධුතාඞ්ගධර වේවා, ධුතාඞ්ගධර නො වේවා ආජීවය පිරිසිදු කරගන්නා භික්‍ෂු හට චීවර හා පිණ්ඩපාත පිළිබඳව වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො වටනේ ය. සේනාසන පිළිබඳ වැ (ධුතාඞ්ගධර නො වූ හට) නිමිත්ත, ඔහාස, පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නොවටනේ ය.

නිමිත්ත- (භික්‍ෂු නමෙක් ගිහියන් එනු දැකැ) සේනාසනයක් කරනු සඳහා භුමි පරිකර්මාදිය කරයි. ඔව්හු අවුත් “ස්වාමීන් වහන්සේ මේ කුමක් කරන සේක් ද මේ කරදෙන්නේ කවරෙක් දැ”යි විචාරත් භික්‍ෂු “එබන්දෙක් නැතැ”යි කියයි (ඒ අසා ගිහියෝ එය අපි කර දෙමු යයි කරැ දෙත්) මේ හෝ මෙ බඳු අනෙක් විධි හෝ නිමිත්ත යයි දත යුතු.

ඔභාස- භික්‍ෂු නමෙක් උපාසකයන් ගෙන් “උපාසකවරුනි යුෂ්මත්හු කොහි වසන්නාහු දැ”යි විචාරයි. එවිට ඔව්හු “අපි ප්‍රාසාදයන්හි වසමු”යයි කියති. එවිට භික්‍ෂු “හැයි උපාසකවරුනි භික්‍ෂුන්ට ප්‍ර‍සාද නුසුදුසු දැ”යි විචාරයි. මේ හෝ මේ බඳු අනෙක් විධි හෝ ඔභාස යයි දත යුතු.

පරිකථා- (භික්‍ෂු නමෙක් උපාසකවරුන් දැකැ) “භික්‍ෂු සඞ්ඝයාට සේනස්න සම්බාධය”යි කියයි මේ හෝ මේ බඳු අනෙක් ක්‍ර‍ම හෝ පරිකථා යයි දත යුතු.

(මේ නිමිත්ත, ඔභාස, පරිකථාවන්ගෙන් නිපන් සේනාසන අකැප නොවේ. එයින් නිපන් චීවර පිණ්ඩපාත ඇකැප වේ. විඤ්ඤත්තියෙන් නිපන් චීවර පිණ්ඩපාත සේනාසන යන ප්‍ර‍ත්‍යය තුන මැ අකැප වේ.

විඤ්ඤත්තා නම්, නොනෑ නොපැවරුවන් ගෙන් ඉල්ලීමය.

බෙහෙත් පිළිබඳ වැ වනාහි නිමිත්ත, ඔභාස, පරිකථා විඤ්ඤත්ති යන සියල්ල වටනේ ය. එහෙත් රෝගය සන්සිඳුණු කල්හි එසේ ලද දෙය වැළඳීම නො වටනේ ය. මෙහි ලා විනයධරයෝ “ඒ වැළඳීමට බුදුන් අවසර දුන් හෙයින් වටනේය”යි ද සූත්‍රාන්තිකයෝ “එය වැළඳීමෙන් ඇවැත් නො වුවත් ආජීවය කෝප්‍ය වන බැවින් නො වටනේ ය”යි ද කියත්.

යමෙක් වනාහි මහ සැරියුත් ස්වාමීන් මෙන් යට දැක්වුණු සේ බුදුන් වහන්සේගෙන් අවසර ඇතත් ජීවිත විනාශයක් ලං වූ කල්හි දු කිසි ප්‍ර‍ත්‍යයක් පිළිබඳ වැ නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති නො කරන්නේ ලද දෙයෙකින් යැපේ ද හෙතෙම “පරමසල්ලෙඛවුත්ති”=“අතිශයින් කෙලෙස් නසන පැවතුම් ඇත්තේ” යයි කියනු ලැබේ.

