4. ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත සීලය

star_outline

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය යනාදීන් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොටැ සිව්පස පරිභෝග කිරීම පච්චය සන්නිස්සිත සීලය යි යට දක්වන ලදි. එහි විස්තරය මෙසේ ය.

“පටිසංඛා යොනිසො චීවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය ඩංසමකස්වාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්‍ථං”[1] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් සිවුරු හැඳිය යුතු පෙරෙවිය යුතු. “නුවණින් සළකා මම සිවුරු වළඳමි. කුමක් පිණිස යයි සලකා සිවුරු වළදිම් ද යත්? හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිසය, මැසි මදුරු අව් සුළ දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ සපර්‍ශ නසනු පිණිස ය. වැළි අන්තිම පරිච්ඡෙදයෙන් ලජ්ජා කුප්පන ස්ථාන මුවහ කරගනු පිණිස යයි මෙසේ නුවණින් සලකා සිවුරු වළඳිමි” යනු එහි භාවයි.

විවරණය මෙසේ ය.

පටිසංඛා යොනිසො = උපායයෙන් - නුවණින් දැනගෙන ප්‍ර‍ත්‍යවේක්‍ෂා කොට යන අර්‍ථයි. මෙහි මතු කියනු ලබන “සීතස්ස පටීඝාතාය” යනාදීන් සැළකීම ම නුවණින් ප්‍ර‍ත්‍යවේක්‍ෂා කිරීම යයි දතයුතු.

චීවර නම් ; හඳන ආදීන් අතුරෙන් යමක්, (ආදි ශබ්දයෙන්) උත්තරාසංගසංඝාටි ආදිය ගන්නේ යි.

පටිසෙවාමි = වළඳිමි, හඳිමි, පොරවමි යන ද ර්‍ථ යි.

යාවදෙව = යනු ප්‍රයෝජන සීමාව නියම කොට දක්වන වචන යි. “සීතස්ස පටිඝාතාය” යනාදීන් මතු දක්වනු ලබන දෙයම යෝගීන්ගේ සිවුරු පරිභෝගයෙහි ප්‍රයෝජනය යි. එයින් වැඩි ප්‍රයෝජනයක් නැතැයි සේයි.

සීතස්ස = ශරීරයෙහි ධාතුක්‍ෂොභයෙන් හෝ බාහිරයෙහි සෘතු පෙරළීමෙන් හෝ වන යම් කිසි සීත.

පටිඝාතාය= නැසීම පිණිස යම් සේ ශරීරයෙහි ආබාධයෙක් නොවේ ද එසේ දුරු කිරීම පිණිස.

ශරීරය සීතයෙන් පීඩිත වූ කල්හි සිත වික්‍ෂිප්ත වේ. නුවණින් වීර්‍ය්‍ය කරන්නට අසමර්‍ථ වේ. එබැවින් සීත දුරු කරනු පිණිස සිවුරු පරිභෝග කටයුතුය යි බුදුන් වහන්සේ අනුදත් සේක. මතුයෙහි ද මෙසේ ය.

උණ්හස්ස = අග්නි සන්තාප, ඒ වනාහි වනදාහාදියෙහි ලැබෙන්නේ යයි දතයුතු. (ආතප යන්නෙහි සූර්‍ය්‍ය සන්තාප ගත් හෙයින් මෙහි අග්නි සන්තාප ගතයුතු.)

ඩංස මකස වාතා’තප සිරිංසප සම්ඵස්සානං

ඩංස - ඩහන මැසි. කණමැස්සෝ යයි ද කියත්; මකස - මදුරු වාත - ධූලි සහිත හෝ රහිත සුළං; ආතප - සූර්‍ය්‍ය සන්තාප; සිරිංසප - ඇදෙමින් යන දීර්‍ඝ ජාතික සර්‍පාදි, ඔවුන්ගේ ස්පර්‍ශය දෂ්ට ස්පර්‍ශය, ස්පෘෂ්ට ස්පර්‍ශයයි විවිධ වේ. ඒ විවිධ ස්පර්‍ශය ම සිවුරු පොරවාගෙන උන්නහු නොපෙළයි. එබැවින් එබඳු තන්හි ඒ ස්පර්‍ශ වළකනු සඳහා වළඳයි.