ශාරිපුත්‍ර‍ ස්වාමීන් වහන්සේ

එක් කලෙක සැරියුත් ස්වාමි විවේක සැප වඩන්නේ මුගලන් තෙරුන් සමඟ එක්තරා අරණ්‍යයෙක විසුවේ ය. එහි දී එක් දවසෙක උන්වහන්සේට උදරවාතාබාධයෙක් (බඩරුජාවෙක්) විය. බලවත් වේදනා උපන්නේ ය. මුගලන් තෙරුන්නාන්සේ සවස එහි උපස්ථානයට ගිය සේක් එපවත් දැනැ “වෙනදා මෙබන්දක් සෑදුණු කල කෙසේ සුව කැරැ ගත් සේක් දැ”යි විචාළහ. “මට ගිහි කාලයේ ද මේ ආබාධය සෑදෙන්නේය. එවිට මෑණියෝ ගිතෙල් මී සකුරු යොදා පැන් නුමුසු කිරිබතක් සාදා දෙති. එය වැළඳූ කල සුව වන්නේය”යි සැරියුත් ස්වාමි කීය. “හොඳා එසේ වේවා. අපට හෝ ඔබ වහන්සේට හෝ පින් ඇති නම් හෙට එබඳු ආහාරයක් ලබන්නේ” යි මුගලන් ස්වාමි කීයේ ය. දෙනො වහන්සේගේ මේ කථාව අසා උන් සක්මන් කෙළවර වෘක්‍ෂයෙහි අධිගෘහිත වූ දේවතාණෝ “හෙට සැරියුත් ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත දානය උපදවන්නෙමි”යි එකෙණෙහි මැ තෙරුන්නාන්සේගේ උපස්ථායක කුලයට ගොස් ඔහුගේ වැඩිමහලු පුතුට ආවේශ වැ පීඩා ඉපැදවූහ. පිළියම් පිණිස රැස් වූ නෑයන්ට “ඉදින් හෙට සැරියුත් ස්වාමීන්ට කිරිබත් පුදන්නාහු නම් මොහු හැරැ යමි”යි ද කීහ. ඔව්හු “තොප නො කීවද අපි නිතර ඒ ස්වාමීන් වහන්සේට භික්‍ෂා දෙන්නෙමු” යි කියා දෙවන දිනයෙහි එබඳු වූ මැ කිරිබත් පිළියෙල කළහ.[11]

මුගලන් ස්වාමි උදෑසන මැ ගොස් “මම පිණ්ඩපාතයේ යමි. එන තාක් වැඩ සිටින්නැ”යි කියා ගමට වැඩියේ ය. මිනිස්සු පැන අවුත් උන්වහන්සේගේ පාත්‍ර‍ය ගෙනැ කිරිබත් පුරවා දුන්හ. ආපසු වඩනා සූදානම් වූ කල “වැඩහිඳැ වළඳන්න ස්වාමිනි පසු වැ තවත් දෙන්නෙමු”යි කියා උන්වහන්සේ වළඳවාලා පසු වැ කිරිබත් පාත්‍ර‍ය පුරා දුන්නෝ ය. “තෙරුන්වහන්සේ එය ගෙන ගොස් සැරියුත් ස්වාමීන්ට “වළඳනු මැනවැ”යි පිළිගැන්වූහ. සැරියුත් ස්වාමි ඒ දැකැ “මේ කිරිබත ඉතා හොඳය, කෙසේ ලැබුණේ දැ”යි බලන්නේ ලත් සැටි දැකැ “අහක දමන්න ආයුෂ්මත්නි මේ වළඳන්නට නුසුදුසු ය”යි වදාළේ ය. “මා වැන්නකු ගෙනා පිණ්ඩපාතය ද මුන්වහන්සේ නො වළඳිති”යි මුගලන් තෙරුන්නාන්සේ චිත්ත මාත්‍ර‍යකු දු නූපදවා ඒ එක වචනයෙන් මා පාත්‍ර‍ය මුවවිටෙහි ගෙනැ එහි තුබූ කිරිබත එකත්පසෙක හළ සේක. එකෙණෙහි මැ උන්වහන්සේ ගේ ආබාධය අතුරුදහන් විය. එතැන් පටන් පන්සාළිස් වස මුළුල්ලෙහි ඒ රෝගය නැවත නො උපන්නේ ය.