යාවදෙව = යි නැවැත යෙදීම නියත ප්‍රයෝජන සීමාව නියම කොටැ දක්වනු සඳහා ය. හිරිකොපීන පටිච්ඡාදනය නියත ප්‍රයෝජනය යි. සීතාදිය වැළකීම සමහර විටෙක ම වන්නේ ය. හිරිකොපීන නම් ඒ ඒ සම්බාධස්ථාන. යම් යම් ශරීරාඞ්ගයක් විවෘත කොටැ සිටුත් ම විළි කිපේ ද, ඒ ඒ ශරීරාඞ්ග හිරිකොපීන යයි කියනු ලැබේ. හිරිකොපීන මුවහ කරනු පිණිස යනු අර්‍ථයි. “හිරිකොපීනං පටිච්ඡා “දනත්‍ථං” යීත් පාඨයෙක් ඇත්තේ ය.

චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

“පටිසංඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍ර‍හ්ම චරීයානුග්ගහාය ඉඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි. නවං ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච”[2] යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් පිණ්ඩපාතය වැළඳිය යුතු. “නුවණින් සලකා මම පිණ්ඩපාතය වළඳමි, කුමක් පිණිස යයි සලකා ද යත්? කෙළි පිණිස නොවේ ය. මද පිණිස නොවේ ය. සැරසුම් පිණිස නොවේ ය, අලඞ්කාර පිණිස නොවේ ය. එසේ නම් කුමක් පිණිස ද යත්? හුදෙක් මේ ශරීරයාගේ සථිතිය පිණිසය. පැවැත්ම පිණිසය, බඩසා වැළැක්ම පිණිසය, බඹසරට අනුග්‍ර‍හ පිණිසය. මෙසේ මේ පිණ්ඩපාත පටිසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසමි. අධික වැ වැළඳීමෙන් වන අභිනව වේදනාත් නූපදවමි. එසේ මැ මෙයින් මගේ ජීවිත යාත්‍රාව ද, නිරවද්‍ය භාවය ද, පහසු විහරණය ද, වන්නේ ය” යනු එහි භාවයි.

විවරණය මෙසේය.

පටිසංඛා යොනිසො = යනු යට විස්තර කරන ලදී.

පිණ්ඩපාතං = යම් කිසි ආහාරයක්; භික්‍ෂූන්ගේ පාත්‍රයෙහි භික්‍ෂාචර්‍ය්‍යායෙන් - පතිත හෙයින් යම්කිසි ආහාරයෙක් පිණ්ඩපාත යයි කියනු ලැබේ. නොහොත් පිණ්ඩයන්ගේ - ඒ ඒ තන්හි දී ලත් භික්‍ෂාවන්ගේ පාත්‍ර‍ය - සමූහය හෝ පිණ්ඩපාතය යි කියනු ලැබේ. පිණ්ඩොල්‍යෙන පත්තෙ පතිතත්තා පිණ්ඩපාතො, පිණ්ඩානං වා පාතො පිණ්ඩපාතො)

පටීසෙවාමි = වළඳමි

නෙව දවාය = ගම් දරු ආදින් මෙන් ක්‍රීඩා පිණිස නොවේ ය.

න මදාය = මල්ලවාදීන් මෙන් බලමද පුරිසමද පිණිස නොවේය.

න මණ්ඩනාය = ඇතොවුරන් - (අන්තඃපුර ස්ත්‍රීන්) හා වෙසඟනන් ආදීන් මෙන් අඟ පසඟ පිණවන පිණිස නොවේ ය.