ඉක්බිති සැරියුත් ස්වාමි මුගලන් තෙරුන් අමතා “ආයුෂ්මත්නි, අතුණු නික්මැ බිම වැතිරැ ගිය ද වාග් විඥප්තියෙන් නිපන් ආහාරය වළඳන්නට නුසුදුසුය”යි වදාරා මෙසේ උදන් ඇණීය.

1. “චවීවිඤ්ඤත්ති විප්ථාරා - උප්පන්තං මධු පායසං

සචෙ භුත්තො භවෙය්‍යාහං - සාජීවො ගරහිතො මම

2. යදපි මෙ අන්තගුණං - නික්ඛමිත්‍වා බහී චරෙ,

නෙව භින්‍දෙය්‍යමාජීවං - චජෙමානො‘පි ජීවිතං.

3. ආරාධෙමි සකං චිත්තං - විවජ්ජෙමි අනෙසනං,

නාහං බුද්‍ධපතිකුට්ඨං - කාහාමි අනෙසනං.”

1. වාග් විඥප්ති පැවැත්මෙන් නිපන් කිරිබත ඉදින් මම වැළඳූයෙම් නම් මගේ ආජීවය ගර්හිත වන්නේ ය.

2. ඉදින් මගේ අතුනු පිටත නික්මියේ නමුදු, දිවි හරනේ නමුදු මම මගේ ආජීවය නො බිඳින්නෙමි.

3. මම මගේ සිත වසඟ කරමි. අයුතු අන්වේෂණ - (ප්‍ර‍ත්‍යය) දුරු කරමි. බුද්‍ධගර්භිත වූ අන්වෙෂණයක් (ප්‍ර‍ත්‍යය සෙවීමක්) කිසි විටෙක නො කරන්නෙමි”යනු එහි භාවයි.

චීවරගුම්බක වාසී අම්බබාදක මහාතිස්ස තෙරුන්ගේ කථාව ද මෙහි ලා දෘෂ්ටාන්ත වශයෙන් දැක්විය යුතු. මෙසේ සර්‍වප්‍ර‍කාරයෙන් මැ-

සැදැහැයෙන් පැවිදි වූ - නැණැති යති අනෙසන වස්,

සිතකුදු නො මැ උපදවා - දිවි පිරිසිදු කරන්නේ.[12]

ආජීවපාරිසුද්‍ධි සීලය රැකගත යුතු ආකාරය යි.

ආජීවපාරිසුද්‍ධිසීලය වීර්‍ය්‍යයෙන් සම්පාදනය කළ යුතු සේ මැ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය ප්‍ර‍ඥායෙන් සම්පාදනය කළ යුතු. එයට සාධනය ප්‍ර‍ඥා ය. ප්‍රාඥයා මැ ප්‍ර‍ත්‍යයන්හි ආදීනව හා ආනිසංස දක්නට සමර්‍ථ ය. එබැවින් ප්‍ර‍ත්‍යයගෙධය (ප්‍ර‍ත්‍යයාශාව) හැරැපියා දැහැමින් සෙමෙන් උපන් ප්‍ර‍ත්‍යය යට දැක්වුණු පරිදි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොටැ වළඳමින් ඒ පච්චය සන්නිස්සිතසීලය රැක ගත යුතුයි.

ප්‍ර‍ත්‍යවේක්‍ෂා වනාහි ප්‍ර‍ත්‍යය ලත් කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය, ප්‍ර‍ත්‍යය පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාය යි දවිවිධ වේ. ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ තබනලද, චීවරාදිය, එයින් මතු ඒ ඒ ප්‍ර‍ත්‍යයට නියම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය නිරවද්‍ය මැ පරිභෝගය යි. ලත් මොහොතෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන්නහුගේ පරිභෝගය ද නිරවද්‍ය යි.

පරිභෝග කරන කල කරනු ලබන ප්‍ර‍ත්‍යවේක්‍ෂාව පිළිබඳ විනිශ්චය මෙසේ දත යුතු.