න විභූසනාය = නළු ආදීන් මෙන් විභූෂණය පිණිස - ප්‍ර‍සන්න ඡවි වර්‍ණය පිණිස නොවේ ය. කිව යුත්තෙක් ඇති. මෙහි “නෙව දවාය” යනු මොහෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද, “න මදාය” යනු ද්‍වෙෂෝපනිඃශ්‍ර‍ය ප්‍ර‍හාණය සඳහා ද වදාළේ ය. තවද “නෙවදවාය න මදාය” යනු ස්වකීය කාමරාගාදී සංයෝජනයන්ගේ උත්පත්තිය වැළකීම සඳහා ද “න මදාය න මණ්ඩනාය” යනු පරකීය කාමරාගාදි සංයෝජනයන්ගේ උප්පත්තිය වැලකීම සඳහා ද වදාළ බව හා මේ නෙව දවයාදි සතරින් නුනුවණින් පළිපැදීමෙන් ඇතිවන කාමසුඛල්ලිකානු යොගයාගේ ප්‍ර‍හාණය වදාළ බව ද දතයුතු.

යාවදෙව = යනු යට කියන ලද අර්‍ථ මැයි.

ඉමස්සකායසස්ස = පඨවි, ආප, තේජ, වායු යන සතර මහා භූතමය වූ මේ රූපකායයාගේ.

ඨිතියා = ප්‍ර‍බන්‍ධස්ථිතිය පිණිස සන්තති අවිච්ඡොදය පිණිස.

යාපනාය = පැවැත්ම පිණිස - අවිච්ඡෙදය පිණිස නොහොත් බොහෝ කල් පැවැත්ම පිණිස.

දිරාගිය ගෙයක මිනිහෙක් එ ගෙට රුකුල් දෙන්නා සේ රිය පදින්නෙක් අකුරෙහි තෙල් ලන්නා සේ ශරීරස්ථිතිය පිණිස, ශරීරයාපනය පිණිස මේ මහණ පිණ්ඩපාතය වළඳයි. දව - මද - මණ්ඩන - විභූසන පිණිස නොවළඳයි සේයි.

තව ද ඨිති යනු ජීවිතින්‍ද්‍රියට නමෙකි. එබැවින් “ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යන මෙයින් මේ ශරීරය පිළිබඳ ජීවිතින්‍ද්‍රිය පවත්වා ගැන්ම පිණිස යන අර්‍ථය ද කියන ලද බව දතයුතු.

විහිංසූපරතියා = පීඩා කරන අර්‍ථයෙන් බඩගින්න විහිංසාය යි කියනු ලැබේ. ව්‍ර‍ණයෙහි බෙහෙත් ලන්නා සේ උණ්හ සීතාදිය ඇති වූ කල්හි එයට ප්‍ර‍තිකාර කරන්නා සේ විහිංසා සංඛ්‍යාත බඩගිනි වළකා ගැන්ම පිණිස පිණ්ඩපාතය වළඳයි.

බ්‍ර‍හ්මචරියානුග්ගහාය = සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවට හා මාර්‍ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස.

ඒ එසේ මැ යි :- මේ මහණ පිණ්ඩපාතය වැළඳීමෙන් ලබන කාය බලය නිසා ත්‍රිවිධ ශික්‍ෂායෙහි යෙදී සසර කතරින් එතරවීම සඳහා පිළිපදනේ බ්‍ර‍හ්මචර්‍ය්‍යාවට අනුග්‍ර‍හ පිණිස පිණ්ඩපාතය සෙව්නේ යි.

කවුරු කුමක් සෙව්නා මෙන් ද යත්? කාන්තාරයෙන් එතරවනු කැමැත්තෝ පුත්‍ර‍ මාංසය සෙව්නා මෙන්, ගඟෙන් එතරවනු කැමැත්තෝ පසුර සෙව්නා මෙන්, මුහුදෙන් එතර වනු කැමැත්තෝ නැව සෙව්නා මෙනි.

ති පුරාණං ච වෙදනං පටිහංඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි = මෙසේ මේ පිණ්ඩපාත පටීසේවනයෙන් පැරණි බඩගිනි වේදනාත් නසා පියන්නෙම්. ‘ආභරහත්‍ථක-අලංසාටක-තත්‍ර‍වට්ටක-කාකමාසක-භුත්තවමිතක බමුණන් මෙන් පමණ ඉක්මැ වැළඳීමෙන් ලබන අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකමින් ගිලනෙක් බෙහෙත් වළඳන්නා සේ පිණ්ඩපාත වළඳයි.