චතුර්විධ පරිභෝග

පරිභෝග වනාහි :- 1. ථෙය්‍යපරිභෝගය, 2. ඉණ පරිභෝගය, 3. දායජ්ජපරිභෝගය 4. සාමිපරිභෝගය යි චතුර්විධ වේ.

1. ථෙය්‍යපරිභෝගය

දුශ්ශීලයා සඟ මැද හිඳැ ගෙනැ වළඳන්නේ නමුදු ඔහුගේ පරිභෝගය ථෙය්‍යපරිභෝග යි. (බුදුන් විසින් සිල්වත්නට අනුදත් බැවිනු දු දායකයනු දු “සිල්වත් හට දෙම්හ”යි දෙන බැවිනු දු සිල්වතුන් අයති පසය දුශ්ශීලයා සඟ මැදැ හිඳැ වළඳතු දු උහුගෙ පරිභෝගය ථෙය්‍යපරිභෝග නම්” යනු පරාක්‍ර‍මබාහු රාජ සන්නයි. (ථෙය්‍යපරිභෝග නම් හොරා කෑම ය)

2. ඉණපරිභෝගය

තෙමේ ශීලවත් වුව ද ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කොටැ වළඳන්නේ නම් ඔහුගේ පරිභොග ඉණපරිභොගයි. (ඉණපරිභෝග නම් ණය කෑම ය.) එබැවින් සිවුරු (කයෙන් පහකොටැ හඳනා පොරෝනා සියලු විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. දානය වළඳන විට පිඬක් පිඬක් පාසා ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. එසේ නො කී නම් පෙරවරු, පස්වරු, පෙරයම, මැදියම, පසුයම ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. ඉදින් එසේ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කැරැ නො ගෙනැ සිටියදී මැ අරුණු නැගේ නම් ඉණපරිභෝගයට අසුවුණේ වේ. සේනාසන ද පරිභෝග කරන - කරන විටෙක මැ ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. බෙහෙත් වනාහි පිළිගන්නා කල්හි දු පරිභෝග කරන කල්හි දු ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ යුතු. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා කළ ද ඉදින් පරිභෝග කරන කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කෙළේ නම් ආපත්ති වේ. පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ. (මෙහි ලා සතර වැදෑරුම් සුද්‍ධිය දත යුතු)

චතුර්විධ ශුද්‍ධිය

1. දේශනා සුද්ධිය 2. සංවර සුද්ධිය

3. පරියෙට්ඨි සුද්ධිය 4. පච්චවෙක්ඛන සුද්ධියය යි

සුද්‍ධි සතර වැදෑරුම් වේ.

1. ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසිදු වන බැවින් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය දේශනා ශුද්ධිය යි කියනු ලැබේ. (පචිති ආදිය ඇවැත් දෙසීම් මාත්‍රයෙන් ද සංඝාදිසේස සඟ මැද දෙසා පරිවාස, මානත්, අබ්හාන ගැනීමෙන් ද පිරිසිදු වේ. පාරාජිකාපත්ති මේ කවරකිනුදු පිරිසිදු නො වේ.

2. (හදිසියේ ඉඳුරන් බිඳුණු කල) නැවැත මෙබන්දක් නො කරමැයි චිත්තාධිෂ්ඨාන සංවරයෙන් පිරිසිදු වන බැවින් ඉන්‍ද්‍රියසංවර ශීලය සංවර සුද්ධිය යි කියනු ලැබේ.

3. එක්විසි අන්වේෂණයෙන් තොර වැ දැහැමින් සෙමෙන් ප්‍ර‍ත්‍යය උපදවන්නහුගේ ආජීවය පර්යේෂණ විධියෙන් ශුද්ධ වන බැවින් ආජීවපාරිසුද්ධි සීලය පරියෙඨිසුද්ධිය යි කියනු ලැබේ. (පරියෙට්ඨි නම් සෙවීම්, සෙවීමෙන් ලැබෙන සුද්ධි පරියෙට්ඨි සුද්ධි)

4. යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් ශුද්ධ වන බැවින් ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය පච්චවෙක්ඛන සුද්ධි යයි කියනු ලැබේ.