තව ද වර්‍තමානයෙහි අසප්පාය-අපරිමිත භෝජන වැළඳී මෙන් ලැබෙන වේදනා පුරාණ කර්‍ම හේතුයෙන් උපදින හෙයින් පූරාණ වේදනා යි කියනු ලැබේ. සප්පාය - පරිමිත - භෝජන වැළඳීමෙන් ඒ පුරාණ වේදනා උපදවන හේතුව නැතිවන හෙයින් පැරණි වේදනාත් නසා පියන්නෙමි යි. මෙකල අයුතු පරිභෝගයෙන් මතු උපදින වේදනා නව වේදනා යයි කියනු ලැබේ. ‘යුතු පරිභෝගයෙන් ඒ නව වේදනා උපදනා හේතුව නැතිවන හෙයින් අලුත් වේදනාත් නූපදවන්නෙමි’ යි සලකා පිණ්ඩපාතය වළඳා යයි මෙසේත් මෙහි ලා අර්‍ථ දතයුතු ය.

මෙයින් සුදුසු වූ පරිභෝගයට අවසර ද, අත්තකිලමථානු යෝගයෙන් බැහැර වීම ද, ධාර්මික සැපය නොහැරීම ද දක්වන ලද්දේය යි දතයුතු.

යාත්‍රා ච මෙ භවිස්සති= හිත වූ මිත්‍ර‍ වූ භෝජනානුභවය කරණ කොට ගෙන ජීවිතේන්‍ද්‍රිය සිඳ ලන්නා වූ, ඉරියවු බිද ලන්නාවූ ද උවදුරු දුරුවන හෙයින් මේ ශරීරයාගේ බොහෝ කල් පැවතීම් සඞ්ඛ්‍යාත යාත්‍රාව ද වන්නේය යි රෝගියෙක් අහර අනුභව කරන්නා සේ පිණ්ඩපාතය වළඳයි.

අනවජජතා ච ඵාසුවිහාරො ච= නිරවද්‍ය භාවය ද පහසු විහරණය ද වන්නේ ය. (කෙසේ නිරවද්‍ය භාවය වන්නේ ද කෙසේ පහසු විහරණය වන්නේ ද යනු මෙහි දක්වනු ලැබේ.) අයුතු සෙවීම් පිළිගැනීම් පරිභෝග කිරීම් හැරැපීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. පමණ දැනැ වැළඳීමෙන් පහසු විහරණය වන්නේ ය. තව ද අසප්පාය භෝජන වැළඳීමෙන් ද, පමණ ඉක් මැ වැළඳීමෙන් ද, අරති-තන්‍දි-විජම්භිකා-විඤ්ඤුගරහාදි දොස් උපදී. එබඳු දොස් නූපී මෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සප්පාය භෝජන වැළඳී මෙන් ද, පමණ දැන වැළඳීමෙන් ද කාය බල ලැබේ. එයින් පහසු වියරණය වන්නේ ය. (අරති නම් කුශල ධර්‍මාදියෙහි නො ඇලීම. තන්‍දි නම් අලස බව විජම්භිකා නම් ඈණුම් ඇරීම-ඇඟ මැළි කැඩීම. විඤ්ඤුගරහ නම් නුවනැත්තන්ගේ ගැරහුම) තව ද ඇතිතාක් බඩ පුරා කෑමෙන් දුරුවීම හේතු කොටැ සෙය්‍යසුඛ-ඵස්සසුඛ-මිසුද්‍ධසුඛ නො ලැබේ. ඒ නොලැබීමෙන් නිරවද්‍ය භාවය වන්නේ ය. සතර පසු පිඩක් වළඳන්නට ඉඩ ඇති වැ අහර කිස නිම කිරීමෙන් ඉරියව් පැවැත්මට පහසු වේ. එසේ වීමෙන් පහසු විහරණය වන්නේ ය.

කීයේ මැ යි.

“චත්තාරො පඤ්ච ආලොපෙ - අභූත්‍වා උදකං පිවෙ,

අලං ඵාසු විහාරාය - යුත්තයොගස්ස භික්ඛුනො”[3]

‘සතර පස් පිඩක් නොවළඳා ජලය පානය කරනු. යොගාවචර භික්‍ෂුහුගේ පහසු විහරණයට එය ප්‍ර‍මාණ වේ.’ යනු ගාථාවේ අදහසයි.

‘යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො ච’ යන මෙයින් ප්‍රයෙව්ජන විඳීම හා මධ්‍යම ප්‍ර‍තිපදාව දක්වන ලදැ යි දතයුතු. (සෙය්‍ය සුඛ නම් ශය්‍යාවෙන් ලැබෙන සැප ය. ඵස්ස සුඛ නම් ඒ අත මේ අත පෙරළීමෙන් ලැබෙන සැප ය. මිද්ධ සුඛ නම් නිදීමෙන් ලැබෙන සැප ය.)

පිණ්ඩපාත ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

“පටිසංඛා යොනිසො සෙනාසනං පටිසෙවාමි. යාවදෙව භීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාව දෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්‍ථං”[4] යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරමින් සේනාසන පරිභෝග කළ යුතුයි. “නුවණින් සලකා මම සෙනසුන් පරිභෝග කරමි. (කුමක් පිණිසය යි සලකා සෙනසුන් පරිභෝග කරම් ද යත්? මම සෙනසුන් පරිභෝග කරන්නේ) හුදෙක් සීතල නසනු පිණිස ය. උෂ්ණය නසනු පිණිස ය. මැසි මදුරු අව් සුළං දීර්‍ඝජාතික සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශ නසනු පිණිස ය. (වැළි) හුදෙක් උතුසරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස යි” යනු එහි භාවයි.

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

සේනාසන = සෙනසුන් සයනය කරන තැන් සේන ය. ඉඳ ගන්නා තැන් ආසන ය. සේන ද ආසන ද = සේනාසන. සේනාසන නම් විහාර ඇඳ පුටු ආදිය යි.

උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්‍ථං - උතුපරිස්සය විනෝදනය පිණිස හා පටිසල්ලානාරාමය පිණිස. උතු නම් ශීත උෂ්ණාදිය. පරිස්සය නම් පීඩාදායක - උපද්‍ර‍වය. පීඩාදායක සෘතු ම උතුපරිස්සය යි. මෙහි කියන ලදි. එනම් ශරීරාබාධ හා චිත්ත වික්‍ෂේප කර වූ අසප්පාය සෘතු යි. සෙනසුන්හි විසීමෙන් එය දුරු කර ගත හැකි වේ. එසේ දුරු කර ගන්නා පිණිස පටිසල්ලාන නම් සිත එකඟ කර ගැන්ම ය. ඒ පටිසල්ලානයෙහි ඇලීම පටිසල්ලානාරාම ය. ඒ පිණිස ද සෙනසුන් පරිභෝග කරමි යි කී සේයි. සෙනසුන්හි විසීමෙන් සිත එකඟ කර ගත හැකි වේ.

මෙහි කියයුත්තෙක් ඇති. “සීතස්ස පටිඝාතාය උණහස්ස පටිඝාතාය” යන මෙයින් උතුපරිස්සය විනෝදනය කියවුණේ ය. නැවත එය කුමක් පිණිස කියන ලද්දේ ද චීවර පරිභෝගයෙහි හා සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය අනියත ප්‍රයෝජනය යි ප්‍රයෝජන දෙකකි. චීවර පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය හිරිකොපීන පටිච්ඡාදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. එමෙන් සේනාසන පරිභෝගයෙහි නියත ප්‍රයෝජනය උතුපරිස්සය විනෝදනය යි. සෙස්ස අනියත ප්‍රයෝජන යි. කිසි විටෙක මැ ලැබෙන බැවිනි. ඒ බැව් ප්‍ර‍කාශ වනු සඳහා මේ පදය නැවත යොදන ලදැයි දත යුතු යි.