“පිළිගන්නා කල ප්‍ර‍ත්‍යවේක්‍ෂා නො කළ ද පරිභෝග කාලයෙහි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කෙළේ නම් ඇවැත් නො වේ” යයි කියන ලද්දේ මේ නිසා ය.

3. දායජ්ජපරිභෝගය

සප්ත ශෛක්‍ෂයන්ගේ සිව්පස පරිභෝගය දායජ්ජපරිභෝගය යි. සප්ත ශෛක්‍ෂයෝ වනාහි බුදුන්ගේ පුත්‍රයෝ ය. ඔව්හු බුදුපියාණන් සතු වූ සිව්පසයට දායාදයෝ වැ වළඳන්නෝ ය. මෙහි ඇසිය යුත්තෙක් ඇති. ඔවුන් වළඳනු ලබන්නේ බුදුන්ගේ සිව්පසය ද ගිහින්ගේ සිව්පසය ද; ගිහින්ගේ සිව්පසය වුව ද ඔවුනට බුදුන් විසින් අනුදත් බැවින් එය බුදුන් සතු මැ ය. එබැවින් බුදුන්ගේ සිව්පසය වළඳනු ලැබේ ය යි කියයුතු. “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”[13] “මහණෙනි! මගේ ධර්‍මයට දායාදයෝ වව්. ආමිසයට දායාදයෝ නො වව්” යනාදින් වදාළ ධම්මදායාද සූත්‍ර‍ය මීට සාධක වේ.

4. සාමිපරිභෝගය

රහතන්ගේ සිව්පස පරිභෝගය සාමිපරිභෝගය යි. රහත්හු වනාහි තෘෂ්ණාවට දාස වන ස්වභාවය ඉක්මවූවෝ ය. එබැවින් උන්වහන්සේලා සිව්පසයට ස්වාමියෝ ය. (“අචීතරාගයන්ට වානහි තෘෂ්ණා පරවශ බැවින් ප්‍ර‍ත්‍යය පරිභෝගයෙහි ස්වාමි බවෙක් නැති. චීතරාගයන්ට එහි ස්වාමිභාවය රුචි වූ පරිද්දෙන් ප්‍ර‍ත්‍යය පරිභෝග සද්භාවයෙනැ යි දත යුතු. එහෙයින් මැ ඔහු ප්‍ර‍තිකුලය අප්‍ර‍තිකූලාකාරයෙන් ද, අප්‍ර‍තිකුලය ප්‍ර‍තිකූලාකාරයෙන් ද, එමැ දෙක හැර උපේක්‍ෂාකාරයෙනු දු ප්‍ර‍ත්‍යය පරිභෝග කෙරෙත්නු යි දත යුතු” යනු පරාක්‍ර‍මබාහු සන්න යි.)

මේ දැක්වුණු චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට මැ වටනේ ය. ඉණපරිභොගය කිසිවෙකුට ද නොවටනේ ය. ථෙය්‍යපරිභොගය ගැනැ කියනු කිම?

ඉදින් පෘථග්ජන සීලවන්තයෙක් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කෙරේ නම්, ඔහුගේ පරිභෝගය කවර පරිභෝගයෙක් ද, එය ඉණ පරිභෝගයට ප්‍ර‍තිපක්‍ෂ බැවින් ආනණය පරිභෝගය වේ. එබඳු සීලව්නතයා ශෛක්‍ෂ සඞ්ඛ්‍යායෙහි ඇතුළත් වන බැවින් දායජ්ජ පරිභෝගය හෝ වේ හෙද වනාහි “මේ ශික්‍ෂායෙන් යුක්ත හෙයින් ශෛක්‍ෂය”යි කිය යුතු.

මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය මැ අග්‍ර‍ ය. එබැවින් ඒ සාමිපරිභෝගය ප්‍රාර්‍ථනා කරන භික්‍ෂු විසින් යට දැක්වුණු ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධියෙන් පස්විකා වළඳමින් පච්චය සන්නිස්සිත සීලය සම්පාදනය කළ යුතු. එසේ කරනුයේ මැ කෘත්‍යකාරි වන්නේ යි.

වදාළේ මැ යි.

“පිණ්ඩං විහාරං සයනාසනඤ්ච

ආපඤ්ච සංඝාටිරජූපවාහනං,

සුත්‍වාන ධම්මං සුගතෙන දෙසිතං

සඞ්ඛාය සෙවෙ වරපඤ්ඤසාවකො”[14]

“බුද්‍ධශ්‍රාවක වූ භික්‍ෂු තෙමේ ඒ බුදුන් විසින් වදාළ “පටිසංඛායොනිසො චිවරං පටිසෙවෙති” යනාදි ධර්‍මය අසා පිණ්ඩපාතය ද, විහාර, සේනාසන, හා සිවුරු රජස් දුරු කරන ජලය ද “යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන්නේ ය. (මෙ ගාථායෙහි සිව්පසය මැ ඇතුළත් ය. ‘සංඝාටි’ යන්නෙන් චීවර ද, ‘පිණ්ඩ’ යන්නෙන් පිණ්ඩපාත ද, ‘විහාරසෙනාසන’ යන්නෙන් ‘ආප’ යන්නෙන් ගිලානපච්චය ද යූ බැවිනි.

තස්මාහි පිණ්ඩෙ සයනාසනෙ ච

ආපෙච සංඝාටිරජූපවාහනෙ,

එතෙසු ධම්මෙසු අනූපලිත්තො

භික්ඛු යථා පොක්ඛරෙ වාරිබින්‍දු.”[15]

‘යම් හෙයකින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ පරිභෝග කරන්නේ ද එහෙයින් ඒ භික්‍ෂු පිණ්ඩපාත, සයනාසන, චීවර, රජස් දුරු කරන ජල යන මේ සිව්පසයෙහි පියුම් පතෙහි දිය බින්දු මෙන් නො ඇලෙන්නේ ය.

‘කාලෙන ලදධා පරතො අනුග්ගහා

ඛජ්ජෙසු භොජ්ජෙසු ච සායනෙසු,

මත්තං ස ඡඤ්ඤා සතතං උපට්ඨිතො

වණස්ස ආලෙපන රූහණෙ යථා”[16]

‘සුදුසු කාලයෙහි මෙරමාගෙන් අනුග්‍ර‍හයෙන් ලත් ඛාද්‍ය භෝජ්‍යයෙහි හා පැණි ආදි සායනීයයෙහි නිතර එළඹ සිටි සිහි ඇති ඒ භික්‍ෂු තෙමේ වණයට බෙහෙත් එලීමෙහි මෙන් පමණ දන්නේ ය.’ (යම් සේ ව්‍ර‍ණයෙහි බෙහෙත් එලන්නේ පමණ දැන එලා ද එසේ ආහාරය ද පමණ දැනැ වළඳන්නේ ය යූ සේයි.)

‘කන්තාරෙ පුත්තමංසංව - අක්ඛස්සබ්භඤ්ජනං යථා,

එවං ආහරි ආහාරං - යාපනත්‍ථාය‘මුච්ඡිතො’[17]

කාන්තාරයෙහි පුත්‍ර‍ මාංශ සේ, අකුරෙහි තෙල් ලීම සේ තෘෂ්ණායෙන් අමුර්ඡිත වැ යැපෙන පමණට අහර ගන්නේ ය.

මේ ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය පරිපූර්‍ණ කළ බැව්හි භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත සාමණෙරයන් වහන්සේගේ කථාව දැක්විය යුතු. උන්වහන්ස් මැනවින් පස්විකා වැළඳූ සේක. (උන්වහන්සේගේ උදාන ගාථාවන්ගෙන් එය දැක්ක හැකි ය. ඒ මෙසේ යි.)