(මෙහි ලා අන්‍ය වූ ද අර්‍ථ පක්‍ෂයෙක් කියනු ලැබේ)

ඒ මෙසේ ය:- උතු සෘතු මැ ය. පරිස්සය නම් උපද්‍ර‍ව ය. ඒ උපද්‍ර‍ව වනාහි ප්‍ර‍කට උපද්‍ර‍වය ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍වය යි ද්‍විවිධ වේ ප්‍ර‍කට උපද්‍ර‍ව සිංහ ව්‍යාඝ්‍රාදීහු ය. ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව රාග ද්වෙෂාදීහු යි. යම් මෙ ද්‍විවිධ උපද්‍ර‍වයෙක් සේනාසනයෙක නො වසන්නවුන්ට ලැබේ ද, සේනාසනයෙහි වසන්නවුන්ට ඒ ඒ ද්‍විවිධ උපද්‍ර‍ව මැ නො ලැබේ. එ බැවින් ‘ඒ ද්‍විවිධ වු මැ උපද්‍ර‍ව වළකනු සඳහා සෙනසුන් පරිභෝග කරමි, යි ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරන්නේ යයි කී සේයි.

ඒ එසේ මැයි:- අසේනාසනයෙහි - විවෘතාඞ්ගණ වෘක්‍ෂ මූලාදියෙහි වසන්නවුන්ට සිංහාදි ප්‍ර‍කටඋපද්‍ර‍ව ද රාගද්වෙෂාදි ප්‍ර‍තිච්ඡන්න උපද්‍ර‍ව ද පැමිණිය හැකි ය.

(මෙහි නො දැක්වුණු විවරණ චීවර ප්‍ර‍ත්‍යවේක්‍ෂායෙහි කී පරිදි දත යුතුයි.)

සේනාසන ප්‍ර‍ත්‍යවෙක්‍ෂා විධිය යි.

“පටිසංඛා යොනිසො ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි යාවදෙව උප්පන්නානං වෙය්‍යාබාධිකා නං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ඣ පරමාතාය” යි ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරමින් ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳිය යුතුයි. “මම නුවණින් සලකා ගිලන් පස බෙහෙත් පිරිකර වළඳමි. (කුමක් පිණිස යයි සලකා වළඳම් ද යත්? මම ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන්නේ) හුදෙක් ව්‍යාබාධයන්ගෙන් උපන් වේදනා නසනු පිණිස ය, නිදුක පරම බව පිණිස ය” යනු භාවයි.

යට නො දැක්වුණු පදයන්ගේ විවරණය මෙසේ ය.

ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං = ගිලන්පස බෙහෙත් පිරිකර ගිලාන නම් රෝගය. පච්චය නම් ප්‍ර‍තිපක්‍ෂ දෙ ය. (පති අයන අර්‍ථයෙන්) භෙසජ්ජ නම් බෙහෙත් ය. භිෂජ්හු ගේ කර්‍මය භෙෂජ්‍ය. ඔහු විසින් (භිෂජ් සංඛ්‍යාත වෙදනු විසින්) අනුදන්නා ලද බැවිනි. එවිට ගිලානයට-රෝගයට ප්‍ර‍තිපක්‍ෂ වූ (සප්පාය වූ) භෙසජ්ජ-ගිලානපච්චය භේසජ්ජ යි. රෝගයට සප්පාය වූ යම්කිසි තෙල් මී පැණි ආදියෙක් කියන ලදැයි දත යුතු පරික්ඛාර ශබ්දයෙන් පිරිවාරය අලංකාරය සම්භාරය යි, අර්‍ථ තුනෙක් කියනු ලැබේ.

“සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛිතං හොති”[5] යනාදී පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් පරිවාරය කියන ලදී. “සප්තනගර පරිවාරයන්ගෙන් පරික්‍ෂාප්ත ය” යනු එහි අර්‍ථ යි. (නගර පරිවාර සත නම් කවාට, පරිඛා, උද්දාප, පාකාර, ඵසිකා පරිඝා, පාකාරත්‍ථණ්ඩිල යන මොහුයි.)