“උපජ්ඣායො මං භුඤ්ජමානං - සාලිකුරං සුනිබ්බුතං

මා හෙව ත්‍වං සාමණෙර - ජිව්හං ඣාපෙසි අසඤ්ඤතො.

උපජ්ඣායස්ස වචො සුත්‍වා - සංවෙගමලභිං තදා,

එකාසනෙ නිසීදිත්‍වා - අරහත්තං අපාපුණිං

සොහං පරිපුණ්ණ සංකප්පො - චන්‍දො පණ්ණරසී යථා,

සබ්බාසව පරරික්ඛීණො - නත්‍ථි දානි පුනබ්භවො.”

‘එක් දවසෙක්හි මගේ උපාධ්‍යායයන් වහන්සේ ඉතා නිවුණු හැල්සාලේ බත් වළඳන මා අමතා, “සාමණෙරය! අසංයත වැ වළඳා දිව පුළු්සා නො ගනු”යි කී සේක.

එදා මම උපාධ්‍යායයන් වහන්සේගේ වචනය අසා සංවෙගයට පැමිණියෙමි. කෙතෙක් සංවෙගයට පැමිණියෙම් ද, ඒ ආසනයෙහි මැ හිඳ විවසුන් වඩා රහත් වීමි.

ඒ මම පුනුරැස් සඳ සේ පරිපූර්‍ණ මනොරථ ඇත්තෙමි. මගේ සියලු ආශ්‍ර‍ව ක්‍ෂය විණි. දැන් මට පුනරුත්පත්ති නැත.

“සෙසු මහණ ද මෙලෙස - බවදුක් දුරු කටැටියේ,

නුවණින් පස්විකා - සතරපස වළඳන්නේ”[18]

ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත ශීලය සම්පාදනය කළ යුතු විධියයි.

සතර සංවර ශීල විස්තරය නිමියේ ය.

චතුර්විධ ශීල විභාගය යි.

  1. පාරා: පා: වෙරඤ්ජකණ්ඩ 9

  2. “පාතිමොක්ඛං විසොධෙනෙතා - අපෙපව ජීවිතං ජහෙ,

    පඤ්ඤතතං ලොකනාථෙන - න භින්‍දෙ සීලසංවරං

    අ:නි: අඪකනිපාත 736

  3. සං: නි: සලායතනවග්ග 653

  4. සු:නි: අඨක ව: 131

  5. ධ:ප: යමකවග්ග 2

  6. ස:නි: වංගීසසංයුත්ත 117

  7. ස:නි: වංගීසසංයුත්ත 117

  8. මක්කටොච අරඤ්ඤමහී- වනෙ භන්තමිගො විය,

    බාලො විය ච උත්‍රසෙත්‍රා - න භවෙ ලොල ලොචනො;

    අධො ඛිපෙය්‍ය චක්ඛුනි - යුගමත්තදසො සියා,

    වනමක්කටලොලස්ස - න චිතස්ස වසං වජෙ

  9. නියමයට අනුලොම් වසයෙන් ද උපන් ප්‍ර‍ත්‍යය පිරිසිදු ලෙස උපන් ප්‍ර‍ත්‍යය වේ. වැළිඳු කිය යුත්තෙක් ඇත. - මුතාඞ්ග

  10. කුලපුත්තමානී අඤ්ඤෙපි - පබ්බජිත්‍වාන සාසනෙ,

    මිත්තත්‍ථෙරො‘ච තිට්ඨෙය්‍ය - වරෙ ඉන්‍ද්‍රිය සංවරෙ.

  11. “අනෙසනාය විච්චම්පි - අජනෙත්‍වා විචක්ඛණො,

    ආජීවං පරසොධ්‍ය - සද්ධා පබ්බජිතො යති.”

  12. ම:නි: මූලපණ්ණාසක 13

  13. සු:නි: 61

  14. සු:නි: 61

  15. සු:නි: 61

  16. සු:නි: 52

  17. තස්සමා අඤ්ඤෙපි දුක්ඛස්ස - පත්‍ථයන්තො පරික්ඛයං

    යොනිසො පච්චවෙක්ඛිත්‍වා - පටිසෙවෙථ පච්චයෙ