“රථො සීලපරික්ඛාරො-ඣානක්ඛො චක්කවිරියො”[6] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් අලඞ්කාරය කියනු ලැබේ. “සීල නමැති අලඞ්කාර ඇති, ධ්‍යාන නමැති අකුරු ඇති, වීර්‍ය්‍ය නමැති චක්‍ර‍ ඇති ආර්‍ය්‍ය මාර්‍ග නමැති රථය” යනු එහි අර්‍ථ යි.

“යෙ චිමේ පබ්බජිතෙන ජීවිත පරික්ඛාරා සමුදානෙ තබ්බා”[7] යනාදි පාළියෙහි පරික්ඛාර ශබ්දයෙන් සම්භාරය කියන ලදී. “පැවිද්දා විසින් යම් ජීවිත සම්භාර කෙනෙක් එළවිය යුත්තාහු ද” යනු එහ අර්‍ථ යි.

මෙහි වනාහි පරිවාරය, සම්භාරය යන අර්‍ථද්වය කිය යුතු. ඒ ගිලානපච්චය භෙසජ්ජ ජීවිතයාගේ පරිවාර වෙයි. ජීවිත නසන ආබාධ උපදීමට අවකාශ නොදී රැකගන්නා හෙයිනි. ජීවිතයාගේ සම්භාරත් වෙයි. බොහෝ කල් ජීවිත ප්‍ර‍වෘත්තයට කාරණ වන හෙයිනි. ගිලාන පච්චය භෙසජ්ජ වූයෙත් හේ මැ ය. පරික්ඛාර වූයේත් හේ මැ නුයි ගිලාන පච්චය භෙසජ්ජ පරික්ඛාර, ගිලන් බව දුරු කිරීමට සප්පාය වන වෙදුන් විසින් නියම කළ තෙල් මීපැණි ආදී ජීවිත පරිවාර ජීවිත සම්භාරය යි කී සේයි.

උප්පන්නාන= උපන් - හටගත්.

වෙය්‍යාබාධිකාන= ව්‍යාබාධයෙන් නිපන් “වෙදනානං” යන්නට විශේෂණ යි. “ව්‍යාබාධ” නම් ධාතුක්‍ෂොභ හා ඒ ධාතුක්‍ෂොභයෙන් නැගෙන කුෂ්ට ගඩු පිළිකාදි ය.

වෙදනානං= දුක් වේදනාවන්ගේ - අකුශල විපාක වේදනා වන්ගේ

අබ්‍යාපජ්ඣපරමතාය= නිදුක පරම බව පිණිස යම් පමණෙකින් ඒ සියලු දුක් ප්‍ර‍හීණ වේ ද, එපමණක් පිණිස (ව්‍යාබාධො’ච - ව්‍යාපජ්ඣං = දුක්ඛං, නත්‍ථි ඵත්‍ථ ඛ්‍යාපජ්ඣංති අඛ්‍යාපජ්ඣා, නිද්දුක්ඛතා.)

ගිලාන ප්‍ර‍ත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ප්‍ර‍ත්‍යවේක්‍ෂා විධිය යි.

මෙතෙකින් නුවණින් සලකා ප්‍ර‍ත්‍යය පරිභෝග ලක්‍ෂණ වූ - ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත ශීලය දත යුතු. මෙහි ප්‍ර‍ත්‍යය නම් චීවරාදි සිව්පස ය. එය ඇසුරු කෙළේ ප්‍ර‍ත්‍යයසන්නිඃශ්‍රිත යි. (‘යෙ පටිච්ච = නිස්සාය පරිභුක්‍ජමානා පාණිනො යන්ති = ගච්ඡන්ති = පවත්තන්ති තෙ පච්චයා’ යනු පච්චය ශබ්දයාගේ නිර්‍වවන යි.)

ප්‍ර‍ත්‍යය සනනිඃශ්‍රිත ශීලය නිමියේ ය.

  1. ම:නි: මූලපණ්ණාසක 11

  2. ම:නි: මූලපණ්ණාසක 11

  3. ථෙරගා:තිසංක නිපාත 307

  4. ම:නි:මූ: 115

  5. අ:නි: සත්තකනි 682

  6. සං:නි: මහාවග්ග 808

  7. ම:නි: මූලපණ්ණාසක 117